
දිට්වා සුළිකුණාටුවට අසුවීම හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (4) වනවිට 479 දෙනකුගේ සිරුරු හමු වී තිබූ බවත් 350 දෙනකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණ. මේ ආපදා මරණ සංඛ්‍යාව තව ඉහළ යා හැකි බව අතීත ස්වාභාවික ආපදාවලින් අපි අත්දැක ඇත්තෙමු. මිනිස් ජීවිතවලට අමතරව මේ ආපදාවෙන් ආර්ථිකයට ද සැලකිය යුතු හානියක් වී තිබේ. පෙනෙන්නට තිබෙන මහා මාර්ග කැඩී යාම්, දුම්රිය මාර්ග විනාශ වීම්, කෘෂි බිම් විනාශ වීම්, ගොඩනැගිලි හා නිවාස සුන්බුන් අතර තවත් නොපෙනෙන අලාභ බොහෝ ය. ඒවා සම්බන්ධ සංඛ්‍යා දත්ත ඉදිරියේ දී නිල වශයෙන් ඉදිරිපත් වනු ඇත. මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග සාකච්ඡා කොට සකස් කළ මේ ලිපියෙන් අප උත්සාහ ගත්තේ මෙම ආපදාව හේතුවෙන් ආර්ථිකයට විය හැකි බලපෑම අංශ කිහිපයක් ඔස්සේ පුරෝකථනය කිරීමටත් ලෝක බැංකුව වැනි ආයතනවල ආධාර මගින් ස්වාභාවික ආපදා අවදානම අවම කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට අත්ව ඇති ඉරණම පැහැදිලි කිරීමටත් ය.
මෙම දරුණු ගංවතුර උවදුර හේතුවෙන් කෘෂිකාර්මික, මහාමාර්ග, දුම්රිය ඇතුළු අංශ ගණනාවකට දැඩි බලපෑම් ඇති විය. අධ්‍යාපන, නිවාස, ස්ථාන සහ අනෙකුත් සමාජීය යටිතල පහසුකම්වලට ද හානි සිදු විය. ආර්ථික යටිතල පහසුකම් යටතේ විදුලිය, ගමනාගමන, මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය, ජලාපවහන පද්ධතිය සහ සන්නිවේදන පද්ධතියට ද හානි වී තිබේ. කෘෂිකර්ම ප්‍රමුඛ කොටගත් නිෂ්පාදන අංශයට ද සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ද හානි විය. එමෙන් ම සංචාරක කර්මාන්තය ඇතුළු සේවා අංශයට ද හානි සිදු විය. මෙම ව්‍යසනයෙන් ආර්ථිකයට කෙටිකාලීන බලපෑම් එල්ල විය හැකි අතර එය බොහෝ විට වසරක කාලයකට සීමා විය හැකි බව මගේ තක්සේරුවයි.
2016 ගංවතුරේ ආර්ථික හානිය පිළිබඳ දත්ත
වසර 2016 දී මෙරටට බලපෑ ගංවතුර උවදුරෙන් පසු ලෝක බැංකුව හා යුරෝපා සංගමය කළ අධ්‍යයනයකට අනුව ඩොලර් මිලියන 734 ක පමණ පාඩුවක් ආර්ථිකයට සිදු වූ බවට ඇස්තමේන්තුගත කෙරිණ. එහිදී වැඩිම හානිය වී තිබුණේ සමාජීය පොදු යටිතල පහසුකම්වලට ය. නිවාස 58,000 ක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබූ බව ද එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ. දෙවනුව ඉහළම බලපෑමක් ඇති වී තිබුණේ ආර්ථික නිෂ්පාදන අංශයට ය. එහි පාඩුව දක්වා තිබුණේ රුපියල් බිලියන 34 ක් වශයෙනි. ආර්ථික යටිතල පහසුකම්වලට වූ හානිය රුපියල් බිලියන 7 ක් බව ද එහි දැක්වේ. වසර 2016 ගංවතුර උවදුරෙන් සිදු වූ ඍජු හා වක්‍ර පිරිවැය ගණනය කර සකස් කරන ලද දළ ඇස්තමේන්තුවට අනුව එයින් ආර්ථිකයට වූ අලාභය ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර අගයක් ගනිතියි පුරෝකථනය කෙරිණ. එය රුපියල් බිලියන 450-600 අතර අගයකි. ඍජු අලාභය ගණනය කිරීම පහසු වුවත් වක්‍ර හානිය ඇස්තමේන්තුගත අගය ඉක්මවීමට ද පුළුවන. සැපයුම් ජාලය අඩාළවීම, රැකී රක්ෂා අහිමි වීම, නිෂ්පාදන කටයුතු බිඳවැටීම ආදිය වක්‍ර පාඩුවෙහි පැතිකඩ ය. මෙවර ගංවතුර ආපදාව නිසා ඇති වූ ඍජු පිරිවැයට වඩා වක්‍ර පිරිවැය වැඩි වීමට පුළුවන.
