එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සරය නිමිත්තෙයි යළි පිබිදෙන එජාපය


බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීම යනු සියතින් ගෙළ සිඳගැනීමක් බඳු යැයි සැලකූ යුගයක දැනඋගත් ප්‍රභූ පිරිස උපක්‍රමශීලීව ආගමික මුහුණුවරකින් යුතුව එජාපයට තිඹිරිගෙය වූ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළහ.

ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මහ ලේකම්වරයා වූ සර් හියු ක්ලිෆර්ඩ් විසින් 1912 අප්‍රේල් 15 දින සුරාබදු ආඥාපනත නම් පනත ඉදිරිපත් කරනු ලැබීය. ඉන් යෝජනා කෙරුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේ සුරා දෙපාර්තමේන්තුවක් පිහිටුවා රට පුරා මත් වතුර අලෙවි කරන ශාලා විවෘත කිරීමයි. බෞද්ධ සංස්කෘතිය නැමැති මහා වෘක්ෂයේ මුල් සිඳ බිඳ දැමීම ඇරඹුණු වග අවබෝධ කරගත් ජාතිහිතෛෂීහු දැඩි කම්පනයකට ලක් වූහ.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් කීවා සේ 1912 දී මෙකී පනත ඉදිරිපත් කළ අවස්ථාවේ දී සිංහලයින් වෙනුවෙන් පත්ව සිටි සර් ක්‍රිස්ටෝපර් උබේසේකර ද පනතට පක්ෂ විය. එයට විරුද්ධ වූයේ සර් පොන්නම්බලම් රාමනාදන් පමණි.

මෙලෙස අමද්‍යප ව්‍යාපාරය ඔස්සේ නිදහස් සටන ඇරඹෙන විට එම සද්ව්‍යාපාරය විනාශ කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ සැලසුම් කළහ. එහි කූටප්‍රාප්තිය සිංහල මුස්ලිම් කෝලාහලය ලෙස කරළියට පැමිණියේය.

මේ වන විට අමද්‍යප ව්‍යාපාරය ලංකාවට නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයක් බවට පත් වී තිබුණි. එවකට බලවත්ම දේශපාලන ව්‍යාපාරය වූ අමද්‍යප සභාව 1919 දී ස්වකීය නාමය “ලංකා ජාතික සංගමය”‍ බවට හඳුන්වා දුන්නේය.

ලංකා ජාතික සංගමය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට පෙරමුණු ගත්තේ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධනය. ඔවුන්ට ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීමේ දැක්මක් තිබිණි. වරින්වර ජාතික සංගමයෙන් ඉවත් ගොස් සිටි ද්‍රවිඩ සංගමය, මුස්ලිම් ලීගය. යෝනක සංගමය, බර්ගර් ලීගය. යුරෝපා සංගමය හා මැලේ සංගමය හමු වී සාකච්ඡා කොට ලංකා ජාතික සංගමය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළෝය. එකී කණ්ඩායම් අතර මූලික එකඟතාව ඇතිකර ගැනීමෙන් පසුව ඩඩ්ලි, ජේ.ආර්. දෙදෙනා ජාතික සංගමය ප්‍රතිසංස්කරණයට ලක්කිරීම ගැන බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් මන්දිරයට ගොස් ඩී.එස්. සේනානායකට දැන් වූහ.

නව පක්ෂය ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවන්ට එම රැස්වීමෙන් පදනම ඇති විය. පාම්කෝට් මන්දිරයේ පැවැති එම රැස්වීමට පැමිණි ඩී.එස්. සේනානායකට එහි මුලසුන හිමි ආරාධිත සංවිධාන අතරින් සිංහල මහ සභාවේ සභාපති එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක පැමිණ සිටියේ නැත. අනතුරුව ස්ටීවන් සහ සොලමන් අතර දුරකථන සංවාදයක් සිදු වී විනාඩි කිහිපයකින් බණ්ඩාරනායක මැතිතුමා එහි පැමිණියේය. ඒ සමගම සර් ජෝන් කොතලාවල හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ද පැමිණියහ.

ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී සියලු‍ ජාතීන් එකමුතුව සෝල්බරි කොමිෂන් සභාවට සාමූහිකව මුහුණ දීමට එකඟත්වය පළකරන විට අත්පොළසන් හඬ එම සභාව පුරා පැතිරි ගියේය.

1. විදේශීය පාලනයෙන් මිදීම
2. අග හිඟකම්වලින් මිදීම
3. රැකී රක්ෂා හිඟකමින් මිදීම
4. නොදත්කමින් මිදීම
5. ලෙඩ රෝගවලින් මිදීම එහි අරමුණු විය.

එජාපය ආරම්භ කොට ඉතා කෙටි කාලයක දී පැවැත්වුණු මැතිවරණයට මුහුණ දී ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයන් තෝරාගැනීම එම පක්ෂය මුහුණ දුන් පළමු අභියෝගය විය.

පක්ෂයේ මතය රටට කියන්නට 1947 අප්‍රේල් මස 18 වන සිකුරාදා එජාපය නිල පුවත්පත ලෙස “සිය රට”‍ පුවත්පත කළ එළි දැක්විය.

වසර 1947 ජුනි 18 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විශේෂ සැසිවාරයක් පවත්වා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සම්පූර්ණ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ලබාදීමට මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙන බව ප්‍රකාශයට පත් කෙරුණි.

ලංකාවට නිදහස ලබාදීම පිළිබඳ තීන්දුව ගැන සෝල්බරි සාමි විසින් ඩී.එස්. සේනානායක වෙත එවා තිබුණු විදුලි පුවතේ මෙසේ සඳහන් වී තිබිණි.

“ලංකාවේ අනාගත දේශපාලන දියුණුව පිළිබඳ ප්‍රකාශය මේ දැන් අසන්නට ලැබුණේය. අනාගත අර්ථ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් එවන මේ අවංක ආශීර්වාදය සුබ ප්‍රාර්ථනාව පිළිගත මැනවි. ලාංකික ජනතාවත් ඔබේ සියලු‍ මිතුරෝත් ඔබේ විස්මය ජනක ජන නායකත්වයේ ප්‍රතිඵලය වශයෙන් මේ සුබ තත්ත්වයට ලංකාව පැමිණවීම ගැන ඔබට කෘතඥ විය යුත්තාහුය.

ජාතියට නිදහස සලසාදුන් නායක ඩී.ඇස්. සේනානායකගේ පක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය දේශපාලනික වටපිටාව එජාපයට ලැබුණි. සැබවින්ම නිදහස ලබා ගැනීමේ සටනේ තීරණාත්මක කාර්ය භාරයක් සේනානායක විසින් ඉටු කරන ලදී. ගැටුම්කාරී නොවන බල හුවමාරුවකට ”‍ ජාතිය පියා නායකත්වය ලබා දෙමින් සිටියේය. අඩුව අත තිබෙන විට අත පුච්චා ගැනීම තරම් මෝඩකමක් තවත් නොවන බව ඔහු විශ්වාස කළේය. ඔහු උපායශීලී විය.

රජයේ ලිපිකරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹු ඩී.ඇස්. සේනානායක පසුව ඉන් ඉවත් වී සිය පවුලට අයත් මිනිරන් පතල් සහ වතු පාලනය කරමින් සිටියේය. සමාජ සේවයට ළැදි පුද්ගලයෙකු බව ද ප්‍රකට වී තිබුණි.

1915 සිංහල මරක්කල ගැටුම දඩමීමා කොටගෙන ඉංග්‍රීසින්ගේ සුරාපනතට විරුද්ධව අරගල කළ දේශමාමක පිරිස් කැරලිකරුවන් ලෙස හඳුන්වා ඇතැමෙක් සිරගත කොට මරා දැමීමට ඉංග්‍රීසිහු ක්‍රියා කළහ.

එම අවස්ථාවේ දී බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් මන්දිරය වට කළ ඉංග්‍රීසි සොල්දාදුවෝ ඩී.ඇස්. සේනානායක ද අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කොට තැබූහ.

වැලිකඩ හා යාපනේ හිර කඳවුරුවල ගත කළ සමයේ දී කෙසේ හෝ සුද්දාගෙන් මවුබිම නිදහස් කර ගැනීමට අධිෂ්ඨානයක් ඇති කර ගත් ඩී. ඇස්. හිර ගෙදරින් නික්ම ගියේ රට දැය සමය නිදහස් කර ගැනීමේ උදාර අරමුණ සහිතවය.

ඉන්පසුව ඔවුන්ට ලංකා ප්‍රතිසංස්කරණ සංගමය, ලංකා ජාතික සංගමය ඔස්සේ රටට නිදහස ලබාගැනීමට මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගැනීමට හැකි විය. අරගල කළ එතුමා ඇතුළු දේශීය ජන නායකයන් සමහරෙකුට 1924 දී ව්‍යවස්ථාදායකයේ නිල නොලත් මන්ත්‍රීවරු ලෙස අසුන් ගැනීමට හැකි විය.

