අම්මේ, මම කොහොමද ආයේ ඉස්කෝලේ යන්නේ?


පාසල් විද්‍යාගාරයේ දී අනතුරට පත් ව යුක්තිය ඉල්ලා කෑ ගසන දියණියගේ හෘද සාක්ෂියේ ආයාචනය

"අම්මේ,මගේ මූණ ඉස්සර වගේම ලස්සන වෙයි ද? මට ආයෙත් කවදා හරි ඉස්කෝලේ යන්න පුළුවන් වෙයිද?"

ඒ හැමදාම රෑට ඇසෙන කෙඳිරියකි. ඒ වේදනාකාරී හඬ නැඟෙන්නේ බණ්ඩාරවෙල සීතල කඳුකරයේ අඳුරු වුණු පුංචි නිවසකිනි. ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් මේ මව අසල නැත. සිවුදරු මවට සිදුව ඇත්තේ  දියණියට හොරෙන්  ඉකිබිඳ හැඬීම පමණි.අකුරු කරන්නට, ජීවිතය දකින්නට, හෙට දවසේ ලෝකය දිනන්නට පාසල් ගිය 11 වසරේ අහිංසක දියණියක් අද මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවමින් සිටියි.  ඒ ඇය කළ වරදකට නොව, ඇයට ජීවිතය කියා දීමට සිටි ගුරුවරියකගේ නොසැලකිලිමත්කම සහ වගකීම් විරහිතභාවය නිසාය.      

"විද්‍යා පරීක්ෂයේදී බීකරයක් පිපිරී ගුරුවරියක් සහ සිසුවියන් දෙදෙනකු රෝහලේ" යනුවෙන් මේ වසරේ මාර්තු 23 වැනිදා මාධ්‍ය තුළ ප්‍රවෘත්ති මැවූ කතාවක් බවට පත් විය. පුවත් මැවූ කතාවට වඩා මේ කතාවේ ඇතුළාන්තය හාත්පසින්ම වෙනස්ය. 

නුවන්ජලා මින්සඳලි

බණ්ඩාරවෙල ධර්මාශෝක මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නුවන්ජලා මින්සඳලි (අවු.15) හෙට දවසේ ලෝකය දකින්නට පෙරුම් පිරූ මලකි. මාර්තු 23 දා වෙනදා මෙන් ඇය පාසල් ගියේ ලොකු බලාපොරොත්තු ඇතිවය. විද්‍යා විෂය වෙලාවේ රසායනාගාරයට ගියේ අලුත් දෙයක් ඉගෙන ගැනීමේ කුතුහලයෙනි. ඇය නොදැන සිටි එකම දෙය නම් තමන් ආදරය කළ, ගරු කළ ගුරුවරියගේ අතින් සිදුවන එක් බිහිසුණු වැරදීමකින් තමන්ගේ මුළු ජීවිතයම අඳුරට ඇද වැටෙන බවය. විද්‍යා ගුරුවරියගේ වගකීම් විරහිතභාවය නිසා රසායනාගාරයේ පරීක්ෂණ නළයක් එකවරම ගිනිගත්තේය. එක් ක්ෂණයකින් සියල්ල උඩුයටිකුරු විය. රසායනික ද්‍රව්‍ය සමඟ ඇවිළුණු ඒ ගින්දර කෙළින්ම ඇදී ආවේ නුවන්ජලාගේ මුහුණට සහ සිරුරටය. ඇගේ සම ඒ රසායනික ගින්නෙන් පිලිස්සී යද්දී, ඇය වේදනාවෙන් ගැහෙමින් ගැසූ විලාපය ඒ රසායනාගාර බිත්ති අස්සේ දෝංකාර දුන්නේය. 

එදා පටන් ගෙවුණ මාස තුන පුරා මේ දියණියගේ ජීවිතය ගෙවා දමන්නේ අතිශය වේදනාකාරීවය. 