මෙපරිදි වසර 2016 දී උද්ගත වූ ගංවතුර උවදුරෙන් වූ හානිය සමග සැසඳීමේ දී මෙම ගංවතුර තත්ත්වයෙන් දැඩි හානියක් වී ඇති බව පැහැදිලි ය. එහිදී විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑමක් ඇතිව තිබෙන අතර අනුරාධපුර, පොලොන්නරුව සහ අම්පාර යන වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක තුනට ද දැඩි බලපෑම් එල්ල විය. ඊට අමතරව කුරුණෑගල හා පුත්තලම දිසාවල නිෂ්පාදන කටයුතුවලටද මාර්ග පද්ධතියටද් දැඩි අලාභ හානි සිදුවී තිබේ.
මීළඟ කාර්තු දෙකට වෙන ආර්ථික බලපෑම්
මේ හේතුවෙන් මීළඟ කාර්තු දෙකේ ආර්ථික කටයුතු අරබයා දැඩි බලපෑමක් එල්ල විය හැකි බව මගේ පුරෝකථනය යි. විශේෂයෙන්ම නිෂ්පාදනය බිඳවැටී ආර්ථික වර්ධන වේගය හැකිළිය හැකි ය. එසේම උද්ධමනය ඉහළ යෑමට ද වැඩි ඉඩක් තිබේ. උද්ධමනය මැනීමට යොදා ගන්නා භාණ්ඩ පැසෙහි සහල් සහ එළවළු තිබෙන අතර මේ ගංවතුරෙන් වී හා එළවළු වගාවට වූ හානිය සැලකීමේ දී ඒවායෙහි මිල ගණන් ඉහළ ගොස් එයින් උද්ධමනය ඉහළ යා හැකිය. පැවති අධික වැසි තත්ත්වය හමුවේ ජල විදුලිය නිපදවන ජලාශ පිරී ඇති බැවින් ඉදිරි දිනවල ජල විදුලි උත්පාදනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි කර ගැනීමට හැකි ය. එසේ කිරීමෙන් විදුලි ගාස්තු යම් ප්‍රමාණයකින් පහත හෙළීමට හැකි වුව හොත් එයින් උද්ධමනයට යම් සහනයක් ඇති විය හැකි ය.
ආහාර සුරක්ෂිතතාව මේ වනවිට තර්ජනයට ලක්ව ඇති බැවින් ආහාර වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවන අතර නැවත ඉදිකිරීම් කළ යුතු හෙයින් ඒවාට අවශ්‍ය ද්‍රව්‍ය ද ආනයන කිරීමට සිදු වේ. මෙපරිදි ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් ශේෂයට අහිතකර බලපෑම් එල්ල විය හැකි ය.
