
- පාස්කු මහමොළකරු මම හෙළි කරනවා
- පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල
පාස්කු ප්‍රහාරය මහ මොළකරුවන් ගැන ලබන 31 වැනිදාට පොතක් මගින් අනාවරණය කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. මේ ඒ ගැනත් බලශක්ති අර්බුදය ගැනත් ඔහු සමග කළ සාකච්ඡාවකි.
රටේ ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
පිළිතුර – අද අපේ රට මුහුණ දෙන බලශක්ති අර්බුදය 2022 දී පැමිණි බලශක්ති අර්බුදයට සාපේක්ෂව අඩු අර්බුදයක්. මෙතැන තියෙන්නේ අර්බුදය කළමනාකරණය පිළිබඳව ආණ්ඩුවට අත්දැකීම් නොමැතිවීමයි. අපි ගත්තොත් 2022 දී ලෝක අර්බුදයක් වෙච්ච කෝවිඩ් අර්බුදයෙන් පස්සේ තමයි අර්බුදය ආවේ. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් අර්බුදයෙන් පස්සෙ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණ පාන්න වෙන්නේ. එය ආණ්ඩුවෙ පාලනයෙන් තොර කාරණයක්.
මේ අර්බුදයත් එහෙමම තමයි. මේක ආණ්ඩුව ගෙන්වා ගත්ත අර්බුදයක් නොවෙයි?
පිළිතුර – මේක තේරුම් ගන්න ඕනැ ඔය විදියට නොවෙයි. වර්තමාන ආණ්ඩුව ‘‘ඉරාන යුද්ධය නිසා අපි අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා’ කිව්වත් එදා යුද්ධ දෙකක් තිබුණා. රට ඇතුළේ තිබුණ ඩොලර් නැතිකමේ යුද්ධයත් රටින් පිට යුක්රේන යුද්ධයත් ඒ වගේම ගාසා තීරයේ යුද්ධයත් කියන දෙකම තිබුණා.
එදා තෙල් මිල මීට වඩා බරපතළ ලෙස ඉහළ ගියා. ඒ නිසා එදා අර්බුදය මීට වඩා තීව්‍රයි. ඒ වගේම ඔබට පේනවා අද ලංකාව බොහොම බරපතළ සලාක ක්‍රමයක් හඳුන්වාදීලා තිබුණට Q-R ක්‍රමය යටතේ බොහොම බරපතළ සීමා කිරීමකට ලක් කළාට ලෝකයේ අන් රටවල් එහෙම දෙයක් කරලා නෑ.
ලංකාවේ එහෙම කරන්න හේතුව මොකක් ද?
පිළිතුර – ඒකට හේතුව අපේ රටේ තියෙන්නෙ කළමනාකරණය කිරීමේ අර්බුදයක් නිසා. ඒ නිසා ආණ්ඩුව උද්ධච්චකම අතහැරලා තමන්ට ‘‘අත්දැකීම් නෑ’’ කියන කාරණය තේරුම් අරගෙන අත්දැකීම් ඇති අයත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට ජාතියක් හැටියට මුහුණ දෙන්න සූදානම් නම් මේ අර්බුදය පියමන් කිරීම අපහසු කාරණාවක් නොවෙයි.
ජනාධිපති අනුර කුමාර පසුගිය අඟහරුවාදා මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වේ කිසි දෙයකට භය වෙන්න එපා. සියල්ල හොඳින් කළමනාකරණය කරලා තියෙන්නේ’’ කියලා?
පිළිතුර – ඔය ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වා ‘‘මාස දෙකකට ඇතිවෙන්න තෙල් තියෙනවා ‘‘සිංහල අලුත් අවුරුද්ද වෙනතුරු තෙල් තියෙනවා නම් ඉන් එහාට අපිට සහතික වෙන්න බෑ’’ කියලා.
ඒ විතරක් නොවෙයි ඔබට පෙනෙනවා ඇති විවිධ ඇමැතිවරු විවිධ තැන්වල සිට තෙල් තිබෙන දින ගණන මාර්තු සිට මැයි දක්වා විවිධ දින ගණන් කියනවා. මේ කියන එකිනෙකට පරස්පර කතා ඇමැතිවරුන් කියන්නේ තැන් තැන්වල ඉඳගෙන. හැබැයි, රටේ ජනතාව රෑට රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දී මේ කතා එකට තමයි පේන්නේ. එතකොට ඇමැතිවරුන් පස් දෙනෙකු එකිනෙකට පරස්පර ප්‍රකාශ පහක් කරනකොට ආණ්ඩුව පිළිබඳ විශ්වාසය නැතිවෙනවා.
