
උතුරේ විපක්ෂ මන්ත්‍රීන්ට ජනපතිගෙන් ආරාධනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සතියේ අනුරාධපුරය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ උත්සවවලට සහභාගි විය. ඉන්දියානු සහ ජපාන රජයන්හි ආධාර යටතේ රෝහල් කිහිපයක නව වාට්ටු සංකීර්ණ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ද ඊට ඇතුළත් විය.
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කෙරෙන්නේ ඉන්දියානු රජයේ ආධාරයෙනි. සියලු නවීන පහසුකම් සහිතව ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල විවෘත වූ පසු, ඇතැම් ප්‍රතිකාර සඳහා දුරබැහැර රෝහල් කරා යාමට සිදුවන රෝගීන්ගේ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වේ යැයි රජය බලාපොරොත්තු වෙයි.
මෙම මුල්ගල් තැබීමේ උත්සවයේ විශේෂත්වයක් වූයේ මාලිමා රජයේ එම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබීමයි. ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සමඟ ප්‍රදේශයේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරිණි. විපක්ෂය නියෝජනය කරන සෙල්වම් අඩෙක්කලනාදන් සහ කාදර් මස්තාන් වැනි මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කළ ජනාධිපතිවරයා, ඔවුන් අතින් මුල්ගල් තැබීමට සැලැස්වීය. ප්‍රදේශවාසීන්ට මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද මෙය පුදුමයට කරුණක් විය.
ජනපති මව ගැන කී කතාව
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සතියේ අනුරාධපුරයේ පැවැති මහජන රැලිවලට සහභාගී වන අතරතුර තඹුත්තේගම පිහිටි තම මහගෙදරට ගොස් මවගේ දෙපා අල්ලා සුවදුක් විමසුවේය. එම රූප රාමු සමාජ මාධ්‍යයේ හුවමාරු වූයේ ජනාධිපතිවරයාගේ මව් සෙනෙහස අගය කරමිනි. ඇතැම් විවේචනාත්මක අදහස් ද ඒ සමඟ පළ විය.
ජනාධිපතිවරයා යළිත් අනුරාධපුරයට ගියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (න්‍ෂක්‍්) ණය ආධාර යටතේ මෙය ඉදිවෙයි. රටේ පැවැති ආර්ථික තත්ත්වය, තම රජය යටතේ ආර්ථිකය ශක්තිමත් කරමින් යන ආකාරය සහ විවිධ දේශපාලන කරුණු පිළිබඳව ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය. තම මව පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මෙසේය.
මම අනුරාධපුර රෝහල පිළිබඳව ගොඩක් විශ්වාස කරනවා. මගේ අම්මත් මාසයකට පමණ පෙර අවස්ථා තුනකදී පමණ මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඉතාමත් හොඳ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලයක් සහ සහායක කාර්ය මණ්ඩලයක් මෙහි සිටිනවා.’’
එහි සිටි ජාතික ජන බලවේගයේ මැති ඇමැතිවරුන් ගණනාවක්ම ඉන්පසුව කතා කළේ වෙනත් පක්ෂවල ප්‍රබල දේශපාලනඥයන් සහ පවුලේ ඥාතීන් සිංගප්පූරුවට ගොස් එරට රෝහල්වලින් ප්‍රතිකාර ලබාගනිද්දී, ජනාධිපතිවරයාගේ මව අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම පිළිබඳවය.
එම රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා, වසන්ත සමරසිංහ ඇමැතිවරයා සමඟ දිගු කතාබහක යෙදුණේය.
ඔන්න වසන්ත, අපි මේ පාර අයවැයෙන් අනුරාධපුර රෝහලට රුපියල් බිලියන විසිඅටක් වෙන්කරනවා. අනුරාධපුර මහ රෝහල ජාතික රෝහලක් බවට පත්කරන්න අපි තීන්දු කරලා තියෙන්නේ. වසන්තත් මගෙන් ඔය ඉල්ලීම මීට කලින් කළානේ’’ ජනාධිපතිවරයා කීවේය.
‘‘ඔබතුමාට ගොඩක් ස්තුතියි ජනාධිපතිතුමනි’’ වසන්ත සමරසිංහ ඇමැතිවරයා පැවසීය.