සංචාරක කර්මාන්තයට මාස හයක බලපෑම්
මේ උවදුර හේතුවෙන් සංචාරක කර්මාන්තයට ද අහිතකර බලපෑම් එල්ල විය හැකි අතර එය මාස හයක් දක්වා පවතිනු ඇතිය යන්න මගේ පුරෝකථනය යි. දකුණු පළාත හැරුණු විට සෙසු සංචාරක ගමනාන්තවලට මෙයින් දැඩි බලපෑම් එල්ල වූ බැවින් සංචාරකයන් ලංකාවට පැමිණීමට මැළිකමක් දැක්වීමට පුළුවන. නායයෑම් හා මාර්ග පද්ධතියට වී ඇති දැඩි හානිය හේතුවෙන් එම ප්‍රදේශවල සංචාරක ගමනාගමනය ද දුෂ්කර වී තිබේ. එමෙන් ම ගංවතුර හටගත් ප්‍රදේශවල නොයෙක් රෝග පැතිරී යෑමට වැඩි ඉඩක් ඇති නිසා එය ද සංචාරකයන් පැමිණීම අධෛර්යවත් වීමට හේතුවක් විය හැකි ය. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක අපනයන ඉපැයීම් පහළ යෑමට ඉඩ තිබේ.
නිල ආධාර ගලා ඒමේ අඩුවක්
මේ ව්‍යසනයෙන් ජන ජීවිතවලට අමතරව ආර්ථිකයට සිදුව ඇති දැඩි හානිය හමුවේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල් වැඩි වන්නේ නම් සහ රටවල් හා ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ නම් ගෙවුම් ශේෂ හිඟයට ඇති කරන තෙරපුම අඩු කළ හැකි ය. මේ වනවිටත් ඇමෙරිකාව ඩොලර් මිලියන 2 ක් ද නවසීලන්තය ඩොලර් ලක්ෂයක් ද වශයෙන් ලංකාවට ආධාර ලබා දී තිබේ. තවත් රටවල් කිහිපයක් ආධාර මුදල් ලබාදී ඇත. පෙර ආපදාවලට සාපේක්ෂව නිල මාර්ගවලින් ආධාර ගලා ඒමෙහි යම් අඩුවක් ඇති බව නිරීක්ෂණය වේ. ඊට බලපා ඇති එක් හේතුවක් නම්, රටේ ආර්ථික අර්බුදයක් උද්ගත වූ හෙයින් ආධාර ලබා දෙන ආයතන සහ රටවල් මානුෂීය ආධාර පමණක් ලබා දීමට පෙලඹීම ය.
මේ ව්‍යසනය හමුවේ රට නැවත ගොඩනැගීම සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ අනුව ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීම, ව්‍යාපාරිකයන්ට සහන ලබා දීම, බිඳී ගිය යටිතල පහසුකම් නැවත ගොඩනැගීම ආදී කටයුතු වෙනුවෙන් අතිවිශාල වියදමක් දැරීමට රජයට සිදු වේ. 2016 ගංවතුර ආපදාවෙන් පසු ඒ කටයුතු අරබයා රුපියල් බිලියන 137 ක පමණ මුදලක් වැය කිරීමට සිදු විය. මේ අවස්ථාවේ දී ඊට වඩා විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. මේ වියදම් ආවරණය කරගැනීම සඳහා 2025 අයවැයේ ඉතිරි මුදල් යොදාගැනීමට පිළිවන. රජය මේ වෙද්දී ද එම මුදල් යොදා ගත හැකි බව ප්‍රකාශ කර ඇත. එසේම පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කිරීම මගින් අලුතින් මුදල් වෙන් කරවා ගැනීමට ඇති ඉඩ ඉහළ ය. මේ සන්දර්භයේ මෙම ආපදාව හේතුවෙන් අයවැය මත තෙරපුමක් ඇති කළ හැකි ය. එයින් සාර්ව ආර්ථික ස්ථායීකරණයට යම් බලපෑමක් එල්ල විය හැකි ය.
2016 ජාතික රක්ෂණ ක්‍රමය තවමත් ක්‍රියාත්මක ද?
