ජනතාව මේ දෙසිය විසිපහ ගැනම කලකිරිලා ඉන්නේ


පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

  • ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීමට අපේ රටේ රසායනාගාර පහසුකම් නෑ කියලා අනාවරණය වුණා. ඒ වෙලාවේ ඛනිජ තෙල් සංස්ථාව කිව්වා පරීක්ෂා කරන්න පහසුකම් නෑ. නමුත් ගණනය කරලා දෙන්නම් කියලා. එහෙම ගණනය කළාට පස්සේ කිලෝ ග්‍රෑම් දොළහමාර කිලෝ ග්‍රෑම් 9.5 කරලා තමයි ගණන අඩු කළේ. ඊට වඩා වැඩි ගණනක් අඩුකළ යුතුව තිබුණත් ඒ ගණන අඩු කරන්නෙත් නැතිව පාරිභෝගිකයා මුලා කිරීමේ තත්ත්වයක් ඇතිවෙච්ච නිසා තමයි ඒ තත්ත්වය ඇති වුණේ.
  • අපිට කවුරු කොහොම බැන්නත් අපිට ඒවා අදාළ නෑ. අපි සම්බන්ධ වුණේ ජනාධිපතිතුමත්, මහින්ද රාජපක්ෂ මැතිතුමත්, බැසිල් රාජපක්ෂ මැතිතුමත් සමග සාකච්ඡා කරලා මිසක් ඔය පල්ලෙහා මට්ටමේ කා එක්කවත් කතා කරලා නොවෙයි. ඒ ගොල්ලෝ දන්නෙත් නෑ අපි සාකච්ඡා කළ බව.

 

ගෑස් පිපුරුම් නිසා ජන ජීවිතය සැලුම් වෙවුළුම් කා තිබේ. මේ ඒ ගැනත් රටේ දේශපාලන තත්ත්වය ගැනත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- ගෑස් මිල දෙගුණයකින් වැඩි කරලත් ගෑස් ටික හරියට දීගන්න ආණ්ඩුවට බැරිවුණා. ඇත්තටම මොකද වුණේ?


පිළිතුර:- මුළු ලෝකයේම ගෑස් මිල වැඩිවෙලා තියෙනවා. ඒ නිසා තමයි ලංකාවේ ගෑස් මිල වැඩි කරන්න වුණේ. ඒ වගේ අපේ රටේ ගෑස් පාවිච්චි කරන්න පටන් ගත්ත පළමු දවසේ ඉඳන් මේ සිද්ධිය ඇතිවෙන තාක්කල් කිසිදු රාජ්‍ය ආයතනයක් මේ සම්බන්ධයෙන් නියාමනයක් නොකිරීමේ ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම ගෑස් කිව්වම ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළයුතු ව්‍යාපාරයක්. නමුත් ඒ ගෑස්වල තිබෙන අවදානමත් එක්ක බලපුවාම ඊට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාවලිය හා ආනයන ක්‍රියාවලියේ තිබුණු අඩුපාඩුකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි අපට මේ ප්‍රශ්නයට මුහුණපාන්න සිදුවුණේ.


ප්‍රශ්නය:-ගෑස් සිලින්ඩරයෙ සංයුතිය වෙනස් කිරීම මෙයට හේතුවක් බව ඔබ කිව්වා. කවුද ඒ තීරණය ගත්තේ?


පිළිතුර:- මුලින්ම අපේ රටේ ගෑස් සම්බන්ධයෙන් තියෙන ප්‍රමිති සංයුතියක් නෑ. ඒක තමයි අපට මුල්ම ගැටලුව බවට පත්වන්නේ. දැන් අධිවේගී මාර්ගය ගත්තොත් වේගය 100යි. ඊට වැඩි වේගයකින් ගියොත් අල්ලනවා. එතකොට අපේ රටේ ගෑස් මනින්න තියෙන මිම්ම සංයුතියෙ කතාවක් නෑ. පීඩනය දාලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නය බවට පත්වෙලා තියෙන්නේ. ඒක නිසා මේ දක්වා කිසිදු ආකාරයක සංයුතිය පිළිබඳව ගෙන්වන සමාගම් වෙන්න පුළුවන් ඒවා නියාමනය කරන සමාගම් වෙන්න පුළුවන් මේ පිළිබඳව අවධානය යොමු කරලා නෑ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය තම රාජකාරිය හරියට ඉටු කරලා නෑ කියලද ඔබ කියන්නේ?


