අවුරුදු ගණනාවක් තිස්සේ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කළේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ශිෂ්‍ය සංවිධාන හැටියටය. දශක දෙකක් පමණ තිස්සේ උපාධිධාරීන්ට රජයේ රැකියා ඉල්ලා සිටින පෙළපාළි, උපවාස ආදියට පක්ෂයක් ලෙස ජවිපෙ විශාල දායකත්වයක් ලබා දුන්නේය. එහෙත් පසුගිය දිනක රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ උද්ඝෝෂණ කළේ ජවිපෙ ආණ්ඩුවට එරෙහිව සහ පැලවත්තේ ජවිපෙ මූලස්ථානය වට කරමිනි.
ඉකුත් මැතිවරණ කාලයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්තට කැඳවා විවිධ සාකච්ඡා පැවැත්වීය. එහිදී තමන් බලයට පැමිණ මාසයක් දෙකක් ඇතුළත විසඳුමක් ලබාදෙන බව අනුර දිසානායක පොරොන්දු වුණේය. එහෙත් අනුර ජනාධිපති වී මාස දහයකට ළංවුණත් ප්‍රශ්නය විසඳුණේ නැත. රැකියා දෙන පාටකුත් නොපෙනෙද්දී ආණ්ඩුවේ බලවතුන් කියන්න ගත්තේ දැන්ම රජයේ සේවයට බඳවාගැනීම් කළ නොහැකි බවය. මේ නිසා පැලවත්තේදී අනුර සමග සාකච්ඡාවලට එදා ගිය උපාධිධාරි සංවිධානවල නායකයන් ඉසුරුපාය ළඟ උද්ඝෝෂණය හදිසියේම ගෙන ගියේ පැලවත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටටය. ජවිපෙ සම්බන්ධ මාලිමා රජය බලයට පැමිණි පසු ජවිපෙ මූලස්ථානය ඉදිරිපිට පැවැති පළමු උද්ඝෝෂණය වූයේ උපාධිධාරීන්ගේ මෙම උද්ඝෝෂණය වේ. ජවිපෙ වෘත්තීය සංගම් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ නොවීම ද විශේෂත්වයකි. රැකියා විරහිත උපාධිධාරීන් තම බූදලයක් කරගෙන සිටි ජවිපෙ එම හිමිකම දැන් අතහැර ඇති බව එයින් පෙන්නුම් කෙරිණි.
මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය එක්තරා කාලයක අතිශය ශක්තිවන්තව තිබුණේය. එය දුර්වලවීම ආරම්භ වුයේ 1970 සමගි පෙරමුණු රජය සමයේය. වෘත්තිය සමිති මෙහෙය වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂත් ශ්‍රීලනිපයත් ආණ්ඩුවේ හවුල්කාරයන් වූ නිසා එම දේශපාලන පක්ෂ වෘත්තීය සමිති පාලනය කළේ ආණ්ඩුවේ පැවැත්ම ගැන ද කල්පනා කරමිනි. එකල වෘත්තීය සමිති පාර්ලිමේන්තුවේ තිබූ දේශපාලන පක්ෂ විසින් පාලනය කරන තැනට ඇද වැටුණේය. එම සමිතිවල ස්වාධීනත්වය නැති වී ගොස් ඒවා එකිනෙකා සමග තරග කරන තත්ත්වයට ඇද වැටුණේය. ශ්‍රීලනිප වෘත්තිය සමිති, සමසමාජ වෘත්තිය සමිති, කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සමිති ලෙස එම වෘත්තිය සමිති තම තමන්ගේ ඇමැතිවරුන්ගේ වුවමනාවට කටයුතු කරන්නට පටන් ගත්තේය. තොණ්ඩමාන්ගේ ලංකා කම්කරු සංගමයත් බාලාතම්පෝගේ ලංකා වෙළෙඳ සේවක සංගමයත් පමණක් එකල යාන්තමින් ස්වාධීනත්වය රැකගත්තේය. පසුව 1977 දී තොණ්ඩමාන් තම වෘත්තිය සමිතිය රැගෙන එජාප ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ පසු දිගු කාලයක් එම සමිතිය වතුකරයේ බලය දරා සිට තොණ්ඩමාන්ගේ අභාවයෙන් පසු කෑලි ගණනාවකට කැඩී ගියේය.
