කීරි සම්බා ලොකු ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි?


2025 වසර යනු කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත අනුව අපේක්ෂිත වී නිෂ්පාදනයෙන් සත්ත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි අංශයන්ට අවම වශයෙන් වී මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 02 ක් වෙන් කළ ද සමස්තයක් ලෙස සහලින් ස්වයංපෝෂිත වසරකි. මෙම වසරේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය ද මෙට්‍ර්ක් ටොන් ලක්ෂයකට අධික නිසා දේශීය නිෂ්පාදනය ද සමග පරිභෝජනයට සහල් මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 28 කට අධික ප්‍රමාණයක් රට තුළ පවතින වසරකි. 

ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සිදුකරන අපගේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටො. ලක්ෂ 24 ක් ලෙස ගණනය කළ විට සමස්තයක් ලෙස මෙය අතිරික්ත සහල් ප්‍රමාණයක් ද පවතින වසරකි. කෙසේ වුවද පාරිභෝගික රැචිකත්වය අනුව පාරිභෝජන රටාවන්හි ඇති වී තිබෙන වෙනස්කම්වලට සාපේක්ෂව නිෂ්පාදනයේ නොවෙනස්වීම නිසා සුළු පාරිභෝජනයක් ඇති කීරි සම්බා සහල් සඳහා ඉහළ ඉල්ලු‍මක් නිර්මාණය වී ඇත. මෙය කිසි සේත්ම ගැටලු‍වක් කරගත යුතු නොවේ. මන්ද යත් මෙම අලෙවි ගැටලු‍ව නිර්මාණය වී තිබෙන්නේ 2022 වසරේ පැවති වී මිල පදනම් කරගෙන සැකසූ කීරි සම්බා සහල් සඳහා වන උපරිම මිලට සහල් සොයා යාමේ ප්‍රතිඵලය මතය. 

2024 වසරේ මෙම රජය පත්වීමෙන් පසු 2022 වසරේ පැවති වී මිල පදනම් කරගෙන සැකසූ සහල් සඳහා වන උපරිම සිල්ලර මිලට කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ග සඳහා කිලෝවකට රුපියල් 10.00 ක ඉහළයාමක් ලබා දුන්නේය. කෙසේ නමුත් 2022වසරේ කීරි සම්බා මිල වන රුපියල් 260.00 ක මිල තවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කරන ලද අතර කීරි සම්බා සඳහා විකල්පයක් ලෙස සහල් ආනයනය කිරීමට උත්සාහ කළ ද අපේක්ෂා කළ පරිදි සාර්ථක නොවීය. මෙය මේ වනවිට ද සිදුවෙමින් පවතී. 

එනම් වෙළෙඳ පොළේ කීරි සම්බා වී මිල කිලෝව රුපියල් 165.00 - 170.00 ඉක්මවා අලෙවි වන අතර සහල් කිලෝවක සිල්ලර මිල ද රුපියල් 300.00 - 350.00 අතර වේ. විශේෂයෙන් මෙම කීරි සම්බා සහල් වර්ගයට පවතින වෙළෙඳපොළ ඉල්ලු‍ම අනෙකුත් සහල් වර්ගයන්ට සාපේක්ෂව ඉතා අඩු සහ සෘජුවම ජීවන වියදමට බලපෑමක් නොකරන අංගයක් නිසා සහල් සහ ආහාර ද්‍රව්‍ය මිල ගණන් රැස්කිරීමේ දී  අනෙකුත් සියලුම සහල් වර්ගයන්හි මිල ගණන් සතිපතා රැස්කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ද මෙම කීරි සම්බා වී හෝ සහල් මිල ගණන් රැස් කිරීමක් නොකරයි.

කීරි සම්බා වී/සහල් ප්‍රශ්නය රටේ සමස්ත සහල් ප්‍රශ්නයට අදාළ කරුණක් නොවේ. කීරි සම්බා යනු රටේ සමස්ත සහල් පාරිභෝජනයෙන් සියයට 10 ක් පමණක් පරිභෝජනය කරනු ලබන, සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ සෘජු ඉල්ලු‍ම වෙළෙඳ පොළේ ඉතා අඩු, සංචාරක හෝටල් ඇතුළු අවන්හල් මෙන්ම උත්සව අවස්ථා වෙනුවෙන්ම වාණිජ මට්ටමේ ඉහළ ඉල්ලු‍මක් ඇති සහල් වර්ගයකි. මෙම ඉහළ ඉල්ලු‍ම නිර්මාණයවීම සඳහා මෑත කාලීන ආනයනික බාස්මතී සහල් මිල ඉහළයාම ද බලපා ඇත.

