මෙය “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම ‘‘ණය සහ යහපත් පාලනය” යන මැයෙන් 2025 ජුනි 16 දින දී පැවති සමුළුව පාදක කරගෙන පළකරනු ලබන ලිපි පහකින් සමන්විත ලිපි මාලාවක අවසාන ලිපියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දැනට ක්‍රියාත්මක කෙරෙන විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වීම සනිටුහන් කරමින් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඒකාබද්ධව 2025 වසරේ ජූනි මස කොළඹ දී සමුළුවක් පවත්වන ලදී. එම සමුළුවේ දී “අනාගත අභියෝග” යන මැයෙන් පැවති විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින් මෙම සැසිය මෙහෙයවන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ , ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන් යන මහත්ම මහත්මීහු මෙම විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය සඳහා සහභාගී වූහ.
සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම
ශ්‍රී ලංකාව මහත් වෙහෙසක් දරා ආර්ථීක ස්ථායීතාව ගොඩනගා ගෙන ඇත. ආර්ථීක වර්ධන මාවත විවර කර ගැනීම සඳහා වන එක් ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේ අප මහත් පරිශ්‍රමයකින් ගොඩ නඟාගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති පසුගිය වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදු කළ ප්‍රධාන වරදක් වන්නේ යම් ආර්ථික ස්ථායීතාවක් ළඟා කර ගැනීමෙන් අනතුරුව පෙර ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නැවත ක්‍රියාවට නැංවීමයි. මෙවර වැඩසටහනෙන් ළඟා කරගත් ස්ථායීතාව ආර්ථික වර්ධන මාවතට යොමු කරලීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පවතියි. අප කලක් තිස්සේ අතපසු කොට තිබෙන ආර්ථීකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම අනිවාර්යයෙන් සිදුකළ යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතීතයේ පැවැති වැඩසටහන්වල දී මැතිවරණ කාලපරිච්ඡේද අනුව එම වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය අතරමග නවතා දැමීම සිදු වූ අතර, මෙවර වැඩසටහන යටතේ, දේශපාලනික බල හුවමාරුවක් සිදු වූ වතාවරණයක දී වුවද ප්‍රධාන එකඟතා එලෙසම ක්‍රියාත්මක වෙමින් පවතියි. එය ඉතා යහපත් ලක්ෂණයකි. ඒ අනුව මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි අයුරින් ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 18 වන වැඩසටහනකට යාමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.
සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා විවිධ නීතිරීති හඳුන්වා දී ඇති අතර, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඉන් එක් ප්‍රධාන නෛතික රාමුවකි. 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයේ මූල බීජයක් බවට පත් වූයේ රාජ්‍ය මූල්‍ය අංශයේ හැසිරීමයි. එහෙත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා පාලනය සඳහා නීතී රාමුවක් හඳුන්වා දී ඇත. දෙවන ප්‍රධානම නෛතික රාමු වෙනස්වීම වන්නේ ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීමයි. අතීතයේ දී රාජ්‍ය මූල්‍ය අංශය විසින් මුදල් ප්‍රතිපත්තිය මත ඉහළ බලපෑම් කළේය. මේ නිසා ඉතා ඉහළ සහ තිරසාර නොවන අයවැය හිඟය මහ බැංකුව මගින් මූල්‍යනය කිරීම අතීතයේ සිදු වූ නමුත් මහ බැංකු පනත යටතේ මින් ඉදිරියට මහ බැංකුව මගින් අයවැය හිඟය පියවාගැනීමේ අවස්ථාව හිමි නොවනු ඇත. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හෝ පාලක මණ්ඩලය තුළ රාජ්‍ය නියෝජිතයන් ඇතුළත් නොවීම ද, විශේෂයෙන්ම විනිමය අනුපාතිකය වෙළෙඳපොළ බලවේග මත ක්‍රියාත්මක වන වඩාත් නම්‍යශීලි විනිමය අනුපාත ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගැනීම ද මෙම නව මහ බැංකු පනත මගින් රටට ලබාදුන් ඉතා වැදගත් වෙනස්කම් වේ. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ පනත බලාත්මක කිරීමත් පසුගිය වසරේ ඇති වූ විශේෂ වෙනස්කමකි. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීමත් සමග සියලු රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු එක් ආයතනයක් තුළට කේන්ද්‍රගත කොට ඇත. එසේම එතුළින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය ණය කළමනාකරණය යන නියෝජිත කාර්යය සිදු කිරීමේ දී ඇති විය හැකි බැඳියා අතර ගැටුම ද (conflict of interest) මින් ඉදිරියට පැන නොනගිනු ඇත. කෙසේ වෙතත් ආයතන පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නිවැරදි පත්කීරීම් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.
සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යෑම සඳහා පිරිවැය නිරූපණය වන මිල යාන්ත්‍රණයක් රාජ්‍ය ව්‍යවසාය විසින් ක්‍රියාවට නැංවීම ඉතා වැදගත් වේ. එතුළින් රාජ්‍ය අයවැය මත වන පීඩනය අවම කෙරෙනු ඇත. එසේම වංචා දූෂණ පිටු දැකීම සඳහා වන නෛතික ක්‍රියාමාර්ග තවදුරටත් බලාත්මක කිරීම සිදුකළ යුතුය. දූෂණය ආර්ථික වර්ධනය අඩාල කරන සැඟවුණු බද්දක් ලෙස අර්ථ දැක්විය හැකිය. මෙම නෛතික රාමු පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වීම තුළ අප විසින්ම නිර්මාණය කරගත් ආර්ථික අර්බුද ඉදිරි කාලයේ දී ඇති නොවනු ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම
ආර්ථිකය ඉතා දුෂ්කර තත්ත්වයකට පත් වූ පසු එය නැවත හැරවීම සඳහා ඉතා වේදනාකාරී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාව මෑතක දී මෙය අත් විඳි රටකි. එවැනි දුෂ්කර ආර්ථික තත්ත්වයක දී මහජනතාව ඇතුළු ආර්ථීකයේ සියලු කොටස්කරුවෝ එම තත්ත්වයෙන් මිදීමට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවල වෙනස්කම් අපේක්ෂා කරති. ඒ අනුව මීට වසර දෙක හමාරකට පෙර ආර්ථීකය පැවැති තත්ත්වයට නැවත ගමන් කළ හැකි කිසිදු ප්‍රතිපත්ති වෙනස් කිරීමකට ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවස්ථාවක් නොමැති බව අප හොඳින් මතක තබා ගත යුතු වේ.
බාහිර සහ අභ්‍යන්තර කම්පන පැවතිය ද ක්‍රියාත්මක කර ඇති රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වී පවතියි. රාජ්‍ය අංශයේ පවතින දූෂණ අවම කර ගැනීම තුළින් හිතාමතාම බදු පැහැරහැරීමක් සිදු නොකරන තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. යහපාලනය සහ දූෂණයෙන් තොර ආර්ථීක ව්‍යුහයක් නිර්මාණය කිරීම තුළ අත්‍යවශ්‍ය ආර්ථීක ප්‍රතිංසංස්කරණ සිදු කිරීමේ දී පැන නගින ජන විරෝධය මග හරවා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා විශේෂයෙන්ම බලපෑම් කළ හැකි සමාජ කණ්ඩායම් විසින් මෙවැනි අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත් අනාගතයේ දී ආර්ථිකයේ සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව සමාජයට කරුණු පහදා දීම සිදු කළ යුතුය. මහජනතාව මෙය නිවැරදිව අවබෝධ කර නොගතහොත් එවැනි අවස්ථාවල දී දේශපාලන වාසි උදෙසා නැවතත් ජනප්‍රියවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ අවකාශයක් නිර්මාණය විය හැක. ජනප්‍රිය ආර්ථික ප්‍රතිපත්ති කෙටි කාලීනව ජනතාවට සහනදායී ලෙස පෙනුණ ද දිගු කාලීනව ඉන් ඇතිවන අහිතකර ප්‍රතිඵල රටේ මහජනතාවට අතිශය අවාසිදායක වනු ඇත.
ගෝලීය අවිනිශ්චිතතා
ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම අන් කවරදාකටත් වඩා වර්තමානයේ විශාල ලෙස අවිනිශ්චිතව පවතී. ලෝකයේ දශක ගණනාවක් පුරා පැවැති සාම්ප්‍රදායික පිළිගත් වෙළෙඳ නීතිරීති රාමුව තුළ සිට කෙරෙන ජාත්‍යන්තර වෙෙළඳාමේ සිට 2025 වසරේ දී ඉන් වෙනස් ජාත්‍යන්තර වෙළෙඳාම් සිදුවන තත්ත්වයකට පැමිණ තිබේ. 2025 වසරේ අප්‍රේල් මාසයට පෙර එක්සත් ජනපදයේ සාමාන්‍ය තීරුබදු ප්‍රතිශතය සියයට 2.5ක් පමණ විය. නමුත් අන්‍යෝන්‍ය තීරුබදු පැනවීම හරහා එක්සත් ජනපදය මගින් ආනයනය කෙරෙන භාණ්ඩ හා සේවා සඳහා අදාළ වන සාමාන්‍ය තීරුබදු ප්‍රතිශත සියයට 25ක් පමණ ඉහළ අගයකට පැමිණි අතර සාකච්ඡා වලින් අනතුරුව එය සියයට 15ක ආසන්නයට අඩු වී ඇත. මේ සමග ලෝකයේ පිළිගත් තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳාමක සිට ආරක්ෂාකාරී, විශේෂයෙන්ම තමන් ලෝකයේ කුමන රටක් සමග, කුමන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළෙඳාම සිදු කරන්නේ ද වැනි මින් පෙර නොතිබූ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් ලබාදීමට රටවල් පෙලඹෙමින් සිටියි. එමගින් තම ආයෝජන කුමන රටක කුමන භාණ්ඩ හා සේවා වෙනුවෙන් කළ යුතුදැයි යන අවිනිශ්චිතතාව ද නිර්මාණය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනයන්හි ඵලදායීතාව හීන වී යාමේ පවා අවදානමක් ඇති විය හැකිය.
