අපට තවත් රනිල් එක්ක සාකච්ඡාවක් නෑ


ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ

 ඒ විරෝධතාවය ඇතුළෙ කඳුළු ගෑස් ගහද්දි අපේ නායකයාගෙ ආරක්ෂාව සපයන එක අපේ වගකීමක්. අපි අපේ නායකයා ආරක්ෂා කරන්න ඕනැ. ඒ වෙනුවෙන් යම් යම් පියවර අපේ සාමාජිකයෝ ගත්තා. ආණ්ඩුවට ඕනැ මිනිස්සු බිලි අරගෙන මේ විරෝධතා මර්දනය කරන්න තමයි. අපි ඒක දන්නවා. ලේ පිපාසිත පාලකයෝ ඒකට ආසයි. හැබැයි අපි ඔවුන්ට නිකං බිලිවෙන්න සූදානම් නෑ. කඩ ඇතුළෙ හැංගෙන්න නම් අනුර කුමාර පාරට බහින්නෙ නෑ. හැබැයි අපි දැක්ක සමහර විපක්ෂ නායකයෝ විරෝධතාවලට කඳුළු ගෑස් ගහලා ඉවර වුණාට පස්සෙ ආරක්ෂකයෝ පිරිවරාගෙන වාහනවලින් ඇවිත් බැහැල බොරු සද්ද දාල යනවා. අපේ ඒ වගේ සෝබන වැඩ නෑ.

මතුවෙමින් පවතින වැඩවර්ජන සහ ඉදිරි පළාත් පාලන ඡන්දය ඇතුළු කාලීන දේශපාලනය පිළිබඳ මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහගෙනි. 

?ජනාධිපති කියන්නේ අයිඑම්එෆ් ණයත් හම්බවෙන එකේ වැඩවර්ජන කරලා ඒකත් කඩාකප්පල් කරන්නෙ නැතුව ආණ්ඩුවට සපෝට් එක දෙන්න කියලා. එහෙම අදහසක් නැද්ද? 


ආණ්ඩුවට සහයෝගය දෙන්න ආණ්ඩුව ජනතාවගේ පැත්තෙ ඉඳන් වැඩ කරනව කියල පේන්න එපැයි. ආණ්ඩුව ජනතාව දවසින් දවස පීඩනයට පත්කරමින් තුන්වේල කාලා ජීවත්වෙන්න බැරි තැනට ඇදල දාල ඒවට විරුද්ධව ඒ මිනිස්සු පාරට බැස්සම ඒ අයට අමානුෂික විදියට පහර දෙමින් ඉද්දි මොන එහෙකට ද අපි ආණ්ඩුවට සහයෝගය දෙන්නේ? ජනවරමක් නැති බල තණ්හාවෙන් උමතුවෙන් වගේ හැසිරෙන පාලකයෙකුට සහයෝගය දක්වන්න තරම් පිස්සු නෑ අපිට. ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන මේ උමතු පාලකයන් එක්ක මොන සහයෝගයෙන් වැඩ කිරීමක්ද? ජනතා ද්‍රෝහී පාලකයෙක් එළවා දමනවා මිසක් ඉන් මෙහා දෙයක් නෑ. අද රටේ ජනතාව පාරට බැහැලා තියෙන්නේ ජනතා ද්‍රෝහී පාලනයට විරුද්ධව තමයි. ජනතාව ගැන නොහිතන ජනතාවට සහන නොදෙන ආණ්ඩුවක් රකින්න ජනතාවට පිස්සු නෑ. රස්සාවක් නැතුව ඉද්දි රස්සාවක් හම්බවෙච්ච රනිල් ජනතාවගෙන් කකා ජනතාව අගාධයට ඇදලා දාමින් ජනතා සහාය ඉල්ලුවට එහෙම ජනතා සහයෝගයක් හම්බවෙන්නෙ නෑ. 


ඒ නිසා ලංකාවේ විශාලතම වෘත්තීය සමිති එකතුව විදියට සියලු වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙන් ඉදිරියේ දැවැන්ත වැඩවර්ජන රැල්ලක් දියත්වෙන්නේ. සියලුම වෘත්තිකයින් දැන් මේ සඳහා පෙළගැහිලා ඉවරයි. ඉල්ලීම්වලට කන්නොදෙන ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව ගෙදර යනවා හැර වෙන විකල්පයක් නෑ. අපිට තවත් රනිල් එක්ක සාකච්ඡාවක් නෑ. 


?හැබැයි ජනාධිපති කියන්නේ එයාල ගෙනියන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න මේ හරහා උත්සාහ කෙරුවොත් තදින් ක්‍රියා කරනවා කියලා. මේ නොකිය කියන්නේ වැඩිය නටන්න එන්න එපා කියල නේද? 