වසර 2016 ගංවතුර උවදුර පැමිණීමට සති හතකට පෙර එවක ආණ්ඩුව ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. ආපදාවලින් ව්‍යාපාර හා නිවාසවලට වෙන බලපෑමට වන්දි ගෙවීම එහි අරමුණ විය. රුපියල් මිලියන 300 ක් වෙන් කරමින් එම රක්ෂණ ක්‍රමය ආරම්භ විය. එම රක්ෂණ ක්‍රමයේ මුදල් යොදා ගනිමින් ගංවතුරින් ආපදාවලට පත් ජනතාවට වන්දි ලබා දීමට රජයට හැකියාව ලැබිණ. එම රක්ෂණ ක්‍රමය තවමත් ක්‍රියාත්මක වන්නේ ද යන්න කියන්නට අපි නොදනිමු. එය ක්‍රියාත්මක වන්නේ නම් ආපදා වන්දි සඳහා එයින් මුදල් ලබා ගැනීමට ද පුළුවන.
ආර්ථික අර්බුදවලට ගිය රටවල අත්දැකීම් විමසන විට පැහැදිලි වෙන එක් යථාර්ථයක් නම්, එම රටවල් යළිත් ණය අර්බුදවලට තල්ලු කිරීමට හේතු වී තිබෙන්නේ ආර්ථිකවල ඇති වන නොයෙක් කම්පන බවය. මෙම වසරේ දී මෙරට ආර්ථිකයේ කම්පන දෙකක් ඇති විය. පළමුවැන්න තීරු බදුවල සිදු වූ ගෝලීය වෙනස යි. ඊට හේතු වූයේ 2025 අප්‍රේල් පළමු වැනිදා තීරු බදු අනුපාත ඉහළ නැංවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් තීරණය යි. එයින් ලංකාවේ අපනයන ආදායම්වලට අහිතකර බලපෑම් ඇති විය. දෙවැන්න මෙම ගංවතුර උවදුර යි. මේ කම්පන දෙක හමුවේ ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව ගැඹුරින් සිතිය යුතු ය. ආර්ථික ස්ථායිතාවට හානි නොවන පරිදි තීන්දු ගැනීම අතිශය වැදගත් බව කිවයුතු ය. එයින් අදහස් වන්නේ ව්‍යාපාරවලට බදු සහන ලබා දීම සහ දරාගත නොහැකි ආකාරයේ සහන ලබා දීම නොකළ යුතු බව ය. රජයට කළ හැකි දේ සීමිත බව පුරවැසියන් තේරුම්ගත යුතු ය.
ගංවතුර නිසා වසරකට ඩොලර් මිලියන 240 ක් අහිමියි - ලෝක බැංකුව
මෙම ගංවතුර උවදුර පැමිණීමට සතියකට පෙර එනම් නොවැම්බර් 18 වැනිදා ලෝක බැංකුව විසින් ලංකාවේ දේශගුණික හා සංවර්ධනයට අදාළ වාර්තාවක් (Country Climate and Development Report) එළිදක්වනු ලැබීය. එහි පැහැදිලිව දැක්වෙන්නේ ස්වාභාවික ආපදා නිසා 1975-2022 කාලයේ වාර්ෂිකව ඩොලර් මිලියන 380 ක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ය. එම අගය දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.5 ක් වුව ද ඒ පාඩුව 2023 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 1 දක්වාත් 2053 වෙද්දී සියයට 3.5 දක්වාත් වැඩි වනු ඇති බව ද එහි සඳහන් ය. මෙම පාඩුවෙන් වැඩිම ප්‍රමාණය ගංවතුර ආපදා හේතුවෙන් ඇති වන බව ද එහි දැක්වේ. ඒ අනුව 1975-2022 කාලයේ වාර්ෂිකව ගංවතුර හේතුවෙන් ඩොලර් මිලියන 240 ක් පමණ ආර්ථිකයට අහිමි වී තිබේ. එබැවින් සංවර්ධන කටයුතු කිරීමේ දී පරිසරය ගැනත් ගැඹුරින් සිතිය යුතුය යන ඇඟවුම මෙහි අන්තර්ගත ය. ලෝක දේශගුණ අවදානම් දර්ශකය අනුව ලංකාව එහි සිටින්නේ 41 වැනි ස්ථානයේ ය. ශ්‍රී ලංකාව, දේශගුණ විපර්යාස නිසා ඇති වන ගංවතුර ආදී ආපදාවලින් පීඩා විඳීමට නියමිත රටක් බව එයින් ගම්‍ය වේ. දේශගුණය හා සංවර්ධනය එක්ව ගමන් කිරීමට යෝග්‍ය වන ආකාරයේ ජාතික සැලැස්මක අවශ්‍යතාව අප අබිමුව තිබේ.
