ආණ්ඩුව - නිලධාරීන් -- ගොවියන් එකතු වුණොත් ගොඩ: නැත්තම් මඩ


නොවැම්බර් මාසය අවසානයේ දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකා මාතාව කම්පනයට පත්වූවාය. විපත සිදු වී හමාරය. දැන් ඇත්තේ අපේ වාරයයි. අප නැවත නැගී සිටිය යුතුය. කෘෂිකාර්මික රටක් හැටියට   ආහාර සුරක්‍ෂිතතාව ඇති කර ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. 

2028 වනවිට ඇමෙරිකානු ඩොලර් 5000ක ණයක් ගෙවීමට සිදුවේ. එයට සමාවක් නැත. මේ සිදු වූ ව්‍යසනය නිසා ණය ගෙවීම උග්‍ර අතට හැරේ. 2024 වසරේ පමණක් මෙරට නිෂ්පාදනය කරගත හැකි ආහාර ද්‍රව්‍ය, කිරි, සීනි, රසකැවිලි, එළවළු, පලතුරු ආදිය ආනයනය කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 1045ක් වැය කර තිබේ. එනම් ට්‍රිලියනයකට වැඩි මුදලකි. මෙම මුදල් සම්භාරය ඉතිරි කර ගත්තා නම් රටේ සංවර්ධන කටයුතු කොපමණ කිරීමට ඉඩ තිබුණා ද?

ඇතිවූ ව්‍යසනය නිසා දළ වශයෙන් කුඹුරු හෙක්ටයාර 108000ක් පමණ ද උඩරට එළවළු බිම් හෙක්ටයාර 6000ක් පමණද පහතරට එළවළු බිම් හෙක්ටයාර 11000ක ප්‍රමාණයක්ද විනාශ වී ඇත. මෙම ප්‍රමාණය මීට වැඩි විය හැක. තේ, පොල්, රබර් වගා බිම්ද විනාශ වී තිබේ.  පූර්ණ හානියට ලක් වූ කුඹුරු හෙක්ටයාර එකක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එක්වරක් පමණක් ගෙවන රැපියල් 150000.00ක්ද, එළවළු හෙක්ටයාරයක් සඳහා රුපියල් 200000.00ක්ද සත්ව ගොවිපළවල් සඳහා රුපියල් 200000.00 ගෙවීමට තීරණය කරන ලදී. මේ සම්බන්ධව ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තූතිය හා ප්‍රශංසාව පුද කරමි. මා දන්නා පරිදි මෙම මුදල ප්‍රමාණවත්ය. මෙයින් ගොවියාට නැගී සිටීමේ ඉඩකඩ ලැබේ.

