
ඉකුත් 23 වනදා සිට දින පහක් එක දිගට ඇද හැලුන ධාරානිපාත වර්ෂාව කොත්මලේ ජලාශය ඇතුළු ඇළ දොළ ගංගා, මෙන්ම අනෙකුත් ජලාශවලට ද ඉසිලිය නොහැකි දිය බරක් එකතු කර තිබුණේය. මෙම විශාල ජලකඳ දරාගැනීමට මහවැලි ගඟේ ඉහළින්ම ඇති කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයට මෙන්ම ඉහළ කොත්මලේ ජලාශයට නොහැකි විය. සිදු වූයේ ඒවාහි දොරටු තුළින් ඒ ජල කඳ මහවැලි ගඟට එකතු වීමය. මහවැලිය කෝප වී එය ජනතාවගේ ජීවිත හා ගම්බිම් වතුපිටි තුළින් මුදා හළේය.
සියවස් ගණනාවක් පුරා වරින් වර මහවැලි ගඟ පිටාර ගලා ජනතාවට හානි ගෙන දී තිබුණි. ඒ අනුව කොත්මලේ ජලාශය ඉදිකිරීමේ එක් මුඛ්‍ය පරමාර්ථයක් වුයේ - පහත් බිම් වැසි ජලයෙන් යටවීම වළක්වාගැනීමය.
තත්ත්පරයට මි.මී.160ක වර්ෂාපතනයක් කඳුකරයට ලැබුණහොත් මෙහි පහත්බිම් යටවෙන අනතුරුදායක තත්ත්වයක් ඇති බවට සටහන් වී ඇත. එදා නිල්ලඹට ලැබුණ වැසි ඝනත්වය මි.මී.440 ලෙස සටහන්ව තිබිය දීත්, එහි අනතුර ගැන පූර්ණ ලෙස ජනතාව දැනුවත් නොකිරීම ගැටලුවකි. එමෙන්ම නාවලපිටියේ ස්ථාපිත කර ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එකෙන් මහවැලි ගඟේ එන ජල කඳේ ධාරිතාව ගැන සටහන් වෙන බව සඳහන් වුණත්, එදා මේ වතුර ප්‍රමාණයේ ධාරිතාව මැන සිදුවිය හැකි අනතුර පිළිබඳව ජනතාව දැනුවත් කළා නම් විපතේ බරපතළකම සැලකියයුතු තරමකින් අඩු කර ගැනීමට හැකියාව තිබු බව පාර්ලිමේන්තුවේ ද කතාබහ විය. එහි සත්‍යතාව සොයාගැනීම පාලකයන්ට භාරය.
දිට්වා වැඩියෙන්ම බලය පෙන්වා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කට ය. එයිනුත් ගම්පොළ ප්‍රදේශයටය. ගඟ - පොළ ’ගම්පොළ’ ලෙස සැදුණේ මෙම නගරය මහවැලි ගඟ සමීපව පිහිටා තිබීම නිසාය.මේ නගරයේ බොහෝ පිරිස් මෙම සුන්දර ගඟට ආදරය කරුණාව දක්වා තිබුණේ නැත. මහවැලි ගඟේ ගලා යන ජල පහරේ සිටම ඔවුන් ගොඩනැගිලි, නිවාස ව්‍යාපාර ස්ථාන ඉදිකර තිබුණේය. මේවා ජල පහරට අවහිරවීම් බව වගකිය යුතු පිරිස් නොදැක්කේ අත යට ගනුදෙනු සිදුවූ නිසා බව හැමෝම දනිති.
1947 ඇති වූවා යැයි කියන මීටත් වඩා බරපතළ ගංවතුර තත්ත්වය තුළත් මෙතරම් ජීවිත හානි සිදු වූ බවට තොරතුරු සොයා ගත නොහැකිය. මේ වන විටත් ගම්පොළ සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය නොනිල වාර්තා තහවුරු කර ඇත්තේ, තුන්සියයකට අධික බවය. පස් කඳුවලට යටවී සිටින තම ඥාතීන් ගොඩගැනීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් සිටිති.
