ගිය ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට මාරු වූ ඊපාස්පෝට් අණ්ඩරය


ශ්‍රී ලංකාවේ පවතින පාස්පෝට් එක වෙනුවට ඊ පාස්පෝට් එකක් ලංකාවට හඳුන්වාදීමට ක්‍රියා පටිපාටියක් ආරම්භ කළේ 2023 වසරේදීය. රට බංකොලොත් වී යාන්තමින් ඔළුව උස්සන මොහොතක තකහණියේ ගෙනා මේ ඊ පාස්පෝට් වුවමනාව බොහෝ දෙනා ප්‍රශ්න කළත් අවසානයේ හොඳින් හෝ නරකින් එය ඉටුකරගැනීමට එවකට සිටි රජයේ ඇමතිවරයා ඇතුළු නිලධාරීහු සමත් වූහ. එම වකවානුවේ පැවති ආර්ථික අහේනිය හමුවේ ඊ පාස්පෝට් එකක් ලංකාවට අත්‍යවශ්‍ය නොවුණත් එයින් යම් යම් වාසි ඇතිවිය හැකි බව ද තවකෙකුට තර්ක කළ හැක.

ඊ පාස්පෝට් මිලියන 5 ක් සඳහා ජත්‍යන්තර ලංසු විවෘත කළත් එහි තිබූ පක්ෂපාතී හා සීමාකාරී කොන්දේසි මත ටෙන්ඩරයට ලංසු තැබිය හැකිවූයේ ආයතන 04 කට පමණි. අවසානයේ එම ඊ පාස්පෝට් ටෙන්ඩරය ලැබුණේ ඒකාබද්ධව ලංසු ඉදිරිපත් කළ ප්‍රංශයේ සමාගම් දෙකකටය. මෙම ටෙන්ඩරය ප්‍රසම්පාදන ක්‍රමවේදය කණපිට ගස්සමින් සිදුකළ ක්‍රියාවක් වූ බව එවකට චෝදනා එල්ල වූ අතර ඊට හොඳම උදාහරණය වන්නේ ටෙන්ඩර් කැඳවීම අවසන්වීමේ දිනයට වැඩකරන පැය 8 කටත් අඩු කාලයකදී ටෙන්ඩරයට අදාළ තාක්ෂණික පිරිවිතර වෙනස් කිරීමය. එය පැහැදිලිවම ප්‍රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

එහෙත් ”‍නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ”‍ බව සනාථ කරමින් අවසානයේ ඉහත කී ඒකාබද්ධ සමාගම් දෙකට එකී ටෙන්ඩරය හිමි විය. කෙසේ වෙතත් ඒ අතරතුර යම් පාස්පෝට් හිඟයක් රට තුළ ඇති වූ අතර එවකට ආණ්ඩුව විසින් හදිසියේම ඊ පාස්පෝට් සමාගම් හරහා දත්ත ගබඩා කළ හැකි චිපය සහිත ඊ පාස්පොට් එක වෙනුවට චිපය රහිතව පාස්පෝට් 750,000 ගෙන්වා ගන්නා ලදි.ඊට හේතු වූයේ එකී සමාගම් සඳහා නියමිත කාල සීමාවේදී චිපය සහිත ඊ පාස්පෝට් නිකුත් කිරීමට අපොහොසත් වීමය. 

සැකසහිත ලංසු මුදල

චිපය රහිත පාස්පෝට් එකක් සපයාදීමට තලේස් සහ ජිට් සමාගම්  ඊ පාස්පෝට් ලබාදීමට ඉදිරිපත් කළ ලංසු මුදලින් අඩු කළේ යූරෝ සත 10ක් පමණි. එනමුත් චිපයක් සඳහා වැයවෙන මුදල යූරෝ එකකටත් වැඩිය. 