එම රැස්වීම පැවැත්වුණේ නොච්චියාගම සහ කහටගස්දිගිලියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනහමු දෙකෙන් අනතුරුවය. සවස දෙකට ආරම්භ කළ කහටගස්දිගිලිය ජනහමුවේ විශේෂත්වයක් වූයේ මහා වැසි ඇදහැලෙද්දීත් පැමිණ සිටි ජනතාව, තමන්ට වාඩිවීමට ලබාදී තිබූ පුටු හිසට ආවරණයක් සේ අල්ලාගෙන නොසැලී සිටීමය. එම මොහොත ජනාධිපතිවරයාට ද මහත් සංවේදී විය.
නොච්චියාගමයි, කහටගස්දිගිලියෙයි රැස්වීම් දෙකටම ඔබතුමා ගියා. ඒ හැම රැස්වීමකටම දහදාහකට වඩා සෙනඟ හිටියා. විපක්ෂය මොනවා කීවත් ඒ අපි ගැන මහත් විශ්වාසයෙන් ඉන්න ජනතාව’’ වසන්ත සමරසිංහ ඇමැතිවරයා කීවේය.
මටත් ඒ සෙනඟ මහ වැස්සේ ඉන්නවා දැක්කාම සංවේදී වුණා. අපි ඉදිරියේදී රට පුරා නිවාස හැටදාහක් හදනවා. අපේ ආර්ථික සැලසුම දැන් හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් අරන්’’ ජනාධිපතිවරයා කියා සිටියේය.
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම ඉකුත් දිනවල ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය. ජපාන ආධාරයෙන් රුපියල් බිලියන 52ක පානීය ජල ව්‍යාපෘතියක්, රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය සඳහා දේශීය අරමුදල් මගින් රුපියල් බිලියන 36ක් සහ පලාගල, කුඩා විලච්චිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සංවර්ධන ව්‍යාපෘති ඉදිරි කාලයේ ආරම්භ වීමට නියමිතය. සූර්ය බල විදුලි යෝජනා ක්‍රමයක බැටරි පද්ධතියක් විවෘත කිරීමේ උත්සවයක් ද ඉකුත් සිකුරාදා අනුරාධපුරයේදී පැවැත්විණි.
අගමැතිනිය ජනපති අරමුදල සමග
ජනාධිපති අරමුදලේ වැඩකටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉටුකර ගැනීමට පහසුකම් සැලසීම නිසා ප්‍රතිලාභ ලබන පිරිස වැඩිවී ඇති බව රජය කියයි. මෙතෙක් කළ රාජකාරිවලට අමතරව මෙම වැඩකටයුතු ද එකතුවීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ රාජකාරි බහුල වී තිබේ. මේ නිසා එම නිලධාරීන්ගේ කාර්යභාරය ඇගයීමට ලක්කිරීමට ජනාධිපති අරමුදලේ විධායක සභාව තීරණය කළේය. නැගෙනහිර පළාතේදී එම ඇගයීමේ කටයුතු ඉකුත්දා ආරම්භ වූයේ අගමැතිනිය අතිනි.
මැඩම්, මේ වැඩසටහන නම් බොහොම හොඳයි. අපේ නිලධාරීන් මේ වැඩේට උනන්දු වෙන තරමට තමයි සාමාන්‍ය ජනතාවට හොඳ සේවයක් ලැබෙන්නේ’’ අගමැතිනිය සමඟ එසේ කීවේ ප්‍රාදේශීය ලේකම්වරයෙකි.
ඒක නිසාමයි අපි මේ කටයුත්ත පටන්ගත්තේ. මේ නිසා ජනතාවගේ වැඩකටයුතු තවත් පහසු වෙයි කියා අපි සිතනවා’’ අගමැතිනිය කීවාය.
අපිට වැඩ වැඩියි තමයි. ඒත් තවත් පිරිසකට ප්‍රතිලාභ ගන්න පුළුවන් විදිහට අරමුදල තවත් පියවරක් ගන්නවා නම් හොඳයි’’ එම නිලධාරියා කියද්දී අගමැතිනිය කීවේ ඉදිරියේදී ඒ ගැන ද රජය අවධානය යොමු කරන බවයි.
