
හොර නෝට්ටු ජාවාරම ගැන දැන් දැන් ලැබෙන ප්‍රවෘත්ති එන්න එන්නම වැඩි වී තිබේ. බොහෝ අය තම ආර්ථික ප්‍රශ්න විසඳාගැනීමට ගෘහ කර්මාන්තයක් ලෙස හොර නෝට්ටු මුද්‍රණයට පෙලඹීම මීට හේතුවයි.
අලුතින්ම හොර නෝට්ටු ගැන වාර්තා වූයේ ජූලි 14 වැනි දින මොරටුවේ දී ය.
ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගෙන ගනුදෙනු කළ ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරුවකුගේ බිරිඳක් මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගෙනැවිත් තිබූ ප්‍රින්ටරය භාවිත කරමින් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇතැයි පොලිසිය කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත. වාර්තා වන පරිදි ඇය මොරටුව නගරයේ වෙළෙඳසලකට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී එම මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් සැක සිතූ ව්‍යාපාරිකයෙකු විසින් පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පන්දහසේ ව්‍යාජ නෝට්ටු 10 ක් එම කාන්තාව සන්තකයේ තිබී ඇත.
අත්අඩංගුවට ගත් තැනැත්තිය පසුගිය 15 වැනිදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
සැකකාරිය මොරටුව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික පන්ති පවත්වන 52 හැවිරිදි නැටුම් ගුරුවරියක වන දෙදරු මවකි. අධිකරණයේ දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ සැකකාරියගේ ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරුවකු සහ අන්තර් සමාජ ක්‍රීඩා සංගම්වල හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වන බවය.
මේ අතර පසුගිය ජූනි 23 වැනි සඳුදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට අදාළව දඩ මුදලක් ගෙවීම සඳහා ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් ලබාදුන් කාන්තාවක උසාවි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. පොලිසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, බැරගම, පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.
මෙරට අධිකරණ පද්ධතිය තුළ …ඔන්ලයින් පේමන්ට් මඟින් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් දඩ මුදල් හෝ ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාවක් නැත. එහෙත් මෙම ප්‍රවෘත්තියෙන් තහවුරු වී ඇත්තේ හම්බන්තොට උසාවියේ හොර සල්ලි හඳුනාගත හැකි යන්ත්‍රයක් ඇති බවය.
අධිකරණ වාර්තා අනුව තහවුරු වී ඇත්තේ එම කාන්තාව විසින් නඩුවකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් 8000/- දඩ මුදලක් ගෙවීමට මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් අයකැමි වෙත රුපියල් 5000/- නෝට්ටුවක් ද සමග මුදල් ලබා ඇති අතර එහිදී අධිකරණයේ මුදල් අයකැමිවරිය විසින් එම මුදල යන්ත්‍රයට දමා ගණනය කරන අවස්ථාවේ එම මුදල ව්‍යාජ එකක් බවට තහවුරු වීම හේතුවෙන් ඇය විසින් මේ පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඇති බවයි. පසුව එම නිලධාරීන් විසින් කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිසියට යොමු කරන ලදී. අත්අඩංගුවට පත් සැකකාරිය ගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ, තමන්ට මෙම මුදල් නෝට්ටුව ලැබුණු ආකාරය පිළිබඳ නොදන්නා බවය. හම්බන්තොටින් හමු වූ හොර 5000/- නෝට්ටු සිද්ධිය පිළිබඳ හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන තවදුරටත් පවත්වමින් සිටී.
මෙම රු. 5000/- හොර නෝට්ටුව හම්බන්තොටින් හමු වූ දිනයේ ම රු. 5000/- හොර නෝට්ටු මිටියක් හමුවීම වාර්තා වන්නේ හතරලියද්ද නගරයෙනි. හතරලියද්ද නගරයේ හෝටලයකින් තේ පානය කර ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවකින් මුදල් ගෙවීමට උත්සාහ කළ පුද්ගලයෙකු වෙළෙඳසල් හිමියාගේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වීම මෙම සිදුවීමය.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 08 ක් පන්සියයේ නෝට්ටු 04 ක් සීයයේ නෝට්ටු 06 ක් හා පනහේ නෝට්ටු 09 ක් සොයාගත් බව පොලීසිය තහවුරු කරන ලදී.
