විගණකාධිපති තනතුරට ජනපති යැවූ නම ප්‍රතික්ෂේප වෙයි
රටේ ඉහළ නිලතල සඳහා කරන පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත විය යුතුය. පුරප්පාඩු වී ඇති රජයේ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා කළ නාමයෝජනාව දෙවැනි වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කිරීම ඉකුත් සතියේ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුව ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. කථානායක ජගත් වික්‍රමරත්න මෙහි ප්‍රධානියාය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිගේ නියෝජිත විජිත හේරත් විපක්ෂනායකගේ නියෝජිත අජිත් පී. පෙරේරා කුඩා පක්ෂවල නියෝජිත සිවඥානම් ශ්‍රීධරන්, සිවිල් සමාජය වෙනුවෙන් පත්කර සිටින ආචාර්ය පී. රාමනුජන්, දොස්තර අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න එම සභාවේ සාමාජිකයෝ වෙති. අගමැතිනියගේ නියෝජිතයා තවම මෙම සභාවට පත්කර නොමැති නිසා ඍජුව ආණ්ඩුවට සිටින්නේ නියෝජිතයන් තිදෙනකු පමණකි.
මෙයට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ ඔහු නිර්දේශකර යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමද මෙම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප විය. තුනෙන් දෙකේ බලයක් හිමි ආණ්ඩුවක ජනාධිපතිවරයා යැවූ නම ප්‍රතික්ෂේප වීම ගැන හෙළිදරව් වූ පසු බොහෝ දෙනාගේ අවධානයට යොමුවූයේ එම සභාවේ ආණ්ඩුවේ සංයුතිය ගැනය. අගමැතිනියගේ නියෝජිතයා තවමත් පත්කර නොමැති බව දැනගන්නට ලැබෙන්නේ එහිදීය.
වැඩ බලන විගණකාධිපති ගම්මන්පිල මෙම තනතුරට සුදුසු බවට විවිධ පාර්ශ්ව හඬ නඟමින් සිටින අතරතුර ජනාධිපතිවරයා යැවූ නම ප්‍රතික්ෂේප වීම විශේෂ සිද්ධියකි.
විපක්ෂ මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ගැන කතානායකට පැමිණිලි
ජාතික ආරක්ෂාව දිනෙන් දිනම බිඳ වැටෙන බව විපක්ෂයේ මතය වේ. ඒ සඳහා ආසන්නතම උදාහරණය ලෙස විපක්ෂය පෙන්වා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාරට ආ මරණ තර්ජනය ය. මේ පිළිබඳව පැමිණිලි කළ ද ආරක්ෂක අංශ නිසි පියවර නොගත් බව විපක්ෂය කියයි. මේ ගැන ගත යුතු පියවර පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත් 20 වැනිදා පැවැත් විණි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට ගයන්ත කරුණාතිලක රවි කරුණානායක, දයාසිරි ජයසේකර, ජීවන් තොණ්ඩමන්, දිලිත් ජයවීර, ජේ.සී. අලවතුවල, කාදර් මස්තාන්, නිසාම් කාරියප්පර්, රවුප් හකීම්, රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
‘‘විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව කිසිම සැලකීමක් නෑ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් යන කොට පොලිසිය ආරක්ෂාව දෙනවා. විපක්ෂයට ලැබෙන්නේ නෑ...’’ දයාසිරි ජයසේකර එහිදී කියා සිටියේය.
‘‘අපිටත් එහෙමයි. ආණ්ඩුවෙ අයට පොලිසිය ආරක්ෂාව දෙනවා. විපක්ෂය ගැන ඔත්තු සේවයක් හැටියටයි පොලිසිය කටයුතු කරන්නෙ. අපේ පිටිපස්සෙන් එන්නෙ... ඒ ගැන ඇහුවම කියන්නෙ සහෝදර ආණ්ඩුවෙ මන්ත්‍රීතුමා බලන්න කීවා කියලා. පොලිසියට ආණ්ඩුව සහෝදර ආණ්ඩුවක් වෙලා.’’ ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙහිදී සියලු මන්ත්‍රීවරුන් සාකච්ඡා කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිසි ආරක්ෂාවක් ලබාගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳවය. මේ පිළිබඳව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී තීන්දු විය.
පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් එදිනම කතානායකවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගියද කතානායක කාර්යාලයෙන් දැනුම් දුන්නේ මන්ත්‍රීවරුන් නොමැතිව පක්ෂ නායකයන්ට පමණක් කතානායකතුමා හමුවිය හැකි බවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක ඇතුළු කිහිප දෙනකුට පමණක් කතානායකවරයා හමුවීමට ලැබුණු අතර කතානායක ජගත් වික්‍රමරත්න එහිදී පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර තීන්දුවක් ලබාදෙන බවය. ඒ අනුව පසුදා විපක්ෂයට දැනුම් දී තිබුණේ පොලිස්පති සහ අදාළ ආරක්ෂක ප්‍රධානීන් සිකුරාදා සවස තුනට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් මුණගැසෙන හමුවක් සූදානම් කර ඇති බවය.
වැඩිම කාන්තා නියෝජනය සජබෙන්
පළාත් පාලන මැතිවරණ නීතිය අනුව ජයග්‍රහණය කළ සභාවක බලය පිහිටුවීමේදී මන්ත්‍රීවරුන්ගෙන් සියයට විසි පහක් කාන්තාවන් විය යුතුය. මෙම ප්‍රමාණය කිසිසේත්ම පළමු වටයේ කොට්ඨාස දිනීමේදී සම්පූර්ණ නොවන අතර සම්පූර්ණ කිරීමට සිදු වන්නේ පක්ෂයට ලැබෙන බෝනස් ආසනවලිනි. මෙම මැතිවරණ ප්‍රතිඵල අනුව බෝනස් ආසන අති බහුතරයක් ලැබී ඇත්තේ සමගි ජන බලවේගයටය. මේ නිසා කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීමේ වගකීමද සජබයේ කර මත පැටවී ඇත. කොළඹ නගර සභාවේ සජබයට ලැබී ඇති බෝනස් ආසන පහළොවෙන් එකොළහක් කාන්තාවන්ටද කොලොන්නාව නගර සභාවේ බෝනස් ආසන හතරෙන් තුනක් කාන්තාවන්ටද වෙන් කිරීමට සිදුවී තිබේ. එය මැතිවරණ නීතිය වුවත් මෙම ඡන්ද ක්‍රමය නිසා දේශපාලන පක්ෂ අසීරුවට පත් කරන අවස්ථාවක් බවට පත්ව ඇත.
බෙදී සැමරූ යුද ජයග්‍රහණය
මෙරට ජාතික මට්ටමේ සියලු කටයුතු දේශපාලන පක්ෂ විසින් තමන්ගේ දේශපාලන කෝණයෙන් බලා කටයුතු කිරීම මෑත කාලීනව දැකගත හැකි ප්‍රවණතාවකි. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරදා ලබාගත් යුද ජයග්‍රහණයේ සැමරුම් උත්සවයද ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් වෙන් වෙන්ව තම තමන්ගේ කෝණයෙන් බලා සැමරීමට පියවර ගෙන තිබිණි.
ප්‍රධාන සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී ඉකුත් දහනවවැනිදා සන්ධ්‍යාවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක යුද සැමරුම් උත්සවයට සහභාගී නොවන බවට ආරංචි සමාජ මාධ්‍යයෙන් පැතිර ගියද ජනාධිපතිවරයා උත්සවයට සහභාගී වූයේ එම ප්‍රචාර බිඳ දමමිනි. එවක හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ඇතුළු එවක සිටි ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද ජනාධිපතිවරයා දෙපස සිට මෙම සැමරුම් උත්සවයට සහභාගී වූහ. ලාංකීය ජාතිය ඇති තරම් ලේ හලපු ජාතියක් බව කී ජනාධිපතිවරයා යළි යුද්ධයක් ඇති නොවන රටක් හැදීමට සියලු දෙනාටම ආරාධනා කළේය.
