අර්බුදයෙන් රට ගොඩගන්න වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යංශය රට හමුවේ තැබ්ය යුතුයි


බලශක්ති ඇමැති උදය ගම්මන්පිල   

 

  • තෙල් ටැංකි යම් ප්‍රමාණයක් ආණ්ඩුවට ගන්නවා.   
  • තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.   

 

රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මේ අර්බුදවලට විසඳුම කුමක්ද? බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   


ප්‍රශ්නය:- ඔබ පාර්ලිමේන්තුවේදී මෑතක කිව්වා එජාප ආණ්ඩු සමයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දීලා කියලා. ඔබ අදත් එහෙම කියනවද?   


පිළිතුර:- ඒක මගේ මතයක් නොවෙයි. ඒක තමයි තිත්ත ඇත්ත. 2003 පෙබරවාරි 7 වැනිද‌ා එවකට තිබුණ එජාප ආණ්ඩුව අයිඕසී සමාගමට තෙල් ටැංකි 99 බාර දුන්නා. ගිවිසුමක් අත්සන් කරලා බාර දුන්නා. ඒක ඇත්ත.   


ප්‍රශ්නය:- නමුත් සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා කිව්වේ තෙල් ටැංකි 14 යි දුන්නේ කියලා?   


පිළිතුර:- ඔව් එහෙම කිව්වා තමයි. අත්සන් කළේ ගිවිසුමක් නොවෙයි අවබෝධතා ගිවිසුමක් කියලත් කිව්වා. මම පාර්ලිමේන්තුවේදී කබීර් හෂීම් මන්ත්‍රීතුමාට අභියෝග කළා. ‘මෙන්න තෙල් ටැංකි අනූනවයම බාරදුන්න ගිවිසුම. මම ඒක සභාගත කරනවා. ඔබේ ළඟ තිබෙන ටැංකි 14 ක් පමණක් දුන්න අවබෝධතා ගිවිසුම සභාගත කරන්න’ කියලා. ඒක මම කිව්වේ ඔක්තෝබර් මාසයේ 7 වැනිද‌ා. මාස තුනකට ආසන්නයි. අදටත් ඒක සභාගත කරන්න කබීර් හෂීම් මන්ත්‍රීතුමාට බැරි වුණා. මොකද එහෙම අවබෝධතා ගිවිසුමක් නැති නිසා.   


ප්‍රශ්නය:- ඒ වගේම ඔබ එද‌ා කිව්වා ‘මම මේ සටන් කරන්නේ ඒ තෙල් ටැංකි ටික ලබාගන්න’ කියලා. අද වෙනකොට ඒ සටන තියෙන්නේ කොතැනද?   


පිළිතුර:- සටන බොහෝ දුරට සාර්ථකයි. සමහර විට මේ මගේ සම්මුඛ සාකච්ඡාව රැගත් පුවත්පත මුද්‍රණය කරන විටත් මේ සටන සාර්ථකව ජයග්‍රහණය කර තිබෙන්නත් පුළුවන්. එය අවසන් වූ වහාම ඇමැති මණ්ඩලයටත් කලින් මම ඒ දේ රටට කියන්න බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය:- ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පතට ඔබ ඊයේ පෙරේද‌ා කියලා තිබුණා ‘ඉන්දියාවත් සමග ඒකාබද්ධව මෙම තෙල්ටැංකි සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා’ කියලා.   


 පිළිතුර:- මෙතැනදී අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ අපට පාලනය තියෙන ඉන්දියාවත් ඉන්න හවුල් සමාගමක් හදන්න. තෙල් ටැංකි යම් ප්‍රමාණයක් ලංකාවට ගන්නවා. ඉතිරි තෙල් ටැංකි ටික අර සමාගම හරහා හවුල් ව්‍යාපාරයක් හැටියට පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය:-  ඔය හදන සමාගමේ සංයුතිය කොහොමද?   