මේ අවස්ථාවේ දී වී වගා කරන ගොවීන් කළ යුතු වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති මාස 2 1/2 බී.ජී. 250 වී ප්‍රභේදය වගා කිරීමය. නමුත් මෙම වී ප්‍රභේදයේ බිත්තර වී හිඟය. වගා කරන බිම් ප්‍රමාණයද සුළුය. ඊළඟට කළ යුත්තේ මාස 03 වී වගාකිරීමය. එයද ඉතා සීමාසහිත බිම් ප්‍රමාණයක වගා කිරීමෙන් බිත්තර වී සපයාගැනීම ගැටලු සහගතය. මාස 3 1/2 වී වර්ග වගා කළාට වරදක් නැත. ගොවියා සතුව තිබෙන වී පිරිසිදු කොට සකස් කර ගැනීමෙන් බිත්තර වී මේ අවස්ථාවේ පහසුවෙන් සකස් කර ගත හැක. සාමාන්‍යයෙන් බිත්තර වීවලින් සියයට 80ක් නිපදවන්නේ ගොවිජනතාවමයි. සියයට 12ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සකස් කොට අලෙවි කරයි. ඉතිරි සියයට 8 පෞද්ගලික අංශය මගින් නිපදවා අලෙවි කරයි. එබැවින් ගොවිජනතාව සතු වීවලින් පහසුවෙන් බිත්තර වී නිපදවා අඩු පාඩු හිඟ ඇත්නම් ගොවි ජනතාව අතරේ හුවමාරු කර ගත හැක.  2025/26 මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ 08ක් වගා කිරීමට ඉලක්ක කළ අතර දැනට හෙක්ටයාර 550000ක් වගා කර ඇත. සමහර ප්‍රදේශවල තවමත් වගා කිරීමට කටයුතු කරමින් සිටී. එබැවින් මේ දෙසැම්බර් මාසය ගත වීමට පෙර වී වගා කළ හොත් ලබන මාර්තු මාසයේ මැද භාගයේ සිට අවසානය තෙක් අස්වැන්න නෙළාගත හැක. මාස 3 1/2 වී වගා කළ ද අස්වැන්න ලබා ගැනීමේ හැකියාව ඇත. මේ අවස්ථාවේ දී පැළ කොට තවානේ දින 21ක් තබා පැළ ක්ෂේත්‍රයේ සිටුවනවා වෙනුවට වැපිරීම කිරීමෙන් දින 21ක වාසියක් ලබා ගත හැක. ඒ අනුව මාස 3 1/2වී වර්ග වගා කිරීමෙන් ගොවිජනතාවටත් රටටත් ඇති වූ හානිය අවම කර ගත හැක. දැනට වගා කරන ලද බිම් ප්‍රමාණයෙන් සියයට 10ක් පමණ විනාශ වී ඇති නිසා අස්වැන්නද සියයට 10-15ක ප්‍රමාණයකින් අඩුවිය හැක. සාමාන්‍යයෙන් ජාතික වී නිෂ්පාදනයෙන් සියයට 65ක් නිපදවනු ලබන්නේ මහ කන්නයේය. ඒ නිසා මහ කන්නයේ වගකීම ඉහළ අගයක පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව් 73ක් ද සාමාන්‍ය වැව් 158ක්ද ඇත. මේ සියල්ල ජලයෙන් පිරී ඉතිරී ගොස් ඇත. මේ නිසා ජල හිඟය ඉදිරි කාලයේ දී ඇති නොවේ. එසේම මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන්ගේ වී ගබඩාවලට ජලයෙන් හානි පැමිණ තිබේ. ඉදිරි කාලයේ දී සහල් හිඟයක් ඇති වේ. මේ නිසා රජයට ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල සහල් ආනයනය කිරීමට සිදු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, මන්නාරම් දිස්ත්‍රික්කවලින් ජාතික වී නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දේ. එසේම මහවැලි සී කලාපය, එච් කලාපවලින්ද විශාල දායකත්වයක් ලබා දේ. එබැවින් මෙම දිස්ත්‍රික්වලින් වැඩි දායකත්වය තවදුරටත් ලබා ගැනීම සඳහා රජයද නිලධාරීන්ද ගොවිජනතාවද එකා මෙන්ම එකමුතුව වැඩ කළ යුතුය. බිත්තර වී ගොවියා විසින් සපයාගැනීමෙන්ද කලට වේලාවට පොහොර ලබා දීමෙන්ද සහන මිලට පළිබෝධ නාශක ලබා දීමෙන්ද කලට වේලාවට ජලය ලබා දීමෙන්ද අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමෙන්ද වැටුණ කෘෂිකර්ම යළි ගොඩ ගැනීමේ හැකියාව ඇත.

උඩරට එළවළු වගාව විනාශ වීමෙන් උඩරට එළවළුවල හිඟයක් ඇති විය හැකි බැවින් ගෘහිනියන් තම ගෙවත්ත වගා බිමකට පරිවර්තනය කරගත යුතුය. දිට්වා කුණාටුව අවසන් වන විට කැරට් කිලෝ එකක් රුපියල් 3000.00ක්ද බෝංචි කිලෝ එකක් රුපියල් 2000.00ක්ද අමු මිරිස් කිලෝ එකක් රුපියල් 1000ක් ද දක්වා මිල ඉහළ නැංගේය. මේවා අතරමැදි වෙළෙන්දා විසින් සිදු කරන බව පෙනේ. එබැවින් උඩරට එළවළුවලට විකල්ප එළවළු භාවිත කිරීමට ජනතාව පෙලඹවිය යුතුය. තම ගෙවත්තේ එළවළු කිහිපයක්, අමු මිරිස්, නයි මිරිස්, පළාවර්ග කිහිපයක් පහසුවෙන් වගා කළ හැක. මල් වගාව කෙටි කලකට අතහැර ගොවි බිමක් ලෙස ගෙවත්ත ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමෙන් මෙම ආපදා අවස්ථාවේ දී ඇති වන දුෂ්කරතා මඟ හරවා ගත හැක.

