ත්‍රාසය – භීතිය – කුතුහලය දනවන, විටෙක ලොමු දැහැගැන්වෙන, ක්‍රියාදාම කතා තේමා රැගත් චිත්‍රපට නැරඹීමට අපි රිසිවෙමු. ඊට හේතුව එවැනි අත්දැකීම් බොහෝ විට සැබෑ ජීවිතයේ විඳගැනීමට නොලැබෙන නිසාය. සැබෑ ජීවිතයේදී එවැනි සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුවොතින්, අපි කෙසේ ඊට මුහුණ දිය යුතු වෙමු ද? එවැනි සිදුවීම් අපේක්ෂා නොකළද ජීවිතය බේරාගැනීම වෙනුවෙන් අන්තිම හුස්ම පොද ඇති තෙක් අපට ඊට මුහුණ දීමට සිදුවේ. මා නම් දකින්නේ මේ පවසන කතාව තවමත් සැබෑ නොවුවක් ලෙසය. එහෙත් එය සිහිනයක් නොවූ සැබෑ කතාවකි. ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශන පෙළක් රූගත කළාක් මෙන් වූ හෝරා කීපයක කතාවකි. පෙර කී ලෙස ත්‍රාසය තේමාකර ගත් චිත්‍රපටයක් නොවුවද, මා නම් දකින්නේ එවැනි ගණයේ චිත්‍රපටයක් ලෙසමය.
මේ කතාවේ කතා නායකයා, හෙවත් වීරයා මා නම් කරන්නේ ‘සෙන්දිල්’ යනුවෙනි. නිකම්ම සෙන්දිල් ලෙස නොව, වික්‍රමාන්විත සෙන්දිල් යනුවෙන් හැඳින්වීම වඩා සුදුසුය. මා දන්නා පරිදි නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ඔහුය. හරි, අපි දැන් කතාවට බහිමු.
‘8’ යනු චීන ජාතිකයිනට නම් ‘ලකී’ අංකයකි. වාසනාව ගෙන දෙන රටාවකි. එහෙත් කත්මන්දු නගරයේ ලෝ ප්‍රකට සංචාරක හෝටල නාමයකට අයත් මෙම සිදුවීම වූ ස්ථානයට නම් එදා කිසිසේත්ම සුබ නොවූ දිනක් නොවුණි. පෙර දින, එනම් සැප්තැම්බරයේ 7 වැනිදා මෙම හෝටලයට සුබ දිනක් වූවේ ආසියානු - පැසිපික් කලාපයේ අමුත්තන් රැසක් පැමිණ සිටි බැවිනි. ඔවුන් එලෙස පැමිණ සිටියේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයකට සහභාගි වීම වෙනුවෙනි. එය නම් කර තිබුණේ ‘PSI Trada union conference Asia pacific’ නමින්ය. 8 වැනිදා සිට 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ හෙයින්, අපේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ද 7 වැනිදා වන විට හෝටලයට පැමිණ සිටියේය.
![]() |
සෙන්දිල් තොණ්ඩමන් |
ගුවන් ගමන් මහන්සියටත් එක්ක 7 දා රාත්‍රි ආහාර ගැනීමෙන් පසුව ඔහු නින්දට වැටුණේය. සුබ සිහින ද නපුරු සිහිනද නොදුටු සේ දිගු නින්දකින් පසුව 8 දා අවදි වූයේ සම්මේලනයට ලැහැස්තිවීම වෙනුවෙනි. බ්‍රෙක්ෆස්ට් එක රැගෙන අවන්හලේ සිටියදී, කුමක් දෝ අමුත්තක් සිදුවන බව හෝටල සේවකයින්ගේ ඉරියව් අනුව ඔහුට හැඟිණි. පහළින් ඝෝෂාවක්ද ඇසෙන්නට වූ නිසාවෙන් ඔහු ඒ දෙස විමසිල්ලෙන් බැලීය. ‘අප්පට සිරි’ මම හිතුවා හරි, මේ මොකක්ද මේ වෙන්නෙ? පොලු මුගුරු රැගත් පිරිස් මේ හෝටලයට පහර දෙනවා නේද? මේ මොන විනාශයක්ද මේ... ඇත්තටම මොකක්ද වෙන්නෙ.?