ගම්පොළට මෙතරම් හානියක් ගෙන දුන්නේ ජලගැලීම්, නාය යාම්, ගල් පෙරළීම්, ගස් කඩාවැටීම්, පස්කඳු කඩාවැටීම්, ඇළදොළ උතුරා යාම් ආදී සියලු ආපදාවන් ජනතාවට එකවර එල්ල වීම නිසාවෙනි. බලයේ සිටින ආණ්ඩුවට ලකුණු එකතු කර ගන්නවත් පරාජිත විපක්ෂයට ජයග්‍රහණයේ අඩිතාලම දමා ගැනීමටවත් මේ ඛේදනීය තත්ත්වය පාවිච්චි නොකළ යුතුය.
රජය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව මේ අවස්ථාවේ එකිනෙකා ගේ පළපුරුද්ද අත්දැකිම් දැනුම හා සම්පත් භාවිත කරමින් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කළ යුතුය. එහෙත් මේ දක්වා එවැන්නක් දක්නට නොමැති වීම කනගාටුවට කාරණයකි.
සිදුව ඇති හානිය සුළුපටු නොවන්නේය.වැනසී ඇති නිවාස ව්‍යාපාරික ස්ථාන හා මං මාවත් ඇළදොළ වතුපිටි ආදිය නැවැත යථා තත්ත්වයට පත් කරන්නට තවත් වසර කිහිපයක් ගත වනු ඇත.

පක්ෂ අමතක කර එකට එක්වූ දේශපාලඥයන්
මේ වනවිටත් කිසිවකුටවත් තවමත් ළංවිය නොහැකිව අසරණ වූ ගම්මාන ගම්පොළ ඇත්තේය. සිව් දෙසින්ම මාර්ග කැඩී යාම නිසා මෙම ගම් හුදකලාවී තිබෙන්නේය. ගුවනින් හෝ පුහුණුව ලත් හමුදා කණ්ඩායම් මෙම ස්ථාන වලට ඉඳහිට ගියත්, මහජනතාවට හෝ ඔවුන්ගේ ඥාතීන්ට නිතර එම ස්ථානවලට යාමට නොහැකි වී ඇත.
මේ නිසා ඒ ඒවායෙහි නියම තොරතුරු හා වැළලී ගිය ගම්මාන වල මිනිස් ජීවිතවල තොරතුරු තාමත් නිල ලෙස ලැබී නොමැත.
ලැබෙන නිල තොරතුරු සත්‍යයම නොවන බව මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත ඉකුත්දා මහනුවරට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ද ප්‍රකාශ කළේ මේ නිසාය. දිසාපතිවරයා දිස්ත්‍රික්කයේ ප්‍රධානියා වුවත්, ඔහුට තොරතුරු ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්ය .ප්‍රාදේශීය ලේකම් තොරතුරු ලබාගන්නේ ග්‍රාම නිලධාරීන් ගෙන්ය. මේ ආපදාවෙන් සමහර ග්‍රාම නිලධාරින් ද අසරණව සිටින බව වාර්තා විය. එමෙන්ම සන්නිවේදන මාර්ග සියල්ල බිඳවැටී තිබෙන බැවින්, නිල තොරතුරු ලබාගැනීම ද කළ නොහැකිය. එවැනි අවස්ථාවල අඩුම තරමින් සත්‍යයට ආසන්න තොරතුරු ලබා ගැනීමටවත් ප්‍රාදේශීය ලේකම්වරු උපක්‍රමශීලි විය යුතුය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරණ සංඛ්‍යාව ඉකුත් පළමුවන දා වනවිටත් 19ක් ලෙස සටහන් වී තිබු බවය. එදිනම ගම්පොළ රතනඝර විහාරාධිපති බෝවල විමලධම්ම නාහිමි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණඩායම සමග පැවැසුවේ මියගිය පුද්ගල දේහයන් පනහක් උන්වහන්සේගේ මෙහෙයවීමෙන් එකම තැනක වල දැමු බවය. ඒ අතර ගම්පොළ මාවතුර ප්‍රදේශයේ නාය යාමෙන් නිවාස17ක් සම්පූර්ණයෙන් විනාශ වී පුද්ගලයන් පනහකට අධික පිරිසක් පස්කන්දට යටව ඇති බව ප්‍රදේශවාසීන් හා ඥාතීන් එහි ගිය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දුන්හ.
