අර්ථසාධක අරමුදලෙන් වැට් බද්ද අයකරන්න එපා කියලා අපි දැන්වූවා


කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කම්කරු ඇමැති කම්කරු උද්ඝෝෂණයට ගියේ සැලසුමකින්ද? 

  • කැබිනට්ටුවේ දී මම මේ පනත් කෙටුම්පතේ අඩුපාඩු පෙන්වා දෙනවා.
  • ඔව්. මම කම්කරු ජනතාවගේ හඬට සංවේදියි.
  • මේ අරමුදල ආරක්ෂා කරගත යුතුයි.

 

 

මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ‘සේවක අධිභාර පනත’ යනුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කළ අතර විපක්ෂයත් කම්කරු ජනයාත් එයට එරෙහිව පෙළ ගැසෙමින් සිටිති. පනත් කෙටුම්පතට විරෝධය පාමින් කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට මහා මාර්ගයේ උද්ඝෝෂණ කරමින් සිටින අතරවාරයෙ කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම සටන්කරුවන්ට මැදිවිය. ඔහු එහි ගියා ද? එය පෙර සැලසුමක් ද? කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග මේ සාකච්ජාව ඒ සම්බන්ධයෙනි.  

 

ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. කප්පාදුවට එරෙහිව තිබූ උද්ඝෝෂණයට ගිහින් ඔබත් සහාය පළ කළා?  
 
නෑ මම සහාය පළ කළේ නෑ. මම පාර්ලිමේන්තුවේ ඉඳලා එනකොට ඒ උද්ඝෝෂකයන් වාහනය නැවැත්තුවා. මගේ යුතුකමක්. මම ගිහින් ඇහුවා මොකක්ද ප්‍රශ්නය කියලා. එතකොට අන්තර් සමාගම් සේවක සංගමයේ අය මට ලිපියක් බාර දුන්නා. අධිභාර පනත මගින් සේවක අර්ථ සාධකයෙන් සියයට 25 ක අධිභාරයක් ගැනීම නැවැත්වීමට කටයුතු කරන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.  
 
ඔබේ පිළිතුර වුණේ?  
 
මම ඒ අයට දැන්නුවා. එහෙම නවත්වන්න මට බලයක් නෑ. පනත ඉදිරිපත් කරලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒ පිළිබඳ ඔබලාගේ විරෝධතාව මම කැබිනට් මණ්ඩලයට පෙන්වලා දෙන්නම් කියලා පොරොන්දු වුණා.  
 
ඔවුන්ගේ විරෝධය විතර ද? ඔබත් මේකට විරුද්ධයි?  
 
කම්කරු ඇමැතිවරයා වශයෙන් මම විශ්වාස කරනවා මේ අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීම පිළිබඳව මීට පෙර අපි විරුද්ධ වෙලා තියෙනවා. අර්ථ සාධක අරමුදලෙන් ආද‌ායම් බද්දක් ගන්නවා බිලියන 35 ක. ඊට අමතරව යහපාලන ආණ්ඩුව මගින් ගෙනාවා පනතක් මංගල සමරවීර ඇමැතිතුමාගේ කාලෙදී 2017 අංක 24 දරණ දේශීය ආද‌ායම් ගැන කියලා පනතක්. ඒ පනත යටතේ ‘සමාගමක්’ කියන එකට අර්ථ නිරූපනයක් දීලා තියෙනවා අර්ථ සාධක අරමුදලත්. ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස්තුමා විසින් අපෙන් මේ අරමුදල ව්‍යපාරික අරමුදලක් කියන පදනම මත. ව්‍යපාරික කියලා කියන්නේ ‘මූල්‍ය සේවාවක් සපයන අරමුදලක්’ හැටියට සලකලා සියයට 8 ක වැට් බද්දක් ගෙවිය යුතුයි කියලා විශාල මුදලක් ගෙවන්න කියලා ඉල්ලා සිටියා. දැන් නොවෙයි 2021, අටවැනි මාසේ 27 වැනිද‌ා ලියුමක් ලියලා අපි කියා සිටියා ඒ අර්ථ නිරූපනයට මේ අරමුදල වැටෙන්නේ නෑ. ඒ නිසා මේ බද්ද අය කිරීම කරන්න එපා කියලා. දැනට මේ ගැසට් එකේ තියෙන බද්ද නොවෙයි වැට් බද්ද අය කරන්න එපා කියලයි අපි කිව්වේ. අපි එහෙම කිව්වේ මේ අරමුදල ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා.  
 
මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය වුණේ?  
 
තවම ඒගොල්ලෝ මේ ගැන තීන්දුවක් දීලා නෑ. ඒ අතරතුර තමයි මේ පනත් කෙටුම්පත ආවේ. ඒකේ පැහැදිළිවම කියලා තියෙනවා මේ අධිභාරය මිලියන 2000 කට වැඩිය ලාභයක් උපයන සමාගම් ගෙවිය යුතුයි කියලා.  
 
  • පනත සම්මත වුණොත් ඊ.ටී.එෆ්. හා ඊ.පී.එෆ් අරමුදල් වලින් අධිභාර කැපෙනවා
  • අයවැයේ දී මේ අධිභාරය ගැන කියද්දී සේවක අර්ථසාධක අරමුදල මේකට ඇතුළත් කියා අපි දැනුවත් වෙලා හිටියෙ නෑ 
 
සේවක අර්ථසාධක අරමුදල සමාගමක් නොවෙයි.?  
 
ඔව්. මේ අර්ථ නිරූපණය දක්වලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු මම අර මුලින් කියපු පනත හැටියට. ඒ අනුව ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ්. කියන අරමුදල් මේ ගෙවීමට යටත් වෙනවා මේ පනත සම්මත වුණොත්. තවම පනත ගෙනල්ලා විතරයි තියෙන්නේ.  
 
මේ අරමුදල්වල තියෙන්නේ වැඩකරන ජනතාවගේ ලේ කඳුළු?  
 
ඔව්. මේ පනත් කෙටුම්පතට එරෙහිව ජනතාවට අධිකරණයට යාමට ඉඩකඩ තියෙනවා. අධිකරණය දෙන තීන්දුව අනුව පාර්ලිමේන්තුවට ඊට පස්සේ ගේන්න ඕනෑ. ඊට පස්සෙ පාර්ලිමේන්තුවේ දී මේක සම්මත වුණොත් පමණයි මේ මුදල අපට ගෙවන්න වෙන්නේ. නමුත් කම්කරු ජනතාව වෘත්තීය සමිති මා වෙත කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මේක කරන්න ඉඩ දෙන්න එපා’ කියලා. එහෙම වුණොත් මේ කම්කරු ජනතාවට සැදෑසමය ගෙවීමට තියෙන මුදල් ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් අඩුවෙනවා කියලා ඔවුන් කියනවා.  
 
ඔබ කම්කරු ජනතාවගේ හඬට සංවේදියි’  
 
ඔව්. මම කම්කරු පන්තියේ ජනතාවගේ හඬට සංවේදී වෙලා තියෙනවා. සංවේදීව කටයුතු කරනවා. නමුත් මට මේ පිළිබඳව තීරණයක් දෙන්න පුළුවන් කමක් නෑ.  
 
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඔබත් සමඟ සාකච්ඡා කළා ද?  
 
නෑ නෑ. 9 වැනිදනේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ආවේ. තවම මේක පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කළේ නෑ. පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවකට හරි කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවකට බඳුන් වෙලා නෑ. පනත් කෙටුම්පතේ තියෙන්නේ පෙබරවාරි මාසයේ 7 වෙනිද‌ා කියලනේ. අද කවද්ද? මම හිතන්නේ බොහෝ විට මේක සාකච්ඡාවට ගත්තාම මේ පනත් කෙටුම්පතේ තියෙන අඩුපාඩු මම අනිවාර්යෙන්ම පෙන්වලා දෙනවා.  
 
