ඉදිරියට තියෙන්නේ අමාරු කාලයක් ඇත්ත ඒකයි


අයි.එම්.එෆ් ගිහින් ආ මුදල් ඇමැති  අලි සබ්‍රි සමග සාකච්ඡාවක්

 

 

මුදල් සහ අධිකරණ අමාත්‍ය 
නීතිඥ අලි සබ්‍රි

  • අඩු කරපු බදු නැවත වැඩි කරන්න සිදු වෙනවා වෙන විකල්පයක් නෑ
  • ණය ආපසු ගෙවන හැටි කියන තුරු අයිඑම්එෆ් ණයක් දෙන්නෙ නෑ  
  • ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියල මූල්‍ය අරමුදල තීරණය කරල තියෙනවා 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත් වූ සාකච්ඡා, ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සහ බදු ඉහළ නැංවීමේ සූදානම ආදී ආර්ථිකමය වශයෙන් වැදගත් කාරණා කීපයක් ගැන මුදල් සහ අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි සමග කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන ඔබට කුමක්ද කිව හැක්කෙ?   


ණය ආපසු ගෙවීමේ හැකියාව අපි හදාගන්න ඕන. ඒක හැදෙන තුරු ඔවුන් ණය මුදලක් නිදහස් කරන්නෙ නෑ. ඒ අනුව තාක්ෂණික වශයෙන් රට ගොඩ දාන්නෙ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඉන්න අතරේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු වෙනුවෙන් නීති හා මූල්‍ය උපදේශකවරුන් පත් කරගෙන ඊට අදාළ කටයුතු කරමින් යනවා.   

 

  • ඉතාමත්ම අමාරු වෙලාවේ තමයි මම මුදල් ඇමැති ධුරය බාර ගත්තෙ. ඕනම කෙනෙක් මේ ධුරය බාර ගන්නවා නම් මම අයින් වෙන්න කැමතියි. 
  • මේ වෙලාවෙ මම මුදල් ඇමැතිකම බාර ගත්ත එක මෝඩ වැඩක් කියලයි හැමෝම කියන්නෙ. මගෙ පවුලෙ අයත් ඒක කියනවා. ඒ වුණාට මට ඊට වඩා රට වටිනවා


ප්‍රශ්නය- ලංකාව සඳහා ණය වැඩසටහනක් අනුමත කිරීමට මත්තෙන් ණයවල තිරසරභාවයක් ඇති කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා. ඊට අදාළව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?   


ණය ගෙවීමේ හැකියාව කියලා මම කිව්වෙ ණයවල තිරසරභාවය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරලා තියෙනවා ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා. ඇත්තටම අපිට ණය ගෙවීමේ හැකියාවක් නෑ. මේ අවුරුද්දෙ විතරක් අපි ඩොලර් බිලියන 6 ක පමණ මුදලක් විදේශ ණය හා පොලී වාරික වෙනුවෙන් ගෙවිය යුතුව තිබෙනවා. ගෙවන්න මුදල් නැති නිසා තමයි අපි විදේශ ණය ගෙවන එක අත්හිටෙව්වෙ. ඊට පස්සෙ ණය හිමි රටවල් හා සංවිධාන සමග සාකච්ඡා කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන. ඒ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා.   


ප්‍රශ්නය-  ඔබ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කලින් විදේශ මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අපේක්ෂා කරනවා කියලා. කළ සාකච්ඡාවල හැටියට කොපමණ මුදලක් ලංකාවට ලැබෙයි කියලා කියන්න පුළුවන්ද?   


මේ අවුරුද්දෙ රටට ලැබෙන ආදායමට අමතරව අවශ්‍ය ආනයන කරලා රට පවත්වා ගෙන යෑමට ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අපිට අවශ්‍ය වෙනවා. එම මුදල ලබා ගැනීම සඳහා තමයි අපි කටයුතු කරමින් ඉන්නෙ. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා යම් මුදලක් ලබා ගන්න මාස හයක් විතර යයි. අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා ඊට කලින් අපි මුදල් හොයා ගන්න ඕන.   


ප්‍රශ්නය- චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වලා නැති බවත් එරටට ගෙවීමට ඇති ණය පියවීම සඳහා තවත් ණයක් ලබා දීමට යෝජනා කර තිබෙන බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා පවසා තිබෙනවා. චීන ණය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?   


ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සියලුම රටවල් එක සමානව සලකන්න ඕන කියන එක තමයි ඒකෙ මූලික හරය. ඒ වෙනුවෙන් අපි මූල්‍ය හා නීති උපදේශකයන් පත් කරලා තියෙන්නෙ. දැන් ඔවුන් තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ඉදිරියට අරන් යන්නෙ. ඒකෙදි අපේ විදේශ ණය හිමි සියලු රටවල් හා සංවිධාන සමග සාකච්ඡා කරලා පිළිගත හැකි විසඳුමක් ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්නෙ. ණය ගෙවීම අත්හිටුවනවා හැරෙන්න අපිට වෙන තේරීමක් නෑ. ණය ගෙවන්න මුදල් නෑ. චීනය අපේ දිගුකාලීන මිතුරකු නිසා ඔවුන් සමග සාකච්ඡා කරලා පිළිගත හැකි විසඳුමක් ඇති කරගන්න අපි උත්සාහ කරනවා. 

 
ප්‍රශ්නය- මේ කාරණයේදී චීනය අපිව මගඅරිනවා කියලා එළියෙ ඉඳන් බලන අපිට තේරෙනවා. ඇතුළෙ ආර්ථිකය හසුරුවන ඔබලටත් එහෙම හිතෙනවද?   


එහෙම එකක් නෑ. අපි චීනය සමග දිගටම සාකච්ඡා පවත්වමින් ඉන්නවා. චීනය උදව් කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ ප්‍රශ්නයෙන් එළියට එන්න නම් අපිට චීනය ඉන්දියාව ජපානය වගේ මිතුරු රටවලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වගේ ආයතනවලත් සහයෝගය අවශ්‍ය වෙනවා. එහෙම නැතුව කුඩා රටක් හැටියට මේ ප්‍රශ්නයට අපිට ස්වාධීනව මූණ දෙන්න පුළුවන්කමක් නෑ.   


ප්‍රශ්නය- විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කළාට පසු මූඩිස්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වැනි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළා තිබෙනවා.

මෙමගින් ආර්ථික කටයුතුවලට වන බලපෑම ඔබ කොහොමද දකින්නෙ?   


මම දකින විදයට මේ වෙනකොටත් ඒ බලපෑම සිද්ධ වෙලා ඉවරයි. අපේ ශරීරයේ තියෙන රෝගී තත්ත්වයක් එක්ස් රේ කරලා ප්‍රකාශ කරනවා වගේ දෙයක් තමයි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් සිදු කරන්නෙ. අපේ ආර්ථිකයේ තත්ත්වය දිහා බලලා ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒවා රටට එතරම් සුබවාදී නෑ. එම ආයතන ලංකාවේ ආර්ථිකය ගැන නිකුත් කරලා තියෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි ඔවුන් සමග තර්ක කරලා වැඩක් නෑ. අපි කළ යුත්තෙ අපේ ආර්ථිකය හදාගන්න එක. ඒක හරියට අපේ එක්ස් රේ එකේ තියෙන ප්‍රශ්නෙකට ලැබ් එකට බැණලා වැඩක් නෑ වගේ දෙයක්. එක්ස් රේ එකෙන් කියන දේ තේරුම් අරන් ලෙඩේ සුව කරගන්න එකයි අපි කරන්න ඕන. අපේ ආර්ථිකයේ ඔඩුදුවපු ලෙඩක් තියෙනවා.   


ප්‍රශ්නය-  දිනෙන් දින භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. මිනිස්සු තවම පෝලිම්වල. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරපු ලෝක උද්ධමන දර්ශකයෙහි ලංකාව 3වැනි තැන පසු වෙනවා. එම ලැයිස්තුවේ පළමු තැනට ලංකාව නොබෝ දිනකින් පත් වනු ඇති බවට අනාවැකි පළ වෙමින් තියෙනවා. මෙය සුළුවෙන් තකන්න පුළුවන් තත්ත්වයක්ද?   


ඒක ඇත්ත. ඉතාමත්ම බරපතළ තත්ත්වයක තමයි රටේ ආර්ථිකය තියෙන්නෙ. අපි මේ ගැන රටේ ජනතාවට ඇත්ත කියන්න ඕන. මේ තත්ත්වය ඇති වෙන්න බලපාපු හේතු රාශියක් තියෙනවා. සමහර කාරණා අපේ පාලනයෙන් තොරයි. සමහර තීන්දු තීරණ මීට කලින් ගත්තා නම් හොඳයි කියලා අපිට හිතෙනවා.   


ප්‍රශ්නය- මොනවද ඒ තීරණ?   


එකක් තමයි අපි රජය බාර ගත්ත අවස්ථාවේ බදු අඩු කළා. ඒ නිසා රජයට දළ වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 500 ක විතර ආදායමක් අහිමි වුණා. ඒ තීරණය ගැන දෙවරක් කල්පනා කරලා බලන්න තිබුණා. දෙවැනි එක තමයි අනපේක්ෂිත ආකාරයට පැමිණි කොවිඩ් වසංගතයෙන් ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල වුණු අවස්ථාවේ හෝ බදු අඩු කිරීමට ගත් තීරණය නිවැරදි කළ යුතුව තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඊළඟ කාරණය තමයි මීට කලින් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් තිබුණා නම් මේ වෙද්දි විශාල ප්‍රගතියක් අත් කරගන්න පුළුවන් කියන එකත් මම විශ්වාස කරනවා. ඒක ජනාධිපතිතුමත් පිළිගෙන තිබුණා.   


ප්‍රශ්නය- 2019 වසරේ දෙසැම්බර් වෙද්දි මහ බැංකුව සතුව ඩොලර් බිලියන 7.6 ක විදේශ සංචිත තිබුණා. මේ වෙන කොට එය ඩොලර් බිලියන 1.9 දක්වා අඩු වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ආණ්ඩුවේ වැරදි මුල්‍ය කළමනාකරණය නිසා නෙවෙයිද ?   


එහෙමම කියන්න බෑ. ඒ සඳහා බලපාපු හේතු කාරණා කීපයක් තියෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ආදායම් මාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි සංචාරක කර්මාන්තය. 2018 අවුරුද්දෙදි සංචාරක කර්මාන්තයෙන් රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලැබුණා. 2021 දි ලැබුණෙ ඩොලර් මිලියන 200 ක් තරම් අඩු මුදලක්. රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය එහෙම් පිටින්ම අඩු වුණා. විදේශ ප්‍රේෂණ ලැබීම් අඩු වුණා. අලුතින් ආයෝජන සඳහා එන ප්‍රමාණය අඩු වෙලා තිබුණා. මේ විදියට ලංකාවට එන ඩොලර් ප්‍රමාණයේ විශාල අඩුවක් තිබුණා. ඒ නිසා ඩොලරයේ රුපියල් අගය පාලනය කිරීමට මහ බැංකුව සතු ඩොලර් සංචිතයෙන් ඩොලර් පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒ වගේම ණය ගෙවන්නත් සංචිත පාවිච්චි කරලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුණත් කියන්නෙ නෑ එකපාර රුපියල පා කරන්න කියලා. ක්‍රමයෙන් කළ යුතුයි කියලයි ඔවුන් කියන්නෙ. රුපියල පාලනයක් ඇතුව අවපාතනය කරන්න ඕන කියලයි මූල්‍ය අරමුදලේ ස්ථාවරය. 1991 දි ඉන්දියාව අනුගමනය කළෙත් ඒ ප්‍රතිපත්තිය. ඉන්දීය රුපියල සතියක් ඇතුළත සියයට 20 න් අවපාතනය කළා. අපිත් මීට අවුරුද්දකට විතර කලින් රුපියල අවපාතනය කරලා තිබුණා නම් උණ්ඩියල් වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ ඩොලර් ලංකාවට එවන එක මෙච්චර ඉහළ යන්නෙ නෑ. රුපියලේ අගය පාලනය කිරීමටයි විදේශ ණය ගෙවීමටයි තිබුණු ඩොලර් ප්‍රමාණය පාවිච්චි කරපු නිසා අපේ සංචිත පිරිහුණා. ඔබ කියපු ඩොලර් බිලියන 1.9 මේ වෙද්දි මහ බැංකුවෙ නෑ. ඒ අගය තියෙන්නෙ පොතේ විතරයි. අපේ ඩොලර් ද්‍රවශීලතාව බිංදුවයි. හුවමාරු ණය පහසුකම් (Swap agreement) යටතේ තියන් ඉන්න මුදලක් තමයි ඔය පොතේ සංචිත හැටියට පෙන්නන්නෙ. ඒකෙ තියෙනවා චීනය දුන්නු ඩොලර් බිලියන 1.5 ක හුවමාරු ණය මුදලක්. ඒ මුදල් අපිට පාවිච්චි කරන්න බෑ. දිනපතා ලැබෙන ඩොලර්වලින් තමයි මේක බැලන්ස් කරගෙන යන්නෙ. මේක තමයි සත්‍ය තත්ත්වය.   