ඔවුන් මාවතුර ඉහළගම නාය ගිය ස්ථානයට යන විටත් පස් කන්දට යට වී සිටින තම ඥාතීන්ගේ සිරුරු ගොඩ ගැනීමට පෞද්ගලික වියදමින් බැකෝ යන්ත්‍ර යොදාගෙන කටයුතු කරනු දක්නට හැකිවිය. ඒ අනුව ඉකුත් පළමු වනදා වනවිට දිසාපතිවරයා සතු ලේඛනයේ ගම්පොළ උඩපළාත මිය ගිය සංඛ්‍යාව 19ක් ලෙස සටහන් වුව ද, ප්‍රායෝගික දත්ත අනුව මිය ගිය බව තහවුරු කර ගෙන තිබු ප්‍රමාණය ඊට වැඩිවිය හැකිබව පෙනෙන්නට තිබේත.
රජයේ නිලධාරීන්ගේ හා පිළිගත් සංඛ්‍යා ලේඛන අනුව අතුරුදන් වීම් හා මරණ යනු දෙකක්ය. නමුත් තම ඥාතියා පස්වලට යටවී මැරෙන බව දුටු පිරිස් හට එය මිය යාමක් විය. මෙම සංඛ්‍යා ගැටලුවට එය ද හේතුවක් වී තිබේ.
ප්‍රදේශයේ මංමාවත් විදුලිය හා ජල සැපයුම තවමත් පෙර පැවැති තත්වයට පත්කර ගැනීමට නොහැකි වී ඇත. ස්වේච්ඡා කණ්ඩායම් එක්ව විනාශ වූ දේපොළ යථා තත්ත්වයට පත් කරදීමට දරන උත්සාහය ප්‍රශංසනීය වන්නේය. ගම්පොළ ස්ථාන කීපයකම විපතට පත් වූවන්ට ආහාර පිළියෙළ කරන ආකාරය ද දක්නට තිබේ. මේ අතරින් පන්සල්, මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන මේ සඳහා මුල් තැන ගෙන තිබේ. ගම්පොළ පමණක් මේ වන විට අවතැන් කඳවුරු 119 කි. එහි පුද්ගලයන් 16675 දෙනෙකු රැඳී සිටිති. සිකුරාදා (05) වන විට නිල මරණ සංඛ්‍යාව 80 කි. අතුරුදහන් පිරිස 65 කි. දොළුව හා උඩ පළාත ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකින් සමන්විත ගම්පොළට පොලිස් ස්ථාන හතක් ඇත්තේය. ගම්පොළ - ගලහ මාර්ගය කඩාගෙන ගොස් ගම්පොළ හා ගලහ අතර සබඳතාව ද බිඳ වැටී ඇත්තේය. මහනුවර නාවලපිටිය මාර්ගය උලපනේ ගඩොල් බෝක්කුව අසලින් කැඩී ගියේ මගීන් සහිත බස්රථ දෙකක් ද අනතුරට පත් කරමින්ය. මෙම නායයාම නිසා ගම්පොළ - නාවලපිටිය සබඳතාව ද බිඳ වැටිණ. ගම්පොළ හෙම්මාතගම මාර්ගය අවහිර වීමෙන් ගම්පොල මාවනැල්ල හරහා කොළඹට යා හැකිව තිබු විකල්පය ද අහිමි විය. ගම්පොළ දොළොස් භාග මාර්ගය ගල්පාය ප්‍රදේශයෙන් කැඩීයාම නිසා එම සබඳතාව ද බිඳී ගියේය. එසේම ගම්පොළ දුනුකේඋල්ල මාර්ගය ඉහළගමින් පුපුරා ගොස් තිබුණි. ගම්පොළ දොළුව හරහා ගලහ මාර්ගය ද නිල්ලඹ ජලාශය අසලින් විශාල නාය යාමකට හසුව තිබුණේ ජීප් රථයක් ද අනතුරට පත් කරමිනි.
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකකින් සමන්විත ගම්පොළ පොලිස් කොට්ඨාසය තුළ ඊයේ දහවල් වන විට මරණ 80 ක් වාර්තාවී ඇති අතර, නයයාම් හා ගංවතුරෙන් අතුරුදන් පුද්ගල සංඛ්‍යාව75 බව ආපදා සහන සේවා කමිටුව හා පොලිස් වාර්තා මගින් සනාථ වී ඇත.
ගම්පොල කඳවුරු 48ක් දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති බව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න ප්‍රකාශ කළාය. ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉතිරි කඳවුරු ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුෂි ජයරත්න ප්‍රකාශ කළාය.
