ජනාධිපති මේ හදන්නේ රටේ ප්‍රශ්න වෙනතකට හරවන්නයි


ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී

නලින්ද ජයතිස්ස

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු කාලීන දේශපාලන මාතෘකා පිළිබඳ මේ අදහස් දැක්වීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙනි.

?වර්ජන, මර්දන, උද්ඝෝෂණ වගේම මැතිවරණ උණුසුමත් එන්න එන්නම වැඩිවෙනවා. ​මේ අවස්ථාව මේ රටේ දේශපාලන හැසිරීම ගැන අදහස කොයි වගේද?


ඉතාම බරපතළ ආර්ථික අර්බුදයක රට තියෙන්නේ. සමහර තැනක පෝලිමක් දෙකක් නෑ කියලා මතුපිටින් පෙනුනට අර්බුදය ඉවර නෑ. රටට දැනෙන සහනයක් නෑ. රනිල් වික්‍රමසිංහත් එක එක කතන්දර කියන කතන්දර අාතා කෙනෙක් විතරයි. එයාටත් තියෙන්නේ උත්සව මේනියාව. එහෙම නැතුව රට ගොඩගන්න සැබෑ උත්සාහයක් නෑ. එයාගෙ බල ව්‍යාපෘතිය විතරමයි එයාගෙ ඔළුවෙ වැඩ කරන්නේ. ඇත්තටම ගත්තොත් මෙහෙම රටක් ගෙනියන්න බෑ. අපි කියන්නේ මේ ප්‍රශ්නවලට උත්තරයක් හොයා ගන්න නම් ඒ ප්‍රශ්න ගැඹුරින් තේරුම් ගන්න. ඒකට උත්තර හොයන්න පුළුවන් කණ්ඩායමකට රටේ බලය මාරුවන්න ඕනෑ කියලා. ඒක තීන්දු කරන්නේ රටේ ජනතාව. ඒකට අවශ්‍ය වටපිටාව සකසන එක තමයි ආණ්ඩුව කළ යුතු දේ.


?ඒ අස්සේ 13 ගැන හදිසි කතාබහක් කරළියට ඇවිත්...


මේ වෙලාව 13ක් ගැන රටේ කිසිම කතාවක් නැති වෙලාවක්. දෙමළ මුස්ලිම් පක්ෂවත් මේ ගැන කතාවක් නෑ. මේ වෙලාවෙ මොකද ඊට වඩා බරපතළ ආර්ථික ප්‍රශ්න රාශියකින් රට අමාරුවෙ වැටිල තියෙන්නේ. මේ ප්‍රශ්න සියල්ල පැත්තක තියෙද්දි ඉන්දියාවත් නොකියපු, ටී.එන්.ඒ. එකත් නොකියපු, මුස්ලිම් පක්ෂත් නොකියපු 13ක් ගැන රනිල් වික්‍රමසිංහට ඇතිවෙලා තියෙන හදිසිය මොකද්ද. ඒක හරි පැහැදිලියි. ඔහු මේක සැළසුම්සහගතව කරළියට ගෙනාපු එකක්. ඔහුට මුහුණ දෙන්න බැරි රටේ ප්‍රශ්න වෙනතකට හරවන්න තමයි මේ උත්සාහය. හැමදාම වගේ රනිල් ගහන එක එක තුරුම්පුවලින් එකක් තමයි මේකත්. අඩුම තරමෙ මේක රනිල් වික්‍රමසිංහ තමුන්ගේ කැබිනට් එකේවත් සාකච්ඡා කරලද මේ ගැන දිගින් දිගට කතා කරන්නේ. ආණ්ඩුවෙ තීන්දුව මොකද්ද මේ ගැන. අපි කියන්නේ රනිල්ගෙ මේ උප්පරවැට්ටිවලට අහුවෙන්න එපා කියලා.


?මේ සඳහා ඉතා වේගවත්ව ප්‍රතිචාර දක්වන තවත් කණ්ඩායම්වල හැසිරීම ගැනත් ජනතාව අතර සැකයක් ඇතිවෙලා වගේ.


13 ක්‍රියාත්මක කිරීම ගැන රනිල් ප්‍රකාශ කරල අනිත් පැත්ත හැරෙන්න කලින් සරත් වීරසේකර මේක අතට ගත්තා. ඔහු කියන්න ගත්තා මේ ඡන්දය රට බෙදනවද නැද්ද කියල තීන්දු වෙන ඡන්දයක් කියලා. ඊට පස්සෙ විමල් වීරවංශල මේක අතට අරන් තියෙනවා. දැන් එයාලත් රට හැමතැනම ගිනි තියාගෙන යනවා. දැන් ඒ වීරසේකරලා, වීරවංශලා ඇතුළු කණ්ඩායම් කරමින් ඉන්නේ රනිල් වික්‍රමසිංහගෙ වුවමනාව. අපි දන්නෙ නෑ මේ වෙනුවෙන් රනිල් ඔවුන්ට පහසුකම් සපයනවද කියලත්. මෙයාල කරමින් ඉන්නේ රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් කියන එක හරි පැහැදිලියි.


?දැන් රටම බලාගෙන ඉන්නේ ඉස්සරහට එන පුංචි ඡන්දෙ දිහා. ඔබලට මේකෙ තියෙන අභියෝගය නම් පුංචි නෑ නේද?


