අනේ අපිට ආණ්ඩුව වට්ටන්න කිසිම වුවමනාවක් නෑ


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

  • අපි මෛත්‍රීපාල ජනපතිතුමාගේ ගෙදරටම ගිහින් නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මැතිතුමාට දෙන්න කියා ඉල්ලුවා.

සමගි ජන බලවේගය රටේ අලුත් දේශපාලන තත්ත්වය දකින්නේ කොහොමද? සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.


ප්‍රශ්නය - අද රටේ තත්ත්වය ඔබ දකින්නේ?


පිළිතුර - මේ ආණ්ඩුව ගත්තොත් දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ------ ඉතාම කනගාටුදායක තත්ත්වයක රට තියෙන්නේ. කවුරු මේ රට පාලනය කළත් සාධාරණ පාලනයක් තියෙනවා නම් කවුරුත් ඒකට කැමති වෙනවා. නමුත් මේ ආණ්ඩුවේ එහෙම කිසිම දෙයක් නෑ.


ප්‍රශ්නය - ජාත්‍යන්තර වශයෙන් අසාර්ථකයි කියන්නේ කුමන කාරණා මත පදනම්වද?


පිළිතුර - යහපාලන අපේ ආණ්ඩුව කාලේ අපේ රටට අපේ නායකයන්ට එරෙහිව ජාත්‍යන්තර කොමිසමක ආයතනයක යෝජනා සම්මත වුණේ නෑ. ඒ අවුරුදු හතරාමාරෙදි ඒ ප්‍රශ්න අපි කළමනාකරණය කර ගත්තා. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු එක හමාරක් යන්න කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව යෝජනාවක් සම්මත වුණා. ඊට පස්සේ යුරෝපා පාර්ලිමේන්තුවේ අපට විරුද්ධව යෝජනාවක් සම්මත වුණා. ඇමෙරිකාවේ කොංග්‍රස් එකට අපට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රධාන ජාත්‍යන්තර ආයතන තුනක අපේ රටට එරෙහිව යෝජනා සම්මත කරගෙන තියෙනවා. මෙහෙම වුණාම ජාත්‍යන්තරයෙ සහයෝගය අපට ලැබෙන්නේ නැහැ.


ප්‍රශ්නය - ජී.එස්.පී. සහනය අහිමි වුණොත් එයට මුහුණ දෙන්න සුදානම් කියලා ආණ්ඩුව කියනවා.


පිළිතුර - කොහොමත් ලබා ගන්න එපැයි. අපි ආණ්ඩුව කරන කාලේ ඔය පොහොට්ටුවේ අය දිගමට කිව්වේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි ඉවත් කරන්න හදනවා කියලයි. නමුත් එහෙම දෙයක් නෑ. යුරෝපා හවුලෙන් ඉල්ලන්නේ ඒ පනතේ තියෙන සමහර වගන්ති සංශෝධනය කරන්න කියලයි. ඒ වගන්ති ටික සංශෝධනය කළොත් අපට සහනයක් ගන්න පුළුවන්.


ප්‍රශ්නය -  සංශෝධනය කරන්න කියන වගන්ති කෙළින්ම ජාතික ආරක්ෂාවට සම්බන්ධයි.


පිළිතුර - නෑ.නේ.. ඒ වගන්ති බොහොම සරල, හැම පුරවැසියකුටම බලපාන වගන්ති. ත්‍රස්තවාදීන්ට විරුද්ධව විතරක් නොවෙයි. හැම පුද්ගලයකුටම බලපාන ඒවා. ඒ ගොල්ලො කියන්නේ කෙනෙක් අත්අඩංගුවට ගත්තාම රැඳවුම් නියෝග ගහලා මාස ගණන් තියාගෙන ඉන්නවා. ශානි අබේසේකරව මාස නවයක් තියාගෙන හිටියා. රිෂාද් බදුර්දීන් මන්ත්‍රීතුමාව තවම රඳවාගෙන ඉන්නවා. යුරෝපා සංගමය කියන්නේ ඒක අසාධාරණයි. ඒක මාසයකට අඩු කරන්න කියලයි.


