ආණ්ඩුවට වසර දෙක පිරෙන සැප්තැම්බරයේ විපක්ෂයෙන් මෙහෙයුමක්


විනිසුරු විශ්‍රාම වයස ගැන ආණ්ඩුව මුල්වරට කතා කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට රජය තීන්දුකර ඇතැයි විපක්ෂය නගන චෝදනාවට රජය නිල ප්‍රතිචාරයක් දැක්වූයේ ඉකුත් සතියේය. ඉකුත් සතියේ කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මේ ගැන දිගු සාකච්ඡාවක නිරත වූහ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසුවේ මෙවැනි අදහසකි.

අප අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින අඩුපාඩු සකස් කරගෙන යන වෙලාවකයි විපක්ෂය විවිධ චෝදනා නගන්නේ. අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි රාජ්‍ය සේවයේ අංශ ගණනාවකින්ම අපට ඉල්ලීම් ඇවිත් තිබෙනවා. තවදුරටත් සේවය කරන්න පුළුවන් අයට අවස්ථාව දෙන්න කියලා. ඉහළ අධිකරණවල යම්යම් අඩුපාඩු තිබුණා විසිවැනි සංශෝධනයෙන් බලය ලබාදුන්න වෙලාවේ... ඒ ප්‍රශ්න නිරාකරණය කරගෙන නඩු කල් යන එකත් අවම කරන්න හැකි උපරිම උත්සාහයක් යොදල තියෙන වෙලාවක්. කොහොම හරි අපි මේ ගැන තව දුරටත් අධ්‍යයනය කරලා නිර්දේශ ඉදිරිපත් කිරීම අධිකරණ අමාත්‍යංශයට පවරමු...’’  ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලයට යෝජනා කළේය. එහිදී හෙළිදරව් වූයේ නඩු භාණ්ඩ ලෙස ගොඩ ගැසී තිබූ ඇතැම් භාණ්ඩ වෙන්දේසි කර රුපියල් බිලියනයකට ආසන්න මුදලක් ද වත්මන් අගවිනිසුරුවරයා යටතේ රජයට බැර කර තිබෙන බවය.

අධිකරණ ක්ෂේත්‍රය ගැන විපක්ෂය නගන චෝදනාවට ආණ්ඩුව පවසන්නේ තමන්ට ජනතාවගෙන් ලැබුණු ජනවරම අනුව කටයුතු කරන බවය. තමන්ට ජනවරමක් ලැබී ඇත්තේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමට බැවින් අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරමින් එයට අදාළ යටිතල පහසුකම් ද ලබාදෙන බව රජයේ මතය වෙයි. එම ජනවරමට අනුව විනිසුරුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් නඩු ඇසීමේ ක්‍රියාවලිය විධිමත් සහ වේගවත් කරන බව රජය කියයි. වත්මන් අගවිනිසුරුවරයා යටතේ නඩු ඇසීමේ ක්‍රියාවලිය වේගවත් වී ඇති අතර නඩු තීන්දු ගණනාවක්ම කඩිනමින් ප්‍රකාශයට පත්කර ඇති බවද රජය පවසයි. නඩු ඇසීමේ කාල සටහන ද වෙනස් වී ඇති අතර පෙරවරු නවයේ සිට සවස හතර දක්වා නඩු කටයුතු සිදුවේ. නඩු කල් යෑමේ සාමාන්‍ය ක්‍රමය වෙනස් කරමින් බොහෝ නඩුවලට ඉක්මන් දින ලබා දී ඇති බවද රජය කියයි. මෙවැනි වෙනස්කම් අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවෙද් දී ඊට එරෙහි වන්නේ නඩු ගණනාවකට හසුවී සිටින චූදිතයන් සහ තමන්ගේ පක්ෂවල දූෂිත පුද්ගලයන් සිටින දේශපාලන පක්ෂ නායකයන් බව රජයේ මතය වේ.