 

  • මූල්‍ය අරමුදලෙන් යම් ආධාරයක් එන්න මාස 6ක්වත් යයි. අත්‍යවශ්‍ය ආනයන සිදුකරන්න ඊට කලින් අපි මුදල් සොයා ගන්න ඕනෑ.   
  • රජය භාරගත් වෙලාවේ බදු අඩුකළා. ඒකෙන් බිලියන 500ක් අහිමි වුණා. ඒ ගැන දෙවරක් හිතන්න තිබුණා


ප්‍රශ්නය- මුල්‍ය ප්‍රතිපත්තිය ස්ථායීකරණය සහ බදු වැඩි කිරීම කළ යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට දැනුම් දී තිබෙනවා. ඔබ දින කීපයකට උඩදි කිව්වා බදු ඉහළ නංවනවා කියලා. මේ සඳහා තියෙන සූදානම කොහොමද?   


කිසිම රටක් බදු නැතුව පාලනය කරන්න බෑ. අපේ වාර්ෂික බදු ආදායම රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටවත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඕනෑම රටක් සාමාන්‍ය වශයෙන් පාලනය කරන්න නම් ජාතික ආදායම සියයට 13 ක හෝ 14 ක අගයකවත් පවතින්න ඕන. ඒත් අපේ ජාතික ආදායම සියයට 8.6 දක්වා පහළ වැටිලා තියෙන්නෙ. ඉතින් රට කඩාවැටීම ගැන තවත් කියන්න දෙයක් නෑ. ඒ නිසා අපි අඩු කරපු බදු නැවත වැඩි කිරීමට සිද්ධ වෙනවා. වෙන විකල්පයක් නෑ. නැත්නම් වෙන්නෙ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා වැටුප්වත් ගෙවා ගන්න බැරි වෙන එක. 2022 අවුරුද්දට ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ඉදිරියට ක්‍රියාත්මක කළ හැකිද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ වසරේ ඉදිරි කාලය වෙනුවෙන් අලුත් අයවැයක් ඉදිරිපත් කළ යුතුද කියන එක ගැන මම මහ බැංකුවෙ අධිපතිතුමයි නිලධාරීනුයි එක්ක සාකච්ඡා කරමින් ඉන්නෙ.   


ප්‍රශ්නය- ඔබට මුදල් ඇමැතිකමට කරගහන්න වුණේ අමාරුම අවස්ථාවක කියලා හිතෙන්නෙ නැද්ද?   


ඔව් ඉතාමත්ම අමාරු වෙලාවේ තමයි මම මුදල් ඇමැති ධුරය බාර ගත්තෙ. ඕනම කෙනෙක් මේ ධුරය බාර ගන්නවා නම් මම අයින් වෙන්න කැමතියි. මුදල් අමාත්‍යවරයෙක් නැතුව රටක කටයුතු පවත්වා ගෙන යන්න බෑ. අවශ්‍ය තීන්දු තීරණ ගන්න වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා තවත් පමා කරන්න බෑ. ඉන්දියාවේ ක්‍රෙඩිට් ණය පහසුකම ගැන සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා මේ වෙලාවෙ මම මුදල් ඇමැතිකම බාර ගත්ත එක මෝඩ වැඩක් කියලයි හැමෝම කියන්නෙ. මගෙ පවුලෙ අයත් ඒක කියනවා. ඒ වුණාට මට ඊට වඩා රට වටිනවා. ඒ නිසා සුදුසු පුද්ගලයෙක් මේ ධුරය බාර ගන්නා තෙක් සහ ආර්ථිකයෙ යම් ස්ථාවරත්වයක් ඇති වෙන තෙක් පුරවැසියෙක් හැටියට මේ වගකීම ඉටු කළ යුතුයි කියලා මම හිතනවා. 

