
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සමග මේ සාකච්ඡාව රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.
බාල ගල් අඟුරු පාඩුව කෝටි 15000ක් කියලා ඔබ කියනවා. ඔබ කොහොම ද එහෙම ගණන් හදන්නේ?
පිළිතුර – මෙහෙමයි, මේක කීප ආකාරයකින් පාඩු වෙනවා. පළමු කාරණය තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ ගල් අඟුරු නිසා නිෂ්පාදනය වෙන්න ඕනෑ විදුලි ඒකක ගණන නිෂ්පාදනය වෙන්නේ නැති වෙනකොට ඒක ඩීසල්වලින් නිෂ්පාදනය කරන්න වෙනවා. ඒකෙන් අමතර පාඩුවක් වෙනවා. ඊළඟට දෙවැනි කාරණය තමයි මේ ටෙන්ඩරයෙන් ගේන්න ඕනෑ නියමිත නැව් ප්‍රමාණය. මේ ටෙන්ඩරයෙන් ගේන්න ඕනෑ නැව් 25ක්. දැනට තියෙන විදියට ආසන්න වශයෙන් නැව් 7ක් 8ක් ලංකාවට නොඑවීමේ අවදානමක් තියෙනවා. ඒ නැව් සියල්ලටම ඩීසල් වලින් තමයි විදුලිය උත්පාදනය කරන්න වෙන්නේ. ඒ හරහා සිදුවන පාඩුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ මැෂින්වලට සිදුවන පාඩුව. විදුලිබල මණ්ඩලය වගේම මහජන උපයෝගිතා කොමිසම යම් යම් පාඩු ගණනය කරලා තියෙනවා. ඒත් ගණනය කළ නොහැකි පාඩුව වෙනම තියෙනවා.
මොකක් ද ඒ ගණනය කළ නොහැකි පාඩුව?
පිළිතුර – උදාහරණයක් වශයෙන් ගිය සතියේ යන්ත්‍ර 2ක් හිරවුණා. එයින් වෙච්ච හානිය ගණනය කරන්න ඕනෑ. ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීමකට ගිය එකත් එක්ක නිසි වෙලාවට ටෙන්ඩරය කැඳවීම් නොකිරීමත් එක්ක දැනට එක නැවක එක ටොන් එකකින් ඩොලර් 25ත් 40ත් අතර අමතර පාඩුවක් වෙන බව පේනවා. මොකද අඩුම කෙනාට දුන්නොත් ඩොලර් 25ක් දෙවැනියට දුන්නොත් ඩොලර් හතළිස් හතරකට ආසන්න පාඩුවක් වෙනවා මෙට්‍රික් ටොන් එකකට. ඒකත් කෝටි දෙසිය පනහක් තුන්සියත් අතර පාඩුවක්. මේ පාඩුව වෙන්නේ හදිසි මිල කැඳවීම් හරහා.
මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්නෙ හේතුව වශයෙන් ඔබ දකින්නේ?
පිළිතුර – මේක ඇතිවුණ තත්වයක් නොවෙයි, ඇතිකරපු තත්ත්වයක්. සාමාන්‍යයෙන් ලංකාවට ගල් අඟුරු ගෙන්වන්න පුළුවන්කම තියෙන්නේ සැප්තැම්බර් 15 සිට අප්‍රේල් මැද දක්වා පමණයි. මොකද වාරකන් තත්ත්වයත් එක්ක අප්‍රේල් මාසයෙන් පස්සේ ගල් අඟුරු ගේන්න ඉතාම අපහසුයි. ඒ නිසා ලංකාවේ මෙතෙක් තිබුණ ක්‍රමවේද තමයි අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා ටෙන්ඩර් කැඳවලා අගෝස්තු මාසයට කලින් ටෙන්ඩර්කරුවන් තෝරාගෙන ගල් අඟුරු ටෙන්ඩර් ලබාදීම.
මේ පාර එහෙම වුණේ නෑ?
පිළිතුර – ඔව්! මේ ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීම දෙසැම්බර් දක්වා කල් දාලා. ඒ නිසා ක්‍රමවේදවලට යන්නේ නැතිව හදිසි ටෙන්ඩරයක් විදියට දින ගණන අඩු කරලා හදිසි තත්ත්වයක් මේ ආණ්ඩුව විසින් ඇති කළා. ඒ නිසා මේක ඉබේ ඇතිවෙච්ච දෙයක් නොවෙයි. සම්පූර්ණයෙන්ම ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් මැදිහත්වෙලා ඇති කරපු වංචාවක් තමයි මෙතැන තියෙන්නේ.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයකට දින 42ක් ලබා දුන්නත් මේ පාර දීලා තියෙන්නේ දින 21ක්?
පිළිතුර – ඔව්! සාමාන්‍යයෙන් මේක නිසි වෙලාවෙම අර මම මුලින් කිව්වා වගේ අප්‍රේල් හා ජූනි අතර කැඳෙව්වනම් දින 42ක කාලයක් ලබා දිය යුතුයි. ඒ වගේම එහෙම කරන්නේ නැතිව ටෙන්ඩරය කල් දාලා, කල් දාලා අන්තිමට මේක දින 21කට අඩු කරනවා. එහෙම කරන්නේ මේක හදිසි මිලදී ගැනීමක් කියලා. හැබැයි ලංකාවේ ගල් අඟුරු මිලදී ගැනීමට හදිසි මිලදී ගැනීමක් කරන්න ඒ වෙලාවේ කිසිම හේතුවක් තිබුණේ නෑ. මෙකද ලංකාවේ ඒ මොහොතේ ඩොලර්වල ප්‍රශ්නයක් තිබුණේ නෑ. වෙන ප්‍රශ්නයක් තිබුණෙ නෑ. හිතාමතාම ටෙන්ඩරය කල් දාලා හදිසි මිලදී ගැනීමට ගියේ. ඒ අනුව ප්‍රශස්ත මට්ටමේ ගල් අඟුරු ගේන සමාගම්වලට අඩු මිලක් දෙන්න බැරිවෙනවා. ඒ වගේම බාල ගල් අඟුරුවලට මිල පදනම් කරගෙන තමයි ටෙන්ඩරය යන්නේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද දකින්න වෙන්නේ.
ඔබ කියලා තිබුණා බලශක්ති ඇමැතිවරයා දූෂණය නමැති වරද කරලා තියෙනවා කියලා.
පිළිතුර – අනිවාර්යයෙන්ම! මේක 2023 දූෂණ විරෝධි පනත අනුව දූෂණය යන වැරැද්දට අයිති වෙනවා. මෙතැන වැරැදි දෙකක් තියෙනවා. පළමු එක තමයි ‘‘හදිසිය. ඒක ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව නිර්මාණය කරපු එකක්. හදිසි මිල කැඳවීමක් සඳහා ස්වාභාවික හේතු ඇරෙන්න හදපු හේතු හදලා තියෙන්නේ පුද්ගලයකු හෝ කණ්ඩායමක් නම් ඒක දූෂණ විරෝධී පනත අනුව දූෂණයක් විදියට සැලකෙනවා.
ඔබ කියලා තියෙනවා ටෙන්ඩරය දීපු සමාගමේ නියෝජිතයන් බලශක්ති ඇමැතිවරයා විදේශයකදී හමුවුණා කියලා.
පිළිතුර – ටෙන්ඩරයක් තියෙන කාලසීමාව තුළ අමාත්‍යවරයකුට හෝ ආයතන ප්‍රධානියකුට සැපයුම්කරුවන් හමුවීමේ හැකියාවක් නෑ. නමුත් ඒ කාලය තුළ ඇමතිවරයා ඒ සමාගම් ප්‍රධානීන් හමුවෙලා තියෙනවා. ඒ අනුව ඇමැතිවරයා දූෂණය නමැති වරදට දෙපාරක්ම නතුවෙලා තියෙනවා.
අනිවාර්යයෙන්ම! මේක 2023 දූෂණ විරෝධි පනත අනුව දූෂණය යන වැරැද්දට අයිති වෙනවා. මෙතැන වැරැදි දෙකක් තියෙනවා. පළමු එක තමයි ‘‘හදිසිය. ඒක ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව නිර්මාණය කරපු එකක්. හදිසි මිල කැඳවීමක් සඳහා ස්වාභාවික හේතු ඇරෙන්න හදපු හේතු හදලා තියෙන්නේ පුද්ගලයකු හෝ කණ්ඩායමක් නම් ඒක දූෂණ විරෝධී පනත අනුව දූෂණයක් විදියට සැලකෙනවා.
ආණ්ඩුව කියනවා චෝදනා කරනවා වගේම පුළුවන්නම් ඔප්පු කරන්න කියලා.
පිළිතුර – අපි ඔප්පු කරලා තියෙන්නේ. මීට වඩා ඔප්පු කරන්න දෙයක් නෑ. දැන් ඉතිරිවෙලා තියෙන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ වැඩටික විතරයි. ලංකාවේ දූෂණය නමැති වරද කළාම නඩු දැමීමේ හැකියාව තියෙන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවට. ඒ කොමිසමේ කාර්යභාරය තමයි දැන් තියෙන්නේ. අපි සියලුම දත්ත දීලා තියෙනවා. සියලුම සාක්ෂි දීලා තියෙනවා. ඒ සාක්ෂි තහවුරු කරලා තියෙනවා. විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම. දූෂණය නමැති වරදට සාමාන්‍ය පුද්ගලයකුට නඩු දාන්න බෑ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසමට.
සැප්තැම්බර් වෙනකොට විදුලිය බිල සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දාන්න වෙනවා කියලා ඔබ කියලා තිබුණා?
