
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට ආ තුන්වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ කිසිදු පොරොන්දු ඉටුකිරීමකින් තොරව විධායක ජනාධිපති ධුරයේ දෙවැනි සංවත්සරය පසු කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන මෙයට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට ආ ජනාධිපතිවරු වෙති. ඔවුන්ගේ පාලන සමයේදී ද විධායක ජනාධිපති ධුරය පැවැති ආකාරයෙන්ම ස්ථාවර විය. ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් සෑහෙන කොටසක් ආකර්ෂණය කරගන්නා ප්‍රකට ඡන්ද පොරොන්දුවක් වන මෙය මැතිවරණ සමයේ පමණක් කරළියට නැගෙන්නකි.
2024 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන එම පක්ෂය ජනතාවට පොරොන්දු වී ඇත්තේ මේ ආකාරයෙනි.
• පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කෙරේ.
• විධායක බලතල නොමැති රාජ්‍ය නායකයා සහ සන්නද්ධ බළකායන්හි උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව මගින් පත් කරනු ලැබේ.
• විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට වගකියන අගමැතිවරයකු ප්රමුඛ පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් නැවත ස්ථාපිත කෙරේ.
ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය ජයගත්තේ එවැනි මැතිවරණ පොරොන්දුවක් ලබා දෙමිනි. එහෙත් අනුර දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් පත්ව වසර දෙකක් ගෙවී ගියත් මේ වනතුරුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන සැලසුමක්වත් වත්මන් රජයෙන් ප්‍රකාශ වී නැත. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට යාම සඳහා වත්මන් ව්‍යවස්ථාව අහෝසි කිරීම ගැන කිසිදු සැලසුමක්වත් මේ වන විටත් ප්‍රකාශයට පත්ව නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ ජේ.ආර්. හැදූ රජ පුටුවේම වත්මන් ජනාධිපතිවරයාත් ඉතා ශක්තිමත්ව වාඩිවී සිටීම පමණකි.
1977 දී හයෙන් පහක ජනවරමකින් පාර්ලිමේන්තු බලය ලැබූ ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයා එම ධුරයේ දිවුරුම් දී කළ පළමු කටයුත්ත වූයේ විධායක ජනාධිපති ධුරයක් සහ ඒ වටා ගොනු වූ පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමය. “අප ජනාධිපතිවරයකු තෝරාගැනීමේ අයිතිය මහජනතාවට ලබා දෙනවා. මහජනයා ඍජුව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තෝරාගත හැකියි. දැන් වගේ නොව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහාම වෙනම මැතිවරණයක් අපි පවත්වනවා.” එසේ කී ජේ.ආර්. 1978 පෙබරවාරි වෙද්දී විධායක ජනාධිපති ධුරය ඇතිකර එම 4 වැනිදා අභිනව තනතුරේ දිවුරුම් දුන්නේය.
විධායක ජනාධිපති ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අපූරු දායාදයක් වූයේ ‘ජනාධිපති සංස්කෘතියක්’ ස්ථාපිත වීමය. දේශපාලකයන් යටතේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබුණද ජනාධිපති සංස්කෘතියක් නිර්මාණය වූයේ 1978 දී අභිනව තනතුර ස්ථාපිත වීමෙන් පසුවය. ඒ යටතේ එතෙක් ආණ්ඩුකාරවරයාට සහ අගමැතිවරයාට තිබූ බලතල විධායක ජනාධිපතිවරයා වටා ඒකරාශි විය. එම බලතල අසීමිතය. එම අසීමිත බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාට වෙනමම රාජ්‍ය හා මන්ත්‍රී යාන්ත්‍රණයක් නිලධාරී තන්ත්රයක් ගොනු කරගත යුතු විය. ජනාධිපති සංස්කෘතිය ගොඩනැගුණේ එමගිනි. විවිධ අඩුවැඩි වීම් යටතේ එම සංස්කෘතිය අදට ද ඉතා බලවත්ව ක්‍රියාත්මක වෙයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ප්‍රබල වශයෙන් නැගුණේ 1987-89 භීෂණ සමය අවසන් වී එම භීෂණය තුරන් කිරීමේ ආනුභාවයෙන් බලවත් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තම පක්ෂයේම තමා අබිබවා යා හැකි ප්‍රබලයන් මර්දනය කිරීමට පටන්ගත් පසුවය. ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග හැප්පී පක්ෂයෙන් හා ආණ්ඩුවෙන් එළියට ආවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට සටන් පාඨයක් මතු කරමිනි. ප්‍රේමදාසට එරෙහි සටන අසාර්ථක වීමෙන් පසු ලලිත් ඇතුළත්මුදලි මෙසේ පැවසුවේය.