වාර්තා වන අන්දමට උඩුව, මිද්දෙණිය පදිංචි 32 හැවිරිදි සැකකරු හෝටලයෙන් තේ පානය කර රුපියල් පන්දහසේ නෝට්ටුවකින් මුදල් ගෙවීමට ගිය අවස්ථාවේ දී හෝටලයේ කැෂියර් ලෙස කටයුතු කළ හෝටලයේ හිමිකරු එය ව්‍යාජ නෝට්ටුවක් බව දැන වෙනත් නෝට්ටුවක් ලබා දෙන ලෙස සැකකරුට දැනුම් දී තිබේ. එම අවස්ථාවේ කලබලයට පත් සැකකරු රුපියල් පන්සියයේ නෝට්ටුවක් මගින් මුදල් ගෙවා එම ස්ථානයෙන් සැක කටයුතු ලෙස පලාගොස් තිබේ.

වහා ක්‍රියාත්මක වූ හතරලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නානායක්කාර මහතාගේ උපදෙස් මත සැණෙකින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හතරලියද්ද ක්‍රීඩාංගණය ආසන්නයේ දී අදාළ පුද්ගලයා ව්‍යාජ පන්දහසේ නෝට්ටු හතරක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර සැකකරුගේ නිවෙසේ තිබී ඉතිරි ව්‍යාජ නෝට්ටු සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට වාර්තා කොට ඇත.
සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී හතරලියද්ද නගරයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන පුද්ගලයකු මගින් එම ව්‍යාජ මුදල් මුද්‍රණය කරගත් බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කොට තිබේ.
හතරලියද්ද පොලිසිය නෝට්ටු මුද්‍රණය කළ අදාළ ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේ දී එහි හිමිකරු පවසා ඇත්තේ, තම දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ මුදල් පිළිබඳ පාඩමක් සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය කරගෙන එන ලෙස පාසලෙන් දැනුම් දී තිබෙන බව පවසමින් සැකකරු මුදල් නෝට්ටු මුද්‍රණය කරගත් බවකි. මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණක උපකරණ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
මෙරට රු. 5000/- නෝට්ටුව හඳුන්වා දුන් අවස්ථා වේ පාර්ලිමේන්තුවේ එය හඳුන්වා දුන්නේ රටේ ‘ද්‍රව ශීලතාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා එය රටේ සංවර්ධනයේ ප්‍රතිමූර්තියක් බවය. එහෙත් ඒ අවස්ථාවේ ආර්ථික විශේෂඥයෙකු එය හැඳින්වූයේ රුපියල් අගය කඩාවැටීමේ කදිම ප්‍රතිඵලයක් ලෙසය. ඊටත් වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ තමන් ඇමරිකාවේ අවුරුදු 20 ක් ජීවත් වුවත් ඩොලර් 100ට වඩා නෝට්ටුවක් නිකුත් වී නැති බවය.
පසුගියදා හසු වූ රු. 5000/- හොර නෝට්ටු සිදුවීමත් සමග අපේ මතකයට එන්නේ ‘බල්ලොත් නොකන සල්ලි කියමනය’. ඒත් මිනිස්සු රු. 5000/- හොර නෝට්ටු මුද්‍රණය කොට බල්ලන්ට බලු කෑම ද පූසන්ට පූස් කෑමද අරන් දීමට තරම් මානුෂීය වී තිබේ.
මේ සිද්ධි දෙක ලංකාවේ මුද්‍රණය කළ ව්‍යාජ රුපියල් නෝට්ටු ගැන වුවත් 2025 ජූලි මාසය ආරම්භ වන්නේම හොර ඇමරිකානු ඩොලර් මාරු කරන්නට ගිය සිද්ධියකිනි.
ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 06 ක් මාරු කිරීමට මිනුවන්ගොඩ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණි පුද්ගලයෙකු බැංකුවෙන් කළ දැනුම් දීමකට අනුව මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේ ජූලි 1 වැනිදාය.
රස්නායකපුර පදිංචිකරුවෙකු වන 45 හැවිදි මෙම සැකකරු විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මිනුවන්ගොඩ පොලිසිය පවසා සිටී. ව්‍යාජ ඩොලර් මුදල් මාරු කර ගැනීමේ අපේක්ෂාව ඇතිවම මෙම පුද්ගලයා රස්නායකපුර සිට මිනුවන්ගොඩට පැමිණ ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
සැකකරු බැංකුවට ඉදිරිපත් කළ ඩොලර් නෝට්ටු 6ම එකම අංකයකින් යුක්ත වීම සහ කඩදාසියේ ඔරිජිනල් ඩොලරයක ගතිය නොවීම නිසා බැංකු නිලධාරීන් පොලිසිය එනතුරු උපක්‍රමශීලීව ඔහුව බැංකුවේ රඳවා ගෙන ඇති අතර, පොලිසිය පැමිණ හොර ඩොලර් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සාමාන්‍ය ජනතාව සල්ලිවලට කියන්නේ ‘දෙයින්ගේ මල්ලි’ කියාය. ඊටත් වඩා බල්ලො මරලා සල්ලි හම්බ කළත් එයින් හම්බ කළ සල්ලි බුරන්නේ නැති බව ය. එනමුත් සල්ලි හොයන්නට බල්ලන් මරන්නට අවශ්‍ය නැත. දැන් මෙරට ඇති හොඳම සල්ලි හොයන ව්‍යාපාරය හොර රු. 5000/- කොළ මුද්‍රණය කිරීමය.
හොර නෝට්ටු ගැන ගිය වසරේ මේ වසරට වඩා වාර්තා කීපයක්ම පළ විය. පසුගිය වසරේ ජූනි මාසයේ මුලින්ම වාර්තා වූයේ කිලිනොච්චියෙනි. ඇමෙරිකානු ඩොලර් මිලියනයක් සමග තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඒවා හොරට මුද්‍රණය කළ ඩොලර් දැයි සැකයක් ඇති විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන ඔත්තුව ලැබී තිබුණේ යුද හමුදා බුද්ධි නිලධාරීන්ටය. ඩොලර් ගෙනැවිත් තිබුණේ කිලිනොච්චියේ දී රුපියල් බවට පත් කිරීමටය.
අමෙරිකාවට ඕනෑ විට ඕනෑ තරම් ඇමරිකන් ඩොලර් මුද්‍රණය කොට වෙළෙඳපළට එක්කළ හැකි නම් ලංකාවේ අපටත් එසේ බැරිදැයි මේ ලංකාවේ ඇමරිකන් ඩොලර් නෝට්ටු මුද්‍රණකරු සිතන්නට ඇත.
තවත් හොර සල්ලි කේස් එකක් වාර්තා වූයේ තඹුත්තේගම ජනපතිතුමාගේ උපන් ගමෙන්. හොර නෝට්ටු ව්‍යාපාරය මෙහෙයවා තිබුණේ 17 හැවිරිදි පාසල් සිසුවෙකි. පොලිසිය මුලින්ම අල්ලා ගත්තේ රුපියල් පන්සීයේ හොර නෝට්ටු 6 ක් සමග සැකකරුවෙකි. සැකකරුගේ ඔත්තුව මත තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර වැටලූ ස්ථානයේ තිබී රු. 5000/- නෝට්ටු 8 ක් රු. 500 නෝට්ටු 149 ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම හොර නෝට්ටු මුද්‍රණයට යොදාගෙන තිබුණ ලැප්ටොප් පරි ගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිසිය භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ප්‍රසිද්ධ පාසලක තොරතුරු තාක්ෂණය හදාරන සිසුවෙකු වීම පරිගණක සාක්‍ෂරතාවට හොර නෝට්ටු මුද්‍රණයට කදිම අස්වැසිල්ලක් බව තහවුරු කිරීමකි.