 
ප්‍රශ්නය- රටේ ප්‍රබල දේශපාලන අස්ථාවරත්වයකුත් ඇති වෙලා තියෙනවා. මේ දේශපාලන අස්ථාවරත්වය අවසන් නොකර ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් කියලා ඔබ හිතනවද?   


ආර්ථික අර්බුදයෙන් තමයි මේ දේශපාලන අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නෙ. දේශපාලන අර්බුදයක් තියෙද්දි ආර්ථික අර්බුදය විසඳන එක අමාරුයි. ඒක හරි. ඒ නිසා මේ අර්බුද දෙකටම විසඳුම් තියෙන්න ඕන. ඒත් දේශපාලන අර්බුදය විසඳුවා කියලා ආර්ථික අර්බුදය විසඳෙන්නෙ නෑ. මොකද ආර්ථික අර්බුදය තමයි මේකට පදනම. ඒ නිසා ආර්ථික අර්බුදය විසඳිය යුතුමයි. ඒක විසඳන්න කවුරුත් විසඳුම් දෙන්නෙ නෑ. ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන්නු දරුණුම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා වැඩ කළ යුතු කාලයක් මේක.   


ප්‍රශ්නය- අගමැතිවරයා ධුරයෙන් ඉවත් වෙලා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඉඩ දිය යුතු බවට ආණ්ඩු පක්ෂයෙන්ම යෝජනා ඉදිරිපත් වෙනවා. ඔබ මොකද හිතන්නෙ ඒ ගැන? 

 
අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න නිසා ඒක පක්ෂයෙන් තීරණය කළ යුතු බවයි මගේ අදහස.   


ප්‍රශ්නය- පවතින අධි උද්ධමන තත්ත්වයත් එක්ක අඩු ආදායම්ලාභී ජනතාව විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. ජාත්‍යන්තර අරමුදලත් ඒ ගැන අවධානය යොමු කරලා තිබුණා. මේ මිනිස්සුන්ට සහන සලසන්න වැඩසටහනක් ආණ්ඩුවට තියෙනවද?   


අනිවාර්යයෙන්ම. අපි ලෝක බැංකුව සමග සාකච්ඡා කරලා මුල් අදියරේදී ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන සලසාගෙන තියෙනවා. ඉදිරියේදී ඒක තවත් ඩොලර් මිලියන 200 කින් පමණ වැඩි කර ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට මාස තුනක කාලයක් දක්වා දුප්පත් ජනතාවට මාසිකව යම් ගෙවීමක් කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම තව සති දෙකක් පමණ යන කොට ඖෂධ හිඟ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අපිට ආසියානු සංවර්ධන බැංකු අරමුදලෙන් ආධාරයක් ලැබිලා තියෙනවා. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේත් බෙහෙත් ගෙන්වා ගැනීමට ප්‍රතිපාදන සලසලා තියෙනවා. පොහොර හා ගෑස් සම්බන්ධයෙනුත් අපි මේ වෙන කොට සාකච්ඡා කරමින් යනවා. මේක ඉතාම අමාරු කාලයක්. රටේ මිනිස්සුන්ට මෙහෙම දෙයක් වීම ගැන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් හැටියට මම දැඩිව කම්පාවට පත් වෙනවා. අපිට ඒ අමාරුව තේරෙනවා. ඒත් මේ අර්බුදයට සටන් පාඨවලින් හරි හිස් ප්‍රලාපවලින් හරි විසඳුම් ලැබෙන්නෙ නෑ. මේක මහ පොළොවෙ කළමනාකරණය කරගෙන ජාත්‍යන්තර ප්‍රජාවත් සම්බන්ධ කරගෙන කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් සහිතව විසඳගන්න ඕන. ඒ සඳහා හැකි උපරිමය කිරීමට අපි කැපවෙලා ඉන්නවා. ඉදිරියට තියෙන්නෙ අමාරු කාලයක් කියන එක ගැන කිසි සැකයක් නෑ. ඒක තමයි ඇත්ත.

 

 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