ඔව් අපි ආණ්ඩුව ගන්න සූදානම්


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස 

අගමැතිධුරය පිළිබඳව අලුත් කතාබහක් ඇතිවෙමින් ඇති වටපිටාවක ඒ පිළිබඳව සහ රටේ වත්මන් දේශපාලනය පිළිබඳව මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සමගිනි.   

?රට තියෙන්නේ ඉතාම අවුල් සහ සංකීර්ණ තැනක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රටින් පිටවුණා. ඉල්ලා අස්වෙනවා කියපු දවසෙ අයින් වුණේත් නෑ. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති වෙලා. දැඩි තීන්දු ගන්නවා. ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා හරිම අවිනිශ්චිතයි. මොකද්ද රටට වෙන්නේ?   


මේ රටේ ජනතාව ඉල්ලුවේ ගෝඨා රනිල් දෙන්නම ගෙදර යන්න කියලා. ජූලි 9 අරගලයෙන් පස්සේ ගොඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය ඇතැරල ගිහින් කථානායකට කියලා තිබුණේ 13 වෙනිදා අස්වෙනවා කියලනේ. ජනතාව ඒකට හිත හදාගෙන ඒක බලාපොරොත්තුවෙන් හිටියා. ඒ අතරේ රනිල් වික්‍රමසිංහට පක්ෂ නායකයොත් ජනතාවත් බල කළා අගමැති ධුරය අත්හරින්න කියලා. හැබැයි රනිල් ඉතාම සටකපට වැඩක් කළා. එයා ඉවත් වෙන්නෙ නැතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවට පස්සෙ අයින් වෙන්නම් කියල කිව්වා. ඔහු දන්නවා ගෝඨාභය අයින් වුණාම ඔහු තමයි වැඩ බලන ජනාධිපති කියලා. ගෝඨාභයත් ඉල්ලා අස්වීම ප්‍රමාද කර කර ඉන්නවා. මේ දෙන්නගෙ මේ නූල් සූත්තරවලින් ප්‍රශ්නය තවත් උග්‍රවෙයි. දෙන්නම බල තණ්හාවෙන් මේ විදියට සෙල්ලම් දදා ඉන්නෙ. හැබැයි මේ දෙන්න බැහැල යනකම් අරගලය ඉවර වෙන්නෙ නෑ. ජනතාව එතකම් පාරෙ ඉන්නවා. අරගලය ඇතුළෙන් දැනට විවිධ සිදුවීම් වාර්තා වෙනවා. මේ ආරවුල් සියල්ල ඉවර වෙන්නෙ මේ දෙන්න රට ගැන හිතල ජනතා ඉල්ලීමට අනුව ගෙදර ගියාම තමයි. ඊට පස්සෙ තමයි පාර්ලිමේන්තුව හරහා ඊළඟ දේශපාලන පියවරට යන්න වෙන්නේ.   


?දැන් අරගලයත් කිසිම පාලනයකින් තොරව අයාලේ යන බවක් පේනවා. ඒකෙ සිදු නොවිය යුතු වැඩ වෙනවා කියලා බොහෝ දෙනා චෝදනා කරනවා. තවත් පැත්තකින් දේශපාලන පක්ෂ අරගලය සාක්කුවෙ දාගන්න හදනවා කියලත් කියවෙනවා. දැන් දැන් ඒකෙ ගේම්, ඇමෙන්ඩා එළියට එනවා. වසන්ත සමරසිංහල පහරකෑමට පවා ලක් වෙනවා අරගල භූමියේදී. මොකක්ද එතන වෙන්නේ ඇත්තටම?   


අරගලය දේශපාලනිකයි. අරගලය ඒකපාක්ෂික නෑ. පක්ෂවලට සම්බන්ධ අය පක්ෂවලට සම්බන්ධ නැති අය ඒකෙ ඉන්නවා. නමුත් අරගලයේ පොදු තේමාව ගෝඨා රනිල් ඇතුළු ආණ්ඩුව ඉවත් වෙන්න කියන එක. දැන් රටේ පවතින සංකීර්ණ තත්ත්වයත් එක්ක. මුලින් අරගලයේ නොහිටපු බලයම ඉලක්ක කරගත් සමහර දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් මෙහෙයවන කල්ලි අරගලයට රිංගවලා තියෙනවා. ආණ්ඩුව විසින් මෙහෙයවන කල්ලි වගේම සමහර විපක්ෂ කණ්ඩායම් මෙහෙයවන කල්ලි ඉන්න බව පේනවා සිද්ධවෙන සමහර සිදුවීම්වලින්. නමුත් ගෝල්ෆේස් අරගලය සම්බන්ධීකරණය කරන යම් ව්‍යුහයක් තියෙනවා. දැන් ඒකට පිටින් සමහර දේවල් සිද්ධ වෙනවා. සමහර රාජ්‍ය ආයතනවලට පැනලා ඒවා අත්පත් කරගන්න උත්සාහ කරපු අයගේ ක්‍රියා අරගලයට පිටින් සිද්ධවෙන ඒවා.   


