ඇමෙරිකාවට වාසි වෙන කැපකිරීම් ලංකාවටත් කරන්න වේවි!


ඇමෙරිකාවේ බුහුමන් ලබන නීති විශේෂඥ සේන බස්නායක ඇමෙරිකාවේ වර්තමානය ගැන කියන කතාව

  • ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව කොයිබට ද....?
  • තානාපති මහින්ද ගේ කැපවීම විශිෂ්ටයි.....!
  • එරට ඉහළටම යයි ද...? තිබුණු තැනිනුත් පහළට ද....?

 

වසර 52 ක් ඇමෙරිකාවේ පදිංචි නීතිඥ සේන බස්නායක සංක්‍රමණ නීති විශේෂඥයෙකි. එරට ශ්‍රේෂ්ඨාධිකරණයට සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා ද වේ. ඇමෙරිකාවේ දැන් පසුබිම ලෝකයට හා ලංකාවට බලපාන අයුරු ගැන ඔහුගේ මතවාදයි මේ.

ඔබේ පෞද්ගලික විස්තර මොනවාද...?

මගේ ගම නුවර. කටුගස්තොට ශා. අන්තෝනි පාසලින් පස්සෙ පේරාදෙනියෙ LLB  කළා. පසුව කොළඔ නීති විද්‍යාලයෙන් පළමු පංති සාමාර්ථ ලැබුවා. මහාචාර්ය ජී.එල්. මගේ සමකාලීනයෙක්. ජෝර්ජ් වොෂින්ටන් සරසවියෙන් මට LLM වලට ශිෂ්‍යත්වයක් ලැබිල නීතිඥයෙක් වුණා.

දියවඩන නිලමේ උඩුරාවණ දියණිය වන නෙළුම් සමග මම විවාහ වුණා. ඇය ලංකාවෙ BA හා ඇමෙරිකාවෙදී MA කරල එරට ස්ටේට් ඩිපාට්මන්ට් අයට සිංහල උගන්නන හා ලෝක බැංකුවේ තනතුරු දැරුවා. සුදුසුකම් මත දෙන ග්‍රීන්කාඩ් ලැබුණ නිසා අපි එහේ නැවතුණා. දුව ශාලිකා විශේෂඥ වෛද්‍යවරියක්. ඇමෙරිකාවෙ රෝහල් 04 ක අධ්‍යක්ෂවරියක් හා ප්‍රමුඛ කෝවිඩ් පර්‌යේෂිකාවක්. ඇයගේ සැමියා වෛද්‍ය මාලින්ද කටුගහ. පුතා නීතිඥයෙක්. කටාර් රට ඇමෙරිකාවේ පවත්වා ගෙන යන නීති සමාගමේ තනතුරු දරලා දැන් උසාවි යනවා. මම සංක්‍රමණ වගේම දික්කසාද හා දේපොළ නඩුත් කරනවා.

එදා හා අද ඇමෙරිකාව හා ලාංකිකයන්ට එරට තුළ තිබෙන අවස්ථා මොනවාද.?

ඇමෙරිකාවට කියන්නෙ Country of immigrant  කියලයි. ඔවුන් ලෝකයට ආදරය කරන සානුකම්පිත අයයි. ලංකාව හා ලෝකයටම උදව් කරනවා. පළමු පංතියේ මූලික උපාධියක් තියෙන අයට සියයට 100 ක ශිෂ්‍යත්ව දෙනවා. ග්‍රීන් කාඩ් ලොතරැයියෙන් වසරකට ලාංකික 300 - 600 අතර හා ලොව 55,000 කට ඉඩ දෙනවා. ලංකාවට පෝර, ඖෂධ හා තාක්ෂණය ලබා දෙනවා. ලාංකිකයන් දක්ෂ බව ඇමෙරිකාවේ පිළිගැනීමයි.

එම සානුකම්පිත බව ඩිමොක්‍රටික් පක්ෂයට වඩා රිපබ්ලිකන්ලා තුළ අඩු නැද්ද?

රිපබ්ලිකන්ලාත් සානුකම්පිතයි. ඒත් ඩිමොක්‍රටික්ලාට වඩා ටිකක් දැඩියි.

ට්‍රම්ප් යුගය ආවේ අනවසර අය යවනවා කියලයි. එවැනි මිලියන 45 ක් ඉන්නවා. ඉන් 22 ක් කුසලතා මත පුරවැසිකම ගත් අයයි. ඉලොන් මස්ක් පවා අයිති ඒ ගොඩටයි. මිලියන 23 ක් ග්‍රැන්ඩෝ ගඟ හරහා සැතපුම් 2000 ක් තරණය කරලා මෙක්සිකෝ පැත්තෙන් ඇමෙරිකාවට හොරට පැමිණි අයයි. ප්‍රශ්නය ඔවුනුයි. එයාල දරුවන් බිහිකළාම ඇමෙරිකන් නීතිය අනුව දරුවන් පුරවැසියන් වෙනවා. විශාල පහසුකම් උරුමයි. දෙමව්පියන් අනවසර නම් දරුවන්ටBirth right citizenship ට්‍රම්ප් නවත්තන්න හදන්නෙ ඒකයි.