රනිල් මේ වගේ කයිවාරු ගහනවා. එක සැරයක් කිව්වනේ මං හිට්ලර් වගේ කියලත්. දැන් අපි බයවෙන්න ඕනැද මේ කයිවාරුවලට. රනිල් මේ විකාරෙන් දොඩවන ඒවට නම් අපි බය නෑ. එයාට ඕනැ ඕනැ වෙලාවට පාර්ලිමේන්තුවට පැනලා විකාර පම්පෝරි ගහන්න පුළුවන් එයාට කඩේ යන​ පොහොට්ටුකාරයෝ ටිකක් ඉන්න නිසා පාර්ලිමේන්තුව ඇතුළෙ. ජනතාව දන්නව රනිල් මේ දැන් පිස්සුවෙන් එක එක ඒවා කියවනවා කියලා. ඔයිට වඩා කයිවාරු ගහගෙන ආපු ගෝඨාභයත් ජනතාව එකතුවෙලා එළවලා දැම්මා. අපි රනිල්ට කියනවා ඕනැ නම් ගෝඨාභයගෙන්වත් පාඩම් ඉගෙන ගන්න කියලා. වැඩවර්ජන උද්ඝෝෂණ කරන්න මිනිස්සු පාරට බහින්නෙ කහනවට නෙවෙයි. ජීවත්වෙන්න බැරි නිසා. ජනතාවගේ ප්‍රශ්න ටික විසඳුව නම් වැඩවර්ජනත් නෑ. උද්ඝෝෂණත් නෑ. රනිල් හිතාගෙන ඉන්නව නම් එයාගෙ කයිවාරුවලට බයවෙලා මිනිස්සු අතපය අකුලගෙන ගෙවල්වලට වෙලා ඉඳියි කියලා එතන තමයි එයාට වරදින තැන. ගෝඨාභය ගෙදර යවලා ජනමතය ප්‍රබලයි කියලා එක සැරයක් ඔප්පු කරල පෙන්නපු මිනිස්සුන්ට රනිල් කවුද? 


?දෙවෙනි පාරටත් ඡන්දෙට දිනයක් නම් යෝජනා වෙලා තියෙනවා. වැඩේ සිද්ධ වෙයිද? 


අපේ රටේ මැතිවරණ කොමිසම තමන්ට තියෙන බලය සහ වගකීම ගැන හරියට හිතනව නම් මේ ප්‍රශ්න මේ තරම් දුර යන්නේ නෑ. රටක ජනතාවගේ ඡන්ද අයිතිය මේ විනාශ වෙමින් තියෙන්නේ. දැන් තවත් ඡන්දය කල්දාන්න හේතුවක් නෑ. ඒ නිසා ඡන්දය කඩාකප්පල් කරන්න දෙන්න බෑ. තවදුරටත් ඒක ව්‍යවස්ථා විරෝධී වැඩක්. ඡන්ද නැති මිනිස්සු ඡන්ද නොතියා ඡන්දය කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. හැබැයි මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා පාලකයන්ගේ රූකඩ නොවී තමන්ට හිමි බලය පාවිච්චි කරල නියමිත වෙලාවට ඡන්දය තියන්න. ඡන්දය කියන්නේ ජනතාවගේ අයිතිය. ඒ අයිතිය රැකගැනීම වෙනුවෙන් මේ සටන අපි දිගටම ගෙනියනවා. අපි ඒක ජයග්‍රහණයකින් කෙළවර කරනවා. පරාජය පෙනි පෙනී ඉන්න රනිල්ලා රාජපක්ෂලා මොන මොනව හරි වංගු ගහල ඡන්දය කල්දාන්න මානබලයි. ඒ හැම සැලසුමක්ම අපි ජනතාව එක්ක එකතුවෙලා පරාජය කරනවාම තමයි. 


?ඔබ ඔහොම කිව්වට සමගි ජනබලවේගයේ කට්ටිය කියන්නේ එයාලා අධිකරණයට ගිය නිසා තමයි ඡන්දය ගන්න පුළුවන් වුණේ. දැන් අනුර දිසානායකලා බොරුවට කෑ ගහනවා කියලා. 