ඒ කුඩා කල්ලි සාමකාමී අරගලයට බාධාවන සිදුවීම් කරන්න උත්සාහ කරනවා. ඒ අයගෙ වුවමනාව ගැටුම් නිර්මාණය කරන අය හැසිරෙන්නෙ ඒ අයට උඩින් ඉඳන් ඒ අය මෙහෙයවන අයගෙ ඕනෑ එපාකම් මත. ඒවයින් අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනෑ.   


වසන්ත සමරසිංහ සහෝදරයාට සිදුවෙච්ච සිදුවීම සමහර සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වාර්තා කළේ විකෘති කරලා. වසන්ත ඇතුළු වෘත්තීය සමිති නායකයන් මේ අරගලයේ දිගටම ඉඳපු අය. ඔය කියන බාධා කිරීම කරන්නෙ අරගලයට රිංගපු එක්තරා කල්ලියක කීපදෙනෙක්. ඒ අය ඉවත් කරන්න අරගල භූමියේ ඉඳපු අය පියවර ගත්තා. අරගලයේ සම්බන්ධීකරණයේ ඉන්න ෆාදර් ජීවන්ත පැහැදිලිව කිව්වා වෘත්තීය සමිති ව්‍යාපාරයේ රැස්වීම කඩාකප්පල් කරන්න කටයුතු කළේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ කියලා. ඔයවගේ සිදුවීම් ආණ්ඩුව කරනවා. ඒ වගේම අපිත් සම්බන්ධවෙච්ච උද්ඝෝෂණයන් තිබුණා ගිය බදාදා දියත උයන ළඟ. අපි ඒක කරලා විසිරිලා ගියාට පස්සේ එතෙන්ට රැස්වෙච්ච කණ්ඩායමක් එතන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරල තිබුණා. මේ හැම තැනම වෙන්නෙ අරගලය අල කරන්න උත්සාහ කරන අයගෙ කඩාකප්පල් ක්‍රියා. ජනතාව මේවා ගැනත් සිහිබුද්ධියෙන් බලන්න ඕනෑ.   


?ඊළඟ අගමැති අනුර දිසානායකද කියල දැන් අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයත් අභියෝගයක් එල්ල කළා අනුර දිසානායකට ඔහු ඉවත් වෙන්නම් පුළුවන්නම් අගමැතිකම අරගෙන කරල පෙන්නන්න කියලා.   


ජාතික ජනබලවේගය සූදානම් අපේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න. අනුර දිසානායක සූදානම් අගමැති වෙන්න. අපි කියන්නේ දැන් පුළුවන්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් ඉවත් වෙලා පෙන්නන්න. ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු අගමැතිකමෙන් ඉවත්වෙලා ඒක අනුරට බාර දෙන්නම් කියලා. ඇත්තටම ගත්තොත් රනිල් වික්‍රමසිංහට එහෙම අගමැතිකම කාටවත් බාර දෙන්න බැහැ.   
මේ පවතින සමාජ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ලිඛිත යෝජනාවක් ඉදිරිපත් කළේ අපේ නායකත්වයෙන් ආණ්ඩුව බාර ගන්න බලාගෙන. අපි ආණ්ඩුව බාර අරගෙන දශක හතක් තිස්සේ ඔඩු දුවල තියෙන සියලු ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් දෙනවා කියලා කියන්නේ නෑ. නමුත් මාස හයක් වගේ කෙටි කාලයක් ඇතුළත අද ජනතාව මුහුණ දෙන බරපතළම ප්‍රශ්නවලට විසඳුම් දෙන්න සුදානම්. ඊට පස්සෙ ජනතාවට අවස්ථාවක් දෙනවා, තමන් කැමති ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගන්න. ඒක තමයි අපි පාර්ලිමේන්තුවේදී ඉන් පිටතදිත් දිගින් දිගටම කිව්වේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ එකඟ නම් අපිට ඒ අවස්ථාව ලබාදෙන්න. ඒ වගේම අපි කැමති ඇමැති මණ්ඩලයක් පත් කරගන්න අවස්ථාව දෙනවානම් අපි සූදානම් අගමැතිකම සහ ආණ්ඩුව බාරගන්න. 

