අපේ කිසිම වෙනම ගමනක් නෑ


බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් 
දයාසිරි ජයසේකර   

  • සන්ධාන දේශපාලනය ගැන අගමැතිතුමා තරම් අවබෝධයක් තියෙන වෙනත් අයෙක් ඉන්නවා කියා මං හිතන්නේ නෑ.
  • අය වැය සහන ඉල්ලා දැඩි බලපෑමක් මේ වෙලාවේ අපට කරන්න බෑ. 

ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර මත ගැටුම් පිපිරී යන අතරතුරේ දී අයවැය ඉකුත් සිකුරාද‌ා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මේ ඒ මත ගැටුම් හා අයවැය සම්බන්ධයෙන් බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- කොහොමද ආණ්ඩුවත් එක්ක තිබෙන ගැටුමේ අලුත්ම තත්ත්වය? 

 
පිළිතුර:- ආණ්ඩුවක් එක්ක ගැටුමක් අපේ නැහැ. ආණ්ඩුව ගන්න තීන්දු තීරණ සම්බන්ධයෙන් අපි අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවාට විරුද්ධවත් මත තියෙනවා. ආණ්ඩුවක් කරනකොට එහෙම තමයි. ආණ්ඩුව ගන්න තීන්දු තීරණ නිවැරැදි කරගෙන යන්න තමයි අපි උත්සාහ කරන්නේ.   


ප්‍රශ්නය:-පොදුජන පෙරමුණ ඔබලාව යට කරගෙන ඉන්න හදනවා වගේ නේද ඔබට දැනෙන්නේ?   


පිළිතුර:- පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරයේදී අගමැතිතුමා කරපු කතාව ඇහුවා නම් ඔබේ ප්‍රශ්නයට උත්තරය එතැන තියෙනවා. ඔබ කියපු විදියේ තත්ත්වයක් එතුමාට දැනුණ නිසා තමයි එතුමා කිව්වේ යම් යම් කාරණා ගණනාවක්.   


ප්‍රශ්නය:-මේ පරිසරය තුළ අගමැතිවරයාත් අසරණ වෙලා?   


පිළිතුර:- අසරණ වෙලා නොවෙයි. එතුමා ඉතින් තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා සන්ධාන දේශපාලනය ගැන එතුමාට තරම් අවබෝධයක් තියෙන කෙනෙක් තව ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. ඒ අවබෝධය ඇතුළේ තමයි එතුමා ඒ ප්‍රකාශය කළේ.   


ප්‍රශ්නය:-‘දයාසිරි ජයසේකර ගැන නම් අපට ප්‍රශ්න තියෙනවා’ කියල තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම කිව්වා ?   


පිළිතුර:- ඒ අය ගැන එච්චර කල්පනා කළ යුතු නෑ. දේශපාලනය ගැන හරියට දන්නේ නැති අය විවිධත්වය ඇතුළේ ඒකාබද්ධතාවය ගැන නොදන්න දේශපාලනය ගැන අබමල් රේණුවක් තරම්වත් අවබෝධයක් නැති කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ.   


ප්‍රශ්නය:- ‘දයාසිරි කෑ ගහන්නේ කැබිනට් ඇමැතිකමක් නොලැබුණ නිසා’ කියලත් ඔහු කිව්වා?   


පිළිතුර:- ඒ ප්‍රශ්නයට පෙර පිළිතුරමයි. 

 
ප්‍රශ්නය:-ඔවුන්ට එහෙම කතා කරන්න හයිය ලැබෙන්නේ කොහෙන් කියල ද ඔබ හිතන්නේ?   


පිළිතුර:- මෝඩකමට බෙහෙත් නෑනේ.   


ප්‍රශ්නය:-කාගෙන්හරි හයියක් ලැබෙන්නේ නැත්නම් ඔහොම කතා කරන්න බැහැනේ?   


පිළිතුර:- හයියක් ලැබුණත් නැතත් තමන්ගේ මෝඩකම පාලනය කරගන්න එපැයි. ඒත් මෝඩකමට බෙහෙත් නැහැනේ.   


