ගමක් හිඟන්නන් කළ හඳුන්කූරු පිරමීඩ ජාවාරම


ලංකාවේ විවිධ පළාත්වල විවිධ වේශයෙන් පිරමීඩ් ජාවාරම රහසේ කෙරෙමින් පවතී. විවිධ හේතු නිසා වැසීගිය මූල්‍ය ආයතන සහ එම මූල්‍ය ආයතනවල ගනුදෙනු කරන ලද අයට සිදුවූ හිරිහැර, කරදර, දුක් දොම්නස් අපේ රට මාධ්‍ය හරහා පසුගිය කාලය පුරාම දැකගත හැකි විය.

මෙම පිරමීඩ ජාවාරම විවිධ අවස්ථාවල එන්නේ විවිධ ව්‍යාපාර මුවාවෙනි. කාලයක් එක් දිස්ත්‍රික්කයක කරන අතර තවත් කාලයක තවත් දිස්ත්‍රික්කයක එය සිදුකරයි. මෙම තොරතුරුවලින් අපට දැකගැනීමට හැකිවෙන්නේ සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම මූල්‍ය වංචාව මෙහෙයවන බවය. 

පන්නල්ගම ගම්මානය පිහිටා තිබෙන්නේ අම්පාර නගරයේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරිනි. මෙම ගම්මානයේ යුවලක් දැනට වසරක කාලයක පමණ සිට අරුණලු‍ නිෂ්පාදන ලෙස පහන්තිර සකස් කර විකිණීම ආරම්භ කර ඇත. දිනෙන් දින මෙම වැඩසටහන සාර්ථකව  ඉදිරියට ගිය අතර ටික කලක් යනවිට එය හඳුන්කූරු ව්‍යාපාරයක් ලෙසද ආරම්භ විය.

සැකකාර යුවළ උසාවි ගෙනා අයුරු

හඳුන්කූරු සහ ඒවා බහාලීමට ගන්නා පැකට් ගෙනවිත් ඒවා රුපියල් 50000 ක මුදලක් ඇපයට තබාගෙන හඳුන්කූරු පැකට් 1000 ක් දෙන අතර ඒවා අසුරා ආපසු ගෙනත් දෙන විට තමන් මුලින් දුන් රුපියල් 50000 සහ එයට අමතරව තවත් රුපියල් 25000 ක් දීම සිදුකර තිබේ.‍

පන්නල්ගම ගම්මානයේ විශාල පිරිසක් ටික දිනක් යනවිට මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත. මුල් කාලයේ රුපියල් 50000 ට තවත් රුපියල් 25000 ක් දුන් නිසා ප්‍රදේශයේ ජනතාව අතර මෙම ව්‍යාපාරය  පිළිබඳව යම් විශ්වාසයක් ඇති විය.

මේ හේතුව  නිසා දිනෙන් දින මෙම ව්‍යාපාරය ඉදිරියට ව්‍යාප්ත විය. පන්නල්ගමින් ආරම්භ වූ මෙම ව්‍යාපාරය අම්පාර දිස්ත්‍රික්කය පුරා මෙන්ම යාබද දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත විය. එහෙත් හදිසියේ ම ගැටලුකාරී තත්ත්වයක් ඇති විය. ඒ පිළිබඳව අදහස් මෙසේය.

ඒ.පී. අධිකාරි පන්නල්ගම 

අපේ ගමේ ස්වයං රැකියා නිෂ්පාදනයක් හැටියට හඳුන්කූරු හදන්න පටන් ගත්තා. මුලින් රුපියල් 50000 ක් දුන්නාම පැකට් 1000 ක් දෙනවා. අපි ඒ පැකට් අලවලා හඳුන්කූරු දාල බණ්ඩල් හදල ගෙනත් දුන්නාම අපි දුන්න 50000 ට අමතරව තවත් 25000 ක්  දෙනවා . පස්සේ ගමේ  අය ටිකෙන්  ටික මේකට සම්බන්ධ වුණා . පස්සේ මේක ටික දිනක් යනවිට 250000 දුන්නාම වැඩිපුර 125000 දෙන තැනට ගෙනාවා.

