ඉන්දු - චීන යුද්ධය සාකච්ඡාවෙන් නැවැත්වූ සිරිමාවෝගේ නොබැඳි ආදර්ශය


ඉරාන යුද්ධය සහ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය ගැන මේ දිනවල විවිධ මතවාද මතු වෙයි. ඉරාන යුද නැව් දෙකක ප්‍රශ්නය සහ ඉරාන නාවිකයන් නිරුපද්‍රිතව ගෙන ඒමට ජනාධිපතිවරයා සහ රජය ගත් පියවර ජාත්‍යන්තරව ද ඇගැයුමට ලක්ව තිබේ.

පසුගිය සති දෙක තිස්සේම මෙරට විවිධ ජන වාර්ගික කොටස් සහ විවිධ පක්ෂ මේ සම්බන්ධව මත පළ කළේ තමා නියෝජනය කරන කණ්ඩායමේ සිත් ගන්නා පරිදිය. 

මෙම ගැටුමට තුඩු දී ඇති ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යන කිසිදු රටක් සමඟ ලංකාවට ප්‍රශ්නයක් නොමැති අතර, එම රටවල් තුනම ලංකාවේ සමීප මිතුරන්ය. මැදහත් රටක් ලෙස මැද මාවතේ සිටීම මෙම තෙරටම පැටලී සිටින ගැටුමේදී මෙරට පිළිවෙත විය යුතුය.

මැදහත් රටවලට තම ස්වාධීනත්වය රැකගැනීම මහත් අභියෝගයක්ව තිබුණේ අද නොව 1950 සිට 1980 දක්වා කාලයේය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලෝකය දේශපාලන බල කඳවුරු දෙකකට බෙදුණේය. ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදි ලෝකය සහ සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදි ලෝකය හැටියටය. ධනයෙන් ද බලයෙන් ද බලසම්පන්න වූ මේ මහ දෙරට ඉන් පසු ආරම්භ කළේ ලෝකයේ සෙසු රටවල් තමන්ගේ පාර්ශ්වයට නම්මාගැනීමේ කටයුත්තය. එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භ කළ ද එය ඇමෙරිකානු පාර්ශ්වයේ අතකොළුවක් බවට පත්ව තිබිණි. එදා මෙන්ම අද ද එම තත්ත්වය වෙනස් වී නැත.

මිනිස් වර්ගයා ලොව බිහි වූ දා සිටම එකිනෙකා අතර ගැටුම් ආරම්භ විය. ලෝකයේ රටවල් අතළොස්සක් හැර අන් සියලු රටවල දේශසීමා සලකුණු වූයේ යුද්ධවලින් මිස සාමයෙන් නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු ලොව ප්‍රබල රටවල් අතිවිශාල සංඛ්‍යාවක් බිහි වූයේ ලේ වැකුණු මහා සටන්වලිනි. ලෝකයේ මහා ශාන්ති නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේගේ ඥාතීන් ඇතුළු කිඹුල්වත්නුවර සිටි සියලු ශාක්‍යයන් සමූල ඝාතනය කළ අජාසත් රජුගේ පුත් විඩූඩහ කුමරා ශාක්‍ය ජනපදය ලෝක සිතියමෙන් ඉවත් කළේය. ඉරාන – ඇමෙරිකා, ඊශ්‍රායල යුද ගැටුම අහම්බයක් නොව ඉතිහාසයේ නොනවතින බල අරගලයේම එක් කොටසකි.

ධනවාදයටත් සමාජවාදයටත් ගැති නොවී ඒ දෙපාර්ශ්වය සමඟම හිතවත්ව නොබැඳි මාවතක යාමට පිහිටුවා ගත් ලෝක නායකයන්ගේ සංවිධානයේ මුල් තැනක් එදා ලංකාවට ලැබී තිබිණ. එතෙක් අනුගමනය කළ අධිරාජ්‍ය ගැති විදේශ ප්‍රතිපත්තිය ඉවත දා මැද පිළිවෙත නව යුගයේ විදේශ ප්‍රතිපත්තිය වශයෙන් ස්ථාපිත කිරීමට අගමැති බණ්ඩාරනායක රජය පියවර ගත්තේය. ඔහුගේ අභාවයෙන් පසු පිහිටුවන ලද නොබැඳි සමුළුවේ පතාක යෝධයන් වූ යුගෝස්ලාවියාවේ මාර්ෂල් ටිටෝ, මිසරයේ ගමායෙල් අබ්දුල් නසාර්, ඉන්දියාවේ අගමැති ශ්‍රී නේරු වැනි නායකයන් සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය නොබැඳි මඟේ ඉදිරියටම ගියාය. අගමැති බණ්ඩාරනායකටත් වඩා නොබැඳි ගමන් මඟේ ඉදිරියටම යාමට හැකි වූයේ ඔහුගේ බිරිය වූ සිරිමාවෝ අගමැතිනියටය. ඉන්දියා සහ චීන යුද ගැටුමක් මැදට පැන එම ගැටුම නතර කිරීමට ඇය සමත් වූයේ ලෝකයේම පැසසුම් ඇය වෙතට ගෙන එමිනි. බලවත් රටවල් යුද වදිද්දී තැලෙන කුඩා රටවල්වල සංකේතය බවට පත්වෙමින් එම යුද ගැටුමේ හානිය තම රට වැනි කුඩා රටවලට දරාගත නොහැකි බව පෙන්වා දුන්නාය. කිසිම පාර්ශ්වයක් නොගෙන මැද මාවතේ ගිය ඇය ඇතුළු ලෝක නායකයන් දෙතුන් දෙනකුගේ මැදිහත් වීම එදා ලෝ පතළ ප්‍රවෘත්තියක් විය.