පිළිතුර:- මේ සමාගම ශ්‍රී ලංකාවේ පාලනයට යටත්. තෙල් සංස්ථාවට වැඩි කොටස් තියෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය තෙල් සංස්ථාවට තියෙන. සභාපති ධුරයත් තෙල් සංස්ථාවට හිමිවන. ඒ විතරක් නොවෙයි, විගණකාධිපතිතුමා ගිණුම් විගණනය කරන, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට නිලධාරීන් කැඳවන්න පුළුවන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් වර්ගයේ සමාගමක් හදලා තමයි ඒ තෙල් ටැංකිවලින් බහුතරය කළමනාකරණය කරන්නේ.   


ප්‍රශ්නය:- මෙමගින් රටේ ආර්ථිකයට ඔබ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ?   


පිළිතුර:- ඇත්තෙන්ම මේ තෙල් ටැංකිවල තෙල් බැරල් මිලියන අටක් එකවර ගබඩා කරන්න පුළුවන්. 1920 දශකයේ ලෝකයේ තිබුණ විශාලතම තෙල් ටැංකි සංකීර්ණවලින් එකක්. මේ තෙල් ටැංකි සංකීර්ණයේ උපාය මාර්ගික වැදගත්කම දන්නේ ඉන්දියාව. ඉන්දියාවට පහර දෙන සතුරෙකුට තමන්ගේ ගුවන් යානා, නැව් හා සබ්මැරීන්වලට අවශ්‍ය වන ඉන්ධන සපයා ගැනීමේ හැකියාව මේ තෙල් ටැංකි නිසා ලැබෙනවා. ඒ නිසා තමයි ඉන්දියාව හැමද‌ාමත් මේක තමන් සතු කරගන්න උත්සාහ කළේ. ඇත්තෙන්ම ඉන්දියාව කොටි සංවිධානය පුහුණු කරලා කොටි සංවිධානය රට තුළ යුද්ධයක් කරන තත්ත්වයට පත් කරලා ඊට පස්සේ ශ්‍රී ලංකාවත් එක්ක ගිවිසුමකට 1987 දී එළැඹීමට ප්‍රධානම හේතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය බවයි යුද විශ්ලේෂකයන් විග්‍රහ කරන්නේ. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ වේලාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති හා රජිව් ගාන්ධි අගමැතිතුමත් අතර එකඟතාවකට එළඹුණා මේ තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකා ඉන්දියා හවුල් ව්‍යාපාරයක් හැටියට සංවර්ධනය කරනවා කියලා. ඒ එකඟතාවෙන් ඉන්දියාව බැහැර කරගන්න තමයි මම මාස 16 ක් පුරා සාකච්ඡා කළේ. ඇත්තෙන්ම දෙන එක ලේසියි. ගන්න වැඩේ හරිම අමාරුයි. ඒක නිසා මට මාස 16 ක් ගියා. අතිශය දුෂ්කර කාර්යයක් වුණා. නමුත් මේ වන විට ඒ සාකච්ඡා සාර්ථකව අවසන්. මම හිතනවා පුවත්පත මුද්‍රණය වන විට එහි ප්‍රතිඵල රටට දැනගන්න ලැබේවි කියලා.   


ප්‍රශ්නය:- ඉදිරියේදී තෙල් හිඟයක් ඇතිවීම නොවීම ගැන ඔබේ අදහස?   


පිළිතුර:- ඇත්තෙන්ම පහුගිය ජූලි මාසයේ සිටම විපක්ෂනායකතුමා, රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ඇතුළු විපක්ෂයේ ප්‍රබලයන් හා විපක්ෂයේ වෘත්තීය සමිතිත් වරින්වර ප්‍රකාශ කළේ ‘රටේ තෙල් හිඟයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන’ බවයි. දැන් මාස 7 කට ආසන්න කාලයක් තෙල් හිඟයක් ඇති නොවෙන්න අපි වග බලාගෙන තියෙනවා. ඒක හරිම දුෂ්කර අභියෝගාත්මක කාර්යයක්. මොකද වර්තමාන මිල ගණන් අනුව මාසයකට ඩොලර් මිලියන 350 ක් 400 ක් අපට අවශ්‍ය වෙනවා රටට අවශ්‍ය තෙල් ආනයනය කරන්න. අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කිරීම අමාරුයි. නමුත් අපි තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.   


