ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, බැකෝ සමන්, පානදුර නිලංග, තැඹිලි ළහිරු යන ශ්‍රී ලංකාවේ සිදුවූ ඉතිහාසගත අපරාධ රහස් වැලක පොටවල් පාදමින් ඇත. ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ අයියලා බොහොමයක් ඒ ඉතිහාසගත අපරාධ රාජ්‍යයේ භාරකරුවන් බව දැන් දැන් හෙළිවෙමින් තිබේ. එකී හෙළිදරව් වීම දරාගත නොහැකි බොහෝ දේශපාලනඥයෝ හොරාට පෙර කැන පන්නමින් කෙඳිරි ගාන්නට පටන්ගෙන ඇත්තේ මේ සියල්ල දේශපාලන පළිගැනීම් ලෙස හුවාදක්වමිනි. එහෙත් දැන් ප්‍රමාද වැඩිය.
මේ සියල්ල සිදුවීමට පෙර 2023 නොවැම්බර් 28 වැනිදා සමාජ මාධ්‍ය ඉදිරියේ එක්තරා චරිතයක් පෙනී සිටියේය. ඔහු යූ ටියුබ් නාළිකාවකට සම්මුඛ වෙමින් කීවේ තමන් අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ බවය. එකී නම සඳහන් කරමින් කරළියට ආ කජ්ජා දිගින් දිගටම කීවේ රාජපක්ෂවරුන් වෙනුවෙන් තමන් බැලමෙහෙවර සිදුකළ බවත් දැන් ඔවුන් තරහ වී තමන් ඝාතනයට උත්සාහ ගන්නා බවත්ය. එහිදී කිත්සිරි නමැති අයකුගේ නමක්ද ඔහු සඳහන් කළේය. ඔහු පැහැදිලිවම කීවේ තමන් ඝාතනය කිරීමට උත්සාහ දරන බවය. කෙසේ වෙතත් ඔහු සැලකිය යුතු හෙළිදරව් කිහිපයක් සිදුකළත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් එවකට සිදු වූයේ නැත. ඒ ඇයිද යන්න ප්‍රශ්නයක් වුවත් ඒ මොහොතේ පැවති දේශපාලන පරිසරය අනුව එය පුදුමයක් විය යුතුද නැත. එහෙත් ඒ සියල්ල පසුකරමින් ආ කජ්ජා 2025 පෙබරවාරි 18 දා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ. ඒ තම දරුවන් දෙදෙනාද සමඟය.
ඝාතන වැලක්
කෙසේ වෙතත් එම ඝාතනය වැඩි වෙලාවක් සමාජයේ කතා බහ කිරීමට ඉඩ ලබා දුන්නේ නැත. ඊට පසුදින (19දා) දහවල් කොළඹ අධිකරණ සංකීර්ණය තුළ ගණේමුල්ල සංජීව ඝාතනය කරනු ලැබීය. මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම ඝාතනය නිසා කජ්ජා ඝාතනය සමාජයෙහි වැඩි කතා බහට ලක් වූයේ නැත. කෙසේ වෙතත් 19දා සංජීව ඝාතනය කොමාන්ඩෝ සලින්ද විසින් තමන් සහ කෙහෙල්බද්දර පද්මේ විසින් සිදුකළ බව ප්‍රකාශ කෙරිණ. කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසුව කජ්ජා ඝාතනයේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ එතනදී අනාවරණය වූයේ මෙම වෙඩි තැබීම බැකෝ සමන් සහ තැඹිලි ළහිරු විසින් සිදුකළ බවය. මේ කතාව එසේ යට ගියත් පසුගිය අගෝස්තු අවසානයේ අත්අඩංගුවට ගත් ඉන්දුනීසියා කණ්ඩායම නිසා නැවතත් මේ ඝාතන දෙක කරළියට ආවේ වතුරේ ගිල්වූ රබර් බෝලයක් මෙනි. ඔවුන් කීවේ කජ්ජා ඝාතනය කළේ කංසා සහ මෝටර් රථයක් පැහැරගැනීමේ අවුලක් නිසා බවය. එහෙත් අවුරුදු ගාණක් මිත්‍රයන් වූ මෙන්ම අවුරුදු ගාණක් කජ්ජාට බයේ ජීවත් වූ සමන් මේ ඝාතනය මෙලෙස සිදුකරන්නත්, දරුවන් ඝාතනය කරන්නත් තරම් හේතු වූයේ ඇයිද යන්න හැමෝටම ප්‍රශ්නයක් විය.