ප්‍රශ්නය - අත්අඩංගුවට ගත් කෙනෙක් පැය 48 ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි කියලත් කියනවා. ත්‍රස්ත විමර්ශනයක් එහෙම කරන්නේ කොහොමද?


පිළිතුර - මෙහෙමයි. ඕක සාමාන්‍ය මනුෂ්‍යකුට ගලපලා බලන්න. එතකොට භයානකකම පෙනේවි. අනිත් එක තමයි කෙනෙක් අත්අඩංගුවට ගත්තාම ඔහු කරන පාපොච්චාරණය සාක්ෂියක් වශයෙන් පිළි නොගන්න කියලයි මේ ඉල්ලීම් තමයි ඒගොල්ලන්ගේ මූලික ඉල්ලීම්. මේවා ත්‍රස්තවාදීන්ට විතරක් නොවෙයි. හැමෝටම බලපාන ඒවනේ. ඒ වගේ සරල වෙනසක්වත් ආණ්ඩුව කළේ නෑ. යහපාලන ආණ්ඩුව කාලෙදි අපි ඒ ගොල්ලන් සමග සාකච්ඡා කර කර හිටියෙ. යහපාලන ආණ්ඩුවේ ගමන් මාර්ගය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අපි තිබ්බ පියවර හරහා සිංහල බෞද්ධයන්ට පමණක් නොවෙයි සියලු ජාතිකයන්ට සමානව සලකන බවට පණිවිඩය ජාත්‍යන්තරයට ගිය නමුත් මේ ආණ්ඩුවෙන් එහෙම පැහැදිලි පණිවිඩයක් ගිහින් නෑ.


ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරය ගැන තවම හොයනවා. ත්‍රස්තවාදය බොහොම සංකීර්ණයි. ඔය සංශෝධන ත්‍රස්තවාදයට ඇති බාධා ඉවත් කිරීමක්.


පිළිතුර - නෑනේ ඉතින්. ජනාධිපතිතුමා බලයට ඇවිත් දැන් අවුරුදු එක හමාරක් වෙනවනේ. අගෝස්තුවේදී මේ ආණ්ඩුවට අවුරුද්දයි. ඇත්ත වශයෙන්ම මම එකක් කියන්නම්. ජනාධිපති කොමිසමෙන් හෙළිදරව් වුණා බුද්ධි අංශයේ සමහර අය ත්‍රස්තවාදීන් සමග සම්බන්ධයි කියලා. ඉතින් මම කියන්නේ මේකයි. එහෙම තත්ත්වයක් තිබියදී පරීක්ෂණ හමාර වෙයිද? වැඩිය ඕනෑ නෑනේ. බුද්ධි අංශවලට ඉන්දියාවෙන් දැනුම් දුන්නොත් මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා ඒ ගොල්ලො නිහඬව හිටියේ ඇයි?


ප්‍රශ්නය -  යහපාලන ආණ්ඩුවනේ තිබුණේ?


පිළිතුර - මෙතැන ආණ්ඩුවේ වරදකට වඩා බුද්ධි අංශ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධයි නම් මොන ආණ්ඩුවටකවත් මේවා නවත්වන්න බෑ. ඉන්දියාවෙන් අපේ බුද්ධි අංශවලට දැනුම් දුන්නා. බුද්ධි අංශ ඒකට පියවර ගත්තේ නැහැනේ. ඇයි පියවර නොගත්තේ. ඒකෙන් පේනවා බුද්ධි අංශවලට ත්‍රස්තවාදින් සමග සම්බන්ධයක් තිබුණා කියලා. ඔයිටත් වඩා සාක්ෂියක් තියෙනවද? බුද්දි අංශ ප්‍රධානින් කියනවා. ඒ ගොල්ලො ජනාධිපතිතුමාටත් කිව්වේ නැහැ කියලා. බුද්ධි අංශවලට කියන්න තිබුණනේ පල්ලි, පන්සල්වලට හරි ආරක්ෂාව දෙන්න කියලා. එහෙමවත් කිව්වේ නැහැනේ. බුද්ධි අංශ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධයි නම් මේ ආණ්ඩුවටත් මොකක්වත් කරන්න බැහැ. මගේ හිතේ හැමදාම තිබුණා මේ පාස්කු ප්‍රහාරය එස්.බී.අයි. එකට හරි ස්කොට්ලන්ට් පොලිසියට හරි පරීක්ෂණ කරන්න බාර දුන්නා නම් හොඳයි කියලා. මොකද පරීක්ෂණ වෙන්නේ නෑ.


ප්‍රශ්නය -  දින 52 ආණ්ඩුවෙන් පස්සේ කතානායකවරයා හැටියට ඔබ තවත් මන්ත්‍රීවරු කීප දෙනකු සමග ගිහින් සරත් ෆොන්සේකාට පොලිසිය බාර ඇමැතිකම දෙන්න කියලා ඉල්ලීමක් කළා.


පිළිතුර - පාස්කු ප්‍රහාරයට මාස ගණනකට පෙර තමයි ඔය සිද්ධිය වුණේ. මොකද දින 52 ආණ්ඩුව එන්න කලින් නීතිය හා සාමය බාර ඇමැතිවරයා වශයෙන් හිටියේ රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා. එතුමා තමයි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හරහා සහරාන්ලා ගැන හෙව්වේ. අන්තිමට මොකද වුණේ අර නාලක කුමාර කියලා කෙනෙක් දාලා මෛත්‍රී සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් කියලා නාටකයක් රඟ දැක්වුවා. දින 52 න් පස්සේ නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතෙම තියා ගත්තා. ඒ නිසයි අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ගෙදරටම ගිහින් කිව්වේ ඒ අමාත්‍යාංශය සරත් ​​ෆොන්සේකා මැතිතුමාට දෙන්න කියලා.


ප්‍රශ්නය -  එහෙම ඉල්ලන්න විශේෂ හේතුවක් තිබුණද?


පිළිතුර - එතුමා යුද්ධය ගැන බුද්ධි අංශ ගැන බිම් මට්ටමේ අත්දැකීම් තියෙනවනේ. එයා පොළොවේ පහ ගහලා යුද්දේ කරපු කෙනෙක්නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඒ කාලේ බර වැඩියි. එයා ජනාධිපති, ආරක්ෂක ඇමැති, මහවැලි ඇමැති එතකොට වැඩ වැඩියි. නීතිය හා සාමය බාර අමාත්‍යවරයාගේ ප්‍රධානම රාජකාරිය තමයි උදේ පාන්දරම බුද්ධි අංශ වාර්තා කියැවීම. ඒ ජනාධිපතිතුමාට ඒකට වෙලාවක් නැහැනේ.


ප්‍රශ්නය - ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකිනෙකා ගහ බැන ගෙන පුපුරලා යයි කියලා හිතාගෙන හිටියට එහෙම එකක් නෑ නේද?


පිළිතුර - අනේ අපිට ආණ්ඩුව වට්ටන්න වුවමනාවක් නෑ. ආණ්ඩුවට ජන වරමක් ලැබුණනේ. අපි කියන්නේ ජන වරමට අනුව වෙනස් කරන්න කියලයි. දුන්න පොරොන්දු ඉටු කරන්න කියලයි. අපි කතා කරන්නේ ආණ්ඩුව වට්ටන්න නොවෙයි. විපක්ෂය හැටියට අපි ආණ්ඩුව විවේචනය කරනවා. අපි කියන්නේ දුන්න පොරොන්දු ඉටු කරන්න කියලයි. පොහොර නිකම් දෙනවා කියලනේ කිව්වේ. රැකියා මෙච්චර ප්‍රමාණයක් දෙනවා කිව්වා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලත් එක්ක ගලපනවා කිව්වනේ. අපි කියන්නේ ජන වරමට අනුව දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න කියලයි.