මෙම ඇති වී තිබෙන ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් අප අනිවාර්යයෙන්ම බාහිර කම්පනවලට මුහුණ දීමට හැකිවන පරිදි ප්‍රමාණවත් විදේශීය ස්වාරක්ෂක ගොඩනගා ගැනීම ඉතා වැදගත් වේ. එසේම මුදල් ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය යන අංශ තුළින් ද ප්‍රමාණාත්මක ස්වාරක්ෂක සහ අවකාශ පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කළ යුතුය. එවැනි අවකාශ පැවතීම තුළින් යම් ගෝලීය කම්පනයක දී නිර්මාණය විය හැකි අහිතකර ආර්ථික තත්ත්වයක්, සේවා වියුක්ති වර්ධනය වීමක්, ද්‍රරිද්‍රතා මටට්ම් ඉහළ යාමක් වැනි අවස්ථාවක දේශීය වශයෙන් යම් සහන ලබා දීම සඳහා එය භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම මූල්‍ය පද්ධතිය තුළින් දේශීය ආර්ථිකයට යම් සුවිශේෂ සහනදායී තත්ත්වයක් උදා කර දීමට ද මූල්‍ය පද්ධතිය තුළ ද ස්වාරක්ෂක පවත්වාගත යුතු වේ.
ආර්ථික වර්ධනය උදෙසා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ
මීට දශක ගණනාවකට පෙර සිටම සාකච්ඡාවට ලක් කෙරුණු ව්‍යුහාත්මක වෙනස්කම්වල අවශ්‍යතාව අද දවසේ දීත් තවදුරටත් සාකච්ඡාවට බඳුන් වේ. ශ්‍රී ලංකාව තුළ එවැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක නොවීමට හේතු ගණනාවක් පවතියි. මෙවැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් ධනාත්මක ප්‍රතිලාභ ලබා ගැනීමට දිගු කාලයක් ගත වේ. කෙසේ වෙතත් දේශපාලන බලය අඛණ්ඩව පවත්වා ගැනීමට එලෙස දිගු කාලයක් බලා සිටීමට නොහැකිය. එබැවින් දේශපාලන අධිකාරිය ජනප්‍රියවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට නිරායාසයෙන් පෙලඹී ඇත. එසේම තවත් එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙවැනි ප්‍රතිසංස්කරණ තුළින් සමස්ත ආර්ථිකයට ප්‍රතිලාභ නිර්මාණය වුවද, සමාජයේ දේශපාලන බල අධිකාරිය සමග සමීප, බලවත් සුළු පිරිසකට එම ප්‍රතිසංස්කරණ හරහා තමන්ට ආර්ථික වශයෙන් ලැබුණු පෞද්ගලික ප්‍රතිලාභ එලෙසම නොලැබීමය. එබැවින් ඔවුන් විසින් එම යහපත් ආර්ථික ප්‍රතිසංස්කරණ නැවත හරවාලීම සඳහා බලපෑම් සිදු කළ හැකිය.
අතීතයේ දී අප ආර්ථීක වර්ධන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් විදේශ වෙළෙඳාමට සම්බන්ධ නොවන අංශ ප්‍රධාන කොටගෙන පැවතුණි. එහෙත් එය අසාර්ථක ක්‍රමවේදයක් බව පැහැදිලි වේ. ආර්ථීකයේ වර්ධන ධාරිතාව වැඩිකර ගතයුතු වන්නේ වෙළෙඳ අංශවල (Tradables) වර්ධනය සහ අපනයනාභිමුඛ වර්ධන උපාය මාර්ගයක් පවත්වා ගැනීම තුළිනි. එසේම නව වෙළෙඳ සබඳතා හරහා ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ලබාගත හැකි වාසිදායක තත්ත්වයන් ළඟාකර ගැනීමට ද ශ්‍රී ලංකාව උපක්‍රමශීලි විය යුතුය.
ලෝකයේ නව වෙළෙඳ තීරුබදු ව්‍යුහය තුළ ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල් ද නැවත ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා නව වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීම, පිරිවැය පාලනය කර ගැනීම, ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග තුළින් වඩාත් යහපත් ප්‍රතිඵල ළඟාකර ගැනීමේ හැකියාව පවතියි. මෙවැනි ප්‍රතිසංස්කරණ සඳහා ඉතා විශාල රාජ්‍ය මූල්‍ය පිරිවැයක් අවශ්‍ය නොවනු ඇත. එසේම වෙළෙඳපොළට අවශ්‍ය කුසලතා සම්බන්ධයෙන් ඉල්ලුම හා එහි සැපයුම අතර පවතින පරතරය අවම කිරීම, කම්කරු නීතීවල පවතින දුර්වලතා ඉවත් කිරීම වැනි අවම පිරිවැයකින් සිදු කළ හැකි ප්‍රතිසංස්කරණ රජය විසින් සිදු කළ යුතු වේ. විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් තවදුරටත් නගා සිටුවීම උදෙසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදිව යොමු කිරීම වැදගත් වේ.
යළි ණය ප්‍රතිව්‍යුහගතකරණයකට නොයාමට නම්
2022 වසරේ අප්‍රේල් මාසයේ දී රජය තෝරාගත් විදෙස් ණය නොගෙවීම පිළිබඳව නිවේදනය කිරීමත් සමගම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමු විය. ඉතා ඉක්මනින් එම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කළ ද ශ්‍රී ලංකාවේ විදේශ ණය සංයුතිය සහ ණය හිමියන්ගේ පැවැති සංකීර්ණත්වය හේතුවෙන් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි කාලයක් ගතවිය. ශ්‍රී ලංකාවේ මෙම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අවසාන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විය යුතුය. අනාගතයේ ශ්‍රී ලංකා රජයේ ණය ගෙවීමට ඇති හැකියාව සහ ඒ සඳහා පවතින ඉඩ ප්‍රස්තාව, විදේශ විනිමය තත්ත්වය, ආර්ථික වර්ධන මාවත හා විශේෂයෙන්ම රාජ්‍ය ණය තිරසරභාවය පවත්වා ගෙන යාම වැනි කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කරන ලදි. කෙසේ වෙතත් අතීතයේ සිදු කළ ආකාරයට ප්‍රතිසංස්කරණවලින් තොරව ආර්ථික වර්ධනය ළඟාකර ගැනීමට උත්සාහ කිරීම වැනි වැරදි ප්‍රතිපත්ති තුළින් මෙම තත්ත්වය වෙනස් වීමෙන් ණය තිරසරභාවයට අභියෝග ඇති විය හැකිය.
ලෝකයේ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ රටවල් පිළිබඳව සලකා බැලීමේ දී නැවත දෙවන වරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍යතාවක් පැන නොනැඟි රටවල් ද පවතියි. ඒ අතර ඇති ජැමෙයිකාව ලංකාවේ පරිදිම ඉතා ඉහළ රාජ්‍ය ණය තොගයක් සහ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් පැවැති රටකි. අඛණ්ඩව වසර ගණනාවක් පුරා රාජ්‍ය මූල්‍ය විනය එලෙසම පවත්වාගෙන යෑම මගින් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමෙන්, වසර 6ක් තුළ දී ණය තොගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 150ක සිට සියයට 100ක් දක්වා අඩුකර ගැනීමට ජැමෙයිකාවට හැකි වී ඇත. එරට විවිධ රජයන් මෙම කාලය තුළ දී බලයට පැමිණි අතර, ඔවුන් විසින් මෙම ක්‍රියාවලිය සඳහා සහයෝගය දක්වන ලදී. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව ද ළඟා කරගත යුතු වේ. ඒ සඳහා ඉතා හොඳ පූර්වාදර්ශයක් දැනටමත් ලැබී ඇත.
සාරාංශය
මහත් පරිශ්‍රමයකින් ගොඩනගාගත් ආර්ථික ස්ථායීතාවට අභියෝගවන කිසිදු ප්‍රතිපත්ති වෙනස් කිරීමකට ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවස්ථාවක් නොමැත. නොවෙනස් ප්‍රතිපත්ති පවත්වාගැනීම තුළින් ආයෝජන විශ්වාසය ගොඩනඟා ගැනීමටත් ඒ හරහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමටත් හැකි වනු ඇත. ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් තුළින් නිසි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අප සියලු දෙනා අමතක නොකළ යුතුය.
මෙම ලිපි මාලාවේ මුල් ලිපි “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන”, “ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම”,
“ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා මාවත” සහ ”දූෂණයෙන් තොර යහපත් පාලනයක් තුළින් විශ්වසනීයත්වය කරා” යන මැයෙන් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත්වල පළ විය.