ප්‍රශ්නය:-ඔවුන් කියනවා ‘ඉන්න බැරිනම් යන්න’ කියලා?   


පිළිතුර:- ඒ ගොල්ලොත් එක්ක තතා කරලා නොවෙයිනේ අපි ආවේ. ඔඅය පුංචි පුංචි අය කියන ඒවට අපි කලබල වෙන්නේ නෑ. අපි සන්ධානයත් සමග එකතු වුණේ. පක්ෂයේ ලේකම් හැටියට මම ජනාධිපතිතුමා එක්ක ගිවිසුමක් අත්සන් කරලයි බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග ගිවිසුමක් අත්සන් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අවස්ථා දෙකේදීම ඉතාම හොඳින් සාකච්ඡා කරලා සන්ධානයක් විදියට අපි එකතුවෙමු කියලා කතා කළා. මේ නායකයන් හැර වෙනත් අය එක්ක මේ ගැන අපට කතාවක් නෑ.   


ප්‍රශ්නය:-හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ආඩපාලි කියනවා. මේ ප්‍රශ්න කෙරෙන්නේ පක්ෂයේ ආත්ම ගරුත්වයයි ?   


පිළිතුර:- මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ඒ අයගේ ආත්මගරුත්වය ගැනයි. මොකද එකට වැඩ කරන්නයි, ආපහු පහර දෙන්නයි තමයි ඒ ගොල්ලෝ කල්පනා කරන්නේ. මේ රටේ ජනමතය සම්බන්ධයෙන් යම් යම් කාරණා ගැන අපි කතා කරලා තියෙනවා. පොදුජන පෙරමුණේ කී දෙනෙක් ඉන්නව ද එහෙම කතා කරපු අය. ආණ්ඩුව ගත්ත තීරණවලට විරුද්ධව කී දෙනෙක් කතා කරලා තියෙනවා. පොදුජන පෙරමුණේ ලේකම් ගම්මන්පිල ඇමැතිතුමාට විශ්වාසභංගයේ දී ඡන්දෙ දෙන්න එපා කියලා මුලින් කිව්වට එයාට ගිහින් පක්ෂව ඡන්දෙ දෙන්න වුණානේ. මේ අභ්‍යන්තර පහරදීම් ඒ අයත් කරනවා. අනික් අයත් කරනවා. ඒ නිසා කට්ටියක් වැරැදි වෙන්නත් තවත් කට්ටියක් හරි වෙන්නත් විදියක් නෑ. මේ ගැන අදහස් හැමෝටම තියෙනවා. සමහරුන්ගේ අදහස් එළියට එනවා සමහරුන්ගේ අදහස් එළියට එන්නේ නෑ. 

 
ප්‍රශ්නය:- හවුල්කාර පක්ෂවල හැසිරීමත් ප්‍රශ්නකාරියි. ඔබලා වෙනම හමුවෙනවා. වෙනම ගමනක් යනවා වගේ පෙන්නනවා. එතකොට ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන්න වෙනවා?   


පිළිතුර:- නෑ. වෙනම ගමනක් අපේ නෑ. අපි බොහොම පැහැදිළිව සහෝදර පක්ෂ හැටියට අපි වෙනම හමුවෙලා කතා කරන එක හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් හොඳයි. වෙන වෙනම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවාට වඩා ඒක හොඳයි. අපේ කිසිම වෙනස් ගමනක් නෑ. නමුත් යම් යම් කාරණා සම්බන්ධයෙන් අපේ යම් මතවාදී එකඟතාවක් හැදිලා තියෙනවා.   


ප්‍රශ්නය:- ගුරු වැටුප් ප්‍රශ්නය විසඳුවා. ගුරු පරපුර පාරට බහිනකම් හිටියේ ඇයි මේ ප්‍රශ්නය විසඳන්න?   