1937 ජුලි මස 7 වන දින පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු අසුන් ගත්හ. ඒ වන විටත් මිනුවන්ගොඩ ආසනයෙන් ඩී.ඇස්. සේනානායක නිතරගයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වී සිටියේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට මැතිවරණ කොට්ඨාස අනුව මන්ත්‍රීවරු පනස් දෙනෙකු තේරී පත් වී සිටියහ. එහි දී ඩී.ඇස්. සේනානායක කෘෂිකර්ම කටයුතු පිළිබඳව කාරක සභාවට පත් වූ අතර එහි සභාපති මෙන්ම ඇමතිවරයා ද විය.

ලංකාවේ හතරෙන් තුනක් පමණ කැලෑවට යට වී තිබුණු අවදියක දුර දක්නා නුවණින් කටයුතු කළ ඩී.ඇස්. සේනානායක උතුරු මැද, රජරට, දකුණු පළාත්වල කැලෑ ඉඩම් එළි පෙහෙළි කරමින් ජනපද යෝජනා ඇති කරමින් අතීත සෞභාග්‍යය උදාකර ගැනීමේ අරමුණින් ක්‍රියා කළේය. ඉඩම් සංවර්ධන පනතට අනුව කටයුතු කරමින් ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කළේය.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1840 පනවන ලද කැලෑ පනත හා 1848 පනවන ලද මුඩුබිම් යන පනත් වලින් බැට කෑ ජනතාවගේ අයිතිය රැකගැනීමට කළ එළි දුටු ආඥාපනතට අනුව ක්‍රියාකරමින් ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් ලබාදීමට කටයුතු කළේය.

මින්නේරිය වැව, ගිරිතලේ වැව, පරාක්‍රම සමුද්‍රය. හුරුළු වැව ආදී මින්නේරිය, මිණිපේ, කාගම, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, පදවිය. බකමුණ, ප්‍රදේශත් ඩී.ඇස්. සේනානායකගේ සංවර්ධන ඉලක්කවලට හසුවී ප්‍රතිසංස්කරණය කිරීමත් ඇළහැර, ගල්ඔය රුහුණු ප්‍රදේශත් එම සංවර්ධන ඉලක්කවලට හසුවීමත් සැබවින්ම ජාතියේ වාසනාවකි.

චාම් පුද්ගලයෙකු වූ ඔහුගේ පෞද්ගලික ජීවන රටාව තුළද දෙබිඩි පිළිවෙතක් නොවීය. මුදල් පිළිබඳ ඔහු දැක් වූ අවංකකම සම්බන්ධයෙන් ප්‍රකට කළ පිළිවෙත අමාත්‍ය මණ්ඩල බහුතරය ද අනුගමනය කළේය. එවැනි ප්‍රතිරූප සහිත දේශපාලන නායකත්වය පිළිබඳ මද සරු බව වත්මන දී ලංකාව මුහුණ දී තිබෙන ඛේදවාචකයයි.

1965-1970 දක්වා ඔහුගේ නිල කාලය තුළ ලංකාවේ වගා ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ ගියේය. ගොවි ජනතාවගේ කෘෂිකාර්මික නිපැයුම් හැකියාව ඉහළ නැංවීමට ජනතා සිත් සතන්වල මතවාදී පෙරළියක් ඔහු සිදු කළේය. එතෙක් කිසිදාක සිදු නොවුණු ආකාරයට ශ්‍රී ලංකාවට ආහාර සුරක්ෂිත භාවය කරා ළඟා වීමට එතුළින් නොහැකි විය.

සිව්වරක් ලංකාවේ අගමැති ධූරය හොබවමින් රට දැය සමයට ඉමහත් සේවයක් කළ ඩඩ්ලි සේනානායක 1973 අප්‍රේල් මස 13 වැනිදා අවසන් සුසුම් හෙළීය.

1952 ඔක්තෝබර් මස 12 වැනි දින නිදහස් ලංකාවේ තෙවැනි අගමැතිවරයා ලෙස වැඩ බාර ගත් සර් ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද විය.

එතුමාගේ පාලන සමය තුළ දී ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දොර විවෘත වීම සිදුවිය. එසේම බැංඩුන් රාජ්‍ය සමුළුව ද පැවැත්විණි. ආසියාතික නායකයන් රැසක් කොළඹට පැමිණ රාජ්‍ය නායක සාකච්ඡා පැවැත් වූහ.