ප්‍රශ්නය:- රටේ ප්‍රශ්න දවසෙන් දවස උග්‍ර වෙනවා. මැති ඇමැතිවරුන්ට ජනතාව හූ කියන තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවට මොකක්ද මේ වුණේ?   


පිළිතුර:- ලෝකය පුරාම ආණ්ඩු ගත කරන්නේ අතිශයින්ම දුෂ්කර සමයක්. ලෝකයේ සාතිශය බහුතරයක් ආණ්ඩුවල ජනප්‍රියතාව පිරිහිලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවුණේ කොවිඩ් වසංගතය නිසා ඇතිවුණු ආර්ථික අර්බුදය හේතුවෙන්. ශ්‍රී ලංකාව අන් රටවල් මුහුණ නොදුන් අර්බුද දෙකකට මුහුණ දීලා තියෙනවා. පළමුවැනි දේ තමයි රුපියල් හිඟකමෙන් ඇතිවුණ අර්බුදය. දෙවැන්න තමයි ඩොලර් හිඟකම නිසා ඇතිවුණ අර්බුදය. පළමු අර්බුදය ගත්තොත් 1956 සිටම ලංකාවෙ ඉදිරිපත් කළේ හිඟ අයවැයක්. ඒ කියන්නේ ආද‌ායමට වඩා වියදම වැඩියි. ආදායමයි වියදමයි අතර පරතරය පියව ගත්තේ ණය අරගෙන. අපි ණය අරගන්නවා කියන්නේ අනාගත පරම්පරාවට වියදම් කරන්න තියෙන මුදල් අපි දැන් වියදම් කරනවා කියන එකයි. ණය අරගෙන අරගෙන ගිහිල්ලා ආණ්ඩුවට තවදුරටත් ණය ගන්න බැරි තත්ත්වයට පත්වෙලා ඉවරයි. අනික් පැත්තෙන් ඩොලර් අර්බුදය. 1978 සිට සෑම වසරකම අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩියි. ඒ පරතරය අපි පියවා ගත්තේ ඩොලර් ණය අරගෙන. දැන් ණය බරින් මිරිකිලා ඉන්න නිසා තවදුරටත් ඩොලර් ණය ගැනීමේ නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. කොවිඩ් නිසා ලෝකයේ හැම රටක්ම කොහොමත් අර්බුදයක ඉන්නවා. හැබැයි අපේ ආණ්ඩුව රුපියල් නැති අර්බුදයකටත් ඩොලර් නැති අර්බුදයකටත් කොවිඩ් අර්බුදයට අමතරව මුහුණ දීලා ඉන්නවා. ඒ නිසා රටේ තත්ත්වය අනෙක් රටවල්වලට වඩා භයානකයි.  


ප්‍රශ්නය:- ණය දෙන කිසිම ආයතනයක් අපේ රටට ණය නොදෙන තරමට හිඟන තත්ත්වයට පත්වෙලා?  


පිළිතුර:- ඇත්තෙන්ම ඔව්. ඉන්දියාවේ කියමනක් තියෙනවා. ‘දේශපාලකයා ඊළඟ මැතිවරණය ඉලක්ක කර තීන්දු ගන්නා අතර රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කර තීන්දු ගන්නවා’ කියලා. අවාසනාවකට අපට වැඩිපුරම හිටියේ දේශපාලකයන්. අපි තීන්දු ගත්තේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන. ඒ නිසා කොහෙන් හරි ණයට අරන් ජනතාවට බඩු බෙදුවා. පාරවල් හැදුවා. විදුලිය දුන්නා. ජලය දුන්නා. මේවා එකක්වත් ආදායම් උපයගෙන නොවෙයි කළේ. අපි ඒවා කළේ සල්ලි ණයට අරගෙන. දැන් ඒ සල්ලි පොලියත් එක්ක ගෙවන කාලය උද‌ාවෙලා. ඒක තමයි මේ අර්බුදය. අපට දැවැන්ත ණයක් ගෙවන්න තියෙනවා නම් වියදමටවත් ආදායමක් නැත්නම් හිඟමනට වැටුණු තත්ත්වයක් තමයි තියෙන්නේ.  


ප්‍රශ්නය:- ආණ්ඩුව මෙතැනදී ගන්න තීන්දු මොනවද? කරන්න බැරිනම් එක්කො ගෙදර යන්න ඕනැ?  


පිළිතුර:- අවාසනාවට මමත් ඔබත් සමග එකඟ වෙනවා. ආණ්ඩුව මේ මොහොතේ නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. අපේ අර්බුදය මොකක්ද කියලා ආණ්ඩුවට විග්‍රහයක් තිබිය යුතුයි. මේ අර්බුදය ජයගන්න ආණ්ඩුව සතුව තිබෙන වැඩපිළිවෙළ මොකක්ද කියලා ජනතාවට කිව යුතුයි. එහෙම වුණොත් තමයි ජනතාවට අනාගතය ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. ඔබ අඳුරු බිංගෙයක ඉදිරියට යන්න කැමැති වෙන්නේ ඈතින් එළියක් පේනවා නම් පමණයි. ඔබ ඔරුවක හබල් ගහන්න ඉදිරිපත් වෙන්නේ ඈත කොනකින් දූපතක් මතුවුණොත් පමණයි. ඒ නිසා ජනතාවට ඉබාගාතේ යන්න බෑ. ජනතාවට ඉලක්කයක් ලබාදිය යුතුයි. ඒ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒ වගකීම ඉටු කරන්න ආණ්ඩුව අසමත් වෙලා කියන එක කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා.  


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිකමට ගෙනාවේ බොහෝ බලාපොරොත්තු සහිතව. ‘මොළ හතක් තියෙනවා’ කියලා කිව්වා. ඇමැති බැසිලුත් ෆේල්?  


පිළිතුර:- මේ අර්බුදයට විසඳුම් සෙවීම සමස්ත කැබිනට් මණ්ඩලයේම වගකීමක්. අපි එතුමාට සහාය දෙන්න සූද‌ානම්. හැබැයි මුදල් අමාත්‍යංශය මූලික වෙලා අපේ ආණ්ඩුව මේ අර්බුදයෙන් ගොඩයන වැඩපිළිවෙළ හැකි ඉක්මනින් රට හමුවේ තැබිය යුතුයි.  


ප්‍රශ්නය:- ඔබලා සහාය දෙන්න සූදානම් කිව්වට ඒක ගන්න සූද‌ානම්ද?  


පිළිතුර:- ඒක ඉතින් එතුමන්ලාගෙන් තමයි අහන්න ඕනෑ. සහාය දීම ගැන කිව්වොත් කවුද රටේ පාලකයා කියන එක අද‌ාළම නැත. කවුරු බලයේ හිටියත් මේ අර්බුදයෙදි අපි පක්ෂ බේද ජාති බේද පසෙක තබා ජාතියක් හැටියට හවුලේ වැඩ කළ යුතුයි කියන ස්ථාවාරයෙ අපි ඉන්නවා. මොකද වැටුණොත් වැටෙන්නේ සමස්ත ජාතියම මිසක් එක පවුලක්, එක පක්ෂයක් එක ජනවර්ගයක් නොවෙයි.  


ප්‍රශ්නය:- - ජනතාව ප්‍රශ්නවලින් මිරිකිලා. ඒත් මැති ඇමැතිවරුන් හැට ගානක් රට සවාරි ගිහින්. ඒ යන්නෙත් ජනතාවගේ මුදලින්?  


