කරළිය තිගැස්සු රනිල්ගෙ තීන්දුව


ශ්‍රීලනිපයේ අලුත් නිලතල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉකුත් සතිය විශේෂ වැදගත්කමකින් යුතු වූයේ පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව කාන්තා සංවිධානය හා තරුණ සංවිධානය වැනි පක්ෂයේ ප්‍රධාන ශාඛාවල රැස්වීම් පවත්වා නව ගමනක් යාමට කටයුතු ආරම්භ කළ නිසාය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පැවැත්වුණේ ඉකුත් ඉරිදා ඩාර්ලි පාර පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂ විධායක සභාව ද එම අවස්ථාවේම පැවැත්විණි. එම රැස්වීම් පැවැත්වුණේ පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, චාමර සම්පත්, ලසන්ත අලගියවන්න ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝද එම අවස්ථාවට සහභාගි වූහ. එම රැස්වීමේදී මධ්‍යම කාරක සභාව අලුත් පත්වීම් කිහිපයක්ද සිදුකළේය. ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුර ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට ද ජාතික සංවිධායක තනතුර චාමර සම්පත් දසනායකට ද එහිදී පිරිනැමිණි. පක්ෂයේ නිලතල සම්බන්ධයෙන් පවරා තිබූ නඩු ඉවත්කර ගත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පක්ෂයට සාදරයෙන් පිළිගැනීම ද එහිදී සිදුවිය.

මම මේ තනතුරේ හිටියට මට ජනාධිපතිවරණය ඉල්ලන්න ඕනෑත් නෑ. විපක්ෂනායක වෙන්න ඕනෑත් නෑ. පක්ෂය සමගි කරල අලුත් කෙනකුට දෙන එකයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා කවුරුත් එකතු වෙලා වැඩකරලා පක්ෂයේ ජයග්‍රහණය උදාකරන්න කැපවෙමු’ පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා එහිදී කීවේය.
‘හොඳ ජයග්‍රහණයක් සඳහා ගොඩනඟන්න පුළුවන් පක්ෂයක් තමා ශ්‍රීලනිපය. සිංහල, දෙමළ. මුස්ලිම් තුන්ගොල්ලම මේ පක්ෂය එක්ක හිටියා. ගමක කෙනකුට වුණත් නායකත්වයට එන්න පුළුවන් පක්ෂය මේක කියන එක බණ්ඩාරනායක මහත්තයාගේ මැතිනියගේ නායකත්වයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් බදුල්ලේ නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා නායකත්වයට පත්වුණා. අපි මේ පක්ෂය එකතුවෙලා ගොඩනගමු.’ හිටපු ඇමැති මහින්ද අමරවීර එහිදී කීවේය.

ශ්‍රීලනිප තනතුරු ගැන දයාසිරි අසතුටෙන්

එම සමුළුව පවත්වන අවස්ථාව වන විටත් ශ්‍රීලනිප මහලේකම් තනතුර සම්බන්ධයෙන් දයාසිරි පැවරූ නඩුවක් අධිකරණයේ විභාග වී අවසන්ව මෙම 18 වැනිදා තීන්දුව ලබාදීමට නියමිතව තිබුණේය. රැස්වීම ඇමතූ චාමර සම්පත් දයාසිරිට ප්‍රහාරයක් එල්ල කළේය. ‘එතුමා ඡන්දේ ඉල්ලලා තියෙන්නේ ටෙලිෆෝන් එකෙන්. එතුමා හෙට ඇවිල්ලා සාමාජිකත්වය ගත්තොත් සජබය අනිද්දට තුෂාර ඉඳුනිල් මන්ත්‍රී හැටියට පත් කරනවා. ඕකයි තත්ත්වය. හැබැයි දයාසිරි හෙට ආවොත් මං මේ තනතුර එයාට දෙනවා....’ චාමර සම්පත් කීවේය.

මෙම රැස්වීමේ විස්තර දයාසිරිගේ හිතවතෙක් ඒ මොහොතේම ඔහුට වට්ස් ඇප් මගින් යොමු කළේය. දයාසිරි ඒ වන විට සිටියේ විදේශගතවය. දයාසිරි එසැණින්ම චාමරට දුරකථන ඇමතුමක් ගත්තේය.