කීරි සම්බා ප්‍රශ්නයෙහි යථාව

කීරි සම්බා සහල් මිල ඉහළයාමත් සමග ඇතිව තිබෙන ප්‍රශ්නය රටේ ජාතික සහල් ප්‍රශ්නය කර ගත යුතු නැත. මන්ද යත් රටේ ප්‍රධාන ආහාරය කීරි සම්බා නොවේ. එනම් රටේ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 10 ක් පමණ නිෂ්පාදනය වන සියයට 10 ක පමණ පාරිභෝජනයක් තිබෙන මේ ප්‍රශ්නයෙන් රජය ඉවත්ව වෙළෙඳ පොළ ඉල්ලු‍ම සැපයුම මත කීරි සම්බා වී සහ සහල් මිල තීරණයට ඉඩ දී රජය නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත්ය. මේ අවස්ථාවේ සිදුකළ යුතු හොඳම විකල්ප යෝජනාව මෙය බව පෙන්වා දිය හැකිය. එසේ නොවුණහොත් සහල් සඳහා අනවශ්‍ය අවධානයක් ඇතිව සියයට 80 ක් පමණ අති බහුතරයක් පරිභෝජනය සිදුකරන නාඩු වීවලින් සකසන සුදු කැකුළු, රතු කැකුළු, සුදු නාඩු මෙන්ම රතු නාඩු සහල් මිලද ඉහළ යාමට මෙම අනවශ්‍ය මැදිහත්වීම බලපෑමට ඉඩ තිබේ. රජය සහතික මිල ඉවත්කර කන්න කිහිපයක දී වෙළෙඳපොළ බලවේගවලින්ම මෙම වී වර්ගයේ මිල ඉල්ලු‍ම සැපයුම මත හැසිරීමට සැලසුවොත් නිෂ්පාදනය ද ඉහළ ගොස් කීරි සම්බා වී සහ සහල් දෙවර්ගයේම මිල පහළ යා හැකිය. මේ වී වර්ගය නිෂ්පාදනය වැඩි වූ පමණින් පරිභෝජනය වැඩිවෙන වර්ගයක් නොවේ. නිෂ්පාදනය වැඩිවීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියෙහි මේ සඳහා සීමා නොදමන වෙළෙඳපොළක් තිබෙනවාය යන විශ්වාසය ඇති විය යුතුය.

ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් නිර්මාණය වීම

වී පර්‌යේෂණය අතින් ඉතා ඉහළ මට්ටමක සිටින රටක් හැටියට බී.ජී. 360 නම් වූ කීරි සම්බා සහල් නිපදවන වී ප්‍රභේදය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්‌යේෂණ අංශයන්හි විස්මිත සොයාගැනීමකි. මෙම වී ඇටයේ හැඩයත් ඉන් ලැබෙන සහල් ඇටයේ ස්වභාවයත් රසයත් සමග මෙම වී වර්ගයට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විසින්ම කීරි සම්බා නම භාවිතයට ගෙන ඇති බව පෙනේ. මෙම වී ප්‍රභේදය 1999 වර්ෂයේ දී හඳුන්වාදීමෙන් පසු ඉන් නිපදවන සහලට දැනට වසර කිහිපයකට පෙර පාලන මිලක් දමන තෙක් කීරි සම්බා වීවලටවත් සහල්වලටවත් මිලෙහි කිසිදු ගැටලු‍වක් තිබුණේ නැත. කීරි සම්බා වීවලට මෙන්ම කීරි සහල්වලට ද මිලක් මෙන්ම දැවැන්ත වටිනාකමක් ලබා දුන්නේ මහා පරිමාණයෙන් සහල් නිපදවන්නන් විසිනි. මේ වී ඉහළ මිලකට ගන්නේ ද ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් පාරිභෝගිකයාට ලබා දෙන්නේ ද මෙම මහා පරිමාණ සහල් නිපදවන්නන් විසිනි. කීරි සම්බා නමින් මේ බී.ජී. 360 නම් වූ වී වර්ගයෙන් ලැබෙන සහල බ්‍රෑන්ඩ් එකක් බවට පත් කළේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් කිහිප දෙනා කිව්වොත් එය නිවැරදිය.  සුළු පරිමාණ සහල් නිෂ්පාදකයන් මෙම සහල් නිපදවන්නේ නැති තරම්ය.

