
තෙල් පෝලිම් මැදවිශ්වාසභංග
මැද පෙරදිග යුද ගැටුම් නොකඩවා ක්‍රියාත්මක වන අතර ලංකාවේ ආණ්ඩුව හා දේශපාලන පක්ෂ අතර සුපුරුදු මත ගැටුම ද නොකඩවා ක්‍රියාත්මක වෙයි. යුද්ධයත් සමග මෙරට අර්ධ වශයෙන් අක්‍රීය වෙමින් පවතී. ඉකුත් සතියේ ප්‍රධානම ප්‍රශ්නය බවට පත්වූයේ ඉන්ධන සැපයුමයි. ජනතාව දැඩි අසීරුවකට පත්ව සිටිද්දී ආණ්ඩුව ද විපක්ෂයද සුපුරුදු වාග් හරඹවලින් එකිනෙකාට පහර දෙමින් සිටියි.
ඇමරිකාවේ ප්‍රහාරයකින් ලංකාවට අයත් මුහුදු සීමාවේ දී ගිල්වා දැමූ ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ සිරුරු යළි ඉරානයට භාරදීමට රජය ඉකුත් සතියේ පියවර ගත්තේය. එම අවස්ථාවේ දී විපක්ෂයේ ඇතැමුන් ප්‍රචාරය කළේ මියගිය නාවිකයන්ගේ මළසිරුරු යළි ඉරාණයට භාර නොදෙන්නැයි ඇමරිකාව බලපෑම් කර ඇති බවය. එහෙත් ශ්‍රී ලංකා රජය ඉරාන සෙබළුන්ගේ සිරුරු යළි එම රටට භාර දුන් අතර ඇමරිකාවෙන් කිසිදු විරෝධයක් මතු වූයේ ද නැත.
මැද පෙරදිග අර්බුදයත් සමග ඇති විය හැකි තෙල් මිල සහ ගෑස් මිල ඉහළ යාමත් ඉන්ධන හිඟයක් පාලනය කර ගැනීමට රටක් ලෙස මුහුණ දෙන ආකාරය සැලසුම් කිරීමට ජනාධිපතිවරයා ඉකුත් දෙසතියේ දැඩි වෙහෙසක් දැරීය. අමාත්‍ය මණ්ඩලය මගින් පත්කළ විශේෂ කමිටු නිරතුරුව රැස් කරමින් ගත යුතු පියවර ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
‘‘මේ වගේ ලෝක මට්ටමේ අර්බුදයක දී අප වැනි රටවල ආර්ථිකයට එල්ල වන්නේ සුළුපටු හානියක් නොවේ. බලශක්ති අර්බුදයත් එක්ක නිෂ්පාදන ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. අපි ඒක වළක්වා ගන්න ඕනෑ. ‘‘ජනාධිපතිවරයා නිරතුරුවම අදාළ නිලධාරීන්ට පැවසීය. වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහට නිරතුරුවම කතා කළ ජනාධිපතිවරයා ඔහු සමග සාකච්ඡා කරමින් අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීම ගැන සොයා බැලුවේය.
‘‘වසන්ත මොකද වෙන්නේ? මොනව වුණත් මිනිසුන්ට කන්න බොන්න අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ අඩුවක් වෙන්න බෑ...’ ජනපති කීවේය.
“අර්බුදයක් තියෙනවා. ඒත් සහෝදරයා අපි ආනයනය කරන සමාගමුයි අනික් සමාගමුයි ගෙන්වල කතාකරමු. ආහාර සුරක්ෂිතතා කමිටුවක් අපි නිතර කැඳෙව්වනේ. ඒ නිසා මං හිතන්නෙ නෑ ලොකු අර්බුදයක් වෙයි කියලා...’’ වසන්ත සමරසිංහ ඇමැතිවරයා කීවේය.
“ඔව් ඒක හොඳයි... ඉක්මනින්ම වෙලාවක් දාගෙන අපි කට්ටිය කැඳවලා කතා කරමු.’’ ජනපති කීවේය.
ජනපති ලාල් කාන්තට කතා කළ විට ද ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි. හැමදෙනාම ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමනි යැයි කතා කළද දුරකථන ඇමතුම්වල දී කතා කළේ පුරුදු ලෙස කටපුරා අනුර සහෝදරයා යනුවෙනි. ජනපතිත් තම සගයන්ට කතා කළේ සුපුරුදු ලෙස සහෝදරයා යන යෙදුමෙනි.
“අනුර සහෝදරයා....දැන් අපට පොහොර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ඒ ගැන සොයා බලන්න වෙනවා. ‘‘ලාල් කාන්ත ඇමැතිවරයා කීවේය. ජනපති කීවේද එම කතාවමය. ආහාර ගෙන්වන සහ නිපදවන සමාගම්වලින් ආහාර හිඟයක් ගැන අදහස් පළ නොවූවද පොහොර සමාගම්වලින් පළවූයේ මේ මොහොතේ වෙළෙඳ පොළ තත්ත්වය තුළ පොහොර මිල වැඩි කළ යුතු බවය.