සජබ 24 වැනිදා විරෝධතාවක
විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර දිගු හැලහැප්පිලිවලින් පසු, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නීතිමය කටයුතු කෙරෙන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ආණ්ඩුව තමන්ට කීකරු අධිකරණ පද්ධතියක් බිහිකර ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එන බවට විපක්ෂය චෝදනා කළ අතර, ආණ්ඩුව පැවසුවේ නඩු ගොඩගැසී ප්‍රමාද වීමෙන් සැකකරුවන් බන්ධනාගාරවල තදබදයට ලක්වීමේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බවයි. කවර විරෝධතා පැමිණියත් මෙම සංශෝධනය සැප්තැම්බර් අගභාගයට පෙර සම්මත කරගන්නා බව රජයේ මතය විය.
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන 24 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීමේ අරමුණින්, සමගි ජන බලවේගය ඉකුත් සඳුදා සජබ මූලස්ථානයේදී බස්නාහිර පළාතේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකයන්ගේ හමුවක් පැවැත්වීය. සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, කබීර් හෂීම්, ජගත් විතාන ඇතුළු පිරිසක් සහභාගී වූහ. විපක්ෂ නායක සජිත් එහිදී එම සංශෝධනයට තම පක්ෂය එරෙහි වන හේතුව පැහැදිලි කළේය.
මේ ආණ්ඩුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරනවා. 22 වැනි සංශෝධනය එක්ක අධිකරණ විධිවිධාන පනතත් රජය ගේනවා. මේ පනත් දෙකම අපි එකට අරගෙනයි බලන්න ඕනෑ. 22 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට බලපානවා. අනෙක් පනත පහළ අධිකරණ විනිසුරුවරුන්ට බලපානවා. මේ සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුනු තුන අතර ඇති ශක්තිමත් පදනම විනාශ වෙනවා. මේ සම්බන්ධයෙන් පැවරූ නඩුවල තීන්දුව ගරු අධිකරණය ලබාදෙන්නේ කතානායකතුමාට. මේ තීන්දුව පාර්ලිමේන්තුව නොදැන සිටියත් ජනාධිපතිවරයා දන්නා බව මහජන රැස්වීමකදී ඔහු කළ ප්‍රකාශයකින් හෙළි වුණා. අපි මෙයට විරෝධය දක්වන්න 24 වැනිදා උද්ඝෝෂණයක් පවත්වනවා’’ යැයි සජිත් පැවසීය.
බත්තරමුල්ලේ සිට පාර්ලිමේන්තුවට ඇතුළු වන පොල්දූව මංසන්ධියේදී 24 වැනිදා පෙරවරු 9.00ට එම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය විය.
‘‘අපි රජයේ මතයට විරුද්ධ පිරිස මේ උද්ඝෝෂණයට කැඳවාගෙන එන්න ඕනෑ’’ යැයි කී සජිත්, ජගත් විතාන මන්ත්‍රීවරයා දෙසට හැරුණේය.
“අපේ ජගත් විතාන මන්ත්‍රීතුමා මේ සෙනඟට කොළඹ එන්න බස් කීපයක් දෙනවා ද?’’ සජිත් විමසීය.
“නායකතුමනි, මගේ බස් විසිපහක් එදාට සෙනඟ ගේන්න වෙන් කරලා තියෙන්නේ’’ ජගත් විතාන කීවේය.
“හරි, බස් ගොඩක් තියෙනවා. බස්නාහිර මන්ත්‍රීවරුන් වන තමුන්නාන්සේලාව වැඩිපුරම මෙතැනට කැක්‍ෂෙව්වේ මේ වගේ උද්ඝෝෂණයකට ළඟම අය තමුන්නාන්සේලා නිසා. රටේ ඉදිරි ගමනට බාධාවක් වෙන මේ සංශෝධනයට අපේ විරෝධය පෙන්වන්න ඕනෑ. මේකෙන් කතා කිරීමේ නිදහස පවා අහිමි වෙනවා. කරනවා කියපු ඡන්ද පොරොන්දු ඉටු නොකර, එදා කතා නොකරපු දේයි අද මේ කරගෙන යන්නේ’’ සජිත් තවදුරටත් කියා සිටියේය.
අනුරපුර හොඳම රැලිය ගැන රංජිත් කියන කතාව
24 වැනිදා පවත්වන උද්ඝෝෂණය පිළිබඳව ආසන සංවිධායකවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ තවත් රැස්වීමක් ඉකුත් අඟහරුවාදා ‘සූම්‘ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. එහිදී ද සජිත් ප්‍රේමදාස කියා සිටියේ ආණ්ඩුව අධිකරණය හීලෑ කරගන්නට හදන වෑයම මුලින්ම රටට හෙළි කළේ තමා සහ තම පක්ෂය බවයි.
