ජාතික ධනය දියකරන සහනාධාර - ප්‍රජාශක්ති රටට තවත් බරක්ද?


ලංකාවාසී ජනතාවට රජයෙන් ලැබෙන සහන අතරින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය මුල් තැනක් ගනියි. එයට අමතරව තවත් සහනාධාර රාශියකි. නිදහස ලැබූ දා සිට සහල් සේරු දෙකක් රජයෙන් නොමිලේ දීම ඇතුළු සහනාධාර ප්‍රතිලාභ ජනතාවට ලැබිණි. පසුව මෙරට නිෂ්පාදනය නොවන ඉතා අසීරුවෙන් විදේශයෙන් ගෙන්වන භූමිතෙල් ඇතුළු ඉන්ධන සඳහාද සහනාධාර ජනතාවට ලැබිණි.

1977 ජේආර් ජයවර්ධන රජය ආහාර මුද්දර ක්‍රමයද 1989 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනසවිය සහනාධාරයද ආරම්භ කළේය. 1994 දී බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංග රජය ජනසවිය වැඩසටහන අවලංගු කර එම වැඩසටහනම ‘‘“සමෘද්ධි’’ නමින් තමන්ගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කළේය. ඉන්පසුව සමෘද්ධිය ක්‍රියාත්මක වෙන අතරම 2005 බලයට ආ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ‘‘“දිවිනැගුම’’ නමින් සහනාධාර වැඩ සටහනක් ක්‍රියාත්මක කළේය. රාජපක්ෂවරුන්ගෙන් ජනාධිපති පුටුව හිමිවූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘‘“අස්වැසුම’’ නමින් සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මසකට රුපියල් පහළොස් දහසක මුදලක් තෝරාගත් ලක්ෂ සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකට පිරිනමයි. මේ වනවිට බලයේ සිටින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආරම්භ කළ අලුත්ම සහනාධාර ක්‍රමය ‘‘“ප්‍රජාශක්ති’’ නම් වේ. මේ සියල්ලම දරිද්‍රතා මට්ටමේ සිටින ජනතාව ඉලක්ක කරගන්නා මුත් බංකොලොත් භාවයට පත්වී ඉතා දුෂ්කරව ආර්ථිකය හසුරුවා ගන්නා ශ්‍රී ලංකාව වැනි රටකට මෙතරම් විශාල සහනාධාර ක්‍රම ඔරොත්තු දෙන්නේ ද යන්න සලකා බැලිය යුතුය.

‘‘ප්‍රජාශක්ති’’ වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟා සිටුවීම වත්මන් රජයේ වගකීමක් බවය. ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම තම රජයේ ප්‍රත්පත්තිය බවද ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසීය. ‘‘ප්‍රජාශක්ති’’ ආරම්භ කළේ ඒ අනුවය. ග්‍රාමීය ජනාතවට ලබාදෙන සියලු ආධාර වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බවද එම කාර්ය නිසි ලෙස කිරීමට ‘‘“ප්‍රජාශක්ති’’ වැඩසටහන ආරම්භ කළ බවද කීවේය.

ග්‍රාමීය ජනතාවගේ දුගී දුප්පත්කම තුරන් කිරීම ඉතා හොඳ කටයුත්තකි. ඒ සඳහා ජනාධිපතිවරයාට ස්තුතිවන්ත විය යුතුය. මෙතෙක් රටේ සිටි සෑම නායකයකුම එවැනි සහනාධාර වැඩසටහන් හඳුන්වා දෙමින් බලාපොරොත්තු වූයේද ග්‍රාමීය දුගී දුප්පත්කම තුරන් කිරීමය. ආහාර මුද්දර, ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම හා අස්වැසුම සහනාධාර ක්‍රම ආරම්භ වූයේත් ඒ සඳහාය. එහෙත් ඒ සියලු සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වුවත් මෙරට ජනතාවගේ දුගී දුප්පත්කම තුරන් වූයේ නැත. සිදුවූයේ දුප්පත්කම තව තවත් වැඩිවීමය.