කෙසේ වෙතත් ඒ වන විට මෙරට පාස්පෝට් මුද්‍රණ පද්ධතිය මෙහෙයවමින් සිටියේ ශ්‍රී ලාංකික සමාගමක් වන එපික් ලංකා ආයතනයයි. පාස්පෝට් සඳහා අවශ්‍ය දත්ත ඇතුළත් කර, ජාත්‍යන්තර පිළිගත් ආරක්ෂක ක්‍රමවේද ඇතුළත් කරමින් තාක්ෂණිකව පාස්පෝට් පුද්ගලාරෝපණය හෙවත් Personalization කිරීම එකී සමාගම විසින් ඉතාම වගකීම් සහගතව සිදුකරගෙන ගියේය. ඒ 2022 වසරේ ජනවාරි මාසයේ සිටය. වර්ෂ 2003 සිට එකී කාර්ය මැලේසියානු සමාගමක් විසින් සැපයූ මෘදුකාංගයක් මගින් පාස්පෝට් පුද්ගලාරෝපණය සිදුකළත් කොරෝනා සමයේ සංචරණ සීමා පැනවීම නිමිත්තෙන් එකී මැලේසියානු සමාගමට මෙරටට පැමිණ මෙහෙයුම් සිදුකිරීමේ හැකියාවක් නොමැති වීය. කෙසේ වෙතත් ඒ මොහොතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් වගකීමක් ගත හැකිදැයි එපික් සමාගමෙන් විමසූ විට ඔවුන් ඒ වගකීම පමණක් නොව ඒ මොහොතේ රටේ තත්ත්වය හමුවේ එකී පද්ධතිය නොමිලේ ම සකසා දීමට එකඟ විය. ඉන් පසු රුපියල් මිලියන 300 ක පමණ වටිනාකමක් ඇති ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් විසින් නිෂ්පාදිත පාස්පෝට් පුද්ගලාරෝපණ පද්ධතියක් මෙරටට ලබාදුන්නේ රටට කරන ගෞරවයක් ලෙසිනි.

ඒ අනුව 2022 ජනවාරි මාසයේ සිට ඔවුහු එම පද්ධතිය ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව පවත්වාගෙන ගියහ. නවීන තාක්ෂණය උපයෝගි කරගෙන නිපදවා ඇති එම පද්ධතිය ඕනෑම විටක රටේ ඊ පාස්පෝට් අවශ්‍යතාවක් පැමිණියහොත් ඒවා ද මෙම මෘදුකාංගය යොදාගෙන පුද්ගලාරෝපණය කළ හැකි වෙන ආකාරයට අනාගත සැලසුමක් ලෙස සකසා ඇත. කෙසේ වෙතත් 2023 වර්ෂය අවසන් වන විට එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පවතින පද්ධතිය වෙනුවට අලුත් පද්ධතියක් මිලදී ගත යුතු බවත් එය ඊ පාස්පෝට් ටෙන්ඩරය ලබාදුන් ආයතනයෙන්ම මිලදී ගතයුතු බවත් දන්වා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනාවට අනුමතිය ලැබුණත් ඒ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 

දේශීය සමාගම් අභියෝග කරයි

ගාණක් මිම්මක් නැති මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දේශීය සමාගම් අභියෝග කළේය. ඔවුන් පැවසුවේ ඊ පාස්පෝට් පුද්ගලාරෝපණය කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ දැනට පවතින පද්ධතියට PKI Management Module  නමැති මෘදුකාංග මොඩියුලය සවිකිරීම පමණක් වෙන බවය. ඒ සඳහා වැයවන මුදල ඩොලර් 10,000ත් 20,000ත් අතර වෙන බව ඔවුහු නිල වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැන්වූහ. එහෙත් අලු‍ත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් වැයවන බව ඔවුහු පෙන්වා දුන්හ.

“කැළේ මාරුවුණාට කොටියගේ පුල්ලි මාරු නොවන”‍ යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත. ඒ බව සනාථ කරමින් ආණ්ඩුව මාරුවුණත් සිස්ටම් වෙනස් නොවන රාජ්‍ය සේවකයන් පිරිසක් නැවත මේ අපරාධය සඳහා අත ගසනු පෙනිණ.