1977 බලයට ආ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය තම වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමයට විශාල තැනක් ලබා දුන්නේය. රාජ්‍ය ආයතනවල සියලු කටයුතු මෙහෙයවූයේ ජාතික සේවක සංගමය හෙවත් ජේ.එස්.එස්. පිරිසය. සෙසු වෘත්තීය සමිතිවල අඩු කඩන්නට පෙරට යැව්වේත් ජේ එස් එස් පිරිසය. මහා වැඩ වර්ජනයෙන් පසු ජාතික සේවක සංගමය තව තවත් බලවත් විය. අලුතෙන් රජයේ සේවයට සේවකයන් බඳවාගන්නා විට ඔවුන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්ය කොන්දේසියක් විය. බලයෙන් ඇදවැටුණු විටද වෘත්තිය සමිති හරහා යළිත් දේශපාලනය කිරීමේ වටා පිටාවක් එජාපය පවත්වාගෙන ගියේය.
2015 දී එජාපය සහ ශ්‍රීලනිපයේ කොටසක් එක්ව නිර්මාණය කළ යහපාලන රජය සමයේ උද්ගත වූ බොහෝ වෘත්තීය සමිති අරගලවලදීද ශ්‍රීලනිප හා එජාප වෘත්තීය සමිති එම අරගලවලට දායක විය. එම රජය සමයේ ප්‍රධාන අරගලයක් වූ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නයේදී එජාපයට සම්බන්ධ හා ශ්‍රීලනිපයට සම්බන්ධ වෘත්තීය සමිති ද එම අරගලයට එකතු විය. ආණ්ඩුව තමන්ගේ වූ පමණින් එම සමිති පොදු අරගල පැනනැඟුණු විට එයින් ඉවත් වූයේ නැත. ජවිපෙ වෘත්තිය සමිති සහ ජන අරගල අක්‍රිය වෙමින් පැවතීම බොහෝ දෙනාට පුදුමයක් වන්නේ ඒ නිසාය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මෙවැනිම තුනෙන් දෙකක බලයක් ලැබූ ජේ ආර් ජයවර්ධන රජය සමයේ මෙන් ආණ්ඩුවේ වෘත්තිය සමිතිවලට රාජ්‍ය සේවකයන් නැඹුරු කරන්නට රජය උත්සාහ කරනු ඇති බව වුවත් එවැන්නක් සිදුවූයේ නැත. එදා එජාප රජය සමයේ වාමාංශික වෘත්තිය සමිති ඔවුන්ගේ මැතිවරණ පරාජයත් සමග අක්‍රිය වූ අතර රාජ්‍ය සේවකයන් සිතුවේ රජයට අයත් වෘත්තීය සමිතියේ සිටීම තමන්ට ප්‍රයෝජනවත් බවය. ස්ථාන මාරුවීම් වැනි ප්‍රශ්න ඇතිවූ කල ජාතික සේවක සංගමය තමන් ගැන බලාගනු ඇතැයි ඔවුහු සිතූහ. ඒ ලෙසම කටයුතු ද සිදුවිය.
එම සංගමය වැඩි වැටුප් ඉල්ලා අරගල නොකළ අතර රජය වසරකට වරක් වැටුප් වැඩි කළේය. ඒ නිසා සටනකින් තොරවම සේවකයන්ගේ වුවමනාද ඉටු කෙරිණි.