මේ අතර බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ පැවැත්වීමේදී බැකෝ සමන් විසින් සිදුකරන ලද අනාවරණයකට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ දී අමිල නමැති අයකු අත් අඩංගුවට ගැනිණ. ඒ ටී 81 ගිනි අවියක් සහ උණ්ඩ සමඟය. එහිදී ඔහු සඳහන් කළේ කජ්ජා ඝාතනය කළ ගිනි අවිය තමන්ට ලැබුණු බවත් එය සමන්ගේ උපදෙස් මත කෙසෙල් පෙට්ටියක සඟවා ගෙන ගොස් කොට්ටාව ප්‍රදේශයේ එක්තරා ස්ථානයකින් තැබූ බවත්ය. එහෙත් එය රැගෙන ගිය අයකු ගැන තොරතුරක් ඔහු දැන සිටියේ නැත. මේ අතර තවදුරටත් පරීක්ෂණ කිරීමේදී අයිස් සෑදු බව කියන කන්ටේනර් දෙකේ කතාව උඩට පැමිණීමත් සමඟ ඊට අදාළව සම්පත් මනම්පේරී අත් අඩංගුවට පත් විය. එහිදී අනාවරණය වුණේ සම්පත් මනම්පේරි සමන්ට අයත් ගිනි අවි ප්‍රවහනය කර ඇති බවය. මේ නිසාම සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ කජ්ජා ඝාතනයට අවශ්‍ය ගිනි අවිය මතුගම ප්‍රදේශයෙන් මිද්දෙණියට රැගෙන ගිය බවය. ඒ පද්මේට අයත් ගිනි අවියක් මතුගම ශාන් කණ්ඩායමේ සන්තකයේ තිබියදීය. ඒ අනුව කජ්ජා ඝාතනය සඳහා ගිනි අවිය රැගෙන ගිය අයුරු අනාවරණය විය.
දේශපාලන හොල්මන්
සියලු පරීක්ෂණ සිදුකරමින් යන අවස්ථාවේ කළුතර කොට්ඨාස අපරාධ ඒකකය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු පානදුර නිලංගගේ සමීපතමයා වූ ඇඹිලිපිටියේ සුරංගය. ඇඹිලිපිටියේ සුරංග යනු අයිස් හදන්න යොදාගත් බව පැවසෙන අමුද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයා විය. ඔහුගේ හෙළිදරව් කිරීම මත අලුත්ම අලුත් ටී 56 ගිනි අවියක් සොයා ගනු ලැබීය. එම ගිනි අවිය කජ්ජා ඝාතනයට යොදාගත් ගිනි අවිය බව සැකකරුගේ ප්‍රකාශ මත අනාවරණය විය. දැන් පොලිසියට ඇත්තේ ප්‍රශ්න තුනකි. මනම්පේරි ගෙනා ගිනි අවියමද මිද්දෙණියේ අමිල කොට්ටාවට රැගෙන ගියේ? එසේම ඒ ගිනි අවියමද ඇඹිලිපිටියේ සුරංග අතට ගියේ? එසේම මේ ගිනි අවිවලින් කා අත ඇති ගිනි අවියෙන්ද කජ්ජා ඝාතනය කළේ?
ඊට පිළිතුර ලබාදිය හැක්කේ රජයේ රස පරීක්ෂකට අනුවය.