ඊ පාස්පෝට් ලබාදෙන බවට ටෙන්ඩරය දිනාගත් සමාගම් දෙක දෙවැනි වතාවෙත් පොරොන්දුව බිඳ දැමීම නිසා නැවතත් වර්තමාන ආණ්ඩුව ආ සැනින් තවත් චිපය රහිත පාස්පෝට් ලක්ෂ 11 ක් ලබාගැනීමට තීන්දු කළේය. ඒ සඳහා කැබිනට් අනුමතිය ද හිමිවිය. එය හිමිවීමත් සමඟ පරණ හොල්මන් නැගිටමින් නැවතත් ආගමන විගමන නිලධාරීන් කිහිප දෙනෙක් මිලියන 5න් ඉතුරුව ලබාගැනීමට ඇති පාස්පෝට් තිස් එක් ලක්ෂ පනස් දහසක් (3,150,000) සඳහා අලු‍තින් පුද්ගලාරෝපණ හා PKI  පද්ධතියක් එක් කිරීමට වැඩටයුතු සූදානම් කළහ. අලුත් ආණ්ඩුවක අලු‍ත් ප්‍රතිපත්‍තිය වුවත් අදාළ ටෙන්ඩරය කැඳවූයේ පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයා විසින් සම්මත කරගත් කැබිනට් යෝජනාවට අනුවය. අලුත් බෝතලයේ පරණ වයින් මෙන් අදාළ පද්ධතිය සැකසීම සඳහා ටෙන්ඩර් කැඳවීම 2025 අප්‍රේල් 28 දා සිදු විය.

හතරබීරි ටෙන්ඩර් ක්‍රියාවලිය

මෙම ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හතර බීරි විය. මෙකී ටෙන්ඩරයේ සුදුසුකම් ලෙස ඊ පාස්පෝට් නිකුත් කළ සමාගම් විය යුතු විය. එසේම රටවල් දෙකකවත් අදාළ මෙහෙයුම් සිදුකරන සමාගම් විය යුතුය. ආදායම් බිලියන ගණනකින් පෙන්විය යුතු සමාගම් විය යුතුය. එසේම අදාළ ටෙන්ඩරය සඳහා ජාත්‍යන්තර සමාගම් පමණක් තරග කළ යුතු බව නිර්දේශ විය. කිසිදු දේශීය සමාගමකට මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කළ නොහැකි වන පරිද්දෙන් ලංසුකරුවන්ගේ අනිවාර්ය සුදුසුකම් තීරණය කෙරිණි. මෙරට ව්‍යවසායකයන්ගේ ඉල්ලීම් තුට්ටුවකට මායිම් කළේ නැත. පුදුමය නම් මේ ටෙන්ඩරය සඳහා තාක්ෂණික කමිටුව වුයේද පසුගිය ආණ්ඩුවේ සිටි ආන්දෝලාත්මක ඊ පාස්පෝට් ටෙන්ඩරයේ තාක්ෂණ කමිටුවේ සිටි නිලධාරින් ම බව දැනගන්නට තිබීමයි.

කෙසේ වෙතත් අදාළ ටෙන්ඩරය කැඳවූ අතර මේ සඳහා විදේශ සමාගම් අටක් තරග කර තිබුණි. මෙම ටෙන්ඩරයේදී තමාගේ ලංසුව ලියුම් කවර දෙකක් ඉදිරිපත් කළ යුතු අතර (Two Envelopes System)  එකක තාක්ෂණික විස්තර සහ අනෙක් ලියුම් කවරයේ මිල ගණන් සඳහන් කළ යුතුව ඇත. ප්‍රථමයෙන් ලංසුවල තාක්ෂණික සුදුසුකම් පරීක්ෂා කර බලා එයින් සුදුසුකම් ලබන ලංසුවල දෙවැනි ලියුම්කවරය විවෘත කර ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් බැලීම මෙම ක්‍රමවේදය විය.

