අතුරුදන් තරුණයන්ට කිසිදා ඉටුනොවූ යුක්තිය


1987 - 89 භීෂණ සමයේ මරා දමන ලද සහ මරාදමා රහසේ වළලා දමන ලද තරුණ තරුණියන් පිළිබඳව මේ දිනවල කතිකාවක් ඇතිවී තිබෙන්නේ වසර 26ක් පැරණි බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කිරීම හේතුවෙනි. වසර තුනක් පුරා පැවැති මෙම බිහිසුණු භීෂණ සමයේදී රජයේ ආරක්ෂක අංශ අතින් තිස්පන්දාහකට ආසන්න තරුණ තරුණියන් පිරිසක්ද, ජනතා විමුක්ති පෙරමුණේ තුවක්කුකරුවන් අතින් එජාප, ශ්‍රීලනිප හා ආරක්ෂක අංශවල 6661 දෙනෙක්ද ඝාතනය කෙරිණි. දෙපිල බෙදී මරාගත් මේ බිහිසුණු යුගයේදී මියගිය කිසිවකුට නිසියාකාර යුක්තියක් ඉටු නොවිණි.

දකුණේ පමණක් නොව උතුරේත් අතුරුදන්වූ තරුණයන්ට සාධාරණ යුක්තියක් ඉටුවූයේ නැත. අප මේ කතා කරන්නේ ආරක්ෂක අංශ සමග මුහුණට මුහුණ අවිගෙන සටන් කළ අය ගැන නොවේ. සන්නද්ධ අරගලයක් පවතින විට රාජ්‍ය මර්දනයට හසුවන නිරායුධ තරුණ පිරිස ගැනය. එකල දකුණේ පැවැති ශ්‍රී ලංකා රජය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවිගත් සටනේදී සැකපිට අත්අඩංගුවට ගෙන අතුරුදන් කරවූ සහ මරා දැමුණු නිරායුධ තරුණයන් ගණන තිස්පන්දහසක් පමණ වේ. තරුණයන් හැට දහසක් අතුරුදන් වූ බවට ශ්‍රීලනිපය දේශපාලන වාසි ගැනීම සඳහා එකල විපක්ෂයේ සිට ඝෝෂා කළ ද, එම පක්ෂය බලයට පත්වීමෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග පත් කළ අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමට පැමිණිලි කළ සංඛ්‍යාව තිස්පන්දහසකට ආසන්නය. මෙම පිරිසෙන් අති බහුතරයක්ම ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැති අසරණ තරුණ පිරිසය. ඉන් බොහෝ දෙනා ආරක්ෂක අංශවලට හසුවූයේ ගම්වල පැවැති ඊර්ෂ්‍යාව සහ පළිගැනීම් ආදිය නිසාය.

මේ පිරිසට නිවැරදි යුක්තියක් අද වනතුරුත් ඉටුවී නොමැති බව රහසක් නොවේ. උතුරේ සහ දකුණේ කැරලි දෙකම මර්දනය කිරීම සඳහා ‘‘අතුරුදන් කරවීමේ උපක්‍රමය’’ ඉතා සාර්ථක ලෙස යොදා ගනු ලැබීය. ආරක්ෂක හමුදාවලින් හා ආරක්ෂක හමුදාවල සහායෙන් බිහිකළ අතුරු හමුදාවලින් පැහැරගෙන යන ලද තරුණයන් බහුතරයකගේ ඉරණම වූයේ යළිත් ගෙවල් දොරවල් කරා නොපැමිණීමය. ඔවුන් මේ බිමේ කොහේ හෝ රහසිගත බිම් කඩක මරා වළලා දමා ඇත. 1991දී මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ යුගයේ වැඩිම පිරිසක් අතුරුදන් වූ රට ලෙස ශ්‍රී ලංකාව නම් කළේය. ඒ සමගම මෙහි සටහන් කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර රතුකුරුසිය මෙරටට පැමිණියේ දකුණේ තරුණයන් මරා දමා අතුරුදන් කර අවසන් වීමෙන් අනතුරුවය. ඔවුන්ට වැදගත් වූයේ උතුර පමණකි. ජාත්‍යන්තර ණය දෙන ආයතන ද දකුණේ රාජ්‍ය භීෂණය නොදැක්කා සේ සිටි බව අලුත් පරපුරේ දැනගැනීම සඳහා මෙහි ලියා තැබිය යුතුය.