කොංග්‍රස් මණ්ඩලය හා ප්‍රාන්ත ආණ්ඩු 50 න් සියයට 75 ක අනුමැතිය ලබාගෙන මිස ට්‍රම්ප්ට එය කරන්න බැහැ නේද ?

ජනපතිට එම බලය තියෙන බව ශ්‍රේෂ්‍ඨාධිකරණය කිව්වා. එයට අභියෝග කරන පෙත්සම් ඇවිත් දැන් තියෙන්නෙ.

අනවසර අය එළවන පසුබිම යකා කියන තරම් කලු‍ නෑ වගේ ද.?

ට්‍රම්ප්ට හිතවත් ටොම් හෝර්ක් දාල Depiumation Task Force හදලා ඒකට ලොකු මුදලකුත් වෙන් කරලා අනවසර අය එළවන්න කියලයි ට්‍රම්ප් කියන්නෙ.

පිටමං කරන අයට ඔවුන්ගේ රටවලින් දැඩි දඬුවම් දෙන පසුබිම මේ ක්‍රියාවලියට මානව හිමිකම් පැත්තෙන් බලපෑමක් කරනවා නේද.?

ඔව්. මරණ දඬුවම හා ජීවිතාන්තය තෙක් හිර කරන අනතුරකුත් තියෙනවා. එනිසා තෙවන රටකට යවන පසුබිමක් තියෙන්නෙ. එල්සැල්වදෝර් හා සුඩානය ඔවුන් භාර ගන්න කැමැත්ත ප්‍රකාශ කරල තියෙනවා.

ඒ තුළ ලාංකිකයන් ගේ ඉරණම ලොකු අනතුරක නැද්ද.?

නැහැ. ලාංකිකයන් හා ආසියානුවන් වීසා අරන් ප්ලේන් එකෙන් ඇමෙරිකාවට ගිය අයයි. ඔවුන් හැකියාව ඇති සාමකාමී අය බවටත් පිළිගන්නවා. වසර 2000 IT Revalution කාලෙ ඉන්දියා චීන හුඟකට ඇමෙරිකාවෙ ඉඩ දුන්නා.

ඒත් කෙටි වීසා කාලෙකට ඇවිත් පැනපු ලියකියවිලි හදා නොගත් හා සාධාරණයක් ඉල්ලපු නැති අපේ අයට අනතුරක් නැත්තෙ නෑ. ඇමෙරිකාවෙ අඳුනන කෙනෙක් ඉන්නව නම්, රැකියා හොයා ගන්න පුළුවන්. ආදායමේ හැටියට ජීවන බර අඩුයි. නිවාස හා කාමර තමයි මිල.

ඇමෙරිකාව හැම අතින්ම ලොව බලවත් බව කියන ගමන් රට යළි නඟා සිටුවන බව කියමින් ට්‍රම්ප් ලෝකයටම බදු ගැසීමේ සැබෑ පසුබිම කුමක්ද.?

ඓතිහාසික කරුණු එක්කයි මේක කතා කළ යුත්තේ. ට්‍රම්ප් ආවේ ඇමෙරිකානුවන් නගා සිටුවනවා කියලයි. ඔබාමා වැනි කළු අයෙක් ජනපතිවීම ගැන ඇමෙරිකානුවන් එළිපිට කතා නොකලත් සියයට 90 ක් වන සුදු අයගෙ යටි හිතේ ගැටලු‍ තියෙනවා. ට්‍රම්ප් ඒක පාවිච්චි කළා. ඇමෙරිකාවෙ ඉපදුණේ නැති කෙනෙකුට එරට ජනපති වෙන්න බෑ. ඔබාමා එහේ ඉපදුන කෙනෙක් නොවන බව ට්‍රම්ප්වාදීන් කිව්වත් එය අසත්‍යක්.

ඔබාමාගෙ පියා ඉගෙන ගන්න ආපු කෙන්යානුවෙක්. මව ඇමෙරිකානු සුදු කතක්. තමා ඇමෙරිකාවෙ උපන් බව ඔබාමා ඔප්පු කළා. ට්‍රම්ප් දක්ෂ බිස්නස් උපක්‍රම දන්න කෙනෙක්. ඔබාමා ජනපතිවීම රටට අහිතකර බව ඔහු වක්‍රව සමාජගත කළා. ට්‍රම්ප් 2016 දිනුවෙ ඒ සටන් පාඨය තුළයි. ඒත් එම ජනතාව මේක එළිපිට කතා කරන්නෙ නෑ. කළු අය රටේ ආර්ථිකයට කලාව ක්‍රීඩාවට කළ මෙහෙය ඔවුන් දන්නවා.

ඇමෙරිකානුවන් වෙනුවෙන්ම පෙනී සිටි ට්‍රම්ප් 2020 පැරදුණේ ඇයි.?

ඔහු කී බොහෝ දේ කරන්න බැරිවුණා. ආර්ථිකය ඉහළ නොයාම, කෝවිඩ් පාලනය කරගන්න බැරිව විශාල පිරිසක් මියයාම හා අතිධාවනකාරී බව ජනතාවට ඇල්ලු‍වේ නෑ වෙන්නත් පුළුවන්.

ගියවර මෙන්ම මෙවරත් ට්‍රම්ප්ගේ ඇතැම් තුරුම්බු පරදින ලකුණු තිබේද.?

දේශපාලකයන් ඡන්දවලදී කියන සුරංගනා කතා ඒ විදියටම කරන්න බෑ. ට්‍රම්ප් හා බයිඩන් අතර 2024 විවාදයෙ දී කල්පනාව නැතිකම, අමතකවීම, අහන දේට වෙන දේවල් කීම වගේ කාරණා නිසා බයිඩන් වැටිලා ට්‍රම්ප් උඩට ආවා. පසුව කමලා හැරිස් ආවෙ ඒකයි. ඒත් අද තියෙන පසුබිම තුළ සුදු නොවන කෙනෙකුට හා කාන්තාවකට ඇමෙරිකානු ජනපති වෙන්න අමාරුයි. කමලා වැටුණෙ ඒකයි. ඇගේ මව ඉන්දියානු, පියා ජැමෙයිකන්. ඊළඟ පාරත් එන්න ඇයගෙ හිතේ ඇති. ඒත් ඩිමොක්‍රටික් එකෙන් අලු‍ත් දක්ෂ අය ඉදිරියට එන ලකුණු තියෙනවා.

නව බදු ලංකාව, ආසියාව හා ලෝකය මෙන්ම ඇමෙරිකාවට බලපාන හැටි හා තානාපති මහින්ද එහි දී ඉටුකළ කාර්ය ප්‍රමාණවත්ද.?

තානාපති මහින්ද බදු ප්‍රශ්නයේ දී හා ලංකාව 2022 දී වැටුණ වෙලාවෙත් කැපවීමෙන් වැඩ කළා. මම තානාපතිල 15 ක් එක්ක වැඩ කළා. මහින්ද තානාපති ගෙ සුහද බව හා මිනිසුන් ගෙන් වැඩ ගැනීම විශිෂ්ටයි. ඔහු ගෝටාභය පත් කළා. රනිල් හා අනුර රැක්කා. ආණ්ඩු 03 ක් යටතේ හිටපු එකම තානාපති ඔහුයි. ඒ හැකියාව හා අත්දැකීම් රට වෙනුවෙන් යොදවන නිසයි. IMF එකත් ඔහුට වක්‍රව කැමති බව පේනවා.

නව බදු වලින් ලෝකය මෙන්ම ඇමෙරිකානු ආර්ථිකයත් දෙදරන බවට පවතින විග්‍රහ ගැන මොකද කියන්නෙ?

එවැනි හා ඊට පරස්පර අනාවැකිත් තියෙනවා. බයිඩන් සමයේ ආර්ථිකය වැටුණ බව ට්‍රම්ප්වාදීන් ගෙ මතයයි. ඒ කාලෙ සංක්‍රමණිකයන් ලක්ෂ 20 ක් ආවා කියලත් කිව්වා. ඒක වැරදියි. ලක්ෂ 20 ආවේ අවසන් වසර 10 තුළයි.

ආදායම් බදු ගෙවලා, අපරාධවලට සම්බන්ධ නැතිනම් වසර 20 කින් ඇම්නෙස්ටි කියලා සමාවක් සංක්‍රමණිකයන්ට ලැබෙනවා. 86 දී රේගන් අන්තිමට ඒක කළේ. ට්‍රම්ප් ඒකෙ අනිත් පැත්ත කරන කෙනෙක්.

ඉන්දුනීසියාව ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන කීපයක ප්ලේන් ගැනීම හා ජපානය ඩොලර් බිලියන 05 ක ආයෝජන ඇමෙරිකාවට ලබාදීම තුළ බදු ඉතා අවම කරගත්තා. ලංකාවට බදු සියයට20 අවම කර ගැනීම ගැන මොකද කියන්නෙ?