තම දියණිට සිදුව ඇති අසාධාරණය පිළිබඳ දියණියගේ සිය මව මල්ලිකා අත්තනායක හැඬූ කඳුළින් හඬ අවදි කළාය. 

මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. දැනට වසර තුනකට කලින් මගේ සැමියා හෘදයාබාධයකින් නැති වෙනවා. ඊට පස්සේ ඉඳලා මම දරුවන්ට උගන්නගෙන ජීවත් වුණේ ස්වයං රැකියාවක් කරලා. මිරිස් තුනපහ හදලා කඩවලට දාලා තමයි ජීවිතේ ගැට ගහගත්තේ. 

මගේ දෙවැනි දුවට තමයි අනතුර සිදුවුණේ. ලොකු දුව 12 ශ්‍රේණියේ, තුන්වැනි දුව  9 ශ්‍රේණියේ, පොඩි පුතා 3 ශ්‍රේණියේ.අනතුරට ලක් වුණ දෙවැනි දරුවයි තුන්වෙනි දරුවයි යන්නේ එකම පාසලට.දරුවා ක්‍රීඩාවට වගේම ඉගෙනීමට ගොඩක් දක්ෂ කෙනෙක්.” 

මේ අනතුර වුණේ බීකරයක් පුපුරලාද?

නුවන්ජලා දියනිය  හඬ අවදි කළාය.

මාර්තු 23 එදා අපේ පළමු පීරියඩ් දෙකේ තිබුණේ විද්‍යාව. අපි එදා විද්‍යාගාරයට ගියේ ශාක පත්‍රයේ පිෂ්ට පරීක්ෂාවට කරන්න . ඒක කරගෙන යද්දී පරීක්ෂණයට අවශ්‍ය දේවල් බාගෙට හදලා තියලා ටීචර් කෑම කන්න ගියා. ඊළඟට තිබුණේ ඉතිහාසය විෂය. විද්‍යා මිස් කිව්වා  ඉතිහාසය ටීචර්ගෙන් විනාඩි කිහිපයක් අරගෙන පරීක්ෂණය ඉවර කරලාම යමු කියලා. ටිචර් ඇවිල්ලා පරීක්ෂණ ඉතුරු ටික කරන්න ගන්නකොට ස්ප්‍රීතු ලාම්පුවේ ස්ප්‍රීතු ඉවර වෙලා තිබුණේ. ඊට පස්සේ  විද්‍යා මිස් ස්ප්‍රීතු කෑන් එක පිරිමි ළමයෙකුට කියලා එතනට ගෙන්නගෙන ප්ලාස්ටික් පුනීලයක් ආධාරයෙන්  ලාම්පුවට ස්ප්‍රීතු දාන්න හදනකොට මමයි මගේ  අනිත් යාළුවොයි කිව්වා තියෙනවා ටීචර් දැල්ල තාම යන්තමට තියෙනවා කියලා. ඒත් ටීචර් ගණන් ගත්තේ නැහැ.  තිරය කතුරෙන් බාගෙට ඇදලා පුනීලේ තියලා ස්ප්‍රිතු දාද්දි පුනීලය උතුරලා ගියා. මම හිටියේ පරීක්ෂණය කරපු තැනට වම් අත පැත්තේ.  ස්ප්‍රිතු උතුරලා යද්දිම ගිනි ගන්න ගත්තා. එකපාරටම ගිනි ගන්නකොට ටීචර් අතේ තිබුණ ස්ප්‍රීතු කැන් එක වීසි කළේ මගේ  මූණ ඉස්සරහට.  මට දැනුණා මගේ කොළරය ගිනි ගන්නවා වගේ. මම එළියට දුවලා බුද්ධ ගහක් ගලවලා ගසලා ඔළුවටයි බෙල්ලටයි ගහගෙන ගින්දර නිවා ගත්තා. ඒ එක්කම  එහා පැත්තේ විදු පියසේ හිටපු ටිචර් කෙනෙක් දැකලා දුවගෙන ඇවිත් මගේ ඔළුවේ ඉඳන් වතුර බෝතලේ හැළුවා. ඒ එක්කම අපට ඉතිහාසය උගන්න නන්දනී ටීචර් ආවා. ටීචර් තමයි මගේ ටයි එක ගලවලා සුදු ගවුමත් ඉරලා විසි කරලා  ගින්දර නිව්වේ . ගින්න නිව්වාට පස්සේ ටීචර්ගෙ සාරි පොටෙන් මම එතිලා හිටියා. ඊට පස්සේ තමයි ගුරුවරු එකතුවෙලා මාව රෝහලට ගෙනාවේ.”     