 සජබෙට ඡන්දය ගැන තියෙන වුවමනාව රනිල් එදා පාර්ලිමේන්තුවේදී හොඳට පැහැදිලි කළානේ. දවල්ට ඡන්දය ඉල්ලලා කෑගහන සජබෙ උන්දල රෑට රෑට රනිල්ට කෝල් කරලා ඡන්දය කල්දාන්න ඉල්ලනවා කියලා. ඡන්දය ලබාගැනීමට අවශ්‍ය නීත්‍යානුකූල මැදිහත් වීම වගේම රටේ ජනතාව එක්ක පාරට බැහැලා ඡන්දය දිනාගන්න සටනත් අපි කරනවා. ඡන්දෙදි ජනතාව ඔය ඩීල්කාරයෝ හැමෝටම උත්තර දේවි. අපි කලබල වෙන්න ඕන නෑ. මේ ඡන්දය බලෙන් ගන්න ඕන එකක් නෙවෙයි. නීතිය අනුව ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි දෙයක්. ඒක නොදී හිරකරගෙන වැට කඩුලු දාන පාලකයො බලයෙන් එළවලා දාන්න මේ ඡන්දය පාවිච්චි කරන්න ඕන. එය අපිට චෝදනා කරන අයියල ඔක්කොම ඡන්දය කල්දාන්න මාන බලපු අය තමයි. ජාතික ජනබලවේගය වෙතට එන ජනතා ආකර්ෂණයට මේ හැමෝම බයවෙලා ඉන්නෙ. ඒක තමයි රනිල් එදා පාර්ලිමේන්තුවේදී කිව්වේ සජබෙ ඒ නිසා ඡන්දය කල්දාල දෙන්න ඉල්ලුව කියලා. පාරෙ බුරන හැම බල්ලටම ගල් ගහ ගහ ඉන්න අපිට වෙලාවක් නෑ. අපේ වැඩ කොටස ජනතාව වෙනුවෙන් අපි කරනවා ඡන්දෙදි මේක ජනතාව තෝරබේර ගනීවි. 


?පහුගියදා ඔබලා කොළඹ කරපු විරෝධතාව ගැනත් විවේචන එනවා. කවුරුත් නැති ඉරිදා විරෝධතා තිබ්බා කියනවා. අනුර බයේ කඩේකට පැනල බේරුණා කිව්වා. ඇයි මේ විවේචන? 


ජනතාව පාරට එන්නේ ඉරිද ද සඳුද ද අඟහරුවාද, බදාද කිය කිය දවස් තෝරල නෙවෙයි. විරෝධතා දක්වන්න අමුතු දින නෑ. නැකැත් බල බල විරෝධතා තියෙන්නේ නෑ. ජනතාව පාරට බහින්නේ ඒ අයට සුදුසු දවසට මිසක් ආණ්ඩුවට ඕනැ දවසට නෙවෙයි. ඒ එන ජනතාවට හානියක් නොවෙන ආකාරයට ආරක්ෂා කරමින් ඔවුන් එක්ක විරෝධතාවයේ යොදන්න අපි කටයුතු කරනවා. විරෝධතාවලට දින තෝර තෝර ඉන්නෙ වැඩක් කරගන්න බැරි කයිවාරුකාරයෝ තමයි. එදා අපි කරපු විරෝධතාව රටේ විතරක් නෙවෙයි ලෝකයේම අවධානය දිනාගත්ත. 


 ඒ විරෝධතාවය ඇතුළෙ කඳුළු ගෑස් ගහද්දි අපේ නායකයාගෙ ආරක්ෂාව සපයන එක අපේ වගකීමක්. අපි අපේ නායකයා ආරක්ෂා කරන්න ඕනැ. ඒ වෙනුවෙන් යම් යම් පියවර අපේ සාමාජිකයෝ ගත්තා. ආණ්ඩුවට ඕනැ මිනිස්සු බිලි අරගෙන මේ විරෝධතා මර්දනය කරන්න තමයි. අපි ඒක දන්නවා. ලේ පිපාසිත පාලකයෝ ඒකට ආසයි. හැබැයි අපි ඔවුන්ට නිකං බිලිවෙන්න සූදානම් නෑ. කඩ ඇතුළෙ හැංගෙන්න නම් අනුර කුමාර පාරට බහින්නෙ නෑ. හැබැයි අපි දැක්ක සමහර විපක්ෂ නායකයෝ විරෝධතාවලට කඳුළු ගෑස් ගහලා ඉවර වුණාට පස්සෙ ආරක්ෂකයෝ පිරිවරාගෙන වාහනවලින් ඇවිත් බැහැල බොරු සද්ද දාල යනවා. අපේ ඒ වගේ සෝබන වැඩ නෑ. 


?ඊළඟට පාරට බහින්නෙ කවද්ද?

 
වෘත්තීය සමිති මේ වෙනකොට තීරණයක් අරගෙන තියෙනවා මුළු රටම එක දවසක පාරට ගෙනල්ල ආණ්ඩුවට විරෝධය දක්වන්න. අපි පළවෙනිදා පටන් ගත්තු වර්ජනයත් එක්ක සතියක් කාලය දුන්නා ආණ්ඩුවට. අපි ඉල්ලපු දේවල් ආණ්ඩුව සලකන පාටක් නෑ. ඒ නිසා ඉදිරියේදී හැම ක්ෂේත්‍රයකම පිරිස් පාරට බහින්න සූදානම්. මේ මාසේ 15 වෙනිදා දැවැන්ත ජනතා විරෝධයක් පවත්වන්න අපි සැලසුම් කරල තියෙන්නේ. ආණ්ඩුව මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්නේ නැත්නම් තත්ත්වය තවත් දරුණු වෙයි.

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි