චැප්ටර් එක අවසන් කිව්වට දැන් තමයි පටන් ගන්නේ


ජ.වි.පෙ. හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ

විදුලිබල මණ්ඩලේට එහෙම ලයිට් දෙන්න අයිතියකුත් නෑ. ලයිට් දෙන්න කලින් මුදල් අයකර ඕන. ඒකටත් වඩා මේ සිද්ධියට අවුරුදු හතරක් ගිහිල්ලත් කිසිම පියවරක් නොගැනීම ගැන විදුලිබල මණ්ඩලය වග කියන්න ඕන

නාමල් රාජපක්ෂගේ මඟුල් ගෙදර ලයිට් බිල මේ දිනවල දේශපාලන කරළිය උණුසුම් කරන්නකි. මේ ඒ පිළිබඳව ජ.වි.පෙ. හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ දක්වන අදහස් ය.


ප්‍ර:නාමල් රාජපක්ෂගෙ මඟුල් ගෙදර ලයිට් බිල සනත් නිශාන්ත ගෙවපු නිසා ඒ චැප්ටර් එක වහල දාල ඒ ගැන කතා කරපු අය දැන් සද්දෙ වහල ඉන්න කියල වගේ එකක් නාමල් කියල තිබුණා. නලින්ල දැන් කට වහගෙන ඉන්නවද..? 


පිළිතුර – නාමල්ගෙ මඟුල් ගෙදර ලයිට් බිල ගැන ජාතික රූපවාහිනියෙ සංවාදෙක දී මම ප්‍රශ්න කළාට පස්සෙ ඒ පැත්තෙන් දිගින් දිගටම කිව්වෙ එහෙම එක්ක නෑ කියලමනෙ. ඉතාම වංචා සහගතව තමයි නාමල් තමන්ගෙ මඟුලට ලයිට් අරගෙන තියෙන්නෙ. මඟුල නාමල්ගෙ, ඒකට ලයිට්  ඉල්ලන්නෙ ඩී.වී. චානක, විදුලිබල මණ්ඩලෙන් බිල යවන්නෙ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක ඒකකයට. අන්තිමට ලයිට් බිල ගෙවන්නෙ සනත් නිශාන්ත. ඒක නිසා හරි පැහැදිලියි දැන් හැමදාම වගේ රට පටලවල නාමල්ල මේ වැඩේ කරලා තියනවා කියලා. හරියට මල්වානෙ ගෙදර වගේ තමයි. අන්තිමට අයිතිකාරයෙක් නෑ. රාජපක්ෂල හොරකම් වංචා කරන්නෙ අහුවෙන්නෙ නැති වෙන්න. හැබැයි දැන් මේ ලයිට් බිල් කේස් එක එයාලට ගැලවෙන්න බැරි තැනකට ඇවිත් තියෙන්නෙ. දැන් මේකට නඩුකරයක් ගොනු කරල තියෙනවා. ඒක ලබන මාසෙ 6 වෙනිද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්න නියමිතයි. ඒක නිසා තමයි මේගොල්ලො මේ කලබල වෙලා තියෙන්නෙ. ඒක තමයි සනත් නිශාන්ත දුවල ගිහින් මේක ගෙව්වෙ. නාමල් කිව්වට මේ චැප්ටර් එක අවසන් කියලා ඒක එහෙම අවසන් වෙන්නෙ නෑ. දැන් තමයි චැප්ටර් එක පටන් ගත්තෙ.


විදුලිබල මණ්ඩලේට එහෙම ලයිට් දෙන්න අයිතියකුත් නෑ. ලයිට් දෙන්න කලින් මුදල් අයකර ගන්න ඕන. ඒකටත් වඩා මේ සිද්ධියට අවුරුදු හතරක් ගිහිල්ලත් කිසිම පියවරක් නොගැනීම ගැන විදුලිබල මණ්ඩලය වග කියන්න ඕන. මේ වගේ රාජ්‍ය ආයතන කඩාගෙන වැටෙන්නෙ මේ වගේ දේශපාලකයන්ගෙ තක්කඩිකම්වලට ඉඩදෙන නිසා තමයි. දැන් මේ කට්ටියටම පෝලිමේ ඇවිත් මේ ගැන සාක්කි දෙන්න වෙයි.


ප්‍ර:නාමල් තාම කියන්නෙ ඒක තමන්ට ආපු නැති බිලක් කියලා. එතකොට සනත් නිශාන්ත මොකද්ද මේ ගෙවල තියෙන්නෙ..?