පිළිතුර:- නෑ. විශේෂයෙන්ම කිලෝ ග්‍රෑම් දොළහමාර ලීටර් 18 බවට පත් කළාට පස්සේ මේ ප්‍රශ්නය ඇති වුණා. මේ ප්‍රශ්නය ඇතිවුණ අවස්ථාවේදී ඒ කියන්නේ අප්‍රේල්-ජූනි මාසවලදී පාරිභෝගික සේවා අධිකාරිය අධිකරණමය ක්‍රියා මාර්ග අරගෙන ඒවා වෙළෙඳ​පොළෙන් ඉවත් කරන්න කටයුතු කළේ. එතකොට ඒ වෙලාවේ මේ ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීමට අපේ රටේ රසායනාගාර පහසුකම් නෑ කියලා අනාවරණය වුණා. ඒ වෙලාවේ ඛනිජ තෙල් සංස්ථාව කිව්වා පරීක්ෂා කරන්න පහසුකම් නෑ. නමුත් ගණනය කරලා දෙන්නම් කියලා. එහෙම ගණනය කළාට පස්සේ කිලෝ ග්‍රෑම් දොළහමාර කිලෝ ග්‍රෑම් 9.5 කරලා තමයි ගණන අඩු කළේ. ඊට වඩා වැඩි ගණනක් අඩුකළ යුතුව තිබුණත් ඒ ගණන අඩු කරන්නෙත් නැතිව පාරිභෝගිකයා මුලා කිරීමේ තත්ත්වයක් ඇතිවෙච්ච නිසා තමයි ඒ තත්ත්වය ඇති වුණේ. ඒ අවස්ථාවේ අපි පවත්වපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට අපේ රටේ ගෑස්වල ප්‍රමිතිය ගැන ප්‍රමිති ආයතනය විද්වත් කමිටුවක් පත්කරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග අරගෙන තිබුණා. ඒ වැඩේට සාමාන්‍යයෙන් අවුරුද්දකට කිට්ටු කාලයක් යනවා. ඒ අනුව සැප්තැම්බර් 16 වැනිදා පුවත්පත් තුනකම පළ කළා. ඒ විද්වත් මණ්ඩලය සකස් කරන ලද ගෑස්වල ප්‍රමිතිය සංශෝධනය කිරීම පිළිබඳ කෙටුම්පත මෙන්න මේකයි මේ ගැන තව දුරටත් උනන්දුව දක්වන අයට මහජන අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඒ පුවත්පත් දැන්වීම්වලට අනුව කිසිදු ආකාරයක සිවිල් සංවිධානයක් දේශපාලන පක්ෂයක් මාධ්‍ය ආයතනයක් අපි කවුරුවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණේ නෑ. ඒ නිසා ප්‍රමිති ආයතනයත්, පාරිභෝගික සේවා අධිකාරියත් මේ ප්‍රශ්නය ඇතිවෙන්න පෙර මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවේ ඉල්ලීම පරිදි රසායනාගාරයක් අපි හදා ගත්තා. මේ වෙලාවේ ඛනිජ තෙල් සංස්ථාව අපිට උපකාරි වුණා රාජ්‍ය ආයතනයක් තුළ පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ගත යුතු හැම පියවරක්ම අරගෙන තියෙනවා.


ප්‍රශ්නය:- පාරිභෝගික සේවා අධිකාරිය කියනවා කලින් දුන් සිලින්ඩර වහාම ගෙන්වනවා කියලා.


පිළිතුර:- අපේ රටේ තුනෙන් එකක් එල්.ටී.ටී.ඊ. සංවිධානය අල්ලා ගත්තා. අල්ලා ගත්තාම පැති කිහිපයකින් සේනාංක අඩියෙන් අඩිය ඉස්සරහට ගියා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපට අවශ්‍ය වෙලා තිබුණේ රට මුදා ගැනීම. එම අවශ්‍යතාව වෙනුවෙන් පියවරෙන් පියවර ඉදිරියට ගියා. ඒ විදියට අපට මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ පාරිභෝගිකයා මේ මොහාතේ බියෙන් ඉන්නේ. අපේ අවසාන අරමුණ මේ තත්ත්වය කඩිනමින් තුරන් කිරීම. ඒක තමයි ඉලක්කය. ඒක අපිට පැයකින් කරන්න පුළුවන්නම් ඒ දේ කරනවා. එතැනට යාම සඳහා මූලික පියවරක් හැටියට ජනතාව දැනුවත් කිරීමේ කටයුතු අදාළ සමාගම් කරගෙන යනවා. ඊළඟට තියෙන්නේ රටට ඇතුල්වෙන ඒවා සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කර වෙළෙඳපොළට නිකුත් කිරීමයි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේදීත් පීඩනය බලලා ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන අලුත් ස්ටිකරයකුත් අලවලා තමයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. ඊළඟ පියවර තමයි ගෙවල්වල තියෙන ගෑස් සිලින්ඩර අදාළ සමාගම් පරීක්ෂාවට ලක් කරන්නේ. වෙළෙඳපොළේ ලක්ෂ 80ක් විතර සිලින්ඩර තියෙනවා දවසකට අසූදාහක් විතර තමයි නිකුත් කරන්නේ. නිකුත් කරපුවා තමයි මේ ගන්න යන්නේ. ඒක නිසා මේක පැය 24කින් කරන්න බෑ. පියවරෙන් පියවර අපි ඉදිරියට යනවා. අපේ අවසන් අරමුණ පාරිභෝගිකයාට තියෙන සාධාරණ සැකය හා බිය තුරන් කිරීමයි.


