කෙහෙල්බද්දර පද්මේගේ වැඩ ‘දේවා’ වමාරයි


සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ වරෙන්තුකරුවකු වූ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ බළකොටුවට මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය බර අවි ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් ඇත. බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලු‍ගල ඇතුළු කණ්ඩායම පද්මේගේ කල්ලිය පසුපස පන්නමින් සිටින්නේ කිසිදු සමාවක් නැතිවය. ඊට ප්‍රධානම හේතුව වූයේ පද්මසිරිගේ දකුණු අතමෙන් සිටි පස්දේවා අත් අඩංගුවට ගෙන දේවාගේ ප්‍රකාශ මත පද්මසිරිගේ හෝටලයකින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟය. මෙයට උරණ වූ පද්මසිරි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලින්ටන් ද සිල්වාට දුරකථනය ඔස්සේ මරණ තර්ජනය කළේ සිය ගෝලබාලයන් වූ කොමාන්ඩෝ සලින්ද සහ දරූන් නමැති දෙන්නා යොදාගනිමිනි. ඒ සුපුරුදු පරිදි තමන්ගේ අතේ පයේ නොගෑවෙන්නටය. එහෙත් එය වැරදී ගියේ හිතුවටත් වඩා ප්‍රශ්නය දුරදිග යාමත් සමඟය. අවසානයේ මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ උපරිම බලය යොදාගෙන පද්මසිරිගේ බළකොටුව බිඳහෙළීමට කටයුතු කරමින් සිටින්නේ වෙනදාටත් වඩා සැරටය.

ඔය කොයි කොයි අයියා වුණත් පොලිසියට කොටූවූ පසු පූස් පැටව්ය. මහා පුරුෂයන් සේ හැසිරෙන චණ්ඩි අයියලා පොලිසියට කොටූවූ පසු සියල්ල වමාරන්නේ පොලිසිය ප්‍රශ්න කරන්නටත් පෙරය. ඒ මරණ බිය නිසාය, ඒ නීතියට ඇති බිය නිසාය. ඒ බන්ධනාගාරයට යන්න ඇති බිය නිසාය. ඒ නිසා අත්අඩංගුවට ගත් පස්දේවා සියල්ල වැමෑරුවේ පද්මේ හත්මුතු පරම්පරාව පාවාදෙමිනි. ඒ අනුව පද්මේ වම් අතමෙන් සිටි මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ තිලිණි සම්පත් හෙවත් වලස් කටා පාවාදෙන්නේ පළමුවෙන්මය. පස්දේවා ගැන පොලිසියට තොරතුරු තිබුණත් වලස් කටා ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. ඒ නිසා කුලුඳුළේම පොලිසිය වලස් කටා පාවා දෙන්නට දේවා දෙවරක් හිතුවේ නැත.

ඒ අනුව වලස් කටා අත්අඩංගුවට ගන්නේ සීදූව ප්‍රදේශයේදී මෝටර් රථයක් සමඟය. එහි අයිස් මත්ද්‍රව්‍යයද සොයා ගත්තේය. වලස් කටා ශ්‍රී ලංකා පොලිසියට කෙතරම් වැදගත්ද යන්න තහවුරු වූයේ වලස්කටා අත් අඩංගුවට ගෙන ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමත් සමඟය. සියලු‍ හඬ පට තිබ්බේ පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ආකාරය ගැනය. “මගේ අයියේ අරහෙට බඩු ඕන, මගේ අයියේ මෙහෙට බඩු ටිකක් ඕන”‍යැයි අඳෝනා නඟන හඬපට පමණක් නොව තමන් කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරෙන සිදුවීම් පවා පටිගත කරණ තැනට වලස් කටා දෙකේ කොළේට වැටී තිබුණේය. කෙසේ වෙතත් වලස් කටාවද අත් අඩංගුවට ගෙන ප්‍රශ්නකිරීමේදී කතා ගොඩක් හෙළිවුණේ ඉන් පසුවය.

අත්අඩංගුවට ගත් දේවා සහ වලස්කටා වෙන වෙනම ප්‍රශ්න කිරීමේදී කෙහෙල්බද්දර පද්මේගේ මීළඟ ඝාතන සැලසුම් කිහිපයක් තිබුණේය. ඉන් එකක් වූයේ ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනයයි, දෙවැන්න නඳුන් චින්තක නොහොත් හරක් කටා ඝාතනයයි, තුන් වනුව ජාඇල කාන්තාවන් තිදනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ඝාතනයට සූදානම් කර තිබුණේය. ඉහත කී ජා ඇල කාන්තවන් තිදෙනා සහ පිරිමි පුද්ගලයා ජීවත් වන නිවාසවල ලිපිනයන්, මාර්ග සටහන් කළ පොතක් දේවා සන්තකයේ තිබී හමුවිය. දේවාගෙන් මේ පිළිබඳව විමසීමේදී පැවසූවේ පෙබරවාරි මාසයේ 26 වැනි දිනෙක මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියැදුරකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළවය. එසේ වෙඩි කෑවේ පද්මේගේ සමීපතමයෙක් වන ළහිරුය. ළහිරුට වෙඩි තබන්න ආ වෙඩික්කරුවන්ට යතුරු පැදිය සහ පහසුකම් සැපයුවේ ඉහත කී සිව්දෙනාය. මේ තිදෙනා හීනටියන සංඛගේ සමීපතමයන්ය. හීනටියන සංඛත් පද්මේත් නයි වෛරය. ඒ නිසා මේ තිදෙනාට රිටන් එක දීම පද්මේගේ සැලසුම වී තිබූ බව දේවා කීවේය.