 
?බොහෝ දෙනා අහන්නේ ‘‘ඔය කිව්වට කොහෙද ජේ.වී.පී.එක ආණ්ඩු කරන්නෙ’’ කියලා ඇත්තටම එවැනි අභියෝගයක් බාරගන්න මොකක්ද ඔබේ ප්‍රායෝගික හැකියාව සහ වැඩපිළිවෙළ?   


දැන් ඔය ආණ්ඩු කරපු අය කරපු විදියෙ හොඳකම නිසා තමයි රට අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපට මේක කරන්න පුළුවන්ද කියලා අභියෝග කරන දේශපාලකයින්ට සහ පක්ෂවලට මේ අර්බුදයට කිසිම උත්තරයක් නෑ කියලා දැන් පැහැදිලිනේ. එවැනි වටපිටාවක තමයි අපි මේ රටේ ජනතාවට විශ්වාසවන්ත ලෙස කියන්නේ මේ ඇතිවෙලා තියෙන අර්බුදකාරි තත්ත්වයට ඉක්මන් තාවකාලික විසඳුමක් දෙන්න අපිට පුළුවන් කියලා. අපේ රට නැමැති රෝගියා දැන් ඉන්නේ දැඩි සත්කාර ඒකකයෙ. ඒකේ ඉන්න රෝගියෙක් එකපාරට ගෙදර යවන්න බෑ. ප්‍රතිකාර කරල සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකි මට්ටමක සෞඛ්‍යය තත්ත්වයට ගේන්න ඕනෑ. ඒක තමයි මූලිකවම කරන්න ඕනෑ. කවුරුත් දන්නා විදියට දැන් රටේ තියෙන්නේ එක පැත්තකින් ඩොලර් ප්‍රශ්නයත් අනික් පැත්තෙන් රුපියල් ප්‍රශ්නයත්. ඩොලර් ප්‍රශ්නයට විසඳුම තමයි දැන් හිරවෙලා තියෙන නමුත් කලින් ආපු ඩොලර් මාවත් විවෘත කර ගැනීම, විදේශ විනිමය ගෙන්වා ගැනීම, සංචාරක ව්‍යාපාර යථා තත්ත්වයට පත් කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය, සහන ණය ලබා ගැනීම සහ ආනයන වියදම් අඩුකර ගැනීම සඳහා ජනතාවගේ පාරිභෝගික රටාවේ යම් වෙනසක් කිරීම කියන මූලික කරුණු ක්‍රියාත්මක කිරීම.  


මේ ආණ්ඩුවට හෝ කලින් ආණ්ඩු කරපු අයට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බැරි වුණේ ඇයි? මූලිකව ඒ අය ගැන රටේ සහ ජාත්‍යන්තරයේ විශ්වාසයක් නැහැ. ආණ්ඩුවක් ගැන විශ්වාසයක් නැති වුණාම කවුරුවත් උදවු කරන්න සූදානම් නෑ. හැම දෙනාගෙම උදවුවෙන් විශේෂයෙන් ජාත්‍යන්තරයේ උදව්වෙන් රට ගොඩගන්න නම් විශ්වාසදායී ආණ්ඩුවක් රටේ තිබිය යුතුයි. අපි හදන්නේ එහෙම ආණ්ඩුවක්, දැන් අපිට කවුරුවත් ණය දෙන්නෙ නෑ. ණය දීපු අයත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙන්නෙ නෑ. කාටවත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. මේ අපි කියන ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්න නම් පැහැදිලිවම ශ්‍රී ලාංකිකයින්ටත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ජාත්‍යන්තරයටත් විශ්වාසදායි ආණ්ඩුවක් තිබිය යුතුයි. වංචාවෙන් දූෂණයෙන් හොරකමෙන් තොර ආණ්ඩුවක් ඒකට ඕනෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ලංකාව සාකච්ඡා කරමින් ඉන්නකොට එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ කමිටුව අයි.එම්.එෆ්. එකට යම් කොන්දේසි ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ලංකාවට ණය දීමට පෙර සලකා බලන්න කියලා. ඒ කොන්දේසිවල තියෙන්නේ ආර්ථික ඉල්ලීම් නෙවෙයි දේශපාලන ඉල්ලීම්. ඒ කියන්නේ ලංකාවේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න, දූෂණ වංචා නැති ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න. මහ බැංකුව ස්වාධීන කරන්න වගේ කාරණා. අපිට ණය දෙන්න කලින් අපේ රටේ ආණ්ඩුවල දූෂිත ඉතිහාසය පිළිබඳ හොයා බලන්න කියලා ඔවුන් කියනවා. ඒ නිසා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ යතුර තියෙන්නේ දේශපාලනයේ සිදු කරන විශ්වාසනීය වෙනස හරහා කියන එක දැන් පැහැදිලියි. අපි අන්න ඒ වෙනස කරල දෙනවා. එතකොට දැන් වැහිලා තියෙන ඩොලර් මාවත් විවෘත කරගන්න පුළුවන්.  


