88-89 කාලයක් ඕනෑ වෙලා තියෙන්නේ අපට නොවෙයි ආණ්ඩුවටයි


ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී

අනුර කුමාර දිසානායක 

 

තමන්ගේ මැදිහත්වීමෙන් ඇරඹෙනවා යැයි කී අරගලයේ දෙවැනි රැල්ල පිළිබඳව මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගෙනි.   

?අරගලයේ දෙවෙනි රැල්ලක් ගැන ඔබ පසුගියදා කියලා තිබුණා. මේ ගැන දැන් ගොඩක් අය කතා කරන්න පටන් අරන්.   


පහුගිය කාලෙ රටේ විශාල ජනතා නැගිටීමක් තිබුණා. ඒක මෑත ලංකාවේ පැනනැගුණු විශාලතම ආශ්වාදජනක ජනතා පිබිදීම. ඒකේ ජයග්‍රහණ රැසක් තියෙනවා වගේම අවසන් දේශපාලන ජයග්‍රහණයක් පිළිබඳ අපි කාටවත් සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒකට හේතු තිබුණා. ඒ වගේ ජනතා නැගිටීමකට අනිවාර්‌යෙන්ම සම්පූර්ණ විය යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි එවැන්නකට ඉතා දියුණු මධ්‍යගත සංවිධානයක් අවශ්‍යයි. ඒ වගේම ඒ සටනේ අරමුණු, ඉලක්ක පිළිබඳ මතවාදී ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ ජනතා නැගිටීම හොඳම ප්‍රතිඵල වලින් කෙළවර කරගන්න අසමත් වුණු බව අද බොහෝ දෙනා පිළිගත්ත විත්තිය. ඒ නිසා අපිට අද අවශ්‍ය වෙනවා ඉතාමත් ශක්තිමත් සංවිධානාත්මක සහ මතවාදී මගපෙන්වීමක්. ඒ යටතේ ඊළඟ ජනතා නැගිටීම සිදුවිය යුතුයි. එහෙම නොවුණොත් ඒක මේ පාලකයන්ට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වෙනවා. ඒ නිසා තමයි අපි හිතන්නේ ජනතාව සංවිධානය කොට මේ ක්‍රියාවලියට මැදිහත්වීමේ ප්‍රධාන කොටසක් ජාතික ජනබලවේගයට පැවරී තියෙන බව.   


?දෙවෙනි රැල්ල ඔබලත් එක්ක පටන් ගන්නේ කියල කිව්වම හරියට ඔබලා පළවෙනි රැල්ලෙ හිටියේ නෑ වගේ එකකුත් හිතෙන්න පුළුවන් කාට හරි. අරගලයේ පළවෙනි රැල්ල හරියට පත්තු නොවුණු නිසාද එහෙම කියන්නේ දැන්?   


එහෙම නෑ. පළවෙනි රැල්ලෙ අපි යම් පාර්ශ්වීය කොටස්කරුවන් විතරයි. ඒ අරගලය පැනනැගුණු ආකාරය තුළම යම් පාර්ශ්වීය කොටස්කරුවන් වීම හැර එහි ප්‍රධාන බලවේගය වෙන්න අපට ඉඩක් තිබුණේ නෑ.   


?දැන් ඔය දෙවෙනි රැල්ල එන්නේ කවද්ද?   


 ජනතා පීඩාව න්‍යාය පත්‍රානුකූලව පැන නගින එකක් නෙවෙයි. මහ බැංකු අධිපතිවරයාත් ප්‍රකාශ කරල තිබුණා පහුගිය දවසක ජනතාවගේ දෙවැනි පිබිදීම ඉතාමත් භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අනතුරක් තියෙනවා කියලා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ වගකීම තමයි මේ තත්ත්වයට රටේ යහපත වෙනුවෙන් නිසි පරිදි මැදිහත් වීම, අපේ රට ඇතිවෙනකම් ලේ වගුරපු රටක්. තවදුරටත් ප්‍රචණ්ඩත්වයක් අපේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා මේ තත්ත්වය යම් සංවිධානාත්මක නායකත්වයක් යටතේ මෙහෙයවිය යුතුමයි. කාලවකවානුව තීරණය කරන්නේ අපි මොන තරම් දුරට ජනතාව සංවිධානය කරන්න සමත් ද කියන කාරණය මත.   


?මේ වෙනකොට ඒ සංවිධානාත්මක පියවර තියෙන්නේ කොතන ද?   


අපි මේ වෙනකොට සෑම ග්‍රාමසේවා වසමක්ම ඉලක්ක කරගෙන එන්.පී.පී. සභා ගොඩනගමින් යනවා. ඒ වගේම එන්.පී.පී. ආසන සමුළු පවත්වමින් යනවා. ජාතික ජනබලවේගය මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය සබඳතාවයක් තියෙන මහජන ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම රටේ ආර්ථික සහ පරිපාලන මර්මස්ථානවල අපි ජාතික ජනබලවේගයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් තියෙනවා. සමස්ත මහජන ව්‍යාපාරයක් ගොඩනැගෙමින් තියෙනවා. එහෙම නැතුව අයාලේ සිදුවන ජනතා නැගිටීම් ඉතා භයානක ප්‍රතිඵල අත්කර දිය හැකියි. ඒකෙන් ජනතාවටත් රටටත් මුහුණ දෙන්න වෙන තත්ත්වය බරපතළයි.   


අරගලයේ දෙවෙනි රැල්ල ගැන ඔබ කියපු කතාව පිළිබඳ ඇතැම් දෙනා කියන්නේ ජේ.වී.පී. එක ආපහු ‘88 - 89’ ක් නිර්මාණය කරන්න හදනව කියලා.   


ඇත්තටම 88 - 89 ත් අවශ්‍ය වෙලා තියෙන්නේ අපිට නෙවෙයි ආණ්ඩුවට. ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙන්නෙ ආණ්ඩුව. අධි ආරක්ෂිත කලාප හදන්නේ ආණ්ඩුව. නාස්තිය දූෂණය කරපින්නා ගෙන තියෙන්නේ ආණ්ඩුව. ජනතා නැගිටීම්වලට මුහුණ දෙන්න බැරි ආණ්ඩුව ඒවා ම්ලෙච්ඡ විදියට මර්දනය කරමින් ඉන්නෙ. 88 - 89 ක් නිර්මාණය කරන්න බලන් ඉන්නේ ආණ්ඩුව. ප්‍රචණ්ඩත්වය තියෙන්නේ ආණ්ඩුවෙ මිසක් අපේ ළඟ නෙවෙයි. සාමකාමී උද්ඝෝෂණවලට මඟ රැකලා ඉඳලා ප්‍රහාර එල්ල කරන්න පොලිසියට උපදෙස් දෙන්නෙ කවුද? ආණ්ඩුවේ එකම උත්තරය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම. ජනතාවට මුහුණ දෙන්න බැරි ආණ්ඩුවට කරන්න පුළුවන් එච්චරයි.   


?පහුගියදා සමාජවාදී තරුණ සංගමයේ පෙළපාළියට පහරදීමත් එක්ක ඔබ ක්ෂණයෙන් එතෙන්ට ගිහින් මාධ්‍යයට අදහස් දැක්වීමත් නාටකීයයි කියල සමහරු කියල තිබුණා.   


ගෝල්ෆේස් පිටියේ ඔබ දැක්ක මහින්ද රාජපක්ෂගෙ මැර කණ්ඩායම් තරුණ තරුණියන්ට පහර එල්ල කරනකොට අපි ඒ මොහොතෙම එතෙන්ට ගියා. ඒ වගේම බොහෝ දෙනා අත්අඩංගුවට ගන්න කොට පොලිසියට අපි ගියා. තවත් සමහරු සිරගත කරාම ඔවුන් බලන්න බන්ධනාගාරවලට අපි ගියා.   