ප්‍රශ්නය -  කොවිඩ් වසංගතයත් එක්ක දුන්න පොරොන්දු එහෙම්ම ඉටු කරන්න අමාරුයි.


පිළිතුර - කොවිඩ් එකත් බලපෑවා. මම නෑ කියන්නේ නෑ. ආණ්ඩුවමනේ ප්‍රධානම ප්‍රශ්නය හදා ගත්තේ. 2019 දි ජනාධිපතිවෙලා ආණ්ඩුව ගත්තට පස්සෙ මාසයක් විතර යන කොට අයවැය ගෙනාවා. ඒ අයවැයෙන් ලොකු සමාගම් වලට විශාල බදු සහන දුන්නා. ලොකු කොම්පැණිවලට ඒක දුන්නේ. ඒකෙන් ආණ්ඩුව මිලියන 800ක් වැඩි කර ගත්තා. කොයි ආණ්ඩුවද ඒ විදිහට තමන්ගේ ආදායම අහිමි කර ගන්නේ.


ප්‍රශ්නය - ඒ සහනය ජනතාවට ගියා?


පිළිතුර - කොහේද ගියේ? අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත වැටුණ ද? ජනතාවට ඒ සහන ගියා නම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත වැටෙන්න ඕනෑ. මේක දුන්නේ ලොකු සමාගම්වලට මිලියන 800 ක් දෙසැම්බර් මාසේ නැති කර ගත්තා. ජනවාරිවල තමයි කොවිඩ් ගැන මුලින්ම දැන ගන්න ලැබුණේ. ඒ මිලියන 800 තිබුණා නම් ආණ්ඩුවට මේ අමාරු වෙලාවේ හදා ගෙන යන්න තිබුණා. ආණ්ඩුවට දැන් සල්ලි නැහැනේ. මං දැක්කා එක ආර්ථික විශේෂඥයෙක් කියල තිබුණ පාඩුව මිලියන 900 ක නොවෙයි, මිලියන 2000 ක් කියලා. ලංකාදීප පත්තරේ තිබුණේ එයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ගත්ත කෙනෙක්. එයා කියලා තිබුණේ ඇත්ත පාඩුව මිලියන 2000 ක් කියලා.


ප්‍රශ්නය -  ජනතාව නම් කියන්නේ යහපාලන ආණ්ඩුව තිබුණා නම් මෙලහකටත් මේ රට ඉන්දියාව වෙලා කියලා.


පිළිතුර - අපිත් රටට ආදරෙයි. අපි ජීවත් වෙන්නේ අපේ දරුවොත් එක්ක මේ රටේ නම්. වෙනත් රටවල්වල කකුල් තියාගෙන ඉන්නේ නෑ. අපි කැමැතියි කවුරු රට පාලනය කළාත් හොඳින් රට පාලනයන කරනවා නම්. කොරෝනා ප්‍රශ්නය ගැන කියනවා නම් අනිත් රටවල් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පාර්ලිමේන්තුවේ විශේෂ කොමිටි හදලා. ඒකට ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් නියෝජිතයෝ දාලා විධිමත් යාන්ත්‍රණයක් හැදුවා. නමුත් මේ ආණ්ඩුව විපක්ෂයේ අපි දීපු අදහස් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නෑ. කොරෝනා ආපු කාලයේ ජනවාරි 28 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වනේ එයාර් පෝර්ට් එක වහන්න කියලා. ඒ වෙලාවේ ඒකට සම්චචල් කළ. පෙබරවාරි 5 වැනිදාත් කිව්වා. ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් නායකයෝ ඒ වෙනකොට කොවිඩ් ගැන දන්නෙත් නෑ. එයාර් පෝට් එක වැහුවේ සති හයකට පස්සේ නාම යෝජනා කැඳෙව්වටත් පස්සේ. එතකොට වෙන්න ඕනෑ විනාශය වෙලා ඉවරයි.


