
බිමල්ට-ලාල්ට ජනපති කී දේ
ඉරාන යුද තත්ත්වය නිසා ආණ්ඩුව ඉන්ධන විදුලිය ඇතුළු අංශ කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වාගෙන යන්නට උත්සාහ දරයි. මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ගැටලු ඇතිවිය හැකි සෑම ක්ෂේත්‍රයකම ආවරණය වන පරිදි ජනාධිපතිවරයා කමිටු හතරක් පත් කළේය. ඒ සෑම කමිටුවක්ම මේ වන විට දෙවතාවක් පමණ කැඳවා සාකච්ඡා කර ඇත. ජනාධිපතිවරයා පෞද්ගලිකවම එම කමිටුවල කටයුතු ගැන සොයා බැලුවේය. විශේෂයෙන්ම උත්සව සමයත් ළඟ එන නිසා ජනතාවට භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම සඳහා අදාළ කමිටුවලට උපදෙස් ලබා දුන්නේය.
‘‘අපි පුළුවන් උපරිම විදිහටම මේ රට විවෘත කර තබන්න ඕනෑ. හැම ක්ෂේත්‍රයකම යම් සීමාවක් තුළ හෝ වැඩ ටික කෙරෙන්න ඕනෑ.’’ ජනාධිපතිවරයා පැවසුවේ අගමැතිනියත් බිමල් රත්නායක, විජිත හේරත් සහ ලාල් කාන්ත යන ඇමැතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.
‘‘ඒක ඇත්ත සහෝදරයා අපි ගිය අවුරුද්දේ එකතු කරගත් ආදායම නිකම්ම වියදම් කරල බෑ. මේ අවුරුද්දේත් තව ආදායම් එකතු කරන්න ඕනෑ. එතකොට තමයි බයක් නැතිව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජනතාව ළඟ සල්ලි තියෙන්නත් ඕනෑ. ඒකට රට සක්‍රියව තියෙන්නත් ඕනෑ. සජිත්ලා නාමල්ලා බලාගෙන ඉන්නේ රටේ මොනව ද හිඟ වෙන්නේ. කොතැන ද ගැටලුවක් මතුවෙන්නේ කියලා මෙයාල රටේ බලය ලබාගන්න මේ අර්බුදය පාවිච්චි කරන්න හදන්නේ..’’ බිමල් රත්නායක ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
‘‘ඒවා දැන් එච්චර වලංගු නෑ. ඒත් අපි සමත් වෙන්න ඕනෑ ඉදිරියේදී විය හැකි අර්බුද ගැන ජනතාව දැනුවත් කරන්න. මේ කාල වකවානුව පියමං කරන්න ඔවුන්ගේ සහාය ලබා ගන්න...’’ ලාල් කාන්ත ඇමැතිවරයා කීවේය.
‘‘ඔව් ඒක ඇත්ත. අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් කරන්න. ඔවුන්ගේ සහාය ලබා ගන්න වගේම ඇත්ත පෙන්වා දෙන්නත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.’’ ලාල් කාන්තගේ අදහස අනුමත කරමින් ජනාධිපතිවරයා පැවසුවේය.
පොහොර ගැනත් කතා බහ
මැද පෙරදිග යුද ගැටුම නිසා ලෝකයේ පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීමටද බාධා එල්ල වී ඇත. පොහොර නිපදවීම බොර තෙල් පිරිපහදු කිරීමේ අතුරු ඵලයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සතියේ කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම් සමග සාකච්ඡාවක නිරත වූයේ මෙම තත්ත්වය යටතේ මෙරට යල කන්නයේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කරන ආකාරය ගැන සොයා බැලීම සඳහාය.