මේ අතර පස්දේවා සහ වලස් කටා සම්බන්ධ වූ අනෙක් ඝාතන කුමන්ත්‍රණය වන්නේ ගම්පහ ඔස්මන් ඝාතනයයි. ඔස්මන් ඝාතනය කිරීමේ සැලැස්ම පද්මේ විසින් ලබාදෙන්නේ දේවාටය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ ඔත්තු බැලීම පවරන්නේ වලස් කටාටය. ඒ බව වලස්කටාගේ හඬ පටවලින් 100% තහවුරුය. පසුගිය අවුරුදු සමයේදී ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංගීත රාත්‍රියකදී ඔස්මන් ඝාතනය කිරීමට සැලසුම් සැදුවත් අවසානයේ ටී 56 ගිනි අවි දෙකක්, පිස්තෝලයක් සමඟ සැකකරුවන් සියල්ල කොටුවිය. ඒ අවස්ථාව මග හැරුණු නිසා ඔස්මන්ව නැවත ඝාතනයට උත්සාහ ගන්නේ පොසොන් දන්සල් දෙකකදීය. එකක් ගම්පහ තැපැල් කන්තෝරුව ආසන්නයේ පැවතී දන්සලක් විය. අනෙක කොහෙද යන්න පැහැදිලි නැත. එහෙත් මේ දෙකටම ඔස්මන් ප්‍රදාන ආරාධිතයා ලෙස සහභාගී වීමට සිටියේය. ඒ බව හඬ පට හරහා පැහැදිලි බව පොලිසිය කියයි. ඉන් නොනැවතුණු වලස්කටාලා, දේවලා, පද්මෙලා දෙවන ප්‍රහාරය සැලසුම් කරන්නේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මළගෙදරකදීය. එම මළගෙදරට ඔස්මන් පැමිණෙන බව දන්නා නිසා මොවුන් ගිනි අවි රැගෙන ඔස්මන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටියේ ජූලි 19 දාය. එහෙත් එයද වැලකී ගියේය. ඔස්මන් ඝාතනයට කෙතරම් සැලසුම් කළේද යත් වලස්කටා ඔස්මන්ගේ මෑණියන්ගේ අවමංල්‍ය අවස්ථාවේ මහා ජනකාය සමඟ රෑ තිස්සේ දින කිහිපයක්ද නිදිමරා ඇත. ඒ සියල්ල වලස්කටා පොලිසියට කීවේය.

වලස් කටාගේ ප්‍රකාශයේ බරපතළම කෑල්ල එළියට එන්නේ ඉන් පසුවය. එනම් දිනක් පද්මේ කීම මත පුද්ගලයන් දෙදෙනකු පැමිණ ගම්පහ ප්‍රදේශයේදී මල්ලක දමා ගිනි අවි දෙකක් වලස්කටාට ලබාදුන් බව සඳහන් කරයි. එසේ ආ දෙදෙනා “යුහ”‍ සඳහන් කැබ් රථයකින් පැමිණි බවත් එක් අයකු මල්ල දුන් පුද්ගලයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බවත් රියැදුරු යුද හමුදා ඇඳුමින් සැරසී සිටි බවත් ඔහු පවසා ඇත. කෙසේ වෙතත් අදාළ ගිනි අවි දෙක කොළඹ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට ලබාදුන් බවද සැකකරු ප්‍රකාශ කර ඇත. එහෙත් එය සත්‍යමදැයි දන්නේ නැත. ගම්පහ ඔස්මන් ඝාතනය කිරීම සඳහා ගෙනා ආ ගිනි අවි දෙකක් ලෙස එය පොලිසිය සැකකරයි. මෙහි බරපතළම ප්‍රශ්නය වන්නේ යුද හමුදා කඳවුරකින් ගිනි අවි ආවාද යන්නයි. කෙසේ වෙතත් පොලිසියට දැනට ලැබී ඇති තොරතුර වන්නේ එම ගිනි අවි දෙක එළියට විත් ඇත්තේ කඳවුරකින් බවය.

ඔය කොයි කොයි අයියා වුණත් පොලීසියට කොටූවූ පසු පූස් පැටව්ය. මහා පුරුෂයන් සේ හැසිරෙන චණ්ඩි අයියලා පොලිසියට කොටූවූ පසු සියල්ල වමාරන්නේ පොලිසිය ප්‍රශ්න කරන්නටත් පෙරය. ඒ මරණ බිය නිසාය, ඒ නීතියට ඇති බිය නිසාය. ඒ බන්ධනාගාරයට යන්න ඇති බිය නිසාය. ඒ නිසා අත්අඩංගුවට ගත් පස්දේවා සියල්ල වැමෑරුවේ පද්මේ හත්මුතු පරම්පරාව පාවාදෙමිනි.

පද්මේ සහ කොමාන්ඩෝ සලින්දලාගේ දෙවන ඝාතන සැලසුම සූදානම් කරන්නේ නඳුන් චින්තක හෙවත් හරක් කටා ඝාතනය කිරීමටය. ඒ වනවිට හරක් කටා සිටියේ පොලිසියේ රැඳවුම් බාරයේය. මීට සති දෙකකට පෙර අඟහරුවාදා හරක් කටා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ ඝාතන සැලසුම සූදානම් කර තිබුණේය. ඒ මාධ්‍යවේදියකුගේ වෙස් ගෙන කැමරාවට ටී56 ගිනි අවිය අටවා හරක් කටා මාධ්‍යවේදීන් දෙස බලන අවස්ථාවේ වෙඩි තැබීමටය. ඒ සඳහා පිරිමි දෙදෙනකු සහ කාන්තාවක් සිටින බවට පොලිසියට තොරතුරක් කලින්ම ලැබී තිබුණේය. කොළඹ අධිකරණ සංකීර්ණයේ පිටුපස පිහිටි වතු නිවාසයක් හරහා අධිකරණ භූමියට ඇතුල්ව එම ප්‍රහාරය එල්ල කිරීමේ මෙහෙයුමක් තිබුණේය. එහෙත් පොලිසිය සිදුකළ දැඩි ආරක්ෂක වැඩ පිළිවෙළ නිසා මග හැරිණ. පුදුමය නම් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණේ දේවාය. දේවාට අවශ්‍ය කැමරා ආම්පන්න ලෑස්ති කරගන්නා ලෙසට දැනුම් දී තිබුණේ පද්මේය. ඒ බව දේවා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
පසුගියදා දෙහිවල කොස්මල්ලී පාර්ශ්වයේ වෙඩික්කරුවකු විශේෂ කාර්ය බළකායේ වෙඩි පහරින් මියයාමත් සමඟ දේවා බයවී සිටියේ පාතාල මර්දනය නැවත ආරම්භවී ඇති බවට සැකයෙනි. ඒ නිසා හරක් කටාගේ ඝාතන සැලසුම සූදානම් කර දේවා රටින් පැනයාමට සූදානම් වූයේ මේ නිසාය. කෙසේ වෙතත් දේවා පද්මේ ළඟ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය ජනවාරි මාසයේදීය. ඒ පැමිණියේ ගණේමුල්ල සංජීව ඝාතනය සඳහාය. ගණේමුල්ල සංජීව ඝාතනය සිද්ධවන්නේ පෙබරවාරි 19 දා අධිකරණය තුළය. එම ඝාතනයෙන් පසුව දේවාට දෙවන සැලසුම දී තිබුණේ ගම්පහ ඔස්මන් ඝාතනයයි. ඒ අවුරුදු සමයේදීය. ඒ වැඩේ හරි ගියේ නැත. නැවත නැවතත් උත්සාහ කළත් ඒ සියල්ල වැරදී ගියේය. මේ නිසා දේවා ඇතුළු පිරිස ඔස්මන් ඝාතනය පසෙකලා හරක් කටා ඝාතනය සූදානම් කළේය. එලෙස එය සූදානම් කර දේවා තායිලන්තයට යාමට සූදානම් වී සිටියත් වැඩේ වැරදී ගියේ නොසිතූ මොහොතකය.

දේවා සියල්ල වමාරා හැමදේම කියද්දී පද්මෙලා හරක්කටා ඝාතනය සඳහා නැවතත් සැලසුමක් සැකසුවේය. ඒ ඉදිරියේදී බුස්ස බන්ධනාගාරයට යාමට සිටින හරක්කටාට බූස්සේදී සයිනයිඩ් ලබාදී ඝාතනය කීරීමේ සැලසුමකි. එහෙත් එයද අවසානයේ අනාවරණය විය. දේවා සහ වලස්කටා මේ සියල්ල දන්න නිසා පොලිසිය දේවාටත් වලස් කටාටත් පසුගියදා දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගත්තේය. එහෙත් අධික මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා වේදනාවත්, පොලිසියට ඇති බියත් නිසා වලස්කටා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ තුන්වන තට්ටුවෙන් බිමට පැන, පැනයාමට උත්සාහ කළේය. එහෙත් එයද හරි ගියේ නැත. දැන් වලස්කටා ඉන්නේ පොලිස් බාරයේ රෝහල් ගතවය. ඒ නිසා වලස්කටාගෙන් ප්‍රශ්න කිරීම කල්ගොස් ඇත. එහෙත් දේවා සියල්ල වමාරමින් ඇත. ඒ නිසා ඉදිරියේදී තව තවත් රහස් රැසක් හෙළිවනු ඇත. ඒ රහස් අනාවරණය වන්න තව තවත් පද්මේ, සලින්තලාගේ චණ්ඩිකම් හැකිළෙනු ඇත.