පාරිභෝගික ඉල්ලු‍ම සහ ඒකක පලදායීතාව

කීරි සම්බා සහල් සඳහා පවතින්නේ සාමාන්‍ය පාරිභෝගික ඉල්ලු‍මට එහා ගිය වාණිජ මට්ටමේ ව්‍යාපාරික ඉල්ලු‍මකි. ඒ නිසා මේ සහල්වල මිල අඩුකිරීම සෘජුවම පාරිභෝගිකයාට බලපාන්නේ නැත. දැනට පවතින කෑම එකක /රයිස් එකක මිල කිසිම අවන්හලකින් අඩු කරන්නේ නැත. මේ සහල්වලින් රයිස් එකක් ගන්න කෙනෙක් මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ ද නැත. මෑත කාලයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයත් සමග බොහොමයක් අවන්හල්වල මෙම සහල් භාවිතය ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන් නාඩු සහ සම්බා සහල් කිලෝවක් නිපදවීමට වැයවෙන වී ප්‍රමාණයට වඩා වැඩි වී ප්‍රමාණයක් කීරි සම්බා සහල් කිලෝවක් නිපදවීමට යයි. එම නිසා කීරි සම්බා සහල් නිෂ්පාදන මිල ද ඉහළයි. එමෙන්ම සියයට 80ක් පමණම රට තුළ වගාව සිදුවෙන නාඩු වී වලට සාපේක්ෂව කීරි සම්බා වී අස්වැන්න පහළ මට්ටමක පවතී. සෑම ප්‍රදේශයකම මෙම වී වගාව සිදුකරන්නේද නැත. එය අඩු ප්‍රතිශතයකින් කෙරෙන වගාවකි.

පාරිභෝගික ඉල්ලු‍ම සහ ප්‍රමිතිය අනුව මිල මිල තීන්දු වීම

සහල් වෙළෙඳපොළෙහි සහල් සඳහා වන ප්‍රමිතියත් සමග මිල සැකසිය යුතුය.  එවිට දැනට පවතින නාඩු වීවලින් ද තත්ත්වයෙන් ඉහළ සහල් නිපදවිය හැකිය. ලංකාවේ සහල් වෙළෙඳපොළෙහි තත්ත්වයෙන් ඉහළ සහල් සඳහා වෙනම වෙළෙඳපොළක් පැවතිය යුතුය. ඒ සඳහා සහල් නිපදවීමේ තාක්ෂණය මෙරට එවැනි විශේෂීකරණයක් සහල් වෙළෙඳපොළෙහි විය යුතුය. 

අද වෙළෙඳපොළෙහි ආහාර වර්ග රැසක මිල ඒවායේ තත්වය, පාරිභෝගික රුචිකත්වය සහ වෙළෙඳපොළ ඉල්ලු‍ම සැපයුම අනුව තීරණය වී පවතී. ඒවාට පාලන මිල අදාළ නොවේ. උදාහරණ ලෙස පරිප්පු රුපියල් 250.00 සිට 450.00  දක්වා විවිධ වර්ගයන්ගෙන් ඇත. කඩල, තිරිඟු පිටි, ටින් මාළු, සීනි, ආනයනික බාස්මති සහල් වැනි ආහාර වර්ග රැසක් විවිධ මිල පරාසයන්හි විවිධ තත්වයන් යටතේ අලෙවි කෙරේ. පාරිභෝගික රුචිය, මිල, ඉල්ලු‍ම සැපයුම, අවශ්‍යතාව අනුව වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. මේ තත්වය සහල් වෙළෙඳ පොළට ද අවශ්‍ය වේ. එවිට කැඩුණු සහල් ප්‍රතිශතය, පාට, රසය, අලු‍ත් සහ පරණ මෙන්ම වර්ගයන් අනුව මිල තීරණය විය හැකිය.

අලෙවි ගැටලු‍වට රජය මැදිහත්වීම 

රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහනේ කීරි සම්බා සහල් ගැටලු‍වට කිසිදු විසඳුමක් නැත. රජයේ ගබඩාවලට සියයට 90ක්ම ලැබෙන්නේ නාඩු වී ය. ඒ ලැබෙන වී ප්‍රමාණයෙනුත් සියයට 50 කට වඩා ලැබෙන්නේ අලෙවි කිරීමට අපහසු දිග නාඩු සහ රතු නාඩු ලෙසය. මේවා කැඩෙන ප්‍රතිශතය ඉහළය. නැගෙනහිර පළාතට මෙය විශේෂ වෙයි. මෙම වීවලට විවෘත වෙළෙඳපොළේ ඉල්ලු‍මත් අඩුය. ඒ නිසා මෙම වී වර්ග රජයේ ගබඩාවලට ලැබෙන ප්‍රමාණය ඉහළය. ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රනය හරහා කොතරම් වී මිලදී ගැනීම සිදුකළත් කීරි සම්බා ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. රජයට ලැබෙන වීවලින් සියයට 90 ක් ම ලැබෙන්නේ නාඩු වර්ගයේ වී පමණක් වීම ඊට හේතුවය.