ඇමැති ලාල් කාන්ත මෙන්ම අමාත්‍යාංශ නිලධාරීහු පොහොර අවශ්‍ය ප්‍රමාණය ගැන ජනාධිපතිවරයා දැනුවත් කළහ. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ යල කන්නයේ අවශ්‍යතාව හිඟයකින් තොරව සැපයිය යුතු බවය. අවශ්‍ය පොහොර සංචිත පවත්වාගෙන යාමට රජය සහ පෞද්ගලික අංශය එක්ව වැඩපිළිවෙළක් යොදා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
වී වගාවට යූරියා මෙට්‍රික් ටොන් අසූතුන්දාහක් ද අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසක් ද අවශ්‍ය බව එහිදී කියැවිණි. පොහොර හිඟයක් ඇති වේයැයි බියෙන් ඇතැමුන් වැඩිපුර පොහොර මිලදී ගෙන ඇතැයි පොහොර සමාගම් මෙහිදී කීවේය. ඒමට පොරොන්දු වී සිටි නැව් පැමිණියහොත් පොහොර හිඟයක් ඇති නොවන බව එහෙත් එම තත්ත්වය අවිනිශ්චිත බවත් එහිදී සඳහන් වූ අතර ජනාධිපතිවරයා පැවසුවේ තුන් මාසයක් සඳහා වූ සංචිත පවත්වා ගන්නා ලෙසය.
ඇත්ත කියන්නේ ආණ්ඩුව ද විපක්ෂය ද?
මැද පෙරදිග අර්බුදයට මුවාවී වත්මන් ආණ්ඩුව මෙරට ජනතාවට උහුලා ගත නොහැකි ආකාරයකට ජීවන වියදම ඉහළ යාමට ඉඩදී ඇති බවත් වංචා කිරීමේ අරමුණින් ගල් අඟුරු මිලදී ගෙන ඇති බවත් විපක්ෂය මේ දිනවල ප්‍රකාශ කරමින් සිටී. තෙල් මිල වැඩි වීමත් සමග ජනතාව තුළ අසීමිත පීඩනයක් පැටවී ඇති බව රහසක් නොවේ. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා තමන්ට ද ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බවත් රජය පවසයි. එහෙත් විපක්ෂය කියන්නේ මිල වැඩි වූ පසු තවමත් මෙරටට ඉන්ධන රැගෙන විත් නොමැති බවත් මිල වැඩිවීම පෙන්වා පැරණි ඉන්ධන තොගවල මිල ඉහළ දැමීමට රජය කටයුතු කළ බවත්ය.
මෙම ප්‍රකාශයෙන් කුමක් ඇත්ත වුවද ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මෙරට සියලු පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව සිටින්නේ දැඩි පීඩනයකය. ජීවත්වීමේ ගැටලුවට සමස්ත ජනතාවට මුහුණ දී සිටී.
විපක්ෂය මෙම තත්ත්වය උපයෝගී කරගෙන ආණ්ඩු විරෝධී මහජන කථිකාවක් ආරම්භ කර තිබේ. ‘‘බොරු මදිවට හොරු - අනුර පේල්, ජනතාවට අමාරුයි.’’ යන මාතෘකාවෙන් එම මහජන කතිකාව රට පුරාම පැවැත්වීම විපක්ෂයේ අරමුණය. මෙහි පළමු රැස්වීම ඉකුත් 24 වැනිදා බොරැල්ල මැගසින් පාර උත්සව ශාලාවේ දී පැවැත් වුණේ සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.
‘‘අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජය ගත්තේත් මහා මැතිවරණය ජය ගත්තේත් විදුලිබිල ගැන බොරු කියලා. විදුලි බිල තුනෙන් එකකින් අඩුකරන බව කියා බලයට ආ අනුර දැන් හදන්නේ තුනෙන් එකකින් විදුලි බිල වැඩි කරන්න.’’ විපක්ෂ නායක සජිත් එහිදී කීවේය.