රටක් සහනාධාර ලබාදීමේ මූලික අරමුණ හිමි විය යුත්තේ එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමය. තෝරාගත් අංශ සඳහා රජය ලබාදෙන සහනාධාර මගින් එරට ආර්ථිකය ශක්තිමත් වේ. උදාහරණයක් ලෙස වී ගොවියාට ලබාදෙන සහනාධාර මගින් වී ගොවිතැන ප්‍රවර්ධනය වේ. එමගින් විදේශයෙන් සහල් ආනයනයට යන අති විශාල මුදල ඉතිරි කර ගැනීමට හැකිවේ. අපනයනය කෘෂිකාර්මික, තෙල් හා සෞඛ්‍ය යන අංශ නගා සිටුවීමට ලෝකයේ රටවල් සහනාධාර ලබාදෙයි.
කර්මාන්ත හා සේවා අංශ සඳහා ආධාර ලබාදීම ලෝකයේ පිළිගත් මූලධර්මයකි. එමගින් රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමද අරමුණු කෙරෙයි.

එහෙත් ලංකාවේ සහනාධාර ලබා දෙන්නේ එම අංශවලට වඩා ජනතාවගේ අතටය. සමෘද්ධි අස්වැසුම ආදි විවිධ නම්වලින් ක්‍රියාත්මක වන මෙම සහනාධාර මගින් දුප්පත්කම තුරන්කිරීම අරමුණු කරගන්නා බව පැවසුවද එම අරමුණු ඉටු වී නොමැති අතර ඇතැම් පවුල් තම ජීවිකා වෘත්තිය බවට රජයෙන් ලබාදෙන සහනාධාර පත්කරගෙන ඇත.

යටත් විජිත යුගයේ ඍජුව අතට මුදල් දීම වෙනුවට පොහොර වෙනුවෙන් සහනාධාරයක් ලැබිණි.

ලංකාවට මුලින්ම රසායනික පොහොර ආනයනය කෙරුණේ 1930 වසරේය. එකල රටට ආදායම් ඉපිද වූ ප්‍රධාන භෝග තුන වන තේ, රබර් හා පොල් වගාවෙන් වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා යටත් විජිත පාලකයෝ රසායනික පොහොර ආනයනය කළහ. එකල වී ගොවිතැන කෙරුණේ කාබනික පොහොර භාවිතයෙනි.

දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමත් සමග මෙරට ආහාර හිඟයක් ඇතිවිය. මෙරටට සහල් ආනයනය කළ ප්‍රධාන රට වූ බුරුමය යුද්ධයෙන් දැඩි ලෙස බැට කෑ නිසා නෞකා ගමනාගමනය නැවතුණේය. ලංකාවේ ජනතාව බජිරි කෑවේද ඒ කාලයේය. යටත් විජිත පාලකයන් ගොවිතැනට වඩා තම යටත්විජිතවලින්ම සහල් ආනයනය කිරීම ලාබදායක ලෙස සැලකූවෙන් මෙරට වී වගාවට දිරි දුන්නේ නැත. මේ නිසා කම්මැළි වී සිටි ලාංකිකයන්ටද කුසගින්න දැනුණේය. ජනතාව වැවිය හැකි සෑම අඟලකම ආහාරයට ගත හැකි කුමක් හෝ වගා කිරීමට පටන් ගත්හ. යටත් විජිත පාලකයන්ද වී ගොවිතැන් කරන ජනතාව දිරිමත් කරමින් රසායනික පොහොර භාවිතයට හුරු කළේ ආහාර ප්‍රශ්නය ඔවුන්ට මහත් ගැටලුවක් වී තිබූ නිසාය.