මුලින්ම කීප දෙනෙකුට එම මුදල් ගෙව්වා. මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණ අය හිතුවා මේක හොඳ විශ්වාස කළ හැකි ව්‍යාපාරයක් බව. මේ අතරතුර මේක කරපු දෙන්නා අපේ ගමේත් අවට ගම්මානවලත් නියෝජිතයන් පත් කරලා ඒ හරහා මුදල් උපයන්න පටන් ගත්තා .

මිනිස්සු බය නැතුව ලක්ෂ 10, ලක්ෂ 15,  ලක්ෂ 20, ලක්ෂ 100 පවා මේ අයට දුන්නා. දැන් මේ අය ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. අපේ පන්නල්ගම  ගම්ම‍ානයම  මේකට හවුල්වෙලා තියෙනවා. වැඩිදෙනෙක් මුදල් යොදවලා තියෙන්නේ පොලියට අරන්. සමහර අය කුඹුරු උකස් කරලා. සමහර අය රත්තරන් බඩු උකස් කරලා. දැන් මුළු ගම ම අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා තියෙනවා.

මනෝරි ධර්මතිලක  

මම මේ හඳුන්කූරු ව්‍යපාරයට සම්බන්ධ වුණේ ලක්ෂ පහක් දීලා. ඒකෙන් 250000 ක් මගේ පුතාගේ. දැන් අපේ සල්ලි ගත්ත අය ගමෙන් ගිහිල්ලා. අපිට කළේ හරිම අසාධාරණයක්. මම ජීවත් වෙන්නේ අක්කරපත්තුව පොළේ ගිහින් බඩු විකුණලා. දැන් අන්ත අසරණ තත්වයට පත්වුණා. අහිංසක අපි අමාරුවේ  වැටුණා.

එම්.ජී. වික්‍රමරාජ - පන්නල්ගම 

මම මුදල් දුන්නේ මේ  අයට නෙවෙයි ගමේ  හිටපු නියෝජිතයෙකුට. මම පොලියට අරන් ලක්ෂ හතක් දුන්නා. ඒවට මම පොලිය 14000 ක් ගෙවන්න ඕනේ. මම දැන් සල්ලි ඉල්ලන්නේ මම සල්ලි දුන්න සබ් නියෝජිත ඉරේෂාගෙන්. එයා දැන් නිශ්ශබ්දව ඉන්නවා. දැන් අපට බඩඉරිඟු ඇට ගන්න විදියක් නැහැ. ඉඩම් හාගන්න විදියක් නැහැ. දරුවෙක් ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අපේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු මේ විදියට රවට්ටන්න හොඳ නැහැ . අපි කියන්නේ අපෙන්  ගත්ත මුදල් වහාම  දෙන්න කියලා.

පුෂ්පා රංජනි මැණිකේ - කුමන 

මම පොළේ ගිහින්  එළවළු විකුණලා ජීවත් වෙන්නේ. ගමේ අය හඳුන්කූරු ව්‍යාපාරය පටන් ගත්තම මමත් ඒකට සම්බන්ධ වුණා. මේකට සම්බන්ධ වෙන්න මට මුදල් තිබුණේ නැහැ .මගේ දුව ඉන්නේ කොළඹ. පස්සේ මම දුවට කියලා අවස්ථා දෙකකදි ලක්ෂ අටක් අරන් හඳුන්කූරු අරගෙන සේරම පැකට් කරලා තියෙනවා . නමුත් ඒවා භාර ගත්තේ නැහැ. දැන් මට මගේ ලක්ෂ අට නැහැ . මගේ දුව  ගාමන්ට් ගිහින් දුක් විඳලා හම්බ කරපු සල්ලි. අපිට මේ කරපු අපරාධයට හොඳක් වෙන්න එපා. 

පන්නල්ගම ගම්මානය මෙන්ම දමන කොට්ඨාසය අවට ඇති කුමන  තොට්ටම, බක්මිටියාව, අම්බලන්ඔය, මඩවලලන්ද, තිඹිරිගොල්ල,  පහලලන්ද, මහානාගපුර, නීත්ත, එක්ගල්ඔය, වඩිනාගල, කොක්නහර, දේවාලහිඳ යන ගම්මානවල ජනතාව ද මෙම පිරමීඩ ජාවාරමට ගොදුරු වී තිබේ.

