අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම නීත්‍යනුකූල ආකාරයට සිදුව නැතැයි කියමින් විපක්ෂය මේ දිනවල ප්‍රබල හඬක් නඟයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයෙහි 41 අ අනුව්‍යවස්ථාව හා දූෂණ විරෝධී පනතෙහි ප්‍රතිපාදන අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ඇතුළු එයින් ස්ථාපිත කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබන තැනැත්තන් අතරින් ජනාධිපතිවරයා විසින් ඒ පත්කිරීම කරනු ලැබිය යුතු ය. ඒ අනුව යමින් වත්මන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවෙහි වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරනු ලැබූ අතර විපක්ෂය චෝදනා කරන්නේ එම පත් කිරීමේ දී කථානායකවරයාත් සභානායකවරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති හෙයින් එම පත්වීම අනීතික බව ය. තවද එම තනතුරට සභාව ඇතුළත යෝජනා වූ දෙදෙනාගෙන් වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලකුණු තිබුණේ දෙවනුව බවට ද ඔවුහු චෝදනා කරති. මේ සියලු කාරණා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉරිදා ලංකාදීපයට දක්වන අදහස් මෙසේ ය.
පත්වීම නීත්‍යනුකූලයි - මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පදනම්ව නීත්‍යනුකූලව වුණු එකක්. ඒක කොහොමද ප්‍රශ්න කරන්නෙ කියලා මම අහන්න කැමැතියි. පැහැදිලි විනිවිදභාවයකින් යුක්තව ඒ පත්වීම සිදුවෙලා තියෙනවා. ඒ පත්වීම කරලා දැන් කොච්චර කල් වෙනවද. එතුමාගෙ පත්වීම නීති විරෝධීයි කියලා දැන් කෑගහන අය එතුමා පත් වුණු කාලෙ ඇයි ඒක වැරදියි කියලා කිව්වෙ නැත්තෙ. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම විසින් දැන් ස්වාධීනව නීතිය ඉදිරියේ කටයුත්තක් යනවා. ඒ කටයුත්ත ඔය කෑගහන අයට දැනිලා තියෙනවා. ඒ පත්වීම විසින් කරන බලපෑම මට්ටු කිරීමේ අරමුණින් තමයි මේ අය එතුමාට අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් නොයෙක් දේවල් කියන්නෙ. මම නැවත අහන්නෙ පත්වීම කරපු වෙලාවෙ ඇයි මේ දේවල් නොකිව්වෙ කියලා. ඒ නිසා විපක්ෂයේ අය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් නගන මේ පදනම් විරෝධී චෝදනා අපි ගණන් ගන්නෙ නෑ.
කථානායකතුමයි, සභානායකතුමයි අසත්‍ය තොරතුරු දුන්නා කියලා මේ අය කරන්නෙ අභූත චෝදනාවක්. එහෙම දුන්නා කියලා එළියෙ ඉන්න කාටවත් පේන්නෙ නෑ. මොකද ඒක කමිටුවක් ඇතුළෙ වෙච්ච ක්‍රියාවලියක්. ඒ කමිටුවෙ ක්‍රියාවලිය එළියට එන්නෙත් නෑනෙ. අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටිය බවට නගන චෝදනාව මම පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. ඔහු එවැනි කමිටුවක හිටියෙ නෑ.
තනතුරෙන් ඉවත් වී සුදුස්සාට පැවරිය යුතුයි - පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමේ ගැටලු සහගත තැන් ගණනාවක් තිබෙනවා. වැදගත්ම කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දූෂණ විරෝධී පනත අනුව අල්ලස් කොමිසමේ ජනරාල් තනතුර සඳහා පත්විය යුත්තේ ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කරන පුද්ගලයෙකුයි. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 10ක් ඉන්නවා. ඉන් 07ක් මන්ත්‍රීවරුන් වන අතර මන්ත්‍රීවරුන් නොවන තිදෙනා පත්කරනවා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලෙස.
මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලකුණු දී පෙළගැස්සුවහම පළමු ස්ථානයට එන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතායි. දෙවැනි ස්ථානයේ සිටින්නේ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතායි. මෙහිදී තීරණය කර තිබුණේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලකුණු සීයට70ක් දෙන අතරේ ඉතිරි ලකුණු සීයට30 සමස්ත ව්‍යවස්ථාදායක සභාව විසින් ලබාදෙන ලෙසයි. මේ අනුව ව්‍යවස්ථාදායක සභාව 2024 දෙසැම්බර් 31 වැනිදා හමුවී සීයට30ලකුණු ලබාදෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කර 2025ජනවාරි 03දා නැවත මුණගැසීමට තීරණය කර තිබුණා. මේ වනවිට පළමු ස්ථානයේ මාධව තෙන්නකෝනුත් දෙවැනි ස්ථානයේ රංග දිසානායකත් සිට තිබූ අතර මේ දෙදෙනාගෙන් වඩාත් සුදුසු කවුරුදැයි සංවාදයක් මතුව තිබුණා.