“විධායක ජනාධිපති ධුරය නැති කළ යුතුය යන ජනතාවගේ මතයටයි අපි නැඹුරු වුණේ. මේ නිසා මේ අර්බුදය විසඳීමට මග තමයි විධායක ජනාධිපති ධුරය අවශ්‍යද නැද්ද කියලා ජනමත විචාරණයක් මගින් ජනතාවගෙන් විමසන එක... ආණ්ඩුව අපත් සමග විවිධ ‘සාම සාකච්ඡා’වලට එන්න හදනවා... අපි දෝෂාභියෝගය ගෙනාවේ ජනාධිපතිගේ අත්තනෝමතික වැඩවලට එරෙහිව. ඒකෙ ඉරණම පාර්ලිමේන්තුවේදී විසඳෙයි. ඒත් පොදු ප්රශ්නය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම බැවින් දැන් කරන්න ඕනෑ අප සමග සාකච්ඡා කිරීම නොව විධායක ජනාධිපති ක්‍රමය සුදුසුද නැද්ද කියල අහල ප්රජාතන්ත්රවාදී ලෙස ජනතා කැමැත්ත ලබා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමයි.” ලලිත් ඇතුළත්මුදලි එදා කීවේය.
එහෙත් එවැනි ජනමත විචාරණ නොපැවැත්විණි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේත් ලලිත් ඇතුළත්මුදලිගේත් ඝාතනවලින් පසු 1994 පැවැති ප්‍රධාන මැතිවරණ දෙකට චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. ඇය ඒ පිළිබඳව ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා සමග ප්‍රසිද්ධ ගිවිසුමකටද එළඹ ඔහු තරගයෙන් ඉවත් කරගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වූවාය. ජයග්රහණයෙන් පසු ඇය විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ අතර ආරම්භක විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනත් භාවිත නොකළ බලතල පවා භාවිත කරමින් විධායක ජනාධිපති ක්‍රමය වඩාත් වර්ධනය කර ශක්තිමත් කළාය.
මෙරට විධායක ජනාධිපති ධුරය බිහිවූ පසු මහා පරිමාණ වෙළෙඳුන් හා ආනයන ක්ෂේත්රයේ නිරත ව්‍යාපාරිකයන් තම කටයුතු සිදු කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ රැස් වළල්ලේ අනුග්‍රහය ලබමිනි. මේ බොහෝ දෙනා දහස් ගණන් සේවකයන්ට රැකියා ලබාදුන් සුවිශාල සමාගම්වල හිමිකරුවන් වුවද විවිධ සුවිශේෂී අණ පනත් හෝ ඉහළම ප්‍රභූවරුන්ගේ කටවචනය මගින් හෝ වාර්ෂික ආදායම් බදු නොගෙවා සිටීමේ වරමද හිමිය. ඒ බදු සැලකෙන්නේ අය කරගත නොහැකි බදු හැටියටය. සාමාන්‍ය ගැමියකුට බැංකු ණයක් ලබාගැනීම අතිශය දුෂ්කර වුවත් මෙම සුපිරි පෙළේ ව්‍යාපාරිකයන්ට අඩු පොලියට විශාල ණය මුදල් ලැබෙන්නේ රැස් වළල්ලේ අනුග්රහයෙනි. මේ ණය බොහොමයක් කිසි දිනක ආපසු අය නොකෙරෙන ඒවාය. ඒවා සමාජයේ කතාබහට ලක්වන්නේ බොල් ණය හැටියටය. ජනාධිපති සංස්කෘතිය ඉකුත් දශක හතරකට ආසන්න කාලයක් මෙවැනි අති විශාල ප්‍රමාණයේ බොල් ණය සඳහා අනුග්‍රහය දැක්වීය. බොහෝ ජනපතිවරුන්ගේ සුවිශාල මැතිවරණ වියදම් සඳහා බරපැන ලබාදුන් මෙවැනි සුපිරි ව්‍යාපාරිකයෝ පෙරළා ලැබෙන මුදලකින් සෑහීමකට පත් වෙති. එම ණය වසර ගණනකට පසු බොල් ණය ලෙස කපාහැරීමේ භාග්යයටද ලක්වෙයි.
ජනාධිපති සංස්කෘතියේ රැස් වළල්ල එයටත් වඩා බොහෝ විශාලය.
විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඇතිකරන ලද නව්‍ය පාලන ක්රමයේ වැදගත්ම ස්ථානය ගන්නේ දේශපාලකයාය. ජනාධිපතිට ජනතාව සියලු පාලන බලතල ජනාධිපතිවරණයේදී ඔහු අතට පත්කළ පසු ඇමැතිවරුන් තෝරාගනිමින් එම ඇමැතිවරුන් අතට අමාත්‍යංශ පාලන බලතල බෙදා දෙන්නේ ජනාධිපතිවරයාය. ඇමැතිවරුන්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශවල මූල්‍ය පාලනය භාරවෙන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. එහෙත් 1978 බිහිකළ නව්‍ය ආණ්ඩු ක්‍රමය යටතේ අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ සර්ව බලධාරී මූල්‍ය පාලකයා නොවේ. නිරතුරුවම ඔහුට ඉහළින් සිටින්නේ ඇමැතිවරයාය. ඔහු ලබාදෙන මූල්‍ය උපදෙස් මිලදී ගැනීම් සඳහා තම අත්සනින් එය නීත්‍යනුකූල කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාය. මෙවැනි තත්වයක් මත ඇමැතිවරයා ලබාදෙන ඕනෑම මූල්‍ය වියදමක් ඉටුකර දීමට ලේකම්වරයා බැඳී සිටී. එසේ නොකෙරතොත් ජනාධිපතිවරයාට පැමිණිලි කර වෙනත් ලේකම්වරයකු තම අමාත්‍යංශයට ලබා ගැනීමට ඇමැතිවරයාට හැකියාව ඇත. එවිට පෙර කී ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට හෝ වෙනත් අමාත්‍යාංශයකට මාරු කෙරෙන්නේ ක්ෂේත්රයේ වැදෙන හංවඩුවකුත් සමගය. එහෙයින් තම ඇමැතිවරයා කියන දේ ඉටු කරමින් ඔහු සමග හොඳින් රාජකාරි කිරීමට ලේකම්වරු නිරතුරුව වගබලා ගනිති. විධායක ජනාධිපති ක්‍රමය යටතේ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිය. ඒ නිසා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයාගේ අණට අතිශය කීකරු ය.
පසුකාලීන විවේචකයන් කුමක් කීවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් බිහිකරන ලද විධායක ජනාධිපති ක්‍රමයෙන් ඒකාධිපති පාලකයකු බිහිවුණා සේම කුමන හැලහැප්පිලි මැද වුවත් ශ්‍රී ලංකා ජනරජය ස්ථාවර විය. 1987-89 කැරලි සමයේ ශ්‍රී ලංකා ජනරජය ස්ථාවරව පැවතියේ විධායක ජනාධිපතිවරයා සියලු සන්නද්ධ හමුදා මෙහෙයවමින් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පාලනය කළ නිසාය. දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු අනුමැතිය පසුව ගැනීමට ඉඩ තබාගෙන ජනාධිපතිවරයාට නීති පැනවීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලය තිබේ. උතුරේ යුද ගැටුම අවසන් කළ අවසන් සටනේදී විධායක ජනාධිපති ධුරයේ වටිනාකම හොඳින්ම පෙනුණේය. එලෙසම දෝෂාභියෝග යෝජනාවක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේම අත්සනින් ප්‍රේමදාස ජනාධිපතිවරයා බලයෙන් නෙරපීමට ගත් වෑයම අසාර්ථක කරන ලද්දේ ද විධායක ජනාධිපති ධුරයේ පවතින අති විශාල බලය නිසාය. මේ සියලු අවස්ථාවලදී විධායක ජනාධිපතිගේ රැස්මාලාව යටතේ ජීවත් වන අති විශාල පිරිසකගේ සහාය රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට ලැබුණි.
ජේ.ආර්. ජයවර්ධන යටතේ අගමැති ප්‍රේමදාසටද ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ඩී.බී. විජේතුංගටද චන්ද්‍රිකා යටතේ රත්නසිරි වික්රමනායකටද මහින්ද රාජපක්ෂ යටතේ දිමු ජයරත්නටද ඇමැතිවරයකුට වඩා වැඩි බලයක් ලැබුණේ නැත. ඒ සියලු දෙනාම සිටියේ විධායක ජනාධිපතිවරයා අතින් විසිවන කුඩා බලයක් අතට ගෙන එය මහා බලයක් සේ රටට පෙන්වමිනි. අනුර දිසානායක යටතේ හරිනි අමරසූරියටද එකී අගමැතිවරුන්ට වඩා දශමයකවත් වැඩි බලතල ලැබී නැත. එදා මෙදා තුර සියලු විධායක බලතල ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳි අයුරින් වත්මන් ජනාධිපති යටතේද සියලු විධායක බලතල ගොනුවී තිබේ. මැතිවරණයට පෙර විධායක ජනාධිපති බලතලවලට එරෙහි ප්‍රකාශ සිය දහස් වාරයක් තෙපලූ අනුර දිසානායක ජනාධිපතිවරයා අද එම විධායක ජනාධිපති පුටුවේ වාඩිවී සිටින්නේ එකී සියලු ප්‍රකාශ අමතක කළ අයුරිනි.
ප්‍රේමකීර්ති රණතුංග