මෙම කූට ව්‍යාපාරයට අහිංසක මිනිසුන් මෙන්ම පොලිස්  නිලධාරීන්, ප්‍රාදේශීය  ලේකම් කාර්යාලවල නිලධාරීන්, රෝහල්වල  සේවකයන්, ව්‍යාපාරකයන්, පෞද්ගලික මූල්‍ය ආයතනවල සේවකයන් හා ගුරුවරුන් විශාල ප්‍රමාණයක්ද  හසුවී ඇත.

ජනතාව නිවස වැටලූ අයුරු

ජනතාවගේ මුදල් රැගෙන ඔවුන්ට අවශ්‍ය හඳුන්කූරු ඇතුළු අනෙක් අමුද්‍රව්‍ය ලබාදීම ප්‍රමාණවත් නොවීම නිසා ගම්වැසියන්  එක්ව 2025.09.29 වෙනි දින පන්නල්ගම විහාරස්ථානයේදී පැවැත්වූ රැස්වීම සඳහා මෙම ගැටලු‍වට මුහුණ දුන් ජනතාව මෙන්ම  ප්‍රාදේශීය සභා මාලිමාවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු ද සහභාගි වී තිබේ.

එහිදී මෙම ජාවාරම්කරු පවසා ඇත්තේ තමන් විසින් යවන ලද ඒවායෙහි නිෂ්පාදන ගැටලු‍වක් නිසා නැවත එම නිෂ්පාදන එවා ඇති අතර එම අර්බුදය විසඳා මාසයක් ඇතුළත ජනතාවගේ මුදල් ගෙවන බවයි 

මෙහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා, මෙම ව්‍යාපාරයේ ගැටලු‍වක් නිසා ඒ පිරිස දැනට හිරවී ඇති නිසා ඒ අයට මෙම ගැටලු‍ව විසඳා ගැනීමට මාසයක් කල්දිය යුතුය යන යෝජනාව ගෙන ආ බව එම රැස්වීමට සහභාගි වූ ගම්වැසියෝ පවසති. මෙම යෝජනාවට ගමේ අය විරෝධය පළකළ ද පසුව යම් කාලයක සහනයක් දීමට එකඟ වී තිබේ.

තීරණය එසේ ගෙන තිබියදී ඉකුත් 03 වෙනි දින සවස පන්නල්ගම ගම්මානයේ සියලු‍ම වැසියන්ගේ ඇසට වැලි ගසා මෙම ව්‍යාපාරය කරන පන්නල්ගම ගම්මානයේ පදිංචි සුරංග සඳරුවන් සහ පියුමි බුද්ධිනි  ජයතුංග යන දෙදෙනා එම ගම්මානයෙන් පැනගොස් තිබේ.

මුලින්ම මේ දෙදෙනා ගමින් පිටත්ව ගොස් පසුව ඔහුගේ දරුවාට අසනීපවී ඇති බව පවසා බෙහෙත් ගැනීමට යන මුවාවෙන් තම ඥාතියෙකු ලවා දරුවා ඔවුන් ළඟට ගෙන්වාගෙන තිබේ.

මෙම පණිවිඩය සවන වැකුණු විගස ගම්මානයේ මුදල් දුන් ජනතාව ව්‍යාපාරය කරගෙන ගිය කාන්තාවගේ නිවස අසලට එක්රැස්ව ඇත. අප එම ස්ථානය ළඟාවෙන විටත් 500 කට වැඩි පිරිසක් එම නිවස අසලට එක්රැස් විය.

පැමිණි සියලු‍ම දෙනාගේම මුහුණුවල තිබුණේ වේදනාබර ස්වරූපයකි. වසර ගණනාවක් මහ පොළොව සමග හැප්පී තමන් කරන ලද හේන්වලින්,  වී වගාවෙන් , කුලී වැඩ කිරීමෙන් අමාරුවෙන් උපයාගත්,  තමන්ට අහිමිවූ මුදල ගැන ඔවුහු දැඩි ලෙස කම්පා වී සිටියහ. සමහර කාන්තාවන් සිටියේ හැඬූ කඳුළෙනි.