මෙම ගැටුමට තුඩු දී ඇති ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යන කිසිදු රටක් සමඟ ලංකාවට ප්‍රශ්නයක් නොමැති අතර, එම රටවල් තුනම ලංකාවේ සමීප මිතුරන්ය. මැදහත් රටක් ලෙස මැද මාවතේ සිටීම මෙම තෙරටම පැටලී සිටින ගැටුමේදී මෙරට පිළිවෙත විය යුතුය.

 

1962 දී ආසියාවේ මහ බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව අවි අමෝරා ගත්තේ කිසිවකුටවත් වටිනාකමක් නැති හිම කන්දක් අරභයාය. අක්සායි චින්හි හිම කන්දේ දේශ සීමාව මත ඇති වූ ගැටුම යුද්ධයක් දක්වා වර්ධනය වෙද්දී සිරිමාවෝ අගමැතිනිය තේරුම් ගත්තේ මෙම ගැටුම ආසියාව පුරාම යුද ගිනි අවුලවන්නට හැකි මහ සටනක් වන බවය. ඇය නොබැඳි ලොවේ තවත් රටවල් කිහිපයක නායකයන් කොළඹට කැඳවා සාකච්ඡා කර ඉන් පසු චීන සහ ඉන්දියා නායකයන් හමු වීමට එම රටවලට ගියාය.

ඒ වන විට චීන හමුදාව ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය මැදට පැමිණ තිබුණි. අගමැතිනිය පළමුව චීන නායක මාවෝ සේතුංග් හමුවට සාකච්ඡා කර දෙවැනුව ඉන්දියා නායක අගමැති ශ්‍රී නේරු හමු වී මෙවැනි යුද්ධයක අනියම් විපාක ලෙස ලංකාව වැනි රටවලට සිදුවන හානිය පෙන්වා දුන්නාය.

මෙම ගැටුම නැවැත්වීම සඳහා තමා මැදිහත් වූ හැටි මැතිනියගේ ජීවිත කතාවේ මෙසේ සටහන් වෙයි.

“එක් දිනක් මධ්‍යම රාත්‍රී දොළහට පමණ දුරකතනයෙන් මා ඇමතූ චීන තානාපතිවරයාට වහාම මා හමු වීමට අවශ්‍ය විය. ඊට එකඟ වූ මම ෆීලික්ස් ඩයස්ට දුරකතනයෙන් අමතා නියෝජ්‍ය විදේශ ඇමැති ලෙස ඔහුට ද එම අවස්ථාවට සහභාගි වන ලෙස කීවෙමි. මෙසේ මහ රෑ ඔහුට මා හමු වීමට අවශ්‍ය වූයේ යම් බරපතළ තත්ත්වයක් නිසා විය යුතු බව දැනගතිමි. චීන තානාපති වහා පැමිණියේය. ඔහු මා හමු වීමට පැමිණියේ චීන හමුදාව ඉන්දියාවේ ඇසෑමයට පැමිණ ඇති බව දැන්වීමටය. කරුණු පහදමින් ඔහු කීවේ චීනයට එසේ කිරීමට බල කෙරුණු බවය.” යැයි මැතිනිය සඳහන් කර ඇත.

දෙරට අතර පැවැති සාකච්ඡා වාර කිහිපයකින් පසු යුද්ධය නැවැතුණි. අගමැතිනිය ඒ ගැන පසුව මෙසේ සඳහන් කළාය.

“තෝරු මෝරු වැනි දැවැන්තයන් මැද හාල්මැස්සන්ට කළ හැකි කාර්යය කුමක්දැයි ඉන්දීය මාධ්‍ය පවා ප්‍රශ්න කර තිබිණ. එහෙත්, ඔවුන් වටහා නොගත් කරුණ වූයේ ලංකාව කුඩා රටක් වුවත් කොතරම් විශාල හෝ බලගතු විය හැකි වෙනත් රටකට නොනැමෙන බවය.” මැතිනිය එදා එසේ සඳහන් කර තිබිණ.

ඉන් දශක ගණනාවකට පසු ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ද එම නොබැඳි ගමන සිහිපත් වන කාර්යයක නිරත වූයේ ඉරාන නෞකාවක නාවිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත් වෙමිනි. කුමන දරුණු යුද ගැටුමකදී වුවත් වටිනා මිනිස් ජීවිත රැකගත යුතු බව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෝකයට පෙන්වා දුන්නේ රටට ද මහත් ගෞරවයක් අත්කර දෙමිනි.