චාමර ඔයා කිව්වා මං සජබයෙන් පත්වෙලා ඉන්නේ.... මම ශ්‍රීලනිප මහලේකම් වුණොත් මගේ මන්ත්‍රීකම නැතිව යනවා කියලා... ඔයා කිව්වේ වැරදි කතාවක්. මං ඔයාට ලියුම එවන්නම්. මම මහ ඡන්දයේදී සජබය එක්ක එකඟතාවකට ආවා ශ්‍රීලනිපය හැටියට තරග කරන්න... මං තරග කළේ ඒ පක්ෂය සමග එකඟතාවකින් මිස සජබ සාමාජිකයෙක් හැටියට නොවෙයි. ඔයා එතකොට සිලින්ඩරයෙන් තරග කරල කොහොම ද දැන් ශ්‍රීලනිපයේ තනතුරක් ගත්තේ... එහෙම ගන්න බෑනේ...’ දයාසිරි කීවේය. චාමර කියා සිටියේ මේ ගැන හමුවී කතා කරමු කියා ය.

ශ්‍රීලනිප ප්‍රධානීන් කියා සිටින්නේ දයාසිරි පැවරූ නඩුව සමගියෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථා නැති කරගත් බවය. නඩුව ඉවත්කර ගැනීම සඳහා මහින්ද අමරවීරගේ නිවසේදී සාකච්ඡා වාර පහක් පමණ පැවැති බවත් එහෙත් එකඟතාවකට ඒමට නොහැකි වූ බවත් ඔවුහු කියති.

එහෙත් දයාසිරි කියන්නේ වෙනත් කතාවකි. ඔහු කියන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීම  පක්ෂ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බවය. 2022 වසරේදී ගෝඨාභය රාජපක්ෂ රජයෙන් ඉවත්වීමට පක්ෂය ගත් තීන්දුවට අනුව ඇමැති තනතුරින් ඉවත් වූ පළමුවැන්නා තමා බවත් එහෙත් තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සම්බන්ධ වී එම ප්‍රතිපත්තිය විනාශ කළ බවත් දයාසිරි කියයි.

දයාසිරි ජයසේකර සඳහන් කරන්නේ පක්ෂ අර්බුදයේ ආරම්භය එය බවය. මේ වන විට අනීතිකව යම් පිරිසක් පක්ෂ තනතුරු බෙදාගෙන ඇති බවද ඔවුන්ට හිතවත් පාක්ෂිකයන් පිරිසක් පක්ෂයේ සෙසු තනතුරුවලට පත්කර ගෙන ඇති බවද කියන දයාසිරි හදිසියේ කැඳවූ පක්ෂ සම්මේලනයේදී තමාට එරෙහිව අභූත චෝදනා නැඟූ බවද සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් දයාසිරි පාක්ෂිකයන්ට තොරතුරු දන්වමින් නිවේදනයක්ද නිකුත් කළ අතර එය නිකුත් කළේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර වශයෙනි. ශ්‍රීලනිපය එකමුතු කරන්නට උත්සාහ කළ ද යම් ආකාරයකට පක්ෂය තවදුරටත් බෙදී පවතින බව ඉන් පෙනෙයි.

සංජීව – කොට්ටහච්චිටකීවේ කුමක් ද?

පානදුර ගල්ගොඩ ශ්‍රීමහා විහාරයේ විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන් වෙනුවෙන් උපහාර උලෙළක් පසුගිය සඳුදා එම විහාරස්ථානයේදී පැවැත්විණි.

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් සහ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයද උත්සවයට වැඩම කර සිටියහ. හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි හා චන්දිම හෙට්ටිආරච්චි ඇතුළු ගිහි ආරාධිතයෝ පිරිසක්ද එකව සිටියහ.