වත්මන් රජයට එසේ සේවක වුවමනා ඉටුකර දෙමින් තම රජයට හිතැති රජයේ සේවක පිරිසක් නඩත්තු කරගෙන යාමට අවශ්‍ය තරමට රාජ්‍ය මුදල් තත්ත්වය ශක්තිමත් නැත. ඒ නිසා විපක්ෂයේ සිටියදී එකල රජයෙන් ඉල්ලා සිටි වෘත්තීය සමිති අයිතිවාසිකම් ඉටුකර දීමට රජයක් ලෙස ඔවුන්ට මූල්‍යමය හැකියාවක් නැත. ඒ නිසා එම සේවකයන් රඳවා ගැනීමට හැකියාවක්ද නැත. ජාතික ජනබලවේගය වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් වේගයෙන් දුරස් වෙමින් පවතින්නේ ඒ නිසාය. එදා පීඩකයා ලෙස පැවැති ආණ්ඩුවලට චෝදනා කළ ආකාරයටම අද පීඩකයාගේ චරිතය රඟපෑමට වත්මන් රජයට සිදුවී ඇත.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කෙරුණේ ජවිපෙ ආණ්ඩුවක් යටතේය. විදුලිබල මණ්ඩලය අහෝසි වී සමාගම් හතරක් අලුතෙන් බිහිකෙරෙන්නේ ජවිපෙ මාලිමා රජය යටතේය. එයට එරෙහිව යම් උද්ඝෝෂණයක් තිබුණ ද එයට ජවිපෙ සමිති හවුල් වූයේ නැත. ආණ්ඩුව ලැබීමත් සමග ජවිපෙ කම්කරු සටන්වලින් බැහැර වී ඇති බව එයින් පෙනේ.
මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පාහේ ජවිපෙ බූදලයක් බවට පත්වූයේ ශ්‍රීලනිප, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු රාජ්‍ය අංශයේ තමන්ට තිබූ වෘත්තීය සමිතිවල බලය අවතක්සේරු කළ නිසාය. විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩු තමන්ගේ වෘත්තීය සමිති දියවෙන්නට ඉඩදී බලා සිටීමේ ප්‍රතිඵලය වූයේ ජවිපෙ වෘත්තීය සමිති ටිකෙන් ටික රට තුළ ස්ථාවරවීමය. ඔවුන්ට තිබූ වෘත්තීය සමිතිවල සාමාජිකයනුත් යන එන මං නැතිව ජවිපෙ වෘත්තීය සමිතිවලට එකතුවීමය. මෙම තත්ත්වය වර්ධනය වීමේ ප්‍රතිඵලය වූයේ පසුගිය කාලයේ කිසිම ආණ්ඩුවකට ඉස්පාසුවක් නැතිවන තරමට වෘත්තීය සමිති අරගල ඇතිවීමය. ඒ පසුපස සිටියේ ජවිපේය.
අනුර කුමාර දිසානායක ඉකුත් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු මහමැතිවරණ සමයේ ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මෙවැනි කතාවක් කීවේය. ‘ඉස්සර ගුරුවරු විදුහල්පතිවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය, පොදු ප්‍රවාහන සේවය, දොස්තරලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ලා වරින්වර ස්ට්‍රයික් කළා. අද මං කීවා කියලා හිතාගන්න, ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා. කාටද ස්ට්‍රයික් කරන්නෙ. තව කාලයක් යනකොට අපි මේ පක්ෂය පැත්තකින් තියලා වෘත්තීය සිමිත විසුරුවා හරිනවා. මොකටද වෘත්තීය සමිති? ඒවා ඕනෑ නෑ...’
මන්ත්‍රීවරයාගේ කතාවෙන් හැඟීගියේ දවසින් දවස මහජනයා අසරණ කරවූ වෘත්තීය සමිති උද්ඝෝෂණ ජවිපෙ විසින් මෙහෙයවන ලද්දේ පැවැති ආණ්ඩුවලට පීඩනයක් එල්ල කරමින් තමන්ට බලය ලබා ගැනීමේ අරමුණින් බවය.
ආණ්ඩුව බලයට පැමිණි පසු සැලකිය යුතු උද්ඝෝෂණයක් හෝ වැඩවර්ජනයක් සිදුවූයේ නැත. මහජනතාවට ද පෙනී ගියේ ආණ්ඩු බලය ලැබීමත් සමග ජවිපෙ සහ මාලිමාව එම අරගලවලින් ඉවත් වී ඇති බවය. වෙනත් කණ්ඩායම් ඒ වෙනුවට මතුව ඇති බවය.