ලබන වසර සංවර්ධනයේ වසර

එළඹෙන වසර සඳහා අයවැය යෝජනාවලිය සකස් කිරීමේ පූර්ව සාකච්ඡාවල ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දිනවල නියැළී සිටියි. අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශ අවශ්‍ය ප්‍රතිපාදන ගැන එම අමාත්‍යාංශ ගෙන්වා සාකච්ඡා කිරීම ඉකුත් සතියේ ආරම්භ කළ අතර මේ සතියේ ද බලශක්ති අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක ප්‍රධානීන් ගෙන්වා ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීය.

විදුලි බල අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පැවසුවේ රට ඉදිරියට ගෙනයාම සඳහා විශාල බලයක්ද විශාල පිරිවැයක් ද වැය වන්නේ විදුලි බල අමාත්‍යංශයට බවය. ‘‘“අපි හැකිතරම් දුරට පුනර්ජනීය බලශක්ති නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මැද පෙරදිග ගැටුම කවදා කොහොම අවසන් වෙනවද කියලා අපට කියන්න බෑ. තෙල් වියදම අපට විශාල බරක්. අපේ විදේශ විනිමය පිටතට ගලා යන එක අමාත්‍යංශයක් තමයි විදුලිබලය. ඒ නිසා අපි වැඩිපුර පුනර්ජනීය බලශක්ති නිෂ්පාදනය කෙරෙහි යොමු වීම වැදගත්.’’ ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව උතුරේ ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින හයිබ්‍රිඩ් බලශක්ති පද්ධතියේ ප්‍රගතිය ද විමසා බැලූ ජනාධිපතිවරයා එම දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලබන වසර සංවර්ධනයේ වසර බවට පත්කර ගැනීමට රජය බලාපොරොත්තුවෙයි. ජනාධිපතිවරයාට සමීප ආරංචි සඳහන් කරන්නේ පසුගිය වසර දෙක තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ අතර ලබන වසරේ දී ග්‍රාමීය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවය. අධිවේගී මාර්ගවල වැඩ කටයුතු ද අරඹා ඇති අතර ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීමට ද අපේක්ෂිතය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අයවැය සාකච්ඡාවේදී ද ජනාධිපතිවරයා කියා සිටියේ පැරණි බස්රථ සංචිතය ක්‍රමයෙන් ඉවත් කරමින් නව බස් රථ ධාවනයට එකතු කර ගැනීමට කටයුතු කරන බවය.

වී මිල ගැන සජිත්ට පැමිණිලි

මේ දිනවල වී අස්වනු නෙලන සමය හෙයින් ගොවීන් මැසිවිලි නගන්නේ ආණ්ඩුව පොරොන්දු වී ඇති රුපියල් එකසිය විස්සක මිලට වී මිල දී ගැනීමට වෙළෙඳුන් කටයුතු නොකරන බවය. මේ පිළිබඳව ගොවි සංවිධාන විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳ ප්‍රමාණවත් මැදිහත් වීමක් කරන ලෙසය. මේ හේතුවෙන් විපක්ෂ නායකවරයා ඉකුත් සතිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් හමුවී ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන්නේය. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකද සජිත් සමග මෙම ගමනට එකතු විය.

සර්--- ආණ්ඩුවේ ඇමැතිවරු කියන ගණන්වලට කොතැනකවත් වී මිලදී ගන්නෙ නෑ. එයාල අපිව රැවැට්ටුවා’’ සූරියවැව හා වීරවිලදී සජිත් මුණ ගැසුණු ගොවි නියෝජිතයෝ කියා සිටියහ. ‘‘“අපි ගොවිතැන් කරන්නෙ මුදලාලිලගෙන් ගිනි පොලියට ණය අරගෙන. ඒත් අපිට වැඩි අස්වනු දෙන බිත්තර වීවත් වැඩි අස්වනු දෙන පොහොර ටිකවත් හරියට ලැබෙන්නෙ නෑ. එහෙන් අලි ගහනවා. එහෙම අසීරුවෙන් ගොවිතැන් කරලා ලබා ගන්න වී අස්වැන්න මිලදී ගන්නෙ කුණු කොල්ලෙට. රජය ගන්නවා කීවට රජයෙන් ගන්නෙ අපේ අස්වැන්නෙන් සියයට පහයි.’’ ගොවියෝ කීහ.