‘‘පරණ ආණ්ඩුවලින් හදපු මිල සූත්‍රය පිළිගන්නේ නෑ කියා විවිධ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා බලයට පැමිණි පසු දැන් එම මිල සූත්‍රයේම වහලෙක් වෙලා. තෙල් මිලෙන් අධික මුදලක් කොමිස් ලෙස එකල ඇමැතිවරුන් ලබා ගන්නා බව කියා බලයට ඇවිත් අද එක සතයක්වත් බදු අඩුකරල නෑ. මෙයාලගෙ බොරු මදිවට දැන් හොරුත් බිහිවෙලා.’’ විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
ජගත්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට
තමාට ලබා දී තිබු කොස්තාපල් දෙදෙනකුගෙන් යුත් පොලිස් ආරක්ෂාව ඉකුත් සතියේ සිට ඉවත් කර ඇතැයි සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි. මන්ත්‍රීවරයා විශ්වාස කරන්නේ තමා පොලිස්පති හා පොලිසියේ වෙනත් නිලධාරින් ඇතුළු 16 දෙනකුට එරෙහිව දැමූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග තමන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට අදාළ බලධාරීන් තීන්දු කරන්නට ඇති බවය.
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියගෙන් මිලදී ගත් වාහනයක් සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය වැරදි බව සඳහන් කරමින් ජගත් විතාන මන්ත්‍රීවරයා මෙම අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
සජබ කළමනාකරණ කමිටුව
සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඉකුත් බදාදා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත් වුණේ පක්ෂ නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විදේශ ගත වීම සහ ඉන්ධන හිඟය හේතුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණි.
‘‘රටේ පවතින තත්ත්වය ගැන අපි පක්ෂයක් ලෙස මොකද කරන්නේ කියන එක සාකච්ඡා කරන්නයි මෙම රැස්වීම කැඳෙව්වේ. ජීවන වියදම ඉහළ යාම විදුලි බිල ගැන එහෙම ජනතාට ඇත්ත තත්ත්වය පහදා දීම අවශ්‍යයි. ’’ විපක්ෂනායක සජිත් රැස්වීම ආරම්භ කරමින් කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළදී මේ ගැන කතා කරන අතරම එයින් පිටත පොදුජනතාව ගැවසෙන තැන්වලදී ද ජනතාවට කරුණු දැක්වීම අවශ්‍ය බව සජිත් කීවේය.
‘‘අපි සම්මන්ත්‍රණවලින් ජනතාව දැනුවත් කරන්න ඕනෑ. ආණ්ඩුව මේ දුෂ්කර තත්ත්වය කළමනාකරණය කර ගත්තෙ නැති එක ගැන. ඒ වගේම විදුලි බිල සහ ගල් අඟුරු වංචාව ගැන උද්ඝෝෂණ ව්‍යාපාරයකටත් අපි යන්න ඕනෑ. එම කටයුතු ඉක්මනින්ම සංවිධානය කරන ලෙස විපක්ෂනායක සජිත් කළමනාකරණ කමිටුවට දැනුම් දුන්නේය. මෙහිදී කිහිප දෙනකුම අදහස් පළකළේ කරන විරෝධතා ජනතාව අතර අප්‍රසාදයට ලක් නොවන ආකාරයට කළ යුතු බවටය.
‘‘ඔව් ඒක තමා මම කියන්න ගියේ. අපි මේ දේවල් ජනතාවට දැනුවත් කරද්දී ප්‍රවේශමෙන් කරුණු දක්වන්න ඕනෑ. මොකද ජනතාවට මතයක් දෙන්න හොඳ නෑ අපි කලදුටු කළ වළ ඉහගන්නවා කියල මතයක් මතු නොවන හැටියටයි මේ කටයුතු කරන්න ඕනෑ. විදුලි කැපීම වගේ දේවල් සිදුවන්නේ යුද්ධය නිසා නොවෙයි. බාල ගල් අඟුරු ගෙනාපු ආණ්ඩුවෙ වරද නිසා. ඒ වගේ දේ ගැන ජනතාව හරියට දැනුවත් කරන්න ඕනෑ.’’ සජිත් කීවේය
ඉන්පසුව කතා කළේ මහලේකම් රංජිත් මද්දුමය.’’
‘‘ලබන සතියෙම කළමනාකරණ කමිටුව රැස්වෙලා දැනට පුරප්පාඩුව පවතින සියලු සංවිධායක දුර පුරවන්න ඕනෑ...’’ මහලේකම් රංජිත් කීවේය.
‘‘ඔව් මමත් ඒකට එකඟයි. අපි ලබන සතියේ නොවරදවාම හම්බවෙලා කතා කරමු.’’ සජිත් කීවේය.
කියුබානු තානාපතිට දිවුරුම් දීම ප්‍රමාද වෙයි
ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මේ දිනවල විපක්ෂ දේශපාලනඥයන් අතර කතා බහට ලක්ව ඇත්තේ සිදුවීම් දෙකක් නිසාය. පළමු සිදුවීම වන ඉරාන යුද නෞකාව ලංකා වරායකට පැමිණීමට අවසර ඉල්ලා තිබිය දී එය නොලැබීම සහ ඉන් පසු එම නෞකාව ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දැමීමය. දෙවැන්න අලුතෙන් පත්ව ආ මෙරට කියුබානු තානාපතිවරයාට මෙරටට පැමිණ මාස තුනක් යනතුරුත් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර ලබාදීමට නොහැකිවීමය. ඔහුට තම අක්ත පත්‍රය භාර දීමට හැකි වී ඇත්තේ විවිධ ආකාරයට සහ ස්ථාන ගණනාවකට කතා කර අවස්ථාව ඉල්ලා සිටීමෙන් පසුවය.
ලංකාවේ දිගු කාලීන මිත්‍ර රටවල් දෙකකට මෙවැනි අඩු සැලකිලි ලබා දී ඇත්තේ වත්මන් රජය ඇමරිකානු හිතවාදී කමක් පවත්වා ගෙන යන නිසා බව විපක්ෂයේ මතය වේ. මේ නිසා එම ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බව විපක්ෂය කියයි.
විපක්ෂයේ සාකච්ඡා
විපක්ෂයේ පක්ෂ ගණනාවක් මැද පෙරදිග යුද ගැටුමට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ඉකුත් අඟහරුවාදා පියවර ගත්තේය. මහාචාර් ජී.එල්. පීරිස්, නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, අසාද් සාලි, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එහිදී කියා සිටියේ මෙම යුද ගැටුමේ දී මධ්‍යස්ථව සිටීමට ආණ්ඩුව පියවර ගෙන නැති බවට චෝදනාවකි.
‘‘නිහඬව සිටීමේ එහෙම නැතිනම් නියුටල් ප්‍රතිපත්තියක අපේ රට කවදාවත් හිටියේ නෑ. නවසිය හැට දෙකේ ඉන්දීය පාකිස්ථාන යුද්දෙදී සිරිමාවෝ මැතිනිය මැදිහත්වෙලා දෙගොල්ලන්ටම කිව්ව ඔයාලාගෙ සටනින් කලාපයේ අපි අමාරුවෙ වැටෙනව කියලා. එහෙමයි අපේ නායකයන් කතා කළේ. නොබැඳි ප්‍රතිපත්තිය කියන්නෙ ඕනෑ දෙයක් කර ගන්න දීල අහක බලා සිටීම නෙවෙයි. ‘‘මහාචාර්ය ජී.එල්. පීරිස් කීවේය. ඉරාන නැව ගිල්වා දැමුවේ මෙරට මුහුදු තීරයේ දී බවද කථිකයෝ එහි දී කියා සිටියහ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම ප්‍රහාරවලින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සම්මුති උල්ලංඝනය කර ඇති බවය. මෙහිදී ඉරානය අසල්වැසි රටවලට කරන පහරදීම් සම්පූර්ණයෙන්ම වැරදි බවද දයාසිරි කියා සිටියේය. මෙට්‍රික් ටොන් හාර ලක්ෂ හැටදාහක් ගබඩා කළ හැකි තෙල් ටැංකි අපරට සතුව ඇති බවත් රජය ගබඩා කර ඇත්තේ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් පමණක් බවත් දයාසිරි කීවේය. ඔහු චෝදනා කළේ ගැටුම ඇරඹෙන්නට පෙර ඉතිරි ටොන් ලක්ෂ තුන පුරවා ගැනීමට හැකියාව තිබුණත් රජය එම වගකීම පැහැර හැර ඇති බවය.