මහින්දගේ සමරුවේ මයික්‍රෆෝන් පොලිසියෙන් ගනියි
යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජාතික යුද සැමරුම් උත්සවයට ආරාධනා ලැබී තිබුණේ නැත. ආණ්ඩුව තමන් අතහැර මෙම උත්සවය පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධානීන්ට කල් තබාම වැටහී තිබුණි. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුද ස්මාරකය අබියස සමරු උත්සවයක් 18 වැනිදා පැවැත්වීමට විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ආරක්ෂක ප්‍රධානීන්ගෙන් අවසර ඉල්ලා සිටියද එම අවසරය නොලැබිණි. ඉන්පසු 20 වැනිදා සවස අවස්ථාවක් ඉල්ලා සිටියද එයද නොලැබිණ. මේ තත්ත්වය මත අද්මිරාල්වරයාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ අපි දැන් යමු කියාය. 20 වැනි අඟහරුවාදා උදෑසන එම සමරු උත්සවය පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි විට අවසරය ලැබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර යන පිරිස පෙරටුකරගත් පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ජාතික රණවිරු ස්මාරකය වෙත ගියේ ඉන් පසුවය. මහින්ද ඇතුළු පිරිස එම ස්ථානයට ගිය අවස්ථාවේ සෙනඟ ඇමතීමට කුඩා බෆල් දෙකක් හා මයික්‍රපෝනයක් ගෙන ගියද කලින් අවසර ලබා නොගත් බව කියමින් පොලිසිය පැමිණ එම උපකරණ ඉවත් කිරීමට පියවර ගත්තේය. මෙම කුඩා සැමරුම් උත්සවය සඳහා යුද හමුදාවේ බියුගල් වාදන ශිල්පීන් නිල ඇඳුමෙන් ලබාදෙන්නැයි යුද හමුදාපතිවරයාගෙන් තමා ඉල්ලා සිටියත් එම අවසරය නොලැබුණු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැවසුවේය. ‘‘අපිට රණවිරුවන්ට උපහාර පුදන්න නිසි අවසරය දෙන්නෙත් නෑ. ජනාධිපතිතුමා ඊයේ උත්සවයේදී රණවිරුවා කියන වචනය පාවිච්චි කෙරුවෙත් නෑ... මේක පුදුම රටක්...’’ සරත් වීරසේකර වැඩි දුරටත් කීවේය.
කොළඹ නගර සභාවේ බලය පිහිටුවන සටන
පළාත් පාලන මැතිවරණයෙන් ස්ථාවර බලයක් කිසිවකුටවත් හිමි වී නොමැති නිසා කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය සහ විපක්ෂය අතර තියුණු සටනක් ඇති වී තිබේ. එවැනි අවස්ථාවක පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභාවාරය පැවැත්වෙන දින නගරාධිපති හා උප නගරාධිපති පත් කරගත යුතු අතර එසේ පත්කරගත යුතු වන්නේ සභාවට පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙනි. වත්මන් ඡන්ද ක්‍රමය අනුව කවර අයුරකින් හෝ එකතු කර ගන්නා මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් පත්කර ගන්නා නගරාධිපතිවරයා වසර දෙකක් යනතුරු අතරමගදී ඉවත් කිරීමට නොහැකි නිසා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කුඩා පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන්ට විවිධ යෝජනා හා වරප්‍රසාද පොරොන්දු වෙමින් තම පාර්ශ්වය දිනවීම සඳහා සහාය ඉල්ලා සිටිති.