ඉන්දියාවේ සිට හොර නෝට්ටු මුද්‍රණය කොට ලංකාවට ගෙන ඒම සරු ව්‍යාපාරයකි. ඉන්දියානු ජනමාධ්‍ය එක් වරක් වාර්තා කළේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම්කරුවන්ගේ කලාපීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව බවට පත්කරගෙන ඇති බවය. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත මේ හෙළිදරව්ව කරන ලද්දේ ඉන්දියානු ජාතික විමර්ශන කාර්යාංශය (--) සහ අපරාධ අංශයේ (--) විමර්ශනයක් නිරීක්‍ෂණයෙන් අනතුරුවය.
මීට පෙර ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම්කරුවන්ගේ මාෆියාවේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ බංග්ලාදේශය බව ඉන්දියානු අපාරාධ අංශය තහවුරු කොට ඇත. ඇමරිකන් ඩොලර් සහ රුපියල් මාෆියාවට සම්බන්ධ ජාවාරම්කරුවන් පාකිස්ථානයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා ශ්‍රී ලංකාව ඔස්සේ ගුවනින් හෝ මුහුදු මඟින් ඉන්දියාවට ගෙන ඒමට පටන්ගෙන ඇතැයි ඉන්දියානු විමර්ශන ඔස්සේ හෙළි කොට ඇත.
මේ අතර ව්‍යාජ ඉන්දියානු මුදල් නෝට්ටු වැඩි වශයෙන් මෙසේ මුද්‍රණය කරන බවත් තමිල්නාඩුවේ සහ කේරළ ප්‍රාන්තයේ දී ශ්‍රී ලංකාවේ සිට ගෙන ආ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධ සිද්ධි ගණනාවක් ප්‍රාදේශීය පුවත්පත් වාර්තා කොට ඇති බවත් ඉන්දියානු විමර්ශනයේ සඳහන් වේ.
ඉන්දියන් ධීවරයන් ලංකාවේ මුහුදු තීරය ආක්‍රමණය බෙහෙවින් දැකගත හැකි කරුණකි. මෙම ආක්‍රමණයේ එක් අරමුණක් නම් ඉන්දියාව හරහා ගෙන එන හොර සල්ලි වටිනාකමෙන් අඩකට විකුණා ගැනීමටය. ඒත් නැතිනම් හොර රුපියල් 5000/- නෝට්ටු 100 කට නියම රුපියල් 5000/- නෝට්ටු 50 කට හුවමාරු කරගැනීමය.
මේ අතර ධීවරයන් ඔස්සේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සංක්‍රමණය කරවීමේ ජාවාරම ක්‍රියාත්මක මාෆියාවක් වන බවට වැඩි වශයෙන් තොරතුරු ලැබී ඇතැයි පෙන්වා දුන් එකී වාර්තා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ව්‍යාජ මුදල් නෝට්ටු පැමිණි බවට විමර්ශන රැසක් ඔස්සේ තොරතුරු හෙළිදරව් වී ඇති බවද තහවුරු කරයි.
එයින් කියවෙන්නේ ලංකාවේ හොර නෝට්ටු නිෂ්පාදකයින් ඉන්දියාවටත් වඩා තාක්‍ෂණයෙන් ඉහල බව නොවේ ද? මුදල් නෝට්ටු මුද්‍රණය තරම් සූක්‍ෂම කලර් ප්‍රින්ටර් එරට රහත් ඔත්තු සේවයේ ලියාපදිංචි ය අනිවාර්ය කරුණකි. ලංකාවේ ද එවැනි නීතියක් නීති පොතේ නම් ඇත. මෙයින් කෙරෙන්නේ අධිතාක්‍ෂණික මෙම යන්ත්‍ර මගින් මුද්‍රණය කෙරෙන මුද්‍රණ මත රහස්‍ය අංකය හා බාකෝඩ් එකක් ඇහැට නොපෙනෙන තරමට මුද්‍රණය වීමය. රහස් ඔත්තු සේවය ස්කෑන් කළ සැණින් එම නෝට්ටුව මුද්‍රණය කළ යන්ත්‍රයේ හිමිකරුගේ සියලු තොරතුරු අනාවරණය කරගත හැකිය.