පසුව ගම්මානයේ ජනතාවට  සිදු වූයේ නීතියේ පිහිට පැතීමටය. ඒ අනුව රු. ලක්ෂ පහට අඩු ගනුදෙනු සඳහා දමන පොලිස් ස්ථානයේත් , ලක්ෂ දහයට  වැඩි ගනුදෙනු  සඳහා අම්පාර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේත් පැමිණිලි දැමීම  ජනතාව විසින් ආරම්භ කර තිබේ. මෙම ජාවාරම්කරුවන් මුදල් රැගෙන මෙම ගම්මානයේ ජනතාවට දී ඇත්තේ පිළිගැනීමට නොහැකි තත්වයේ  බිල්පතකි. ජවාරම්කරුවන් මුදල් ලබා ගැනීමෙන් පසුව  ලබාදෙන බිලේ …ව්‍යාජ සීල් එකක් ද ගසා තිබීම නිසා එයද ගැටලු‍ තත්වයකි.

ඉකුත් තුන්වෙනි දින ගම අතහැර ගිය මෙම දෙදෙනා 2025.10.08 වෙනි දින උදේ අම්පාර පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ අංශයට පැමිණ භාරවී තිබේ. පසුව අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම ස්වාමිපුරුෂයාගෙන් සහ බිරිඳගෙන් සාක්කි සටහන් කරගෙන අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පසුව අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරිකා චන්ද්‍රතිලක මහත්මිය විසින් සැකකරු සහ සැකකාරිය මෙම මස 22  වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූහ.

මෙම සැකකාර යුවලට අමතරව ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නියෝජිතවරුන් ලෙස කටයුතු කළ පිරිසගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබා ගනිමින් සිටී.

මෙම ව්‍යාපාරයේ නියෝජිතයන් ලෙස කටයුතු කරන ලද පිරිස් ද එක්වරම පෝසතුන් බවට පත්වූ බව සිද්ධියට මුහුණ දුන් ගම්වැසියෝ කියති. සමහර අය වාහන  කිහිපයක් මිලදී ගෙන ඇති බවද ඔවුහු සඳහන් කරති.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිද්ධිය නිසා පන්නල්ගම සහ අවට ගම්මානවල නිවැසියන් අතර රණ්ඩු සරුවල්වීම් ද පවතින බව වාර්තා වේ. 

දැනට පවතින තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන අතර ඒ පළිබඳව තවත් තොරතුරු එක්රැස් කරමින් සිටින බව අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල පැවසීය. මේ මුදල් ගනුදෙනුවේ දී ලබාගෙන ඇති සමහර බිල්පත් වැනි බොහෝ දේවල්  වලංගුභාවයක් නොමැති බවට පෙනී යන බවද මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත. 

මෙවැනි ජාවාරම්වලට හසු නොවන ලෙස පොලිස් ප්‍රජා කමිටු හරහා දැනුවත් කර ඇතත් ජනතාව මෙම මුදල් කොල්ලයට හසුවී ඇති බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා නැවතත් ගම්මානවල ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අම්පාර සහ අවට දිස්ත්‍රික්කවල විශාල පිරිසක් මෙම ජාවාරමට හසුවී අවසන්ය. යුද්ධයෙන් බැට කෑ පන්නල්ගම ගම්මානයේ වැසියන් ආර්ථික යුද්ධ‍යෙන්  ගොඩ ඒමටද මහ පොළොව සමග පොර  බදමින්  සිටි යුගයක මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවීමෙන් එම පවුල් කබලෙන් ළිපට වැටී ඇත.

වසරක් පුරා මෙවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මකවීම පිළිබඳව පසුවිපරමක් නොකිරීමෙන් රාජ්‍ය නිලධාරීන්ද තම වගකීම පැහැරහැර ඇතැයි පෙනී යන බව පෙනේ. 

අම්පාර - වසන්ත චන්ද්‍රපාල