සහල් ආනයන විසඳුම

කොපමණ සහල් ආනයනය කළද දේශීය කීරි සම්බා සහල් හෝ වී මිල පහළ යන්නේ නැත. ආනයනික හාල් බලපාන්නේ නාඩු වී සහ සහල් මිලටමය. විශේෂයෙන්ම දේශීය වශයෙන් ඉහළ ඉල්ලු‍මක් ඇති මෙම කීරි සම්බා සහල් විශේෂය ලොව කිසිම රටකට ආනයනය නොකරයි. එය ඒක දේශීයව පමණක් තිබෙන ලංකාවට ආවේණික සහලකි. ලෝක වෙළෙඳපොළේ සම්බා නාඩු යැයි සහල් වර්ගයක් නැත. කෙටි සහ දිග සහල් පමණක් තිබේ. එයින් ද ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ තිබෙන  GR 11 නම් වූ පොන්නි වර්ගයේ සහල් පමණක් ආනයනය කෙරේ. ආසන්නවම පවතින ආදේශක සහල් වර්ගය එයයි. එමෙන්ම 5.2 MMවලට වඩා දිගින් අඩු සහලක් ආනයනය කිරීමට සිදුවෙයි. එවැනි සහල් වර්ගයක් මේ අවස්ථාවේ ආනයනය කර පවතින බදු සමග දැනට තිබෙන කීරි සම්බා පාලන මිලට ලබා දිය නොහැක. එවිට සහල් ආනයනය කිරීමේ අරමුණ ඉටු නොවේ. අඩුමිලට ලබා දීමට නම් ආනයනය කළ යුතු වෙන්නේ නාඩු සහල්ය. එහෙත් එම නාඩු සහල් වර්ග ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොපවතී.

මේ වසරෙහි රටේ නාඩු සහල් නිෂ්පාදනය ප්‍රමාණවත්ය. ඒ නිසා මේ අවස්ථාවෙහි සහල් ආනයනය කිරීම කිසි සේත්ම සුදුසු නොවෙන බව පර්‌යේෂණාත්මකව පෙන්වා දිය හැකිය. ඒ නිසා මෙම ගැටලු‍වට අනවශ්‍ය මැදිහත්වීමක් කර සහල් ආනයනය කළ හොත් සියයට 80 ක් වෙන අනෙක් ප්‍රධාන සහල් වර්ගවලට ද බලපෑ හැකිය. මේ අවස්ථාවේ කළ යුත්තේ කීරි සම්බාවලට තිබෙන පාලන මිල ඉවත්කර වෙළෙඳපොළ බලවේගවලට පාලනය වීම සඳහා මාස කිහිපයත් ඉඩ හැරීමය. 

එවිට සහල් මිල ඉහළ නම් ඉහළ වී මිලක් ද තිබෙන නිසා ඉදිරි කන්නවල කීරි සම්බා නිෂ්පාදනය ඉහළ ගොස් වී සහල් දෙවර්ගයේම මිල පහළ යනු ඇත. නිෂ්පාදනය ඉහළ යන වේගයෙන්ම පරිභෝජනයද ඉහළ නොයන සහල් වර්ගයක් නිසා එම තත්ත්වය නාඩු වී මිල පහළ යාම අවම වීමට ද බලපායි.

ඉහත කී සියලු කරුණු අනුව පවතින ප්‍රායෝගික තත්වය සහ මේ ක්ෂේත්‍රයේ සිදුකර ඇති පර්‌යේෂණ අනුව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමි.

රට තුළ සියයට 10 ක පමණ පරිභෝජනයක් පවතින, සීයට 10ක පමණ නිෂ්පාදනයක් පවතින කීරි සම්බා සහල් සඳහා සහල් ආනයනය කිරීම වෙනුවට සාමාන්‍ය පාරිභෝගිකයාගෙන් බැහැරව මෙම වාණිජ මට්ටමේ ඉහළ ඉල්ලු‍මක් පවතින කීරි සම්බා සහල් වෙනුවෙන් දැනට පනවා ඇති පාලන මිල කෙටි කාලයකට හෝ ඉවත් කිරීම සුදුසුය.