එය ලංකාව ලැබූ ලොකු ජයක්. ඇමෙරිකාවටත් වාසි නැත්නම් බදු සහන නෑ වගේ එකක් පේන්නෙ. එනිසා මේ වැඩේ තාම ඉවර නෑ. ට්‍රම්ප් හැම දේම බිස්නස් මනසින් බලන්නේ. ඒක ඇමෙරිකාවේ නමට හා ආර්ථිකයට අවාසි බවටත් මත තියෙනවා. ඇමෙරිකාවට වාසි වෙන විදියට ලංකාවටත් කැපවීම් කරන්න වේවි.

USAid වගේ Soft power වලින් ලංකාව හා ලෝකයට කළ උපකාර නැවතුණා. අපටත් ප්‍රයෝජන නම් විතරයි වෙන අයට උදව් කරන්නෙ කියලයි ට්‍රම්ප් අගවන්නෙ. Pece of stregnth  කියලා කියන්නෙ.

ඇමෙරිකාව ලෝක යුදවලට ඇඟිලි ගැසීම හා ලෝක ආර්ථික යුද්ධයකුත් ඇති කරන බවට තිබෙන මතය ගැන එම ජනතාව මොක ද කියන්නෙ.

ඕනම රටක දේශපාලකයා හා ජනතාව එකම විදියට නෙවෙයි හිතන්නෙ. ඇමෙරිකාවෙත් එහෙමයි. එම ජනතාව හිත උණුවන අයයි. ඒත් රිපබ්ලිකන්ලා ලෝක බලයක් ගැන හිතනවා. හැම දේම ඩීල් එකක් ලෙස හිතනවට මිනිස්සු එකඟ නෑ.

කටාර්වලින් අති විශේෂ ප්ලේන් එකක් ට්‍රම්ප්ට තෑගි කිරීමට යාම අර්බුදයක් වේවි ද?

Palace in the sky වගේ නවීන සැප යානයක් දෙන්න යන්නේ. ඒක පගාවක් බවට දේශපාලකයෝ හා මාධ්‍ය පහර දෙනවා. එය ජනපතිට දෙනව නම් ගැටලු‍ අඩුයි. ඒත් ට්‍රම්ප් පදනමටයි ඉල්ලන්නේ. එවිට කටාරයට වාසි වෙන බවට මත තියෙනවා.

ට්‍රම්ප් පාලනය තුළ ඇමෙරිකාව ඉහළටම යාවිය නැතහොත් තිබුණටත් වඩා පහළට වැටේවිය යන මත ගැන මොකද කියන්නෙ?

ඒ ගැන අනාවැකි කීම අසීරුයි. ජනතා මතයයි වැදගත්. කොංග්‍රස් හා සෙනෙට් මණ්ඩලවල දැන් රිපබ්ලිකන්ලා වැඩියි. වසර 02 ට වරක් එන කොංග්‍රස් 435 ක් හා සෙනෙට් 100 න් තුනෙන් එකක් පත් කරන ඡන්ද තව ටික කාලෙකින් එනවා. ට්‍රම්ප් හුඟ දෙනෙක් තරහ කරගන්න නිසා මේක අනිත් පැත්තට කරකැවේද යන සැකය තියෙනවා. රාජ්‍ය සේවයෙන් ඉවත් කරනවා. හාවඩ් හා ප්‍රධාන සරසවිවල මුදල් කැපීම රජයේ විවිධ සේවාවන් කප්පාදුව ට්‍රම්ප් හිතන විදියට නොහිතන අය ඉවත් කරන බවටත් මත තියෙනවා.

2028 දී ට්‍රම්ප් හා රිපබ්ලිකන්ලාට අභියෝග ඒන පසුබිමක් නිර්මාණය වෙමින් පවතිනවා ද?

එහෙම අදහසුත් තියෙනවා. නිව්යෝර්ක් නගරාධිපතිකම ගනිමු. එතන හිටපු කෙනා ඩිමොක්‍රටික් එකේ චෝදනා ආපු කලු‍ කෙනෙක්. ට්‍රම්ප් ඔහු රිපබ්ලිකන් එකට බාගත්තා. මෙවර ඔහු පසුබාලා ඩිමොක්‍රටික් එකේ වයස 32 ක සංක්‍රමණිකයෙක් උඩට එන ලකුණු මූලික ඡන්ද ප්‍රතිළුල වලින් පෙන්නුවා. උගන්ඩා පියෙකු හා මීරා නායර් සිනමාවේදිනියගෙ පුතායි. ඔහු නගරාධිපති වුණොත් 2028 ජනපතිවරණේ දී ඇමෙරිකාව යන දිසාව ගැන ප්‍රබල ඉඟියක් ලැබේවි.

අශෝක ජයතුංග