භීෂණ සමයේ මං මාවත් අද්දර මරා ටයර් දමා පුලුස්සා දමන ලද තරුණයන්ගේත්, දූෂණය කර හා නිරුවත් කර මරා දමා තිබූ තරුණියන්ගේත් සිරුරු දිනපතාම දැකිය හැකි විය. වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කර රජය මෙම ඝාතනවලට අදාළව මරණ පරීක්ෂණ පැවැත්වීම නීතියෙන්ම තහනම් කළේය. එම පනත යටතේ වසර තුනක භීෂණ සමයේ කළ මරා දැමීම් සහ අතුරුදන්වීම්වලට අදාළව ආරක්ෂක අංශ නිලධාරීන්ට දඬුවම් කළ නොහැකිය.

1994දී එවකට පැවැති එජාප රජය පෙරළුණේය. බලයට ආවේ ශ්‍රීලනිපය මුල්කර ගත් පොදුජන එක්සත් පෙරමුණේ රජයකි. එම රජය බලයට පත්වීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංගගේ මූලිකත්වයෙන් ඇඹිලිපිටිය සූරියකන්දේ තිබූ සමූහ මිනීවළක් සොයා කැණීම් කිරීම ප්‍රධාන හේතුව බවට පත්විය. සූරියකන්දෙන් ඇරඹුණු මිනී වළවල් හෑරීම අවසන් වූයේ පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වීමෙනි.

එකල ජනමාධ්‍ය සමූහ මිනීවළවල් රාශියක් ගැන තොරතුරු හෙළිදරව් කළේය. මෙහි මුල්තැන ගත්තේ වික්ටර් අයිවන්ගේ කර්තෘත්වයෙන් පැවැති රාවය පුවත්පතය. නියාගම ගොවිජනසේවා මධ්‍යස්ථාන භූමියේ පැවැති කඳවුරේ රඳවා සිටි තරුණයන් මරා එහිම වළලා තිබූ බව ද මහනුවර අංකුඹුරේ තරුණයන් 36 දෙනකුගේ සමූහ මිනීවළක් ඇති බව ද, වාරියපොළ පාදෙණිය හන්දියේ ගඩාෆිට බෝම්බය ඇටවූ වළට දමා තරුණයන් 15කට අධික සංඛ්‍යාවක් මරාදමා ඇති බව ද අඟුණකොළපැලැස්ස ප්‍රජා ශාලාව පිටුපස තරුණයන් 150කගේ සමූහ සුසානයක් ඇති බව ද හෙළිදරව් කෙරිණි. රාගම වනවාසල, මහනුවර අකුරණ හා දික්වැල්ල කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාළු ළිඳක තරුණයන් 150කට අධික පිරිසකගේ සිරුරු ඇති බව පුවත්පත් හෙළිදරව් කළේය. කොළඹ නීති පීඨයේ පවත්වාගෙන ගිය වදකාගාරයේ රඳවා සිටි තරුණයන් ඒ පිටුපස වළලා ඇති බවත්, කටුවන ගොවිජන සේවා ගොඩනැගිල්ල පිහිටි භූමියේ තරුණයන් විශාල පිරිසක් මරා වළ දමා ඇති බවත්, බෙරගල ඇඟලුම් හලක් පිහිටි භූමියේ සමූහ මිනීවළක් ඇති බවත් හෙළිදරව් විය. මේ අතරින් බටලන්ද වධකාගාරය සහ සූරියකන්ද සමූහ මිනීවළ රටේම අවධානය දිනාගත්තේය. රට පුරාම මිනීවළවල් කිහිපයක් හෑරුවද එම වෑයම් සියල්ල ජනමාධ්‍යයෙන් ප්‍රචාරයවීමත්, මව්වරුන් කඳුළු සලමින් තම දරුවන්ගේ සිරුරු කොටස් හා ඇඳ සිටි ඇඳුම් ආදිය හඳුනා ගත්තා මිස එම ඝාතනවලට වගකිවයුතු සැකකරුවන් හඳුනා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත. කඳුළු ගංගාවක පාවෙමින් සිටි මව්වරුන්ගේ කඳුළින් විපක්ෂයේ දේශපාලකයෝ ‘‘“මව්වරුන්ගේ පෙරමුණු’’ ගොඩනැංවූහ. ඒ මගින් එළඹුණු මැතිවණයේදී පැවැති රජය පරාජය කර දියවන්නාවේ තව්තිසා දිව්‍යභවනට රිංගා ගැනීමට ඔවුන්ට හැකි විය. ඇතැමුන්ට ජනාධිපති තනතුරු ද, ඇතැමුන්ට බලසම්පන්න ඇමැති තනතුරුද ලැබුණි. එහෙත් ඔවුන්ට බලයට ඒම සඳහා සිය තුරුණු සිරුර නාඳුනන බිම් කඩක සැඟවූ තරුණයන් මහත් පිටිවහල් වුවද, අද ද ඔවුන් චාරිත්‍රානුකූල අවමඟුලක් නොමැතිව, මිහිදන් කළ තැනක් සොයා ගත නොහැකිව අතුරුදන් තැනැත්තකුගේ ලේබලය යටතේ මේ බිමේ නොදන්නා කුඩා බිම්කඩක මිහිදන්ව සිටිති.

