අම්මගෙ බඩේ ඉඳන් යූ.එන්.පියට කැන්වසින් ගිය විපක්ෂ දේශපාලනඥයා


ජනපති ශානක්‍යයන්ගේ පියාගේ මළගෙදර

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යයන්ගේ පියාණන් වූ වෛද්‍ය රාසමානික්කම් රාජපුත්‍රම් ඉකුත්දා අභාවප්‍රාප්ත වූ අතර දේහය තැන්පත් කර තිබුණේ බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍ය ශාලාවේය. පාර්ලිමේන්තු මැති ඇමැතිවරු මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ද එම අවමඟුලට සහභාගි වූහ.

මන්ත්‍රී රවි කරුණානායක සහ හිටපු මන්ත්‍රී සුමන්දිරන් ශානක්‍යයන් සමග කතාබහ කරමින් සිටියදී ජනාධිපති අනුර කුමාර දිසානායක එහි පැමිණියේය.

දේහයට ගෞරව දක්වා ජනාධිපතිවරයා ශානක්‍යයන් හා රවි ඇතුළු පිරිස සිටි තැනට පැමිණියේය. රවි හා සුමන්තිරන් ඇතුළු පිරිස කතාකරමින් සිටියේ අයවැය ගැනය. 

‘රවි මොකද කියන්නෙ අයවැය ගැන...ජනාධිපතිවරයා විමසුවේය.

‘ජනාධිපතිතුමනි.... යම් විදිහකට සාධනීය ලක්ෂණ තියෙනවා. ඒ වගේම අනවශ්‍ය දේත් තියෙනවා....’රවි කියද්දී ජනාධිපතිවරයා සිනාසෙමින් අසා සිටියේය. ‘හොඳයි අපි පසුව හමුවෙමු....’ එසේ කී ජනාධිපති එතැනින් නික්ම ගියේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ගොළු ඇයි?

පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් නියෝජනය කළ මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂය සමග ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යන ජනාධිපති අනුර කුමාර දිසානායක ඕනෑම තැනකදී තමන් සමග මිත්‍රශීලීව කතාබහ කරන බව විපක්ෂය කියයි. යහපාලන රජය සමයේ අනුර දිසානායක මන්ත්‍රීවරයා දූෂණ විරෝධී කමිටුව නියෝජනය කරමින් තමන් සමග ඉතා සමීපව කටයුතු කළ බව ද ඔවුහු කියති. එහෙත් වත්මන් විපක්ෂය නිරතුරුව පවසන්නේ ජනාධිපතිවරයා එසේ මිත්‍රශීලීව හැසිරුණත් ජවිපෙ නොවන මාලිමා මන්ත්‍රීවරුන් තමන් සමග වචනයක්වත් කතා නොකරන බවය. ඉකුත් සතියේ අයවැය විවාදයේදී මන්ත්‍රී මනෝ ගනේෂන් ද පැවසුවේ ඒ ගැනය.

ජනාධිපතිතුමා අපිත් එක්ක ඉතා සමීපව සුහදශීලීව කතාබහ කරලා කටයුතු කරනවා. ඒත් ආණ්ඩු පක්ෂයේ අනික් අය කතා කරන්නෙවත් නෑනේ. මොකද මේ... ඔයාලා ඉගෙන ගන්න ඔයාලගෙ ජනාධිපතිතුමාගෙන් විපක්ෂය එක්ක වැඩ කරන හැටි’ මනෝ ගනේෂන් කියා සිටියේය.

යූත් පාලම උතුරට

ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා රජය ඉකුත් සතියේ උතුර සහ දකුණ යා කරන තරුණ හුවමාරු වැඩසටහනක් සංවිධානය කළේය. ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහනට දිස්ත්‍රික්ක පහක තරුණ තරුණියෝ විසිපස් දෙනෙක් යාපනයේ සහ නැගෙනහිර පළාතේ නිවාසවල නවත්වා ආහාර පිළියෙල කිරීම, සංස්කෘතික වැඩසටහන් ක්‍රීඩා ඇතුළු ක්‍රියාකාරකම් රැසක නිරත වූහ.

මත්කුඩු ලෝලීන් සිරගත නොකරයි?