මේ අතර මීට දස වසරකට පෙර (2015) දී ඇමරිකන් ඩොලර් මිලියනයක හොර නෝට්ටුවක් අත්අඩංගුවට ගත්තේ අනුරාධපුර නගරයේ දීය. ඇමරිකාවේ භාවිත කරන ඩොලර් මිලියනයක (ඩොලර් ලක්ෂ 10 ක) ව්‍යාජ ඩොලර් නෝට්ටුවක් රුපියල් දස ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු උතුරු මැද පළාත් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ උතුරු මැද සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ට ලැබුණු තොරතුරක් මත උතුරු මැද පළාත් විශේෂ ඒකකයේ නිලධාරීන් ව්‍යාපාරිකයන් ලෙස වෙස් ගෙන එය මිලදී ගැනීමට ගිය අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා අදාළ ව්‍යාජ ඩොලර් නෝට්ටුව ඔවුන්ට ඉදිරිපත් කර ඇති අතර, ඒ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට පත් වී නෝට්ටුව ලැබුණ හැටි ගැන සියල්ල වමාරා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ ව්‍යාජ ඩොලර් නෝට්ටුව ඉතා සූක්‍ෂම ලෙස රහස්‍ය මුද්‍රණ සෙලොපේන් කවරයක බහා ඇමෙරිකානු එක්සත් ජනපද මහ බැංකුව මගින් නිකුත් කළ ඩොලර් නෝට්ටුව සත්‍ය බව අඟවන ව්‍යාජ සුරැකුම් සහතිකයක්ද ඉදිරිපත් කොට ඇති බව වැටලීම සිදු කළ විශේෂ පොලිස් ඒකකය අධිකරණයට වාර්තා කරන ලදී.
අත්අඩංගුවට අදාළ ව්‍යාජ ඩොලර් නෝට්ටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවිත කරන ඩොලර් නෝට්ටුවට සමාන බවත් ඩොලර් මිලියනයේ මුදල් නෝට්ටු නිකුත් කරනු ලබන්නේ ඇමරිකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට පමණක් බවත් එවැනි ඩොලර් නෝට්ටුවක වටිනාකම ලංකා මුදලින් එවකට රුපියල් කෝටි 13 ක් ඉක්මවන බව පොලිසිය අධිකරණයට වාර්තා කරන ලදී. සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ විදේශයක සිට මෙරටට පැමිණි මන්නාරමේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයකට මිලදී ගත් බවකි.
ඒත් මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයේ ඇති ලංකාවේ රුපියල්වල ඇති ඉහළම වටිනාකම වන්නේ රු. 10,000/- ක ශ්‍රී ලංකා රුපියල් නෝට්ටුවකි. එය මුද්‍රණය කොට ඇත්තේ එක් වරක් පමණි. රු. 2000/- නමින් නෝට්ටුවකද ලංකාවේ දෙදහස් වසරේ නිකුත් වූයේ පොලිතින් ගතියෙන් යුතු එම රු. 2000/- නෝට්ටුව මහ බැංකුව පසුව භාවිතයෙන් ඉවත් කර ගන්නා ලදී.
මේ අතර ලංකාවේ හොර රු 5000 නෝට්ටු මුද්‍රණය කරන චක්‍රවර්තිලා මුද්‍රණය කරන්නේ ඩොලර් පමණක් නොවේ. ඉන්දියන් රුපියල් මුද්‍රණය ගැන සුප්‍රසිද්ධ කීර්තියක් මේ සිරි ලංකාව සතුව ඇත. ඉන්දීය රුපියල් ලක්ෂයක ව්‍යාජ නෝට්ටු සමග ශ්‍රී ලාංකිකයෙකු වරක් අත්අඩංගුවට ගත්තේ බංග්ලාදේශයේ දීය. මේ ශ්‍රී ලාංකිකයා වසර ගණනාවක සිට ඉන්දියාවේ සිටි පුද්ගලයෙකු වන අතර ඉන්දීය පොලිසිය අනාවරණය කරගත්තේ මේ ව්‍යාජ ඉන්දියන් නෝට්ටු මුද්‍රණය පිටුපස නීතිවිරෝධී සංවිධානයක් මෙහෙයවන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේ මාෆියාවක් මෙහෙයවන බවකි.