1994 මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ අතුරුදන් වූවන් ගැන සොයා බැලීම සඳහා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙවැනි පොරොන්දුවක් ලබා දුන්නේය.

  1. පසුගිය වකවානුව තුළ අප රටේ ඇතිවූ මිනීමැරුම්, අතුරුදන් වීම් හා අභිරහස් අපරාධ පිළිබඳව දේශපාලන පළිගැනීම් පිළිබඳව ද සොයාබැලීමට විශේෂ කොමිසමක් පත්කෙරේ.
  2. මෙහිදී දේශපාලන මිනීමැරුම් හා අපරාධ පිළිබඳව මෙන්ම පාතාල ලෝකයේ මිනීමැරුම් හා අපරාධ පිළිබඳව ද සොයා බැලේ.
  3. අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය තොරතුරු පොදුජන පෙරමුණ බලයට පත්වී මාස තුනක් තුළ සියලු මව්පියන්ට දැනුම් දීමට කටයුතු කෙරේ.
  4. රැඳවුම් කඳවුරුවල සිටින සියලු දෙනා නිදහස් කෙරේ.
  5. ඝාතනයට ලක්වූ අතුරුදන්වූ හා අතවරයට ලක්වූ අයට හා දේපළට පක්ෂ භේදයෙන් තොරව වහා වන්දි ලබාදේ.

එම පොරොන්දු එවකට ඕනෑම රටවැසියකුගේ සිත්ඇදගන්නා පොරොන්දු බවට පත්වී තිබිණ. පොදු පෙරමුණ බලයට පත්වූ පසු අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පිහිටැවිණි. 1998දී බටලන්ද කොමිසමද, විජය කුමාරතුංග, ලලිත් ඇතුළත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන පරීක්ෂණ කොමිෂන් පිහිටුවිණි. එහෙත් මේ සියල්ල ධනය හා කාලය කා දමන රැස්වීම් මාලාවක් පමණක් බවට පත්වූයේ එම කොමිෂන් සභාවලට අධිකරණ බලතල නොතිබූ නිසාය. මෙම සියලු කොමිසන් සභා 1947 විමර්ශන පනත අනුව පත් කළ කොමිෂන් පමණක් විය. ඒවායෙන් කෙරෙනුයේ විමර්ශනයක් පමණක් වීම එයට හේතුවය. පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වූ පසු ඝාතන සැකකරුවන් කිහිප දෙනකුට නඩු පැවරුවද ඉන් බොහෝ දෙනා සාක්ෂි නොමැති නිසා නිදහස් විය. එකල රාජ්‍ය භීෂණය සම්බන්ධයෙන් නිරතුරුවම ඇඟිල්ල දිගුවූ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ හෝ යුද හමුදා මේජර් ජනරාල්වරුන්, බ්‍රිගේඩියර්වරුන් කිසිවකුටත් නඩු පැවරුණේ නැත. දකුණේ භීෂණය අවසන් වනවාත් සමගම යළි සක්‍රීය වූ උතුරේ යුද්ධයට ගිය මේ ඉහළම හමුදා නිලධාරීහු දුටුගැමුණු පරපුරේ දස මහා යෝධයන් සේ වීරෝදාර දේශප්‍රේමීන් ලෙස උත්කර්ෂයට නංවනු ලැබූහ.