මත්කුඩු සහ පාතාල මර්දන මෙහෙයුමේ පියවරක් ලෙස බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා ද රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සුළු වශයෙන් පාවිච්චි කරන පුද්ගලයන් අල්ලා රිමාන්ඩ් භාරයට පත් නොකර ඔවුන් ඍජුවම වෛද්‍යවරයකුට ඉදිරිපත් කර පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් සඳහා රජය මේ දිනවල සලකා බලමින් සිටියි.

රජය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන වන ‘රටම එකට’ වැඩසටහන යටතේ මේ වන විට මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විවිධ උපක්‍රම සලකා බලමින් සිටින අතර මත් ජාවාරම්කරුවන් පමණක්  සිරභාරයට පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇත්තේ ඒ අනුවය. පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රට තුළ විශාල වශයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන නොමැති නිසා වෛද්‍යවරුන්ට මෙම මත් ලෝලීන් ඉදිරිපත් කර නිවසේ සිට පුනරුත්ථාපනය කළ හැකි අය නිවෙස්වල සිටද සෙසු අය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නවත්වනවාද මත් ලෝලීන් පුනරුත්ථාපනයට රජයේ අවධානය යොමු වී ඇත්තේ බන්ධනාගාර පද්ධතිය විශාල වශයෙන් පිරී ඇති නිසාය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පුනරුත්ථාපන අධිකාරිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත.

සජබ කණ්ඩායම් රැස්වීම

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කළේ අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ගත යුතු පියවර ගැනය.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වෙද්දීම විපක්ෂනායක සජිත් පැවසුවේ ආණ්ඩුව බොරු ගොඩක් කියල බලයට ඇවිත් තවත් බොරු කරල අයවැය ඉදිරිපත් කළා. මේ අයවැයට අපි පහර දෙන්න ඕනැ. මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න ඕනැ...’ යනුවෙනි.

අපේ මේ සමහර අයත් කියල තියෙනවලුනේ භාණ්ඩාගාරය පිරිලා...මේ රජය යටතේ...ඒකට හරි සතුටුයි කියලා. මොනවද මේ කතා.....’ සුජීව සේනසිංහ ප්‍රශ්න කළේය.

‘ප්‍රාග්ධන වියදම් කපා හැරලා. බදු පිට බදු ගහලා කියනවා භාණ්ඩාගාරය පිරුණලු... එහෙම නම් මිනිස්සුන්ට සහනයක් තියෙන්ඩ එපායැ... එහෙම එකක් නෑනෙ....’ මන්ත්‍රී ජගත් විතානද කීවේය.

වතු කම්කරු වැටුප වැඩි කළා කියල වතු සම්ගම්වලින් රුපියල් දෙසීයකුයි රජයෙන් දෙසීයකුයි දාල පඩිය වැඩි කරනවලු... ඒක පහත රට තේ වගාකරුවන්ට ප්‍රශ්නයක්. අපිට සමාගම් නෑ. එතකොට මේ පළාත්වල කම්කරුවන්ට වැඩි කළ පඩිය දෙන්නෙ කවුද? මේක පහතරට තේ කර්මාන්තයට ලොකු ප්‍රශ්නයක්. ලොකු වතුවල එහෙම දුන්නට අපෙනුත් කම්කරුවො බලාපොරොත්තු වෙනවා. ජගත් විතාන සඳහන් කළේය.

විපක්ෂය සමග සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පොරොන්දු වූ පරිදි විපක්ෂ මන්ත්‍රීවරුන්ට තවමත් ආරක්ෂාව ලැබී නැති බව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ පිළිබඳව කතානායකවරයාගේ අවධානයට ලක් කිරීමටද තීන්දු විය.