මේ සංවාදයේදී මහාචාර්ය දිනේෂා සමරරත්න දෙදෙනා ගැනම ගැටලු දෙකක් යොමු කරනවා. මෙහිදී මාධව සම්බන්ධව යොමු කළ ගැටලුව වුණේ ඔහු ෆීජි රටේ දූෂණ නීති කළමනාකරු ලෙස වසර 2ක් කටයුතු කර තිබෙනවා. ඒ වනවිට ෆීජි රටේ පවැතියේ හමුදා ආණ්ඩුවක් නිසා හමුදා ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක් විය හැකි බවයි. මගේ මතයට අනුව එය නරක දෙයක් නොව හොඳ දෙයක්. හමුදා ආණ්ඩුවක් තුළ නිලධාරීන්ට නඩු පැවරීමට ලොකු ධෛර්යයක් තිබිය යුතු වනවා.
ඒ වගේම රංග දිසානායක මහතා සම්බන්ධව යොමු කළ ගැටලුව වුණේ රංග දිසානායක මහහතා නිර්දේශ කර තිබුණේ උතුරු මැද පළාතේ සහ සබරගමු පළාතේ ආණ්ඩුකාරවරු දෙදෙනා විසින් වීමයි.
එවිට සභානායක බිමල් රත්නායක මෙහිදී පවසා සිටින්නේ උතුරු මැද සහ සබරගමු පළත් සභා ආණ්ඩුකාරවරියන් ආණ්ඩුකාර තනතුරට පත්වීමට පෙර විනිසුරුවරුන් ලෙස සිටියදී පත්වීමට පෙර රංග දිසානායක මහතා අදාළ තනතුර සඳහා සුදුසු යැයි නම් කළ බවයි.
මේ අනුව මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය එය විශ්වාස කරනවා. ඒ අනුව මහාචාර්ය දිනේෂා සිය ලකුණු සටහනේ මාධවට ලකුණු අඩුකර රංගට ලකුණු වැඩිකර ලබාදෙනවා.
නමුත් එවැනි සංශෝධනයක් කළත් පළමු ස්ථායට ලකුණු ලබා සිටියේ මාධවයි. දෙවැනි තැන රංග දිසානායක මහතායි. මේ දෙදෙනාගේම නම් නිර්දේශිත නම් ලෙස ජනාධිපතිවරයාට යොමු කිරීමට තීරණය කරනවා.
එසේ තිබියදී අගමැතිතුමිය ව්‍යවස්ථදායක සභාවේ රැස්වීමක් යළි කැඳවා කියනවා මෙම තීරණය යළි සලකා බැලිය යුතුයි යනුවෙන්. සමහරවිට ජනාධිපති කිව්වද දන්නේ නෑ අංක 1ට මාධව නම්කර අංක 2ට රංග නම් කර එවූ විට රංගව පමණක් සුදුසු යැයි යෝජනා කරන්නේ කොහොමද සහ ඒ අනුව දෙදෙනෙක්ගේ නම් වෙනුවට රංගගේ නම පමණක් එවන්න යනුවෙන්. ඒ අනුව අගමැති කැඳවූ රැස්වීමේදී බිමල් රත්නායකගේ බොරුව විශ්වාස කර මහාචාර්ය දිනේෂාත් ඡන්දය දෙන්නේ රංග දිසානායකටයි. ඒ අනුව ඡන්ද 5ට 4ලෙස රංග දිසානායක මේ වෙනුවෙන් නම්කර ජනපතිට ලිපියක් ලබාදෙනවා.
කෙසේ නමුත් ජනවාරි 07දා රාත්‍රියේම මහාචාර්ය දිනේෂා සභානායක බිමල් කියූ කාරණය සත්‍යදැයි අන්තර් ජාලයෙන් සොයා බලනවා. එවිට අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පුරප්පාඩුවට අදාළ දැන්වීම පළ කර තිබෙන්නේ 2024 ඔක්තෝබර් 13 වැනිදා බවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා පත්කර තිබෙන්නේ 2024 සැප්තැම්බර 25 වැනිදා බවත් හෙළිකර ගන්නවා. ඒ අනුව ඔවුන් ආණ්ඩුකාර ධුරයේ සිටියදීමයි රංග දිසානායක නිර්දේශ කර තිබෙන්නේ යන කාරණය මහාචාර්ය දිනේෂා තේරුම් ගන්නවා.