1948 පත්වූ නිදහස් රජය වී බුසලකට රුපියල් 8ක සහතික මිලක් නියම කළේය. 1952 දී වී බුසලක සහතික මිල රුපියල් 12ක් විය. වී වගාව තවත් දිරිමත් කරමින් 1952 දී ප්‍රථම වරට පොහොර සහනාධාරය ලබා දුන්නේය. ඉන් පසු තව තවත් ජනතාව වී ගොවිතැන කරා නැඹුරු වූහ. එසේ වුවත් වැඩිවන ජනගහණයට සාපේක්ෂව නිපදවෙන වී අස්වැන්න පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. කොතරම් වගා කළද අස්වනු අඩුය. 1960 සිට 1968 දක්වා කාලයේදී අපනයන ආදායමෙන් සියයට 13ක් පෙරළා විදේශයටම යැවුණේ සහල් මිලදී ගැනීම සඳහාය. මේ නිසා වී වගාවට පමණක් නොව තේ පොල් හා රබර් වගාව සඳහාද මිලදී ගන්නා පොහොර ප්‍රමාණයෙන් සියයට පනහක් සහනාධාර යටතේ අඩු මිලට ලබාදීමට 1968 දී ලංකා රජය පියවර ගත්තේය.

1951 දී මෙරට ගොවිතැන් සඳහා රසායනික පොහොර ටොන් 2554 ක් භාවිත කර ඇත. 1960 වනවිට රසායනික පොහොර ටොන් 29000 දක්වා එම සංඛ්‍යාව ඉහල නැග්ගේය. 1952 සිට මේ දක්වා සෑම රජයක්ම පොහොර සහනාධාරය අඩු වැඩි ලෙස පවත්වාගෙන එයි. පොහොර කොට්ටයක් වරායෙන් ගොඩබෑමේදී නියමවන මිල සහ රජයේ නියමයෙන් අඩුකර විකුණන මිල අතර වෙනස රජය මගින් ඇරීම පොහොර සහනාධාරය යන්නෙහි තේරුමයි.

සමගි පෙරමුණු රජය 1974 දී පොහොර සහනාධාරය සියයට 30 කින් අඩුකළ අතර 1975 දී පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. එහෙත් ඒ සමගම පොහොර භාවිතයද අඩුවිය. පොහොර භාවිතය අඩුවීමේ ප්‍රතිඵලය වූයේ අස්වැන්න විශාල වශයෙන් අඩුවීමය. 1974 දී මුළු වී නිෂ්පාදනය බුසල් දසලක්ෂ 77ක් වූ අතර 1975 දී වී නිෂ්පාදනය බුසල් දසලක්ෂ 50 දක්වා අඩුවිය.

මදි පාඩුව සඳහා සහල් ආනයනයට යන වියදම ඊට වඩා වැඩි බව රජය තේරුම්ගත් අතර 1976 සිට පොහොර සහනාධාරය යළිත් ලබා දුන්නේය. නිෂ්පාදනයක් සඳහා ලබාදෙන එවැනි සහනාධාර රටට ප්‍රයෝජනවත් මුත් මාසිකව අතට මුදල් දෙන සහනාධාරවලින් ආර්ථික සංවර්ධනයක් සිදුවන්නේ නැත. අවාසනාවකට ලංකාවේ ආණ්ඩු පෙලඹෙන්නේ අතට මුදල් දෙන සහනාධාර වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන පවුල් සංඛ්‍යාව පනස් හත් ලක්ෂයකි. අස්වැසුම සහනාධාරය සඳහා 2024 වනවිට ඇතුළත් කරගෙන සිටි පවුල් සංඛ්‍යාව ලක්ෂ 24කි. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ආරම්භ කළ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වූයේ සමෘද්ධි වැඩසටහනට අමතරවය. ඒ අනුව සහනාධාර ලබන පවුල් ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවනේ අඩකට ආසන්න වේ. ජාතික ආදායමෙන් විශාල කොටසක් සහනාධාර සඳහා ජනතාවට ආපසු පුද කෙරෙන්නේ නම් සංවර්ධනය යනු මිථ්‍යාවකි.

සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් 2023 වසරේදී රජය වැය කළ මුදල රුපියල් කෝටි 6600 කි. සමෘද්ධි කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට වාර්ෂිකව රුපියල් කෝටි 1300ක් වැය වේ. රට තුළ සිටින සමෘද්ධිලාභී පවුල් ප්‍රමාණය ලක්ෂ 17 කි. සමෘද්ධිය බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින පිරිස පවුල් ලක්ෂ 11කි. එයට අමතරව රජයෙන් යම් දීමනාවක් ලබන ආබාධිත පුද්ගලයෝ 72000ක්ද වැඩිහිටි දීමනා ලබන හාරලක්ෂයක්ද වෙති. 2013 වසරේ සිට 2017වර්ෂය දක්වා කාලය තුළ සමෘද්ධිලාභීන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා ලබාදුන් සහනාධාරවල එකතුව රුපියල් මිලියන 150954 කි. සමෘද්ධි නිලධාරීන් ඇතුළු බැංකු සඳහා කළ වියදම රුපියල් මිලියන 5680 කි. සමස්ත සමෘද්ධි වැඩ සටහන සඳහා වියදම රුපියල් මිලියන 156634 ක් විය. ඒ වසර පහක කාලයක් සඳහාය. සමෘද්ධිය ලබන පවුල් සංඛ්‍යාව රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 30 කි. රටේ සමස්ත පවුල් සංඛ්‍යාවන් සියයට තිහක් බලා සිටින්නේ රජයේ වියදමෙන් එදාවේල පියවා ගන්නටය.       -

ආණ්ඩුව අලුතෙන් හඳුන්වා දෙන ‘‘ප්‍රජාශක්ති’’ වැඩසටහන ගැන දේශපාලන අංශ අවධානය ලක් කරමින් සිටින්නේ එම වැඩසටහන ග්‍රාම නිලධාරි හෝ රජයේ වෙනත් සංවර්ධන නිලධාරියකු යටතේ ක්‍රියාත්මක වේදැයි සැක පහළ කරමිනි. මේ වනවිට ගම් මට්ටමින් මාලිමා නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු පිහිටුවා ඇති අතර ‘‘ප්‍රජාශක්ති’’ සංවර්ධන වැඩපිළිවෙළේදී සහනාධාර ලැබිය යුතු ගම්වැසියන් තෝරා ගැනීම මෙම කමිටුවලට පවරා ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

සහනාධාර සැමවිටම පිරිනැමුණේ පැවැති ආණ්ඩුවේ හිතවතුන්ටය. ජනසවිය කොතරම් උදාර පරමාර්ථයෙන් යුතු සහනාධාර වැඩසටහනක් වුවත් ප්‍රේමදාස රජයේ හිතවතුන්ට පමණක් මෙම සහනාධාරය ලැබෙන බවට එදා විපක්ෂය කෑ ගැසුවේය. 1995 දී ජනසවිය වෙනුවට ශ්‍රීලනිපය සමෘද්ධි වැඩසටහන හඳුන්වා දුන් පසු එකල විපක්ෂය කෑ ගැසුවේ ශ්‍රීලනිප පාක්ෂිකයාට පමණක් සමෘද්ධිය ලබාදෙන බවය. කෙසේ හෝ සෑම රජයක්ම සහනාධාර බෙදුවේ රට හදන්න නොව තමන්ගේ සගයාගේ හිත හදා ඊළඟ මැතිවරණයේදී ඡන්දය දිනා ගැනීම සඳහාය. ඒ සඳහා මුදල් ගත්තේ මහජන බදු මුදලෙනි.

