අද ජනතාව ජීවත්වෙන්න බැරි තත්ත්වයක ඉන්නේ


සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ 

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය- අද රටේ තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරගන්නේ.  


පිළිතුර- මේ ආණ්ඩුව බලයට පත් වුණේ ජනතාවට පොරොන්දු රාශියක් දීලා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ‘ආසියාවේ ආශ්චර්ය’ ගේනවා කියලා බලයට පත්වුණා. මේ ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම කියලා බලයට පත්වුණා. මේ රටේ ගරුතර ස්වාමීන් වහන්සේලා, තරුණ දරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ගොවි මහත්වරු, රජයේ සේවකයෝ මේ හැම කෙනෙක් තුළම විශාල බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි මේ අය ඇවිත් මුලින්ම කරපු දේ තමයි මහ මැතිවරණයේ ජයග්‍රහණය බලාගෙන වැට් ඇතුළු බදු වර්ග රාශියක් ඉවත් කළා කෝටි හැටදාහක් ඒ නිසා රජයට අහිමි වුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආදායම වැඩිම තිබුණ යුගය තමයි 2018 හා 2019.  


ප්‍රශ්නය-ජනතාව මත බදු පටවලානේ ඒ ආදායම වැඩි කර ගත්තේ?  


පිළිතුර- මොන ආණ්ඩුවද ආදායම නැති කර ගන්නේ. කෝටි එක් ලක්‍ෂ අනූපන්දාහක් රජයේ ආදායම තිබුණා. ඒ 2018 හා 2019 අවුරුදුවල. මේ අය ආපු ගමන් ඒ බදු ඉවත් කිරීම තුළ රාජ්‍ය ආදායම බිලියන 1350 ක් අඩු කර ගත්තා. ඒකේ අතුරු ප්‍රතිඵල තමයි මේ ලැබෙමින් පවතින්නේ. ඒ නිසා ලෝක ණය ශ්‍රේණිගත කිරීම් අපව ඍණ අගයට දැම්මා. ඒ නිසා අපට ණය දෙන්න බෑ කියලා ලෝකයේ රටවල් කියනවා. ඉතින් මම දකින දෙයක් තමයි 1994 ඉඳන් ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලය ඉවර වෙන්නේ 2024 දී. එතකොට අවුරුදු 30 ක්. එයින් අවුරුදු 24 ක්ම රට පාලනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදු ජන පෙරමුණ. මේ තත්ත්වය තුළ අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ.  


ප්‍රශ්නය- ලෝක වසංගතයක් එක්ක කොහොමද හැම සහනයක්ම දෙන්නේ කියලා ආණ්ඩුව අහනවා.  


පිළිතුර- අලුතෙන් සහන එපා. තිබුණ සහනටික දෙන්න කියන්නකෝ. 2019 වසරට සාපේක්‍ෂව හතර දෙනෙක් ඉන්න පවුලට ආහාර සඳහා පමණක් වියදම රුපියල් පහළොස් දාහකින් වැඩි වෙලා තියෙනවා. එක් පුද්ගලයකුට දිනකට රුපියල් 125 ක් යනවා වැඩිපුර 2019 ට සාපේක්‍ෂව. මේ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. ජනතාව ඉතා පීඩාවට පත් වෙලා තියෙනවා. කාබනික පොහොර ක්‍ෂණිකව පවිච්චියට ගැනීමේ තීන්දුවක් සමග ඉදිරියේදී ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. ඩොලර් හිඟය නිසා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. වෙළෙඳ ශේෂය අඩු වෙලා තියෙනවා.  


ප්‍රශ්නය-මම ඒකයි කිව්වේ මේ කොවිඩ් බලපෑමත් මේ තත්ත්වයට හේතු වෙලා කියලා.  


පිළිතුර- නෑ. කොවිඩ් නිසාම නොවෙයි. මේ අය ආණ්ඩුව බාරගත් දා සිටම ගත්ත අහිතකර අාර්ථික තීරණවල බලපෑමයි මේ. ජනතාව මේ සියල්ලන්ට අමාරුවෙන් පීඩාවට පත් වෙන තත්ත්වයට පත් වෙලා 70-77 වගේ පෝලිම් යුගයකට රට පත්වෙලා තියෙනවා. ඉන්ධන පෝලිම මුලින් තිබුණ. ගෑස් පෝලිම තිබුණා. දැන් සීනි පෝලිම ඇවිත් තියෙනවා. ඉස්සරහට හාල් වලටත් පෝලිමක් එයි.  


ප්‍රශ්නය- මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මුදල් පනත ඉදිරිපත් කළා. මේ හරහා හංඟාගෙන ඉන්න මුදල් එළියට ගන්න ආණ්ඩුව උත්සහා කරනවා. ඔබලා ඒකටත් විරුද්ධයි.  


පිළිතුර- ඔව් අනිවාර්යයෙන්ම විරුද්ධයි. මම ඔය පනතට එරෙහිව උසාවි ගිය කිප දෙනෙකුගෙන් එක්කෙනෙක්. මම මේ පනත දකින්නේ ශිෂ්ට සම්පන්න සමාජයකට නුදුසුදු පනතක් හැටියටයි.  


ප්‍රශ්නය- මේ වගේ පනත් මීට පෙරත් ගෙනල්ලා තියෙනවා?  


පිළිතුර- ඔව්. එක හරි. 1978 දී ගෙනාවා පනතක්. ඒ වෙලාවේ මේ වගේ හෙළි නොකළ වත්කම් සොයා ගන්නයි ගෙනාවේ. මේකත් කොළේ වහලා ගැහුවා. අර පෝට් සිටි පනත ගෙනාවේ අපට උසාවි යන්න දවසක් දෙකක් විතරක් ඉතුරුවෙලා තිබියදී. මේ පනතත් එහෙමයි. මේ පනත නම් කළේ මුදල් කියලා එහෙම කිව්වම ඒක අපිට එච්චර ඔළුවට එන්නේ නෑ. මේක කියෙව්වම තමයි භයානකකම පෙන්නේ. අපට දවස් දෙකයි උසාවි යන්න තිබුණේ.  


ප්‍රශ්නය-ඇයි ඔබ මේ පනතට මෙච්චරම විරුද්ධ?   


පිළිතුර- විරුද්ධ වෙන්නේ ​හේතු සහිතව. 1978 ගෙනාව පනතේ තිබුණේ මෙහෙම සල්ලි ගේන්න පුළුවන්. හැබැයි සියයට 30 ක බද්දක් ගහනවා. අවුරුදු පහක් යනකම් ලංකාවේ රාජ්‍ය බැංකුවක තැන්පත් කරලා තියෙන්න ඕනෑ. 1989 දී ගෙනාවා පනතක්. ඒ වෙලාවේ සියයට 20 ක බද්දක් ගැහුවා. අවුරුද දෙකක් යනකම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කරලා තියෙන්න ඕනෑ. හැබැයි මේ පනතට අනුව බද්ද සියයට 1 යි. සල්ලි ගේන කිසිම කෙනෙකුගේ නම් හෙළි කරන්න බෑ. සල්ලි ගෙනාව ගමන්ම රාජ්‍ය බැංකුවක තැන්පත් කරන්න පුළුවන් ඕනෑනම්. නැත්නම් දේපොළ ගන්න පුළුවන්. එහෙම තැන්තම් කොටස් වෙ​ෙළඳ පොළේ ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න පුළුවන්. ඒ ඕනෑම එකක් කරන්න පුළුවන්. එතකොට නීත්‍යානුකූලව සල්ලි හම්බ කරලා සියයට 24 ක් බද්දගෙවන අයට කොච්චර අසාධාරණයක්ද? කුඩු කාරයෙක් කුඩුවලින් හම්බ කරලා තියෙනවා කෝටි ගානක්. ඒක ගේන්න පුළුවන් කුඩු කාරයන්ගේ නම හෙළිකරන්නෙත් නෑ. ඒ මුදල්වලින් එයාලට ඕනෑම දෙයක් කරන්නත් පුළුවන්. මේක සැලසුම් සහගතව කරපු දෙයක්.  


ප්‍රශ්නය- ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර- ඔයා දන්නවද හෙලන්දිමා හා සහස්‍රා කියලා සමාගම් දෙකක් හැදුවා. සහස්‍රා එක හැදුවේ අධිවේගී මාර්ගවල තියෙන පිටවීම් හා ඇතුල්වීම් ආසන්නයේ තියෙන ඉඩම් ටික ගන්න. හෙලන්දිමා එකෙන් කරන්නේ කොළඹ විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ප්‍රධාන තැපැල් කාර්යාලය, හිල්ටන් හෝටලය, ගුවන් හමුදා ඉඩම, මහජන බැංකුවේ ඉඩම, ඒ වගේ ඉඩම් පෞද්ගලික අංශයට ගන්න පුළුවන්. ඒකෙන් ඩොලර් මිලියන 400 ක් බලාපොරොත්තු වෙනවා. මේගොල්ලන්ගේ මේ තියෙන සල්ලිවලින් මේවා ගන්න යන්නේ. තව එකක් තියෙනවා විදේශයන්හි මේගොල්ලන්ගේ තියෙනවානම් දේපොළ අරන් පනතේ තියෙනවා ඒවා එහෙමම තියාගන්න පුළුවන්. මේක මම දකින්නේ කළු සල්ලි සුදු කරන්න හදපු කළු පනතක්. මම පාර්ලිමේන්තුවේදිත් ඔය කතාව කිව්වා. ඒවගේම මම කිව්වා මහජනතාවගේ මුදල් වංචා කරපු හොරකම් කරපු අය ඊළඟ ආත්මෙදි බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙනවා කියලා සෙල් ලිපියක සඳහන් වෙනවා. මම කිව්වා පාර්ලිමේන්තුවේ මේ වහල යටත් මහජන මුදල් කොල්ලකන අය ඉන්නවා. ඒ නිසා මේ පනතට අත උස්සන සෑම කෙනෙකුටම, මොකද මේ කළු සල්ලි සුදු කරන පනතක්. අපේ රටට ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දේශපාලනඥයන් මෙතෙක් හම්බ කරලා තියෙන කළු සල්ලි නීත්‍යානුකූල කරන්න ගෙනාව පනතක්. ඉතින් ඔය පනතට අත උස්සන අය බලු කපුටො වෙලා ඉපදෙනවා අපි නැති කාලෙක. පාර්ලිමේන්තුවේ වහලේ මිදුලේ බල්ලො කපුටො වැඩියෙන් හිටියට පුදුම වෙන්නත් එපා කියලා මම කිව්වා. 2010-2015 කාලෙදිත් අපි කිව්වනේ මුං හොරු කියලා.  


ප්‍රශ්නය-නමුත් ඔබලගේ ආණ්ඩුව කාලේ අල්ලපු හොරකමක් නෑනේ?  


පිළිතුර- ඒක ඇත්ත. රනිල් වික්‍රමසිංහ හිටියේ ‘අපි ඉන්නකම් උඹලා බේරන්නම් උඹලා අපිව බේරගනින්’ කියන මතයෙනේ. ජනතාව යුද්ධය ඉවර කරපු නායකයව 2015 දී පරාජය කෙරුවේ ඔය හොරකම් නිසානේ. අත්තිමට මොකද වුණේ රනිල් ඇවිල්ලා මහ​බැංකු ප්‍රශ්නය ඇති කරලා අර න්‍යාය ක්‍රියාත්මක කළා එක්කෙනෙක්වත් ඇල්ලුවේ නැත්තේ ඒ නිසානේ. මම ඔබට එක උදාහරණයක් කියන්නම්. සුනාමිය ආවනේ, සුනාමි අරමුදලට ආව කෝටි 5400 කට වෙච්ච දෙයක් නෑ. ලෝක නායකයෝ ඒ වෙලාවේ ලංකාවට ඇවිත් පොරොන්දු වුණා කෝටි 24200 ක් සල්ලි දෙන්න. හැබැයි එව්වේ කෝටි 12100 යි. ඒකෙන් කෝටි හයදහස් ගානයි වියදම් කළේ. ඉතිරි එකට වෙච්ච දෙයක් නෑ. ඒ නිසා තමයි හිටපු අගවිනිසුරුවරයා කිව්වේ  
‘‘මම ජාතියෙන් සමාව ඉල්ලනවා හිරේ යන්න ඕනැ කෙනෙක් ජනාධිපති කළාට’’ කියලා. මේවා රටේ ජනතාව දැන ගන්න ඕනැ. දේශපාලනය විතරක් කරපු පවුලක් කොහොමද මෙහෙම සල්ලි හම්බ කරන්නේ? මේක අපි වගේ දේශපාලනඥයන්ට හරි ප්‍රශ්නයක්. ලංකාවේ අය හිතාගෙන ඉන්නෙ හැම දෙශපාලනඥයාම හොරු කියලා. මගේ බැංකු පොතේ ලක්‍ෂ හයසීයක් තිබුණා. මම දේශපාලනයට එනකොට දැන් ශතයක්වත් නෑ. අපි දේශපාලනයෙන් හම්බ කරලා නෑ. ජනතාවට බොරු කියලා බලයට ඇවිත් බොරුවෙන්ම රට පාලනය කරලා බොරුවෙන් විනාශ වෙලා යනවා කියලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවොත් කියන්නේ. කාදිනල්තුමා ඔය කියන්නේ. එතුමා සත්‍යයනේ කියන්නේ.  