ඒ අනුව එතුමිය එදිනම රාත්‍රි ජනපතිතුමාට ලිපියක් ලියනවා, මම මාධව තෙන්නකෝන්ටයි වැඩි ලකුණු දී තිබුණේ. එය මා වෙනස් කළේ අමාත්‍ය බිමල් රත්නායක කිව් කතාවක් විශ්වාස කිරීම නිසයි. නමුත් බිමල් රත්නායක අමාත්‍යවරයා මාව නොමග යැවූ බව මට දැන් වැටහෙනවා යනුවෙන් එම ලිපියේ සඳහන් කරනවා. එසේම තීරණය ගැන යළි සලකා බලන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා.
කථානායක හරහායි මෙම ලිපිය ජනපතිට යොමු කරන්නේ. නමුත් ජනාධිපතිවරයා මෙම ලිපිය නොසලකා රංග දිසානායක අධ්‍යක්ෂ ජනාරල් ධුරයට පත්කරනවා. එම තනතුරට රංග දිසානායක මහතා පත්වෙන්නේ බිමල් රත්නායක අමාත්‍යවරයා ව්‍යවස්ථායක සභාව නොමග යවලා ලබාගත් වැඩි ඡන්දයේ ප්‍රතිඵලයක් ලෙසයි. එම බොරුව නොකීවා නම් දිනේෂා සමරරත්න මැතිනිය ඡන්දය දෙන්නේ මාධව තෙන්නකෝන් මහතාටයි. එවිට 5ට 4ක වැඩි ඡන්දයෙන් මාධව තෙන්නකෝන් මහතා අධ්‍යක්ෂ ජනරාල් වෙනවා. මේ අනුව අද රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් පුටුවේ සිටින්නේ වංචනික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි.
තත්ත්වය මෙසේ තිබියදී රටේ ප්‍රකට චරිත තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරනවා. පෙත්සමේ තොරතුරු අනුව තමන් මේ දරන්නේ මාධව තෙන්නකෝන්ට හිමිවිය යුතු තනතුර යැයි රංග දිසානායක දැන ගන්නවා. හරි නම් රංග දිසානායක කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉල්ලා අස්වී එම තනතුරේ නියමාකාර සුදුස්සා වන මාධව තෙන්නකෝන් වෙත එම තනතුර පිරිනැමීමයි. එසේ නොකිරීමෙන් මට පේන්නේ ලැජ්ජා නැතිකම අධ්‍යක්ෂ ජනරාල් තනතුරටත් වඩා ලොකු බවයි.
සමහරෙක් මෙතනදී අහන්න ඉඩ තිබෙනවා ජනවාරි මාසයේ කළ පත්කිරීමක් ගැන මාස 9කට පස්සේ කතා කරන්නේ ඇයි කියලා. ඒකට හේතු වුණේ මෙම පත්කිරීමට අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ ජයග්‍රහණයකින් අවසන්වීමට තිබූ නඩුව පසුගිය සතියේදී අබිරහස් ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගැනීමයි. එහෙම වුණේ ඇයි කියලත් අතිශයින් බරපතළ ප්‍රශ්නයක්. හඳුන්නෙත්ති ඇමතිවරයාගේ භාෂාවෙන් කියනවා නම් “බිග් කුච්චන් එකක්”.
මේ අනුව මෙතෙක් රංග දිසානයක මහතා දූෂණ විරෝධියෙක් ලෙස පෙනී සිටීම ඇත්තක් නම් මෙම සිද්ධියට සමාව අරගෙන ඉල්ලා අස්විය යුතුයි. ඔහු බලහත්කාරයෙන් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ රැඳී සිටියත් ඔහුට දූෂණ විරෝධී සටනට නායකත්වය දීමේ සධාචාර අයිතිය දැන් අහිමිවෙලයි තිබෙන්නෙ.
බුදු රජාණන් වහන්සේ වරක් දේශනා කළා ‘ මාගන්ධිය’ වැනි වුන් ජීවත් වුණත් මළවුන් වැනිය කියලා. මට රංග දිසානායක මහතාට කියන්න තිබෙන්නේ ඔහු අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සිටියත් තනතුර හිස්ව පවතින්නා වැනිය කියලයි.
මේ පත්වීම සම්පූර්ණයෙන් නීති විරෝධියි - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
රංග දිසානායක මහතාගේ කාර්යභාරය පිළිබඳව අපේ කිසිදු ගැටලුවක් නෑ, එතුමා තමන්ගේ රාජකාරිය හොඳින් ඉෂ්ට කරනවා. ඒ වගේම අපි එතුමාගේ පත්කිරීමට විරුද්ධව කතා කළාම කියන්නේ අපි හොරුන්ව ආරක්ෂා කරන්න, හොරුන්ව අල්ලන පුද්ගලයට විරුද්ධව කතා කරනවා කියලයි. අපිට වුවමනා වෙලා තියෙන්න හොරු අල්ලන පුද්ගලයා වුණත්, සමාජය පිරිසුදු කරන්න හදන පුද්ගලයා වුණත් ඔහුත් නිවැරදිව සියලු සුදුසුකම් සහිතව නිවැරදිව එතැනට පැමිණීමයි.
ඒකෙ බොහොම පැහැදිලිව තිබෙනවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීමට නම් අවුරුදු 15කට අධිකව නඩු පැවරීමේ කාර්යයේ නිරතව සිටි නීතිඥයෙක් ලෙස කටයුතු කර තිබිය යුතුයි යන කාරණය. ඒකෙන් අදහස් කරන්නෙ එක්කො නීතිපති දෙපාර්තමේන්තුවෙ වසර 15කට වැඩිය සේවය කර තිබිය යුතුයි යන්නයි. එතුමාට ඒ මූලික සුදුසුකම නෑ. එතුමා මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න කළින් නීතිඥයෙක් ලෙස වසර 3ක් සේවය කර තිබෙනවා. නීතිඥයා අතින් නඩු පැවරීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැනෙ, ඒක සිද්ධ වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙකු අතිනුයි. අපි අහන්නෙ ඒ මූලික සුදුසුකම හෝ නැතිව ඇයි පළමුවැනි සම්මුඛ පරීක්ෂණයට හෝ ගෙන්නුවෙ. එතුමා 2000 වසරේ සිට නීතිඥයෙක් ලෙසත් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු ලෙසත් කටයුතු කර තිබුණත් එතුමාට නඩු පැවරීමේ සුදුසුකම නෑ. මූලික සුදුසුකම නැතුව එතුමා ලකුණු දීමේ ක්‍රියා පටිපාටියට ඇතුළත් කළේ කවුද? ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය.
දෙවැනි කාරණය තමයි එතුමා ඉදිරිපත් කර තිබුණු දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහුව නිර්දේශ කරන දෙදෙනාත් ඒ වනවිට ආණ්ඩුකාරවරු ලෙස කටයුතු කරන දෙදෙනෙක්. 2024 දෙසැම්බර් 27 වැනිදා තමයි ආණ්ඩුකාරවරු ලෙස පත් කරන්නෙ. ආණ්ඩුකාරවරු කියන්නේ දේශපාලනික පත්කිරීමක්. එවැනි දෙදෙනෙකුගෙන් නිර්දේශයක් ගන්නවා කියන්නේ පැහැදිලිව දේශපාලනික ක්‍රියාවලියක්. අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපති ලෙස පත්කිරීමට අයැදුම්පත් කැඳවන්නේ 2025 ජනවාරි 13 - 15 අතරයි. ඒ වනවිට නිර්දේශ කළ දෙදෙනා ආණ්ඩුකාරවරුන් ලෙස පත්වෙලා වැඩ භාරගෙන ක්‍රියාකරනවා. එවිට ඔහුන් තවදුරටත් විනිශ්චයකාරවරුන් නොව දේශපලනික පත්වීම් ලද අය. ඒ නිසා නිර්දේශයත් සම්පූර්ණයෙන් නුසුදුසුකමක්.
ඉතිං මේ කාරණා දෙකම ඇති පළමු අවස්ථාවේදීම එම අයදුම්පත නොසලකා ඉවත් කිරීමට. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සියලු දෙනාම මේකට වගකියන්න ඕනෑ. රංග දිසානායක මේ තනතුරට පත්කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. ඒනිසා නීතියට අනුකූල නොවන පත්වීමක් ලද කෙනෙක් ක්‍රියාත්මක කරනු ලබන කිසිම දෙයක් නීත්‍යනුකූල නැහැ.
ඒ නිසා එතුමා සමග කිසිදු පුද්ගලික තරහක් හෝ වෙනත් කාරණයක් නිසා නෙවෙයි අපි මේකට විරුද්ධ වෙන්නෙ. මෙහි නීත්‍යනුකූල බවක් නොමැති නිසයි. කියමනක් තිබෙනවා නීතිය ඉදිරියට එන අය දෑත් පිරිසිදුව පැමිණිය යුතුයි කියා. ඒ නිසා නීතිය ඉදිරියට මිනිසුන් පමුණුවන අයත් ඊට වඩා ස්වාධීනව දෑත් පිරිසිදුව පැමිණිය යුතුයි කියන කාරණයයි අප මෙතනදී කිවයුත්තෙ.
උපුල් වික්‍රමසිංහ
නිරෝෂාන් ප්‍රේමරත්න