මම ගොවි ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනවා.’’

ඒත් ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නෙ නෑ.. රජය උත්තර දෙන්න කල් ගන්නවා. කල් මරන එකයි රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ...’’ ගොවීන් හමුවේ එසේ කී විපක්ෂනායක සජිත් ඔවුන්ට පොරොන්දු වූයේ වී මිල අඩු වී ඇති ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදී රජයේ අවධානයට ලක් කරන බවය.
“පේනවනෙ තිස්ස.. ආණ්ඩුව කතා කරන කිසිම දෙයක් පිටදී වෙන්නෙ නෑ.. මතක තියා ගන්න ආණ්ඩුවට අවුරුද දෙක පිරෙනවනෙ මේ සැප්තැම්බර් මාසෙට. අපි මේ හැම දෙයක්ම එකතු කරලා ජනතාව පාරට අරගෙන ලොකු විරෝධයක් දක්වන්න ඕනෑ..’’ විපක්ෂනායක සජිත් තිස්සට කියා සිටියේය. 

ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණයට විපක්ෂයේ සැලසුම

සමගි ජන බලවේගයට අනුබද්ධ ඩී.ඇස්. සේනානායක දේශපාලන පීඨයේ පුහුණු වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා පැවැත්විණි. තරුණ පරපුරට දේශපාලන දැනුම ලබාදෙන වැඩමුළු මාලාවක් එම පීඨයේ පැවැත්වෙයි. පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් සෙනසුරාදා එම වැඩමුළුව පැවැත්වුණු අවස්ථාවේ තිළිණ කවුළුවක් ද විවෘත කෙරිණි. සජබ ටී ෂර්ට්, වැනි තිළිණ එම කවුළුවෙන් මිලදී ගත හැකිය.
විපක්ෂනායකවරයා එම උත්සවයේදී ද පැවසුවේ විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම පැවතීම හොඳ ප්‍රවණතාවක් බවය. වෙනම සිටියාට පොදු කරුණුවලදී සියලු දෙනාම එකට වැඩ කරන බව සජිත් එහිදී කීවේය. ‘‘තිස්ස පේනවනෙ මේ තරුණයන්ගෙ තියෙන උනන්දුව. 

අපි  සැප්තැම්බරයෙ දී ආණ්ඩුවට ලොකු විරෝධයක් දක්වමු. අපි දැන් කල් දුන්නා වැඩියි.  ජනතාව ළඟ ලොකු විරෝධයක් රජයට එරෙහිව තියෙනවා. අපි ඒකට නායකත්වය දෙන්න බිම් මට්ටමේ අලුත් වැඩක් කරමු. හොඳ වැඩ පිළිවෙළක් ඔයා හදන්නකො..’’සජිත් තිස්සට කීවේය.

පක්ෂයේ සාමාජික ව්‍යාපාරය දියත් කිරීම සහ දීප ව්‍යාප්තව නිවාස කරා ගොස් ජනතාව දැනුවත් කරන වැඩසටහනක් සකස් කිරීම සජබ නායකයන්ගේ අරමුණය.

සජිත් 23 වැනිදා සියලු පක්ෂ නායකයන් කැඳවයි

අධිකරණ ක්ෂේත්‍රයේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව විපක්ෂයක් ලෙස එකට වැඩ කිරීමට සජබය තීන්දු කර ඇත. ඒ සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂවලට සජබය ආරාධනා කර ඇති අතර මෙම මස විසිතුන් වැනිදා එම හමුව පැවැත්වෙයි. සියලු පක්ෂවල නායකයන්ට මෙම හමුවට ආරාධනා කර තිබේ.

සුළු ජාතික පක්ෂ සජබයෙන් ගියා ද?

සජබය සමග ඉකුත් මැතිවරණවලට එක්ව තරග කළ මනෝ ගනේෂන්, රවුෆ් හකීම් ඇතුළුව සුළු ජන පක්ෂ හයක් පොදු සංධානයක් පිහිටුවා ගැනීම ඉකුත් සතියේ සිදුවිය. ඇතැමුන්ගේ අදහස වන්නේ මෙම පක්ෂ සජබයෙන් ඉවත්ව ආණ්ඩුපක්ෂය සමග අලුත් දේශපාලන ගමනකට  සුදානම් වනවාද යන්නය. මෙහිදී සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය නොපමාව කටයුතු කළ යුතු බවය. මෙම පක්ෂ වෙනම හවුලක් පිහිටුවා ගැනීම ගැන සමහරුන් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන්ද විමසූ අතර මහලේකම්වරයා පැවසුවේ ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට මෙවැනි සංධානයක් හදන බවට තමන්  දැනුවත් කළ බවය.‘‘ ඔවුන් අප සමග දිගටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒකෙ වෙනසක් වෙලා නෑ...’’ මහ ලේකම් රංජිත් කීවේය. 

දෙමළ හා මුස්ලිම් පක්ෂ නොමැති මෑත කාලීන දෙවැනි ආණ්ඩුව වන්නේ මෙයයි. මෙයට පෙර ගෝඨාභය රාජපක්ෂ රජයට ද සුළු ජාතික පක්ෂවලින් තොරව ආණ්ඩුවක් පිහිටුවීය. එහෙත් වත්මන් රජය සමග උතුරේ දේශපාලන කටයුතුවල දී මෙම කුඩා පක්ෂවල අනෝන්‍ය අවබෝධයක් ඇති අතර අනාගතයේ එළැඹෙන මැතිවරණයක දී මෙම පක්ෂ මාලිමාව සමග එක්ව පොදු සංධානයකට එළඹේදැයි දේශපාලන අංශ අතර කතාබහට ලක්ව ඇත.

විපක්ෂයේ කුරුණෑගල ජනහමුව

විපක්ෂය පවත්වාගෙන යන ජනහමු මාලාවට කුරුණෑගලින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද එකතු වූයේ විශාලතම ජනහමුවක් කුරුණෑගල නගර ශාලාවේ දී පවත්වමිනි. ශාලාවේ දෙදහසක පිරිසක් ද පිටත තවත් දහසකට ආසන්න පිරිසක් ද  රැස්ව සිටියේ විපක්ෂයට පිබිදීමක් ඇති කරමිනි. දයාසිරි සමග  එක්ව අසංග නවරත්න ද මෙම ජනහමුව සාර්ථක කරගන්නට වෙහෙස විය.

මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත්, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් කොළඹින් පැමිණි අතර ජයරත්න හේරත්, ඩී.බී. හේරත් හා උදයන කිරිඳිගොඩ අලුතෙන්ම පැමිණ මෙම වැඩපිළිවෙළට එකතු වූහ. ඉහළ අධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම ආදිය ගැන දයාසිරි  දිගු කතාවක් කළ අතර මාලිමා රජය යටතේ බිහිව ඇති හොරුන් අනාගත රජයක් යටතේ සිරගත කරන බව දයාසිරි එහි දී කියා සිටියේය.

ලංකාව ගැන නාමල් සිංගප්පූරුවේ දි කී දේ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඉකුත් සතියේ විදේශ සංචාර දෙකක් යෙදී තිබුණේය. ඒ මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ දරුවකුගේ විවාහ මංගල්‍යයට සහ සිංගප්පූරුවේ සමුළුවකට සහභාගිවීම සඳහාය. මාලදිවයිනේ විවාහ මංගල්‍යයට සිය බිරිඳ ලිමිනි ද සමග සහභාගි වූ නාමල් හිටපු ජනාධිපතිවරයා ද හමුවී නව යුවලට සුබපතා  සිංගප්පූරුවේ සමුළුවට සඳහා පිටත්ව ගියේය.

ගෝලීය පෙරදින ආර්ථික සහයෝගීතා සමුළුව  නමින් පැවැත් වූ එම සමුළුවේ දී නාමල් විශේෂ දෙසුමක් පැවැත්විය. ඔහු එහිදී කියා සිටියේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පියවර ගත යුතු බවය. ලෝකය නව යුගයකට ආවතීර්ණ වෙමින් පවතින බැවින් ආසියාව මැද පෙරදිග සහ අප්‍රිකාව  යා කරන ප්‍රධාන ආර්ථික හා උපාය මාර්ගික මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්විය යුතු යැයි  නාමල් සමුළුවේ දී කියා සිටියේය.

ඉන්දියන් සාගරය සියවස් ගණනක් පුරා විවිධ ශිෂ්ඨාචාර එකිනෙක යා කළා. දැන් එමගින් අනාගතය කරා යා යුතුයි...’’නාමල් කියා සිටියේය. ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමරිකානු නියෝජිත කර්ට්ස් එස්. වින් මහතා ද නාමල්ට එහිදී හමු වූ අතර ඔහු සමග පැවැති සංවාදයේ දී නාමල් පෙන්වා දුන්නේ ශක්තිමත් සබඳතාවක් තුළින් ලොව ප්‍රධාන කලාප අතර විශ්වසනීය පාලමක් බවට ලංකාව පත් කිරීම තම දැක්ම බවය.
සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ ද සමග නාමල් එම සතියේම කලාපුරට ගියේ විශිෂ්ට රංගධරයකු වන සිරිල් වික්‍රමගේගේ සුවදුක් බැලීමටය. සිරිල් වික්‍රමගේ තම නිවසේ  සාලයටම පැමිණ නාමල් පිළි ගත්තේය.
‘‘මෙතුමා බලන්න මම ගොඩක් දවස ඉඳල එන්න හිටියේ. ’’නාමල් කීවේ පවුලේ අය සමග සුහද පිළිසඳරක නිරත වෙමිනි.

ඉන් පසු එම පවුලේ අය විමසුවේ හිටපු ජනපති මහින්දගේ සුවදුක් පිළිබඳවය. ‘‘තාත්ති හොඳින්  ඉන්නවා.’’ නාමල් කීවේය. එම නිවසේ සෑහෙන වේලාවක් ගත කළ නාමල්ට තේ පැන් ද පිළිගැන්විණි. 

විනිසුරුවන්ගේ වයස 

අධිකරණ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ කාරණය නිසා පලංචියේ කුඤ්ඤය ගැලවීමට ගිය වඳුරාට වූ දේ ආණ්ඩුවටත් සිදුවීමට යන බවට බොහෝ විද්වතුන් අනතුරු හඟවන්නේ යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමුවේ සඳහන් කළේය.

ඔව්, දැන් රජයේ සේවකයෝ ඒ අයටත් 67 වෙනතුරු සේවා දිගුවක් දෙන්න කියලා ඉල්ලන්න යනවා.මේක අගක් මුලක් නැති අර්බුදයක් වෙන්න යන්නේ”‍රනිල් කීය.

ඊට පිළිතුරක් ලෙස රත්නප්‍රිය කීවේ හෙද සේවයද විශ්‍රාම වයසේ දිගුවක් ඉල්ලීමට කටයුතු කරන බවයි.

රනිල් කීවේ අදාළ කාරණයට කැබිනට්ටුවේ පවා විරෝධතාවක් ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවයි. ”‍පැලවත්තට කලාකාරයෝ ගෙන්නලා ඒ අය එක්කත් කතා කරල තියෙන්නේ අධිකරණයේ පත්කිරීම් ගැන කියලා ආරංචියි. කලාකාරයෝ ගිහිල්ල තියෙන්නේ ඒ අයගේ ප්‍රශ්න, චිත්‍රපට ක්ෂේත්‍රයේ අර්බුද ගැන කතා කරන්න.අන්තිමට කතා කරන්න වෙලා තියෙන්නේ අධිකරණය ගැන.ඒ අය තුෂ්නිම්භූත වෙලා තමයි එළියට බැහැලා තියෙන්නේ, මාන්නප්පෙරුම කීවේ පිරිස අතර සිනහවක්ද මතු කරමිනි.

අධිකරණ ඇමතිට අස්වෙන්න ඉඩ නොදී තියා ගත්තෙත් මේ කාරණයට තමයි”‍හරීන් කීය.

ප්‍රංශය

ජනාධිපතිගෙ ප්‍රංශ ටුවර් එකත් නැවතිලා තියෙනවා”‍ වජිර කීවේ තවත් මාතෘකාවක් මතු කරමිනි.

හේතුව කුමක්දැයි රනිල් විමසූ විට දිනිත් කරුණාරත්න කීවේ මේ මොහොතේ ජනපති රටේ සිටිය යුතු නිසා ගමන කල් දැමුණේ යැයි ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබෙන බවයි.

ඇත්තෙන්ම ජී.එස්.පී ප්‍රශ්නය ප්‍රංශය එක්ක කතා කරලා වැඩක් නෑ.ඒක කතා කරන්න ඕන බ්‍රසල්ස් වල.ඒ වගේම එංගලන්තේ එක්ක කතා කරන්න ඕන. යුරෝපය දෙන විදිහට තමයි එංගලන්තයත් ජී.එස්.පී දෙන්නේ. බ්‍රසල්ස්වලට යන්නෙ නැතුව ප්‍රංශෙට ගිහින් වැඩක් නෑ. මොකද ඒක බ්‍රසල්ස් වල විෂයක්”‍ රනිල් කීවේ තමාද වරෙක මැදිහත්වී ජී.එස්.පී ලබා ගන්නට කටයුතු කර ආකාරය ගැන සිහිපත් කරමිනි.

මිනිස්සු කියන්නේ මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව ඇමතිවරයා විතරක් නෙමෙයි පොලිස් ඇමතිත් ගෙදර යන්න ඕන කියලයි.මොකද පොලිසිය එව්වෙ එයානේ.ඇයි මම විතරක් යන්නේ පොලිසිය ගෙනාවෙ විජේපාලනේ කියලා හර්ෂණ නානායක්කාර පැලවත්තේ දි වාද කරලා තියෙනවා කියලත් ආරංචියි ”‍ රත්නප්‍රිය කීය.

අනෙක් කාරණය ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වෙ නෑ   ඒක  ජනාධිපතිගේ වරදක්”‍රනිල් සඳහන් කළේය.

​රීඩ් විත් රනිල් 

රීඩ් විත් රනිල් සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු වැඩසටහන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බදාදා සවස පැවැත්විණි. එය සංවිධාන කෙරුණේ හරීන් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙනි. ඇප් එකක් මගින් ලියාපදිංචි කෙරුණු 400ක ට අධික තරුණ තරුණියෝ එහි පැමිණ සිටියහ.ඔවුනට ඍජුවම රනිල්ගෙන් ප්‍රශ්න අසන්නට එහිදී අවස්ථාව සලසා තිබිණි. තරුණ තරුණියන්ගෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න සියල්ලටම රනිල් උත්තර දුන්නේය. නායකයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න අහන සම්ප්‍රදායක් ක්‍රියාත්මක වන්නේ දියුණු රටවලයි.දේශපාලන පක්ෂයක් විසින් ලංකාවට එවැනි ක්‍රමයක් හඳුන්වා දුන්නේ පළවෙනි වතාවට බව එය නැරඹූ බොහෝ දෙනෙක් කීහ. එහිදී තරුණ තරුණියෝ රනිල් සමග සෙල්ෆි ඡායාරූප වලටද පෙනී සිටියහ.