 ඇත්තටම උපකාර පන්තියකටවත් දාන්න මට වත්කමක් නැහැ . මේ මාස ටිකේ ඔන්ලයින් හරහා හරි දරුවාට පාඩම් වැඩ උගන්නලා දෙන්න ගුරුවරයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහා පිනක්.

වේදනාව දුක පපුවේ හිරවෙමින් නුවන්ජලා දියණියගේ හඬ බිදී ගියේය.
මවකගේ චෝදනා පත්‍රය 

නැවත හඬ අවදි කළේ නුවන්ජලාගේ මවය.              

“මුලින්ම කියන්න ඕනැ එදා ඇත්තටම මේ අනතුර වෙලා තියෙන්නේ බීකරයක් පුපුරලා නෙමෙයි. පත්තරවල ගියෙත් ඒ විදිහට. ඒක සම්පූර්ණ අසත්‍යක්. පාසලේ වරද වසන් කරන්නට මාධ්‍ය ගත්ත උත්සාහයක් ඒක. 

මාර්තු 23 උදේ 9.25 විතර ඉස්කෝලෙන් ඇමතුමක් ආවා.අම්මේ නුවන්ජලා විද්‍යාගාරයේ පරීක්ෂණයක් කරද්දි පුංචි  අනතුරක් වෙලා බදුල්ල රෝහලට අරන් ආවා එන්න කියලා . මට පාසලෙන් කිව්වේ චූටි දෙයක් වෙලා කලබල නැතුව එන්න කියලා. මම රෝහලට යනකොට දරුවාගේ ඇස් දෙක විතරයි පේන්නේ තිබුණේ. අනිත් ඔක්කොම බැන්ඩේජ්වලින් ඔතලා තිබුණේ. දරුවා වීදුරු කාමරයක ඇඳක දාලා තිබුණා. එතනදි දරුවාගේ ඇස් දෙක බලලා මෙයාව බදුල් රෝහලට මාරු කරලා යැව්වා. මේ පාසලේ පත්මා කියන විද්‍යා ගුරුවරිය අතින් තමයි මේ අනතුර වුණේ.  බණ්ඩාරවෙල රෝහලේදි පද්මා කියන ටීචර් මගේ ළඟට ඇවිල්ලා කිව්වා “බයවෙන්න එපා. මේ මං කොහොම හරි දරුවාගේ මූණ හදලා දෙනවා. මගේ අතින් තමයි වැරැද්ද උනේ කියලා එයා පිළිගන්නවා .

බණ්ඩාරවෙලින් බදුල්ල රෝහලට යැව්වා. එහිදී සැත්කමක් කළා. ඒත් බදුල්ලට යැව්වාට පස්සේ දරුවාට කොහොම ද මොකද කරන්නේ අපෙන් මොකද වෙන්න ඕනේ කියලවත් ඉස්කෝලෙන් කිසිම කෙනෙක් නැවත ඇහුවේ නැහැ. “

