ආණ්ඩුවයි අපයි අතර ගැටුම් ඇතිවුණොත් ඇතිවන්නෙ හේතු දෙකක් උඩ


බලශක්ති ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල   

රටේ මොකද වෙන්නේ. මේ ඒ ගැන විමසමින් බලශක්ති ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- ඔබලා හා ආණ්ඩුව අතර තිබෙන ගැටුමේ අලුත්ම තත්ත්වය කොහොමද?   


පිළිතුර:- ආණ්ඩුවයි අපිියි අතර ගැටුම් ඇති වුණොත් ඇතිවෙන්නේ හේතු දෙකක් උඩ. එක්කෝ ජනතාවට අපි දුන්න පොරොන්දුවලට පටහැනි දෙයක් ආණ්ඩුව කළොත් අපි ඒකට විරුද්ධ වෙනවා. එහෙම නැතිනම් ආණ්ඩුව තුළ ප්‍රමාණවත් සංවාදයක් ඇතිකර ගන්නේ නැතිව තීන්දු ගත්තොත් අපිට ඒ පිළිබඳව එළියේ සංවාදයක් කරලා ඒ පිළිබඳව තීන්දුවක් ගන්න සිදුවෙනවා. පොහොර ප්‍රශ්නය ගත්තොත් ඒ ගැන අපට මතයක් තියෙනවා. නමුත් ඒ ගැන අපි එළියේ කතා කරලා නෑ. ඒකට හේතුව ඒ පිළිබඳව අමාත්‍ය සංශෝධනය ගෙන එනවිට, අගෝස්තු මාසය වනවිට ලෙඩුන් ගණන පන් දහස ඉක්මවා යද්දී රට වහන්නේ නැතිව සිටින විට ඇමැති මණ්ඩලය තුළ ප්‍රමාණවත් සංවාදයක් නොවුණ නිසා අපට ඒ සංවාදය සමාජයට ගේන්න සිදුවුණා. යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නයත් එහෙමමයි. නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී ජනතාව හා ජනාධිපතිතුමා අතර තිබෙන ගිවිසුම වන සෞභාග්‍යය දැක්මට පටහැනිව තීන්දු ගත්ත නිසා අපට ඒකට විරුද්ධ වෙන්න සිදු වුණා. ඒ නිසා අපි වාසි බලාගෙන හෝ හැඟීම්බරව හෝ කරන්නන්වාලේ විරුද්ධ වෙන්නේ නෑ. ඉතාම දැඩි ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුළේ තමයි ආණ්ඩුවේ කටයුතුවලට විරුද්ධ වෙන්නේ. විපක්ෂය වගේ අපට වගකීම් විරහිතව කටයුතු කරන්න බෑ.   


ප්‍රශ්නය:- යහ පාලන ආණ්ඩුව ගැන ඔබලා කිව්වේ ‘එළ හරකයි මී හරකයි’ ආණ්ඩුව කියලා. ඉතින් මේ ආණ්ඩුවත් වෙනසක් නෑනේ? 

 
පිළිතුර - මම ඉතාම පැහැදිළිව කිව්වා අප යමකට විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්නේ හේතු දෙකක් මත කියලා. ආණ්ඩුව තුළ සමගිය රැක ගැනීමට නම් ආණ්ඩුව අභ්‍යන්තර සංවාදය එළියට ඒම වැළැක්වීමට නම් කළ යුත්තේ කුමක්ද? ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව කටයුතු කිරීම හා අලුත් කරුණු සම්බන්ධයෙන් සංවාදයකින් පසු තීන්දු ගැනීම එතකොට වරද තියෙන්නේ කා අතේද?   


ප්‍රශ්නය:- ඔබ ඔය කියන සංවාදය නොකරන්නේ කවුද? ජනාධිපතිතුමාද? අගමැතිතුමාද? වෙනත් කවුරු හරිද?   


පිළිතුර - රටම දන්න ප්‍රශ්නයක්නේ. ඇයි අපි අලුතෙන් උත්තර බඳින්නේ.   


ප්‍රශ්නය:- මම මෙහෙම ඇහුවොත්, ඔබලා අතර සමගියට බාධා කරන්නේ කවුද?   


පිළිතුර - ඔය ප්‍රශ්නයට අපි උත්තර බැඳලා තියෙන නිසා මේ වනවිට මුළු රටම දන්නවා ප්‍රශ්නය මොකද්ද? උත්තරය මොකද්ද කියලා. ඔබට සැක නම් මේ රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙකුගෙන් අහන්න මේ ආණ්ඩුවේ බෙදීම් ඇති කිරීමට මුල් වන්නේ කවුද කියලා. එවිට ඔබට උත්තරය ලැබෙයි.   