ප්‍රශ්නය - බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් ආර්ථිකයට සම්බන්ධ ඇමැතිකමක් බාරගෙන ලොකු වැඩක් කරන්නයි යන්නේ. විපක්ෂයට ලේසි වෙන එකක් නෑ.


පිළිතුර - මම ප්‍රාර්ථනා කරනවා. මම මුලින් කිව්වා වගේ මේක මගෙත් රට. අපේ දරුවන්ගේත් රට ආණ්ඩුවට ජන වරමක් ලැබිලා තියෙනවා. ඒ ජන වරමට අනුව වැඩකරනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිචාරය අපිත් දක්වනවා. අර්බුදයට යන්නේ පක්ෂයක් හරි ආණ්ඩුව හරි නොවෙයි. මුළු රටමනේ. දැන් විදේශ සංචිත හොටඳම අඩු වෙලා. ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. කවුරු මේ රට පාලනය කළත් රට ආරක්ෂා කර ගත යුතුයිනේ. මහ බැංකුව බැංකු පද්ධතිය අපි ආරක්ෂා කර ගන්න ඕනෑනේ. ඒවා විනාශ වෙනවට අපි කැමැති නෑ. ඉතින් අපි බලමු එතුමා මොනවද කරන්නේ කියලා.


ප්‍රශ්නය -  සමගි ජන බලවේගයට එකතු වෙච්ච ගමේ මන්ත්‍රීවරු දැන් තොග ගණනින් නැවත එජාපයට එකතු වෙමින් ඉන්නවා.


පිළිතුර - එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරලා තියෙන්නේ දිනපු මන්ත්‍රීවරුන්නේ. දිනපු අය අයින් කරලා පැරදුණු අයනේ පත් කරන්නේ. ඉතින් එක් හරිද?


ප්‍රශ්නය - ඔබලාට එකතු වෙච්ච අයනේ මේ ආපහු යන්නේ. සජබෙට මොකක් වෙයිද?


පිළිතුර - නෑ. ප්‍රශ්නයක් නෑ. ඇත්තෙන්ම අපි විතරක් නොවෙයි. හැමෝම සජබෙට ගියේ හදවතට එකඟව. ඒක දේශපාලන තීන්දුවක්. මං මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අපේක්ෂකයෝ සියලු දෙනාම කැඳවලා මම ඇහුවා අපි මොකක්ද ගත යුතු පියවර කියලා. ඒ ආපු හැමෝම කිව්වේ අපි සජිත් එකක් හිටගමු කියලා. ඒක දේශපාලන තීන්දුවක්. හදවතට එකඟව ගත්ත තීරණයක් මිස, නීති පොත බල බලා ගත්ත තීරණයක් නොවෙයි. අදත් ජනතාව ඉන්නේ සජිත් එක්ක. ඒක ඉතාම පැහැදිලියි.


ප්‍රශ්නය -  පුංචි මන්ත්‍රීවරු ගියා වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රනිල් එක්ක එකතු වෙයිද?


පිළිතුර - නෑ. නෑ. එහෙම වෙන්න කිසිම හේතුවක් නෑනේ.


ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවා. යු.එන්.පී යට අලුත් ගැම්මක් ඇවිත් තියෙනවා?


පිළිතුර - ඇත්ත වශයෙන්ම මම අවුරුදු 24 ක්ම එතුමාට සහයෝගය දුන්නා. නොපැකිලිව ඒ සහයෝගය දුන්නා. එතුමාට ආණ්ඩු අරන් දුන්නා. නමුත් එතුමාට ඒ ගමන යන්න බැරිවීම අපට ප්‍රහේළිකාවක්. 2015 ජනාධිපතිවරණයේදී අපි මහනුවර දිස්ත්‍රික්කයත් දිනවලා දුන්නා. මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනවලා දුන්නා. නමුත් එතුමාගේ අවාසනාවට ඒ අවසාන පියවරට යන්න බැරි වුණා. ඒ ගැන තියන්නේ කනගාටුවක්.

 

සාකච්ඡා කලේ
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්