විනාශය නිල්ගොයමට හරවමු

මේ අවස්ථාවේ දී 25000ක් පමණ ගොවි කාන්තා සමිති ද 14000ක් පමණ වූ ගොවි සමිතිද 3000ක් පමණ වූ තරුණ ගොවි සමාජද එක්ව එකිනෙකාට උදව් කර ගැනීම කළ යුතුය. ගොවිතැනේදී උදාර සංකල්පයක් ලෙස ඈත අතීතයේ පටන් අප අතර භාවිත වූ “අත්තම් ක්‍රමය” භාවිතයට ගත යුතුය. එහි දී සිදුවෙන්නේ එකිනෙකාට උදව් කරගනිමින් ශ්‍රමයට මුදලක් වැය නොකර එකාවන්ව එක්ව ගොවිතැන ජය ගැනීමයි. ලාංකිකයා සතු වූ මෙම සම්ප්‍රදායෙන් ගොවිතැන බැබලීමට පත් විය. අද එම පුරුදු ජනයා අතරින් ඈත්ව යන්නේ කාර්යබහුල ජීවිතයකට හුරු වීම, ගම් නියම්ගම් අර්ධ නාගරීකරණයට භාජනය වීම ඇතුළු බහුවිධ හේතු නිසාය.

සාමාන්‍යයෙන් ගොවිතැන අනතුරු දායක වන්නේ කරුණු කිහිපයක් මතය. ඉන් එකක් වන්නේ දේශගුණ විපර්යාසයි. මෙහි දී ගංවතුර, නියඟය, සුළං ආදියට ඉඩකඩ ඇත. දෙවැන්න වන්නේ පළිබෝධ හානියයි. සමහර හානි නිසා අස්වැන්න බොහෝ විට අඩු වේ. වගා පාළු වේ. විනාශ වේ. එම නිසා ගොවිතැන අවදානම් එකකි. මේ නිසා ගොවි රක්ෂණ ක්‍රම රජය මගින් හඳුන්වා දී ඇත. රක්ෂණ වන්දි ලැබුණද සමහර අවස්ථාවල පාඩුව මකා ගත නොහැක. නමුත් මෙවර ලබා දෙන වන්දි මුදලින් ගොවීන්ට නැවත නැගී සිටීමේ හැකියාව ඇත. වී හෙක්ටයාරයක් වගා කිරීමට රුපියල් 200000/=ක් 225000/= අතර මුදලක් වැය කෙරේ. ජනාධිපතිවරයා හෙක්ටයාරයකට රුපියල් 150000/=ක් ලබාදීමෙන් ගොවිජනතාවට නැගී සිටීමේ හැකියාව ලැබේ. එම මුදල ලබා ගෙන නැවත වගා කිරීමෙන් තමන්ට සිදු වූ පාඩුව අවම කර ගත හැක.

ආරක්ෂිත ගෘහවල එළවළු වගා කිරීමෙන් මෙම කාලගුණ විපර්යාස හා පළිබෝධවලින් සිදුවන හානි අඩුකර ඉහළ ආදායමක් ලබා ගත හැක. නමුත් සෑම ගොවියකුටම එවැනි ආරක්ෂිත ගෘහ තනාගැනීමේ හැකියාවක් නැත. රජයෙන් සීයට 50ක සහනයක් ලබා දෙමින් පසුගිය කාලයේ දී ආරක්ෂිත ගෘහවල වගාව ප්‍රචලිත කළද සෑම භෝගයකටම එය භාවිත කළ නොහැක. එසේම වර්ග අඩි 1000ක ආරක්ෂිත ගෘහයක් තනා ගැනීමට රුපියල් 1000000/=ක පමණ මුදලක් වැය කෙරේ. රජයෙන් සීයට50ක දායකත්වයක් ලැබුණද ගොවියා රුපියල් 500000/= වැය කළ යුතුය. මෙය සෑම ගොවියාටම කළ නොහැකි අතර සෑම තැනම මෙම ආරක්ෂිත ගෘහ සකස් කළ නොහැක. එබැවින් හැකි අය මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුය.

සත්ව නිෂ්පාදන ගොවිපළවල්ද විශාල වශයෙන් හානියට ලක්විය. මේ නිසා කුකුළු මස්, බිත්තර මිල ඉදිරි කාලයේ දී ඉහළ යා හැක. රුපියල් 26/=ට තිබූ බිත්තරය රුපියල් 36/= දක්වා ඉහළ ගොසිනි. කුකුළුමස් කිලෝ එකක් රුපියල් 1000/= සිට 1400/= දක්වා ඉහළ ගොස්ය. පාරිභෝගික ජනතාව මේ ගැන අවධානය යොමු කර මේවා ඉහළ යන විට විකල්ප ද්‍රව්‍ය භාවිත කිරීමට පුරුදු විය යුතුය. එසේ නොවුණ හොත් කබලෙන් ළිපට වැටුණා මෙන් විය හැක. 