එය ඉතා සාර්ථක වැඩසටහනක් විය.රනිල් පැය දෙකහමාරකට ආසන්න කාලයක් එහි රැඳී සිටියේය.

ඒකාබද්ධයේ මතය 

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සහ මීගමුව බන්ධනාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු අටකින් යුතු ඒකාබද්ධ ප්‍රකාශයක් බදාදා බාර දුන්නේය.
දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නායකයන් 14 දෙනකුගේ අත්සනින් යුතු එම ඒකාබද්ධ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේට කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේදී බාර දෙනු ලැබීය.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක කමිටු සාමාජික කීර්ති තෙන්නකෝන් ඇතුළු නායකයෝ මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළහ.

අනතුරුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මහාචාර්ය ජී.එල් පීරිස් පැවසූයේ රටේ මේ වනවිට උද්ගත වී තිබෙන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ බවයි.

අධිකරණ ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ලංකාවේ කිසිම කෙනෙක් විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට ඉල්ලීම් කරන්නේ නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාට අපි දැනුම් දුන්නා. නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. සිවිල් සමාජය, මහේස්ත්‍රාත්වරුන්, මන්ත්‍රීවරුන්, මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තියෙනවා. එසේනම් කාගේ උවමනාවට ද මේවා කරන්නේ? 

දෙවැනි කාරණාව මේ සමස්ත ක්‍රියාදාමයේ කිසිම විනිවිදභාවයක් නැහැ. මේ කරන්න හදන්නේ කුමක්ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.මෙතෙක් දුරට රජය පැත්තෙන් මේ සංශෝධන ගැන නිශ්චිත ප්‍රකාශයක් කරලා නැහැ.

2021 වසරේ එක්සත් රාජධානියේ මෙවැනිම උත්සාහයක් ගත්තා. අවසන් නිගමනයකට එන්න වසර එකහමාරක් ගියා. ජනතාවට, විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවට සහ ප්‍රධාන විශ්ව විද්‍යාල වලට අදහස් ප්‍රකාශ කරන්න කිව්වා. මේ සඳහා ප්‍රතිචාර 1200ක් පමණ ලැබුණා. ඒ සියල්ලක්ම බොහොම ගැඹුරෙන් අධ්‍යයනය කරලා තමයි අවසාන තීරණයකට එළැඹුනේ. 

නමුත් අපේ රටේ එහෙම කිසිම දෙයක් නැහැ. මේ පිළිබඳ කෙටුම්පතක් සමාජයේ නැහැ. රජයේ අරමුණ කුමක් ද? යෝජනා කරන්නේ මොන විදිහේ ප්‍රතිසංස්කරණ ද? සංශෝධනයන් මොනවාද කියලා කිසිසේත්ම පැහැදිලි නැහැ. මෙය මේ විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වගවීම් සහ විනිවිදභාවය මෙතන වැදගත් වෙනවා.
විනිසුරුවරුන්ට පමණක් නොව නීතිඥයින් ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ අයටත් තව අවුරදු දෙකකින් ධූර කාලය වැඩි කරලා දෙන්න කියලා. දැන් අපේ රටේ රෝහල්වල ශල්‍යකර්ම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා, මොකද විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් තියෙනවා, ඒ අය රට හැර ගිහින්. ඒ අයගේ සේවා කාලයත් මේ විදිහටම තව අවුරුදු දෙකකින් වැඩි කරන්න පුළුවන්. 

මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. මක් නිසාද යත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සමානතාවය පිළිබඳ සංකල්පය ගැබ්වෙලා තියෙනවා යනුවෙන්ද ජී.එල්. සඳහන් කළේය.

එමෙන්ම සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නට ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ තීරණය කළහ.

රාජදූත