කොළඹ නගර සභාවේදී ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 48ක් හිමි වූ අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම්වලට හිමි වී ඇති මන්ත්‍රී ධුර ගණන 60කි. ජනාධිපති අනුර කුමාර දිසානායක ස්වාධීන කණ්ඩායම්වල සිටින මන්ත්‍රීවරුන් 9 දෙනා සහ තවත් කුඩා පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග ඉකුත් සතියේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වූයේ ද මාලිමාවට නගර සභාවේ බහුතර බලය ලබා ගැනීම සඳහාය. සභාවේ එක් මන්ත්‍රී ආසනයක් ලැබී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මන්ත්‍රී ආසන 2ක් හිමි වී තිබෙන එක්සත් සාම පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් අංක දෙක තුන සහ හතර යන කණ්ඩායම්වල නායකයන් සහ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීය. මෙහිදී එම සියලු දෙනාම ජාතික ජනබලවේගට කොළඹ නගර සභාවේ බලය ලබාදීම සඳහා සහාය ලබාදීමට එකඟ විය. ඒ අනුව මන්ත්‍රී ආසන නවයක සහාය මාලිමා කණ්ඩායමට ලැබෙන අතර මාලිමාවේ මන්ත්‍රී ආසන 48ත් සමග ඔවුන්ට ආසන 57ක් හිමිවේ. එසේ තිබියදීත් විපක්ෂයට 60ක මන්ත්‍රී පිරිසක් සිටින අතර දෙපාර්ශ්වයම තවදුරටත් මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට බා ගැනීම සඳහා සිකුරාදා වන විටත් විවිධ උපක්‍රම දියත් කර තිබිණි. කොළඹ නගර සභාවේ නිලතල සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා රහස් ඡන්දයක් නොපවත්වා විවෘත ඡන්දයක් පවත්වන ලෙස විපක්ෂය පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත. ඇතැම් මන්ත්‍රීවරුන්ට විවිධ දීමනා ලබාදී ඔවුන් ආණ්ඩුවේ පැත්තට බාගෙන ඇතැයි පැතිර යන ප්‍රචාරය එයට හේතුවය. එහෙත් ජාතික ජන බලවේගයට රහස් ඡන්දයක් ඉල්ලා සිටීමේ හැකියාව තිබෙන අතර පවත්වන්නේ රහස් ඡන්දයක් ද නැතිනම් විවෘත ඡන්දයක්ද යන්න තීන්දු වන්නේ ද ඉල්ලීම කරන මන්ත්‍රීවරුන්ගේ බහුතරය අනුව ය. ඒ අනුව ජුනි 2 වැනිදා පළමු සභාවාරය කොළඹ නගර සභාවට සුවිශේෂ වූ සභාවාරයක් වනු ඇතැයි ද ඇතැම් පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් යම් පිරිසක් එදින ඡන්ද විමසීමට නොපැමිණෙනු ඇතැයි ද දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.
වැඩේ අවුල් කරන්න එපා සජිත් කියයි
සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම ඉකුත් සඳුදා කැඳවා තිබුණේ ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් මුල් කරගෙනය. වෙනත් පක්ෂ සමග සාකච්ඡා කිරීම සහ සමානුපාතික ලැයිස්තුවේ පුරප්පාඩු පිරවීම එම කරුණු දෙක විය. කමිටු රැස්වීම ආරම්භ කරමින් සජබ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අපිට අනෙක් පක්ෂ සමග එකතු වෙලා භා එකසිය තිස් දෙකක බලය ගන්න පුළුවන්. ඒ සඳහා අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමට මේ කළමනාකරණ කමිටුවේ එකඟත්වය අවශ්‍යයි යනුවෙනි.
සජබ කළමනාකරණ කමිටුව ඒ සඳහා ඒකමතික අනුමැතිය පළකරමින් සාකච්ඡා පැවැත්වීමේ හා තීන්දු ගැනීමේ අවසරයද පක්ෂ නායකයාට ලබාදුන්නේය. එජාප මහ ලේකම් තලතා අතුකෝරල ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කිරීම සිදුවූයේ මෙම අවසරය ලැබීමෙන් පසුවය.
පක්ෂයට ලැබුණු ප්‍රසාද මන්ත්‍රීවරුන් පත් කරන ආකාරය ඉන් පසු සාකච්ඡාවට බඳුන්විය. ඒ සඳහා නිර්ණායක කිහිපයක් සකසා තිබිණ. සියයට විසි පහක කාන්තා නියෝජනය සඳහා පත්කළ යුතු පිරිස, ජාතික ලැයිස්තුවේ සිටින අපේක්ෂකයන් සහ තරග කර පරාජය වූ අය ලබාගත් ප්‍රතිශත අනුව මෙම ප්‍රසාද මන්ත්‍රී ධුර ලබාදීමට කළමනාකරණ කමිටුවට නම් ලැයිස්තු ඉදිරිපත් කර තිබිණ. මේ හදල තියෙන ලැයිස්තුවලින් පිට අය දාල වැඩේ අවුල් කරන්න එපා...’’ සජබ නායකයා කියා සිටියේය. සමහරුන් කියා සිටියේ එම නිර්දේශවලට වඩා තමන්ට එක්ව වැඩ කළ හැකි පිරිසක් පත් කළ යුතු බවය. එවැනි මත තිබුණත් පක්ෂය සකසා තිබූ නිර්ණායකවලට කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලැබිණි.