මේ අර්බුදයට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුවේ නායකයන්ගේ ප්‍රකාශ විශ්වාස කිරීමට නොහැකිවීම. ඒ නිසා තමයි ‘‘කලබල වෙන්න එපා’’ කියලා කෙතරම් ඉල්ලීම් කළත් ජනතාව ආණ්ඩුවේ ඉල්ලීමට අවනත නොවන්නේ. ජනාධිපතිතුමා මේ අර්බුදය කළමනාකරණ්‍ය කරලා තියෙනවා කියලා කිව්වට ආණ්ඩුවට තිබුණ මේ අර්බුදය ඇතිවුණ ගමන් QR ක්‍රමය හඳුන්වාදෙන්න.
කලින් ආණ්ඩුවට අත්දැකීමක් තිබුණේ නෑ බලශක්ති අර්බුදයකට මුහුණ දීලා. ඒ ආණ්ඩුවේ අර්බුදයේදී අපි දැක්කා තෙල් නැතිවෙනවා කිව්වම ජනතාව දවස් ගණන් පෝලිම්වල රැඳිලා වාහනයේ ඉන්ධන ටැංකි සම්පූර්ණයෙන්ම තෙල්වලින් පුරවාගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි දැක්කා සමහර පිරිස් වාහනය තෙල්වලින් පුරවාගෙන බූලිවලට ඒක හිස් කරලා නැවත පෝලිමට එකතුවෙමින් තෙල් කළු වෙළෙඳපොළක් හදාගෙන ලක්ෂ ගණනක් මුදල් උපයන ජාවාරමක යෙදුණා. ඒක දැනගෙන හිටියානම් QR ක්‍රමය හඳුන්වා දෙන්න තිබුණා මුලින්ම. ඒක කළේ නෑ.
ජනාධිපතිවරයා කියනවනේ ‘‘එහෙම කිසිම පමාවක් වුණේ නෑ. සියල්ල නිසි වෙලාවට වුණා’’ කියලා?
පිළිතුර – යුද්ධය පටන් ගත්තේ පෙබරවාරි 28 වැනිදා. QR ක්‍රමය හඳුන්වා දෙන්නෙ මේ 16 වැනිදා. ඒ දවස් 17 ඇතුළේ රටේ ජනතාව දින ගණන් පෝලිම්වල දුක් වින්දා. එතකොට ඒක මුළු රටටම එකම මොහොතේ QR එකක් දීලා තෙල් ගහන්න ආවත් දැවැන්ත පෝලිම් හැදෙන එක නතර කරන්න බෑ. ඉන්ධන හල්වල තෙල් හිස් වෙලා ‘‘තෙල් නැහැ’’ කියන පුවරු එල්ලලා ඒ අසුබවාදී හැඟීම ඇතිවෙන එක නතර කරන්න බෑ.
අපි එදා කිව්වා ‘‘ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය අනුව ඔබට දිනයක් තියෙනවා. එදාට විතරයි තෙල් ගහන්න පුළුවන්’’ කියලා. පෝලිම් අතුරුදහන් වුණා. දහස් ගණන් ජනතාව පෝලිම්වල රස්තියාදු වුණත් තාමත් ආණ්ඩුවට ඒ ප්‍රකාශය කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම QR ක්‍රමය එදා හඳුන්වලා දීපු එකම මෙදාත් ගෙඩිය පිටින්ම හඳුන්වලා දුන්නා. අවශ්‍ය වෙනස් කිරීම් කළේ නෑ. ඔබ වාහනේ මිලදී ගත්තේ 2023 න් පස්සෙ නම් අදටත් ඒ වාහනයේ තෙල් කෝටාව හිමිවන්නේ පෙර අයිතිකාරයට. ඒ වගේම 2023න් පස්සෙ නම් ඔබ වාහනය මිලදී ගත්තේ ඔබට තෙල් කෝටාවක් හිමිවෙලා නෑ. ඉතින් ඔවුන්ට කරන්න තිබුණේ හැමෝටම අලුතෙන් ලියාපදිංචි වෙන්න අවස්ථාවක් දෙන්න. ඒ නිසා තමයි මම කිව්වේ මේ ආණ්ඩුව දන්නේ නෑ දන්න කෙනෙකුගෙන් අහන්න තරමට නිහතමානි නෑ. උද්ධච්ච බවින් පිරිලා. ඔය ප්‍රශ්න විසඳගත්තොත් බලශක්ති අර්බුදයක් නෑ.
2022 දි තෙල් තිබුණා. සල්ලි නෑ. දැන් සල්ලි තියෙනවා තෙල් නෑ. එදා සල්ලි නැතිවුණේ පාලකයන් හොරා කෑ නිසා බවත් අද තෙල් නැත්තේ යුද්ධය නිසා බවත් ආණ්ඩුව කියනවා?
පිළිතුර – අපේ රටේ සල්ලි නැති වුණේ හොරා කාපු නිසා කියලා මේ අය විපක්ෂයේ ඉන්නකොට කිව්වා. ලජ්ජා නැතිව එදා කිව්වා අපේ ඩොලර් බිලියන 15ක් උගන්ඩාවේ තියෙනවා, අපි බලයට ආවම ඒවා ගේනවා කියලා. ඇයි ඒ සල්ලි ගේන්නේ නැත්තේ? ඩුබායිවලත් සල්ලි හංගලා තියෙනවා කිව්වා. ජාත්‍යන්තර සහයෝගය අරගෙන ඇයි ඒ සල්ලි ගේන්නේ නැත්තේ? ඒ නිසා ඒ පචය අතහරින්න ඒ අයට තවදුරටත් අයිතියක් නෑ. ඒවගේම යුද්ධය තියෙනවා කියලා ලෝකයේ හැම රටක්ම මෙහෙම සීමා කිරීමක් කරලා නෑ.
මේ අය සීමා කිරීමවත් විධිමත්ව කරලා නෑ. මේ අයට අත්දැකීම්, දැනුම සහ බුද්ධිය කියන තුනම නෑ. මෙතැන ජාත්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රටක ජනතාවක් ආණ්ඩුවක් පත්කර ගන්නේ මොකට ද? ජාත්‍යන්තර ප්‍රශ්න කළමනාකරණය කරගන්න.
ඒ කළමනාකරණය කරගැනීමේ නොහැකියාවේ ප්‍රශ්නයක් තමයි මෙතැන තියෙන්නේ. ඒ බැරිකම ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්කරලා තියෙනවා. මේ අයට මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියලා ඇඟ බේරාගන්න සදාචාරාත්මක අයිතියක් නෑ. මේ අය විපක්ෂයෙ ඉන්නකොට කිව්වෙ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනකොට අපේ රටේ තෙල් මිල ඉහළ දාන්න ආණ්ඩුවක් ඕනැ නෑ, එහෙම නොකර කරන්න අපි දන්නවා කියලයි.
එදා කිව්වා මේ QR ක්‍රමය අසාධාරණයි, ජනතාව පීඩාවට පත් කරනවා, වහාම එය නිවැරදි කළ යුතුයි කියලා. එහෙම කිව්වම මේ රටේ ජනතාව අත්දැකීම් තියෙන ජනතාව ගෙදර තියලා අනුර කුමාර කියන මහා ප්‍රාඥයාට රට බාර දුන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියත් සැපයුම කඩා වැටුණත් මිල වැඩි නොකර QR කෝටා හඳුන්වා නොදී රට පාලනය කරන්න තමන් දන්නා බවට ජනතාවට පැවසූ නිසයි.
අප්‍රේල් මාසය ළංවනවිට හැමදාමත් පාස්කු මහ මොළකරු ගැන කතාවක් එනවා. දැනුත් එහෙමයි. ලබන 31 වැනිදාට පාස්කු මහ මොළකරු රටට හෙළි කරනව කියලා ඔබ කියලා තියෙනවා. මොකක්ද මේ කතාව?
පිළිතුර – පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරළන්න, හම්බ කරගන්න පාස්කු මළමිනී, පාස්කු තුවාල පාස්කුවෙන් පෑරුණු සිත් වෙන්දේසි කරන්න, දේශපාලනඥයන් ආගමික පූජකවරුන් වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අශීලාචාර ක්‍රීඩාවක යෙදිලා ඉන්නවා. දැන් මේ මහ මොළකරු කතාව අවුරුදු ගානක් පරණයි. මහ මොළකරු කතාව විකුණමින් රණවිරුවන්ගෙන් පළිගන්න, කොටි බෙදුම්වාදීන්ට ස්වර්ණමය අවස්ථාවක් මේ ආණ්ඩුව හදලා දීලා තියෙනවා. කොටි පරදන යුද්ධයේදී තීරණාත්මක දායකත්වයක් දක්වපු දෙන්නෙක් පාස්කුව කිට්ටු වෙද්දී අත්අඩංගුවට ගත්තා.