කෙසේ වෙතත් කජ්ජා ඝාතනය දේශපාලනය වීමට ප්‍රධාන හේතුව වූයේ කජ්ජා විසින්ම තමන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අනාවැකි කීමත් ඊට අදාළව වගකිව යුත්තන් පැවසීමත් සමඟය. මේ සියල්ල සිදුවන අතරතුර මේ සතියේ මැද දිනෙක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය කැඳවා විශේෂ හෙළිදරව්වක් කළේය. එනම් 2012 මැයි 17 නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල ඝාතනය වූ බව කියන රගර් ක්‍රීඩක වෂීම් තාජුඩීන් ඝාතනය වන්නට මොහොතකට පෙර ඔහු පසුපස ආ කණ්ඩායමේ සිටි අයකු ලෙස කජ්ජා හඳුනාගෙන ඇති බවය. ඒ බව හඳුනා ගත්තේ ඇගේ බිරිඳ විසින් බවද කීවේය. දැන් කතාව වෙනස්ම මුහුණුවරක් ගෙන ඇත. කෙසේ වෙතත් ඒ කාන්තාව කජ්ජා හඳුනාගෙන තිබුණේ අද ඊයේ නොවේය. මීට මාස පහකට පෙරය.
දැනගන්නට ඇති පරිදි කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළ එම කාන්තාවද කජ්ජාගේ සහ ඇයගේ 16 හැවිරිදි වැඩිමල් පුත්‍රයාද කැඳවීම සිදුකළේ කජ්ජා සතු ගිනි අවිය කාගේ සමීපයේද ඇත්තේ යන්න වග සොයා බැලීම සඳහාය. කජ්ජාගේ පුත්‍රයාගේ වයසද 16ක් වූ නිසා ඔහු සන්තකයේ ඇතිද යන්න ප්‍රශ්න කෙරිණ. එහෙත් ඒ බවක් හෙළිවුණේ නැත. මේ අතර කජ්ජාගේ බිරිඳට වීඩියෝ පටයක් පෙන්වන ලදී. ඒ පුද්ගලයා හඳුනනවාද යන්න දැන ගැනීම සඳහාය. එවිට ඇය කිව්වේ මේ සිටින්නේ කජ්ජා බවය. එසේ අඳුනන්නේ කෙසේද යන්න විමසූ විට ඇය පවසා සිටියේ වසර 17ක් පවුල් කෑ තමන්ට ඔහු හඳුනාගත හැකි බවය. කොන්දේ අමාරුවක් ඔහුට තිබුණ බවත් ඒ නිසා කොන්දට අත තියන් සිටිනා බවත් ඇය කීවාය. එහෙත් ඒ වීඩියෝ පටය කොතනද යන්න හෙළිදරව් කිරීමක් ඒ මොහොතේ කර නැත. පසුව ඇයට පැවසුවේ මේ 2012 මැයි 17 දා තාජුඩීන් ඝාතනය වීමට පෙර සුපිරි වෙළෙඳ සැලකට ගොස් ඔහු වතුර බෝතලයක් මිලදී ගත් බවත් ඒ මොහොතේ ඔහු පසුපස ආ කණ්ඩායමේ මේ පුද්ගලයා සිටිය බවත්ය. ඒ මොහොතේ ඇය ගැස්සුණාය. ඇය නැවත වතාවක් ඒ වීඩියෝ පටය බැලූ අතර එහෙත් ඒ සිටින්නේ කජ්ජා බවම හඳුනා ගත්තාය.
කජ්ජාගේ පුතා කට ඇරීම
ඒ අනුව මාස පහකට පෙර දුන් ප්‍රකාශය පසුගියදා මේ ආකාරයෙන් එළියට ආවේය. මේ තොරතුර පැමිණීමත් සමඟ කජ්ජාගේ වැඩිමල් පුත්‍රයා සමාජ මාධ්‍යයේ ප්‍රකාශයක් සටහන් කරමින් කියා සිටියේ තමන්ගේ පියා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ නැති බවත් තමන්ගේ පියා ඝාතනය කළේ තමන්ගේ මව සහ අනියම් සැමියා බවත්ය. ඒ සඳහා සාක්ෂි ඇති බවද කීවේය. එසේම රාත්‍රියේ ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඒ කතාවම කියූ අතර ඔහු සඳහන් කළේ තමන්ගේ පියා ඝාතනයෙන් පසුව බැකෝ සමන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් මවගේ ගිණුමට බැරකර ඇති බවයි. කෙසේ වෙතත් මෙතෙක් බැකෝ සමන් හෝ මනම්පේරි නොකී කතාවක් ඒ දරුවා කීවේය. පුදුමය නම් බැකෝ සමන් එවැනි සිදුවීමක් දැන සිටියා නම් කෙළින්ම ඇඟ බේරාගැනීම සඳහා කජ්ජාගේ බිරිඳ අසු නොකර සිටීද යන්න බලන ඕනෑම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇත. එහෙත් එසේ නොකිව්වේ එවැනි සිදුවීමක් නැති නිසා විය හැක.
කෙසේ වෙතත් මේ ප්‍රකාශය දේශපාලඥයන් කරේ තබාගෙන ගියේ හොරාට පෙර කැන පන්නවමිනි. කිසිදු දේශපාලනඥයෙකුගේ නමක් ගමක් සඳහන් නොකළත් ඒ දේශපාලන කණ්ඩායම දරුවාගේ ප්‍රකාශය කරපින්නාගෙන ගියේය. මේ අතර කජ්ජාගේ බිරිඳ ද සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කීවේ එය අසත්‍ය බවත් ඕනෑම විටක පොලිසියට තමන්ගෙන් ප්‍රශ්න කළ හැකි බවත්ය. එසේ ඇය මෙහිදී අපූරු කතාවක් හෙළි කළාය. එනම් කජ්ජා රියැදුරකු ලෙස රැකියාව කරන සමයේදී කංසා ප්‍රශ්නයක් ඇතිවී සිරගත කළ බවත් ඒ අවස්ථාවේ කපිල නමැති පුද්ගලයා පැමිණ ඔහුට ඇප ලබාදී බේරාගත් බවත්ය. ඉන් අනතුරුව කජ්ජාට ආරක්ෂක අමාත්‍යංශයේ රියැදුරු රැකියාවක් ලබාදුන් බවත් ඔහු එය 2010 සිට 2013 දක්වා සිදුකළ බවත් ඇය කීවාය. තාජුඩීන් ඝාතනයට තම පියා සම්බන්ධ නැති බවට කියන පුත්‍රයා ඉපදෙන්නේ 2010 වසරේදීය.
දැන් අපට ප්‍රශ්න කිහිපයක් ඇත. 2010සිට 2013 තෙක් කජ්ජා ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියාවක් සිදුකළා නම් ඒ පත්වීම් තිබිය යුතුය. කජ්ජාගේ පුත්‍රයා 2010 ඉපදුණා නම් 2012 සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශ පිළිගත හැකිද? මීට පෙර යහපාලන සමයේදී තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට (2017) සහතික කරගත් අතර ඒ මොහොතේ මේ කජ්ජා මෙයට සම්බන්ධ බවට තහවුරු කරගැනීමට හැකි නොවූයේ මන්ද?කංසා සොරා ගැනීමක් කජ්ජා සහ දරුවන් දෙදෙනා මරා දැමීමට තරම් හේතුවක් වෙයි ද? කජ්ජා තමන්ගේ ඝාතනයට මේ අය වගකිවයුතු බව මරණයට පෙර කිව්වා නම් ඒ අය ප්‍රශ්න නොකරන්නේ මන්ද? කජ්ජා ඒ සම්මුඛ සාකච්ඡාවලදී තාජුඩීන් ඝාතනය ගැන යම් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදුකළ අතර ඒ සියල්ල ඇත්ත ද? ඒ සියල්ල සඳහා අපට පිළිතුරු ලැබිය යුතුය. විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ නොවී පරීක්ෂණ සිදුකරන විට දේශපාලනඥයන් මෙලෙස කෙඳිරි ගාන්නේ ඇයි ද යන්න අපට ඊට වඩා ප්‍රශ්නයකි.
ගයාන් ගාල්ලගේ