“මේ වෙලාවේ ජනතාව ගොඩක් අසරණ වෙනවා. තෙල් මිල ඉහළ ගිහින් ගෑස් මිලත් ඉහළ ගිහින් තියෙද්දී ඒකට සාපේක්ෂව අනෙක් හැමදේමත් ඉහළ යනවා. ඒත් ජනතාවගෙ ආදායම ඉහළ යන්නේ නැහැනේ. එහෙම තියෙද්දී පොහොර මිල ඉහළ දැම්මොත් ගොවියා තවත් අමාරුවෙ වැටෙනවා. ඒ විතරක් නොවෙයි වී මිල ඉහළ ගියාම පාරිභෝගිකයා යළිත් අමාරුවෙ වැටෙනවා. ඒ නිසා අපි මේ වෙලාවෙ සාධාරණයක් කරමු. පොඩි සෙලවීමකිනුත් ජනතාව කලබල වෙනවා. පරණ අත්දැකීම් එක්ක ඒ නිසා අපි දෙපැත්තටම අවම හානිය වෙන්න දෙන්න පුළුවන් අවම මුදලට පොහොර දෙමු.’’ ජනපති දිග විස්තරයක් කරමින් කීවේය. පොහොර සමාගම් නියෝජිතයන්ගේද විවිධ අදහස් පළ විය. අවසානයේ ඔවුන් එකඟ වූයේ යූරියා මිටියක් රුපියල් 9500කට ලබාදීමටය.
ඉන්පසුව සාකච්ඡා වූයේ රජයේ වැඩ කරන දින ගණන සීමා කර ඉන්ධන ඉතිරි කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනය. බදාදා දිනය නිවාඩු දිනයක් කිරීමට තීන්දු වූයේ ඒ අනුවය. ඊළඟ ප්‍රශ්නය වූයේ පැමිණීමට නියමිත ඉන්ධන නැව් දෙකක් ප්‍රමාද වන බවය. මේ නිසා හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදයක් මගින් ටෙන්ඩර් කැඳවා අවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනීමට රජය කටයුතු කළේය. ජනාධිපතිවරයා ජනතාව අමතා රටේ ඇති වී තිබෙන තත්ත්වය පැහැදිලි කළේ ඉන් පසුවය. මීට පෙර ඉන්ධන පෝලිම් ඇතිවූ අවස්ථාවේ මැති ඇමැතිවරුන්ට පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමේ පහසුකම් සලසා තිබු අතර රජය මෙවර එවැනි පහසුකම් සැලසීමක් සිදු කළේ නැත. රජය පැවසුවේ පොදු ජනතාවට ලැබෙන ඉන්ධන කෝටාව යටතේම රජයේ බලධාරීන්ටත් ඉන්ධන ලබා ගත යුතු බවය.
කෙසේ වෙතත් කිව් ආර්. ක්‍රමයට ඉන්ධන ලබාදීමට රජය කටයුතු කළත් දින කිහිපයක් යන තුරුම එම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. ප්‍රධාන ගැටලුව වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක කර ගැනීමේ දුෂ්කරතාවය. ඇමැතිවරයා ඒ වන විට ඉන්දියාවට ගොස් සිටි අතර ඔහු එහි සිටම සම්බන්ධ වෙමින් තත්ත්වය පාලනය කර ගැනීමට උත්සාහ දැරීය.
දුරකථන අංක මාරුවී තිබීම නිසා කලින් පැවැති කිව්.ආර්. කේත ගිණුම් ලක්ෂ 16ක්ම භාවිතයට ගැනීමට නොහැකි විය. එම අභියෝගයට ද මුහුණ දීමට ඩිජිටල් අමාත්‍යංශයට සිදුවූ අතර දුරකතන සමාගම් සමග එක්ව එම ගිණුම් ලක්ෂ 16ම අවලංගු කර අලුතෙන් ලියාපදිංචි කිරීමට සිදුවිය.
සජබෙ කළමනාකරණ කමිටුව
සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඉකුත් සතියේ කැඳවීමට සජබ නායක සජිත් ප්‍රේමදාස තීන්දු කළේ රටේ පවතින තත්ත්වය සාකච්ඡා කිරීම අරමුණු කරගෙනය. රැස්වීම ආරම්භ කරමින් සජිත් තමාට සමාජයේ දී දැන ගන්නට ලැබුණු දේ විස්තර කළේය.