ලොකුවට සිතීමට කාලයක් ඔහුට ඉතිරිව තිබුණේ නැත. ජීවිතය බේරාගැනීමට කළ යුතු දේ, ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පමණක් සිතූ ඔහු කිසි විටෙකත් කලබල නම් නොවුණි. අවන්හලේ සිටි සේවකයින් නිල ඇඳුම් ඇද හිස් පලඳනා සමග සිටි බැවින්, ඔවුන් හඳුනාගැනීම පහසුවක් විණි. ඔව්හු බියට පත්ව සීසී කඩ දුවන්නට වූහ. ‘සෙන්දිල්’ ට තැනට සුදුසු නුවණ පහළ විණි.’
‘මාත් දැන් මේ සේවකයින් වගේ පෙනී සිටින්නට ඕනෑ.
එසේ සිතූ ඔහු අත්පිසින රෙදි කැබැල්ලක් ගෙන හිස ආවරණය කර ගත්තේ සේවකයකු ලෙස අවධානය ගැනීමටය. ඒ අතරවාරයේදී මේස පුටු අදිමින්, ඔහු හෝටල සේවකයින්ට සහාය වෙන්නට පටන් ගත්තේය. එසේ කළේ කළහකරුවනට, තමා හෝටල සේවකයකු යැයි ඒත්තු ගැන්වීමටය.
කලබල කෙරුවෝ හෝටලයේ ලොබියට ගිණි තබා යන්නට ගියෝය. ඔවුන් සමග හෝටලයේ සේවක පිරිසද එළියට පැන ගත්හ.
‘සෙන්දිල්’ එළියට පැන ගත්තේ ද එලෙසිනි.
එළියට පැනගත් ඔහු වට පිට බැලීය. මුළු කත්මන්ඩු නුවරම ගිනි ඇවිළෙමින් තිබේ. තැන තැන ගිනි ජාලාය. ‘මම වරදක් කරලා නැහැනෙ. ඒ නිසා මාව දෙවියෝ බලා ගනීවි.’ සෙන්දිල් තමාටම මිමිනුවේය. අසල ඇති පොඩි රෙස්ටුරන්ට් එක වෙත ගිය ඔහු එතැන සිට ගිමන් හරින්නට පටන් ගත්තේය. ඔයා මේ හෝටලයේ සේවකයෙක්ද? රෙස්ටුරන්ට් එක අයිති කෙනා විමසා සිටියේ නේපාලි භාෂාවෙනි. එය නොතේරෙන බව දැනගත් ඔහු ඔබට ඉංග්‍රීසි පුළුවන් ද? යැයි ඇසීමෙන් සෙන්දිල් වඩාත් සතුටට පත්විණි.
‘ඔහුට ඉංග්‍රීසි පුළුවන් වීම මට ගෙන දුන්නෙ සතුටක්. භාෂාව දන්නෙ නැතුව මං අනාථ වෙලා වගේ හිටියෙ.’
ඉංග්‍රීසි දත් ඒ නේපාල ජාතිකයාගේ අවන්හලේ සිට ගිනි ගනිමින් තිබූ සුපිරි හෝටලය දෙස බලා සිටි සෙන්දිල් හට සිහිවූයේ එහි නවාතැන් ගෙන සිටින අනෙක් අමුත්තන් ගැනය.
‘එයාලා කොහොමද මම බේරාගන්නෙ?’ ඔහුට සිහිගැන් වුණි.
‘ඒ වෙලාවෙ මගේ අතේ පාස්පෝට් එකවත්, පොකැට්ටුවවත් තිබුණෙ නැහැ. ආයෙත් හෝටලයට යන්නත් බැහැ. මුලින් පැමිණ හෝටලය කඩා දමා ගිය පිරිසට අමතරව තවත් ගැන්සී ඇවිත් බඩු මුට්ටු සොරකම් කරගෙන යනවා. ඒ විදියට එක එක පිරිස් සැරින් සැරේ ආවා. මට බය තිබුණෙ එයාලා කාමරවල සිටින අයව මරාවි කියලයි.
‘ඔයා කිසිම වෙලාවක ඔවුන්ට අමුත්තෙක් කියන්න එපා. හෝටලේ සේවකයෙක් කියලා කියන්න.’