“අපි මේ අනතුර මුලින්ම දැක්කා. මේක තනි පක්ෂ ඒකාධිපතිත්වයකට යන පාරක්. විනිසුරු විශ්‍රාම වයස පෙන්වලා කරන්න හදන්නේ ඒකාධිපති ආණ්ඩුවක් හදන එක. අපි 24 වැනිදා ඒකට විරෝධය පළ කරන්න පොල්දූව හන්දියට එකතු වෙමු’’ සජිත් කීවේය.
පෙරවරු 9.00 වන විට සියලු දෙනාම එම ස්ථානයට රැස්විය යුතු බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පිරිසට පැහැදිලි කළේය.
“මම තව දෙයක් කියන්න ඕනෑ. අපි තමයි මුලින්ම අනුරාධපුරයෙන් රජයට විරෝධය පළකිරීම ආරම්භ කළේ. ඊට පස්සෙයි තවත් පක්ෂ දෙකක් අනුරාධපුරයේ රැස්වීම් තිබ්බේ. ඒ පක්ෂ දෙකම රැස්වීම් තිබ්බේ බස් දාලා සෙනඟ ගම්වලින් නගරයට ගෙනල්ලා. ඒත් අපි දවස් දෙකක්ම අනුරාධපුරයේ ගමින් ගමට ඇවිදලා රැස්වීම් තිබ්බා. හැම ඡන්ද පොළකටම අපි ගියා. ලක්ෂ ගණනක සෙනඟක් ගමටම ගිහින් මුණගැසිලා කතා කළා. ඒකයි සාර්ථකම දේ. අපි ගම් පන්සියයකට ගිහින් රැස්වීම් පන්සියයක් තිබ්බා. මීළඟට අපි පොළොන්නරුවේ සහ මාතලේ මෙවැනිම ගමේ රැස්වීම් තියනවා. ඒවට උපරිමයෙන් සහාය දක්වන්න’’ රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
නලින්ද - ජගත් පාසලේ වැඩක
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කිහිප දෙනෙක්ම වත්මන් පාර්ලිමේන්තුවේ සිටිති. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල, ධම්මික පටබැඳි සහ සජබ මන්ත්‍රී ජගත් විතාන එම පාසලේ ආදි ශිෂ්‍යයෝ වෙති.
අපහාස කළ බවට පවරා තිබූ නඩුවක් ඉකුත් සතියේ අධිකරණයේදී විභාග වූ අවස්ථාවේ නලින්ද මෙන්ම ජගත් ද අධිකරණයට පැමිණ සිටියහ. නඩු වාරයෙන් පසු ඇමැති නලින්ද සහ ජගත් විතාන අතට අතදී මිත්‍රත්වය පළ කළහ. එහිදී නලින්ද කීවේ, ජගත් අයියා, අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඞ් එක හදන්න මම ලක්ෂ හාරසීයක් පාස් කරගත්තා. ඒකට එන්න ඕනෑ’’ කියාය.
‘‘හරි ඇමැතිතුමනි, මම එනවා. මම මගේම සල්ලිවලින් ලක්ෂ හාරසීයක් වියදම් කරලා පිහිනුම් තටාකය හදලා දුන්නා. ග්‍රවුන්ඩ් එක හදන්නත් මම ලෑස්ති වෙද්දී ඔබතුමා සල්ලි පාස් කරගන්නවා කියලා ආරංචි වුණා. බොහොම හොඳයි සල්ලි වෙන් කරපු එක... මම එනවා එදාට’’ ජගත් විතාන කීවේය.
ක්‍රීඩාංගනය සැකසීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ජගත් විතාන ද පසුගියදා එක්විය. එම උත්සවයෙන් පසු ජගත් නලින්දගෙන් සමුගත්තේ,මම දැන් යන්න ඕනෑ, පක්ෂයේ ලොකු මීටින් එකක් තියෙනවා’’ යැයි කියමිනි.
‘‘මම දන්නේ නැද්ද? විසිහතර වෙනිදා උද්ඝෝෂණයට ඔයාගේ බස්වලින්නේ ලොකුම බළ ඇණිය අරගෙන යන්නේ. ඔයා සෙනඟ අරගෙන ගියේ නැත්නම් උද්ඝෝෂණයට සෙනඟ නැතිවෙයි’’ නලින්ද සිනාසෙමින් කියද්දී, ජගත් ද සිනාසෙමින් ඔහුගෙන් සමුගත්තේය.
ලුම්බිණිය - මක්කම - බෙත්ලෙහෙම අතර පාලමක්
මොහොමඩ් නස්රුන් ලියූ ‘%පැලෑඳපුර මුස්ලිම් නුවර’ නමැති කෘතිය ජනගත කිරීමේ උත්සවයක් ඉකුත් සතියේ අගලවත්ත, ලත්පඳුරේ පැලෑඳපුරදී පැවැත්වුණේ බෞද්ධ සහ ඉස්ලාම් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. පළමු යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වූ නස්රුන්, පැලෑඳ ප්‍රදේශයේ පවතින බෞද්ධ සහ ඉස්ලාම් ආගමික සමගිය තේමා කරගෙන මෙම පොත රචනා කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම, සජබ මන්ත්‍රී ජගත් විතාන සහ නීතිඥ අජිත් පී. පෙරේරා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.
එම උත්සවය අමතමින් පැළෑඳ රජමහා විහාරාධිපති දේවමුල්ලේ කළ්‍යාණවංශ හිමියෝ ප්‍රදේශයේ සංහිඳියාව ගැන අපූරු කතාවක් හෙළි කළහ.
“මේ ප්‍රදේශය ජාතීන් දෙකක් ඉතාම සමගියෙන් ඉන්න තැනක්. මේ පොත ලියපු නස්රුන් දරුවාටත්, පවුලේ අනෙක් සහෝදර සහෝදරියන් දෙදෙනාටත් සාමාන්‍ය පෙළ බුද්ධාගම විෂයට තියෙන්නේ ‘ඒ‘ සාමාර්ථ. මේ සමගිය කඩන්න අලුත්ගම කලබල වෙලාවේ මැර පිරිසක් ඇවිත් පල්ලියට පහරදෙන්න හැදුවා. මම පල්ලිය ඉදිරිපිටට ගිහින් හිටගෙන කිව්වා ‘මාව මරලා මිසක් උඹලට මේ පල්ලියට ගහන්න ලැබෙන්නේ නෑ‘ කියලා...’’ කළ්‍යාණවංශ හිමියෝ පැවසූහ.
ඉන්පසුව කරු ජයසූරිය, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස සිටි තැනට පැමිණි ගම්වැසියකු, සර්ට බැරිද ඩලස් මහත්තයා, ඉමිටියාස් මහත්තයා එකතු කරගෙන අලුත් පක්ෂයක් හදන්න? එතකොට ජනතාවගේ විශ්වාසය හැදෙයි’’ යැයි අපූරු යෝජනාවක් කළේය.
‘‘අනේ මම දැන් දේශපාලනයෙන් ඈත්වෙලයි ඉන්නේ. බොහොම ස්තුතියි කළ යෝජනාවට’’ කරු ජයසූරිය කීවේය.
‘‘මේක පොතක් විතරක් නෙවෙයි. ලුම්බිණිය, මක්කම සහ බෙත්ලෙහෙම අතර නිර්මාණය වූ පාලමක්...’’ පල්ලියේ මවුලවිතුමන්ගේ සහ නාහිමිවරුන්ගේ දෙසුම් අසා සිටි ඩලස් තම සගයන් දෙස බලා කීවේය.
පොහොට්ටුවේ අනුරපුර රැස්වීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ ‘ජනසටන’ ජනරැලිය ඉකුත්දා පැවැත්විණි. නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, සාගර කාරියවසම් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් රැලිය සංවිධානය කර තිබූ අතර, රැලියට පෙර දින ජොන්ස්ටන්, සාගර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියහ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාවගෙන් රැලිය පිරී පැවැති අතර, අනුරාධපුරයේ සියලු ආසන සංවිධායකවරුන්ට ද මෙහිදී ජනතාව ඇමතීමට අවස්ථාව හිමිවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වය රැලියේ සුවිශේෂී අවස්ථාවක් විය. මහින්ද පැමිණෙන විට කතාව පවත්වමින් සිටියේ තිස්ස කුට්ටිආරච්චිය.
‘‘අන්න අපේ සිංහයා එනවා. ගහන්න පොළොන්නරුවටම ඇහෙන්න අත්පොළොසන් පාරක්...’’ තිස්ස කුට්ටි කියද්දී මුළු ක්‍රීඩාංගණයම අත්පොළොසන් හඬින් ගිගුම් දුන්නේය.
‘‘මොකද පොළොන්නරුවට ඇහෙන්න අත්පුඩි ගහන්න කිව්වේ?’’ ජොන්ස්ටන්, ඩී.වී. ගේ කනට ළංවී ඇසීය.
‘‘ඇයි, අද ජනාධිපති පොළොන්නරුවේ ගොවි සමුළුවේනේ...’’ ඩී.වී. පැවසීය.
වේදිකාවට ගොඩවූ මහින්ද රාජපක්ෂ ජනතාවට ආචාර කර අසුන්ගත්තේය. ඉන් අනතුරුව, රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂ එවූ පණිවිඩය සංජීව එදිරිමාන්න විසින් කියවනු ලැබූ අතර, එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා සංවේදී වන අයුරු දක්නට ලැබිණි.
22ට එරෙහිව විපක්ෂයේ සාකච්ඡාවක්
22 වැනි සංශෝධනයට එරෙහිව ‘ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ නිදහස් සටන් මධ්‍යස්ථානය‘ කැඳවූ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා සවස ජානකී හෝටලයේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ තීරණය අනුව විපක්ෂයේ පක්ෂ ගණනාවක නියෝජිතයෝ ඊට එක්වූහ. සංදේශයකට අත්සන් තැබීමට ද සූදානම් කර තිබූ මෙම හමුවට පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න සහභාගී වූහ.
‘‘මල්ලී, වැඩේ නියමයි...’’ කළුතර අජිත් පී. පෙරේරා එහිදී සංජීව එදිරිමාන්නට කීවේය.
‘‘කුට්ටි මොකක්ද අර දුමින්ද දිසානායක ගැන කිව්වේ?’’ වීරකුමාර දිසානායක, සාගරගෙන් විමසීය.
‘‘ඒක ආරවුලකට කියපු එකක් නෙවෙයි. ඒ ගැන අහිතක් හිතන්න එපා...’’ සාගර කාරියවසම් කීවේය.
රනිල් - සජිත්, ජේ.ආර්.ට මල් පුදති
හිටපු ජේ.ආර්. ජයවර්ධනගේ 120 වැනි ජන්ම දින සැමරුව වෙනුවෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේත්, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේත් ප්‍රධාන සැමරුම් දෙකක් පැවැත්විණි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් බුද්ධික පතිරණගේ සභාපතිත්වයෙන් ජාතික පුස්තකාලයේ සංවිධානය කළ සංවාද මණ්ඩප සැමරුම කෙරෙහි වැඩි අවධානයක් යොමුවූයේ, ඊට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම එක්වූ බැවිනි. මල් පාර කාර්යාලයේ පැවැති සැමරුමේදී නව පරපුරේ තරුණ තරුණියෝ අදහස් දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී ප්‍රකාශ වූ පරිදි, පක්ෂය නව පරපුරට විවෘත කරමින් ප්‍රතිසංවිධානය කිරීමේ සංවාද පත්‍රිකා තුනක් ඉකුත් සිකුරාදා රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. දෙසැම්බර් පක්ෂ සම්මේලනය දක්වා මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වීමට නියමිතය.
එජාප - සජබ සාකච්ඡා පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදහස් දැක්වීය.
”එජාප - සජබ අතර සාකච්ඡා බිම් මට්ටමේ සිට ජාතික මට්ටමට ගමන් කරමින් තිබෙනවා. එහි එක් පියවරක් ලෙස සජිත් සමඟ ජේ.ආර්. සැමරුමටත් මම සහභාගී වුණා. අපි සමගි ජන බලවේගය සමඟ වැඩ කරන එකෙන් ඈත්වෙන්නේ නැහැ”යි රනිල් කීවේය.
අර්චුනාගේ කතාව සහ අතීත ආවර්ජනය
පොහොට්ටු අනුරාධපුර රැස්වීමේදී අර්චුනා කළ කතාවක් ගැන දේශපාලනඥයන් හමුවේදී මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහගේ අවධානයට යොමු කළහ.