?අගමැතිකම ගන්නම් කියලා කිව්වට මදි පාර්ලිමේන්තුව ඇතුළෙ බහුතර කැමැත්ත ගැන හිතන්නත් ඕනනේ. අනුර දිසානායක නම් කියන්නේ බලන් ඉන්නකො අපි ඒක කරල පෙන්නන්නම් කියලා. ඇත්තටම මොකක් ද ඒක කරන විදිය?  


තව දුරටත් මේ රට දේශපාලන ඩීල්වලින් ගේම්වලින් ඉස්සරහට ගෙනියන්න බෑ. මෑත ඉතිහාසයේ බලය හුවමාරුවෙලා තියෙන්නෙම දේශපාලන ඩීල් සහ ගේම් වලින්. ඒවයින් තමයි රට මේ තරම් ප්‍රපාතයකට ඇදවැටිලා තියෙන්නේ. අපි සහතික කරල කියනවා මේ පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය විශ්වාසදායි පසුබිම රට තුළ හදන්න අපිට පුළුවන්. මොකද රටේ ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය අදූෂිතයි කියලා, අපි නාස්ති කරන්නෙ නෑ කියලා, නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරයි කියලා. මේ විශ්වාස තහවුරු කළ හැකි එකම කණ්ඩායම අපි පමණයි. ඒ නිසා අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළට පාර්ලිමේන්තුවේ දැන් ඉන්න මන්ත්‍රීවරුන්ට විරුද්ධ වීමට සදාචාරාත්මක අයිතියක් නෑ. ඔවුන් විරුද්ධ වෙනවානම් විරුද්ධ වෙන්නෙ තමන්ගෙම ජනතාවට. අපි වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නම්. ඒ වැඩ පිළිවෙළට සහාය දීල රට ගොඩගැනීමට හවුල්වෙන එක පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම. ඒකට එරෙහි වන අය ගැන බලාගැනීම රටේ ජනතාවට බාරයි. 


?අනුර   දිසානායක අගමැතිවෙලා ආණ්ඩුවක් පිහිටෙව්වා කියමුකො. ඔබලගේ මන්ත්‍රීවරු තුන්දෙනා ඇරෙන්න ඔබල විවේචනය කරන විදියට ඇමති මණ්ඩලේට යන්න ඉතුරු දෙසීය විසි දෙකෙන් ඉන්නෙ කවුද?  


අපි කැමතියි ජාතික ජනබලවේගයට බහුතර බලයක් ලැබිල අපේම මන්ත්‍රීවරුන්ගෙන් කැබිනට් මණ්ඩලයක් හදාගන්න අවස්ථාවක් ලැබෙනවනම්. ඒ වගේම දැන් මේ රට කරපු සියල්ලෝම අසමත් කියල තේරුම් අරගෙන ඔවුන් තමන්ගෙ ජාතික ලැයිස්තුවල ඉන්න අය ඉවත් කරල මේ රට හදන්න පුළුවන් අය පාර්ලිමේන්තුවට පත් කරගන්න අවස්ථාවක් සලසනවනම් ඒකටත් අපි කැමතියි. ඒත් අපි හිතන්නෙ නෑ මේ ඉන්න අය එවැනි පරිත්‍යාගයක් කරන්න සූදානම් කියලා. එහෙම නම් අපිට සිද්ධ වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙම ඉන්න දූෂිත චෝදනා අඩු, යම් වගකීමක් ඉටු කරන්න පුළුවන් දහයක දොළහක කණ්ඩායමක් එක්ක කැබිනට් එකක් හදාගෙන මේ රට ඉදිරියට අරගෙන යන්න. මේ දෙසීය විසිපහ අතරෙ අපේ තුන්දෙනා ඇරුනම එවැනි කීපදෙනෙක් හොයාගන්න බැරි වෙන එකක් නෑ කියල අපි විශ්වාස කරනවා. ඒක අපිට හදන්න පුළුවන් පරමාදර්ශිම කැබිනට් මණ්ඩලය නොවුණත් මේ මොහොතේදී කරන්න පුළුවන් හොඳම දේ ඒක තමයි.

 

 

සටහන :
ප්‍රියන්ත කොඩිප්පිලි