1962 සහ 1971 අතර දස අවුරුදු කාලසීමාවේ මෙරට පවත්වාගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය රටේ සංවර්ධනය අඩාල කළ දසවසක් ලෙස හඳුනා ගත හැකිය. මෙම කාලයේ එක් පක්ෂයකින් නොව ශ්‍රීලනිපය හා එජාපය යන ප්‍රධාන පක්ෂ දෙකම අවස්ථා දෙකකදී රට පාලනය කළේය. මෙකී කාලය තුළ රජය ජනතාවට ලබාදුන් ආහාර සහනාධාරය වෙනුවෙන් වැය කළ මුදල රජය ආයෝජන වෙනුවෙන් වැය කළ මුදලට වඩා මදකින් පමණක් අඩුවිය. දස අවුරුදු කාලය සඳහා ආහාර සහනාධාර වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 5281කි. ආයෝජන වෙනවෙන් රජය වැය කළ මුදල රුපියල් මිලියන 6584 කි. එකල ඇමරිකානු ඩොලරයක වටිනාකම වූයේ රුපියල් අටකි. ආහාර සහනාධාර වෙනුවෙන් වැය කළ මුදල්විලින් යම් ප්‍රමාණයක් හෝ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආයෝජනය කළා නම් රටේ සංවර්ධනය මෙයට වඩා විශාල දියුනුවක් ලබා තිබෙනවාට සැකයක් නැත. එහෙත් ජනතාව තම උදරය ගැන සිතූ අතර දේශපාලකයන් තම අනාගත මැතිවරණ ගැන සිතීමේ ප්‍රතිඵලය වූයේ රාජ්‍ය ආපස්සට යාමය.

ආහාර සලාක ක්‍රමය සීමා කිරීම සඳහා නොබියව ඉදිරිපත් වූ නායකයකු ලෙස ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා සඳහන් කළ හැකිය. ඔහු එම පදවියට පත්වූයේ රටේ ජනතාව ආහාර හිඟයකින් බරපතළ ලෙස පීඩා විඳීමේ ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් ජේආර්ගේ ප්‍රතිපත්තිය වූයේ ආහාර ද්‍රව්‍ය විදේශයෙන් ආනයනය කර කඩසාප්පු පිරවීම සහ එතෙක් රජයෙන් ජනතාවට ලබා දුන් ආහාර සලාක ක්‍රමය සීමිත පිරිසකට පමණක් ලබාදීමය. මෙමගින් රාජ්‍ය වියදම යම් පමණකට අඩු වුවද විදේශයෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විදේශීය මූල්‍ය ආයතනවලට ණය වීමට සිදුවිය.

සමෘද්ධිය, අස්වැසුම ආදී සහනාධාර සැබෑ ලෙසම හිමිවන්නේ එයින් ප්‍රයෝජන ලබන පිරිසටදැයි නිසි සොයා බැලීමක් නැත. එදිනෙදා ජීවිකාව කරමින් නඩත්තු වන ඇතැම් පුද්ගලයන් අස්වැසුම ආධාර මුදල ලබාගත් විගසම මත්පැන් ශාලා හෝ ගම්බද නීති විරෝධී මත්පැන් සොයා යන උදාහරණ අප සමාජයේ ඕනෑ තරම් දැකගත හැකිය. ඇතැම්විට නිලධාරීන් මේ ගැන නොදන්නවා වන්නටද පුලුවන. කෙසේ වෙතත් අතට මුදල් දෙන මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් නොවන බවට උදාහරණ ගම් දනව්වලදී දැකගත හැකිය. මෙම ක්‍රමය අසාර්ථකය. එයට වඩා කුඩා වැටුපකින් පවුල් නඩත්තු කරන එමෙන්ම අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල්වලට මෙම සහනාධාර මුදල ලබාදෙන්නේ නම් අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත. ජේආර් ජයවර්ධන යුගයේ ආහාර මුද්දරයත් රණසිංහ ප්‍රේමදාස යුගයේ ජනසවිය ආධාරයත් ලැබුණේ මුදල් ලෙස නොව භාණ්‍ඩ ලෙසය. එවැනි සහනාධාරයක් අතට මුදල් දෙන ක්‍රමයකට වඩා සාර්ථක විය. මේ සියලු සහනාධාර ලබා දෙන්නේ ඉහළ යැයි සම්මත වැටුපක් ලබන වෘත්තිකයන්ගෙන් සහ සියලු පාරිභෝජන භාණ්ඩවලින් අයකර ගන්නා බදු මුදලින් නිසා රජය මේ ගැන යළිත් සිතා බැලීම අවශ්‍යය.

ප්‍රේමකීර්ති රණතුංග