පිළිතුර:- ඔව්. එතැන යම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. ප්‍රශ්නයක් ඇති වුණාම ඒකට විසඳුම් හොයන්න ඉක්මනින් කටයුතු කළ යුතුයි. ආණ්ඩුවත් විශාල අර්බුදයක ඉන්නේ. මුදල් හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ අර්බුදයත් විසඳ‌ා ගෙන අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා යම් කාලවකවානුවක් ගතවුණා. ඒ ගතවුණ කාල වකවානුව තුළ අපි ස්ථීර විසඳුමක් දෙනවා කියන එක තහවුරු වුණා නම් හොඳයි. ඒ වගේම ගුරුවරුන්ට එරෙහිව කරපු වාග් ප්‍රහාරයන් මෙන්ම ඔවුන්ට එල්ල කරපු චෝදනාවන් නොකර හිටියා නම් මෙයට වඩා හොඳ විදියට මේ ප්‍රශ්නය විසඳ‌ාගන්න පුළුවන්කම තිබුණා කියලයි මම හිතන්නේ.   


ප්‍රශ්නය:-මේ රටේ ගොවි ජනතාව ඔබලාට සාප කරනවා. ඇයි මේ ප්‍රශ්න ගෙන්න ගන්නේ?   


පිළිතුර:- ඒකට ප්‍රධාන හේතුව ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම තමයි මේකට ප්‍රධාන හේතුව. අපිත් පිළිගන්නවා කාබනික පොහොර වගාවට යන්න පුළුවන් නම් ඉතාම හොඳයි. නමුත් ලෝකයේ සියයට සීයක්ම කාබනික පොහොර වගාව කරන රටක් නෑ. ඒ වගේ තත්ත්වයක් තුළ ජනාධිපතිතුමා ගත්ත තීරණය ආන්දෝළනයට තුඩු දුන්නා. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් සියයට 17 ක ප්‍රමාණයක් තමයි කාබනික පොහොර භාවිත කරන්නේ. ඒකට හේතුව තමයි කුඩා බිම් ප්‍රමාණයකින් අස්වැන්න විශාල වශයෙන් ඕනෑවුණාම තමයි නයිට්‍රජන් කෘත්‍රිමව දෙන්න වෙලා තියෙන්නේ. ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් තිබුණෙ නෑ. ජනගහණය අඩුයි. භූමිය විශාලයි. කාබනික පොහොර වලින් දුවන්න පුළුවන්. වර්තමානයේ අපට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ජනගහණය වැඩිවීම. ජනගහණය වැඩිවුණාම ආහාර ප්‍රශ්නය මතු වෙනවා. එතැන දී නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කළොත් ආහාර වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා මේ ගත්ත තීන්දුව කාලයක් තුළ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළා නම් මේ තත්ත්වයට පත් වෙන්නේ නෑ. මේ එක කන්නයකින් මේක කරන්න යෑම තුළ තමයි මේ ප්‍රශ්නය මතුවුණේ. මං හිතන්නේ පුළුවන් තරම් ඉක්මනින් අපි මේකෙන් ගැලවිය යුතුයි. නැත්නම් විශාල ආහාර අහේනියකට මේ රට පත්වෙනවා. මේ තත්ත්වය දැන්වත් තේරුම් ගත යුතුයි කියලයි මං හිතන්නේ.   


ප්‍රශ්නය:-තීන්දු තීරණ ගන්නේ සාකච්ඡා කරලා. සාමුහිකව නෙවෙයිද? ගැසට් ගහනවාට වඩා වැඩි වේගයකින් ගැසට් රිවස් කර ගන්නවා?   


පිළිතුර:- ඒ ගැන නම් මට මුකුත්ම කියන්න බෑ. මොකද මම ගැසට් ගහන එකට සම්බන්ධ වෙන්නෙත් නෑ. ගැසට් රිවස් කරන එකට සම්බන්ධ වෙලත් නෑ.   


ප්‍රශ්නය:- ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිකමට ඥ‌ානසාර හාමුදුරුවන් පත් කිරීමත් ආන්දෝලනයට තුඩු දීලා තියෙනවා?   