”මම කොටියෙක් කියලා පොහොට්ටු රැස්වීමේදී අර්චුනා ප්‍රසිද්ධියේ කිව්වා” යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැහැදිලි කළේය.
”ඕකට ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලම ත්‍රස්තවාදීන් ගත්තේ ප්‍රේමදාස, ඒ ඩග්ලස්ව. ඊට පස්සේ චන්ද්‍රිකා, මහින්ද ඒක ඉස්සරහට ගෙනිච්චා” යැයි රනිල් පැවසීය.
කරුණා අම්මාන් හීලෑ වුණේ ඔබතුමාගේ කාලයේ නේදැයි දිනිත් චින්තක ඇසූ විට රනිල් කීවේ, ”එල්ටීටීඊ එක කැඩුවේ මම, කරුණාව ගත්තේ චන්ද්‍රිකා” යනුවෙනි.
”ජේ.ආර්.ලාව ඉන්දු-ලංකා ගිවිසුමට හිරකළා. ජේ.ආර්. හිරවුණා, ප්‍රේමදාස ත්‍රස්තවාදියා ගත්තා. මම එල්ටීටීඊය දෙකට කැඩුවා. චන්ද්‍රිකා කරුණාව ගත්තා. මහින්ද ඒ ඔක්කොම යෙදෙව්වා එල්ටීටීඊයට ගහන්න. යැයි රනිල් විස්තර කළේය.
”ඒ කාලේ ආණ්ඩුවේ උදවිය කළේ ‘ජේ.ආර්. මරනු‘ කියලා බෝඞ් එල්ලගෙන හිටපු එක විතරයි” වජිර අබේවර්ධන කීවේය.
මානව හිමිකම් සැසිය සහ බ්‍රික්ස් ගැන ජී.එල්.ගෙන් විවේචන
ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මෙවරද ජී.එල්. පීරිස්ගේ නිවසේදී රැස්වූහ. එහිදී මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය පිළිබඳ අදහස් දැක්වූ ජී.එල්. පීරිස් මෙසේ පැවසීය.
”මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ ලංකාව ගැන දරුණු විවේචන තියෙනවා. ඒ සැසියට විදේශ ඇමැති ගියේ නැහැ. ශ්‍රී ලංකාව කිසිම ප්‍රතිපත්තියක් නැතුව පොරොන්දු දුන්නත් ඒවා ඉටු කරන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කිව්වත් කළේ නැහැ. 2025 දෙසැම්බරයේ ප්‍රකාශයට පත් කරපු පනත විවේචන හමුවේ ඉල්ලා අස්කර ගත්තා. අලුත් පනතක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළා කිව්වාට විනිවිදභාවයක් නැහැ. මාර්ගගත ආරක්ෂක පනත අහෝසි කළෙත් නැහැ.”
”මානව හිමිකම් කොමසාරිස්ගේ පදවි කාලය දීර්ඝ කිරීමට නිව්‌යෝර්ක් මහා සභාවට ආ යෝජනාවේදී රටවල් 144ක් සහයෝගය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියා. සත්‍ය හා සංහිඳියා කොමිසම ගැනත් තාම මුකුත් නැහැ. මෙයින් පෙනෙන්නේ රටට විදේශ ප්‍රතිපත්තියක් නැති බවයි.”
ඉන්දියාවේ පැවැති බ්‍රික්ස් සමුළුව ගැන ද අදහස් දැක්වූ ජී.එල්. පීරිස්, ”රනිල්, පූටින්ට කතා කරලා නිල ආරාධනාවක් අරන් තිබුණත් ලංකාවෙන් කවුරුත් ගියේ නැහැ. බ්‍රික්ස් සංවිධානය ලෝක බැංකුව වගේ විශාල නව සංවර්ධන බැංකුවක් හදන්න යන්නේ. අපේ සංවර්ධනයට ඒකෙන් ආධාර ගන්න තිබුණත් උනන්දුවක් නැතිකම නිසා ඒ අවස්ථාව නැති වුණා. එන වසරේ අයි.එම්.එෆ්. ගිවිසුම යාවත්කාලීන නොකරන්නේ නම් මෙවැනි ආධාර අත්‍යවශ්‍යයි” යනුවෙන් දීර්ඝ විස්තරයක් කළේය.
රාජ දූත