පිළිතුර -  ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නය. එයාට ආවෙ නෑ කියන බිල සනත් නිශාන්ත ගෙව්වෙ කොහොමද? මම මේ සිද්ධිය හෙළිදරව් කළාට පස්සෙ හරි නාමල්ට තිබුණ මේක නිවැරදි කරන්න. ඒත් එහෙම කළෙත් නෑ. දැන් නඩු වැටුණට පස්සෙ තමයි කලබල වුණෙ. ඒක තමයි සනත් බිල ගෙවන්න දුවන්නෙ. හැබැයි දැන් ප්‍රමාද වැඩියි. නීතිඥයෙක් නම් නාමල් දැනගන්න ඕන මේව. නීතිඥයෙක් නම් නීතියට ගරු කරන්න ඕන. එහෙම කියලනෙ නීතිඥයෙක් විදියට දිවුරුම් දෙන්නෙ. දැන් ඔය කාට කාටත් ඉදිරියෙ දී උසාවියෙ දී ඇත්ත කියන්න වෙනවා.


ප්‍ර:බිල නම් දැන් පියවගත්ත කියමුකො. ඒත් මේ වැරැද්දට කාට ද දැන් ඇත්තටම දඬුවම් හම්බවෙන්න ඕන..?


පිළිතුර – වැරදි පාර්ශ්ව කීපයක් ඉන්නවා. එවකට විදුලිබල මණ්ඩලේ සභාපති රඛිත ජයවර්ධන වැරදියි. එවකට හිටපු ඇමති රවී කරුණානායක වැරදියි. නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. කට්ටියටම වගකියන්න වෙනවා. මොකද මේ මැදමුලනෙ වත්තෙ පොල් කඩල ගත්ත සල්ලි නෙවෙයි මහජන මුදල්. විදුලිබල මණ්ඩලේ පාඩුයි කියල ඒ පාඩුව පියව ගන්න ඒක ජනතාව පිට දානවා. මේකට වග කියන්න ඕන සාමාන්‍ය ජනතාව නෙවෙයි. මේ ආයතන පාඩු වෙන්නෙ මේ වගේ දේශපාලකයන්ගෙ අතකොලු වීම නිසා. මේ බිල විතරක් නෙවෙයි තව තව අයගෙ මේ වගේ ලයිට් බිල් තියෙනවා. අපි ඒව ගැනත් අවධානයෙන් ඉන්නෙ. මේ හමුවේ පලා යන්න දැන් නාමල්ලට බෑ.


ප්‍ර:මේ සිද්ධිය ඇදිල ආපු රුපවාහිනී සංවාදෙදී නලින් ලයිට් බිලක් පෙන්නුවනෙ.  ඒ බිල ඔබට කොයින් ද..?


පිළිතුර - මේ ගැන මම විදුලිබල මණ්ඩලෙන් තොරතුරු ඉල්ලා සිටියා. එතකොට එයාල ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ මම තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අලුත් විස්තර ලබා ගත්තා. ඒක තමයි මම එදා සංවාදයෙ දී පෙන්නුවෙ. එදත් සනත් නිශාන්ත එහෙම බිල් කොහෙද එන්නෙ කියල හිනාවෙවී හිටියා. එතකොට මිනිහ මොකද්ද දැන් මේ ගෙවල තියෙන්නෙ. මම ඉදිරිපත් කරපු ඒ වාර්තා සියල්ල සත්‍ය ඒව බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මේක ඇතුළෙ තව දුරටත් වංගු ගහන්න බැරි තැන තමයි බිල ගෙවල චැප්ටර් ක්ලෝස් කියල නාමල්ල අත පිහිදාගන්න හදන්නෙ. ඒව ලේසි වෙන්නෙ නෑ මේ වතාවේ. හොරකම අතේ මාට්ටු. හරක් හොරෙක් හොරකම මාට්ටු වුණාට පස්සෙ හරක බාර දුන්නට විතරක් හරි යන්නෙ නෑ. හොරකමට අදාළ දඬුවමත් විඳින්න ඕන. අපි නාමල්ට කියන්නෙ කට්ටිය එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයෙදී හම්බවෙමු කියල තමයි.


ප්‍ර:මොකද්ද සනත් නිශාන්තට මේ බිල ගෙවන්න ඇතිවුණු හදිසි උනන්දුව..?