ලංකාවේ හොර සල්ලි මුද්‍රණකරුවන් ගෙන් ලංකාවේ දී හොර ඩොලර් ඉන්දියන් රුපියල්වලට අමතරව කොරියාවේ මුදල් ඒකකය වන වොන් නෝට්ටු පවා ලබාගත හැකි බව ඔබ නොදන්නා රහසකි. කොරියාවේ සුවෝන් නුවරදී 28 හැවිරිදි ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගත්තේ වොන් දහදාහේ හොර නෝට්ටු 39 ක් හා ඒවා මුද්‍රණයට යොදාගත් ප්‍රින්ටරය ද සමගිනි. ඔහු ලංකාවට ද මෙම හොර නෝට්ටු එවා ඇති බව පරීක්‍ෂණවල දී තහවුරු විය.
මේ සකල සිරින්පිරි සිරිලංකාවේ දැනට භාවිත වැඩිම වටිනාකමක් ඇති නෝට්ටුව රු. 5000/- නෝට්ටුවයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එය මුලින්ම නිකුත් කරන ලද්දේ 2010 වසරේදීය.
නමුත් වසරක් යනතුරුත් මහ බැංකුව උදම් ඇනුවේ එම 5000/- නෝට්ටුව හොරට මුද්‍රණය කළ නොහැකි බව කැට තියා කියමිනි.
එහෙත් මේ රු. 5000 නෝට්ටුව මුලින්ම හොරෙන් මුද්‍රණය කිරීමක් 2011 දී වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ මේ නව නෝට්ටුව හොර නෝටුවක් ලෙස කල එළි බසින්නේ එප්පාවලදීය. මේ රු. 5000/ නෝට්ටු හොරට මුද්‍රණය කළ තරුණයන් රන් භාණ්ඩ මිලදී ගැනීමට ආවේ එප්පාවල නගරයට. එප්පාවල පොලිසිය තරුණයා අත්අඩංගුවට ගන්නා විට ව්‍යාජ 5000/- නොට්ටු 88ක් ඔහු ගෙනැවිත් තිබුණි. මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණය කළ නියම රු. 5000/ නෝට්ටුවල තීන්තවත් අතින් අත ගොස් හරියට වේළී තිබුණේ නැත.
අත්අඩංගුවට පත් වූ තරුණයා හා තවත් තරුණයකු එදා වවුනියාවේ සිට එප්පාවල නගරයට පැමිණ රන් ආභරණ අලෙවි සලකින් රන් ආභරණ තෝරා ගෙන ඇති අතර රුපියල් දෙලක්ෂයක පමණ රන් ආභරණ තෝරාගත් නිසා වෙළෙඳසලේ හිමිකරු ඔහුන් මුදල් ලබාදෙන තුරු රන් ආභරණ ඔහු භාරයට ගන්නේ මුදල් ගෙනා කළු පාට ටියුලිප් බෑග් එකින් මුදල ලබා නොදුන් නිසාය.