මම නතර වී සිටි අවන්හලේ නේපාල ජාතිකයා කිව්වා. එදා හවස 6.30 වෙන කල්, මට හෝටලයට යන්න විදිහක් තිබුණෙම නැහැ. හැබැයි, කන්ෆරන්ස් එකට ආ අපි වට්ස් ඇප් ගෲප් එකක් හදාගෙන තිබුණෙ. වාසනාවට ඒක වැඩ කළා. මම එයාලට මැසේජ් යැව්වා, හෝටලයේ ලොබියට ගිනි තියලා. මේ වෙලාවෙ පොලිසිය. හමුදා හෝ ගිනිනිවීම් නිලධාරීන් කවුරුවත් නෑ. ඔයාලා කාමරවලම පරිස්සමින් ඉන්න කියලා. අපේ ජීවිත අපටම බේරාගැනීම මිසක. අපේ ජීවිත බේරාගැනීමට කවුරුවත් ඒ වෙලාවෙ හිටියෙ නැහැ. පහල ගිනි ගන්න නිසා මම ආයෙත් වට්ස්ඇප් ගෲප් එකේ මැසේජ් එකක් දැම්මා. කොහොම හරි හදිසි දොරටු ඔස්සේ පිටවෙන්න කියලා.’
සෙන්දිල් එලෙසින් තැනට සුදුසු විදිහට කටයුතු කළද, හදිසි දොරටු ඔස්සේ අමුත්තන් හට පිටවීමට නොහැකි වූයේ ඒවා ලොක් කර තිබූ බැවිනි. ඊළඟට මම මොකක්ද කරන්නේ? ක්‍රියාදාම ඇතුළත් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන වීරයා දැන් සෙන්දිල්ය. හරි, ඕනෑ දෙයක් වෙද්දෙන්, මම ඇතුළට යනවා. ගිහින් එයාලව බේරාගන්නවා යැයි ඔහු නිර්භයව පියවරක් ඉදිරියට තැබීය. ‘ඔයාලත් එනවද මා එක්ක’ යැයි අසල සිටි හිතවත් වූ කීප දෙනෙක්ගෙන් විමසුවද? ඔවුහු ඊට අකමැති වූහ. ‘ඔයා මෙච්චර දඟලන්නෙ ඔයාගේ පවුලේ අය ඉන්නවද?
අවන්හල් හිමියා සෙන්දිල්ගෙන් ඇසීය.
‘නෑ.... මහත්තයෝ, මම එයාලව දන්නෙ නැහැ. ඒත් ඒ ජීවිත මට වටිනවා. එයාලව මම කොහොම හරි බේරාගන්න ඕනෑ.
‘අපෝ අයියේ, මට නම් බයයි. කලහකාරීන් ඇවිළෙන ගින්නට අපිවත් ඇදලා දමාවි.’ යැයි යළිත් අවන්හල් හිමියා කීය. ඒත් ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන සෙන්දිල් මරණය පසෙකලා හෝටලය වෙත යාමට තීරණය කළේය. එවිට අවන්හල් හිමියාද ඔහුගේ සහායට එක්විණි.
‘ඔයා මාව විදේශිකයෙක් කියන්න.’ එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ. සෙන්දිල් අවන්හල් හිමියා අස්වසාලේය. එයාලට උදවු කරන්න කවුරුවත් නැහැනේ. අපි උත්සාහ ගනිමු. නිර්භය සෙන්දිල්ගේ අදහස්වලින් සවියක් ගත් අවන්හල් හිමියා ‘හා අයියේ මම එන්නම් කීය.’
‘අපි හෝටලයට ගිහින් එයාලව එළියට ගන්න ඕනෑ විදිහ ගැන බැලුවා. හෝටලයේ සේවකයකුත් හිටියා. ඒ වෙලාවෙ මුළු නගරයේම විදුලිය විසන්ධි වෙලායි තිබුණෙ. ගිනිගත් සුන්බුන් අතරින් අළු දූලි මැදින් ගිහින් අපි තරප්පු පෙළ සොයා ගත්තා. අන්ධකාරය නිසා කිසිවක් පැහැදිලිව පෙනුණෙ නැහැ.
සෙන්දිල් හෙවත් මෙම ස්වයං වික්‍රමාන්විතයේ වීරයා, ඒ මොහොත එලෙසින් සිහි ගන්වයි. අඳුරේ අතපත ගාමින් කාමරයක් කාමරයක් පාසා ගොස් එකිනෙකා තරප්පු පෙළ දිගේ ගෙනැවිත්, හෝටල උද්‍යාන භූමියේ රැඳවීමට සෙන්දිල් කටයුතු කළේය. රාත්‍රි 8 ට විතර පටන් ගත් මේ මෙහෙයුම නිමා කරන විට පාන්දර 3.30 පසු වී තිබිණි. ඒ අතර වාරයේදී සෙන්දිල් තමාගේ කාමරයට ගොස් ඇඳුම් බෑගය සහ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියල්ලද ගත්තේය. වෙහෙසකර ක්‍රියාන්විතයකින් පසුව, හෝටල උද්‍යානය වෙත ආ පසු අනෙකුත් අමුත්තන් ඔහු පිළිගත්තේ වීරයකු මෙනි.