සමගි සේවක සංගම් සංවත්සරය
සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමයේ සංවත්සර සභාව ඉකුත් අඟහරුවා දා පැවැත්විණි. කොළඹ සජබ මූලස්ථාන ශාලාවේ පැවැති මෙම සංවත්සරයට සජබ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක අබේසිංහ, ජගත් විතාන, හර්ෂණ රාජකරුණා සහ විපක්ෂ සංධානය වෙනුවෙන් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් දහසකට ආසන්න පිරිසක් ද සහභාගී වූහ. හදිසියේ මියගිය වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ පවුල්වලට රුපියල් විසිපන්දාහක මුදල බැගින් ලබා දී ඔවුන්ට උපහාර පිදීම ද එදින සිදුවිය.
රනිල්ගේ බයිපාස්
හිටපු ජනපති රනිල් සිංගප්පූරුවේ සැත්කමට ගොස් සතියක් සම්පූර්ණ වන විට වූ සුවිශේෂ සිදුවීම වන්නේ ඔහුගේ 77 වෙනි උපන් දිනය යෙදීමයි.
රනිල්ට අදාළ සැත්කම කරන ලද්දේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය සිවදාසන් ය. ඔහු ශ්‍රී ලංකාවේ කළු ජූලිය අවස්ථාවේ සිංගප්පූරුව බලා ගිය දක්ෂ වෛද්‍යවරයෙකි. ඔහු ලෝකයේම හෘද සැත්කම්වලට සිටින ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් අතරින් කෙනෙකු ලෙස නම් දරා සිටී.
ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස නම් කළ සමයේ ඔහුගේ හෘද සැත්කම සිදුකරන ලද්දේත්, හිටපු සෞඛ්‍ය ඇමති රාජිතගේ හෘද සැත්කම කළේත් මෙම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයා විසිනි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු චන්න වික්‍රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයෝද රනිල් සමග සිංගප්පූරුවට ගියහ. සැත්කමින් සතියකට පසු චන්න ඇතුළු පවුලේ සාමාජිකයෝ නැවත ලංකාවට පැමිණියහ.
රෝහල් ගතව සිටි රනිල්ගේ සැප දුක් විමසීම සඳහා සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද පසුව සිංගප්පූරුව බලා ගියහ.
රනිල්ගේ උපන් දිනය යෙදුණු ඉකුත් 24 වැනිදා වජිර, වෛද්‍යවරයාගේ අනුමැතිය ඇතිව රෝහල් කාමරයට කේක් ගෙඩියක් ගෙන ගොස් චාම් උපන්දින සැමරුමක් සංවිධාන කළේය. මහාචාර්ය මෛත්‍රී, වජිර, සාගල, තීක්ෂණ මෙන්ම වෛද්‍යවරයා පමණක් ඊට සහභාගී වූහ.
සැත්කමින් පසුව රනිල් මේ වන විට ශීඝ්‍රයෙන් සුවය ලබමින් සිටී.සැත්කම සිදුකර සතියකින් පසු රනිල් රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණ. සුව වෙමින් පවතින කාලයේදී වෛද්‍යවරයා රනිල්ට දුරකථන ඇමතුම් සහ අමුත්තන් බැහැ දැකීමද තහනම් කර තිබේ.
ගුවන් ගමන් සඳහා සුදුසු සෞඛ්‍ය තත්ත්වයට පැමිණි සැණින් රනිල් යළි මව්බිමට පැමිණීමට නියමිතය.රනිල්ගේ සැත්කම කළ වෛද්‍යවරයාට වජිර සිංගප්පූරුවේදී දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙන බව ආරංචිය.
ඒකාබද්ධයේ අලුත් අදහස්
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු දිගින් දිගටම පැවැත්වීම සම්බන්ධයෙන් ද රනිල් සැත්කමට යාමට පෙර ජී.එල් සමඟ කතිකා කරගෙන තිබිණ.
එහි දෙවැනි මාධ්‍ය හමුව පැවැත්වුණේ ඉකුත් සතියේ බදාදාය. ඒ ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදීය.ජී.එල්, ලසන්ත අලගියවන්න, සංජීව එදිරිමාන්න, අජිත් මාන්නප්පෙරුම මෙහි අදහස් දැක්වූහ.
කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධ වී නිපොන් හෝටලයේදී පවත්වන මාධ්‍ය හමුවකට සහභාගී වන ලෙස අසාත් සාලිගෙන් සහ රාජිතගෙන් ජී.එල් ට ඇරියුමක් ලැබිණ. එම මාධ්‍ය හමුව ද යෙදී තිබුණේ බදාදා දිනයේම හෙයින් ජී.එල් පැවසූයේ තමා අවසාන මොහොතේදී හෝ විනාඩි පහකට ඇවිත් යන්නට බලාපොරොත්තු වෙන බවය. ඒ අනුව ජී.එල් තේමා දෙකක් ඔස්සේ මාධ්‍ය හමුවල අදහස් පළ කළේය.
ශ්‍රී ලාංකික ජනතාව වර්තමානයේ විඳින අසාමාන්‍ය දුකට සහ පීඩනයට හේතුව යුද්ධය පමණක් නොවන බවත් ජනතා දුකට සහ පීඩනයට ආසන්නතම හේතුව වර්තමාන ආණ්ඩුවේ වංචාව සහ කළමනාකරණයක් නොමැතිවීම බවත් මහාචාර්ය ජී.එල් එහිදී මූලික වශයෙන්ම සඳහන් කළේය.
මෙම සියලු ගැටලු සහ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචාව බවද මෙම තත්ත්වය හමුවේ ජනතාව පුදුමාකාර දුකක් විදින අතර නැව් 10 කින් ආනයනය කළ ගල්අඟුරු ගුණාත්මක බවින් අඩු බාල ගල්අඟුරු බව ජී.එල් එහිදී කීය.
“බාල ගල්අඟුරුවල පාඩුව මඟහරවා ගන්න ඩීසල් පාවිච්චි කරන්න සිද්ධ වෙලා. එම ප්‍රමාණය ස්වල්පයක් නොවේ. දිනකට ඩීසල් බැරල් ලක්ෂ 8 ක්.
මෙම තත්ත්වය විදුලිබල කප්පාදුවට බලපාන අතර තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් තියෙනවා. සිංහල අවුරුදු කාලය වන විට තෙල් පිරිපහදුව වසාදැමුව හොත් විදුලිබල කප්පාවක් කිරීමට අනිවාර්යයෙන් සිදුවන බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකියි. දරාගැනීමට නොහැකි තරමකට ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජන ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටෙන තත්ත්වයක් මේ වන විට උදා වෙලා.
ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති ඇතුළු සියලුම ද්‍රව්‍ය දළ වශයෙන් සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගිහින්.සම්පූර්ණයෙන් බොරු කියා බලය ලබාගත්ත මාලිමාව අද වන විට බලය රඳවාගැනීමට ද සම්පූර්ණ බොරුව පාවිච්චි කරනවා.
ජී.එල්. වර්තමානයේ රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉතා පැහැදිලි අයුරින් විස්තර කරන අතර තවත් අනතුරක සේයාවක් ගෙනහැර දැක්වීය.
“ආනයන මත පනවා ඇති සෙස් බද්ද සහ වරාය, නැව් තොටුපොළවලට අයකරන බද්ද අප්‍රේල් මස 1 වැනිදායින් පසුව ක්‍රම ක්‍රමයෙන් ඉවත්කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. මෙය අතිශයින් හානිකර තීරණයක්.
එසේ කළ හොත් මෙරට දේශීය කර්මාන්තවල අනාගතය දැඩි අනතුරකට පත් වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 90 ක් කඩා වැටෙනවා.
සෙස් බද්ද සහ වරාය, නැව් තොටුපොළවලට අයකරන බද්ද ඉවත් කළහොත් වන හානිය කිසිසේත් අව තක්සේරු කරන්නට හැකියාවක් නැහැ.”යනුවෙන්ද ජී.එල් කීය.