‘‘මම ජනතාවට, වෙළෙඳ ප්‍රජාවට රාජ්‍ය සේවකයන්ට ඇහුම්කන් දුන්නා... එතැන දී පෙනෙන දේ තමයි ආණ්ඩුව ලොකු උද්ධච්ච කමකින් ඉන්නවා කියන එක. අනික් එක තමයි මේ ආණ්ඩුවෙ කිසි දේකට සූදානමක් නෑ. ප්‍රශ්නයක් ආවම තමයි ඒකට සූදානම් වෙන්නෙ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට තර්ජනය කරමින් සිටියේ දැනට මාස ගණනකට කලින් ඉඳලා. එතකොට ආණ්ඩුවට තිබුණා තෙල් පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් විකල්ප මොනවද කියන එක ගැන බලන්න. මෙයාල මොකද කිව්වෙ. අපිට තෙල් ප්‍රශ්නයක් එන්නෙ නෑ. අපි ඉන්දියා වෙනුයි සිංගප්පුරුවෙනුයි ගන්නෙ කිව්වා. එයාලට තෙල් එන්නෙත් මැද පෙරදිගින් අනුර විපක්ෂයේ දී කිව්වෙ අපිට තෙල් ටැංකි අනු නවයක් තියෙනවා. අපේ ආණ්ඩුවකට එච්චර ඕනෙ නෑ. අපි තෙල් මිල අඩුකරනවා. බදු අඩුකරල සහන දෙනවා කිව්වා. එහෙම දිගටම ජනතාව රැවටීමයි කළේ. දැන් ගල් අඟුරුවලින් මහා වංචාවක් වෙලා තියෙනවා. ඒක යටපත් කරන්න හදනවා මැද පෙරදිග යුද්ධයට මුවා වෙලා. විපක්ෂනායක සජිත් කියා සිටියේය.
‘‘මෙතන ප්‍රශ්න දෙකක් මතු වෙනවා. නායකතුමනි, ආණ්ඩුව හදන්නෙ තෙල් මිල ආයෙ වැඩි කරන්න. යුද්ධය නිසා තෙල් මිල ඉහළ ගියා කියලයි වැඩි කරන්න හදන්නෙ. ඒක වැරදියි. මෙයාල කිව්වනෙ පසුගිය ආණ්ඩු තෙල්වලින් අධික ලෙස බදු ගහලා ලාබ ගන්නවා කියලා. එයාල ඇවිත් බදු අඩු කරනවා කිව්වා... එයාල බලයට ආවත් බදු අඩු කළේ නෑ, දැන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් එකසිය විස්සක බද්දක් ගන්නවා. තෙල් මිල වැඩි කිරීම වෙනුවට මේ බද්ද අඩු කළානම් තෙල් මිල වැඩි කරන්න ඕනෑ නෑ... භාණ්ඩාගාරය උතුරන්න සල්ලි තියෙනව කිව්වා. ඇයි එහෙනම් මේ අසීරු අවස්ථාවෙ ජනතාවට අධික බර පටවන්නෙ කියන කාරණය අපි මතු කරන්න ඕනෑ.’ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියා සිටියේය.
“ඒක හරි අපි ඒක ජනතාවට පෙන්වා දෙන්න ඕනෑ. දැන් විදුලි බිලත් වැඩි කරන්න හදනවා. හැබැයි විදුලිබිල වැඩි කරන්න හේතුව යුද්ධය නෙවෙයි. බාල ගල් අඟුරු ගෙනත් නොරොච්චෝලෙන් නියමිත විදුලි ප්‍රමාණය නිපදවෙන්නෙ නෑ. ඒකට හරි යන්න ඩීසල් බලාගාර දුවලා ඒ බර ජනතාව පිටට දාන්න හදන්නේ..’’ විපක්ෂ නායක සජිත් කීවේය.
කළමනාකරණ කමිටුව අතර කතා බහට ලක් වුණේ එතරම් දැඩි විරෝධයක් මතු වෙද්දීත් ජනාධිපතිවරයා බාල ගල් අඟුරු ප්‍රශ්නය යට ගසන්නේ ඇයි කියාය. ඒ අනුව ඛනිජ තෙල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මෙම සතියේ භාර දෙන බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
ඉදිරියේ දී ගත යුතු පියවර ගැන සැලසුමක් සකස් කිරීමට ද තීන්දු විය. එම කටයුත්ත ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමිට භාර කෙරිණි.
‘‘අපේ ටිකක් රැස්වීම් අඩුවෙලා ඒකෙන් පක්ෂයේ යම් යම් පියවර අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා සෑම සඳුදාම කළමනාකරණ කමිටුව රැස්වීය යුතුයි කියා මගේ අදහස...’’ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යෝජනා කළේය. ‘‘ඒක හොඳයි අපි සෑම සඳුදාම හම්බවෙමු....’’ පක්ෂ නායක සජිත් කීවේය. රටේ පවතින තත්ත්වය ගැන හෙක්ටර් අප්පුහාමි මරික්කාර්, හර්ෂණ රාජකරුණා විවිධ අදහස් කියා සිටියෝය. වඩාත්ම අවධානයට ලක් වූයේ තෙල් හිඟය ගැනය. ‘‘කතානායකතුමා කිව්වා මන්ත්‍රීවරුන්ට වෙනම තෙල් ගහන්න ක්‍රමයක් හදන්න ඉන්නෙ කියලා...’’ ගයන්ත කරුණාතිලක කීවේය.