ප්‍රශ්නය:- ගෑස් අලාභහානිවලට වන්දි ගෙවන්නේ කොහොමද? වන්දිය ගණනය කරන්නේ කොහොමද?


පිළිතුර:- ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් හා වෙනත් අවශ්‍ය නිලධාරින් සම්බන්ධවෙලා කට උත්තර ගන්නවා. නිරීක්ෂණය කරනවා. ඡායාරූප ගන්නවා. ඒ ගන්න තොරතුරු අපි වෙනමම අධ්‍යයනය කරනවා. කෙසේ හෝ පාරිභෝගිකයාට සාධාරණය ඉටුවිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අමාත්‍යංශ්‍ය ඉන්නේ.


ප්‍රශ්නය:-හාල් මිල තීරණය කරන්නේ වී මෝල් හිමියෝ. ගෑස් සිලින්ඩරයේ සංයුතිය තීරණය කරන්නේ සමාගම්. මේ රට ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලාද?


පිළිතුර:- විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. ආණ්ඩුව මොනම ආකාරයකින්වත් වගකීමෙන් ඉවත්වෙලා නෑ. පාලන මිල අපි ඉවත් කළා. සීනි සහල් වැනි දෑ අපි පාලන මිලක් දාලා තියෙනකොට හිඟය හා මිල වැඩිවීම දෙකම තිබුණා. දැන් පාලන මිල අයින් කළාම මොකද්ද? වෙලා තියෙන්නේ. අපි සීනි ගත්තොත් පිටකොටුවේ තොගමිල 123යි. අපි ගැසට් එක ගහලා තියෙනකොට රුපියල් 210ටත් ගියා. ඒ නිසා පාලන මිල තිබුණ කියලා බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉටුකරගන්න ලැබෙන්නේ නෑ. ඊළඟ ප්‍රශ්නය තමයි ඇයි එහෙනම් ගැසට් ගැහුවේ කියලා. ඔව්! ගැසට් ගැහුවා. අපේ චේතනාව තිබුණේ මිල පාලනය කිරීමයි. ඒක අසාර්ථකයි නම් ඒක ඉවත් කරගන්න අපි නිහතමානි වුණා. ඒ නිසා අපි පාලන මිල ඉවත් කළාට සතිපතා මිල ගණනය කරනවා. තොරතුරු ලබා ගන්නවා. ඒ විදියට අපි මැදිහත් වෙනවා.


ප්‍රශ්නය:-- කාබනික පොහොර ප්‍රශ්නය ගත්තත් විශාල විනාශයකට පස්සේ තමයි ඒ තහනම ඉවත් කළේ. ආණ්ඩුව සාකච්ඡා කරලා නොවෙයිද මේ තීන්දු ගන්නේ?


පිළිතුර:- මම වෙළෙඳ කටයුතු සම්බන්ධව ඔබ අහපු හැම ප්‍රශ්නයකටම මම පිළිතුරු දුන්නා. ඒ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න. මගේ පක්ෂය ගැනත් ඕනම ප්‍රශ්නයක් අහන්න.


ප්‍රශ්නය:-ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දෙනවා කියලා සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කළා. කට්ටිය බලයෙන් මත්වෙලාද?