ප්‍රශ්නය:- ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් වෙනම සංවිධානය වෙනවා. මොකද එහෙම කරන්න වුණේ?   


පිළිතුර - ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයේ සිටි කාලයේ සිටම අවම වශයෙන් මාසයකට වරක්වත් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා. ඒ නිසා සංවාදය ආණ්ඩුවෙන් පිටතට ගෙන ඒමට අවශ්‍ය වුණේ නෑ. දැන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන්නේ නෑ. පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතුයි කියා අපේ පක්ෂ ඉල්ලීමක් කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකට එකඟවෙලා නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එන්නේ නැති නිසා එන්න කැමති පක්ෂ සතියකට වරක් හමුවෙලා රටේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා අප පක්ෂ 11ම එක මතයකට එනවා.   


ප්‍රශ්නය:- ඇයි පොහොට්ටුව එන්නෙ නැත්තේ?   


පිළිතුර - ඒක තමයි ප්‍රශ්නය. විවිධ දර්ශන මත බිහි වී තිබෙන මෙම ප්‍රශ්න 11 ට තනි මතයකට එන්න පුළුවන් නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එහි කොටස්කාරයකු වුණොත් සමස්ත ආණ්ඩුවටම තනි මතයකට එන්න පුළුවන්. අපේ පක්ෂ 11 තුළ මුස්ලිම් පක්ෂ තියෙනවා. සිංහල පක්ෂ තියෙනවා. ජාතිකවාදී පක්ෂ තියෙනවා. වාමාංශික පක්ෂ තියෙනවා. මැද මාවතේ පක්ෂ තියෙනවා. මේ පක්ෂ 11ම රටේ ප්‍රශ්න ගැන අපි රටට කියන්නේ එක මතයක්. එහෙම කරන්න පුළුවන් වුණේ පක්ෂ 11 අතර නිරන්තර සංවාදයක් තිබුණ නිසයි. ආණ්ඩුව තුළත් මේ සංවාදය තිබුණ නම් අද සමස්ත ආණ්ඩුවම සෑම දෙයක් ගැනම කියන්නේ එක මතයක්.   


ප්‍රශ්නය:- පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු කියනවා ‘‘ඉන්න බැරිනම් යන්න’’ කියලා.   


පිළිතුර - මං දැන් ඒකට බය වෙන්න ​ඕනැද? කලබල වෙන්න ඕනැද? මගේ පුංචි පුතා පුංචිම කාලෙ සෙල්ලම් තුවක්කුවක් අරගෙන ඇවිල්ලා මට ‘‘ඩිෂු - ඩිෂු’’ කියලා වෙඩි තියනවා. මම එතකොට භයවෙලා පපුව අල්ලාගෙන බිම වැටෙන්න ඕනැ. ඉතින් ඒ වගේ පුංචි ළමයි සෙල්ලමට කියන කතාවලට අපි කලබල වෙන්න ඕනැ නෑ.   


ප්‍රශ්නය:- ළමයි පුංචි වුණාට ඔවුන්ගෙ ප්‍රතිචාරය ගැඹුරුයි. කාගෙ හරි හයියක් නැතිව ඔහොම කතා කරන්න බෑ.   


පිළිතුර - ඒවා හොයන්න තරම් නාස්ති කරන්න කාලයක් අපට නැහැ. රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන අතරේ පුංචි ළමයි අවධානය දිනාගන්න කරන සෙල්ලම් දෙස අවදානය යොමු කරන්න වෙලාවක් නෑ.   
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඔබලා වෙනම සංධානයක් හදාගෙන මැතිවරණයක් කිට්ටු වෙනකොට එළියට යන්න සූදානමින් ඉන්නේ? 

 
පිළිතුර - අපිට ආණ්ඩුවෙන් කැඩිලා යන එක හරි ලේසි වැඩක්. විපක්ෂයෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන එක හරි ලෙහෙසි වැඩක්. නමුත් අපට වගකීමක් තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ අපි.

   
ප්‍රශ්නය:- ඒක නම් වැරැදියි. පක්ෂය හැදුවේ බැසිල් රාජපක්ෂ?   


පිළිතුර - ඒක හරි! අද පිපී තිබෙන පොහොට්ටුවේ බීජය 2015 පෙබරවාරි 18 වැනිදා පැළ කළේ අපි. ඒ නිසා අපිව විශ්වාස කරලා සිටි ආණ්ඩුවට ඡන්දය දුන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ ජනයාගේ බලාපොරොත්තු මේ ආණ්ඩුව ලවා ඉටුකර ගැනීමේ වගකීමක් අපට තියෙනවා. ඒ වගේම 2020 ජුනි 18 වැනිදා විමල් වීරවංශ ඇමතිතුමාත් මමත් එකම දිස්ත්‍රික්කයෙ එකම ලැයිස්තුවෙන් තරග කරද්දිත් ඒකාබද්ධ ප්‍රතිඥාවක් කළා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිට පැන්නොත් ජනතා මතයට එරෙහිව ගියොත් අපි ආණ්ඩුවට වී විපක්ෂය විදියට කටයුතු කරනවා කියා. අපි අද මේ කරන්නේ එදා ජනතාවට දුන් ප්‍රතිඥාවට යටත්වයි.   


ප්‍රශ්නය:-  රටේ ආර්ථිකය අන්තිම නරකයි. තවදුරටත් ණය ගන්න බෑ. විදෙස් ආයෝජන තමයි ප්‍රධාන විකල්පය. විදෙස් ආයෝජකයන්ට ඔබලා විරුද්ධ වෙනවා. රට කොහොමද ඉස්සරහට යන්නේ? 

 
පිළිතුර - මම මාක්ස්වාදියෙක් නොවෙයි. අවුරුදු විසි හය තරම් ලාබාල වයසෙදි පෞද්ගලික අංශයේ සමූහ ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරි ධුරය දැරූ කෙනෙක්. පෞද්ගලික අංශයෙ වැදගත්කම මට හොඳට තේරෙනවා. අපි විදේශ ආයෝජනවලට විරුද්ධ නෑ.   


ප්‍රශ්නය:- යුගදනවි බලාගාරය ඇමෙරිකන් සමාගමකට දීම ගැන ඔබලා එළියෙ විරෝධතා අවුළුවනවා. 

 
පිළිතුර - මෙහෙමයි. යුගදනවි බලාගාරයෙ කොටස් සියයට හතළිහක් එම සමාගමට දීම ගැන විරුද්ධවීමක් නොවෙයි මෙතැන තියෙන්නේ. විපක්ෂයෙ සමහරු තමන්ගේ නොදන්නාකම නිසා ප්‍රශ්නය වැරදි කොනකින් අල්ලාගෙන තියෙන්නේ. අපි මේ ප්‍රශ්නය පිළිබඳව කාරණා පහක් මතු කරලා තියෙනවා. පළමුව තමයි ටෙන්ඩරයක් ක්‍රියාත්මක වන අවස්ථාවෙදි ටෙන්ඩරයට සහභාගි වූ සමාගම් පසෙක තබා සහභාගි නොවූ සමාගමකට එම ව්‍යාපෘතිය බාර දෙනවා. මේක යහපාලනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ​නොවෙයිද? ඒ වගේම ඔය කියන ආයෝජකයෝ ලංකාවට නැවත නොපැමිණීම හේතුවක් නොවෙයිද? කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නැති වෙයිනේ? ටෙන්ඩර් ලිපි ලේඛන අරගෙන ලංසු තැන්පතු තියලා බැඳුම්කර තියලා දැවැන්ත වියදම් දරලා ටෙන්ඩරය දැම්මට පස්සේ ටෙන්ඩරය සහභාගි නොවුණ සමාගමකට දෙනවානම් ලංකාවේ ටෙන්ඩර් පටිපාටිය ගැන කවුද විශ්වාස කරන්නේ.   


ප්‍රශ්නය:- මේක ඉතාම භයානක තත්ත්වයක්.   


