ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 වසරේදී ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මස 10 දින ඒකමතිකව බලරහිත කරන ලද්දේ, විධායක බලයේ ව්‍යවස්ථාපිත සීමාවන් නැවත මතක් කර දෙමිනි. පිටු 58කින් සමන්විත මෙම ඓතිහාසික නඩු තීන්දුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ආචාර්ය පාක්‍යසොත්ති සරවනමුත්තු විසින් ගොනු කළS.C.F.R.  256/2019 පෙත්සම සහ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කළS.C.F.R.  257/2019 පෙත්සම එක්ව සලකා බලමින් ප්‍රකාශයට පත් කරන ලදී. කිසිදු විධායක වරප්‍රසාදයක් අධිකරණ පරීක්‍ෂාවෙන් ඔබ්බට නොපවතින බවත්, අධිකරණ තීන්දු අභිබවා යාමට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමට විධායක නියෝග භාවිතා කළ නොහැකි බවත් ජනක් ද සිල්වා, ආචාර්ය සොබිත රාජකරුණා සහ සම්පත් බී. අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙහිදී අවධාරණය කළහ.

මෙම දීර්ඝ නීති කෘත්‍යයේ ආරම්භය 2016 ජනවාරි 25 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය දක්වා දිව යයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති B  7417/10 නඩුව විභාග වෙමින් පැවැති අවස්ථාවේදී, එම නඩුවට කිසිදු නීතිමය සම්බන්ධතාවක් නොමැතිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණ ශාලාවට ඇතුළුව විනිසුරුවරයාගෙන් කිසිදු පූර්ව අවසරයකින් තොරව අධිකරණය අමතමින් නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස බලපෑම් කිරීම සහ අධිකරණ නියෝග පිළිනොගන්නා බව ප්‍රකාශ කරමින් පැමිණිල්ල මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයාට ද බැණ තර්ජනය කිරීම සිදු කර තිබිණි. එහිදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද පැමිණිල්ල ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වැනි ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් CA (CC)  04/2016 යටතේ උන්වහන්සේට එරෙහිව චෝදනා හතරක් ගොනු කරන ලදී.

අධිකරණයේ ගරුත්වයට සහ බලයට තර්ජනයක් වන පරිදි උන්වහන්සේ හැසිරුණු ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් අධිචෝදනා පත්‍රයේ හතරවැනි චෝදනාව මගින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයාට කළ අපහාසය පැහැදිලිව දක්වා තිබුණි. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස්ට කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම පරිභවාත්මක වචනයෙන් “නපුංසක රාජ්‍ය නිලධාරියා” ඇමතීම අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර ඇති බව එහි සඳහන් විය.

ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ අභියාචනාධිකරණය, චෝදනා හතරටම ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළේය. ඒ අනුව පළමු චෝදනාවට වසර 4ක, දෙවැනි චෝදනාවට වසර 4ක, තෙවැනි චෝදනාවට වසර 6ක සහ සිව්වැනි චෝදනාවට වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ අතර, එම දඬුවම් එකවර ගෙවී යන පරිදි වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට පත් විය. මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ප්‍රතික්ෂේප විය. සිය තීන්දුවේදී විනිසුරු ජනක් ද සිල්වා පෙන්වා දුන්නේ විනය පිටකයේ මහා වග්ග පාලියට අනුව, “අනුජානාමි භික්ඛවේ රාජූනං අනුවත්තිතං” යනුවෙන් රටේ සම්මත නීතියට ගරු කරන ලෙස බුදුරජාණන් වහන්සේ ද මහා සංඝරත්නයට දේශනා කර ඇති බවයි.

කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනි දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(අ) වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට පූර්ණ ජනාධිපති සමාව ලබා දෙන ලදී. මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ දියවඩන නිලමේතුමා කළ ඉල්ලීම් පදනම් කරගෙන මෙම සමාව දුන් බවට විධායකය වෙනුවෙන් කරුණු දක්වා තිබුණි.

නිරෝෂන් පත්බේරිය
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ

එහෙත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලේඛන පරික්‍ෂා කළ ශේෂ්ඨාධිකරණය, මෙම ජනාධිපති සමාව ලබා දීමේදී බරපතල පටිපාටිගත දෝෂ සහිත බව ප්‍රකාශ කරන ලදී. PS/LD /පොදු/24-30/2019 සහ PS/CSA /00/9/3/88 දරන ලිපිගොනු පරික්‍ෂා කිරීමේදී, 2019 මැයි 21 වන දින අතිරේක ලේකම් (නීති) ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය ඉදිරිපත් කළ නිර්දේශ සටහනට හිටපු ජනාධිපතිවරයා කිසිදු ස්වාධීන හේතුවක් හෝ සාධාරණීකරණයක් සටහන් නොකර යාන්ත්‍රිකව අත්සන් තබා ඇති බව හෙළි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) වගන්තියට අනුව අධිකරණ බලය යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත්, අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අහෝසි කිරීමට විධායකයට හිතුමනාපයේ කටයුතු කළ නොහැකි බවත් ශේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය. ජනාධිපති සමාව ලබා දීමේ බලය යනු ජනතාව වෙනුවෙන් දරන මහජන භාරයක් මිස පුද්ගලික වරප්‍රසාදයක් නොවේ. පැහැදිලි සහ ලිඛිත හේතු දැක්වීමකින් තොරව මෙලෙස තීරණ ගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ තහවුරු කර ඇති නීතියේ සමාන ආරක්‍ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බව ශේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම තීන්දුව මගින් මීට පෙර දුමින්ද සිල්වා මහතාගේ සමාව අවලංගු කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එදිරිව නීතිපති නඩුව සහ රෝයල් පාර්ක් ඝාතන නඩුවේ සමාව අහෝසි කළ කාන්තාව හා මාධ්‍ය එකමුතුව එදිරිව නීතිපති නඩු තීන්දු නැවත වරක් තහවුරු විය. අවසානයේ, ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව බලරහිත සහ අහෝසි එකක් බව ප්‍රකාශ කළ ශේෂ්ඨාධිකරණය, නීතියේ ආධිපත්‍යය හමුවේ කිසිවෙකුත් ඉහළින් නොමැති බවත්, විධායක බලතල භාවිත කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සීමාවන් තුළ හිඳිමින් බවත් යළිත් තහවුරු කළේය.