පිළිතුර:- අපි සියලුම දෙනාම තේරුම් ගන්න ඕනෑ වර්තමාන ජනතාව මේ 225ම කෙරෙහි කළකිරිලා ඉන්නේ. ඒක අපි අවබෝධ කරගෙන කටයුතු කළොත් වර්තමාන පාර්ලිමේන්තුවටත් අනාගත පාර්ලිමේන්තුවටත් ඉතාම හොඳයි. ඒ වගේම අපි අවංක වෙන්න ඕනෑ. අපිට බොරු කියන්න පුළුවන්කමක් නෑ. ජනතාව මුළා කරන්න පුළුවන්කමක් නෑ. අපි ආදර්ශමත් වෙන්න ඕනෑ, ඒ නිසා මගේ පෞද්ගලික මතය අපි විනයකරුකව ආදර්ශවත්ව ජනතාව රවටන්නේ නැතිව කටයුතු කළොත් තමයි මේ තියෙන තත්ත්වයෙන් අපට ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ. එය වචනයට සීමා නොවිය යුතුයි. අවංකවම ක්‍රියාත්මක කළ යුතුයි. මැර දේශපාලනය, ගහ බැණ ගැනීම් මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළත් පිටතදීත් එහෙම තමයි.


ප්‍රශ්නය:- රාවයක් යනවා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40ක් ආණ්ඩුවෙන් එළියට යනවා කියලා. ඒ ගැන මුකුත් ඔබ දන්නවද?


පිළිතුර:- එහෙම දෙයක් මම දන්නෙවත් නෑ

.
ප්‍රශ්නය:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න කියනවා. හවුල්කාර පක්ෂවල නායකයන්ට ගහනවා. මෙහෙම කොහොමද ආණ්ඩුව ඉස්සරහට යන්නේ?


පිළිතුර:- අපි හැටේ දශකයෙ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය නායකත්වය දීපු සන්ධාන ආණ්ඩු පවත්වාගෙන ආවා. ඒ ආණ්ඩුවලට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දැන් නායකත්වය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සන්ධානගත වුණාට පස්සේ සන්ධානයේ ප්‍රධාන පක්ෂයට තමයි වගකීම පැවරෙන්නේ. අනෙකුත් සම්බන්ධ වුණ පක්ෂ සමග ප්‍රශ්න ඇති කර නොගෙන යෑම. ඒ නිසා ප්‍රධාන පක්ෂය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.


ප්‍රශ්නය:-ඇයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඔබලාට පහර දෙන්නේ? ඒ පිළිබඳව ඔබේ ගණන් බැලීම?


පිළිතුර:- 2015 දී අපි වැඩ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි කවුරුවත් ඡන්දෙ දුන්නේ නෑ. නමුත් අපි ආණ්ඩුවට ගියා. මේ පාර අපි ආණ්ඩුවට ගියේ. අපි අනුන්ගේ පින් ආණ්ඩුවකට ගියේ නෑ. ජනාධිපතිවරණයේදිත් මහ මැතිවරණයේදීත් අපි දැවැන්ත කාර්ය භාරයක් මේ ජයගහණය වෙනුවෙන් ඉටුකළා. අපිත් මේ ජයග්‍රහණයෙ කොටස් කාරයෝ. මම ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම් 495ක් කළා. එහෙම කරලා තමයි ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් බලයට පත් කර ගත්තේ. මේ තුළ අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඇතිවෙලා තියෙන තත්ත්වයන් වෙනස් කරන්න ප්‍රධාන පක්ෂයේ නායකත්වය පියවර ගත යුතුයි.


ප්‍රශ්නය:- පක්ෂ නායකත්වය එහෙම කරයිද?


පිළිතුර:- අපිට කවුරු කොහොම බැන්නත් අපිට ඒවා අදාළ නෑ. අපි සම්බන්ධ වුණේ ජනාධිපතිතුමත්, මහින්ද රාජපක්ෂ මැතිතුමත්, බැසිල් රාජපක්ෂ මැතිතුමත් සමග සාකච්ඡා කරලා මිසක් ඔය පල්ලෙහා මට්ටමේ කා එක්කවත් කතා කරලා නොවෙයි. ඒ ගොල්ලෝ දන්නෙත් නෑ අපි සාකච්ඡා කළ බව. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පක්ෂ සම්මේලනයේදී කිව්වා කළ යුත්තේ කුමක්ද කියලා. ජනාධිපතිතුමා අපට මේ වනතෙක් කිසිම චෝදනාවක් කරලා නෑ. ඒ නායකයන්ට ඕනෑ අපිත් එක්ක මේ ගමන යන්න. ඒ අවශ්‍යතාව ක්‍රියාවට නැංවීම මෙම ප්‍රශ්නවලට තියෙන එකම පිළිතුරයි.


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා පක්ෂ නායකයා නොවීම මේ ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව නේද?


පිළිතුර:- ඒක තමා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ප්‍රධාන නායකයන් සමග හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒ අය තීරණය කළ යුතුයි කුමක්ද කළ යුත්තේ කියලා.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්