මේ පනත් කෙටුම්පත ගැන ඔබත් සමග සාකච්ඡා කළ යුතුව තිබුණා කියලා මම කිව්වොත්?  
 
නෑ නෑ නෑ මුදල් ඇමැතිවරයා විසින් මේ අධිභාර බද්ද පනවනවා කියලා කිව්වේ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින්නේ. එතැන දී කිව්වේ ‘මිලියන 2000 ට වැඩිය ආද‌ායමක් ලබන සමාගම්වලින් තමයි මේක අය කරන්නේ කියලා. නමුත් ඒ අවස්ථාවේ දී අපි දැනුවත් වෙලා හිටියේ නෑ මේකට සේවක අර්ථසාධක අරමුදල අයිති වෙනවා කියලා. දැන් අපි දැනුවත් වෙලා තියෙනවනේ. ඒ නිසා මම හිතනවා මගේ පෞද්ගලික අදහස මේ අරමුදලෙන් එවැනි අධිභාරයක් ගැනීම කම්කරු ජනතාවට ප්‍රශ්නයක් අැති කරන දෙයක් කියලා. ඒ නිසා මම ඒ කම්කරු ජනතාවගේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මම හිතනවා එතැන දී සාධනීය තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා.  
 
2010 දී බලයට ආපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ අරමුදල්වලට අත තියන්න ගියා. කම්කරු සටන් ඇවිළුණා. රොෂේන් චානක වෙඩි කාලා මැරුණා. ආයෙත් යන්නේ එතැනට ද?  
 
එහෙම ප්‍රශ්නයක් නොවෙයිනේ මේ. මෙතැන මුදල් ඇමැතිතුමා බද්දක් අයකර ගැනීමට කෙටුම්පතක් ගෙනල්ලා තියෙනවා. නමුත් තවම මේක සම්මත වෙලා නැහැනේ. මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනෑ. එතැන දී අනුමත වෙන්න ඕනෑ. ඕක ගැන සාකච්ඡා කරන්න ඕනෑ. විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී මේකට සංශෝධන ගේන්න පුළුවන්. ඕනැනම් සේවක බාරකාර අරමුදල මෙහි බලපෑමෙන් ඉවත් කරගන්න පුළුවන්. ඒකට තව කල් තියෙනවා. ඒ නිසා වැඩිය හදිසි වෙන්න අවශ්‍ය නෑ. ඒ නිසා අපි බලමු. කම්කරුවන්ගෙ පැත්තෙන් ඉදිරිපත් කර ඇති මේ යෝජනාව අසාධාරණයි කියලා මම හිතනවා. ඒ කාරණය මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. 
 
ඔබේ විෂය පථයට වෙනත් ඇමැතිවරයකු මෙසේ ඇඟිලි ගැසීම ඔබ ඉවසනව ද?  
 
නෑ නෑ මේක මගේ විෂය පථය නොවෙයිනේ.  
 
ඔබ කම්කරු ඇමැති. කම්කරුවන්ගේ ප්‍රශ්න එන්නේ ඔබට?  
 
ම​ට කම්කරු ඇමැති වුණාට රටේ මුදල් පිළිබඳව කටයුතු කරන්නේ මුදල් ඇමැතිවරයනේ. මුදල් කොහොම ද හොයා ගන්නේ. මුදල් කොහොමද වියදම් කරන්නේ. ඒ සඳහා ගත යුතු පියවර මොකක්ද කියලා තීරණය කරන්නේ මුදල් ඇමැතිවරයනේ. ඒක මගේ විෂය පථයට නොවෙයි වැටෙන්නේ.  
 
ඔබම කිව්වා මේ මුදල් කම්කරුවන්ගේ කියලා. ඒ මුදලටයි මේ අත තියන්න හදන්නේ?  
 
ඒ නිසා තමයි කම්කරුවන්ගේ මේ තියෙන විරෝධය කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කරන්නේ. එතැනදී සාකච්ඡා කරලා වෙනස් කමක් කරන්න පුළුවන් නම් ඒ වෙනස්කම කරන්න තමයි මම ද‌ායක වෙන්නේ.  
 