පිළිතුර – හරිම පැහැදිලියි. මොකද මේකේ පාඩුව මම මුලින් කිව්වා වගේම බාල ගල් අඟුරු ගෙනඒමේ පාඩුව තියෙනවා. ගල් අඟුරු නොගෙන ඒමේ පාඩුව මේකට ඇතුළත් වෙනවා. ඊට අමතරව මැෂින්වලින් සිදුවෙන පාඩුව තියෙනවා. ඊට අමතරව හදිසි මිලදී ගැනීමත් එක්ක ගල් අඟුරුවල මිල වැඩිවීම මේකට එකතු වුණාම ආසන්න වශයෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයකින් විදුලිය බිල වැඩිකරන්න මේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
මැද පෙරදිග යුද්ධය හමුවේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ඉහළ අගයක් ගන්නවා කියලා මම යෝජනා කළොත්?
පිළිතුර – මෙහෙමයි. මේ ආණ්ඩුව විදුලිය බිල වැඩිකිරීම ලෝකයේ දැන් ඇතිවෙලා තියෙන තත්වයට බැර කරන්න උත්සහ කරනවා. ලංකාවේ විදුලිය සියයට සීයක් ලබාදීම සඳහා ඩීසල් අවශ්‍යතාවක් නෑ. මොකද අපේ රටේ තියෙන ජල විදුලිය සූර්ය බලය, සුළං බලය, ගල් අඟුරු එකතු වුණාම අවශ්‍ය ධාරිතාව නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු නිසා තමයි වෙනදට වඩා සියයට 33ක ප්‍රතිශතයකින් ඩීසල් ආනයනය කරන්න වෙනවා. ඒකත් මිල වැඩිවීම අධිකයි. ඒ අනුව මේ ආණ්ඩුව මේක ලෝක අර්බුදය ඒමට කලින් එක එක සමාගම්වලට වාසිවෙන විදියට තමයි මේ මිල වැඩිකිරීම කරලා තියෙන්නේ.
ඔබ එහෙම කියන්නේ කොහොම ද?
පිළිතුර – උදාහරණයක් ගත්තොත් ඩීසල් නැව් ඇවිත් තියෙන්නේ පෙබරවාරි මාසයේ 27 සහ 28. එතකොට මේ අර්බුදය පටන් ගත්තට පස්සේ ලංකාවට ඩීසල් ඇවිත් නෑ. ඒ වගේම තමයි ලංකාවට ආපු කෲත් නැව ජනවාරි මාසයේ මිල මත පදනම්ව තමයි ආවෙ. කෘත් නැවේ මිල සඳහන් වෙලා තියෙන්නේ ජනවාරි මාසයට. ඒ අනුව අඩුවට ගෙනාපු තෙල්වලට තමයි මේ ගොල්ලේ මිල වැඩි කළේ. හිතවත් සමාගම්වලට වාසි වෙන්නයි.
මේ තියෙන තත්ත්වයත් එක්ක ඉන්ධන මිල ඉහළ දානවා හැරෙන්න විකල්පයක් තියෙනව ද?
පිළිතුර – මේ වෙනකම් පෙට්‍රෝලියම් එකට කිසිම හේතුවක් නෑ මිල වැඩි කරන්න. මම මුලින් කිව්වේ ඒකම තමයි. අපි අහන්නේ කොහොමද මොන හේතුවක් නිසාද කලින් ගෙනාපු තෙල්වල මිල වැඩි කළේ කියල. ඒ වගේම තමයි විපක්ෂයේ ඉන්නකොට අනුර කුමාර මහත්තයා යෝජනා කළා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යනවානම් ආණ්ඩුවට තියෙන්නේ බදුවලින් සහන දීම කියලා. ඉතින් එතුමා කරපු යෝජනාව අනුව වැඩ කරන්න කියලා අප කියනවා.
විපක්ෂය මේ මොහොතේ හැසිරෙන විදිය හරියි කියලා ඔබ හිතනවද?
පිළිතුර – මං හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි වතුරවලට පිළිකා කාරක දැමීමට උත්සාහ කළ අවස්ථාවේ සිට ගල් අඟුරු වංචාව අනාවරණය කිරීම දක්වා කන්ටේනර් පිට කිරීම ඇතුළු වංචා ගණනාවක් හෙළි කළා. අපි සමහර වංචා, දූෂණ හෙළි කළේ ඔවුන් ඒවා කරන්නත් කලින්. මෙන්න මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා අපි කිව්වා. ඒ අතින් අපි තෘප්තිමත්. ඒ වෙනුවට අපි රටේ කිසිම කඩාකප්පල්කාරී දෙයක් කරලා නෑ.
ඒ කියන්නේ ආණ්ඩුවට සම්පූර්ණ කාලයම දෙනවා?
පිළිතුර – ප්‍රජාතන්ත්‍ර විරෝධී කිසිම දෙයක් අපි කරන්නේ නෑ. හැබැයි, රට විනාශ වෙනවානම් ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරනවා නම් ආණ්ඩු පෙරළියක් සඳහා මැතිවරණයක් ඉල්ලලා ජනතාව පාරට බස්සන්න අපි සූදානම්.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