රජයේ සංඛ්‍යා ලේඛන අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට කෑමට පමණක් මසකට රැපියල් 120000/=ක් අවශ්‍ය කෙරේ. දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ මෙම තත්ත්වයෙන් ආර්ථික තත්ත්වය තවත් උග්‍ර අතට හැරීම සිදුවිය. රජය මෙන්ම පොදු මහජනතාවද අසීරුතාවට පත් විය. ශ්‍රී ලංකාව නොයෙකුත් ආහාර ද්‍රව්‍යවලින් පූර්ණ වූ රට වට කොට මත්ස්‍ය සම්පත ඇති රටකි. එබැවින් විකල්ප ආහාර ද්‍රව්‍ය කෙටි කලක් සඳහා භාවිත කළ හැක. උඩරට එළවළු වෙනුවට පහතරට වෙනත් එළවළු, ධාන්‍ය වර්ග, අල වර්ග ආහාරය සඳහා සපයා ගත හැක.

රජයද වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුය. ග්‍රාම සේවා වසම් 14013හි වහාම ගෙවතු වගාව ආරම්භ කළ යුතුය. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය බීජ සහ රෝපණ ද්‍රව්‍ය ලබා දීමද කලට වේලාවට සහන මිලකට ගෙවතු, පොහොර ලබා දීමද කළ යුතුය. පසුගිය කාලවලදී “අපි වවමු රට නගමු” යනුවෙන් සිදු කරන ලද වගා සංග්‍රාමය මහත් ඵල දරන ලද ව්‍යාපෘතියකි. මෙහි සාර්ථකභාවය නිසා රට සහලින් ස්වයංපෝෂිත විය. 2010/ 2011/ 2012/ 2013 යන වසරවල රජයේ දත්ත සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් මේ බව දැනගත හැක. මෙරට නිපදවිය හැකි ද්‍රව්‍ය ආනයනය කිරීම බොහෝ දුරට එකල අඩු විය. මෙම වැඩසටහන කොතරම් සාර්ථක වූවාද කියතොත් ලෝක බැංකුවේ ප්‍රශංසාවට ලක් විය. එපමණක් නොව ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ලොව අනෙකුත් රටවලට අදාර්ශයට ගන්නා ලෙසද ඉල්ලීමක් කළේය. මෙය අප එකල ලද විශිෂ්ට ජයග්‍රහණයකි. 

රාජ්‍ය අංශය අත්වැල් බැඳ ගත යුතු රාජ්‍ය ආයතන ගණනාවක්ද තිබේ. ඒවා එකාවන්වට සාමූහිකව, වැඩ කළ යුතුය. මේ කාර්යයෙහිලා කෘෂිකර්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂි දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ප්‍රාදේශීය ලේකම් වරු, දිස්ත්‍රික් ලේකම් වරු සාමූහිකව කටයුතු කළ යුතු අතර ජනාධිපතිවරයා හෝ සුදුසු ප්‍රබුද්ධයකු මෙම ව්‍යාපෘතියට නායකත්වය සැපයිය යුතුය. එසේ නොමැති නම් එය ලත් තැනම ලොප් විය හැක.

මෙම ආපදාවෙන් ගොඩ ඒම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩසටහනක අවශ්‍යතාව පැහැදිලිය. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවාස්‍ී ජනතාවට හොඳ පාඩමක් බව අවධාරණය කළ යුතුය. යළි නැගිටීම අප සතු වගකීමකි. යුතුකමකි. 1948 නිදහසින් පසු නැගිටින්නට බැරි වී, 2005 සුනාමියෙන් ද නොනැගිටි අප 2025 දිට්වා සුළි කුණාටුවෙන් නැගිටියිද යන්න සැක සහිතය. කෙටි කලකින් මෙය මහජනතාවට අමතක විය හැක. කෙසේ වෙතත් මෙය සාමූහික ප්‍රසන්නයක් විය යුතු අතර එයින් ජයග්‍රහණය හා සෞභාග්‍යය ළඟා කර ගැනීමට හැකි බව අවධාරණය කරමි.

කේ.බී. ගුණරත්න
හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