ගිය අවුරුද්දේ ගත්තා පිල්ලෙයාන්. මේ අවුරුද්දෙදි ගත්තා මේජර් ජනරාල් සුරේෂ් සලේ. මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පෙන්වමින් කොටි සැනසීමට රණවිරුවන්ගෙන් පළිගැනීමේ කුමන්ත්‍රණයට සදා තිත තියලා සැබෑ මහ මොළකරුවන් කවුද කියන එක සාක්ෂි සහිතව ප්‍රථම වතාවට පොතක් වශයෙන් ඉදිරිපත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.
මේ පොතේ අන්තර්ගතය?
පිළිතුර – විශේෂයෙන්ම මේ දක්වා තියෙන ‘‘“කුමන්ත්‍රණ න්‍යාය’’ එනම් එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් ටිකක් ගැට ගහලා ප්‍රබන්ධයක් ගොඩනගලා තියෙනවා සොනික්. සොනික් අබුහිද් එහෙම නැත්නම් සුරේෂ් සලේ - පිල්ලෙයාන් මේ අය තමයි මහ මොළකරු කියලා. එතකොට ඒ සියලු බොරු කතා බොරු වෙන්නේ ඇයි කියන එක තමයි මේ පොතේ මුලින් සාකච්ඡා කරන්නේ. ඊට පස්සෙ සැබෑ මහ මොළකරු කවුද එහෙම කියන්නේ ඇයි කියන එක සාක්ෂි සහිතව මේ පොතේ සඳහන් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පොත නිකුත් වුණාට පස්සේ පාස්කු මොළකරු සම්බන්ධ සංවාදය අවසන් වෙයි කියලා.
ඇයි මේ හෙළිදරව් කරන්න මෙච්චර ප්‍රමාද වුණේ?
පිළිතුර – මගේ කිසිම ප්‍රමාදයක් නෑ. මම මේ පර්‌යේෂණයට යොමු වුණේ 2024 ඔක්තෝබර් මාසයේ ඉමාන් කමිටු වාර්තාව හා අල්විස් කමිටු වාර්තාව අහම්බෙන් මගේ අතට පත් වුණාට පස්සෙයි. මේක මුළු රටම දන්නවා. මේ වාර්තා දෙක ජනාධිපතිතුමා රටින් සඟවාගෙන සිටියදී නිර්නාමිකව තැපෑලෙන් මට ලැබුණ. මම ඒක රටට ප්‍රසිද්ධ කළා. ඒ වාර්තා කියවීමෙන් පසුව තමයි මට තේරුණේ මහ මොළකරු නාඩගමට මුවාවෙලා රණවිරු දඩයමක් සිදුවෙනවා කියලා. ඒ නිසා මේකේ ඇත්ත නැත්ත හොයන්න මම පටන් ගත්තා. ඔබ දන්නවා මම අද රටේ සාමාන්‍ය පුරවැසියෙක් පමණයි. ඒ නිසා තොරතුරු සොයා ගැනීම අතිශය දුෂ්කර වුණා.
පසුගිය වසරේදී විදේශ රටවලට පවා යන්න වුණා තොරතුරු හොයන්න. පුද්ගලයන් හමුවෙන්න. ඒ වසර එකහමාරක කරපු වෙහෙසකර පර්‌යේෂණයක ප්‍රතිඵලයක් හැටියටයි මේ තොරතුරු හොයාගෙන පොතක් බවට පත් කරලා මුළු රටම දැනුවත් කරනවා.
ඇයි ඔබ අධිකරණයට නොයන්නේ?
පිළිතුර – අධිකරණය ඉදිරියේ අපරාධකරුවන්ට එරෙහිව චෝදනා නගන්නේ විමර්ශකයෝ. පොලිස්පති. ඉතින් මේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය නම් විමර්ශන ආයතනවල ලොකු පුටුවල වාඩිවෙලා ඉන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන්න යනවටත් වඩා භයානකයි. දැන් මෙතැන හොරාගෙන්ම තමයි පේන අහන්න වෙන්නේ
ඒ නිසා තමයි පොලිසියට කියනවා වෙනුවට රටට කියන්නේ. රටට කිව්වම පොලිසියටත් හිතාගන්න පුළුවන්.
ඔබ දුන් උත්තරය ඇතුලේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන කිසියම් ඉඟියක් තියෙනවා කියලා මම කිව්වොත්?
පිළිතුර – ඔබට එහෙම කියවා ගන්නත් පුළුවනි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