‘‘අපේ කවුරුවත් ඒකට යන්න එපා. එයාල කිව්වා මහජනතාවට නැති කිසිම දෙයක් එපා කියලයි. එහෙම කියපු අය මන්ත්‍රීන්ට වෙනම තෙල් ගහන්න හදනවානම් අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්න එපා. ගිය සැරේ මන්ත්‍රීන්ට වෙනම තෙල් දුන්නම අනුර දිසානායක ඒක දැඩිව විවේචනය කළා. කිව්.ආර්. එකයි ඔත්තේ ඉරට්ටේ දින ගානයි අනුර එදා හරියට දොස් කිව්වා. අද එයා ඒකම කරනවා. ඔය ටික ජනතාවට තේරුම් ගන්න ඉඩ දෙමු. අපි කවුරුවත් වෙනම තෙල් ගහන්න යන්න එපා.’ සජිත් කීවේය.
විශ්වාස භංගය භාරදෙයි
තෙල් අර්බුදයෙන් ලංකාවට දැවෙන අතරතුර බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා ඇමැතිවරයා තම මූලික රාජකාරිය ඉටු කිරීම පැහැර හැර ඇති බවට චෝදනා කරන විපක්ෂය මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්ම සංග්‍රහයෙන් ද උපුටා ගෙන ඔහුට තවදුරටත් චෝදනා එල්ල කර ඇත්තේ ජනතාව තැබූ විශ්වාසය පලුඳු කර ඇති බවට චෝදනා කරමිනි. පසුගිය රජයක් යටතේ පොහොර සමාගමේ රාජකාරි කළ සමයේ කළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් මේ වන විට අල්ලස් කොමිසම විධිමත් අධිචෝදනා ගොනු කර ඇති බවද කියන විපක්ෂය මෙමගින් යෝජනා කරන්නේ බලශක්ති ඇමැතිවරයා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක දිලිප් වෙදආරච්චි, හර්ෂ ද සිල්වා, ජේ.සී. අලවතුවල, ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයට අත්සන් කර ඇත. එම විශ්වාසභංග යෝජනාව ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ කතානායක ජගත් වික්‍රමරත්නට භාරදීමට ද විපක්ෂය පියවර ගත්තේය. ගයන්ත, මුජිබර්, සුජීව ඇතුළු පිරිසක් එම යෝජනාව භාර දුන්හ.
තෙල් මිල යළි වැඩි කරයි විදුලියත් කපයි
ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂවල නායකයන්ගේ හමුවක් ඉකුත් සතියේ සිදුවිය. සජබය හැර අන් පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත් වුණේ. යුද්ධයට මුවාවී ආණ්ඩුව ගල් අඟුරුවල පාඩුව ජනතාව මත පැටවීමට උත්සාහ දරන බවට එහිදී කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව විය.
හිටපු ඇමැති චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ජීඑල්. පීරිස් වජිර අබේවර්ධන, සාගල රත්නායක, සංජීව එදිරිමාන්න, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එම හමුවට සහභාගි වී සිටියහ. හිටපු ඇමැති චම්පික ගල් අඟුරු ප්‍රශ්නය පිළිබඳව දිගු විස්තරයක් ඉදිරිපත් කළේය.
‘‘මේක වංචාවක් නෙවෙයි. තනිකරම හොරකමක්.’’ හිටපු ඇමැති චම්පික රණවක කියා සිටියේය. ලංකාවේ ඇමැතිවරයා රුසියාවේ බලශක්ති ඇමැතිවරයකු හමුවූ අවස්ථාව තහවුරු වී ඇතැයි ද මෙම ගණුදෙනුවේ විශාල මුදල් ප්‍රමාණයක් පැලවත්තේ ජවිපෙ මූලස්ථානයට පැමිණ ඇතැයි ද ඇතැම් බලවතුන්ගේ ගිනුම්වලට මුදල් ලැබී ඇතැයි ද එහිදී විපක්ෂයේ දේශපාලකයන් අතර සාකච්ඡාවට ලක් විය. තවදුරටත් මේ පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතු බවද එහිදී කියැවිණ.