එදා ඒ උද්ඝෝෂණය සංවිධානය කළේම ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානය විසින්. ඒ උද්ඝෝෂණයේ ඉඳපු කිසි කෙනෙක් නඩු තියෙන අය නෙවෙයි. මහජන දේපළ හොරා කාපු අය නෙවෙයි. වංචා දූෂණ කරපු අය නෙවෙයි. ඔවුන් මේ රටටත් ජනතාවත් ආදරේ කරන තරුණ තරුණියන්. ඒ කිසිවෙක් ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී බැටන් පොලු ප්‍රහාරයට ලක්විය යුතු අය නෙවෙයි. ඒ වගේම ඒ කිසිවෙක් පැයක්වත් පොලිස් කූඩුවල සිටිය යුතු අය නෙවෙයි. කූඩුවෙ ඉන්න ඕනැ අය එළියෙ ඉදගෙන නියෝග දීල සාධාරණ මිනිස්සු කූඩුවලට තල්ලු කරන කොට අපිට වේදනාවක් එනවා. කෝපයක් එනවා. ඒ ක්‍රියාව වැළැක්වීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මම ඉටු කළේ.   


?අරගලකරුවන්ට ආණ්ඩුව සංඥා​ කරන්නේ සෙල්ලම් කරන්න එන්න එපා වගේ එකක්. ආණ්ඩුවේ මර්දනය හමුවේ ඔය කියන ධෛර්ය දිගටම තියෙයිද?   


ඔයිට වඩා බලයක් තිබුණු ආණ්ඩුවට මොකද වුණේ? හටනම ලක්ෂයක බලයක් තිබුණු ගෝඨාභයට මොකද වුණේ. පවුලක් අතේ අසීමිත බලයක් තිබුණු වෙලාවක ජනතා නැගිටීම හමුවේ ඔවුන්ට අත්වුණු ඉරණම අපි දැක්කනෙ. අගමැතිට පැනල ගිහින් කඳවුරුවල හැංගි හැංගි ඉන්න සිද්ධ වුණා. ජනාධිපතිට රට දාලා පැනල යන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ආණ්ඩුවෙන් ඔය කටමැත දොඩවන අයට අපි කියනවා ජනතා නැගිටීම හමුවේ හිටපු නායකයන්ට වුණු දේවල් මතක් කරගන්න කියලා. මාධ්‍ය හරහා ආණ්ඩුවේ උදවිය ගහන බොරු පම්පෝරිවලට ජනතාව තවදුරටත් බයවෙන්නෙ නෑ. අද මහපොළොවේ තියෙන්නේ ජනතාවගේ බලය. රනිල් වික්‍රමසිංහටත් එයාගේ ගෝල බාලයන්ටත් පුළුවන් අධිආරක්ෂිත කලාප අතුළේ කොටුවෙන්න. හැබැයි ජනතාවගේ කලාපය ඊට වඩා සෑහෙන ලොකු බව මතක තියාගත්තොත් හොඳයි. ජනතාවගේ කලාපය ඔය දේශපාලන නායකයන්ට අධි ආරක්ෂිත කලාප බවට පත්වෙනවා. එතකොට ඒ අයට ඉන්න වෙන්නේ ඔය කොටු කරගත්තු සීමාවලම තමයි.   


?උද්ඝෝෂණ සඳහාම වෙන් කරල තිබුණු භූමියත් උද්ඝෝෂකයන්ට අහිමි වෙන්න යන්නේ.