ජගත් වාහනය එපා කියයි

අයවැය කතාව කරමින් ජනාධිපති අනුර දිසානායක පැවසුවේ සියලු මන්ත්‍රීවරුන්ට රජයෙන් කැබ් රථයක් ලබාදෙන බවය. රාජ්‍ය වුවමනා සඳහා ද සමග කැබ් රථ එක්දහස් හත්සිය හැත්තෑපහක් ආනයනය කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙම වාහන තොගය ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දැනටම ප්‍රශ්න මතුකර ඇත. මෙහිදී ජගත් විතාන මන්ත්‍රීවරයා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමා මෙම වාහනය ලබා නොගන්නා බවය. මම වාහන ගන්නෙ නෑ කියලා ඡන්දයේදී ජනතාවට පොරොන්දු වුණා. මට වාහනයක් ගේන්න එපා... එතකොට මේ වාහනය හැර වාහන එක්දාස් හත්සිය හැත්තෑ හතරක් ගේන්න....’ ජගත් විතාන කියා සිටියෝය. මේ පිළිබඳව ජනාධිපති හා මුදල් අමාත්‍යාංශයට ලිපියකින් දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

ලතාගේ උපන් දිනයට සජිත් යයි

ඉකුත් අඟහරුවාදා සවස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ සිටි මන්ත්‍රීවරුන් ගණනාවකටම කතා කළේ හදිසි උත්සවයක් සඳහා යාමටය. ‘කට්ටියම යමු පොඩි ගමනක්... මගදි කියන්නම්....’  සජිත් එසේ කියා මන්ත්‍රීවරුන් සමග වාහන දෙකකින් පිටත් විය.

දන්නවද අපි යන්නෙ ගීත කෝකිලා ලතා වල්පොල මහත්මියගේ උපන් දිනය සමරන්න.....’ සජිත් ගමන යන ගමන් මන්ත්‍රීවරුන්ට කීවේය.

සජබ මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, ජේ.සී. අලවතුවල, රෝහණ බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, එම්. ධර්මසේන, කිංස් නෙල්සන්, සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සමග සජිත් කෙළින්ම ගියේ බත්තරමුල්ලේ පිහිටි ලතා වල්පොල මහත්මිය සිටි නිවසටය. එදින ඇගේ අනූඑක් වැනි උපන් දිනය විය. පිරිස යද්දී දයාන් විතාරණ ප්‍රමුඛ කලාකරුවෝ කිහිප දෙනෙක්ද එහි වූහ. සජිත් ගියේ මල් කලඹක්ද රැගෙනය. ලතා අතට මල් කලඹ දුන් සජිත් ‘කොහොමද ආන්ටි’ යි පවසා සගයන් දෙසට හැරුණේය.

‘මෙතුමියව මම කුඩා කාලෙ ඉඳලම දන්නවා. අපේ තාත්තගෙ ගම් උදාවලට නොකඩවාම පැමිණි කලාකාරිනියක්...’ එසේ පිරිසට ලතා හඳුන්වා දුන් සජිත් ඇය වෙනුවෙන් රැගෙන ගිය උපන් දින කේක් ගෙඩියද ඇය හා එක්ව කපා සුබ පැතුවේය. ඕගනය වාදනය කරමින් ලතා වල්පොල මහත්මිය සමග ගීයක්ද ගායනා කළ සජිත් ලතාගෙ දුකසැප විමසමින් සෑහෙන වේලාවක් එහි රැඳී සිටියේය.

සජබ හොරණ කාර්යාලය විවෘත වෙයි

හොරණ සජබ සංවිධායක ලෙස පත්වූ චරිත් අබේසිංහගේ මූලිකත්වයෙන් පක්ෂයේ නව කාර්යාලය ඉකුත් සතියේ සජබ නායක සජිත් ප්‍රේමදාස අතින් විවෘත විය. එම කාර්යාලය පිහිටුවා ඇත්තේ හිටපු මන්ත්‍රී කිත්සිරි කහටපිටියගේ නිවසකය. අජිත් පී. පෙරේරා සහ ජගත් විතාන යන සජබ මන්ත්‍රීවරුද එම උත්සවයට සහභාගි වූහ.

‘කළුතර කියන්නේ දේශපාලනයේ ඉතා ක්‍රියාශීලී දිස්ත්‍රික්කයක්. මගේ විශේෂ අවධානය කළුතරට යොමු කරනවා. තවත් ආසන සංවිධායකවරුන් කීප දෙනෙක් පත් කරන්නත් තියෙනවා. ජනාධිපතිතුමා ළඟදී අයවැය ඉදිරිපත් කළා. හිනාවෙවී කැරකි කැරකී හයියෙන් සහ හිමින් කතා කරමින් එතුමා අයවැය ඉදිරිපත් කළත් ඒකෙ තිබුණෙ බොරු මල්ලක්.....’ විපක්ෂනායක සජිත් එහිදී කියා සිටියේය.