‘ඔයා කවුද? ඔයාගේ රට මොකක්ද? වීරයා වට කරගෙන එතැන සිටි පිරිස විමසා සිටියේය.
පසුව මේ සෙන්දිල් වීරයා ගැන ඔවුන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විස්තර පළ කළෝය.
‘අපි මේ විදිහට නේපාලයේ අරගල සටනට අසුවුණා. මෙයා තමයි අපිව බේරාගත්තේ.’
එලෙසින් ඔවුන් සටහන් පළ කිරීමත් සමග නේපාලයේ ‘පුවත්’ ඔස්සේද තමිල්නාඩු News ඔස්සේද ප්‍රචාරය කෙරිණි. එම පුවත් ප්‍රචාරය වීමත් සමග ලංකාවේද එය ප්‍රමුඛ පුවතක් විණි. තමිල්නාඩුවේ කොංග්‍රසයේ සහ කම්කරු සම්මේලනවල ප්‍රධානීන් සෙන්දිල්හට ස්තූති කර සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබිණි.
‘අපි මේ සම්මේලනයට සහභාගි වෙන්න ගියේ දින හතරක කාලයකට. මේ සිදුවීම වුණේ දෙවැනි දවසේදී. එක දවසයි හෝටලයේ හිටියේ. අනෙක් දවස් තුන හිටියෙ පාරේ. මට ලැබුණු බනිස් ගෙඩිය පවා මම හෝටලයේ සිටි ළමුන්ට දුන්නා. අපට වඩා ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නෙ එයාලට. එදා හෝටලයට හමුදාව එද්දී පාන්දර 3.30 ට විතර ඇති. එවිට අපේ පිරිස ආරක්ෂිත නිසා මම එළියට ආවා. තුන්වැනි දවසේ ඇඳිරි නීතිය ඉවත් කළ නිසා එයාර්පෝට් එක ඕපන් කළා. ඒ වෙනකල් මම හිටියෙ ඒ අවට ගෙදරක කාමරයක. ආපහු යන්න ෆ්ලයිට් දෙකයි තිබුණෙ. ඒත් දෙකම ෆුල්. හැබැයි පාස්පෝට් තිබුණු අයට වෙලාවට කලින් එයාර්පෝට් එකට යන්න අවසර ලැබුණා.
සෙන්දිල් අවසන කත්මන්ඩුවෙන් ඉගිලී තමිල්නාඩුව වෙත ආයේ ඉනික්බිත්වය. ඉන්දීය උපජනපති හමුවීමට ඔහුට ආරාධනාවක් ලැබී තිබිණි. ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ලෙසය. සෙන්දිල් තොණ්ඩමාන් යනු නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයාය. තමිල්නාඩු සිනමාවේ නළු චරිතයක් මෙන් කඩවසම් පෙනුමැති සෙන්දිල් කත්මන්ඩුවේදී මුහුණ දුන් ඒ බිහිසුණු සිදුවීම් ජාලයෙන් පසුව ඔහුට බියක් ඇති වුණේම නැද්ද? යැයි ඇසූ විට ඔහු ඒ ගැන පැවසුවේ මෙලෙසිනි.
‘එදා ‘මීරියබැද්ද’ නාය යද්දී හමුදාව එන්නත් කළින් මම මගේ පිරිස සමග එතැනට ගියේ මිනිසුන් බේරාගන්න. ස්වභාවික විපතට පවා බිය නොවූ මම මේ සිදුවීම් හමුවේ බිය වුණේ නැහැ. මිනිස්සු මරන හැටි, කපන හැටි ගිනි තියන හැටි මම කත්මන්ඩුවේදී දුටුවා. හැබැයි, මගේ හිත කිව්වෙම කළ හොඳ ඇත්නම් අපේ ජීවිත බේරේවි කියලයි. උදේ සවස දෙවියන් වඳින මට එදා මිනිසුන්ට පිහිට වීමට හැකිවීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. දේශපාලනය කරනවා නම් අපි නිතරම ජනතාවගේ ජීවිතවලට වගකිව යුතුමයි.’’
සටහන - සඳුන් ගමගේ
සෙන්දිල් සුන්බුන් අතර