සමානුපාතික ලැයිස්තුවේ පුරප්පාඩුවලට පත්කිරීම සිදු කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන් ගෙන්වා සාකච්ඡා කිරීම ඉකුත් 19 වැනිදා සිටම ආරම්භ විය.
එජාපයේ මූලිකත්වයෙන් පක්ෂ රැසක් එක්වෙයි
එක්සත් ජාතික පක්ෂය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක නායකයන්ගේ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා පැවැත්වුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සාකච්ඡාවට සහභාගී වූයේ නැත.
එජාප සභාපති වජිර අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, දොස්තර රාජිත සේනාරත්න, සාගල රත්නායක, තලතා අතුකෝරාළ, පොදු පෙරමුණ වෙනුවෙන් අනුර යාපා සහ ලසන්ත අලගියවන්න සහ තවත් පක්ෂ නියෝජිතයෝ කිහිප දෙනෙක්ම එම අවස්ථාවට එක් වූහ.
‘‘සජබයත් කැමැත්ත දීල තියෙන නිසා බහුතරය තිබෙන හැම තැනම විපක්ෂයේ අපි එකතු වෙලා සභා පිහිටුවන්න ඕනෑ.’’ එජාප නායක රනිල් වික්‍රමසිංහ එහිදී කීවේය. ‘‘තනතුරු බෙදා ගන්න එක පසුවට තීන්දු කරමු. හැම පක්ෂයටම රටෙන්ම ඡන්ද ලැබිල තියෙන ප්‍රතිශතය අනුව සභාපති උපසභාපති තනතුරු වෙන් කරල දෙන්න වැඩිම හරිය සජබය අරගෙන ඉතිරි ටික ඉතිරි අයට බෙදල දෙන්න...’’ ලසන්ත අලගියවන්ත කීවේය.
මංගල සමරවීරගේ හිටපු ලේකම්වරයකු වූ තුසිත හල්ලොලුවට එල්ල වූ ප්‍රහාරය ගැන ඊළඟට අවධානය යොමුවිය. එජාප නායකයා කීවේ තමා ඔහුට කතා කරන විටත් දැඩි තැතිගැන්මකට ලක්ව සිටි බව තමාට පෙනී ගිය බවය ‘‘අත අඹරවල අරගෙන ඔළුවට තමා පිස්තෝල තියල තියෙන්නේ’’ එජාප නායකයා තවදුරටත් කීවේය.
‘‘මාත් බලන්න ගියා. මේක යන්තමින්වත් ඩ්‍රාමා එකක් නෙවෙයි. ඒක බොරු කතාවක්. මෙයා ළඟ තිබුණු ලිපි ගොනු ගන්නයි මෙහෙම පහරදීල තියෙන්නෙ...’ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල කීවේය.
ලුණු ප්‍රශ්නය
පසුගිය සතයේ රනිල් පක්ෂ සමීප සාමාජික කණ්ඩායම් රැස්වීම ආරම්භ කළේ අමුතු විදියේ ඉඟියක් ලබාදීමෙනි.
“ගෙදර ලුණු පොලොත්ත සැලකෙන්නේ සෞභාග්‍යයේ සංකේතයක් විදිහට. ගෙදර ලුණු පොලොත්ත කවදාවත් හිස් වෙන්න ඉඩ දෙන්නේ නෑ” රනිල් කියන්නේ කුමක්දැයි වටහා ගැනීමට සියල්ලෝම ඔහු දෙස බලා සිටියහ.
“අපේ රටේ ලුණු හිස් වුණා. ඒ කියන්නේ ලුණු හිස් වෙන එක හොඳ නෑ” රනිල් එසේ කියා නිහඬව
බලා සිටියේය.
“ඒ කියන්නේ ආපහු භාණ්ඩාගාරයේ හිස් වෙනව කියන අසුභ ලකුණ ද?” වජිර එසේ විමසූයේ රනිල් නොකියා කියූ කතාවයි.