බණ්ඩාරවෙල පොලිසියෙන් සහනයක් නෑ

"ඒ වෙනකම් නීතිය පැත්තක් ගැන හිතන්නවත් මට සිහියක් තිබුණේ නැහැ. බදුල්ල රෝහලේදී ඩොක්ටර් මේ සිදුවීම අහලා මට කිව්වා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා. දරුවගේ සැත්කමට සිහිය නැති කරලා නිසා මම යන්නේ නැතුව පොලිසියට යැව්වේ මහත්තයාගේ අම්මා. අම්මා  බණ්ඩාරවෙල පොලිසියට ගියාම එතනදි පොලිසියේ  අය අම්මා බය කරලා නැවත එවලා තියෙනවා . මගේ තව එක දරුවෙක් ඒ පාසලටම යන නිසා ටීචර්ට විරුද්ධව පොලිසි යන්න එපා කියලා තමයි අම්මා හරවලා එවලා තිබුණේ.

මගේ දරුවා විඳින වද වේදනා ඇස් දෙකෙන්ම දැක්කේ, වින්දේ මම විතරයි. ඊට පහුවෙනිදා මම ගියා බදුල්ල පොලිසියට. ගියාම බදුල්ලට මේක අයිති නැ කියලා කිව්වා. එතනින් මට බණ්ඩාරවෙල පොලිසියේ  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය දුරකථනයෙන් කතා කරන්න කිව්වාම මම කතා කළා. ඒ වෙලාවේ  " අපි නීතිපතිට මේවා යවලා තියෙන්නේ. නීතිපති කිව්වට පස්සේ අපි නඩු දාලා දෙන්නම් කියලා හරිම සද්දේට කියාගෙන කියාගෙන කියාගෙන ගියා. 

දැරියගේ මව

මං කිව්වා මිස් ඉස්සෙල්ලා මං කියන කතාව අහන්න. මං කතා කළේ නඩු දාන්න නෙමෙයි, මට කාටවත් නඩු දාන්න, කාගෙන්වත් වන්දි ඕන නැහැ.  මං ඉල්ලන්නේ මගේ දරුවා සමාජයට මුහුණ දෙන්න පුළුවන් විදිහට දරුවාගේ මූණ හදල දෙන්න කියන එක විතරයි. මම ඒ  මොහොතෙත් ඉල්ලුවේ එක දෙයයි. රජයේ ගුරුවරු අද ඉඳලා හෙට මාරු වීමක් අරන් යයි.  මට ඒ ගුරුවරයා හොය හොයා යන්න බැහැ. ඒ නිසා මම කිව්වා මැඩම් ඒ ගුරුවරියගෙන් දරුවාගේ මූණ හදල දෙනවා ,සහ ඒකට යන ප්‍රතිකාර කරලා දෙනවා කියලා නීත්‍යනුකුලව ලියකිවිල්ලක් අරන් දෙන්න කියලා. ඒ ඉල්ලීම විතරයි මම කළේ. එතකොට බණ්ඩාරවෙල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය කිව්වා, කටඋත්තර ගන්න කෙනෙක් එවන්නම් කියලා. දින කිහිපයක් බලා සිටියා කිසිම කෙනෙක් ආවේ නැහැ. ”

බදුල්ල රෝහලේ සැත්කමෙන් පස්සේ නුවන්ජලා දියණිය මාර්තු 26  කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය. කොළඹ ජාතික රෝහලේ සුවිශේෂ වූ වීදුරු කාමරයක ප්‍රතිකාර ලබමින් සිටි නුවන්ජලාට අප්‍රේල් මාස 6 වැනිද ඩෙංගු රෝගය වැලඳුණේ පිලිසුම් වේදනාව තෙගුණ තෙගුණ කරමිනි.  

 එක ඉල්ලීමයි කරන්නේ මගේ දරුවාගේ මූණ හදාන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මට උදව් කරන්න.

දරුවා ළඟටවත් යන්න දුන්නේ නැතුව ඉඳලා ඩෙංගු හැදුණාට පස්සේ මට දරවා ළඟින් ඉන්න කියල වෛද්‍යවරු කිව්වා. ඊට පහුවැනිදා දරුවාට ඩෙංගු රක්තපාත තත්ත්වයට ඇවිල්ලා තිබුණා.  ඩෙංගුවලට ඇඟේ  වේදනාවයි තුවාලවල වේදනාවයි එක්ක  දරුවා පුදුම දුකක් වින්දා. දරුවාගේ ප්‍රතිශක්තීකරණය හොඳටම අඩුවෙලා ගියා. 