වුල්වහැම්ටන් සරසවියෙන් පිළිතුරක්
රහස් පොලිසිය නීතියේ මූලික ක්‍රමවේදයට පරිබාහිරව එංගලන්තයේ වුල්වහැමිටන් විශ්ව විද්‍යාලයෙන් රනිල්ගේ ගමන ගැන තොරතුරු ඉල්ලා තිබිණ. සාමාන්‍යයෙන් එලෙස ඉල්ලීම් කිරීමේදී තොරතුරු ලබාදීමට විශ්ව විද්‍යාලයක් බැඳී නැත. එංගලන්තයෙන් තොරතුරු ලබා ගැනීමේ වෙනම ක්‍රමවේදයක් පවතී. නමුත් විශ්වවිද්‍යාලය රහස් පොලිසිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඊමේල් පණිවිඩයක් එවීමට කටයුතු කර තිබිණ. වුල්වහැම්ටන් සරසවිය රනිල්ට නිල ආරාධනයක් කළ බවත් ඒ අනුව ඔහු ඊට සහභාගී වූ බවත් එම පිළිතුරෙහි සඳහන් වී තිබිණ. මෙම පිළිතුර ලැබීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ ද ආණ්ඩුව අභ්‍යන්තරයේ ද විශාල අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබෙන බව ආරංචිය.
“මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොම ද” යන කාරණය මේ අර්බුදකාරී තත්ත්වය ඇතිවීමට මූලික හේතුවයි.
ආණ්ඩුව ගැන පොහොට්ටුවේ විවරණය
පසුගිය දිනවල නාමල් විදේශගතව සිටි නිසා මේ සතියේදී වැඩි ඉඩක් ලබාදී තිබුණේ පක්ෂයේ වැඩ කටයුතු වලටය. විශේෂයෙන්ම ගමින් ගමට වැඩ සටහනේ සහ පක්ෂයේ දේශපාලන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ කටයුතු සිදු කෙරිණි. ඒ සදහා නාමල්ගේ නිවසට අමුත්තෝ කිහිප දෙනෙක්ද පැමිණියහ. පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, ඩී.වී චානක, යූ.කේ. සුමිත්, සංජීව එදිරිමාන්න ඇතුළු කිහිප දෙනෙකු නාමල් සමග සාකච්ඡාවට පැමිණ තිබිණි.
ගම්වලින් සෑහෙන ඉල්ලීම් තිබෙනවා ශාඛා සමිති පිහිටුවන්න කියලා සංජීව එදිරිමාන්න කතාව ආරම්භ කරමින් පැවසීය.
ඔව් අපි ජාතික දේශපාලනය කරනවා වගේම ගම් මට්ටමින් ශාඛා සමිති පිහිටුවීම කරගෙන යනවා සාගර කාරියවසම් පැවසීය.ලබන ජූලි වෙනකොට ශාඛා සමිති හදලා ඉවර කරන්න තමයි අපේ බලාපොරොත්තුව සංජීව එදිරිමාන්න පැවසීය.
අපේ ගම්වල නම් ලොකු පිබිදීමක් තියෙනවා යූ.කේ. සුමිත් පැවසීය. ගල් අඟුරු ප්‍රශ්නෙන් ජනතාව හොඳටම බැට කනවා ඩී.වී. චානක කීවේ රටේ දේශපාලන තත්ත්වය විස්තර කරමිනි.
ඉස්සර නම් කිවුවෙ කොහොමද අපි හොරකම් කරන්නෙ නෑ කිවුවා හැබැයි ගල් අඟුරු වලින් ගහපු එක කලේ මෙහිදී යූ.කේ. සුමිත් පැවසීය.
ඔව් අන්තිමට බාල ගල් අඟුරු නිසා ඉදිරියට පවර් කට් එකක් එන්නත් බැරි නෑ. අපි ආණ්ඩුවට කිවුවා බාල ගල් අඟුරු ගේන්න එපා කියලා අර මොකාද එකා මෙට්ටෙ තියන්න බෑ වගේ කියන දෙයක් ඇහුවෙම නෑ නාමල් පැවසීය.
ඉස්සර කොහොමද දැන් කොහොමද. ඉස්සර අනුර ජනාධිපතිවරයාගෙ කතා අහනකොට දැන් නම් හිනාත් යනවා යූ.කේ සුමිත් පැවසීය.
