ඉදිරි අවුරුදු තුනේදී මුළු රටම එකම වැඩ බිමක් කරනවා


පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු 

 

  • අනිවාර්යයෙන්ම අයවැයෙන් හොඳ තත්ත්වයක් උද‌ාවෙයි. අපි එක පැත්තකින් කොවිඩ් මර්දනය කළා. ඉදිරියේදී ඉතාම හොඳ මට්ටමකට අපිට එන්න පුළුවන් වෙයි.
  • කාබනික පොහොර භාවිතයෙන් එක පැත්තකින් විශාල ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කරනවා. අනික් පැත්තෙන් සෞඛ්‍ය අංශයෙන් ගුණාත්මක දියුණු පිම්මක් අපි පනිනවා.

‘පැන්ඩෝරා පත්‍රිකා’ දේශපාලනය ගිනියම් කරමින් තිබේ. ගුරු උද්ඝෝෂණ මෙන්ම ගොවි අරගලය නිමාවක් නොමැතිව දිග් ගැස්සෙමින් තිබේ. කුමක් වෙයිද? පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   


ප්‍රශ්නය:- ලෝකයේ කොතැන ජාවාරමක් තිබුණත් එතැන ශ්‍රී ලාංකිකයකුගේ නම් තියෙනවා. ‘පැන්ඩෝරා’ පත්‍රිකාවලත් රාජපක්ෂ කෙනෙකුගේ නම තියෙනවා? 

 
පිළිතුර:- මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසමට අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. රජයක් හැටියට අපි ඉන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි කියන ස්ථාවරයේ. මේ පත්‍රිකාවල ලෝකයේ විවිධ පුද්ගලයන්ගේ නම් තියෙනවා. මේක ඒ අයගේ ආත්මගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ රටේ ජාතික සම්පත් හරි අපේ ජනතාවගේ මුදලක් කවුරුහරි අයථා ලෙස පාවිච්චි කරලා තියෙනවා නම් ඒ අයට උපරිම දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒක හැබැයි විධිමත් පරීක්ෂණයක් විය යුතුයි. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් නියෝගයක් දීලා තියෙනවා.   


ප්‍රශ්නය:- පැන්ඩෝරා පත්‍රිකාවල රාජපක්ෂ කෙනෙකුගේ නම තිබීම ගැන ඔබ මුකුත්ම කිව්වේ නෑ.  


පිළිතුර:- රාජපක්ෂ කෙනෙකුගේ විතරක් නොවෙයි තව අයගේ නම් තියෙනවා. ඔය රාජපක්ෂ නෑ සබඳකම ගැන අපේ නාමල් රාජපක්ෂ ඇමැතිතුමා ඉතා පැහැදිළි උත්තරයක් දුන්නා.  


ප්‍රශ්නය:-ජාතික සම්පත් ආරක්ෂා කරගන්න කියලා ගෙනාව ආණ්ඩුවෙන් ජාතික සම්පත් ආරක්ෂා කරගන්න වෙලා?  