“ඔව් මේක එහෙම පෙර නිමිත්තක් වෙන්නත් පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු එහෙම නොවේවා කියලා” රනිල් කීය.
පළාත් පාලන බලය
විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීමට අදාළව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා ඇරඹුණේ ඉකුත් සඳුදාය.එජාපය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති, වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක සහභාගී වූහ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුජිබර් රහුමාන් සහභාගී වූහ. සභා පිහිටුවීම ගැන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුණි. විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවට ද මෙම හමුවේදී එළඹුණි.
අනතුරුව එජාප මධ්‍යම කාර්යංශයේ රැස්වීමක් පැවැත්වුණේ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ මල් පාර කාර්යාලයේදීය. මෙහිදී පක්ෂයේ බිම්මට්ටම ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර පළාත් පාලන නිලධාරීන්ගේ පත්වීම් කටයුතු අවසන් වීමෙන් පසු සියලුම නායකයින් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන ජාලය ගොඩනැංවීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවට කතිකා විය.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹියේය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ය. මේ තීරණය ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවයි. ඒ රනිල්ගේ උපදෙස් අනුවයි. ගත් ප්‍රතිශතය අනුව පළාත් පාලන ආයතන වලට සභිකයන් පත් කිරීමට එජාපයේ සියලුම දෙනා එකඟත්වය පළ කළහ.
කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ බලය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක බව අභ්‍යන්තර ආරංචි මාර්ග රනිල්ට තහවුරු කර තිබිණි.මාලිමාව සමඟ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සාකච්ඡා කොට තිබුණද සාකච්ඡාවෙන් දින දෙක තුනකට පසුව එම කණ්ඩායම් යළි ප්‍රකාශ කර තිබුණේ අඩමාන මතයකි.
පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා එජාප සජබ සාකච්ඡාවලට සජිත්ට ද අවසානයේ එකඟ වන්නට සිදුවිය. ඔහු මෙලෙස එකඟ වී ඇත්තේ බල්ලන් නාවන්නට ගෙනියනවා වගේ බවට කනින් කොනින් ආරංචි පැතිර ගියේය.
විපක්ෂයේ සාකච්ඡා ලහි ලහියේ සිදුකෙරෙන අතරවාරයේ මෛත්‍රී රනිල් හමුවක්ද මල් පාරේ කාර්යාලයේදී පැවැත්විණි. එහිදීද සාකච්ඡා පැවැත්වී ඇත්තේ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධවයි.
“විපක්ෂයට වැඩි බලයක් තියෙන හැම සභාවකම අපි බලය පිහිටුවන්න ඕන. එහෙම බැරි ඒවා අත හැර දැම්මට කමක් නෑ. ගොඩක් සභාවල ඉතා ළඟින් ප්‍රතිඵල වාර්තා කරලා තියෙනවා. ඒ වගේ සභා හතළිහක් පනහක් පිහිටුවා ගන්න විපක්ෂයට බැරි කමක් නෑ” රනිල් විපක්ෂයේ පක්ෂ නායක හමුවකදී එසේ පවසා තිබිණි.
අලියා නැගිටුවීම
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිබඳව ද මේ දිනවල කතාබහට ලක් කෙරෙයි.
”අපි අලුත් යූඑන්පියක් හදන්න ඕන. ඒක පරණ ක්‍රමයට යන්න බෑ. හතළිහට අඩු අය ඉන්නේ වෙන ලෝකෙක” නායක රනිල් පැවසූයේ ඉදිරියේදී එන රික්තය පිරවීම සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධානය කළ යුතු බවයි.
පාර්ලිමේන්තුව දිනෙන් දින හිස් කාන්තාරයක් බවට පත්වෙමින් තිබේ.
“පාර්ලිමේන්තුව කර ගහලා ගෙනියන්න ඕන සභානායක. අනිත් පැත්තෙන් විපක්ෂ නායක.ඔය දෙන්න පණ නැතුව මේක ගෙනියන්න බෑ. සභානායක තනියම වෛරයෙන් කෑගහනවා විපක්ෂ නායක බයේ හැංගෙනවා. හරියට ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් එක වගේ.”
රනිල් කීවේ උපහාසයක් ද මතුකරමිනි.
රාජ දූත