පස්සේ වෛද්‍යවරු කිව්වා දවස් දෙකෙන් දෙකට ප්‍රතිකාරවලට ගේන්න. මට දරුවා අරන් යන්න කොළඹ තැනක් නැතුව ගොඩාක් අසරණ වුණා. පස්සේ මහරගම මගේ අක්කා කෙනෙකු ළඟ ඉඳලා ජාතික රෝහලට දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාන්න එක්ක  ගෙන ගියා. දුව කොළඹට ගෙනාවට පස්සෙවත් ඒ මේ අනතුරට වග කියන්න ඕන බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාව ගුරුවරිය පද්මා දිසානායක එක දවසක්වත් මගේ දරුවා ඇවිල්ල බැලුවෙත් නැහැ. කතා කරලා කොහොමද කියලා ඇහුවෙත් නෑ. අද වෙනකොට මගේ දුරකතන ඇමතුමටවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. “

මව පවසන ආකාරයට තමන්ගේ අත්වැරදීමෙන් සිදු වූ අනතරින් අසල සිටි දියණියක පිලිස්සෙද්දී  'මනුෂ්‍යත්වය' සහ 'වගකීම' යන විෂය ඉදිරියේ මෙම පාසලේ විද්‍යා ගුරුවරිය වන  පද්මා දිසානායක ගුරුවරිය වගේම  ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට විදුහල්පතිවරයා අසමත් වී ඇත. 

පාසලෙන් අප මේ බව විමසූ විය තවමත් ඒම ගුරුවරිය එම විෂය ධාරාව යටතේ රාජකාරි කරන බවත්, ඇයට නීතිය පැත්තෙන් කිසිදු දඬුවමක් මේ වන ලැබී නොමැති බවත් පවසා සිටියේය. 

අද

තමන් අතින් සිදුවූ අනතුරෙන් වන්දි ගෙවන දරුවා දෙස හැරී නොබලන තරමට ඒ ගුරුවරියගේ හෘද සාක්ෂිය ගල් වී ඇත. අනෙක් පැත්තෙන්, මේ මහා අපරාධයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නීතිය, අසරණ මවකගේ සහ ගැහැනු දරුවකුගේ විලාපය හමුවේ බිහිරිව, ඉබි ගමනින් යමින් පැවතීම, වගකීම් විරහිතභාවයේ සහ මන්දගාමී නීතියේ කුරිරු ප්‍රතික්‍රියාවෙන් නුවන්ජලා දියණියගේ මුළු ජීවිතයම පණපිටින් වළ දමා ඇත.

බණ්ඩාරවෙල පොලිසිය මේ ප්‍රශ්නයට සහනයක් නොදුන් නිසාත් මට ඇහුම්කන් දුන්නේ නැති නිසාත් අප්‍රේල් 5 වැනිදා මම ගියා කොළඹ ළමා  ළමාරක්ෂණ අධිකාරියට. ළමාරක්ෂණ අධිකාරියෙන් එයි කියලා හරි මම බලාපොරොත්තුවෙන් හිටියා එයාලාත් නීතිය ක්‍රියාත්මක කරන බවක් පෙනුණේ නැහැ. හැමෝම කරේ එක එක්කෙනාට බෝලේ පාස් කළ එක. ඊට පස්සේ මම යනවා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට. අප්‍රේල් 22 .ඒ වෙන තුරුවත් මගෙන්වත් දරුවාගෙන්වත් කිසිම පොලිසියක් කටඋත්තරයක් අරන් මොකද වුණේ කියලාවත් අහලා තිබුණේ නැහැ. 

ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට ගියාම මාව දැම්මා ඩී අයි ජී මැඩම් ළඟට. නීතිය පැත්තෙන් පොඩි හරි දෙයක් මගේ දරුවාට වුණා නම් වුණේ ඒ මැඩම් ළඟට ගියාට පස්සේ. ඒත් තාම නීතිය පැත්තෙන් මගේ දරුවාට කිසිම සාධාරණයක් වෙලා නැහැ. මම ඒ අදාල අංශවලට ඇමතුම් ගත්තාත් ඒ නිලධාරින් මගේ දුරකථයට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ අවනඩුව කාටද කියන්න ඕක කියලා මට තේරෙන්නේ නැහැ.  

අද වන විට නුවන්ජලා ශාරීරික වේදනාවටත් වඩා ඇය දවා අළු කරන්නේ මානසික වේදනාවය. කන්නාඩියක් දෙස බලා තමන්ගේම මුහුණ දෙස බැලීමට තරම් අද ඇයට ශක්තියක් නැත. නමුත් ඛේදවාචකය එය පමණක් නොවේ. මේ දරුවා වෙනුවෙන් පෙනී සිටින්නට, බෙහෙත් ටිකක් ගන්නට අතහිත දෙන්නට අද කවුරුත් නැත. දරුවන් හතර දෙනෙක් පපුවට තුරුලු කරගත් ඒ අසරණ මව අද මෙලොව තනි වී ඇත. 

“දරුවා මේ පාර සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමිනුයි හිටියේ. දුවගේ ප්‍රතිකාර කටයුතුත් එක්ක වෛද්‍යවරු කියනවා තව මාස හතර පහකටවත් එළියට බහින්න බැරි වෙයි කියලා. ඒ නිසා දුවට පාසල් යන්න බැහැ. ඒත් දරුවාගේ ජීවිතය තව වසරක් ආපස්සට යන නිසා මම උත්සාහ කරන්නේ  online පන්ති කරවල හරි  දරුවා මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවන්න. ඇත්තටම උපකාර පන්තියකටවත් දාන්න මට වත්කමක් නැහැ . මේ මාස ටිකේ ඔන්ලයින් හරහා හරි දරුවාට පාඩම් වැඩ උගන්නලා දෙන්න ගුරුවරයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහා පිනක්. 

තමන්ගේ අත්වැරදීමෙන් සිදු වූ අනතරින් අසල සිටි දියණියක පිලිස්සෙද්දී  'මනුෂ්‍යත්වය' සහ 'වගකීම' යන විෂය ඉදිරියේ මෙම පාසලේ විද්‍යා ගුරුවරිය වන  පද්මා දිසානායක වගේම  ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට විදුහල්පතිවරයා අසමත් වී ඇත .  පාසලෙන් අප මේ බව විමසූ විය තවමත් ඒම ගුරුවරිය එම විෂය ධාරාව යටතේ රාජකාරි කරන බවත්, ඇයට නීතිය පැත්තෙන් කිසිදු දඬුවමක් මේ වන ලැබී නොමැති බවත් පවසා සිටියේය. 

දරුවාව තියාගෙන මාස එකහාමාරක් විතර මට කොළඹ ඉන්න වුණා. මම මගේ කුඩා ව්‍යාපාරය කරගෙන ගියේ බැංකු ලෝන් අරන් .දරුවන් හතර දෙනා ජීවත් කරගත්තේ මගේ ව්‍යාපාරයෙන්. ව්‍යාපාරය අඩාළ වුණා. බැංකු ණය වාරික ගෙවා ගන්න බැරි වුණා. දරුවෝ හතර දෙනාත් එක්ක මම ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. දරුවාගේ පිලිස්සුම් තුවාල ඉක්මනින් හොඳ වෙන්න ප්‍රෝටීන් අධික ආහාර තමයි දෙන්න කියලා තියෙන්නේ. දරුවට කෑමට විතරක් ලොකු වියදමක් මට දරන්න සිද්ධ වෙලා තියෙනවා.