පිළිතුර:- අපිට මතකයි ශ්‍රීලන්කන් ගුවන් සේවය අපි එමිරේට්ස් ආයතනයත් සමග සම්බන්ධ කළා ආයෝජනයට. ඒ වෙලාවෙත් සියයට 51 ක් රජය කියාගෙන සියයට 49 ක් එමිරේට්ස් ආයතනයට දීලා ඒකේ සම්පූර්ණ පරිපාලනය එමිරේට්ස් ආයතනයට ලබා දුන්නා. පහුගිය දවස්වල මම ප්‍රංශයෙ සංචාරයක් කළා. සමස්ත ප්‍රංශ දුම්රිය සේවයම පෞද්ගලීකරණයට ලක් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අද ගත්තාම රජයෙ ආයතනයක් වෙන්න පුළුවන් ඒකේ සංවර්ධනයට කොටසක් පෞද්ගලික අංශයට දීම කිසිම වරදක් නෑ. මොකද රටක් හැටියට අපි නැගිටින්න ඕනෑ. අපේ දුප්පත්කම නැති කරගෙන නැගී සිටින්න උත්සාහ කරන රටක් හැටියට අපට විදේශ ආධාර වෙන්න පුළුවන්, විදේශ ණය වෙන්න පුළුවන්, ආයෝජන වෙන්න පුළුවන්, ඒවා එකතු කරගැනීම අපට අත්‍යවශ්‍යම කාරණාවක්. මේකෙදි අපි බලන්න ඕනැ දේ තමයි අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. අපේ දේපළකට කවුරුහරි ආයෝජකයෙක් එකතු කර ගන්නවා නම් ඒකට අපි විශේෂ කොන්දේසි ද‌ාලා එයාලට කවද‌ා හරි දවසක අයිති නොවන විදියට ලාභාංශ හරි විදියට අපේ ජනතාවට ලැබෙන විදියට. ඊළඟට ඒ ආයතනයේ දියුණුවට මඟ සලස්වා ගෙන. එහෙම ආයෝජන කරන එක අත්‍යවශ්‍යම දෙයක්. හැම ව්‍යාපෘතියක්ම ගත්තාම ඒ හැම ව්‍යාපෘතියකටම කවුරුහරි කෙනෙක්ව සම්බන්ධ කර ගන්න පුළුවන් නම් හැබැයි අපේ අයිතිය ආරක්ෂා කරගෙන විය යුතුමයි. දියුණු වෙමින් පවතින රටකට එහෙම ආයෝජන අත්‍යවශ්‍ය දෙයක්.  


ප්‍රශ්නය:- යුගදනවි ඇමෙරිකාවට දුන්නා. ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි ටිකට ඉන්දියාව බැල්ම හෙළනවා. තව පැත්තකින් චීනය ඉන්නවා. ජාත්‍යන්තර බල අරගලයෙ තිප්පොළක් බවට අපේ රට පත්වෙලා?  


පිළිතුර:- මේ මොහොතේ විපක්ෂය වෙන මොනවද කියන්නේ. අපි ස්වාධීන රාජ්‍යයක්. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන අපි විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඔබ දන්නවා රට තියෙන තත්ත්වය. මේ මාරාන්තික උවදුරත් සමග තමයි අපිට රට ඉස්සරහට අරගෙන යන්න වෙලා තියෙන්නේ. අපි ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ හැම මොහොතකදීම අපි අපේ ස්වාධීනත්වයත් අභිමානයත් රැක ගන්නවා. එයට එරෙහි කිසිම දෙයකට මේ රජය ඉඩ දෙන්නේ නෑ. ඒක සහතික කරලා කියනවා.  


ප්‍රශ්නය:-විපක්ෂ නායක සජිත් ප්‍රේමද‌ාස ගොවි දුක බලන්න වැස්සෙ තෙමීගෙන ගොවි බිම්වලට යනවා අපි දැක්කා. ඒත් මැති ඇමැතිවරු කවුරුවත් එහෙම යන්නේ නෑ. ඔබලාට ඒ දුක පේනේනේ නැද්ද?  


පිළිතුර:- සජිත් ප්‍රේමද‌ාසලාට අපි බාර දුන්න රට කොහොමද? මේ කිසිම ප්‍රශ්නයක් නැති රටක් අපි බාර දුන්නේ. නමුත් සජිත් ප්‍රේමද‌ාසලා අපිට බාර දුන්න රට සමස්ත ආර්ථිකයම කඩා වැටිලා. ගමක පාරක් හද‌ා ගන්න බැරි ගමකට සංවර්ධනයක් තියා රජයෙන් ලබා දෙන ආධාරවත් ලබා දුන්නේ නැති රටක්. බෝම්බ පිපිරිච්ච නැති රටක  නැවත වතාවක් බෝම්බ පුපුරවපු රටක් හැටියට තමයි අපිට බාර දුන්නේ. අපි දන්නවනේ නිවාස සංවර්ධන අධිකාරියේ විශාල වංචාවක් වෙලා තියෙනවා. අපි දැක්කා එයා රස්සාවල් දෙන හැටි. එයාගේ කැපෑසිටි එක ගැන රන්ජන්ගේ හඬපටවල තියෙනවා. එහෙම අය දැන් ඇවිල්ලා ඔය විදියට හැසිරෙන එක මේ රටේ ජනතාව කොහොමටවත් අනුමත කරන්නේ නෑ.  


ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ ජන දුක ඔබලාට දැනෙන්නේ නැද්ද කියලයි?  


පිළිතුර:- අපි කියන්නේ අපි මුල ඉඳලම කිව්වේ ජනාධිපතිතුමා ගැන සම්පූර්ණ විශ්වාසය තියාගන්න කියලා. බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ මේ රටේ දේශීයත්වයට තැන දෙන්න දේශීය කර්මාන්ත ගොඩ නගන්න විශාල සංකල්ප ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. මගේ අමාත්‍යාංශය ගත්තොත් පොල් කර්මාන්ත සංවර්ධනයට විශාල සංකල්ප ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. මේ හැම අංශයක් ගැනම ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. එද‌ා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ඇන්.ඇම්. පෙරේරා මහත්තයා කියද්දී ‘අවුරුදු 20 කට පස්සේ අපට හිඟාකන්න වෙනවා මේ ගමන ගියේ නැත්නම්’ කියලා. දැන්වත් අපි අපේ දේශීය කර්මාන්ත, දේශීය වගාව, දේශීය නිෂ්පාදන, ස්වයංව නැගී සිටින්න පුළුවන් තැනට ගෙනියන්න ඕනෑ. එහෙම නැත්නම්. සීනි අපි මෙහෙ හදන්නේ නැත්නම් සීනි ගෙන්වන්න වෙනවා. මේ තත්ත්වය නැති කර ගන්න නම් අපි දැන්වත් රටක් විදියට හිතන්න ඕනෑ. ජනාධිපතිතුමා කෙරෙහි ජනතා විශ්වාසය තියෙනවා. කොවිඩ් මර්දනයේදී ජනාධිපතිතුමා ලෝකයේ හැම රටකටම වැඩියෙන් ඉස්සරහින්ම ඉන්නවා. විපක්ෂය බලාපොරොත්තු වුණේ මෙහෙම තත්ත්වයක් නෙවෙයි. දවසට දෙතුන් ද‌ාහක් මැරෙන. දහ පහළොස්ද‌ාහක් දිනකට ආසාදිත වෙන රටක් බලාපොරොත්තු වෙච්ච විපක්ෂයට අද යන එනමං නෑ.  


ප්‍රශ්නය:-ඔබ හිතනවද ඔහොම කිව්වා කියලා ජනතා විශ්වාසය රැකගන්න පුළුවන් කියලා?  


පිළිතුර:- මෙහෙමයි අපි පටන් ගන්නවා ග්‍රාමීය සංවර්ධනය. හැම ග්‍රාමසේවා වසමකටම ලක්ෂ 100 ක් දීලා මහජන නියෝජිතයන්ට හා සංවර්ධන කමිටුවලට බලය දීලා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. අද වෙනකොට මේ රටේ මම අහනවා මහජනතාවගෙන් තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල හැදිච්ච නැති පාරවල් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රධාන පාරවල් මධ්‍යම රජයට අයිති පාරවල් වෙන්න පුළුවන්. පළාත් සභා පාරවල්​ වෙන්න පුළුවන්. ඒ සියලුම පාරවල් හදනවා. මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් හදනවා. හැම ග්‍රාමසේවා වසමකම අඩු ආද‌ායම්ලාභීන්ගේ නිවාසවල වැඩ අවසන් කරනවා. අධිවේගී මාර්ග සියල්ලම කොරෝනා කියලා නවත්තන්නේ නැතිව අපි කරගෙන ආවා.  


ප්‍රශ්නය:- ගුරු සටන තවම අවසන් නෑ. ආණ්ඩුව කියනවා පාසල් විවෘත කරනවා කියලා. ගුරුවරු කියනවා වැඩට එන්නේ නෑ කියලා?  


පිළිතුර:- රජය පැහැදිළිවම කියලා තියෙනවා ඊළඟ අයවැයේදී මේ ගුරු වැටුප් විසමතාවයන් ඉවත් කරනවා කියලා. අපි දන්නවා පැහැදිළිවම ගුරු සටන සාධාරණයි කියලා සමහර විට විදුහල්පතිවරුන්ගේ වැටුපට වැඩිය ගුරුවරුන්ට වැඩියි. විසමතාවන් ඉවත් කරන්න ඉතාම හොඳ ඇමැති අනු කමිටුවක් ද‌ාලා අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කරලා ඉවරයි. ඒ යාන්ත්‍රණය සකස් කරලා ඉවරයි. මේ අයවැයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිළි තීරණයක් ගන්නවා.  