පිළිතුර – එයාල ඉතින් මැදමුලන වලව්වෙ පිළිකන්නෙ හැදුණු අයනෙ. එයාම කියනව ඉස්සර පොඩි ඉස්සො කොටුවක් කරගෙන ඉඳපු මට වයඹ ඡන්දෙ ඉඳල මේ තරම් තැනකට එන්න උදව් කෙරුවෙ රාජපක්ෂල කියලා. ඉතින් මේ විදියට දේවල් නොකර කොහොමද? සනත් නිශාන්ත කියන්නෙ ලංකාවෙ දේශපාලනයේ කතා කරන්නවත් සුදුසු මාතෘකාවක් නෙවෙයි.


ප්‍ර:නාමල්ගෙ මඟුලට කබීර් හෂීම් දඩිබිඩියෙ හයිවේ එක ඇරල දුන්නු කතාවකුත් ඔබ කියනවා...


පිළිතුර – මේ නඩුකරයෙ සඳහන් වෙනව එවකට මහාමාර්ග ඇමති කබීර් හෂීම් නාමල්ගෙ මඟුලට මාතර සිට මත්තල දක්වා කොටස විවෘත කරන්න කලින් ගාස්තු රහිතව යන්න අවසර දීල තියෙනවා. ඒක හදිසි විවෘත කිරීමක්. මෙහෙම බැලුවම නාමල්ගෙ මඟුල පිනට කාපු එකක්ද කියල තමයි අපිට අහන්න වෙන්නෙ. මොකද කබීර් හෂීම් හයිවේ එක නිකං දෙනව, රවී කරුණානායක ලයිට් නිකං දෙනවා. අපට සැකයි ඉතුරු ටිකත් ඒ විදියටම පිනට කෙරුවද කියලා. මේ එක පොඩි සිද්ධියක්නෙ. හිතන්නකො එයාල බලයෙ ඉද්දි මේ ආයතනවලින් තව තව කොයි තරම් දේවල් බලය පාවිච්චි කරලා නිකං කරගෙන ඇද්ද කියලා.


ප්‍ර:බලන් යනකොට නොගිය මඟුල් ගෙවල්වලටත් මිනිස්සු සල්ලි දීල ද?


පිළිතුර -  ඇත්තටම එහෙම තමයි වෙලා තියෙන්නෙ. ඒක විහිළුවක් වගේ පෙනුනට භයානක ඇත්තක්.


කංචන විජේසේකර කියන්නෙ හෙට අනිද්දා ආපහු ලයිට් බිල නග්ගන්න වෙනව කියල. හැබැයි අපිට නාමල්ට වගේ සනත් නිශාන්ත ජාතියෙ යාළුවො නම් නෑ...
පිළිතුර - ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නෙ මේ දේශපාලකයන්ගෙ පව් තමයි. විදුලි බිල නග්ගන්න  වෙලා තියෙන්නෙ විදුලිබල මණ්ඩලෙයි ඇමැතිගෙයි තියෙන ආකාර්යක්ෂමතාව නිසා. උදාහරණයක් විදියට 2016 රනිල් වික්‍රමසිංහල බලයට එද්දි විදුලිබල මණ්ඩලේ හිටියෙ සේවකයො පාළොස්දාහයි. එයාල බැහැල යද්දී ඒකේ විසිහයදාහක් සේවකයො හිටියා. එකොළොස්දාහක් විතර පුරවල ගියේ. පහුගිය කාලේ විදුලිය සම්බන්ධ වංචා දූෂණ ඉහටත් උඩින් සිද්ධ වුණා. ඕවට හවුල් ඇමැතිවරු හොඳට ඩීල් දැම්මා. කොමිස් කුට්ටි හුවමරු වුණා එහෙට මෙහෙට. පාර්ලිමේන්තු මන්ත්‍රීල විතරක් විදුලිබල මණ්ඩලේට කෝටි ගාණක පොලු‍ තියල තියෙන්නෙ. ඒව අය කරගන්න කිසිම උනන්දුවක් මණ්ඩලේට  නෑ. විදුලිබල මණ්ඩලේ පාඩු වුණෙ රටේ සාමාන්‍ය ජනතාව නිසා නෙවෙයි. දැන් ඒ පාඩුව ජනතාවගෙ පිට පටවන්න තමයි ආපහු වතාවක් මේ සූදානම් වෙන්නෙ.

 

 

සාකච්ඡා කළේ 
■ ප්‍රියන්ත කොඩිප්පිලි