සියයට 25 දුප්පත්කම තවත් ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන් තවත් වැඩි වෙයි ද?
ආර්ථිකය මෙවැනි කම්පනවලට නිරන්තරයෙන් හසුවීමට ඉඩ ඇති බැවින් ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කරගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතු ය. ඒ අරබයා ආර්ථික පරිවර්තන පනත වැනි අණ පනත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. ජනගහනයෙන් සියයට 25 ක් දුප්පත්තු වෙති. මෙම ගංවතුර ව්‍යවසනය හමුවේ දුප්පත්කම තවත් ඉහළ යනු ඇත. එවිට අස්වැසුම වැනි සමාජ සුබසාධන දීමනා තවත් විශාල පිරිසකට ලබා දීමට සිදු වනු ඇත. මේ තත්ත්වයෙන් මිදීම සඳහා ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම වැදගත් ය.
ලෝක බැංකු ආධාර යටතේ පටන් ගත් ගංවතුර පාලන ව්‍යාපෘතිවලට මොකද වුණේ?
එසේම ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් වෙන ජනයා වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා ජාතික රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම හෝ මේ වනවිටත් ඒවා ක්‍රියාත්මක වන්නේ නම් තවත් ශක්තිමත් කිරීමත් අවශ්‍ය වේ. 2016 දී ඇති වූ ගංවතුර උවදුරෙන් පසු ලෝක බැංකුවේ ආධාර මත ප්‍රධාන ගංගා ද්‍රෝණිවල ගංවතුර පාලනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. කැලණි ගඟේ හංවැල්ලේ සිට මෝදර දක්වා කොටසේ ගංවතුර පාලනය සඳහා ගංවතුර පාලන බැමි ඉදිකිරීමට යෝජනා වී තිබූ අතර කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවල ජලාශ ඉදිකිරීමටත් යෝජනා වී තිබිණ. මම ද එම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටියෙමි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික ශක්‍යතා කටයුතු සිදු කෙරුණු අතර ඒ යටතේ මීටර් සියය ලකුණු කිරීම, සමාජ බලපෑම පිළිබඳ සංගණන, ගස්වල වට ප්‍රමාණ මැනීම ආදී කටයුතු කරන ලදී. එහෙත් එම කටයුතු 2021 දී ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වූ පසු නතර කෙරිණ.
ගංවතුර පාලනය සඳහා ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුම ය. ඉහත අප උපුටා දැක්වූ ලෝක බැංකු වාර්තාවෙන් පුරෝකථනය කරන ආකාරයට ස්වාභාවික ආපදා හේතුවෙන් 2053 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 ක මුදලක් රටට අහිමි වන අතර එය විශාල මුදලකි. එබැවින් ආර්ථික සහ නිෂ්පාදන මර්මස්ථාන සහ සංචාරක කලාප ආරක්ෂා කරගැනීම අරබයා ආයෝජන කළ යුතු ය. ඒවා නොකර මේ ආකාරයේ දේශගුණ විපර්යාසවලින් බේරීමට නොහැකිය. ගංවතුර පාලනයට අවැසි ආයෝජන රජය කල්නොදමා සිදු කළ යුතු අතර ඒ අරබයා විදේශ ණය ආධාර වැඩසටහන් කෙරෙහි යොමු වීම ද වැදගත් ය. ඒ වෙනුවෙන් රජයට මුදල් ආයෝජනය කළ හැකි නම් ලබන වසර මැද වනවිට විනාශ වූ යටිතල පහසුකම් යථාතත්ත්වයට පත් කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ එයින් ඔබ්බට ගමන් කිරීමය. නැවත වරක් මෙවැනි ආපදාවක් ඇති වුව හොත් විය හැකි පාඩුව අවම කිරීමට ගත යුතු පියවර ගත යුතු ය.
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ

