ආණ්ඩුව කරන හොඳ වැඩ ගැන ප්‍රචාරයක් නෑ


සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල 

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නොනවතින විරෝධතා රැල්ලකි. වසංගත තත්ත්වය තිබියදීම ආණ්ඩුව මහ රැලි පවත්වයි. රටේ මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? සෞඛය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.  

 

  • මේ මොහොතේ මේ කරන ඉල්ලීම් තනිකරම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කරන ​ඉල්ලීම් කියලයි මම කියන්​නේ. 

 

ප්‍රශ්නය:- මේ මොහොත වනවිටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසන්සුන්?   
 
පිළිතුර:- ඔව්! ලංකාවේ විතරක් නොවෙයි මුළු ලෝකයෙම තත්ත්වය ඕකනේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය තමයි මේ ලෝකෙම තියෙන නොසන්සුන්තාවයත් එක්ක බැඳුණ ප්‍රධානතම ආයතනය. ඉතින් ඒක සන්සුන් වෙන්න බෑ. ඒක සන්සුන් වුණා නම් ප්‍රශ්නයක්.   
 
ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ සෞඛ්‍ය වෘත්තිය සමිති අරගලයක ඉන්නවා. රෝගීන් අපහසුතාවයට පත්වෙලා. ඔබ සෞඛ්‍ය ඇමති!   
 
පිළිතුර:- ඒක සමහරවිට මම විශ්වාස කරනවා සේවකයන් කියන දේ වැරදියි. මොකද මේ සෞඛ්‍ය සේවකයන් කරපු කරන සේවය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා. ඒ අතරේ ඉන්නවා බොරදියේ මාළු බාන කිහිප දෙනෙක්. ඒ අයට පුළුවන් වෙලා තියෙනවා දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යම් යම් දේවල් කරන්න. හැබැයි මේ වෙනකොට මම පොඩි සමීක්ෂණයක් කරලා තියෙනවා. දාහකට - දෙදාහකට අඩු සංඛ්‍යාවක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. බොහෝ තැන්වල සේවකයන්ට අත්සන් කරන්න දෙන්නැති තත්ත්වයක් තියෙනවා. රත්නපුර ඇඹිලිපිටිය වගේ තැන්වල එහෙම වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.   
 
ප්‍රශ්නය:- ඒ කියන්නේ මර්දනය එනවා.   
 
පිළිතුර:- මර්දනය නොවෙයි. මේක මේ සෙල්ලම් කරන වෙලාවක් නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තරම් කැප කිරීම් කරපු... කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය විතර මේ තරම් දායකත්වය ලබා දුන් අවදානමක් ගත්ත තමන්ගේ පවුල්වලට තියෙන අවදානම අමතක කරලා පුරවැසියන් වෙනුවෙන් කැප වෙච්ච කණ්ඩායමක්. එවැනි කණ්ඩායමක් මෙවැනි තත්ත්වයට වැටෙන්නේ නෑ. ඒ අය දන්නවා ඔවුන්ගේ වගකීම මොකද්ද කියලා. අවාසනාවකට මේ කීප දෙනෙකුගේ දේශපාලන අවශ්‍යතාවයන්ට ඔවුන් යටත් කරගෙන ඉන්නේ. 
 
ප්‍රශ්නය:- ඔවුන් ඉල්ලන්නේ වැටුප් විෂමතා ඉවත් කරන්න කියලයි?   
 
පිළිතුර:- වැටුප් විෂමතා ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රය සමග මේක ගලපන්න බෑ. රිචඩ් පතිරණ ඇමතිතුමා 1994 වසරෙදි ගුරුවරුන්ගේ වැටුප් හදන්න විශාල පියවරක් ගත්තා. 1996 දී බී.සී. පෙරේරා කමිටුව තීන්දුවක් ගත්තා සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන අවධානය යොමු කරන අතරතුර ඒ මොහොත හැටියට අසීමිතයි කියලා හිතපු වැඩිවීම තාවකාලිකව පැත්තකට තිබ්බා. ඒ වැඩපිළිවෙළ ගියා 2006 වෙනකම්. රනුග්ගේ කොමිසමෙන් පස්සෙ අධ්‍යාපන ක්ෂේත්‍රය හැර අනික් ක්ෂේත්‍රවල වැටුප් වැඩි වීමක් වුණා. ඒක අධ්‍යාපන ක්ෂේත්‍රයට අසාධාරණයක්. ඒ නිසා ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි. නමුත් එම ඉල්ලීම කරන මේ කාලය ගැන මගේ තියෙනවා වෙනම කියවීමක්. ඔවුන්ගේ පදනම අතිශයින්ම සාධාරණයි.   
 
ප්‍රශ්නය:- ඉතින් එහෙමනම් විසඳුමක් දෙන්න තිබුණනේ. ඇයි කල් ඇද්දේ.   
 
පිළිතුර:- එහෙම සාධාරණ නිසාම තමයි අපි කැබිනට් අනු කමිටුවක් පත් කරලා විසඳුම් දුන්නා. කොහොම වුණත් මුළු ලෝකයෙම ආර්ථික අවපාතයක් ඇති වෙලා තියෙනවා. ලෝකයේ මහ ධනවත් රටවල් දිහා බැලුවම පුදුම හිතෙනවා. කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නෑ. මහා බ්‍රිතාන්‍යයෙ විදුලිය බිල එකසිය විස්සකින් වැඩිවෙලා. ඉන්ධන මිල සියයට හතළිහකින් වැඩිවෙලා.   
 
ප්‍රශ්නය:- ඒ ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩියි?   
 
පිළිතුර:- ඔහොම තමයි කියන්නේ. ආදායම් මට්ටමත් එක්ක අපේ බැලුවාම ඒ පරිමාණයෙන් අපේ වැඩිවෙලා නෑ. නමුත් ඒ සියලු දේ එක්ක මේ මොහොතේ මේ කරන ඉල්ලීම් තනිකරම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කරන ​ඉල්ලීම් කියලයි මම කියන්​නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් පරිමාණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිමාවට සමාන කළොත් හෙට ප්‍රවාහන ක්ෂේත්‍රය ඉල්ලයි. වාරිමාර්ග ඉල්ලයි. දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට නින්දිත උත්සාහය ආරම්භ කිරීමක් හැටියටයි මම මේක දකින්නේ. 
 
ප්‍රශ්නය:- ගුරුවරුන්ගේ සටනෙදි ‘‘සටන් කරන්නේ කාලකන්නි’’ කියලා ඔබ කිව්වා. සෞඛ්‍ය සටනටත් ‘‘කාලකන්නි’ ’ කියන වචනය ඔබ පාවිච්චි කරනවද?   
 
පිළිතුර:- වහාම ඔය ප්‍රශ්නය ඔබ ඉල්ලා අස්කර ගන්න ඕනෑ. කාලකන්නි කියන වචනයට ඔබ එක්කාසු කරන්න ‘‘තුන් හතර දෙනෙක් කාලකන්නි’’ කියන වචන ටික. තාමත් ඒක එහෙමම තමයි.  
 
ප්‍රශ්නය:- ඔබම කියනවා සෞඛ්‍ය සටන සාධාරණයි කියලා. නමුත් වෘත්තිය සමිතිවලට ඔබ සාකච්ඡාවක් දෙන්නේ නෑ.  
 
පිළිතුර:- මම හැම වෘත්තිය සමිතියකටම සාකච්ඡා දීලා තියෙනවා. මේ අය ගෙනාවේ ඉල්ලීම් හතක්. එයින් කරුණු තුනකට කොන්දේසි විරහිතව අපි එකඟ වුණා. හතරවැනි ඉල්ලීම ගැන අපි සාකච්ඡා කරමු කිව්වා. පස්වැනි ඉල්ලීම මට තනිවම ගන්න බෑ. ඒක ගැන වැටුප් කොමිසම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග සාකච්ඡා කරන්න ඕනෑ. අනික් ඉල්ලීම කැබිනට් මණ්ඩලයත් සමග සාකච්ඡා කළ යුතුයි. හත්වැනි ඉල්ලීම කොහොමවත් දෙන්න බෑ.  
 
ප්‍රශ්නය:- ඔහොම කිව්වාම වෘත්තිය සමිති දැඩි ක්‍රියා මාර්ගවලට යනවා?  
 
පිළිතුර:- මගේ සිරිතක් තියෙනවා ‘‘සලකල බලන්නම්’’ වගේ වචන පාවිච්චි නොකිරීම. බැරිනම් බැහැ. එහෙම කිව්වට පස්සේ ‘‘හොඳයි එහෙනම් අපි මෙහෙම කරමු’’ කියලා එකඟ වෙලා එළියට ගිහින් පැය දෙකකට පස්සෙ මට තුණ්ඩුවක් එවනවා ‘‘අපි සටන දිගටම කරගෙන යනවා’’ කියලා.  
 
ප්‍රශ්නය:- ගුරු ගොවි සටන් ගත්තොත් සටන ඇවිළී යන්න ඇරළා තමයි විසඳුම් දුන්නේ. මේ ප්‍රශ්නයත් එහෙම වෙයි.  
 
පිළිතුර:- ගුරු වැටුප් ප්‍රශ්නය විසඳුවේ කොහොමද? කැබිනට් අනු කමිටුවක් පත් කළා. ඒ අනු කමිටුවෙන් යම් තීන්දුවක් ගත්තා. ඒ අනුව ගිහින් තමයි ප්‍රශ්නය විසඳුවේ. ඒ නිසා උද්ඝෝෂණවලින් විසඳෙනවා කියන එක පිළිගන්න බෑ.  
 
ප්‍රශ්නය:- ගොවියො මුලින්ම කිව්වා පොහොර දෙන්න කියලා. ආණඩුව දැඩි තීරණයකට ආවා. අන්තිමට ගොවීන්ගේ ඉල්ලීම්වලට යටත් වුණා.  
 
පිළිතුර:- මහින්දානන්ද ඇමතිතුමා කිව්වේ ගිය කන්නයෙදි යම් අඩුපාඩුවක් වුණාය ඒ වෙනකොට දියර පොහොර කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට තිබ්බේ නෑ. මේ පාර අපි උවමනා ප්‍රමාණයට ගෙනල්ලා දෙනවා කියලා කිව්වා මිසක් ඒ කාබනික පොහොර ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා කියලා කිව්වේ නෑ.  
 
ප්‍රශ්නය:- ආණ්ඩුව හැම තැනකදිම ‘ෆේල්’ කියලා ඔබට හිතෙන්නේ නැද්ද?  
 
පිළිතුර:- මම එහෙම හිතන්නේ නෑ. ආණඩුව කරන හොඳ වැඩ සම්බන්ධව ප්‍රචාරයක් නෑ කියලා මම පිළිගන්නවා. මේ ආණ්ඩුව බිලියන 95ක් වියදම් කරනවා ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට ගෙවල් දහ හතර දාහක් ඉදිවෙනවා. මේ ගෙවල් හැදෙන්නේ ඒ ජනයා ණය කාරයන් කරලා නොවේ. සෑම ග්‍රාම සේවක වසමකටම මිලියන 3ක මුදලක් වෙන් කරලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තම බිලියන 95ක්. මේවා ග්‍රාමීය මට්ටමෙන් දැන් ක්‍රියාත්මකයි. පාරවල් ලක්ෂයකට මුදල් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් පළමු වතාවට ඩොලර් මිලියන 500ක් ලැබිලා තියෙනවා. පාරවල් ලක්ෂයක් එකපාර පටන් ගත්තා කිව්වම ඒක විප්ලවයක්. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියනවා ‘‘සෞභාග්‍ය ඉදිරි දැක්ම මම ඉදිරිපත් කරපු සියලු දේ... මම අවුරුදු දෙකක් බොහොම අමාරුවෙන් ගෙනිච්චෙ. නමුත් ඉදිරි අවුරුදු තුනේදි මේ වැඩපිළිවෙළ මම ක්‍රියාත්මක කරනවා’’ කියලා.  
 
ප්‍රශ්නය:- ණය වාරිකය සහ පොළිය ගෙවන්නත් මහ බැංකුවේ මුදල් නෑ. උත්තරයකුත් නෑ.   
 
පිළිතුර:- කොයි එකද අතහැරලා තියෙන්නේ ගෙවන්නේ නැතිව. මිලියන 500ක් ගෙවන්න තිබුණා. ඒක ගෙව්වා. ජුනි වෙනකොට තියෙනවා බිලියන 1.5 ක් ගෙවන්න. ඒක ගෙවපු නැති දවසට ඔබතුමා ඔය ප්‍රශ්නය මගෙන් අහන්න. ඔය ප්‍රශ්නය ඔබට දැන් මගෙන් අහන්න බෑ. මොකද අපේ ආණ්ඩුව කාලේ එක සහතිකයක් දෙනවා. ඒ අපිට ගෙවන්න තිබුණ ඩොලර්වලින් එක ඩොලරයක් එක දවසක් අපි පමා කරලා තියෙනවාද. හැබැයි යහපාලනය කාලේ අපට වෙච්ච දේ මොකක්ද? අපට තිබුණේ ට්‍රිලියන හතයි දශම දෙකයි දෙකයි ගෙවන්න. යහපාලන කාලයෙ ඒක ට්‍රිලියන 14ක් දක්වා වැඩි කළා. එහෙම වුණත් රටට වෙච්ච දෙයක් නෑ. අපි ​මේ ගැන ඒ රජයට බැණ බැණ ඉන්නේ නෑ. අමාරුවෙන් හරි අපි ණය නොගෙවන රටවල් කාණ්ඩයට වැටෙන්නේ නැතිව යනවා.  
 
ප්‍රශ්නය:-  එහෙම වැඩපිළිවෙළක් තියෙනවද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ?  
 
පිළිතුර:- අද වෙනකම් තිබිලා තියෙනවා.  
 
ප්‍රශ්නය:- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනාපු කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරායෙ හිරවෙලා?  
 
පිළිතුර:- ඔබ දකින්න ඇති ජනාධිපතිතුමා කිව්වා වහාම ඒවා නිදහස් කර ගන්න වැඩපිළිවෙළක් යොදන්න කියලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මම හැදුවා ඊළඟ කාර්තු දෙකට අවශ්‍ය මුදල් ප්‍රමාණය. ඩොලර් මිලියන 132 ක් අවශ්‍යයි. මහ බැංකු අධිපතිතුමා මට කිව්වා ‘‘අවුරුද්දට අවශ්‍ය ගණන කියන්න’’ කියලා. අවුරුද්දටම අවශ්‍ය වෙන්නේ ඩොලර් මිලියන 350ක් විතර. එතුමා කිව්වා ‘‘ඒ මුදල් ලැබුණා’’ කියලා සලකන්න කියලා. යම් යම් අපහසුතා තියෙනවා.  
 
ප්‍රශ්නය:- රට පුරාම දැවැන්ත ඖෂධ හිඟයක් තියෙනවා?  
 
පිළිතුර:- එහෙම එකක් කියනවා. එකම පිරිසක් තමයි එහෙම කියන්නේ. අපි ඔෟෂධ හදන්න පටන් ගත්තා. ඒ කර්මාන්ත ශාලා දෙකම වැඩ.  
 
ප්‍රශ්නය:- එක පැත්තකින් කියනවා කොවිඩ් ආසාදිතයන් වැඩිවෙලා කියලා. ඒ අතර ආණ්ඩුවම දැවැන්ත ජනහමු සංවිධානය කරනවා. ඔබ සෞඛ්‍ය ඇමති. ඔබෙන් ඇහුවද එහෙම ජනතාව ඒකරාශි කළාට කමක් නැද්ද කියලා.  
 
පිළිතුර:- තාම ඒ නීති ගෙනාවේ නැහැනේ. ගැසට් එක ගහලා ඒ නීතිය ගෙනාවට පස්සෙ ඒක ක්‍රියාත්මක කරනවා. ඕනෑම දෙයකට පවතින නීතිය තුළනේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. අප්‍රේල් 30 වැනිදා සිට පොදු ස්ථානවලට යාම සීමා කරලා තියෙනවා. තවම අප්‍රේල් නැති නිසා ඒක ක්‍රියාත්මක කරන්නේ නෑ.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්