පාලන මිල ඉවත් කිරීමෙන් වෙළෙඳපොළ විකෘතියක් ඇතිවේ නම් අවශ්‍ය ඕනෑම වෙලාවක මිල පාලනය ද පැනවිය හැකිය. මන්ද සහල් ආනයනය තුළ කීරි සම්බා සහල් සඳහා ආදේශක සහලක් ආනයනය කිරීම ද ඉතා අපහසු මෙන්ම පවතින බදු අනුපාතය මත ආනයනය කර දැනට පවතින කීරි සම්බා සහල් මිලට පහළින් අලෙවි කිරීම ද ගැටලු‍වක් විය හැකි ය.

සහල් ආනයනය සිදු කිරීම අත්‍යවශ්‍යම නම් ඉන්දියාවේ පවතින කෙටි සහල් වර්ගයක් ලෙස මේ සඳහා පවතින ආසන්නතම සහල් වර්ගය ලෙස GR 11 ලෙස පවතින පොන්නි වර්ගයේ සහල පමණක් ආනයනය කළ යුතුය. දැනට පවතින ආනයනික බදුද සමග එම සහල් ද පවතින කීරි සම්බා පාලන මිලට අලෙවි කිරීම ගැටලු‍වකි. එමෙන්ම පවතින බදු ඉවත් කර සහල් ආනයනය කිරීමට තරම් දැඩි අවශ්‍යතාවකුත් මේ අවස්ථාවේ රටේ නොපවතී.

මේ වනවිට රට තුළ සියයට 80 ක පමණ නිෂ්පාදනයක් පවතින, සියයට 80ක පමණ පරිභෝජනයක් පවතින අනෙකුත් කිසිදු සහල් වර්ගයක හිඟයක් හෝ මිල ඉහළ යාමක්ද නොමැති තත්ත්වයක මෙම කීරි සම්බා සහල් ප්‍රශ්නය වෙළෙඳපොළෙහි ඉල්ලු‍ම සැපයුම මත තීරණය වීමට සැලැස්වීම සුදුසු යැයි නිර්දේශ කළ හැකි නිසා අවධාරණය කරන්නේ කීරි සම්බා සහල් ගැටලු‍ව රටේ මෙතරම් කතා කළ යුතු තරම් ජාතික ප්‍රශ්නයක් නොවන බවය.

සහල් ආනයනය සිදු කිරීමෙන් ඇතිවෙන බලපෑම ගතහොත් විදේශ විනිමය ගලා යාම, දේශීය වී සහ සහල් වෙළෙඳපොළට සිදුකරන බලපෑම හා සමාජමය බලපෑම යන සියල්ල සලකා බැලු‍වහොත් එය සහල් ආනයනය නොකර සිටීමෙන් වෙළෙඳපොළට ඇතිකරන බලපෑමට වඩා විශාලය. එම නිසා මෙම ගැටලු‍වට විසඳුම් සෙවිය යුතු වෙන්නේ කීරි සම්බා සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලු‍ම, වී සහ සහල් මිල, පරිභෝජනය, බදු අනුපාතය, ආනයනික මිල ඉදිරි කන්නවලට ඇතිකරන බලපෑම වැනි කරුණු සියල්ල පර්‌යේෂණාත්මකව අධ්‍යයනය කිරීමෙනි.

මේ සියලු කරුණුවලින් පසක් වෙනුයේ විවිධ වූ අවශ්‍යතා ඇති පාරිභෝගික කණ්ඩායම් ඉලක්කකර ගත් විශේෂිතකරණය වූ සහල් වෙළෙඳ පොළක සහ පාරිභෝගික ඉල්ලු‍ම මත පදනම් වූ නිෂ්පාදන සැලැස්මක අවශ්‍යතාවයි. එසේම නව තාක්ෂණය යොදා සහල් නිපදවීම සිදුවෙන අයුරින්ම අඩු කාල සීමාවකින් ඉහළ අස්වැන්නක් නෙළා ගත හැකි, තත්ත්වයෙන් උසස් බීජ මෙන්ම ජල පරිභෝජනය අවමව භාවිත වෙන නව තාක්ෂණය වී නිෂ්පාදනයට ද අත්‍යවශ්‍ය කාලවකවානුවක් පසු කරමින් සිටින බවයි.