රටේ තියෙන මූල්‍ය අර්බුදයට මෙවැනි විකල්ප හැර වෙනත් උත්තර නෑ කියලා කිව්වොත්?  
 
මම එහෙම පුරෝකථනයක් කරන්න පුළුවන් කමක් නෑ. නමුත් කම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන්ගේ මේ ඉල්ලීම මම ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයට. එතැන දී තීන්දුවක් ගනීවි. ඒක සාධනීය තීන්දුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.  
 
ඔබ ඔය දරන්නේ කම්කරු ඇමැති හැටියට ඉන්න ස්ථාවරය ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ද?  
 
කම්කරු ඇමැතිවරයා හැටියටයි මම කල්පනා කරන්නේ. කම්කරු ඇමැතිවරයා වශයෙන් කම්කරුවන්ගේ දුක් වේදනාවන්ට ඔවුන් ඉදිරිපත් කරන කරුණුවලට සාවධානව ඇහුම්කන් දීලා ඔවුන් මගෙන් ඉල්ලුවොත් ඔවුන්ගේ විරෝධය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලයි. ඒ ඉල්ලීමට මම එකඟ වුණා. වෙනසක් කරන්න මට බලයක් නෑ. නමුත් ඔවුන්ගේ ඉල්ලීම මට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන්.  
 
මේ සටනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඔබට ලැබෙයි ද?  
 
මෙතැන සටනක් නෑනේ. ඔයානේ මෙතැන සටනක් හදන්න යන්නේ ?  
 
ඔබ කිව්වා මේක වෙනස් කරගන්න බලනවා’ කියලා. ඉතින් ඒක සටනක් නොවෙයි ද ?  
 
නෑ නෑ කිසිම සටනක් නෑ. මෙතැන තියෙන්නේ පනත් කෙටුම්පතක් ගෙනල්ලා තියෙනවා. ඒ පනත අනුව මෙවැනි බලපෑමක් ඇති වෙනවා. ඒක වෙනස් කරගන්න වෘත්තීය සමිති සටන් කරනවා වගේම අපේ රජය පුළුල් වූ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ කරලා, සාධනීය විසඳුමකට එන්න පුළුවන් කියලා මම හිතනවා එවැනි ධනාත්මක ආකල්පයක මම ඉන්නේ.  
 
ඔබ උද්ඝෝෂකයන් අතරට ගියේ පෙර සැලසුමකට අනුව කියලා මම කිව්වොත්?  
 
එහෙම පෙර සැලසුම් නෑ. මම පාර්ලිමේන්තුවේ ඉඳලා ආවා. එන්න තියෙන්නේ මේ පාරෙන්. මට වෙන පාරක් නෑනේ. ගේට්ටු ඉස්සරහ උද්ඝෝෂකයො හිටියේ. එතැන දී මම වාහනයෙන් බැහැලා ගියාම මාව වට කරගත්තා. වසන්ත සමරසිංහ කියන වෘත්තීය සමිති නායකයා එතැන හිටියා. ඔහු මාත් එක්ක කතා කරලා මට ලිපිය බාර දුන්නා.  
 
මේ ආණ්ඩුව දවසෙන් දවස නැති ප්‍රශ්න හද‌ා ගනිමින් යනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?  
 
‍නැති ප්‍රශ්න නොවෙයි. රජයට අභියෝග තියෙනවා. රජය ඒ අභියෝගවලට මුහුණ දෙනවා. ප්‍රශ්න කියන ඒවා ආණ්ඩුවක් හදාගන්නේ නැහැනේ. රටේ විවිධ අවස්ථාවල විවිධ ක්ෂේත්‍රවල විවිධ ප්‍රශ්න පැන නගිනවා. රජයට ඒවායින් පැනලා යන්න බැහැනේ. ඒ ප්‍රශ්න විසඳන්න යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒක රජයක යුතුකමක් හා වගකීමක්.
 
 
සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්