තම කතාවේදී ජගත් විතාන පක්ෂ නායකයාගෙන් ඉල්ලා සිටියේ තවත් ආසන සංවිධායකවරුන් පත්කිරීමට සිටී නම් එම කටයුත්ත ඉතා පරිස්සමින් සිදු කරන ලෙසය. මම දිස්ත්‍රික් සංවිධානයේ ලේකම්. අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා සභාපති. අපෙන් නාහ නම් කවුරුත් පත්කරන්න එපා. ගිය පාරත් අපෙන් නාහ එක්කෙනෙක්ව පත් කරල තිබුණා. මෙයා පක්ෂය වික්කා.. මාලිමාවට අපේ සභාවක් දුන්නා.... මේක හරි අපරාධයක්.
තනියම නම් තීන්දු ගන්න එපා...’ ජගත් විතාන පක්ෂ නායකයන්ට කියා සිටියේය.

අපි තමයි රටේ ප්‍රබල විපක්ෂය. දැන් ඔය විසිඑක්වැනිදාත් රැස්වීමක් තියෙනවනේ. ඒකට අපි යන්නෙ නෑ. මොකද එයාල හදන්නේ අපේ ඇඟේ එල්ලිලා ලේ උරා බොන්න. පාර්ලිමේන්තුවේ කිසිම නියෝජනයක් නැති ඒ වගේම ප්‍රාදේශීය සභාවකවත් බලය නැති කුඩා පක්ෂවල කීප දෙනෙක් මාධ්‍ය සංදර්ශනයක් දාන්න හදන්නේ..... නායකතුමනි, අපියි රටේ ප්‍රධාන විපක්ෂය. ඔය රැලියෙන් පස්සෙ අපි ප්‍රධාන විපක්ෂය ලෙස තවත් පක්ෂ කීපයක් එක්ක ඔයිට වඩා විශාල රැලියක් තියමු....’ ජගත් විතාන එහිදී තවදුරටත් කියා සිටියේය.

කතා කිරීමේ අයිතිය දෙන්න

මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ අයිතිය ඇතුළු වරප්‍රසාද පිළිබඳව ඇත්තේ විසිනවය එක නමැති වගන්තියේය.
මේ වගන්තිය යටතේ තමන්ට කතා කිරීමට ඇති ප්‍රශ්න කතානායකවරයාට දැනුම් දීමෙන් පසු කතා කිරීමේ අවසරය හිමි වෙයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉකුත් සතියේ ආණ්ඩු පක්ෂය සමග හැප්පුණේ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ඇති අයිතිය අහිමි කර ඇති බව පවසමිනි.
‘කතානායකතුමනි, අපි අවුරුදු විසිඑකක් පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. අනික් හැම ආණ්ඩුවම අපේ කතා කිරීමට ඇති අයිතියට බාධා කළේ නෑ.... අපිට කතා කිරීමට ඉඩ දෙන්න....’ එසේ කී දයාසිරි මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතියෙන්ද උපුටා දැක්වීය.

‘මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැම දෙනාගේම වරප්‍රසාදයක්. අපි මෙතෙන්ට එන්නෙ කතා කරන්නනේ. ලංකාවේ පළමුවැනි වතාවට ගොවියො කෘෂිකර්ම ඇමැතිටයි නියෝජ්‍ය ඇමැතිටයි වෙළෙඳ ඇමැතිටයි තුන් දෙනාටම එම තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න කියනවා. අල ලූනු ප්‍රශ්නෙ. ඉල්ලා අස්වෙලා එම අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගන්නලු. මේක මහජන ප්‍රශ්නයක්. මම නැගිට්ටේ මේ ගැන කතා කරන්න. ඇයි අවසර නොදෙන්නේ. ඉස්සර ගොවීන් වෙනුවෙන් කෘෂිකර්ම ඇමැති කතා කරනවා. පාරිභෝගිකයො වෙනුවෙන් වෙළෙඳ ඇමැති කතා කරනවා. අනුහතරේදී කිංස්ලි වික්‍රමරත්නයි, දිමු ජයරත්නයි මෙතන හැප්පුනා. තම අමාත්‍යාංශයේ ගෞරවය රැකගන්න... එහෙමයි ඇමැතිවරු වැඩකරන්නේ...’ දයාසිරි කීවේය. මෙම ප්‍රශ්නයෙන් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුව උණුසුම් විය.

නාමල් ඇතුළු පිරිස ශ්‍රීලනිප මූලස්ථානයේ....

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූයේ ශ්‍රීලනිපයෙන් කැඩී යාමෙනි. නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිස ඉකුත් සඳුදා ඩාර්ලි පාරේ ශ්‍රීලනිප එළිපත්ත පැන්නේය. විසිඑක් වැනිදා රැලිය ගැන පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රීලනිපයෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර යාපා, චාමර සම්පත්, ලසන්ත හා දුමින්ද දිසානායකද එක්ව සිටියහ.

 ‘අපි හිතුවටත් වඩා ගම්වල අය අපේ රැලිය ගැන ලොකු උනන්දුවකින් වැඩ කරනවා. අනිවාර්යයෙන්ම විශාල පිරිසක් රැස්වීමට එන එක ස්ථීරයි. සර්...’ නාමල් නිමල් සිරිපාල අමතමින් රැලියේ මෙහෙයුම් කටයුතු ගැන පැහැදිලි කළේය.

‘නාමල් කියන කතාව හරි. ඊට අමතරව ලොකු නැචුරල් ක්‍රවුඩ් එකකුත් එයි කියල හිතෙනවා. එයි කියල හිතපු නැති පිරිසක් මටත් කතා කළා...’ අනුර යාපා කීවේ නාමල්ගේ පැහැදිලි කිරීම අනුමත කරමිනි.

අපි අපේ ආසන සංවිධායකයන් එක්ක කතා කරල රැස්වීමේ අපේ දායකත්වය සැලසුම් කරල තියෙන්නේ...’ දුමින්ද දිසානායක කීවේය.

සර්ගෙ පොටෝ එක තාම ඒ විදිහටම තියෙනවා....’ ලසන්ත අලගියවන්න කීවේ ශ්‍රීලනිප මූලස්ථානයේ ඇති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය නාමල්ට පෙන්වමිනි. රැස්වීම අවසන් වී පිරිස නික්ම එද්දී කාලයකට පසු නාමල්ට මුණගැසුණු ශ්‍රීලනිප කාර්ය මණ්ඩලය නාමල්ව වැලඳ ගෙන ආගිය තොරතුරු විමසූහ.

නාමල් රනිල්ගේ කාර්යාලයේ

එජාපය සමග නාමල්ගේ හමුව පැවතියේ මල් පාරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදීය. නුගේගොඩ රැලිය ගැන පැවැති මෙම සාකච්ඡාවට පොහොට්ටුව වෙනුවෙන් නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සංජීව එදිරිමාන්න සහභාගි වූහ. එජාපය වෙනුවෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රෝසි සේනානායක, සුනේත්‍රා රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජන පීඩක ආණ්ඩුවලට එරෙහිව ලෝක දේශපාලනයේ විපක්ෂ බලවේග එකතුවෙලා වැඩ කරල තියෙන්නෙම තම තමන්ගෙ ප්‍රතිපත්තිමය වෙනස්කම් සමග. අපි අතරත් එකම ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා. විපක්ෂයේ සියලු පක්ෂ එක ප්‍රතිපත්තියකට එකතු වනතුරු හිටියොත් මේ ආණ්ඩුව ජාතියම බිමට සමතලා කරල තියෙයි....’ නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියේය.

අම්මගෙ බඩේ ඉද්දීම මම යූඇන්පිය වෙනුවෙන් කැන්වසින් ගිහින් තියෙනවා. ඒ කාලෙ නාවලපිටිය යූ.ඇන්.පී සංවිධායක හිටියෙ අපේ මාම....’ ගම්මන්පිල කියද්දී සභාවේ සිටි පිරිස අත්පුඩි ගැසූහ.