මෙම ටෙන්ඩරය සඳහා ප්‍රංශය, ජර්මනිය , ජපානය, පෝලන්තය , හොංකොං වැනි රටවලට පාස්පෝට් පුද්ගලාරෝපණ හා PKI පද්ධති සැපයූ අග්‍රගණ්‍ය සමාගම් 8 ක් ලංසු තබා තිබුණි. ඔවුන් සියල්ලන්ම අදාළ කාර්යය සඳහා ලෝකයේ නමගිය සමාගම් ය. නමුත්, පුදුමයට මෙන් ලංසු කැඳවූ ආයතන අටෙන් හතක්ම තාක්ෂණික කමිටුව විසින් නුසුදුස්සන් බව තීරණය කළ අතර එකම එක ලංසුකරුවකු පමණක් ඔවුන් විසින් තෝරා ගන්නා ලදි. ඒ වෙනින් කවුරුත් නොව අපේ රටට ඊ පාස්පෝට් ලබාදීමට ටෙන්ඩරය දිනා තවමත් නිසි වෙලාවට පාස්පෝට් එක නිකුත් කර ගැනීමට නොහැකි වූ ආන්දෝලාත්මක සමාගම් දෙකයි. සැබවින්ම එය ඉතා පුදුම සහගත සහ සැක සහිත තෝරාගැනීමක් විය. ලෝකයේ බලවත් පාස්පෝට් ලබාදෙන ආයතන පවා විසිවී මේ ආයතනය පමණක් සුදුසු බව කීම නම් විස්මයකි.

වැය බර මහජනයාට

කමක් නැත. සුදුසුකම් ඇත්නම් හා රටට වාසිදායක ලංසු තබන්නෙකුට කොන්ත්‍රාත්තුව දුන්නාට කමක් නැත. එහෙත් පිටු 64 ක් තිබූ පාස්පෝට් එකක් වෙනුවට පිටු 48 ක පාස්පෝට් පොතක් ලබාදී, ඇතැම් තාක්ෂණික අඩුපාඩු රැසක් සහිතව නියමිත ටෙන්ඩරය නියමිත වෙලාවට දීමට නොහැකි වූ හා ශ්‍රී ලාංකික ජනතාවට රුපියල් බිලියන 5කට අධික මුදලක් පාඩුකළ එකී  සමාගම් ගැන තවත් විශ්වාස කළ හැක්කේ කෙසේද? 