පිළිතුර - ඔව්! ඉතින් එයට විරුද්ධ විය යුතු නොවේද? ඒ වගේම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ගේ උනන්දුව ඉතාම පැහැදිලිව ඉන්දියාව, චීනය, ජපානය සහ දකුණු කොරියාව ඉදිරිපත් කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් නොදැක්වූ ඇමෙරිකාවට ඒ ව්‍යාපෘතිය ලබාදී තිබෙනවා. අමතක කරන්න එපා පසුගිය අර්බුදකාරී සමයේ ඉන්දියාව, චීනය, ජපානය හා දකුණු කොරියාව කියන රටවල් හතරම හිටියෙ අපේ මිතුරු රටවල් ලෙසයි. ඇමරිකාව සිටියේ අපට සතුරු රටක් ලෙසයි. මිතුරු රටවල්වල ඉල්ලීම පසෙක තබා සතුරු රටකට ඒ ව්‍යාපෘතිය ලබාදීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නොවෙයිද? ඒ වගේම මෙම ගිවිසුම හරහා ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය මේ සමාගමට ලබාදීලා තියෙනවා. එතකොට ඇමරිකාව කියන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගසන තමන්ගේ ආර්ථික ශක්තිය පාවිච්චි කරලා ලංකාවේ දේශපාලන තීන්දුවලට අත පොවන රටක්. මෙතෙක් කල් කිව්වේ රණවිරුවන්ට දඬුවම් කළේ නැත්නම්, රට ෆෙඩරල් කළේ නැත්නම් අපි ආර්ථික සම්බාධක පනවනවා කියලයි. අපි ඒවට භය වුණේ නෑ. හැබැයි විදුලිය ක්ෂේත්‍රයට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ඇමෙරිකාවට දුන්නොත් රට අඳුරේ තබනවාද නැද්ද කියන තීන්දුවේ යතුර තිබෙන්නේ ඇමෙරිකාව අතේ. එදාට රට ෆෙඩරල් නොකළොත්, රණවිරුවන්ට දඬුවම් නොකළොත් රට අඳුරේ තබනවා කියලා ඇමරිකාව තර්ජනය කළොත් ශ්‍රී ලංකාවට දණගහන්න වෙනවා.

   
ප්‍රශ්නය:- ඔබට තියෙන්නේ ඇමරිකන් විරෝධයක්?   


පිළිතුර - හරි! මම කියපු කාරණා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙයිද? ඒ වගේම පෞද්ගලිකව මටත් මගේ අමාත්‍යාංශය වන බලශක්ති අමාත්‍යාංශයටත් බලපාන ප්‍රශ්නයක්. මුළු රටම දන්නවා මම දවැන්ත වෙහෙසක් පසුගිය කාලය පුරාම දරලා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරලා ශ්‍රී ලංකාවේ ගෑස් සම්පත ගොඩ අරගෙන රටම ගොඩදාන වැඩපිළිවෙළක් හැදුවා.   

 

ප්‍රශ්නය:- ඔය ගෑස් නිධි කතාව බොහොම පරණ දේශපාලන ප්‍රබන්ධයක්?   


පිළිතුර - නෑ. ලබන වසරේ මාර්තු වනවිට අපි ආයෝජකයන් කැඳවා ගැනීමට එම් 2 කියන කැබැල්ල වෙන්දේසියට දාන්න බලාපොරොත්තු වෙනවා. මේ අතරේ ලංකාවේ ගෑස් ඒකාධිකාරිය ඇමරිකාවට ලබා දුන්නම ඒ ආයෝජකයා ගොඩගන්නා ගෑස්වලට තියෙන වෙළෙඳපොළ අහිමි වෙනවා. මෙතෙක් ගෑස් නිපදවන්නේ නැති අලුත් රටකට ආයෝජකයෙක් පැමිණෙනවා කියන්නේ අවදානමක් තියෙනවා. එයාට ගොඩගන්නා ගෑස් ටික විකුණාගන්න වෙළෙඳ පොළක් නැත්නම් ඒ ආයෝජකයා ලංකාවට එන්නේ නෑ. අපේ රටේ ණය ටික ගෙවලා දාලා රට ගොඩයන්න තියෙන එකම මාර්ගය ගෑස් සම්මත ගොඩ ගැනීම මේ ගිවිසුම නිසා නතර වෙනවා. ඉතින් රටට ආදරෙයි නම් ආණ්ඩුවට ආදරෙයි නම් මේ ගිවිසුමට විරුද්ධ නොවී ඉන්න පුළුවන්ද?   


ප්‍රශ්නය:- ඔබලා ජනාධිපතිවරයාගෙන් මේ ගැන කතා කරන්න සාකච්ඡාවක් ඉල්ලුවා. ජනාධිපතිවරයා ‘‘බෑ’’ කිව්වා. 

 
පිළිතුර - ඔබ මා සමග මේ සම්මුඛ සාකච්ඡාව කරන්නේ බ්‍රහස්පතින්දා දවල්. අද සවස පහ මාරට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අපව හමුවන්න තීරණය කරලා අපට ඒ බව දැනුම් දුන්නා. අපි අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ ගැන කතා කරනවා. අපට ඕනෑ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නොවෙයි. රට අසීරුතාවට පත්වීම වැළැක්වීමට පමණයි. අපි කාගෙවත් කොන්ත්‍රාත් ඉටු කරන අය නොවෙයි. අපි ඉටු කරන්නේ ජනතාවගේ කොන්ත්‍රාත්තුව. ඒ නිසා ජනතාව පැත්තෙන් රට පැත්තෙන් කරුණු අරගෙන ජනාධිපතිතුමත් අගමැතිතුමත් හමුවෙලා මේ ගිවිසුමේ තියෙන භයානකකම පැහැදිළි කරන්න සූදානම්.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟ නොවුණොත්? 

 
පිළිතුර - ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන්නේ මේ හමුවෙන් පසුවයි.   


ප්‍රශ්නය:- කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න හදන කොටත් ඔබලා විරුද්ධ වුණා. දේශපාලන ජනප්‍රියත්වය නිසා මෙහෙම කරනවා කියලා මම ඔබට කිව්වොත්   


පිළිතුර - නැගෙනහිර ජැටිය හදන්න ආපු ආයෝජකයො තමයි බටහිර ජැටිය හදන්න කටයුතු කරමින් ඉන්නේ. නැගෙනහිර ජැටිය හදන්න වරාය අධිකාරයට අරමුදල් නැත්නම් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැගෙනහිර ජැටිය ආණ්ඩුව විසින් හදනවා කියලා වගන්තියක් දැම්මේ අැයි. ජනතාවට බොරු කියලා ඡන්ද කරන්න බෑ. අපි ඒකට විරුද්ධයි. කරන්න බැරි දේ ලියන්න බෑ. ලිව්වා නම් නොකර ඉන්න බෑ.   


ප්‍රශ්නය:- ජනතාව සමස්තයක් වශයෙන් විශාල අසහනයකින් ඉන්නේ. බහුතරයක් ජනතාව කියන්නේ ‘‘අපිට ආයෙත් වැරදුණා’’ කියලයි. ඇත්තටම ආණ්ඩුව ෆේල්?   


පිළිතුර - ඉන්ධනවලින් මම උත්තර දෙන්නම්. ඒක මගේ විෂය නිසා. වත්මන් ආර්ථික අර්බුදය 1977 සිට ගොඩනැගෙමින් තිබූ අර්බුදයක් ඔඩු දිවීමක්. අපි 77 දී තමයි විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් හැටියට මුල්වරට අපනයන ආදායම ඉක්මවා ආනයන වියදමක් හැදුණේ. එදා සිට හැමදාමත් මේ පරතරය පළල් වුණා මිසක් අඩු වුණේ නෑ. මේක ජාතික ප්‍රශ්නයක් නම් මුළු මහත් ජාතියම මේ අර්බුදයට මුහුණ දිය යුතුයි. කොවිඩ් වසංගතයත් භයානක උවදුරක්.   


ප්‍රශ්නය:- කෝකටත් තෛලය වගේ කොවිඩ් එක පෙන්වලා ආණ්ඩුව ඇඟ බේරා ගන්නෑ. පෝළිම් යුගයකට රට ගිහින්. ඊට අමතරව ඉන්ධන පෝලිමකුත් ඇවිත්?   


පිළිතුර - රටේ කිසිම ඉන්ධන හිඟයක් නෑ. කවුරුහරි දේශපාලකයෙක් හරි වෘත්තීය සමිති නායකයෙක් හරි මාධ්‍යයට ඇවිත් ඉන්ධන හිඟයක් ඇතිවෙනවා කියලා කිව්වම මාධ්‍යයෙන් එයට පුළුල් ප්‍රචාරයක් දුන්නාම අහිංසක ජනතාව කලබල වෙනවා. අන්න එතකොට ඉන්ධන පෝලිමක් එනවා. මේ ඉන්ධන පෝලිම ඇතිවුණේ කට කතා නිසා. එක වෘත්තිය සමිති නායකයෙක් හතර වතාවක් මාධ්‍යයට ඇවිත් කිව්වා ‘ඉන්ධන හිඟයක් එනවා’ කියලා. ඔහු කියන්නේ බොරුවක් ඉතාම පැහැදිළියි. මම හිතනවා ඔහු පස්වැනි වතාවටත් එහෙම කියයි කියලා. මොකද එයා මීට වසර තුනකට පෙර තෙල් සංස්ථාවෙන් විශ්‍රාම ගිය කෙනෙක්. වර්තමානයේ මොකද වෙන්නේ කියලවත් දන්නේ නෑ. නමුත් අවාසනාවට ඔහුට මාධ්‍යයෙන් ලැබෙන ඉඩ නිසා ජනතාව කලබල වෙනවා.   

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්