​දෙවනගල රජමහා විහාරයට දිගටම කෙනෙහිලි


\

දෙවනගල පූජා භූමිය

 

අනුරපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිවෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන ඓතිහාසික දෙවනගල විහාරය එතැන් පටන් පොළොන්නරුව, මහනුවර යුග ඔස්සේ පැවත එන දීර්ඝ ඉතිහාසයක් සහිත පුදබිමකි. නමුත් කාලයක් තිස්සේ විවිධ සංවිධානාත්මක මෙන්ම අන්තවාදී කණ්ඩායම් අතින් විනාශ වී ගෙන යන මෙම පුදබිම ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ ව්‍යාපාර, ජාතික ව්‍යාපාරවල මැදිහත්වීම නිරන්තරයෙන් සිදු වුවද මෙම පුදබිමේ ඓතිහාසිකත්වය ආරක්ෂා කර ගැනීමට බාධා රැසක් මතුවිය. පුදබිමේ ඉඩම් අක්‍රමණයද නවත්වා ගැනීමට මේ දක්වාම කිසිවෙකුටත් නොහැකි වූ අතර දෙවනගල පුදබිම සම්බන්ධයෙන් පසුගිය කාලයේ කිහිප අවස්ථාවක් මාධ්‍ය මගින් රටට කරුණු අනාවරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් පවතින රජයේ අවධානය ද ඒ වෙත යොමු විය. මේ ​වෙන විට ක්‍රමයෙන් විසඳුමක් කරා යන බවට ඉඟි සපයන දෙවනගල පුදබිමේ ගැටලු සියසින් දැක ඉදිරි ක්‍රියාමාර්ග සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට පසුගිය පෙබරවාරි 21 වැනිදා අලුතෙන් පත් වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පැවසුයේ හැමෝටම පිළිගත හැකි විදිහේ දීර්ඝ කාලයක් පවතින තිරසාර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි.   


දෙවනගල ඉපැරණි සංඝාවාසය පිහිටා ඇති භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරන ස්ථානය නිරීක්ෂණය කර ඉන් අනතුරුව මේ වෙන විට ඉඩම් අක්‍රමණය සිදු වෙන පුරාවිද්‍යාත්මක ස්ථාන, දැඩි ලෙස හානි වී ඇති දෙවනගල ඉපැරණි අම්බලම, දෙවනගල පුදබිමට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය සහ දෙවනගල පාදමේ පුරාවිද්‍යා බිමේ ඉදිකර ඇති අනවසර නිවාස ද දැක බලා ගැනීමෙන් පසු ගල්පර්වතය මුදුනේ ඇති පුදබිම වෙතද ගිය ඒ මහතා සිදුව ඇති හානිය සියසින් දැක බලා ගෙන ඒ පිළිබඳව නිලධාරීන් දැනුවත් කළේය.   
‘‘අද අපි දෙවනගල රජමහ විහාරස්ථානයට පැමිණියේ මේ ස්ථානයේ යම් යම් ගැටලු කිහිපයක් පවතින නිසයි. ඒ ගැටලු සියසින් දැකලා අධ්‍යයනය කරලා. ඊට පස්සේ පුරා විද්‍යාඥයෙක් වශයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ලබා දීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණයේදී අවට ප්‍රදේශවාසීන්ටත්, බෞද්ධ භික්ෂූන් වහන්සේටත් මේ ස්ථානය දැක බලා ගැනීමට සහ වන්දනාමාන කිරීමට පැමිණෙන පිරිස්වලටත් හැමෝටම පිළිගත හැකි විදිහේ දීර්ඝ කාලයක් පවතින තීරසාර විසඳුමක් ලබා දෙන එක තමයි අපගේ බලාපොරොත්තුව. ඒ වාගේම මේ බිම තුළ අනවසර ඉදිකිරීම් සිදු කරලා තිබෙනවා නම් ඒවා සිදු කර තිබෙන්නේ කොතනද කියලා බැලිය යුතුයි. ඒ ඉදිකිරීම් වලින් පුරාවස්තුවලට හානියක් වෙනවා නම් අපි ඒවා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ වාගේම හානියක් නොවන ස්ථානයක යම් ජනතාවක් වෙසෙනවා නම් අපි ඒ තැන්වලට එතරම් අතගැසීමක් සිදු කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් අපි මේ භූමි දර්ශනය සකස් කර යුතුයි. ඒ භූමි දර්ශනය සකස් කිරීමේදී සමහර ස්ථානවල ඉදිකිරීම් ඉවත් කිරීමට සිදු වෙයි. කුමන ස්ථානයද ඉවත් කරන්නේ කුමන ස්ථානයද නොකරන්නේ කියන එක හොඳ අධ්‍යයනයකින් පසුව තමයි සිදු කළ යුත්තේ.   


මේ වාගේ ඓතිහාසික උරුමයන් සහිත ස්ථාන විනාශ වෙනවා නම් මාධ්‍ය ආයතනවල යුතුකම තමයි ඒවා සොයා බලා වාර්තා කිරීම. යම් තැනක ප්‍රශ්නයක් තිබෙනවා නම් එ්ක ලෝකයට ඉදිරිපත් කිරීම මාධ්‍ය ආයතනයක යුතුකමක්. අපිට හැම ස්ථානයක හැම ප්‍රශ්නයක්ම බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රශ්න අපිත් දැන ගන්නේ මාධ්‍යයෙන්. ඉතින් ඒ අතින් මාධ්‍ය බොහෝමයක් මේ ස්ථානය රැක ගැනීමට විශාල සේවයක් කරලා තිබෙනවා. අපි ඒ සේවය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.   

 

 

සෙල්ලිපිය ඇති ස්ථානය

 


මෙම ස්ථානයේ පවතින ඉඩම් මැන අවසන් කිරීමේ කටයුතු හැකි ඉක්මනින් කිරීමට තමයි අපේ බලාපොරොත්තුව. මෙතනදී මිනිස්සුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නත් තියෙනවා. ඒවාත් සානුකම්පිත ලෙස බැලිය යුතු වෙනවා. පුරාවිද්‍යාව කියලා කියන්නේ නිකම්ම නිකම් ගල් කණු විස්තරයක් නොවෙයි. ගල් කණු සහ අජීවී ද්‍රව්‍යයන් එක්ක පමණක් නොවෙයි අපිට කටයුතු කරන්න වෙනවා ජීවමාන පුද්ගලයන් සමගත්. ඒ අයගේ ප්‍රශ්නත් බලන්න වෙනවා. අපි බුද්ධශාසනය රැක ගැනීමේ කටයුතුවලට ප්‍රමුඛතාවක් දිය යුතුයි. අපේ ව්‍යවස්ථාවෙන් පවා ඊට ප්‍රමුඛතාවය හිමි වෙනවා. ඒ වාගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මෙය ප්‍රමුඛකාර්යක් විදිහට සලකනවා. ඉතින් මේ සියලු දේවල් සමබරව පවත්වාගෙන යෑම තමයි අපේ අරමුණ වෙන්නේ.   


අපි අනාගතයට මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන මොන රජය පත් වුවත් ඊට බලපෑමක් ඇති නොවන ලෙසත් ඒවා සුරක්ෂිත කිරීමටත් අවශ්‍ය සැලසුමක් අනුව ක්‍රියාවට නංවන්නට කටයුතු කරනවා. ඉදිරියේදී ජනගහණය වැඩි වෙන විටත් සංවර්ධන ඇති වෙන විටත් පුරාවිද්‍යා ස්මාරකවලටත් ප්‍රශ්න මතු වෙනවා. ඒ වගේම ඒ ස්ථානවල වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලාටත් ගැටලු ඇති වෙනවා. මේ ගැටලු අවම කර ගැනීම වෙනුවෙන් අපි ප්‍රධාන සැලසුමක් සකස් කරලා එය දීර්ඝකාලයක් පවතින විදිහට කටයුතු කිරීම තමයි අපගේ බලාපොරොත්තුව’’ යැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.   


කෙසේ වෙතත් මේ පුදබිම මේ රටේ ඓතිහාසික ස්ථාන අතර සුවිශේෂී ස්ථානයකි. දෙවනගල ගල්පර්වතය මුදුනේ ඇති ගලේ කොටන ලද සෙල් ලිපි දෙකකි. ඒවා පළමු වැනි විමලධර්මසූරිය රජ සමයට අයත්ය. මින් පළමු සෙල් ලිපිය සුවිශේෂී වැදගත්කමක් සහිත ලිපියකි. එහි ඇත්තේ පරාක්‍රමබාහු රජ සමයේ සිදු වූවායැයි සාහිත්‍ය මූලාශ්‍රවල හෙළිවෙන රාමඤ්ඤ හෙවත් බුරුමය අක්‍රමණය තහවුරු කරනු ලබන පුරාවිද්‍යාත්මක සාධකයක් සහිත ගලේ කොටන ලද සෙල් ලිපියකි. එම අක්‍රමණය මෙහෙය වූ නුවරගල් කිත්ති නම් සෙනවියාට එම අක්‍රමණය සාර්ථකව මෙහෙයවීම පිළිබඳව කෘතගුණ සැලකීම වස් පිදූ ගම්වරයක් පිළිබඳව මෙම පර්වත ලිපියේ සඳහන්වේ. මෙම අභිලේඛනයන්ට අමතරව සුවිශේෂීවූ සිරිපතුලක සටහනක් ගලේ කොටා ඇත. එය මගුල් සලකුණු සහිත සිරිපා සටහනකි. එයද මහනුවර යුගයට අයත් වෙන අතර එම යුගයේ විශාලතම සහ අලංකාර සිරිපතුල් සටහන ලෙසද හඳුන්වයි.


ඍජුකෝණාස්‍රාකාර රාමුවක් තුළ අඩි 4 ක පමණ දිගින් යුතුව කොටා ඇත. මීට අමතරව මෙය ගල්පර්වතය මුදුනේ සුවිශේෂී ස්මාරකය වන්නේ ඉපැරණි ගල් ගොඩනැගිල්ලයි. මෙය සම්පූර්ණයෙන්ම ගලින් නිමවා ඇත. එමෙන්ම තවත් සුවිශේෂී ඉපැරණි චෛත්‍ය, බුදුගෙය, මෙන්ම කිසිදු වියළි දේශගුණයකදී නොසිඳෙන පොකුණ, ඉපැරණි වැසිකිළි පද්ධති ඇතුලු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැසක් මෙහි පිහිටා ඇත. මේ වෙන විට සංවිධානාත්මක පිරිස් විසින් දෙවනගල ගම්වරය දැක්වෙන ශිලා ලිපියට ඇසිඩ් වැනි දියර වත් කර ඇත්තේද මෙහි ඓතිහාසිකත්වය මකා දැමීමේ අරමුණෙන් විය හැකිය. මෙම පුදබිම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩමවන අවස්ථාවේ එක් දිනක් සමවත් සුවයෙන් වැඩ සිටි පුදබිමක් වන නිසා එය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවහොත් එය රටේ අවාසනාවකි. 

 
මෙම පුදබිමට හානි වෙන නිවාස සහ ගොඩනැගිලි රැසක්ම ඉදිකර ඇත්තේ මුස්ලිම් ජාතිකයන් විසින් වෙන අතර පසුගිය දිනවල ද එලෙස ඉදිකිරීමට ගිය නිවාස රැසක් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ මැදිහත් වී නැවැත්වීමට කටයුතු කරන ලදී. එම ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පරම්පරික සමාජිකයන් කිහිප දෙනෙක් පමණක් දෙවනගල විහාරයේ හිමියන් සමග ගැටුම් ඇති නොකොට සාමයෙන් සමාදනයෙන් මේ සියලු ප්‍රශ්න ගැටලු විසඳ‌ා ගනිද්දී සුළු පිරිසක් පමණක් සංවිධානාත්මකව ගැටුම් ඇති කර ගැනීම්, වැට මායිම් සහ මායිම් කණු අනවසර ඉදිකිරීම් යන ආදිය සැලසුම්සහගතව සිදු කරයි. පසුගිය වසරේ සැත්තැම්බර් මාසයේ දෙවනගල සංඝාවාසය පිහිටි බිමට අයිති අක්කර 85 ක ඉඩම් මැන අවසන් කර මායිම් කණු යොදන ලදී. පොලිසිය සහ නිලධාරීන් මාර්ගයෙන් එම මායිම් කණු ගැලවීම් සිදු නොකරන ලෙසත් සංඝාවාස මැනුමට අයත් වූ ඉඩම්වල රජය මගින් දැනුම් දෙන තෙක් කිසිදු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස දන්වා තිබියදී. එම නීතියට අවනත නොවී සංවිධානාත්මක පිරිස් විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන පස් කැපීම් මෙන්ම මායිම් කණු ගැලවීම් ආදිය වළක්වා ගැනීමට හැකි වූයේ ද වගකිවයුතු බොහෝ නිලධාරීන් ඒ ගැන සැලකිලිමත් නොවූ පසුබිමක භාරකාර ස්වාමින් වහන්සේ විසින් ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.     


 පොලිසිය මගින් දෙවනගල සිදු වෙන හැම සිද්ධියක් සම්බන්ධයෙන් නිවැරදි තීන්දු තීරණ ගෙන තිබුණා නම් ඉහළ නිලධාරීන් ක්‍රමවත්ව දැනුවත් කර තිබුණා නම් දැනට මායිම් කණු ගැසූ බිමේ බැකෝ යන්ත්‍ර යොදා ඩ්‍රෝසර් කිරීම්, මායිම් කණු ගැලවීම්, විහාරස්ථානයේ නාමපුවරු කැඩීම සහ සංඝාවාසයේ මෙන්ම විහාර බිමේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස සංවිධානාත්මක පිරිස් සී.සී.ටී.වී කැමරා සවි කිරීම වැනි මෑත කාලයේ සිදු වූ බොහෝ සිදුවීම් වළක්වා ගැනීමට ද හැකියාව ඇත. විහාර බිමට පැමිණ සංවිධානාත්මක පිරිස් තර්ජනය කරන මේ සියල්ල කඩාකප්පල් කරන්න සුළු පිරිස හඳුනාගැනීමට පසුගිය කාලේ මාධ්‍යයේ පෙන්වන ලද විඩියෝ සහ ඒ හැසිරීම්ද නීතිය ක්‍රියාත්මක කිරීමට හොඳහැටි ප්‍රමාණවත්ය. නමුත් පොලිසියේ නීතියද හැම විටම විහාරස්ථානයේ හිමියන්ට සහ දායකයන්ට පමණක් තිබුණු වග පසුගිය කාලපරිච්ඡේදයේදී අපට දැක ගත හැකි විය. 


දෙවනගල විහාරයේ වැඩවාසය කර අපවත් වූ වයෝවෘද්ධ හිමිවරුන් රවටා එකල දේශපාලඥනයින් මෙන්ම සංවිධානාත්මක පිරිස් මෙම ඓතිහාසිකත්වය විනාශ කිරීමේ කටයුතු සිදු කළ අතර අරාජික වෙමින් පැවති මෙම පිං බිම ආරක්ෂා කිරීමට මෙහි වැඩවාසය කළ නායක හිමියන් අපවත් වූ පසු අභිනවයෙන් පත් වූ වර්තමාන දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලකි. උන්වහන්සේද රජවරුන්ගේ පහස ලැබූ මැදිරිගිරිය වැනි ප්‍රදේශයක ජන්ම ලාභය ලැබූ නිසා නොපසුබස්නා උත්සාහය ද ඇත. මෙම ජාතික උරුමය ආරක්ෂා කරන්නට වෙරදරන උන්වහන්සේගේ ජීවිතයටද ඒ සම්බන්ධයෙන් රටට අනාවරණය කරන මාධ්‍යවේදීන් බොහෝ බාධක මැද්දේ මේ කටයුතු ජීවිත අවදානමකින් වාර්තා කරන්නේ සියලු දෙනාගේ පොදු යහපත උදෙසා ඒ වගකීම මනා ලෙස තේරුම් ගනිමිනි. ඒ නිසා මේ ගැටලුව විසඳා සියලු දෙනාට සහෝදරත්වයෙන් සහ සාමයෙන් සිටීමට හැකි විසඳුමක් කරා ගැටලුව නිරාකරණය කිරීම රජයක ජාතික වගකීමකි.   

 

 

ඡායාරූප සහ සටහන
මාවනැල්ල, හෙම්මාතගම
සමන් විජය බණ්ඩාර