පිළිතුර:- ඔව් ඉතින්. උන්වහන්සේ තමයි මුස්ලිම් අන්තවාදය පිළිබඳව වැඩියෙන්ම කතා කළේ. ඒ වගේම උන්වහන්සේට යම් යම් චෝදනාත් තියෙනවා. සිංහල සමාජයෙන් මෙන්ම දෙමළ හා මුස්ලිම් සමාජවලින් ඒ චෝදනා එල්ල වෙනවා. ඒ පත්කිරීමේ දී ජනාධිපතිතුමා මං හිතන්නේ යම්කිසි විදියකට අදහස් උදහස් ලබාගෙන අලි සබ්රි මැතිතුමා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයට දෙන විදියට ගැසට් එක සංශෝධනය කළා. ඒක ඉතාම හොඳයි කියලයි මම හිතන්නේ. 

 
ප්‍රශ්නය:- මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් කිරීම උගත් සමාජය තුළ කතාබහට ලක්වෙලා තියෙනවා. ඔබත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්?   


පිළිතුර:- ඔව්. ඉතින් සාමාන්‍යයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් ගැන අපේ ලොකු ගෞරවයක් තියෙනවා. උන්වහන්සේගේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධව අපේ ඇගයීමක් තියෙනවා. නමුත් ඔබ කිව්වා වගේම මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගත්ත කෙනෙක්. ඒ අපි ඉන්න කාලේ අධ්‍යාපන මට්ටම් අතින් ඉතාම ඉහළ අය තමයි කුලපති ධුරයට පත් කළේ. එහෙම බැලුවම මේ පත්කිරීම තුළ යම් අර්බුදයක් තියෙනවා. ඒක තමයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. 

 

ප්‍රශ්නය:-සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා තියෙනව ද?   


පිළිතුර:- ඇත්තටම අපි පක්ෂයක් හැටියට යෝජනා බාර දුන්නේ නෑ. ඒ ගැන වෙනම කතා කළේ නෑ. පක්ෂයක් හැටියට අපි ගිහින් බැසිල් රාජපක්ෂ ඇමැතිතුමත් එක්ක සාකච්ඡා කළා. අනෙකුත් සියලු පක්ෂ සමඟත් එතුමා සාකච්ඡා කළා. 

 
ප්‍රශ්නය:-ජනතාව බලාපොරොත්තු වුණේ ගෙඩිපිටින් සහන. ජනතාව ඉන්නේ ඉතාම අසහනයෙන්?   


පිළිතුර:- එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක ඇත්ත. බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාටත් සෑහෙන්න අමාරු වුණා. අයවැය හදද්දී. මේ වෙලාවේ සහන ඉල්ලලා දැඩි බලපෑමක් අපට කරන්න බෑ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් ස්ථාවර වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පදනම මේ අයවැය තුළ තියෙනවා.   


ප්‍රශ්නය:-‘ජනතාවට දෙන්න නොවෙයි ජනතාවගෙන් ගන්න තමයි වෙන්නේ’ කියලා ඇමැති බැසිල් කිව්වා. ඒක නේද මේ වෙලා තියෙන්නේ?   


පිළිතුර:- අයවැයක් කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නේ අයවැයෙන් සහන දෙනවා කියලා. එහෙම අයවැය හදන්නේ නෑ ලෝකයේ. යම් යම් සහනද‌ායි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් එහෙම අයවැය හදන්නේ නෑ. අපේ අය සහන බලාපොරොත්තු වෙනවා. ඉන්ධන මිල අඩුවෙයි, පාන් පරිප්පු අඩුවෙයි. පඩි වැඩි වෙයි. එහෙම හිතනවා. ජනතාවට සහන දෙන යෝජනාවලියක් හැටියටයි අය වැය දකින්නේ. ඇත්තටම ඒක නොවෙයි ඇත්ත තත්ත්වය. ඒ නිසා ඒ ආර්ථික තත්ත්වය තේරුම් අරගෙන වැඩ කළොත් හොඳයි කියලයි මම හිතන්නේ. රටේ ආර්ථිකයත් ඉතාම නරක තත්ත්වයට තියෙන්නේ. ඒ නිසා තමයි බැසිල් ඇමැතිතුමා මුලින්ම ඒ පැහැදිලි කිරීම කළේත්.   

 

 

 සාකච්ඡා කළේ   
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්