ප්‍රශ්නය:- අයවැයෙන් ජනතාවට සහන ලැබෙයිද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම අයවැයෙන් හොඳ තත්ත්වයක් උද‌ාවෙයි. අපි එක පැත්තකින් කොවිඩ් මර්දනය කළා. ඉදිරියේදී ඉතාම හොඳ මට්ටමකට අපිට එන්න පුළුවන් වෙයි. ඒ වගේම අනිකුත් සංවර්ධන වැඩවලටත් විශාල මුදලක් වෙන් කෙරෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලක්ෂ දහසක මුදලක් දීලා තියෙනවා. මේ මුදල් විශේෂයෙන්ම වෙන් කරන්නේ ජීවනෝපාය වැඩසටහන්වලට. බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා හැමද‌ාමත් ගමට වැඩ කරපු නායකයෙක්. ජනාධිපතිතුමා ඒකට සම්පූර්ණයෙන්ම ආශිර්වාදය දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් ක්‍රියාත්මක වෙච්ච ‘ගමම නගමු’ ප්‍රතිපත්තිය අලුත් වටයකින් අපි ආරම්භ කරනවා. ජනමාධ්‍යයෙන් මම දිගින් දිගටම ඉල්ලනවා අපේ සම්පූර්ණ ශක්තිය තියෙන්නේ ගමත් එක්ක. ගම නැගිටිනකොට රටත් නැගිටිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ බලාපොරොත්තු දල්වන්න කියලා. ඒ වගේම දේශීය කර්මාන්ත දියුණු කිරීමට පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා. මේ රටට අලුත් වටිනාකමක් එකතු කරන්න කාබනික පොහොර භාවිතයට යොමුවුණේ.  


ප්‍රශ්නය:-නමුත් විපක්ෂය නම් කියන්නේ එමගින් රටේ සාගතයක් ඇති වෙයි කියලා?  


පිළිතුර:- ඒ තමයි විපක්ෂයේ බලාපොරොත්තුව. හැම දෙයකටම අද‌ාළව වැරැදි චිත්‍රයක් රට තුළ මවලා ඒ හරහා බලයට එන්න පුංචි හරි ඉඩක් හද‌ාගන්න පුළුවන් ද කියලයි විපක්ෂය බලන්නේ. එහෙම නැතුව එයාලට වැඩපිළිවෙළක් නෑ. ඒ පක්ෂය ඇතුළෙන්ම දැන් කියනවනේ විපක්ෂනායකවරයාට වැඩපිළිවෙළක් නෑ. ආණ්ඩුව විවේචනය කරනවා විතරයි කියලා. කාබනික පොහොර භාවිතයෙන් එක පැත්තකින් විශාල ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කරනවා. අනික් පැත්තෙන් සෞඛ්‍ය අංශයෙන් ගුණාත්මක දියුණු පිම්මක් අපි පනිනවා. මේ විදියට විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඉදිරි අවුරුදු තුන ඔබ බලාපොරොත්තු නොවුණ විදියට අපි විශාල ප්‍රගතියක් අත්පත් කරගන්නවා. ඇත්තටම අපිට විශාල ප්‍රශ්නයක් වුණේ මේ කොවිඩ් වසංගතයයි. ඒක අපට පාලනය කරන්න බැරි තැනක තිබුණේ. ඒ නිසා රට ගොඩනගන අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපිට ඒක විශාල බාධාවක් වුණා. නමුත් දැන් තත්ත්වය පාලනය වෙලා තියෙන්නේ. ඉදිරි අවුරුදු තුන කියන්නේ මුළු රටම එකම වැඩබිමක් බවට පරිවර්තනය වන අවුරුදු තුනක්. ඒ සම්බන්ධයෙන් කිසිම චකිතයක් ඇතිකර ගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්