අතුරුදන්වූවන්ට  සාධාරණය ඉටුකිරීමද ඒ සමගම අවසන් විය.

බටලන්ද කොමිසම් වාර්තාවෙන් යළි අවුස්සන ලද්දේ ඒ පිළිබඳ මතකය වුවත්, අතුරුදන්වූ සහ ඝාතනය වූ තරුණයන්ට සාධාරණයක් ඉටුවන ලකුණු මේ වන තුරුද පහළව නැත. චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වීම සඳහා එවකට යළිත් මෝදුවෙමින් පැවැති ජනතා විමුක්ති පෙරමුණේ සහායද ලැබිණි. බලයට පැමිණි පසු ඇය ජවිපෙ ඉතුරු බිතුරු රොඩු ටික සාමාන්‍ය සමාජයට ඒමට හැකි වන පරිදි නීති රෙගුලාසි ලිහිල් කළාය. වස්කඩුව පොලිසියට පහරදෙන්නට ගොස් අත්අඩංගුවේ සිටි ටිල්වින් සිල්වා ඇතුළු පිරිස සාමාන්‍ය දේශපාලනයට පැමිණියේය. අතුරුදන්වූවන් සෙවීමේ කොමිසමක් පත්කර උඩින් පල්ලෙන් අතගා ඇය අතුරුදන්වූවන්ට සාධාරණයක් ඉටුකිරීමද අවසන් කළාය. අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමෙන් ඉටුවූයේ මළවුන් සහ අතුරුදන්වූවන්ගේ පවුල්වලට රජයෙන් යම් වන්දි මුදලක් ලබාදීම පමණය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බටලන්ද කොමිසම ස්ථාපිත කළේ හුදෙක් එකල තම ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපකීර්තියට පත් කිරීම සඳහා පමණය. කොමිසම පත්කිරීම සිදුවූයේ 1978 ජනාධිපති කොමිෂන් සභා පනත අනුව නොව 1947 විමර්ශන කොමිෂන් පනත අනුවය. එම විමර්ශන කොමිෂන් පනතට අනුව පත් කරන කොමිෂන් සභාවලට විත්තිකරුවන්ට දඬුවම් දීමේ බලයක් නැත. එකල චන්ද්‍රිකාගේ අගසව් වූ එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රතිවාදියකු වූ මංගල සමරවීරටද රනිල් වික්‍රමසිංහ හීලෑ කර තබා ගැනීමේ වුවමනාව තිබූ හෙයින් බටලන්ද කොමිසම බිහිවිය.

1994 නව රජය බිහිවීමෙන් පසු මිනීවළවල් හෑරීමට පටන් ගත්තද රජය පැවැසුවේ මිනීවළවල් හාරන්නේ තම රජය විසින් නොවන බවය. එවකට අධිකරණ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස් එකල මාධ්‍යයට පැවසුවේ, අතුරුදන්වූවන් වළලා ඇති බවට සැකකෙරෙන මිනීවළවල් සෑරීමේ කටයුත්ත යම් යම් පුද්ගලයන්ගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත් නියෝගයෙන් සිදු කෙරෙන ක්‍රියාදාමයක් මිස නව රජයේ කටයුත්තක් නොවන බවය. අපරාධ නීති සංග්‍රහයේ 14 වැනි වගන්තිය මත මහේස්ත්‍රාත්වරයකුට අයැදුම්පතක් යොමුකිරීමෙන් අබිරහස් මළසිරුරු ගැන හෙළිදරව් කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත්, මිනී වළවල් හෑරීම යනුවෙන් ඒ දිනවල කෙරුණේ එම කටයුත්ත බවත් අධිකරණ ඇමැතිවරයා පැවසුවේය. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා රජය අද වනතුරුත් අතුරුදන්වූවන් වළලා ඇති බිම් පෙත් පරීක්ෂා නොකළ බවය. අධිකරණ ඇමැති මහාචාර්ය පීරිස් 1994 ඔක්තෝබරයේ ලංකාදීප පුවත්පතට මෙවැනි ප්‍රකාශයක් සිදු කළේය. ‘‘“පසුගිය භීෂණ සමයේ පැහැරගෙන ගොස් මරා දමනු ලැබූ අය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රජය විසින් පරීක්ෂණ කොමිෂන් සභා තුනක් පත්කරනවා. මේ කොමිෂන් සභාවල අරමුණ ඝාතනය කරනු ලැබූ අයගේ පවුල්වලට වන්දි මුදලක් ලබාදීමයි. මේ කොමිසන්වලට පරීක්ෂණ පවත්වා නිර්දේශ ඉදිරිපත් කළ හැකි වුවත්, දඬුවම් නියම කිරීමේ අධිකරණ බලතල නෑ....’’ අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