ගොවි අරගලය සඳහාත් ජවිපෙ සහ පෙරටුගාමීන් අතර ඇත්තේ තරගයකි. සෙවණගල හා පැලවත්ත ඇතුළු උක් ගොවීන්ගේ අරගලයක් ඉකුත් දිනවල ඇතිවූ අවස්ථාවේ වෙනදා ජවිපෙ විසින් මෙහෙයවන එම ගොවි අරගලයෙන් වැඩි ප්‍රමාණයක් හිමිකර ගත්තේ පෙරටුගාමීන්ට අයත් ගොවි අරගල සංවිධානය ය. සෙවණගල උක් ගොවි බල මණ්ඩලයේ සභාපති පුටුව රැකගන්නට තවමත් ජවිපෙ සමත්ව සිටියි. එහෙත් පෙරට වඩා වැඩි කොටසක් පෙරටුගාමින්ගේ ගොවි අරගල ව්‍යාපාරය අතට පත්ව ඇත.
වී ගොවීන්ගේ අරගලය තුළ ද කවුඩුල්ලේ ගොවි සංවිධාන බලය ඇත්තේ ජවිපෙ සතුවය. වෙනත් ප්‍රදේශවල ගොවි සංවිධානවල තනි බලය ජවිපෙට හිමිව නැත. ජාතික ගොවිජන සම්මේලනයේ ප්‍රධාන නිලතල විසිපහෙන් ජවිපෙට හිමිව ඇත්තේ එක් තනතුරක් පමණකි. ඒ පොළොන්නරුවට අදාළවය. ආණ්ඩුව බලයට ආ පසු මෙම ගොවි සංවිධාන සමග නිල සංවාදයක් ඇතිකර ගැනීමට ද ජවිපෙට නොහැකි විය.
මේ වන විට වෘත්තීය සමිති බහුජන සංවිධාන ආදිය දිනාගැනීමට විපක්ෂය වැඩකටයුතු ආරම්භ කර ඇත. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේදී ඉකුත් සතියේ පැවැති වැඩමුළුවකට වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයන් කැඳවා තිබිණ. මේ පිරිස සජබ වෘත්තීය සමිති නොවන වෙනත් ස්වාධීන පිරිසකි. ඔවුන් සමග දිගටම කටයුතු කරගෙන යාම තිස්ස අත්තනායක ඇතුළු පිරිසකට පැවරුණේය. ඒ සමගම බුද්ධික පතිරණ සහ තිස්ස අත්තනායක ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් වෘත්තීයවේදීන් පිරිසක් සමගද සජබය සාකච්ඡා කළේය. මෙම හමුව හඳුන්වාදී තිබුණේ ‘මැද මාවත’ යනුවෙනි. සජබයට මෙතෙක් නොතිබූ යම් යම් බහුජන සංවිධාන සබඳතා ක්‍රමයෙන් ගොඩනඟා ගන්නා ආකාරයක් ඉන් පෙනී යයි. අවසාන අරමුණ ජනපති පුටුව කරා යන වෑයමට බහුජන සංවිධාන සහ වෘත්තීය සමිතිවලින් ශක්තියක් ලබාගැනීමය.
ඒ අතරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද නෙළුම් මාවත කාර්යාලයට වෘත්තීය සමිති කැඳවා සාකච්ඡා කළේ ඉකුත් සතියේය.
අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තේ තමාගේ පක්ෂයේ පැවැත්ම සඳහා වඩාත්ම හානිකරන පක්ෂයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වීමට පෙර දවසේය. අනුර වඩාත් බියට පත්කරන ඒ පක්ෂය අන් කිසිම පක්ෂයක් නොව පැරණි ජවිපෙ වාදීන් ගොනුවී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය ය. 1987 – 89 කැරැල්ලෙන් ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨම සාමාජිකයාගේ නායකත්වයෙන් පවතින පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙන් කැඩී ගියේ න්‍යායික මතභේදයක් නිසාය. ප්‍රේමකුමාර් අනුරට වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ය. ප්‍රේමකුමාර් පක්ෂය කඩාගෙන එළියට ගිය පසු අනුර පක්ෂයේ නායකයා වුණේය. අද වන විට ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ පක්ෂය ජවිපෙ පැරණි සාමාජිකයන් ආකර්ෂණය කරගන්නා සටන්පාඨ ගොනුකරමින් අනුරගේ මාලිමා ආණ්ඩුවේ පැවැත්මට බරපතළ හානි සිදුකරමින් සිටියි. එම හානි ජවිපෙට මාරාන්තික වන්නේ සියයට තුනක් වූ ජවිපෙ සාමාජිකයන්ගේ හදවතටම දැනෙන සටන් පාඨ එහි ඇති නිසාය. 1989 ජවිපෙ විනාශයට වගකිව යුතු චරිතයක් වන රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම එයින් එක් සටන් පාඨයකි. පක්ෂය වෙනුවෙන් දිවි පිදූ හතළිස් දහසක් වූ 1987 වින්දිතයන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම සඳහා පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා පෙරටුගාමීන් මෙම රජය බලයට පැමිණිදා සිට මතවාදයක් ගෙනියයි. බටලන්ද කොමිසම ගැන ආණ්ඩුව මතුකළ මාධ්‍ය සංදර්ශනයට එක් හේතුවක් වූයේ ද එම කොමිසමෙන් ඇඟිල්ල දිගු වන රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නැයි පෙරටුගාමීන් මතු කළ සටන්පාඨයයි. මේ නිසා පෙරටුගාමීන්ගේ බහුජන සංවිධානය වන ජන අරගල ව්‍යාපාරය අගෝස්තු 23 හා 24 දෙදින මහනුවරින් ආරම්භ කළ ‘නගර විරෝධය’ විරෝධතාවයේ දී පැරණි ජවිපෙ සාමාජිකයාට ආමන්ත්‍රණය කරමින් ඔවුන් තමන් වෙත දිනාගැනීමට පෙරටුගාමීන් ගන්නා උත්සාහය මර්දනය කරන බලගතු අවියක් ආණ්ඩුවට අවශ්‍ය විය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ඒ නිසාය.
රනිල් අත්අඩංගුවට ගැනීම නිසා පෙරටුගාමීන්ගේ ‘%ජන අරගලේ’ වැඩසටහනේදී රනිල් පිළිබඳ මාතෘකාව මතුකර පැරණි ජවිපෙ සාමාජිකයා ආකර්ෂණය කර ගැනීමට පෙරටුගාමීන්ට තිබූ අවස්ථාව අහිමි විය.
පෙරටුගාමීන් ජවිපෙ පාරම්පරික ඡන්ද පදනම ටිකෙන් ටික ගලවන්නට උත්සාහ ගනිද්දී ආණ්ඩුව අසීරුවෙන් හෝ තමන්ගේ පැරණි සාමාජිකයා ඇතුළු අරගලකාරී කණ්ඩායම් තමන් ළඟ තබා ගන්නට විවිධ උපක්‍රම යොදමින් සිටියි. ආණ්ඩුවක් ලෙස වෘත්තීය අරගලවලට ඉඩදිය නොහැකි සේම තම බල කඳවුරු ගැලවෙන්නට ඉඩදීමටද ආණ්ඩුවට නොහැකිය. එහෙත් විපක්ෂයේදී තරමටම ආණ්ඩුවට බහුජන සංවිධානවල සහ වෘත්තීය සමිතිවල බලයක් නොමැති බව රහසක් නොවේ. ආණ්ඩුවක් ලැබී ගෙවී ගිය වසරට මෙවැනි තත්ත්වයක් උදා වී නම් ඉතිරි වසර හතරේදී තම පදනම රැකගැනීමට රජයට මහත් වෙහෙසක් දැරීමට සිදුවනු ඇත.
ප්‍රේමකීර්ති රණතුංග