වෛද්‍යවරු කියන්නේ දරුවාගේ කැළලි සම්පූර්ණයෙන්ම මකන ක්‍රමයක් තාම දන්නේ නැහැ. දැනට ප්‍රතිකාර කරගෙන යනවා. වසර තුන හතරක් යයි කියනවා මේ කැළැල් මැකෙන්න. ඉතින් මගේ එක ඉල්ලීමයි කරන්නේ මගේ දරුවාගේ මූණ හදාන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මට උදව් කරන්න. දරුවා සමාජයට යන්න ඕනේ. එයා ලොකු මහත් වෙන්න ඕන. විවාහ වෙන්න ඕන. කැළැල් ටික මකා ගන්න තමයි මට ඕන.”  

පිලිස්සී රෝහල්ගතවූ අවස්ථාව

එදා හිනා වී දුව පැන ඇවිද්ද නුවන්ජනා ආලෝකය නොමැති බිත්ති හතරකට මැදිව පිලිස්සෙන්නේ හදවතින්ය. මේ නුවන්ජලා දියණියගේ හඬය.

“වෙච්ච අනතුර නිසා මගේ මුහුණේ තියෙන්නේ ගැඹුරු තුවාල කියලා වෛද්‍යවරු කියනවා. මට හිරු එළියට නිරාවරණය වෙන්න හොඳ නැහැ. මූණේ කැළැල් නිසා සමාජයට මුහුණ දෙන්න අමාරුයි. මම දැන් සමාජයට මුහුණ දෙන්න බයයි. මට මගේ මුහුණ දැක්කම ම බයක් දැනෙනවා. පාසල් යන්න බැරි වුණත් විභාගයට මුහුණ දෙන්න උපරිම උත්සාහ කරනවා.”

දින, සති, මාස ගෙවී යයි. නඩු විභාග සහ පරීක්ෂණ ඉබි ගමනින් යද්දී, නුවන්ජලාගේ ජීවිතය දිනෙන් දින ගෙවෙන්නේ බලාපොරොත්තු  විරහිතවය. නීතිය ප්‍රමුඛ විය යුත්තේ මෙවැනි අසරණ වුණු දරුවන් වෙනුවෙන් නොවේ ද? 

ඛේදවාචකය එතැනින් නතර වන්නේ නැත. මේ දරුවා වෙනුවෙන් පෙනී සිටින්නට, බෙහෙත් ටිකක් ගන්නට අතහිත දෙන්නට අද කවුරුත් නැත. පවුලේ පියාගේ සෙවණැල්ලක් ද නොමැති වටපිටාවක, දරුවන් හතර දෙනෙකුත් පපුවට තුරුලු කරගත් ඒ මව අද මෙලොව තනි වී ඇත. එක පැත්තකින් පිලිස්සුම් තුවාලවලින් පීඩා විඳින දියණියගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍යය. අනෙක් පැත්තෙන් අනෙක් දරුවන් තිදෙනාගේ බඩගින්න නිවිය යුතුය. ජීවත් වන්නට ක්‍රමයක් නැතිව, දරුවාගේ ඖෂධ වේල පිරිමසා ගන්නට විදියක් නැතිව ඒ මව වචනයේ පරිසමාප්තියෙන්ම අන්ත අසරණ වී ඇත. 

නුවන්ජලා දියණියට අවශ්‍ය කරන්නේ අනුකම්පාව නොව. ඇයට සිදුවූ අසාධාරණයට සාධාරණයක් සහ යුක්තියක් පමණි. ඇගේ ජීවිතය අඳුරු කළ උදවිය නීතිය හමුවට පැමිණවිය යුතුය. 

ඇය තවමත් බලා සිටී. කඳුළු පිරුණු දෑසින්, වේදනාබර හදවතින් යුක්තිය ඉටු වනතුරු ඇය මඟ බලා සිටියි.. 

නදීශා අතුකෝරළ