ලෝකයේ කවර බලවත් රටවල් සිටියත් ලංකාව සැමදාම පෙනී සිටියේ කිසිදු රටකට පක්ෂග්‍රාහි නොවන බවය. 1950 ගණන්වලින් පසු මෙරට පාලනය කළ ශ්‍රීලනිප මෙන්ම එජාප ආණ්ඩු ද මැද මාවත වෙනුවෙන් පෙනී සිටියේය. ලංකාවේ මාක්ස්වාදි විප්ලවයක් කරන්නට උත්සාහ කළ ජවිපෙට එරෙහිව 1971 දී මාක්ස් කොමියුනිස්ට්වාදි සෝවියට් සංගමය බණ්ඩාරනායක මැතිනියගේ රජයට විශාල සහායක් ලබා දුන්නේ ඒ නිසාය. ඇමෙරිකාවේ ද චීනයේ ද සහාය එදා ලැබුණේත් මැතිනියගේ රජයටය. ලංකාවේ මැද මාවත එම සියලු රටවල් අවබෝධ කරගෙන තිබිණි.

අන්ත දක්ෂිණාංශික එජාපයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු වූ කොමියුනිස්ට් කියුබාවේ නායක කැස්ත්‍රෝ වාර්ෂිකව ලොව ප්‍රකට හවානා සුරුට්ටු පෙට්ටියක් ජේ.ආර්.ට ත්‍යාග කර එව්වේ ද එම නොබැඳි ලංකාවේ නායකයන් ගැන තිබූ පැහැදීමෙනි.

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබී තිබූ මෙරටට බ්‍රිතාන්‍ය ආරක්ෂාව නොලැබුණේ 1956 දී බණ්ඩාරනායක රජය එම ආරක්ෂක ගිවිසුමෙන් ඉවත් වූ පසුවය. එතැන් සිට ස්වාධීන රටක් ලෙස ලංකාව සිය ආරක්ෂාව සලසා ගත් අතර, බලවතුන්ගේ ගැටුම්වලදී මධ්‍යස්ථව සිටියේය. එසේ වුව ද  1987 ඉන්දීය රජය මෙරටට කළ ගුවන් ආක්‍රමණයේදී මෙරටට උදව් කිරීම සඳහා කිසිදු බලවත් රටක් පැමිණියේ නැත. කිලෝමීටර් විසි ගණනකින් එහා ඇති ඉන්දියාව අතහැර ඇමෙරිකාවේ කීකරු මිතුරකුව සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙම ආක්‍රමණය ගැන ඇමෙරිකානු රජයට කළ පැමිණිල්ලේදී ඔවුන් ප්‍රකාශ කළේ අසල්වැසියා සමඟ සාමයෙන් සිටින ලෙසය. වෙනදා ලෝක සාමය ගැන ධම්මපදයෙන් උපුටාගෙන ‘බණ කී’ ජනාධිපති ජේ.ආර්. අසරණ වූයේ ඇමෙරිකාවේ එම ප්‍රතිචාරය නිසාය.

ජේ.ආර්. එදා ඉගෙනගත් පාඩම ලංකාවේ සියලුම ආණ්ඩුවලට පාඩමකි. පළමුව තමන්ගේ ළඟම අසල්වැසියා සමඟ සාමයෙන් සහ සමගියෙන් සිටිය යුතු බවය. මහින්ද රාජපක්ෂ සමයේ ජාත්‍යන්තර බල කඳවුරු අතර මත ගැටුම්වලදී ලංකාවේ ප්‍රතිපත්ති වෙනස් වූ බව රහසක් නොවේ. උතුරේ ත්‍රස්තවාදය මර්දනය කර එම යුද්ධය ජය ගෙන ඇමෙරිකානු විරෝධි මැදපෙරදිග ගඩාපි වැනි නායකයන් සමඟ රාජපක්ෂ පාලනය ගෙන ගිය සබඳතාව අවසන් වූයේ 2015 දී රාජපක්ෂ පාලනය පෙරළා දමන මැතිවරණයට අනියමින් බටහිර රටවල ආධාර ද ලැබීමෙනි. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කළ ජන අරගලයේදී ඇමෙරිකානු විවිධ ආයතන මුදල් වැය කර තිබූ බව ජනාධිපති ට්‍රම්ප් බලයට පැමිණි පසු හෙළිදරව් විය. රාජපක්ෂවරුන්ට එසේ වූයේ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියෙහි යම් ආකාරයකට මධ්‍යස්ථභාවයක් නොතිබූ නිසාය. ඉරාන නාවිකයන්ගේ ජීවිත බේරාගත් මෙහෙයුමේදී ලැබුණු ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිචාරයෙන් උදම් නොවී මධ්‍යස්ථභාවය දිගටම රඳවා ගැනීමට වත්මන් රජය උත්සුක විය යුත්තේ එවැනි පූර්වාදර්ශ තිබෙන නිසාය.

ප්‍රේමකීර්ති රණතුංග