බාල ගල් අඟුරු නිසා දැන් දැන් විදුලිය නිෂ්පාදනය කරන්න වෙලා තියෙන්නෙ ඩීසල් වලින් නාමල් මෙහිදී කියා සිටියේ ඩීසල් ප්‍රශ්නය නිසා විදුලි බලාගාර අමාරු අඩියකට වැටී ඇති බව කියමිනි.
අනික අපි විපක්ෂයක් විදියට ආණ්ඩුවේ කකුලෙන් ඇද්දෙ නෑ මතකනෙ කොවිඩ් කාලෙ දැන් ආණ්ඩුවේ ඉන්න අය කකුලෙන් ඇදපු හැටි ඩී.වී. චානක පැවසීය. දැන් රෙදිහෝදන හැටි විදුලි පහන් නිවා දමන හැටිත් කියන්න වෙලා සාගර කාරියවසම් පැවසීය. හැබැයි දැන් එයාලට දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දීලා සංජීව එදිරිමාන්න කියනවිට සියල්ලෝම සිනාසුණහ. ඔව් අපි යුද්ධෙ ඉවර කළා. අපි කොවිඩ් වලින් ජනතාව ආරක්ෂා කළා .
ඉතින් අපිට වුවමනාවක් නෑ ආණ්ඩුවේ කකුලෙන් අදින්න ජනතාවට හොඳක් වෙනවනම් එච්චරයි නාමල් පැවසීය. ඒ අස්සෙ ජපුර රෝහලේ ජනාධිපතිවරයාට තිබ්බ ඇඳ ජනතාවට දුන්නා කියලා කැම්පේන් එකක් යනවා ඩී.වී. පැවසීය. ජපුර රෝහල මෙරටට හම්බ වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නිසයි සංජීව එදිරිමාන්න රෝහලේ ඉතිහාසය ගැන මතක් කළේය. මම හිතන්නෙ ඇඳන් දාහක රෝහලක් ලංකාවට අරන් දීලත් මෙච්චර ප්‍රචාරයක් ලබා දුන්නෙ නෑ ඩී.වී. චානක පැවසීය.
අපි ඉක්මනින් ශාඛා සමිති හදන්න ඕනෙ මොකද හැමදාම අපේ ශක්තිය තිබුණෙ ගමේ නාමල් පැවසීය.
කොහොම හරි ඉක්මනින් අපි ශාඛා සමිති හදන්නම් සාගර නාමල්ට කීවේය. ඉන් අනතුරුව රාත්‍රී ආහාරයද ගෙන සියලුදෙනා පිටත්ව ගියහ.
පසුදා තිබුණු සියලු රැස්වීම් අවලංගු කිරීමට නාමල් පියවර ගත්තේය. ඒ පක්ෂයට ඉතා හිතවත් පක්ෂය අතහැර නොගිය රුවන් ජයවිලාල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ අවමංගල්‍යට සහභාගී වීම සදහාය.පසුදා උදෑසනින්ම නාමල් මහනුවර බලා පිටත් විය. නාමල් උදෑසන එකොළහ වනවිට අවමංගල්‍ය පැවති නිවසට පැමිණියේය.
මේ වනවිට දිලුම් අමුණුගමද පැමිණ සිටියේය. නාමල් එන බව දැනගත් මාධ්‍යවේදීහු පිරිසක්ද එහි පැමිණ සිටියහ. දැන් නාමල් මන්ත්‍රීතුමා ඊළඟට කවුද ජනාධිපති සජිත්ද නාමල්ද දිලිත්ද මාධ්‍යවේදීයෙක් ඇසීය.
ඒක ඉතින් දිලුම්ගෙන් තමයි අහන්න වෙන්නෙ නාමල් කීවේ සිනාසෙමිනි. 2029 දි එහෙනම් ජනාධිපති අපේක්ෂකයා ඔබ නේද මාධ්‍යවේදීහු ඇසූහ. අපෝ තව අවුරුදු කීපයක්ම තියනවනේ එතකොට බලමු නාමල් සිනාසෙමින් කියා එතැනින් ඉවත්ව ආවේය.
රාජ දූත