ප්‍රශ්නය-එන්නත්කරණය අවුල් කරගෙන ආණ්ඩුව නාගනී කියලා ඔබලා හිතුවා. ඒ සිතිවිල්ල වැරැදියි කියලා දැන් හිතනවාද?  


පිළිතුර- අපේ මව්බිමනේ ​මේ. මේ රට හරියට තිබුණොත්නේ අපට දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා 2020 ජනවාරි 24 තමයි කිව්වේ ගුවන් තොටුපළ වහන්න කියලා. ඒ වෙලාවේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කිව්වා ‘‘නෑ නෑ අපි එයාර්පෝට් එකේ මැෂින් එකක් හයිකරලා තියෙනවා. ඒක ඇතුළෙන් එනකොට​ කොරෝනා අය අහුවෙනවා’’ කියලා. අපේ නායකතුමා පෙබරවාරි 8 වැනිදා කිව්වා ‘මාස්ක්’ දාන්න ඕනෑ. දුප්පත් ජනතාවට මාස්ක් එක නොමිලේ දෙන්න කියලා. නෑ නෑ මාස්ක් දාන්න ඕනෑ නෑ කියලා පවිත්‍රා වන්නිආරච්චි හිටපු සෞඛ්‍ය ඇමැතිනිය කිව්වා. ඊට පස්සේ එන්නත ගැන කතා කළාම වාසුදේව නානායක්කාර කිව්වේ නෑ නෑ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ ඕවා කියලා. මම පත්තරේක දැක්කා තවත් ලක්‍ෂ 3ක් ඉන්නවා 60 ට වැඩි අය එන්නත් ගහන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ පටන් ගන්න හැටෙන් ඉහළ කියලා. ලංකාවේ 60 ට වැඩි අය ඉන්නෙ ලක්‍ෂ 22 යි. සෞඛ්‍ය අංශ​යේ ඉන්නවා සමස්තයක් වශයෙන් ලක්ෂයක්. හමුදාවේ පොලිසියෙත් ඉන්නවා ලක්‍ෂ 4 ක්. මේ ඔක්කොම ලක්‍ෂ 30 ක් කියලා හිතමු. ඔය ලක්‍ෂ 30 ට ඉස්සෙල්ලාම එන්නත දුන්නානම් ලක්‍ෂ 60 යි ඕනෑ මාත්‍රා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 323 ක් තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස හාරසීයක් තියෙනවා. මධ්‍යස්ථාන හාරසීයක් දාලා අර ලක්‍ෂ 30 ට ගැහුවානම් සුමානෙන් ඉවරයි. එහෙම වුණානම් මේ මැරෙන ප්‍රමාණය අඩුයි. 
ඒක කළේ නෑ. 


දැන් ළමයි මැරෙන එකක් තියෙනවා. වයස 12 න් ඉහළ ඉන්නවා ලක්‍ෂ 175 ක්. ලක්‍ෂ 350 ක් ගහන්න ඕනෑ මාත්‍රා දෙකම තවම ගහලා තියෙන්නේ ලක්‍ෂ 90 යි. වෛද්‍යවරු ඇයි ඔය කොවිඩ් කමිටුවලින් අයින් වෙන්නේ. ඔවුන් කියන දේ අහන්නේ නෑ. ෆයිසර් එන්නත කවුද කිව්වේ හම්බන්තොට ගහන්න කියලා, තමන්ගේ ගමට ගිහින් ඒක ගහනවා. මේ ගොල්ලෝ මේක මේ දේශපාලනීකරණය කරගෙන. මම දැක්කා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ පිහිටෙන් අපට එන්නත ලැබුණා කියලා දේශපාලනඥයෝ කටවුට් ගහලා තියෙනවා. රටක පාලකයන්ගේ වගකීම මේ වගේ වසංගතයකදී එන්නත ගහන එක. අපි බලයෙ හිටියත් ඒක කරනවා. අපි කියපු දේවල්වලට විහිළු කළා. අර කුණ්ඩලනී ශක්තිය කියලා මුට්ටි ගඟට විසි කළා. ඒ ගැන කියපු මනුස්සයගේ මුළු පවුලටම කොරෝනා හැදිලලු. රාජකීය වෛද්‍යවරයා පැණි පස්සේ ගියා. කොහොම වුණත් මේ මොහොත වනවිට එන්නත්කරණය සාර්ථකව සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවලට විශේෂයෙන්ම යුද හමුදාවට සෞඛ්‍ය අංශවලට අපි මුළු ප්‍රණාමය 
පුද කරනවා.   

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්