‘‘ඉදිරියේ දී විදුලි කප්පාදුවක් එනවා. ඒක ස්ථිරවම සිදු වෙනවා. ඒත් මේකට හේතුව යුද්ධෙ නෙවෙයි. බාල ගල් අඟුරු නිසා නිපදවන විදුලි ප්‍රමාණය අඩුයි. ඒ වගේම එම අඩුපාඩුව පිරිමහන්න ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරනවා. එම නිසා ඩීසල් ගොඩක් වැය වෙනවා. මෙමගින් විදුලි බිල වැඩි කරන්නත් වෙනවා. විදුලි කප්පාදුවකුත් එනවා. මේ දෙකම මේ මාසේ අගවෙද්දී සිදුවෙනවා. රජය පෙන්වන්න හදන්නේ යුද්ධෙ නිසා කියලා. ඒත් හේතුව යුද්ධෙ නෙවෙයි.’’ චම්පික රණවක කියා සිටියේය.
මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවට හිටපු මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. විදුලි බිල වැඩි කිරීම සිදුවන්නේ මේ වන විට ඒකක පනහට අඩු පාරිභෝගිකයන්ට ලබාදී ඇති සහනය ඉවත් කරමින් බවද එහිදී කියැවිණ. මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී කියා සිටියේ බාල ගල් අඟුරු වංචාව පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින්ද තොරතුරු ලැබී ඇති බවය.
නාමල් ඉන්දියාවේසමුළු දෙකක් අමතයි
නාමල් රාජපක්ෂට මේ සතිය ඉතාමත් කාර්ය බහුල විය. එයට හේතුව වූයේ ඔහුට ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සඳහා ඉන්දියාවට පිටත්ව යාමට සිදුවීමයි. ‘‘ඉන්ඩියා ටුඩේ 2026’’ නමින් නවදිල්ලියේ පැවැති සමුළුවට මුලින්ම නාමල් සහභාගී විය. ඉන්දියාවේ කලාකරුවන්, දේශපාලකයන් ක්‍රීඩකයන් හා තවත් ප්‍රබල චරිත ද මේ සඳහා ආරාධනා ලැබ සිටියහ. ප්‍රශ්න හා පිළිතුරු ලබාදීමේ සැසියක් ලෙස පැවැති මෙම සම්මන්ත්‍රණයට නාමල් තෝරාගෙන තිබුණේ ඔහු දකුණු ආසියාවේ නැගී එන දේශපාලනඥයකු වශයෙනි. එහිදී කතා කළ නාමල් ඉන්දීය සාගර කලාපයේ රටවල් අතර වැඩි සහයෝගීතාවක් සහ සංවාදයක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
මෙහිදී සභාවෙන් නාමල්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේ දකුණු ඉන්දීය දේශපාලනඥ යන නළු කලපති විජේ පිළිබඳවය. එහිදී නාමල් දුන්නේ අපූරු උත්තරයකි. ‘‘විජේ මගේ ප්‍රියතම නළුවෙක්. එයාගෙ දේශපාලනය ගැන මට ප්‍රශ්නයක් නෑ...’’නාමල් කීවේය.
‘‘හැබැයි විජේ කියන්නෙ කච්චතිව් ඉන්දියාවට අයිතියි කියලයි.’’ නිවේදකයා පැවසීය.
‘‘ඒක අයිති ලංකාවට. හැත්තෑව දශකයේ දී බණ්ඩාරනායක මැතිනිය අගමැතිවෙලා ඉන්න කොට ඉන්දියාව එක්ක අත්සන් කළ ගිවිසුමකින් කච්චතිව් ලංකාවට අයිතිවුණේ. අනික කච්චචිව් ගැන සාකච්ඡාවක් ඕනෑ නම් ඒක කරන්නෙ තමිල්නාඩුව එක්ක නෙවෙයි කියන එකත් මට මතක් කරන්න ඕනෑ’’ නාමල් කීවේය. ලංකාවේ ගාලු මුවදොර අරගලය ගැන නිවේදකයා විමසු අතර නාමල් කීවේ.. ‘ඔව් ඇමරිකාව අරගලයට මුදල් පොම්ප කළා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වල දීල තියෙනවා. මොකද මේක මම නෙවෙයි කියන්නෙ. එතුමාමයි. ’’නාමල් කීවේය. ඔබේ ප්‍රියතම ඉන්දියානු ක්‍රීඩකයා කවුද? එහි නිවේදකයා විමසීය.
‘‘මම කැමැති සංජු සැම්සන්. අනිෂේක් ෂර්මාට. ඒ වගේම සචින් තෙන්ඩුල්කාර්ට...’’ නාමල් කීවේය.
‘‘ඔබ ඉතා කෙළින් උත්තර දුන්නා. ස්තුතියි.’’ නිවේදකයා කියද්දී නාමල් හිස නවා ආචාර කළේය.