‘ඔබතුමාලගෙ ප්‍රවාහන සැලසුම කල් ඇතිවම අපිට දෙන්න... එතකොට අපිට පුළුවන් අපේ අයත් ඒ බස්වලට එකතු කරවන්න...’ සාගල නාමල්ට කීවේය.

එහෙනම් අපි තව බස් කීපයක් වැඩි කරන්නම්. නැතිනම් පුට්බෝඩ් තමයි එන්න වෙන්නේ...’ නාමල් කීවේ සිනාසෙමිනි.

ඊළඟ පාර මම කැමැතියි සිරිකොතේදි ඔබව හමුවෙන්න. මම කවදාවත් සිරිකොත ඇතුළට ගිහින් නෑ. කලු කෝපි එකක් බීලම අපි එදාට කතා කරමු...’ නාමල් සිරිකොත ගැන කියද්දී මුළු සභාවම සිනාවෙන් පිරී ගියේය.

වතුකම්කරු වැටුප් කිරීමේ ගැටය

ආර්ථික පන්තියේ (economy class) ගුවන් ටිකට්පත්වලින් ඇමැතිවරුන් හතර දෙනකු ව්‍යාපාරික පන්තියේ (business class) ගොස් ඇති බවට සුජීව සේනසිංහ පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව ළැව් ගින්නක් සේ පැතිර ගියේය.

ඒ ඇමැතිවරු හතර දෙනා ආර්ථික පන්තියේ ආසනවල වාඩි වී විදුලි බුබුළු නිවා දමා ව්‍යාපාරික පන්තියේ අසුන්වලට ගොස් ඇතැයි මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.

“එයාර් හොස්ටර්ස්ලත් බය වෙලා භූතයෝ හතරක් යනවා කළුවරේ කියලා” යැයි සුජීව කීවේ මුළු සභා ගැබම සිනාවේ ගිල්වමිනි.

මේ විදියට මන්ත්‍රීවරුන්ට ලැබෙන ආරාධනා පත්‍රය හා ගුවන් ටිකට්පත් පාර්ලිමේන්තුව පරීක්ෂා කරන්නට ඕනෑ යැයි සුජීව යෝජනා කළේ මේ වගේ විහිළු සහගත වැඩ දවසින් දවස එකින් එක වාර්තා වෙමින් තිබෙන නිසාය.

මේ කතාව නායක රනිල්ට ආරංචි වී තිබිණ. අදාළ එංගලන්ත සංචාරයට විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ තිබුණත් ආණ්ඩුවේ හතර දෙනෙකුම ඊට ගොස් තිබෙන බව දැනගන්නට තිබේ.

“කථානායකතුමා සංචාරයට ගියා නම් ආණ්ඩුවේ තව එක ඇමති කෙනෙකුට යන්න තිබුණා. පසු පෙළ මන්ත්‍රී කෙනෙකුටත් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙකුටත් ඒ අවස්ථාව හිමි විය යුතුව තිබුණා”‍ රනිල් මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබිණ.

වතු කම්කරුවන්ගේ පඩි වැඩිකිරීම සඳහා ගසා තිබූ ගැටේද ප්‍රශ්න ගොඩකට මුල පාදන බව දේශපාලන විශේෂඥයන්ගේ මතය විය.

“ආබාධිත අයට එහෙම සහනාධාර දෙන්න ක්‍රමයක් තියෙනවා, මේවා ගෙවනවා නම් නීතියක් අවශ්‍යයි. නීතියක් ආවාම හරි. ඒ නීතියෙන් කියන්නේ ඕන කාටද මේ සහනය දෙන්නේ කියලා. අද තියෙන නීතිය අනුව මේක කරන්න බෑ.

මූලික අයිතිවාසිකම් අනුව හැමෝටම එක විදියට සලකන්න අවශ්‍යයිනේ.තේ වතුවලට සලකනවා නම් රබර් වතු, ඇඟලු‍ම් කම්හල්, ඔය වගේ මේ ක්‍රමය නවත්වන්නේ කොහෙද? සමාගම් කිහිපයකට විතරක් මේ සහනය දීල නවත්තන්න බැරි වෙනවා”‍ රනිල් ඒ ගැන පුළුල් විවරණයක් කළේ එසේය.