1954 දී මාර්තු මාසයේ දී එඩින්බරෝ ආදිපාදවරයාගේ ලංකා සංචාරය සිදු විය. රාජකීය සංචාරය නිමවීමත් සමඟ සෝල්බරි සාමිවරයා විශ්‍රාම ගියේය. සර් ඔලිවර් ගුණතිලක එම තනතුරට පත්විය.
සුළු ජාතීන් හා අන්‍ය ආගමික ලබ්ධිකයන් අතර අගමැතිවරයා ජනප්‍රිය වූ නමුත් බොදු ජනතාව ප්‍රභූන් හා මහා සංඝරත්නය ඔහු කෙරෙහි දැක් වූයේ බියමුසු ආකල්පයකි.

1956 අප්‍රේල් 11 වැනි දින රජ ගෙදරට ගිය අගමැති සර් ජෝන් කොතලාවල මහතා ලකිසුරු සර් ඔලිවර් ගුණතිලක හමු වී අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලියවිලි බාර දුන්නේය. අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ ජනතාවට කළ ප්‍රකාශය මෙසේය.

“මම අවුරුදු දෙකහමාරක් අගමැති ලෙස සේවය කළෙමි. සැබවින්ම මගේ පක්ෂය පාලන බලය පැවැත් වූ සුළු කාලය තුළ රටේ සාමය පැවැතුණේය. දියුණුව කරා ගමන් කළේය. අප විසින් නීතියක් සාමයත් පවත්වා තිබේ. මහජනයාගෙනුත් රජයේ සේවකයන් ගෙනුත් පුවත්පත්වලිනුත් සහාය ලැබුණු බව මා පිළිගන්නේ කෘතගුණ පූර්වකය. ඔවුන් අලු‍ත් ආණ්ඩුවට ද සහයෝගය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

‘‘මා අගමැති පදවිය බාර ගන්නා විට තිබුණේ රුපියල් 36,000,000 කි. නමුත් අපි අලු‍ත් ආණ්ඩුවට රු.197,000,000 ඉතිරි කර තබන්නෙමු. චීනයට හා බුරුමයට අත්තිකාරම් ලෙස දී තිබෙන රු.65,000,000 මීට ඇතුළත් නැත.

අප සාවුරුදු සංවර්ධන වැඩ පිළිවෙළ සඳහා වූ මේ මුදල පසුගිය මාසය තුළ රැස්කර ගැනීමට හැකි වීම අපේ සතුටට කාරණයකි. රටට ඉතාම විශාල යහපතක් සැලසෙන පරිදි මේ මුදල අලු‍ත් ආණ්ඩුවට පාවිච්චි කළ හැකි විය යුතුය.’’

අපට හිස් භාණ්ඩාගාරයක් බාර දුන්නේ යැයි අවලාද නගන අර්ථ ශ්‍රාස්ත්‍රපති මැති ඇමතිවරු සිටින රටක විනෝදකාමි දැඩි විනය සහිත කර්නල්වරයෙකුගේ සමුගැනීම කෙතරම් අගනේද?

රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ලංකාවේ දේශපාලනය දෝලනය වුණු ආකාරය පිළිබඳව ප්‍රායෝගික මෙන්ම පුළුල් අවබෝධයක් ජුනියස් රිචඩ් ජයවර්ධනට තිබුණේය. පරිණත දේශපාලන බුද්ධියකින් හෙබි එතුමාගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ පාලන සමය තුළදීම සමෘද්ධිමත් ලංකාවක් තැනීමය.

1977 දී 5/6 ක ජනවරමක් ලබාගෙන ජයග්‍රහණය කළ විගස ඔහුගේ පරිකල්පනයට හසු වූයේ අවුරුදු 30 ක මන්දගාමිව ඉටු කර ගැනීමට සැලසුම් කොට තිබුණු මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 6 කින් ගොඩ නැගීමය.

නව නිපයුම් කළ යුතු විය. ඒවා නිපදවන යන්ත්‍ර සූත්‍ර වලට විදුලි බලය අවශ්‍ය වේ. ඒ ඒ සඳහා මහවැලි දියවර හසුරුවමින් මෙල්ල කොට විදුලිය නිපදවිය යුතු බවද ඔහුට අවබෝධ වී තිබුණි.

ජේ.ආර්. ගේ ඊළඟ ඉලක්කය වූයේ විදෙස් ආයෝජකයන්ට වසා දමා තිබුණු දොර කවුළු විවෘතකොට ප්‍රාග්ධනය සහ තාක්ෂණය මෙරටට ගෙන්වා ගැනීමය. ඒ සඳහා නිදහස් වෙළෙද කාලාප පිහිටුවීම මගින් ඇරඹූ ජයවර්ධන කටුනායක සහ මහ කොළඹ ආර්ථක කොමිසම මගින් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ඇරඹීමට අවස්ථා උදා කළේය.