පිළිතුර:- ඇත්තෙන්ම ජනතාවට පටි තද කරගන්න කියලා මදි. නායකයන් වන අපි ඒ සම්බන්ධයෙන් ආදර්ශයක් දිය යුතුයි. මීට අවුරුදු 20 කට කලින් ආර්ථික අර්බුදයක් ආපු වෙලාවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ අපි සකසුරුවම් බවේ අවවාදය නොව සකසුරුවම් බවේ ආදර්ශය දිය යුතුයි කියලා. ඇමැතිවරු ගුවන් යානාවල ව්‍යාපාරික පන්තියේ යන එක නතර කරලා සාමාන්‍ය පන්තියේ ගමන් කරන්න පටන් ගත්තා. තමන්ගේ කාර්යාලයයි නිවෙසයි අතර දුර කිලෝ මීටර් දෙකට වඩා අඩු ඇමැතිවරු බයිසිකලයෙන් වැඩට එන්න පටන් ගත්තා. තවත් උදාහරණයක් මම කියන්නම් 1972 දී ඉන්දිරා ගාන්ධි අගමැතිතුමිය අපේ රටේ සංචාරයක නිරත වුණා. එහිදී ඇයට රාත්‍රී භෝජන සංග්‍රහයක් සිරිමාවෝ අගමැතිනිය සූද‌ානම් කළා. ඉන්දිරා ගාන්ධි මැතිනිය භෝජන සංග්‍රහයට ඇවිත් කතාවකුත් කළා. නමුත් වතුර වීදුරුවක් විතරයි බිව්වේ. කෑම කෑවේ නෑ. එයින් කනගාටුවට පත්වෙච්ච සිරිමාවෝ මැතිනිය ඒ ගැන විමසුවා. ඉන්දිරා ගාන්ධි මැතිනිය කිව්වේ ‘මගේ රටේ සාගතයක් තියෙනවා. විශාල පිරිසක් දවසට කන්නේ එක වේලයි. ඒ නිසා මමත් රාත්‍රී ආහාර ගැනීම නතර කරලයි ඉන්නේ’ කියලා. එතකොට සිරිමාවෝ මැතිනිය අහනවා ‘මේක විකාරයක්නේ. ඔබ ලංකාවට ඇවිත් නොකා හිටියා කියලා කොහොමද සාගතයෙන් ඉන්න ජනතාවගේ බඩ පිරෙන්නේ’ කියලා. ඉන්දිරා මැතිනිය මෙහෙම කිව්වා ‘ඔව්. මම බඩගින්නේ හිටියා කියලා මගේ රටේ ජනතාවගේ බඩ පිරෙන්නේ නැති බව ඇත්ත. හැබැයි රටේ නායිකාව ඉන්​නේ අපි සමගයි කියන එක අපේ දුක නායිකාවට දැනෙනවා කියන එක ජනතාවට දැනුණොත් තමයි ජනතාව ඉවසීමෙන් මේ දුක දරාගන්නේ. අර්බුදයට සාමුහිකව මුහුණ දෙන්න තීරණය ගන්නේ’ කියලා. ඒ නිසා නායකයන් වචනයෙන් නොව ක්‍රියාවෙන් තමයි සකසුරුවම් බවේ ආදර්ශය ලබා දිය යුත්තේ.  


ප්‍රශ්නය:- ඔහොම කතා කරන ඔබ ඇමැතිවුණාට පස්සේ කී පාරක් රට සවාරි ගියාද?  


 පිළිතුර:- මා අමාත්‍ය ධුරයට පත් වුණාට පස්සේ ශ්‍රී ලංකාවට තෙල් කැනීමේ ආයෝජකයන් සොයා ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් අමතන්න එක පාරක් විදේශගත වුණා. ඒ හැරුණු විට කිසිම අවස්ථාවක මා විදේශගත වී නැහැ.  


ප්‍රශ්නය:- ජනාධිපති ලේකම් ධුරයෙන් පී.බී. ජයසුන්දර ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඇමැති විමල් ඇතුළු ඇමැතිවරුන්ගේ විරෝධය නිසා ඔහු යන්නේ?  


 පිළිතුර:- ඒකනම් අහන්න ඕනෑ ලේකම්තුමාගෙන් තමයි.  


ප්‍රශ්නය:- පුවත්පත් කතුවරුන් හමුවෙච්ච මොහොතේ ජනාධිපතිවරයා කිව්වා ‘වාසු විමල් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ හැසිරීම ප්‍රශ්නකාරියි. ඔහොම විවේචන කරන්න ඕනෑ කැබිනට් එකෙන් එළියට ගිහින් කියලා?  


 පිළිතුර:- ගාමිණී දිසානායකට එදිරිව එම්.ඒ.එල්. කලීල් නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරනවා ‘අමාත්‍ය මණ්ඩලය තුළ තමන්ට අදහස් දැක්වීමට අවස්ථාව අහිමි වුණොත් ඒ කාරණය ගැන ප්‍රස්ද්ධියේ අදහස් දැක්වීමට ඇමැතිවරුන්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.’ කියලා. අපි මේ භාවිතා කරමින් සිටින්නේ ඒ ශුද්ධ වූ අයිතියයි. ඇ​ෙමරිකන් සමාගම් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට බඳුන් වුණේ නෑ. ඒ නිසා අපි ඒ ගැන එළියේ සංවාදයක් ඇති කළා. හැබැයි පොහොර ප්‍රශ්නය වගේ තැන්වලදී දැඩි ලෙස අභ්‍යන්තරයේ සංවාද කළා. ඒ නිසා අපට එළියට ඇවිත් ආණ්ඩුවේ මතවාදයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේ නෑ. ඒ නිසා අපි වරදක් කරලා නෑ. අපි ඉල්ලා අස්වුණොත් අපි වරදක් කළා කියලා පිළිගන්න වෙනවා. නමුත් අපි වැරැදියි කියලා පේනවා නම් අපිව ඕනැම අවස්ථාවක ඉවත් කරන්න පුළුවන්.  


ප්‍රශ්නය:-  කොච්චර කෑගැහැව්වත් ඇමැති මස් කට්ටේ රස දන්න නිසා යන්නේ නම් නෑ කියලා සමහරු කියනවා?  


පිළිතුර:- අපි ගැන නොදන්න අය තමයි එහෙම කියන්නේ. මට 2009 හා හා පුරා කියලා ලැබුණු අමාත්‍යංශයේ එක් විෂයක් ප්‍රතිපත්තිමය හේතුවක් මත මම ආපහු බාරදුන්නා. මම 2014 දී දරපු අමාත්‍යංශයෙන් ප්‍රතිපත්තිමය හේතුවක් මත ඉල්ලා අස්වුණා. ඒ නිසා අපි වෘත්තීයවේදීන් හැටියට ලෝකයේ කීර්තිමත්ම ආයතනවල රැකියාව කරලයි ලංකාවට ආවේ. ඒ නිසා රැකියාවක් හොයාගන්න බැරි නිසා රුපියල් හැටපන්ද‌ාහේ පඩියට දුක් විඳින්න ඇවිත් ඉන්නවා නොවෙයි. කවුරුහරි හිතනවා නම් අපි ඇමැති ධුරයෙ ඉන්නේ වෙනත් විකල්පයක් නැතිකමට කියලා ඒ අය අපි ගැන දන්නේ නෑ. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී විමල් වීරවංශ ඇමැතිතුමත් මමත් ගිවිසුමක් අත්සන් කරලා සාමුහිකව ජාතියට ප්‍රතිඥ‌ාවක් ලබා දුන්නා අපේ ආණ්ඩුව වැරදි මාවතක ගමන් කළොත් ආණ්ඩුව නිවැරැදි කිරීමටම ආණ්ඩුව තුළ විපක්ෂය වෙමින් ඒ සඳහා සටන් කරනවා කියලා. අපි මේ ඉටුකරමින් සිටින්නේ ඒ ජනතාවට ලබා දුන් ප්‍රතිඥාවයි.  

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්