කලබලයෙන් වට පිට බැලූ තරුණයා කළු පාට බෑගයකින් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 43ක් වෙළෙඳසලේ හිමිකරුට ලබාදී රන් ආභරණ කිහිපය ඉල්ලා ඇත. එහෙත් මුදල් නෝට්ටු පිළිබඳ සැක මතුවීම නිසා වෙළෙඳසලේ හිමිකරු තරුණයාගේ හැඳුනුම්පත කිහිප විටක්ම ඉල්ලා ඇති අතර බිය වූ තරුණයා මුදල් ද වෙළෙඳසලේ දමා කඩ සාප්පුව පිටුපසින් එප්පාවල නගරයේ වැව දෙසට පලාගොස් නිවෙසක ගෙවත්තේ වූ වැසිකිළියක සැඟව සිටිද්දී අල්ලා ගන්නා ලදී. අල්ලාගත් සැකකරු ළඟ තිබී තවත් ව්‍යාජ මුදල් නෝට්ටු 44 ක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ රත්‍රං බඩු සාප්පුවේ දමා ගොස් සිටි රු. 5000/- හොර නෝට්ටු 44 ද සමගය.
මේ හොර නෝට්ටු මුද්‍රණකරුවන් කලක් යද්දී වෘත්තියමය හොර නෝට්ටු මුද්‍රණකරුවෝ වෙති. එප්පාවල සිද්ධියේ සැකකරු අවස්ථා තුනකදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අයෙකු බවත්, අධිකරණයේ මොහුට විරුද්ධව නඩු විභාග වන බවත් අධිකරණයේ දී කරුණු සනාථ කොට ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වරින්වර අත්අඩංගුවට ගත් හොර නෝට්ටු ගැන වාර්තාවක නිකුත් කිරීම සිරිතකි. එවැනි වාර්තා අතර හොඳම වාර්තාව ඉදිරිපත් කළේ 12 වසරකට පෙර අජිත් රෝහණ විසිනි.
2013 දී එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා සිටියේ එම වසරේ දෙකෝටියක හොර නෝට්ටු අත්අඩංගුවට ගෙන ඇති බවය. 2013 වසරේ රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා ව්‍යාජ නෝට්ටු තොගයක් රහස් පොලිසියේ ව්‍යාජ මුදල් පිළිබඳ පරීක්ෂණ අංශය හොයා ගන්නා ලදී. එම ව්‍යාජ නෝට්ටු අතර රුපියල් 5,000/- නෝට්ටු 311 ක්, 2,000 ව්‍යාජ නෝට්ටු 1002 ක්, රුපියල් 1000/- ව්‍යාජ නෝට්ටු 2733 ක්, 500/- ව්‍යාජ නෝට්ටු 1088ක්, රුපියල් 100/- ව්‍යාජ නෝට්ටු 119 ක් සහ රුපියල් 200/- නෝට්ටුවක් ද තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ 2013 දී සනාථ කර සිටියේය.
මෙම නෝට්ටු ගැන එම හෙළිදරව්වෙ දී අමුතුම ප්‍රවෘත්තියක් වාර්තා විය. එයින් කියැවෙන කාරණය අදහාගත නොහැක්කකි. නෝට්ටු මුද්‍රණය කළ මුද්‍රණාලයම හොර නෝට්ටු නිකුත් කිරීම එම අදහාගත නොහැකි ප්‍රවෘත්තියයි.
මේ අනාවරණය වූ කරුණ වන්නේ 2013 වසරේ බියගම මුදල් නෝට්ටු මුද්‍රණය කරන කොම්පැණියකින් අංක වෙනස් කොට රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 2838 මුදාහැර තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් 14 ලක්ෂ 17,500 ක් පමණ වන බවත් මුදල් නෝට්ටු අතරින් රුපියල් දෙලක්ෂ 13,000ක් වටිනා ව්‍යාජ 500 නෝට්ටු 426 ක් සොයාගෙන ඇති නමුදු තවත් රුපියල් දොළොස් ලක්ෂ 4,26 ක් සොයාගෙන ඇති නමුදු තවත් රුපියල් දොළොස් ලක්ෂ 4,500 ක් වටිනා ව්‍යාජ 500 නෝට්ටු 2409 ක් මහජනයා අතර එවකට සංසරණය වෙමින් පැවති බව රහස් පොලිස් පරීක්ෂණවලදි හෙළිදරව් වී ඇත.