මෙම ප්‍රංශ සමාගම් දෙක ජීවිතේ කිසිදවසක ඊ පාස්පෝට් හැර සාමාන්‍ය පාස්පෝට් (Chipless MRP)  නිර්මාණය කර සපයා නොමැති ආයතනයක් බව සඳහන් වේ. එහෙත් අපේ රට ඒ ගැන තඹ දොයිතුවකට මායිම් නොකර ඊ පාස්පෝට් නොවෙනMRP  පාස්පෝට් 750,000කුත් පසුව ලක්ෂ 11කුත් ඔවුන්ගෙන් මිලදී ගන්නේ කුමන නිර්ණායකයක් පදනම්ව ද යන්න විශාල ප්‍රශ්නයක් ඇත.
කෙසේ වෙතත් මේ පුද්ගලාරෝපණ ප්‍රසම්පාදන ක්‍රියාවේ දූෂිත බව පෙන්වමින් එපික් ලංකා ආයතනය පසුගියදා ලිපියක් මගින් ජනාධිපතිවරයා හා අමාත්‍යවරයා දැනුම්වත් කළේය. එම ලිපියේ පරිදි  තලේස් හා ජිට් සමාගම් ඉදිරිපත් කර ඇති ලංසුව අනුව එක් පාස්පෝට් එකක් පුද්ගලාරෝපණය කිරීමට ඔවුන් ඇමරිකානු ඩොලර් 3.30 ක මුදලක් ලංසු තබා ඇත. එය ඉතා අධික මුදලකි. ඔවුන්ගේ ලංසුවේ පාස්පෝට් ආරක්ෂක ක්‍රමවේදයක් වන IPI  නමැති ආරක්ෂක අංශයත්, Letter Screen ආරක්ෂක උපාංගත්, PKI  මොඩියුලය සමඟ අනෙකුත් පද්ධති ඒකාබද්ධ කිරීමත් (උදා:- බයෝමෙට්‍රික් පද්ධතිය, පාස්පෝට් ඡායාරූප සඳහා ස්ටුඩියෝ සඳහා ලබාදුන් පද්ධතිය) අඩංගු නොවේ. ඒවාට අමතර පිරිවැයක් දැරිය යුතු වේ. ඒවා අත්‍යවශ්‍ය මෙවලම් වේ. එසේ මූලික දේවල් සපුරා නැතිව ද පද්ධතියට අනුව පාස්පෝට් එකක් පුද්ගලාරෝපණය කිරීම සඳහා ඔවුන්ගේ වියදම ඩොලර් 3.30 කි. එහෙත් ඒ සියල්ල ඇතුළත් කර එපික් ලංකා සමාගම විසින් පාස්පෝට් එකක් පුද්ගලාරෝපණය කිරීම සඳහා වැයවෙන මුදල ඩොලර් එකකටත් අඩු මුදලක් බව නිලවශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත. එසේ නම් ඒ කරන්නේ කුමක්ද?  මේ සතුටු කරන්න යන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය ඇත. අඩුපාඩු සහිතව ලබාදෙන ටෙන්ඩරය හරහා අනෙකුත් IPI  ආරක්ෂක පද්ධති, Letter Screen ආරක්ෂක පද්ධති, පද්ධති ඒකාබද්ධ කිරීම් සඳහා වෙනම මුදල් ගෙවන්නට සිදුවනු ඇත. ඒ මුදල් ගෙවන්නේ ඔය රාජ්‍ය සේවකයන් නොව මහජනතාව වන අප ය. මේ නාස්ති කරන්නේ මහජන මුදල් ය. එපික් ලංකා සමාගම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති පරිදි මේ පද්ධතිය (සම්පූර්ණ කළ) සඳහා වැයවෙන මුදල රුපියල් මිලියන 860කි. එහෙත් ටෙන්ඩරය ලබාදීමට සැරසෙන සමාගමේ වියදම රුපියල් මිලියන 3139 කි. එසේ නම් මෙම අමතර රුපියල් බිලියන 2.5කට සිදුවෙන්නේ කුමක්ද? මේ කජු ඇට ද කොස් ඇට ද යන්න අපට ප්‍රශ්නයක් ඇත.

මේ සිදුවීම  රජයේ අනුදැනුමකින් තොරව සිදුවූවාද නැද්ද යන්න අප දන්නේ නැත. එහෙත් මෙහි බැලූ බැල්මට ප්‍රශ්නයක් ඇත. අපට දැනගන්නට ඇති පරිදි ජනාධිපතිවරයා පවා මෙය දැනගත් විට පුදුම වී තිබේ. කෙසේ වෙතත් මේ කාටත් හොරා කොළය වසා ගේම් ගසන විට වගකීම භාරගන්න වෙන්නේ ආණ්ඩුවට ය. 

නම කැත වෙන්නේ ආණ්ඩුවේය. එය මේ ආණ්ඩුවට පමණක් නොව ඉතිහාසයේ ආණ්ඩුවලට පවා සිදුවූ දෙයකි. ඒ නිසා මේ ටෙන්ඩරය ලබාදීමට පෙර ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාව ගැන සොයා බැලිය යුතු නොවේද? බිලියන ගණනක වංචාවක් වළකාලීමට ආණ්ඩුවට තදබල වගකීමක් ඇති බවත්  මෙවැනි දූෂණ වළක්වාලීමට මැදිහත් විය යුතු බවත්  වගකීමෙන් අවධාරණය කරමු.

ගයාන් ගාල්ලගේ