“මෙතන කියන්නේ මහජනතාව එක කොටසක් ගෙවන සල්ලි අරගෙන තව කොටසක⁣ට දෙන්න කියලා”‍ රුවන් පැහැදිලි කිරීමක් කළේය.

ජනාධිපති අයවැයේදී කිව්වේ වතු කම්කරුවන් විදේශ විනිමය ගෙනෙන්න සුවිශේෂ කැපකිරීමක් කරන නිසා මේ දීමනාව දිය යුතු බව යැයි රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න කීය.

“ඒ තර්කෙට අනුව ටුවරිසම්වල ඉන්න අයට මේක නොදෙන්නේ ඇයි? එහෙම බැලු‍වොත් මීගමුවේ ඉන්න වෛශ්‍යාවන්ටත් මේක දෙන්න ඕන නේද?”‍ මුඛරි මන්ත්‍රීවරයෙකු ඒ කී කතාවට රනිල්ටත් සිනහ පහළ විය.

“නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියනව වගේ වතු කම්කරුවන්ගේ මේ පඩි වැඩිවීමත් ඇත්තටම කෙරෙන විදිහට කළොත් හොඳයි”‍ රනිල් කීවේ තමාගේ කාලයේ වතු සේවක පඩි වැඩි කිරීමට ගත් සාධනීය පියවර පිළිබඳවද විස්තර කර දෙමිනි.

“පඩි වැඩි කරන්න බැරි නම් වතු අපිට ආපහු දෙන්න කියලා මම කිව්වා”‍ රනිල් කීවේය.

රනිල් නොදුන් වාහන දැන් මේ ආණ්ඩුව විසින් මන්ත්‍රීවරුන්ට ලබාදීමට යයි.මේ පිළිවෙළින් වන්නේ අවුරුදු පහේම ආණ්ඩුව විසින් මේ වාහන නඩත්තු කළ යුතු වීමයි.

“තමන්ගේ කියලා හැඟීමක් නැති නිසා ඔය වාහනවලින් ගල්, සිමෙන්ති ගොම වගේ දේවලු‍ත් අදීවි”‍ චාමර සම්පත් එසේ කීවේ ආණ්ඩුවේ පැටිකිරිය ගැන ඔහු හොඳාකාරවම අධ්‍යයනය කර සිටි නිසාය.

හරීන් එජාප නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ භාර ගත්තේ පිට කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. මාස 6ක් යාමට පෙර එක්සත් ජාතික පක්ෂයේ බලවේගයක් නිර්මාණය කරන බව හරීන් වැඩ භාර ගනිමින් කීවේය.

හරීන් එහිදී තවත් අලු‍ත් කතාවක් හෙළිදරව් කළේය. ඒ ලබන දෙසැම්බරයේ සිට අරඹන්නට යන වැඩකි. “රනිල්ගෙන් ඉගෙන ගන්න’ ඒ වැඩසටහනේ නමයි. තරුණයන්ට රනිල්ගෙන් ප්‍රශ්න අසමින් දේශපාලනය ඉගෙනගැනීමට අවස්ථාව ලබා දීම ඒ වැඩසටහනේ ව්‍යුහයයි. හරීන් වැඩ භාර ගත් අවස්ථාවට සභාපති වජිර, අකිල, තලතා, සාගල ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහූ එක් වූහ.

එජාප කළමනාකරණ කමිටුව නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාර කාර්යාලයේදී පැවැත්විණ. පක්ෂය ප්‍රතිසංවිධානය, නව දිස්ත්‍රික් කළමනාකරුවන් පත් කිරීම සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණ.

කැලණි සරසවියේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ලියූ “අරගලයේ බලය - ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” කෘතිය ලබන බ්‍රහස්පතින්දා (20දා)පස්වරු 3.30 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දකින්නේ රනිල්-ගෝඨාභය-මහින්ද යාපා දේශපාලන කරළියේ තවත් අයගේ සහභාගිත්වයෙනි. අරගලය සහ ඊට සම්බන්ධ සිදුවීම් මාලාව විමර්ශනාත්මකව විශ්ලේෂණය කිරීම මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වේ.

රාජ දූත