කනගාටුවට කරුණ වනාහි ලංකා වේ පාතාල ආර්ථික කටයුත්තකින් හෝ හොර සල්ලි මුද්‍රණයෙන් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික මූල්‍ය ආයතන හරහා එකී මුදල ගිණුමට බැර කරලීමයි. ගිණුම් ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය එම මුදල් උපයන ලද මූල්‍ය ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදු කෙරෙන්නේ නැත. බැංකුවක නම් තැන්පතු රිසිට්පතේ මුදල තැන්පත් කිරීමට හේතුව දක්වා තිබේ. ස්වයංක්‍රීය මුදල් තැන්පත් කිරීමකදී හේතුව ලෙස ටියුෂන් ගාස්තු, ගෙවල් කුලී, ණය ගෙවීම් ආදී ප්‍රභේද කීපයක් අංකනය කොට අංකය ඔබන්න අණ කරනු ලබයි. තැන්පත් මුදල් හොර සල්ලි දැයි ඔවුනට අවශ්‍ය නැත. එකම පරම සුදුසුකම මුදල් තැන්පත් යන්ත්‍රය මුදල ප්‍රතික්ෂේප නොකොට තැන්පත් කර ගැනීම පමණි.
එහෙත් අවි පුහුණුව ලැබූ භටයෙකු සහ මුදල් නෝට්ටු මුද්‍රණය ගැන Security Printing මුද්‍රණාලයක මුද්‍රණකරු යන දෙදෙනාම එක සමාන වන්නේ මෙහිදීය. මුදල් මුද්‍රණය කරන මුද්‍රණාලයක යන්ත්‍රකරුට හොර නෝට්ටුවක් බාහිර ආයතනය මුද්‍රණය හිතන තරම් අමාරු කටයුත්තක් නොවේ. මෙහිදී කෙරෙන්නේ ඒ සඳහා වන කොළය ඉන්දියාවෙන් හෝ පකිස්ථානයේ මුද්‍රණය නොකර රැගෙන ඒමයි. සිල්වර් පැහැති නූල, එම්බෝස් සිංහයා හා බ්රෙල් ක්‍රමයට කියවිය හැකි සියලු අංගෝපාංග හිස් කොළයේ ඇත. ලංකාවේ දී සිදුවන්නේ මුද්‍රණය කිරීම හා රහසිගත අංකය මුද්‍රණය කිරීම පමණි.
හොර නෝට්ටු හඳුනාගැනීමේ යන්ත්‍ර නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම රට ලෙස නම් දරා ඇත්තේ ඊශ්‍රායලයයි. එහෙත් ලංකාවේ වැනි ආයතන, බැංකු ෆිනෑන්ස්, ලීසිං සමාගම් ලෝකයේ ඉහළම ප්‍රමිතියේ හොර නෝට්ටු යන්ත්‍රවලින් තෝරාගත් ‘නොඉඳුල් නෝට්ටු යන්නේ මහ බැංකුවටය. මෙම නෝට්ටු තෝරන දැවැන්තම අධිතාක්‍ෂණික යන්ත්‍රය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේය. මෙම යන්ත්‍රයට මුදල් දැමූ විට ව්‍යාජ නෝට්ටු ඉවත් වන්නේ ක්‍ෂණිකවය. මහ බැංකුව කරන්නේ පාරිශුද්ධ යැයි කියා මහ බැංකුවට ඉදිරිපත් කළ පූජනීය නෝට්ටු අතර තේරුණ හොර නෝට්ටු ෂේඩර් කර ගඩොලක් නිර්මාණය කිරීමයි. මොසාඩ් ඊශ්‍රායල් හොර නෝට්ටු තෝරන මැෂිමද ගොනාට ඇන්දවිය හැකි සූරයන් ලංකාවේ සිටින බව ඊශ්‍රායල් මොසාඩ්කාරයෝ දැනගත්දාට මහ බැංකුවේ ‘හොර නෝට්ටු ගල් ගෝනියක් ලණුවකින් බෙල්ලේ ගැට ගසාගෙන මුහුදට පැන දිවි නසා ගනු නියතය.
මහින්ද රණවීර