පසුදා ලංකාවට පැමිණි නාමල් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී එදින සවසම ඉන්දියාවට යාමට නියමිතව සිටියේය. පාර්ලිමේන්තු කොරිඩෝරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් නාමල්ට හමුවිය. ඔබතුමා මේ දවස්වල ඉන්දියාවෙමයි ඉන්නෙ නේද? සුපර් ස්ටාර් කෙනෙක් වගේ දැන් කතාව.’’ මාධ්‍යවේදියෙක් විමසීය. ‘‘ඉතින් මාධ්‍යයේ ඉන්න ඔයගොල්ල තමයි මට උදව් කරන්නෙ’’ නාමල් කීවේ ඔහුගේ පිටට තට්ටුවක් දමමිනි.
ඔහු එදිනම ‘‘ඩබ්ලිව් අයි ඕ එන්’’ සංවිධානය සූදානම් කළ සමුළුවකට නවදිල්ලියට ගියේය. එම සමුළුවේදී ද ඉන්දියානු සාගරයේ වැදගත්කම සහ ඉන්දු ලංකා සබඳතා ගැන දෙසුමක් පැවැත්විය. ඉන්දියාවේ සංචාරක ඇමැතිවරයා ද ඔහුට එහිදී මුණ ගැසිණි. දිල්ලියේ සිටි නාමල්ට එරට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයකු වන මිලින්දෝරා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය. තවත් මන්ත්‍රීවරු ප්‍රාන්ත ආණ්ඩුවල ප්‍රබලයන් ඇතුළු පිරිසක් ද එහිදී මුණ ගැසිණි.
ලංකාවට පැමිණි වහාම නාමල්ට දුරකතන ඇමතුම් ගණනාවක් ලැබුණේ ඒ වනවිට එයාර් බස් ගනුදෙනුවේ දී ගත් මුදල් මහින්ද රාජපක්ෂ ජනපතිට ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන කළ ප්‍රකාශයක් අල්ලස් කොමිසම උසාවියට දැනුම් දී ඇති බවටය. කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක් මගින් යළි දැනුම් දී තිබුණේ එම ප්‍රකාශය තමාට තර්ජනය කර කටඋත්තරය ලෙස ලියා ගත් බවටය. ‘‘ඔව්... මේ අය නාට්‍ය පෙන්නනවා. ගල් අඟුරු වංචාව ගැන තෙල් පෝලිම් ගැන අවධානය වහන්නයි මේ නාට්‍ය පෙන්වන්නේ. ජනතාව දැන් ඇත්ත දන්නවා...’’ නාමල් තමාට කතා කළ අයට උත්තර දුන්නේය.
රනිල් සිංගප්පූරුවේ
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේදීමය. ඒ ගමනේ මූලික අරමුණ වූයේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කිහිපයකට ලක්වීමයි.රනිල් සිංගප්පූරුවට යන්නට පෙර පක්ෂයේ ප්‍රධානීන් සියලුම දෙනා කැඳවීය. වජිර, තලතා, සාගල, අකිල, හරීන් ඇතුළු නායකයෝ එහි වූහ. තමා රටේ නැති කාලවකවානුවේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව රනිල් එහිදී ඔවුනට උපදෙස් ලබා දුන්නේය.
සතිපතා කළමනාකරණ කමිටුව රැස්කර තීරණ ගැනීම පිළිබඳවත්, මේ වන විටත් අරඹා ඇති පක්ෂ යාන්ත්‍රණයේ ඇතැම් වැඩ සම්බන්ධයෙනුත් රනිල් පක්ෂයේ නායකයන්ට නැවත සිහිපත් කිරීමක් කළේය.
රනිල්ට මේ ගමන යාමට සිදු වූයේ හදිසියේය. ඔහු කලින් භාරගත් වැඩ කටයුතු රාශියක් විය.හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කැඳවූ රනිල් තමාට ඊට සහභාගී වීමට නොහැකි වන හෙයින් ඒ වැඩ කටයුතු සඳහා සුබ පැතුම් පණිවිඩ ආදිය යවා මෙහෙයුම් කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය. රටේ මාධ්‍ය හැසිරීම් පිළිබඳ විස්තර දැනුම් දෙන්නැයි වගකීම පවරනු ලැබුවේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නටයි.
ජී.එල් විපක්ෂයේ අනෙකුත් නායකයන්ට කී කතාව
රනිල් පැවරූ ප්‍රධානතම වැඩකටයුත්ත භාර දුන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස්ටය.ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගෙන ඉදිරියට යන ගමන ගැන මෙහිදී විස්තර කළ රනිල් තමා රටේ නොසිටින කාලයේදී එම වැඩ කටයුත්ත වඩා හොඳින් කරගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළේය.