ඉතිහාසයේ මේ තරම් ජාතික ජනබලවේගයට එරෙහිව අපේ ප්‍රතිපත්තිවලට එරෙහිව අපේ ප්‍රතිවාදීන් පහර ගහපු අවස්ථාවක් නැති තරම්. අද අපි තමයි මේ අනෙකුත් හැම කඳවුරකම පොදු සතුරා වෙලා තියෙන්නේ. දැන් වේදිකාවල වැඩිපුරම කතා කරන්නේ අනුර දිසානායක ගැන. එන්.පී.පී. එක ගැන. ඒකෙන්ම පේනවා අපි ඒ අයට කොයිතරම් අභියෝගයක් වෙලාද කියලා. අද තනිකරම අපි ඉලක්ක කරගත්ත කැම්පේන් එකක් ක්‍රියාත්මක වෙනවා. අපේ ඉස්මතුවීම දැන් හරි පැහැදිලියි. අපේ ජයග්‍රහණය ගැන මතුවෙමින් තියෙන බලාපොරොත්තුව ඉවසන්න බැරි පිරිස ගොඩක් කලබලවෙලා තියෙනවා. විවිධ සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අපට ලැබෙමින් පවතිනවා. ඒ හැම එකකින්ම කියවෙන්නේ එන්.පී.පී. එකේ පැහැදිලි ජයක් පිළිබඳ ඉඟි. ඉතින් අපේ ප්‍රතිවාදීන් කලබලවීම ගැන පුදුමයක් නෙවෙයි.


අපි මේක නිකම්ම නිකම් ගමේ ඡන්දයක් කියන තැනට ලඝු කරන්නේ නෑ. රටේ මේ තියෙන බරපතළ ප්‍රශ්න ටික විසඳන්න නම් ආණ්ඩු බලයක් අවශ්‍යයි. ආණ්ඩු බලයක් ගන්න වෙන්නේ මහ මැතිවරණයකින්. ඒකට අපි මහ මැතිවරණයක් දිනා ගන්න ඕනෑ. රනිල් හෝ මේ ආණ්ඩුව මහ මැතිවරණයක් දෙන්න සූදානම් නෑනේ. අපි ගන්න ඕනෑ. අපි ජනතාවට කියන්නේ මේ පළාත් පාලන මැතිවරණය යොදාගන්න ආණ්ඩු විරෝධයේ තරම පෙන්වන්න. ඊට පස්සේ ඒ හරහා මහ මැතිවරණයක් දිනා ගන්න පුළුවන්. මාර්තු 10 වැනිදා ප්‍රතිඵල කියද්දි මේ රටේ සිතියමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මාලිමාවෙ පාටින් ලකුණු වුණොත් අපි මාස තුනක් ඇතුළත රටේ ජනතාවට මහ මැතිවරණයක් අරගෙන දෙනවා. එතනින් බලය අරගෙන රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා රටට අලුත් නායකත්වයක් ගෙනල්ලා රට හරි පාරට ගේන්න පුළුවන්.


?ඔබ ගැන කතා කෙරුවොත් පානදුර නගර සභාවේ සභාපති පුටුවට කොච්චර දුරින්ද දැන් ඉන්නේ?


මම හිතන්නේ පානදුර වගේම මුළු රටේම බහුතර පළාත් පාලන ආසන ගණනක ජයග්‍රහණය අපිට හිමිවෙන එක ගැන සැකයක් නෑ. ජනතාව ඉන්නේ ඊළඟ පාලනය මාලිමාවට දෙන්න තමයි. ඒ ගැන ජනතාවට දෙගිඩියාවක් නෑ. අපි ඒ සඳහා කොතරම් බරක් යොදලා තියෙනවද කියලත් ජනතාව අවබෝධ කරගනිමින් ඉන්නේ. මම පානදුර නගර සභාවට ඉල්ලනවා. ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මාතර මහ නගර සභාවට ඉල්ලනවා. වසන්ත සමරසිංහ අනුරාධපුර මහ නගර සභාවට නලින් හේවගේ ගාල්ල මහ නගර සභාවට, සමන්ත විද්‍යාරත්න බදුල්ල මහ නගර සභාවට ඉල්ලනවා. ජාතික ජනබලවේගයේ ජාතික මට්ටමේ නියෝජනය කරන හැම දෙනාම මේකට බැහැල ඉන්නේ. මොකද අපිට ඕනැවෙලා තියෙනවා මේක ජාතික මැතිවරණයක් බවට පෙරළගන්න.


?ඔබ කියන්නේ මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයේදී සිතියමේ වැඩි හරියක් NPP එකේ පාටින් ලකුණු වෙනවා කියලා. අනිත් අය කියන්නෙත් ඒකමනේ?


අපි ප්‍රතිඵලය ආවම කාගේ අදහසද හරිගියේ කියලා බලමු. ඒ අයත් ඉතින් එයාල පරාදයි කියල කියන්නේ නෑ. හැබැයි රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි කොයි විදියටද ඡන්දයේදී හැසිරෙන්න ඕන කියලා. බිමේ දේශපාලනයේදී ඔය අනිත් කණ්ඩායම් කීපය අතරට තරගයක් නෑ. ඒ අය විටින් විට එකට එකතුවෙන පිරිස. එයාල හැම දෙනාගෙම එකම පැතුම මාලිමාව වට්ටන්නෙ කොහොමද කියන එක. ඔය කවුරුවත් අපිට නම් අභියෝගයක් නෙවෙයි.

 

සටහන :  
ප්‍රියන්ත කොඩිප්පිලි