   
ආණ්ඩුවෙ බියඟුලු බව කොච්චරද කියල ඒකෙන්ම පේනවා. රනිල් වික්‍රමසිංහ දන්නව ඔහුට ජනවරමක් නැති බව. මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා ඔවුන් පූර්ව සූදානමින් තමයි මේ වාගේ වැඩ කරන්නේ. අපි දන්නවා සතෙක් වුණත් ගොඩක් බය වුණාම දත් විලිස්ස ගෙන ගොරවනවා. ආණ්ඩුවත් අන්න ඒ වගේ තමයි. හැබැයි මේ ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී මර්දනයට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. ආණ්ඩු ඒ ඉදිරියේ දණ නමන දවස වැඩි ඈතක නෑ. ආණ්ඩුවට අද ඕනැවෙලා තියෙන්නෙම ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී මර්දනයට අනිත් පාර්ශවයෙනුත් ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක්. ආණ්ඩුවේ ඒ කැත උත්සාහයට අපි අහුවෙන්නෙ නෑ. ඒක නින්දිත උපක්‍රමයක්. ආණ්ඩුවේ මේ උගුල්වලට ගොදුරු නොවී මහා ජනබලවේගයක් අපි ගොඩනගනවා. ඒක නවත්වන්න රනිල්ට හෝ රනිල්ගේ ගෝල බාලයන්ට පුළුවන් කමක් නෑ.   
මානව හිමිකම් කොමිසම වගේම ජාත්‍යන්තරය ආණ්ඩුවේ මේ මර්දනය ගැන අනතුරු අඟවනවා ආණ්ඩුවට. ඒත් ආණ්ඩුව ඒක ගණන් ගන්න බවක් පේන්නෙ නෑනේ.   
ආණ්ඩුව මේ අනතුරු ඇඟවීම් ගණන් ගන්නෙ නෑ වගේ හිටියට ආණ්ඩුවට මේව ගණන් ගන්නම වෙනවා. එහෙම රඟපාන්න උත්සාහ කළාට ඒක හරියන වැඩක් නෙවෙයි. ආණ්ඩුව එළියට පෙන්වන නිර්භීත භාවයන් ආණ්ඩුව ඇතුළෙ නෑ. ආණ්ඩුව දරුණු සෙලවීමකට ලක්වෙලා තියෙන්නේ. ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑමෙන් ගැලවෙන්න පුළුවන් කියල හිතනවද? පොලිසිය දාල පෙළපාළිවලට ගහනව වගේ චණ්ඩිපාට් දැම්මට ආණ්ඩුවට ජාත්‍යන්තරය ඉදිරියේ එහෙම චණ්ඩිපාට් දාන්න බෑ. අපි ආණ්ඩුවට අභියෝග කරනවා. පුළුවන් නම් එන්න ඔය විදියට දිගටම චණ්ඩිපාට දාගෙන. අපි හැප්පිල බලමු. අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව සංවිධානය කරමින් ඉන්නේ. ඒ ජනබලය එක්ක රනිල්ටවත් එයාගෙ ගෝලබාලයින්ටවත් හැප්පෙන්න බැරි වෙයි.   


?අරගලයේ දෙවෙනි රැල්ලට ඔබලා නායකත්වය දෙනව නම් පළවෙනි රැල්ලෙන් සෑහෙන්න පාඩම් ඉගෙන ගන්න තියෙනවා නේද?   


පැහැදිලිවම ඔව්. ඒ පිළිබඳව විශාල සංවාදයක් අපි අතර තියෙනවා. අපේ ව්‍යාපාර ඇතුළේ සහ අපිට සම්බන්ධ කණ්ඩායම් සමඟ මේ පිළිබඳව විශාල සාකච්ඡාවක් පවතිනවා. පළවෙනි රැල්ලෙ අඩුපාඩු අපි සූක්ෂමව නිරීක්ෂණය කරන්න ඕනෑ. දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය, ඉලක්කගත අරමුණක් තිබීම, සංවිධානාත්මකත්ව වගේ කරුණු රාශියක් ඒ අතර තියෙනවා. නිවැරැදි සටන් පාඨ තෝරා ගැනීමත් වැදගත් කාරණයක්. අපි දැනටමත් හඳුනගෙන තියෙනවා පළවෙනි රැල්ලේ වැදගත් තැන්. ජනතාවගේ නැගිටීම කිසිසේත්ම අයාලේ යාමට නොදිය යුතුයි. එය තිරසාර ලෙසම නව ජනතාවාදී පාලනයකට පාර කපන්නත් විය යුතුයි. අපි ඒ පාලනය ගොඩ නගනවා ස්ථීරයි.

 

 

 සටහන : 
ප්‍රියන්ත කොඩිප්පිලි