පොල්තෙල් පහන පත්තු කිරීමට සංවිධායක මණ්ඩලය මුලින්ම ඉටිපන්දම දුන්නේ නාමල් අතටය. නාමල් එහි සිටි ජ්‍යෙෂ්ඨයා වූ හිටපු කතානායක කරු ජයසූරිය අතට මුලින්ම පහන පත්තු කිරීමට ඉටිපන්දම ලබා දුන්නේය. ‘තරහකාරයෙක් වගේ ඉන්න එපා බං...’ සංජීව එදිරිමාන්න කොට්ටහච්චිට කීවේ අතීත යාළුකම් මතක් වීමෙනි. එදිරිමාන්න එසේ කී විට කොට්ටහච්චිට සිනාගියේය. කරුගෙන් පසු ඉටිපන්දම ගියේ නිලන්ති කොට්ටහච්චි අතටය. ඇය පහන පත්තුකර ඉටිපන්දම නාමල් අතට දුන්නාය. නාමල් ආයෙත් ඉටිපන්දම දුන්නේ ඊළඟ ජ්‍යෙෂ්ඨයා වූ රාජිතටය. නාමල් පහන පත්තු කළේ ආණ්ඩු පක්ෂය සහ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් පහන පත්තු කළාට පසුවය. පානදුර නගරාධිපතිවරයා පිළිගැනීමේ කතාව කළ අතර ඊළඟට තිබුණේ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන්ගේ විශේෂ දේශනය ය. අනුනායක හිමියන් මයික්‍රපෝනය අතට ගන්නා විටම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නැගිට යන්නට ගියහ. එයට හේතුව පැරණි අමනාපයක් බව කසු කුසු නැඟුණි. ‘%මම දැක්ක මම මයික්‍රපෝනය අතට ගනිද්දිම මන්ත්‍රීතුමියයි නගරාධිපතිතුමයි නැගිටල ගියා. මම මේ රටේ රාජ්‍ය නායකයො සියලු දෙනා ඉස්සරහ තියාගෙන ඒ අයගේ වැරදි අඩුපාඩු පෙන්වල දීල තියෙනවා. හැබැයි ඒ කවුරුවත් මා එක්ක අමනාප වුණේ නෑ.’ කොටපිටියේ රාහුල හිමියෝ පැවසූහ.

සජිත්ගෙන් රෝහල්වලට පරිත්‍යාග

විපක්ෂනායක සජිත් දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වූ ජනතාව හමුවීමට ඉකුත් සතිය පුරාම දිස්ත්‍රික්ක ගණනාවකට ගියේය. කෑගල්ල, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ගණනාවකටම ගිය විපක්ෂනායක සජිත් එම ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන්නේය. සමගි ජනබලවේගය මගින් ක්‍රියාත්මක කරන ‘හුස්ම’ වැඩසටහන යටතේ ගම්පොළ  රෝහලට රුපියල් ලක්ෂ විසිනවයක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට ද දඹදෙණිය මූලික රෝහලටද එවැනිම පරිත්‍යාගයක් කිරීමට ද සජිත් කටයුතු කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාක් ඇන්ඩෲ පුන්චේ මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී හමුවූ සජිත් ආපදාවෙන් පසු රට තුළ ඇතිව තිබෙන ගැටලු රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත පුන්චේ මහතාට පෙන්වා දුන්නේය. රටට දිය හැකි උපරිම සහාය මේ අවස්ථාවේ ලබා දෙන්නැයි ද සජිත් ඔහුගෙන් ඉල්ලා සිටියේය.

වම එකතු කළ සමසමාජ රැස්වීම

ලංකා සමසමාජ  පක්ෂයේ අනූවැනි සංවත්සරය ඉකුත් සතියට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ‘සූරිය මලෙන් ඉදිරියට’ නමැති සමරු උළෙලක්ද සූදානම් කර තිබුණේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර විසින් ලියන ලද ‘වමේ ව්‍යාපාරයේ දොළොස් මහා යෝධයෝ’ කෘතියද එහිදී එළිදැක්විණි. ලංකා සමසමාජ පක්ෂයෙන් ආරම්භ වූ මෙරට වාමාංශික ව්‍යාපාරයේ සිට විවිධ න්‍යායාත්මක කරුණු අනුව බෙදී විසිරී ගිය පුද්ගලයන් හා කණ්ඩායම් සියල්ලම පාහේ මෙම රැස්වීමට පැමිණ සිටීම විශේෂත්වයක් විය. කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එයට පිටත්සර එක්සත් ජාතික පක්ෂයෙන්ද මෙම රැස්වීමට නියෝජිතයෝ පැමිණ සිටියහ. පළමු වතාවට එජාපය නියෝජනය කරමින් පැමිණ සිටියේ එජාප සභාපති වජිර අබේවර්ධනය. ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක, විමල් වීරවංශ, සාගර කාරියවසම්, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් මුල් පෙළේ අසුන්ගෙන සිටියහ. පොල්තෙල් පහන දල්වන අවස්ථාවට එක්වූ විමල් වජිර  පෙන්වමින් තිලංගගෙන් විහිළුවට මෙන් විමසුවේ ‘තිලංග ඔයා වජිරට රතු පාට ෂර්ට් එකක් දුන්නේ නැද්ද’ කියා ය. එම හමුවේදී කතාවක් කළ වාසුදේව නානායක්කාර කියා සිටියේ ඇමැතිවරුන් ලෙස තමා සහ ඩිව් ගුණසේකර මැදිහත් වී චන්ද්‍රිකාගේ රජය සමයේදී ඡන්දය දැමීමට හැඳුනුම්පත අනිවාර්ය කළ බවය. ‘ඒකෙන් තමයි යූඇන්පිය හොර ඡන්ද දැමීම නතර කරන්න පුළුවන් වුණේ....’ වාසුදේව එසේ කියද්දී රැස්වීමේ වජිර සිටියේ නැත.

එහිදී හමුවූ සෑම දෙනාම වාගේ කතා කළේ වමේ ව්‍යාපාරයේ හැඩතල සියල්ලම වෙනස් වී තිබුණත් මේ සියලු දෙනාටම නැවත එකතු වී කතා කිරීමට හොඳම වෙලාව නේද?’ කියාය.

මට මතකයි අපි ඉස්කෝලෙ යන කාලෙ මැතිනිගෙ ආණ්ඩුව පැරදිලා ජේ.ආර්ගේ රජය ආපු මුල් කාලෙ වමේ සියලු පක්ෂයි ජවිපෙයි එකතුවෙලා හයිඩ් පිටියෙ වමේ රැස්වීමක් තිබ්බා. මේකට විජේවීරත් ආවා. එදා තමයි වම මුලින්ම එකට එකතු වුණේ. ඊට පස්සෙ ආයෙ බෙදුණා... දැන් ජවිපෙ ආණ්ඩුවක් තියෙන මේ වෙලාවෙ තමයි අර රැස්වීමෙන් පස්සේ පළමු වතාවට වමේ සියලු දෙනාම එකම වේදිකාවකට ආවේ. ’ ඩලස් අලහප්පෙරුම හිටපු ඇමැතිවරයා කීවේ විමල් හා සාගර ඇතුළු පිරිස සමගය. ‘අපිට ළඟදි හමුවෙලා කතා කරන්න බැරි වුණා. දැන් හමුවෙන්න හොඳම වෙලාව....’ විමල් වීරවංශද කීවේය. චම්පිකද ඩලස් සමග කීවේ මුණගැසී කතාබහ කිරීමට කාලය පැමිණ ඇති බවය. චීන ඉන්දීය සහ වියට්නාම් තානාපති කාර්යාලවල දේශපාලන ලේකම්වරුන්ද මෙම උත්සව අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.
චීන සහ ඇමරිකා

නියෝජිතයෝ ජනපති හමුවෙති

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උපසභාපති වැන්ග් ඩොං මිං ද ඉකුත් සතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කළහ. පළමුවෙන්ම ඇමෙරිකානු උප රාජ්‍ය ලේකම්වරියට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේ මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් එවමින් දැක්වූ සහාය පිළිබඳවය. ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට ශක්තිය ඇති බවත් ඒ සඳහා ඇමරිකානු රජයේ සහාය ලබා දීමට සූදානම් බවත් උපරාජ්‍ය ලේකම්වරිය කීවාය.
චීන මහජන කොංග්‍රසයේ උපසභාපති වැන්ග් ඩොං මිං කියා සිටියේද වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට කඩිනමින් යථා තත්ත්වයට පත්වීමට හැකිවනු ඇති බවය. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා චීන රජයේ තාක්ෂණික සහාය ලබාදෙන ලෙසය.

ව්‍යසන කළමනාකරණ සභා රැස්වීම

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ඉකුත් සතියේ දෙවැනි වරටත් රැස්වූයේ ජනාධිපති අගමැති විපක්ෂනායක සහ සෙසු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි. නායයාමේ අවදානම් කලාපයේ නිවාස 15000 ක් ඇතැයි හඳුනාගෙන ඇති බව කී ජනාධිපතිවරයා ඉන් 8000 කට 2026 වසර තුළ නිවාස ලබාදීමට කටයුතු යොදන බව එහිදී පැවසීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ආපදාවට ලක්වූ නිවාස හා පුද්ගලයන් පිළිබඳ දත්ත සැකසීමේ අඩුපාඩු ඇති බවය. මෙම තත්ත්වය කඩිනමින් විසඳා ගන්නා බව ජනාධිපතිවරයා

එහිදී සඳහන් කළේය ඕනි නම් මම යන්නම් 

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් බදාදා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූයේ රනිල්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී රනිල් සුවිශේෂ කාරණයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන්නේය.

ඒ එජාප - සජබ එකතුවට තමා බාධාවක් නම් එජාප නායකත්වයෙන් වුවත් ඉවත් වීමට සූදානම්ය යන කාරණයයි.

රනිල් එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන් පසු සභික සියල්ලෝම මුහුණට මුහුණ බලා ගත්හ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් තලතා, ජාතික සංවිධායක සාගල ඇතුළු කමිටුවක් පත් කර ඇත. සමගි ජන බලවේග පාර්ශ්වයේ කටයුතු මෙහෙයවන්නේ විපක්ෂ නායක සජිත්ය.

රනිල් තමන්ගේ තීරණය ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉතා තදින් කරුණු අවධාරණය කළේය.

“පක්ෂ දෙකේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන නිල වාර්තාවක් තාම මට ලැබිල නෑ. මේ සාකච්ඡා දෙපැත්ත අදිමින් ඉඳලා බෑ. ඉක්මනටම අවසන් කරලා තීරණයකට එන්න ඕන. සාකච්ඡා මන්දගාමීව ඇදගෙන යන්න ඕන කාලයක් නෙමෙයි මේ”‍ රනිල් නළල රැලි ගන්වමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කීය.

“සර් අපි ඉක්මනටම තීරණයකට එනවා. කොහොමත් ආණ්ඩුවේ ජනප්‍රියකම දරුණු නායකට අහුවෙලා තියෙන්නේ. මධ්‍යම කඳුකරයේ කඳු නාය යනවට වඩා වේගෙන් ආණ්ඩුවේ ජනප්‍රියකම නාය යන්න පටන් අරගෙන”‍ සභාපති වජිර කීවේ රනිල් කී කතාවට පිළිතුරක් ලෙසිනි.

“ලබන අවුරුද්දෙ ඉඳන් විපක්ෂයේ පක්ෂ ඔක්කොම ඒකාබද්ධ වෙලා ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනඟන්න ඕන. ඒ ජන බලය දැනටමත් ගොඩ නැගෙමින් තිබෙන්නේ. අපි කරන්න ඕන ඒ ජන බලය ඒකරාශී කරන එක”‍ රනිල් කීය.

“සර් මේ රටේ අසාර්ථක වෙච්ච නායකයෙක් නෙමෙයි. මෑත යුගයේ සාර්ථකම ජනාධිපති රනිල්. එහෙව් එකේ සර් මොකටද වෙන කාටවත් දීලා යන්නේ.”රනිල් කී කතාවට පිළිතුරු ලෙස කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් එවැනි කරුණු මත දැක්වීම් ඉදිරිපත් වුවද රනිල් තමාගේ ස්ථාවරය වෙනස් කරන පාටක් පෙනුණේ නැත.

“එජාපෙත් සජබෙත් එකතු වෙන්න ඕන කියලා සාකච්ඡාවලදී එකඟතාවකට ආවොත් ඒකට ඔයගොල්ලෝ කැමති නම් මට කිසිම ගැටලු‍වක් නෑ. මේ පක්ෂ දෙක එකතු වෙන එකට මමත් උඩින්ම කැමතියි.

ඔය සාකච්ඡාවලදී මම නායකත්වයෙන් ඉවත් වෙලා සජිත්ට හරි වෙන කෙනෙකුට හරි නායකත්වය දෙන්න ඕන කියලා යෝජනාවකට ආවොත් ඔයගොල්ලො කැමති නම් ඒකටත් මගේ විරුද්ධත්වයක් නෑ. ඒ වගේ එකතුවකට ඕනම වෙලාවක නායකත්වයෙන් යන්න මම ලෑස්තියි.” රනිල් ඒ කතාව කීවේ දැඩි අවධාරණාත්මක ස්වරයකිනි.

“මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි. ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා. ඒ නිසා මේ අත්හැරීම මට ගැටලු‍වක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි”‍ රනිල් ඒ කතාව අවසන් කළේ එසේ කියමිනි.

ආණ්ඩුවේ පොරොන්දු 

“ඩොලරය ආපහු 312කට විතර නැගලා නේද? ආපහු ගෝඨගෙ කාලෙට ටිකෙන් ටික ගමන් කරනවද කියලා සැකයි”‍ මන්ත්‍රීවරයෙක් කීවේ රටේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට රංවලලා වැනි නාඩගම් ආණ්ඩුව විසින්ම ඉදිරියට ගෙන එනවා ද යන සැකය මතුවන බවට කරුණු ගෙනහැර දක්වමිනි. ඒ රනිල් සමග මන්ත්‍රීවරු පිරිසක් හමුවූ අවස්ථාවේදීය. 

“ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ගෙදරයි ඉඩමයි ගියොත් කතා දෙකක් නැතුව කෝටියක් දෙනවා කියලා. දැන් එදා දීපු පොරොන්දු වෙනස් කරන්න චක්‍රලේඛ කෝටියක් විතර ගහලා, අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි.” චාමර කීවේ නිහඬතාව බිඳ දමමිනි.

“කොහොම වුණත් රංවල සාධකය නිසා ආණ්ඩුවේ කලිසම ටිකෙන් ටික පහළට වැටිලා. ඇත්ත හෙලු‍ව පේන්න පටන් ගන්නවා. නීතියේ ආධිපත්‍ය තමන්ගේ අයටත් පිට අයටත් එක විදියට ක්‍රියාත්මක වෙනව ද නැත්නම් දෙවිදියක් ද කියන එක මිනිස්සුන්ට තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්”‍අකිල කීවේය.

දිට්වා ව්‍යසනයෙන් පසු දත්ත නැති ආණ්ඩුව දැඩි අර්බුදයක පැටලී සිටින බව රනිල්ගේ අදහස විය. 

“ඔය වන්දි හරියටම මෙපමණයි කියලා එහෙම ගණනය කරන්න පුළුවන් කමක් නෑ. උසාවියට ගියොත් දැනට ප්‍රකාශ කරලා තියෙන ගානට වඩා වැඩි වන්දියක් නියම කරන්නත් පුළුවන්. මෙතෙන්දි ආණ්ඩුව හරි අනතුරු ඇඟවීමක් කරලා තිබුණෙත් නැහැ”‍ රනිල් වන්දි ගැන කීවේ එහෙම කතාවකි.

“සර් පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් ආපහු ෆේස්බුක්වල යන්න පටන් අරගෙන තියෙනවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද? මන්ත්‍රීවරයෙකු ඇසූ පැනයට රනිල් ඔළුව ගස්සා ඉවත බලා ගත්තා මිස කිසිවක් නොකීවේය.

ලබන අවුරුද්දේ සිට විපක්ෂයේ සියලු‍ පක්ෂ එක අරමුණකින් කටයුතු කරනු දැකීම රනිල්ගේ අපේක්ෂාවයි. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔහු විපක්ෂයේ පක්ෂ බල මුළු ගන්වමින් සිටී.

“මාස තුනක් ඔක්කොම එක ලයින් එකේ ගියා නම් අරමුණ සාර්ථකයි”‍ දිනිත් ද රනිල්ගේ කතාව අනුමත කළේය.

ආපදාවෙන් විපතට පත් පාසල් සිසුන්ට පොත්පත් බෙදා දීමේ උත්සවයක් හලාවත දී ඉකුත් සතියේ පැවැත්විණ. සජබ ගම්පහ සංවිධායක වරුණ, හොරණ සංවිධායක චරිත් අබේසිංහ එය සංවිධාන කර තිබිණ. මේ සත්කාරයට ප්‍රධාන නිමිත්තක් වූයේ වරුණගේ යූටියුබ් චැනලයට වසරක් පිරීමයි. පුත්තලමේ සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දුත් රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුකත් එහි පැමිණ සිටියහ. වැඩේ අවසන් වී දිවා ආහාරය සූදානම් කර තිබිණ. ඔය අතරවාරයේ ශානුකගේ දුරකථනයට රනිල්ගෙන් ඇමතුමක් ආවේය. වරුණට සුබපැතුම් එක් කළ රනිල් කීවේ ලබන වසරේ වැඩ ගොඩක් තියෙයි”‍ යනුවෙනි. වරුණ එහිදී කීවේ “සර් අපි ඔක්කොම එකතු උනොත් මේ වැඩේ ගොඩදාන්න ලේසියි.” යනුවෙනි.සජබෙ චිත්‍රාල්ටද කතා කළ රනිල් අපි වෙලාවක හමුවෙමු යැයි කියා දුරකතනය තැබුවේය.

රාජ දූත