1977 පැවැති මහා මන්ත්‍රී තරගයෙන් පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත් විය. පසුව 1989 දී ඔහු ජනාධිපති විය.

කෙසේ වුවද රණසිංහ ප්‍රේමදාස නමැති එජාපයෙන් බිහි වූ දේශපාලනඥයා පොදු ජනතා වෙනුවෙන් නිර්මාණශීලීව යමක් කිරීමට උත්සාහ දැරූ දේශපාලනඥයෙකි. 1965 පැවැති රජය සමයේ නගරයක් මැද නගරයක්, පුට්ටු පාලම්, තැනීම, නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට නල ළිං ලබාදීම 1977 න් පසුව ගම් උදා සංකල්පය ක්‍රියාවට නංවමින් ගම්බද ජනතාවගේ සහ නාගරික ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට කිසිම රජයක් නොකළ සේවයක් කළේය.

උදාගම් සංකල්පය මා පිය රැකවරණය ජනසවිය. පාසල් නිල ඇඳුම් වැඩ සටහන ක්‍රියාත්මක කිරීම මගින් නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීමට නොනැවතුණ අරගලයක නිතර වීමය.

රණසිංහ ප්‍රේමදාසගේ හදිසි වියෝවීමත් සමගම අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිවරයා ලෙස ද එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට ද පත් විය.

1977 පාර්ලිමේන්තුවට තේරී පත් වන විට රනිල් වික්‍රමසිංහ අවුරුදු 24 ක තරුණයෙකි. දැන් ඔහුගේ වයස අවුරුදු 76 කි. දේශපාලන ජීවිතයට අවුරුදු 50 කි. මුහුපුරා ගිය දේශපාලන භාවිතයක නියැළී සිටි ඔහු එජාපයට මෙන්ම රටට ජනතාවට කළ මෙහෙවර අපමණය. ලලිත් ඇතුලත් මුදලි, රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක නායකයන්ට මෙන්ම රනිල් වික්‍රමසිංහයන්ට ද ජේ.ආර්. ජයවර්ධනගේ මග පෙන්වීම මහඟු‍ උපකාරයක් විය.

රනිල් වික්‍රමසිංහ එළඹී සිහියෙන් යුතුව සක්‍රිය වෙමින් සිටින්නේ ඔහුගේ දිගු දේශපාලන චාරිකාවේ පස්වැනි දශකයයි. හෙතෙම වසර හතලිස් එකක් වැනි දිගු කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. වික්‍රමසිංහයන් මේ මොහොතේ ජීවත් වන ලොව දේශපාලකයන් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ඉසව්වල දියුණුව සහ අඩු ලු‍හුඬුකම පිළිබඳව මැනවින් අත්දුටු දේශපාලකයෙකි. ඔහු අධ්‍යාපන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ කළ සුරවිරුකම් බොහොමයකි.

2001 - 2004 කාලයේ දී ලංකාවේ අගමැති ධූරය දරමින් ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් සඳහා ඇප කැපව ක්‍රියා කළ ප්‍රබුද්ධ දේශපාලකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහයන් රටේ අභ්‍යන්තර ගැටුමක් ලෙස ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමට උත්සාහ කළේ සාමකාමී මාවතක ගමන් කරමිනි.

ගෝලීය කොවිඩ් වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රබල කඩා වැටීමක් සිදු විය. විශාලා නුවර බඳු මෙරට බාර ගැනීමට කිසිවෙකු නොසිටි මොහොතක රනිල් වික්‍රමසිංහ රට බාරගෙන වැටුණු රට ගොඩගැනීමට දිවා රෑ නොබලා කටයුතු කළේය. එහි ප්‍රතිඵල ජනතාව භුක්ති විඳිමින් සිටී.

ගෝලීය දකුණ පිළිබඳව සංකල්පය අන්තර්ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ කරළියට පැමිණෙමින් තිබෙන මොහොතක ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ක්ෂේත්‍රවල පෙරළිකාර සැලසුම් සකස් කොට ගත යුතුය. ඒ සඳහා දැක්මක් සහිත දේශපාලන නායකයෙක් සහ දේශපාලන පක්ෂයක් අවශ්‍ය වේ. එම නායකයා සතු සුදුසු කම් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන් සතුව තිබෙන බව අවිවාදිතය.  

 

ජයන්ත කන්නන්ගර
ඌව පළාත් සභාවේ 
හිටපු එජාප මන්ත්‍රී