සත්‍ය එයය. එකල පත්කළ කිසිදු කොමිසමකට ඝාතනවලට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් පැමිණවීමේ අධිකරණ බලතල නොතිබුණේය. ඉන්පසු කිසිම රජයක් විසින්ද එවැනි කොමිෂන් සභා පත් කළේ නැත. අතුරුදන් තරුණයන්ට කිසිදා යුක්තිය ඉටු නොවූ බව අප කියන්නේ ඒ නිසාය.

ජවිපෙ කැරැල්ල වැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ මුදාහළ ප්‍රතිභීෂණයේදී වධකයන් වූ බොහෝ පිරිසක් මේ වන විට මළවුන් අතරය. එවකට පහළ නිලධාරීන් වූ පොලිස් හා හමුදා ශ්‍රේණිවල යම් පිරිසක් පමණක් විශ්‍රාම දිවිය ගත කරති. ඒ අතරින් එවක එජාප රජයට ඉතා පක්ෂපාතීව දරුණු ප්‍රචණ්ඩත්වයක් මුදාහළ නිලධාරීහු පිරිසක් තමන් එදා අනුකම්පාවිරහිතව මැඩලූ ජවිපෙ පාර්ශ්වයටම එක්වී සිටින ආකාරය මේ වන විට දැක ගත හැකිය. ඔවුන් අතින් මියගිය පිරිස, අතුරුදන්වූ වූවන් ලෙස පොළෝගැබේ සැඟවී සිටියදී ජවිපෙ කැරැල්ලෙන් ඉතිරිවූ නායකයන් මෙම ආරක්ෂක අංශ නිලධාරීන් බදා වැලඳගෙන තම මැතිවරණ වේදිකාවට නංවා ගත් ආකාරය ජනපතිවරණ සමයේ දැක ගත හැකි විය. අතුරුදන් පිරිසට සාධාරණ යුක්තියක් ඉටුවේ දැයි අප සැක කරන්නේ ඒ නිසාය. විජේවීර ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු මුත් මෙම රජයට එවැනි පරීක්ෂණයක් කළ නොහැකිය. එයට හේතුව නම් විජේවීර අල්ලාගත් හමුදා කණ්ඩායමේ එවකට සිටි මේජර්වරයකුට ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා නැගී තිබීමය. පසුව ඉහළ තනතුරකට පත්වූ එම නිලධාරියා ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජාතික ජනබලවේග රණවිරු එකමුතුවට එක්වී අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කළේය. එවැනි තත්ත්වයක් යටතේ 1987 භීෂණ සමය ගැන පූර්ණ පරීක්ෂණයක් මෙම රජයෙන් හෝ සිදු නොවන්නේය. යල් පැන ගිය කොමිෂන් සභා වාර්තාවක් ගැන දින දෙකක් විවාද කළාට ඒ හඬ දියවන්නාවෙන් ඔබ්බට පැතිර යන්නේද නැත. අතුරුදන් වූ තරුණයන්ට කිසිදා යුක්තිය ඉටු නොවන බව අප යළිත් කියා සිටින්නේ ඒ නිසාය.

ප්‍රේමකීර්ති රණතුංග