එහිදී රනිල් සතුටට පත්වන ආකාරයේ පිළිතුරක් ලබා දුන් ජී. එල්. වගකීම ඉතා සතුටින් භාර ගත්තේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ වාමාංශික පක්ෂ අතර සාකච්ඡාවක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. ඊට කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, නියෝජනය කරමින් පක්ෂ නායකයෝ සහභාගී වූහ.
වාමාංශික පක්ෂ නායකයන්ට අමතරව ජී.එල්.ගේ කැඳවීම පරිදි ගම්මන්පිල, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන, චන්න ජයසුමන, සර්වජන ලේකම් රන්ජන් සෙනෙවිරත්න, සුගීෂ්වර සහ ප්‍රේමනාත් දොලවත්ත සහභාගී වූහ. කොමියුනිස්ට් පක්ෂයෙන් ඩිව් ගුණසේකර, එහි සභාපති වීරසුමන වීරසිංහ සහ ලේකම් වෛද්‍ය වීරසිංහ සහභාගී වූහ.
ජී.එල්. මේ පුළුල් එකතුවේ අරමුණ පැහැදිලි කළේය. මෙහි පැමිණි වාමාංශික පක්ෂ සියල්ලටම දිගු ඉතිහාසයක් තිබෙන බව සඳහන් කළ ජී.එල්. ඒවාට අනන්‍යතාවක් තිබෙන බවද කීය. ඒ පක්ෂවල අනන්‍යතාව රැක ගනිමින් පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වීම අපේක්ෂාව බව මෙහිදී ජී.එල් සඳහන් කළේය.
“අද රට බරපතළ අර්බුදයකට මුහුණ දීලා සිටින්නේ. දැන් ආණ්ඩුව හැම දේටම යුද්දේ ඉස්සරහට දාලා ඇඟ බේරගන්නවා. නමුත් ඒක ඇත්ත තත්ත්වය නෙමෙයි. විදුලිය නැතිවීමේ විශාල අවදානමක් තියෙනවා. ආසියාවේ කිසිම රටක මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නෑ. අපේ රට මේ තත්ත්වයට පත්වීමට හේතුව වන්නේ ආණ්ඩුවේ දූෂණ සහ කළමනාකරණයක් නොමැති වීමයි.
ගල් අඟුරු වංචාව සහ ඉදිරියේදී ලයිට් කපන්නට සිදුවීමේ සෘජු සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම ගල් අඟුරු බාල වීම නිසා ලංකාවේ ඩීසල්වලින් විශාල ප්‍රමාණයක් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා වැය කරන්නට සිදු වී තිබෙනවා.ඒකත් වංචාවේ ප්‍රතිඵලයක් තමයි.
දැන් කිව්.ආර් කෝඩ් එකක් ගෙනල්ලා තිබුණත් හැම තැනම ඉන්ධන පෝලිම් තියෙනවා. මේ කිව්.ආර්. කෝඩ් එක 2023 අවුරුද්දේ හඳුන්වා දීමෙන් පසු අද වෙනතුරු එහි කිසිම යාවත්කාලීන කිරීමක් සිදුවී නැහැ. ආණ්ඩුවත් එහි තිබිච්ච එක එහෙම්මම ගෙනල්ලා අත ඇරියා මිසක් කිසිම යාවත්කාලීන කිරීමක් කළේ නෑ. ඒකෙන් තේරෙන්නේ මේ ආණ්ඩුව කිසිම දේකට සූදානමක් නෑ කියන එක. ඊළඟට තාවකාලිකව තෙල් ගන්න යනවා. ඉන්ධන නැති නිසා කෘෂි අස්වනු කපා ගන්නට නොහැකි වීම විශාල ප්‍රශ්නයක් වෙලා.තෙල් ගන්න ක්‍රමවේදයක් නැති නිසා සුනාමි, භූතයා යන්ත්‍ර ෂෙඩ් ළඟට පටවගෙන එන්න සිදුවෙලා.”
“ඉන්ධන නැත්නම් බයිසිකලෙන් වැඩට යන්නැයි ඇමතිලා දොස්තරලාට කියනවා. දැන් මේ ආණ්ඩුව රටට මහා විහිළු සපයන තැනක් බවට පත්වෙලා. සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න කිසිම වැඩපිළිවෙළක් නෑ.සමස්ත ක්‍රියාදාමයම අවුලක් බවට පත්වෙලා.
මේ අය තෙල් අර්බුදය ඇතිවෙන්න කලින් මුලින්ම කිව්.ආර් කෝඩ් එක හඳුන්වා නුදුන්නේ එහි ගෞරවය කාංචනයටත් රනිල්ටත් යාවි කියලා බයෙන්. ඒ වගේ උද්දච්ච ඉරිසියාවෙන් පිරුණු ආණ්ඩුවක් තමයි මේ.