1947 මහා ගංවතුරට පසු ගම්පොළට ඇතිවූ විශාලතම ගංවතුර මෙය වන අතර නගරයේ නිවාසවල හා වෙළෙඳසැල්වල සිර වූ තිස්හය දෙනකුගේ මළ සිරුරු සමග සම්පූර්ණ මළ සිරුරු 60ක් සිද්ධියෙන් දෙවැනි දිනම ගම්පොළ රෝහලට රැගෙන ආ බව රෝහල් අධ්‍යක්ෂ ඒ.ඒ.ඩී.සී. ඩයස් සඳහන් කළේය.
පැය විසි දෙකක් ජීවිතය සමග සටන් කර මිය ගිය දරුවා
ගම්පොළ මාවතුර ඉහළගම ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස දහ හතක් විනාශ වී එහි සිටි පවුල්වල පුද්ගලයන් හතළිහත් පනහක් අතර පිරිසක් අතුරුදන්ව ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආපදා ඒකකය පවසන අතර මෙන් සිරුරු පහළොවක් පමණ මේ වන විට සොයාගෙන ඇත.
එසේම උලපනේ ගඩොල් බෝක්කු අසල නාය යාම නිසා මගී ප්‍රවාහන බස් රථ දෙකක් හා තවත් වාහන කීපයක්ම එයට හසුවී ඇතත්, සහන කාණ්ඩායම්වලට එම ස්ථානවලට යාමට නොහැකි වීමෙන් දින ගණනාවක් පුරා එහි ඇති සිරුරු ගැනීමට නොහැකි වී තිබිණ.
පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ ගම්මානයක් නාය යාමෙන් පුද්ගලයෙන් අට දෙනෙකු අතුරුදහන්ව තුනක් හමුවී ඇති බවත්, ගල්ඔය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මරණ දහ අටක් හා අතුරුදන් වීම් පහක් සිදුව ඇති බවත්, දොළුව ආපදා සහන නිලධාරී නුවන් ධනුශ්ක සඳහන් කළේය.
එසේම දොළුව නව නිල්ලඹ ප්‍රදේශයේ නාය යාමෙන් මරණ තුනක් හා අතුරුදහන් වීම් නමයක් හා හුණුගල ප්‍රදේශයේ මරණයක් ද සිදුව තිබුණි. ගම්පොළ සිංහපිටිය ජලාශ මාර්ගය දෙසට හදිසියේ ගලා ආ ජල පහරකට හසුවූ හත් දෙනෙකු ගසාගෙන ගොස් තිබූ අතර, මෙහිදී ගම්පොළ ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ ගුරුවරියක එම ජල පහරට හසුව මියගොස් ඇගේ පාසලේම පිට්ටනියේ සිරුර රැඳී තිබියදී හමුවී තිබුණි.

පැය 22 ක් තිස්සේ සිරවී සිටි දරුවා බේරාගැනීමට ගත් උත්සාහය
එසේම දොළුව පුපුරැස්ස, පිටවල, මුල්ගම, තුන්පෑලවක, උඩුදෙණිය, හුණුගල යන ගම්මානවල සිදුව ඇති නාය යෑම් හා අතුරුදන් වීම් පරීක්‍ෂා කිරීම සඳහා මාර්ග අවහිරතාවයනිසා යාමට නොහැකි තත්ත්වයක් ද උදාවී තිබේ. ගලහ මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කීපයක් විනාශ වී ඇති අතර, එහි සිටි පුද්ගලයන් පස් දෙනකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබේ.
මෙහි සිටි අත්තම්මා කෙනෙකු හා මුණුබුරකු පස්වලට යටවී මුනුපුරාගේ ශරීරය මත අත්තම්මා මියගොස් සිටිය ද, පහළොස් හැවිරිදි එම මුනුපුරාට පණ තිබුණේ - ඔහුගේ ඉනෙන් පහළ පස්වලට යට වී තිබීම නිසාය. මාර්ගය දෙපස දරුණු ලෙස ස්ථාන කීපයකින් අවහිර වී තිබීම නිසා සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟා වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබුණි.
ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩගැනීමට උත්සාහ කළේ අධික වර්ෂාව හා නිවසේ එල්ලී තිබූ කැඩී ගිය කොන්ක්‍රීට් ආවරණයේ අනතුර ද නොතකාය. මොවුන් පැය 22 ක් එම උත්සාහය ගත්තත්, මෙම දරුවාගේ යටවී තිබූ පාද ඉහළට ගැනීමට නොහැකි වූ අතර - අවසන් මොහොතේ ජලය මඳක් ලබාදීමේ දී ඔහු එය පානය කර අප ඉදිරියේම ඇස් දෙක පියා ගනු ලැබීය.
මේ ආකාරයට සිව් දෙසම අවාසනාවන්ත සිදුවීම් ඇති වෙද්දී ජීවත්ව සිටි පිරිසට එම ශෝකාන්ත දරාගැනීමට නොහැකි විය. මාවතුර ඉහළගම ප්‍රදේශයේ එකම පවුලේ හත් අට දෙනා පස්වලට යටි වී සොයාගැනීමට නොහැකිව තිබිය දී, ඉන් බේරුණු එකා දෙන්නා නගන විලාප සියල්ලන්ටම ඉවසීමට නොහැකි විය. මෙහි සිටි ශිවන්ත මහනුවර හෝටලයක රැකියාවට ගොස් නිවසට එන විට තම බිරිඳ හා කුඩා දරු තිදෙනා නිවස සමග පස්වලට යට වී තිබුණි. තව තරුණ මවක් කෑ ගසමින් ඇගේ පවුලේ අට දෙනාම සොයා ගැනීමට නොහැකි බව පවසමින් හඬා වැටුණි.
ගම්පොළට විශාලම හානිය සිදුවූයේ මහවැලි ගඟ පිටාර ගැලීම නිසාය. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය හා තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශය ඉදිකිරීමෙන් පසුව ඊට පහළින් තිබූ උලපනේ, ගම්පොළ, ගෙලිඔය, හා පේරාදෙණිය නගර ගංවතුරෙන් සුරක්ෂිත වුවත් - මෙවර නොකඩවා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව ජලකඳ ඔරොත්තු නොදීම සියල්ලම විපතට දැමීමක් විය.
අනාගතය කෙබඳුද?
ගම්පොළ නගරයේ දුම්රියපොළ - බස් නැවතුම්මේ සිට සෑම වීදියක් හා ඊට පහළින් තිබූ කහටපිටිය බැබිළ ප්‍රදේශවල අඩි විස්ස තිහ උසට ජල කඳ ඉහළ ගියේ, මිනිසුන්ට බේරීමට අවස්ථාවක් නොදීය. සියලුම ප්‍රදේශවල නිවාස, වාහන, බඩුමුට්ටු විනාශ වී තිබුණේ - මිනිස්සුන් ගේ අනාගතය ඔවුන්ට හිතාගැනීමට නොහැකි අයුරුනි.
පක්ෂ විපක්ෂ සියලුම දේශපාලනඥයන් මේ ව්‍යසනයේ දී ගම්පොළ ජනතාව වෙනුවෙන් එක්ව කටයුතු කරනු දැකීම සුවිශේෂ සිදුවීමක් විය. මේ අතර ගම්පොළ නගරයේ ජලය ක්‍රමයෙන් අඩුවෙද්දී ජනතාව හා වෙළෙඳුන් තම ව්‍යාපාර ස්ථාන හා නිවාස තුළට පැමිණිය ද, ඔවුන්ගේ සියලු දේපළ ජලයෙන් විනාශ වී තිබුණි . ජනතාවට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගෙන ගාල්ල හා අම්බලන්ගොඩ නගර සභා සේවකයන් ද නලින් හේවගේ අමාත්‍යවරයා ද එහි සිට පැමිණ ගම්පොළ බොහෝ ස්ථාන පිරිසිදු කිරීම ආරම්භ කර ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ගම්පොළ ජන අරගල සභාව ද, අනෙකුත් සහන කණ්ඩායම් ද, ජනතාව සඳහා ආහාර සකස් කර ලබා දීම සිදුකරමින් පවතී . මේ අතුරෙන් ගම්පොළ බැබිල පල්ලිය, කහටපිටිය පල්ලිය ඇතුළු දේවස්ථාන හා විහාරස්ථානවල මෙම සහන සේවා අරඹා තිබේ.
විස්තර හා ඡායාරූප ගම්පොළ - සුරංග රාජනායක