බදාදා නිවාඩු දිනයක් කළාට ඒකත් එක්ක සමගාමීව තෙල් පරිභෝජනය අඩු කරන්න ඉදිරිපත් කළ යුතු පියවර කිසිම දෙයක් අරගෙන නෑ. සතියේ දින නිවාඩුවක් බවට පත්කිරීම මුලින්ම කළේ පිලිපීනය. ඒ උදවිය ඒක කළේ සැලැස්මකට අනුව.
ආයතන විශ්ව විද්‍යාල ආදිය වසා දැමීමේ තීරණය මුලින්ම ගත්තේ බංගලාදේශය.ඒකටත් ඔවුන්ට සැලැස්මක් තිබුණා.තායිලන්තය වියට්නාමය වගේ රටවල්ද මේවාට පියවර ගත්තා. හැබැයි ඔවුන් ඒ පියවර ගනු ලැබූයේ සමස්තයම ආවරණය වන පරිදි පුළුල් සැලැස්මකට අනුවයි.ලංකාවට එවැනි කිසිම අත්දැකීමක් නෑ.” ජී.එල්. රටේ වත්මන් තත්ත්වය ගැන එලෙස දීර්ඝ විස්තරයක් කළේය.
එහිදී වාමාංශික පක්ෂ නියෝජිතයන්ගේ අදහස වූයේ ආණ්ඩුවට මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි යන බලපෑම් කළ යුතු බවයි. මේ ආණ්ඩුව කිසිවකට ඇහුම්කන් නොදෙන බවත් නමුත් ඒ තත්ත්වය වෙනස් කරමින් අන්‍ය මතයන්ට ඇහුම්කන් දෙන තත්ත්වයකට ආණ්ඩුව ගෙන ආ යුතු බවත් පක්ෂ නායකයන්ගේ අදහස විය.
ජනතා සහන දෙන වැඩපිළිවෙළකට එකතු විය යුතු බව පක්ෂ නායකයන්ගේ පොදු එකඟතාව විය.
ජී.එල්. මෙහිදී පක්ෂ නායකයන් අමතමින් තවදුරටත් පැවසුවේ තම කණ්ඩායම මීට පෙර සජිත්, නාමල්, දිලිත් වැනි නායකයන්ද හමුවූ බවයි.
රනිල්ගේ ප්‍රතිකාර කටයුතු සිංගප්පූරුවේදී බදාදා සිදු කෙරිණ.රනිල්ට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ ප්‍රතිකාර කටයුතු සාර්ථක බවය.
වජිර මතක් කළ තෙල් ටැංකි අතීතය
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බව වජිර පසුගිය දා මාධ්‍ය හමුවකදී චෝදනා කළේය. එම තෙල් ටැංකිවල අයිතිය කාට තිබුණත් මෙවැනි අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බව වජිර එහිදී කීය.
“රනිල් පාලනය යටතේ 2002-2004 යුගයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට විධි විධාන යෙදුවා.ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ව්‍යාජ භීතියක් මවමින් ඒ කටයුතු අඩාළ කළා.නැවත වතාවක් 2015-2020 කාල වකවානුවේදී රනිල් අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය රජයේද සහාය ඇතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම නිසා එම කාර්යත් යටපත්ව ගියා.
නැවත වතාවක් රනිල් ජනාධිපතිවරයා ලෙස 2022-2024 වකවානුවේදී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයන් නිසා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ.
මේ අවස්ථා තුනෙන් එකකදී හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ අවස්ථාව ලැබුණා නම් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ඉඩ ලැබෙනවා.” වජිර එහිදී කීවේය.
හරීන්ගෙන් ආණ්ඩුවට සැර කතාවක්
හරීන් ප්‍රනාන්දු ද ඉකුත්දා කළ මාධ්‍ය හමුවේදී ආණ්ඩුවට ලුණු ඇඹුල් ඇතුව දේශනයක් කළේය.
“ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා.මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා. ඒක අපි කිව්වා කියලා හොඳට මතක තියාගන්න” හරීන් මාධ්‍ය හමුවේදී එහෙම කිව්වේ ජනාධිපතිවරයාටය.
අන්තිමට ඉතුරු වුණේ කජු කන සීයා රටට ඉතිරි කර ගිය ඩොලර් බිලියන හය විතරක් බවද හරීන් එහිදී කීය.
”අද රනිල් හිටියා නම් මොකක්ද වෙන වෙනස කියලා අහන අයට දෙන්නේ එක උත්තරයයි. බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරු පත් හැදුවේ මේ තත්ත්වය දුටු නිසයි. එවිට යූ.එස්. ඩොලර්වලින් ගනුදෙනු කළ යුතු නැහැ. නමුත් අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණා. දැන් වැඩ බැරි ටාසන්ලා වැඩ්ඩො කරපු මිනිස්සුන්ට ඉල්ලං කන්න වෙලා..” යනුවෙන්ද හරීන් කීය.
රාජ දූත

