හීනියට ඇදෙන සීනි ප්‍රශ්නය


ආනයනික සීනි ටොන් හැටදාහක් හංගන්නේ ඇයි?

 

මෙරට දේශීය සීනි කර්මාන්තශාලා දෙකක ඇති වී තිබෙන අර්බුදය හමුවේ ආනයනික සීනි බද්ද රුපියල් 30 කින් වැඩිකිරීමට ඇති සැලැස්මක් ගැන අනාවරණය වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනපති යුගයේ රුපියල් 50 ක් වූ සීනි බද්ද ශත 25 දක්වා අඩුකරන ලදී. ඒත් පසුව නැවතත් රුපියල් පනහක බද්ද පැනවූ අතර අලුතින් පනවන රුපියල් තිහක බද්දත් සමග සීනි කිලෝවකට රුපියල් අසූවක බද්දක් පැන වීමට මහා භාණ්ඩාගාරය සැලසුම් කර තිබේ.

මහා භාණ්ඩාගාරයේ මේ සැලසුම දැනගත් පිටකොටුවේ සීනි තොග ආනයනකරුවන් තමන්ගේ ගබඩාවල සීනි තොග වෙළෙඳපළට නිකුත් නොකර අධික ලාභයක් ලැබීමට කටයුතු යොදා ඇති බව සීනි තොග මිලදී ගැනීමට පසුගිය සිකුරාදා පිටකොටුව සීනි තොග වෙළෙඳපළට පැමිණි වෙළෙන්දෝ චෝදනා කර සිටියහ. වෙළෙඳපළ ආරංචි මාර්ග තහවුරු කරන්නේ ගුදම්වල දැනට සීනි ටොන් හැටපන්දහසක් පමණ ඇති බවය. 

ආනයනික සීනි කිලෝවකට රුපියල් 80ක බදු පැනවූ පසු සීනි තොග හා සිල්ලර මිල ඊට සාපේක්ෂව ඉහළ යන අතර අඩු බදු යටතේ ආනයනය කළ සීනි විශාල තොගය වැඩි මිලට අලෙවි කිරීමෙන් ආනයනකරුවෝ විශාල ලාභයක් ලැබීමට සැලසුම් කරමින් සිටිති.

මේ අතර සීනි තොග සඟවා තැබීමේ උත්සාහය සම්බන්ධයෙන් ආනයනකරුවන් පිරිසක් පාරිභෝගික අධිකාරියට පසුගිය සිකුරාදා පැමිණිලි කොට තිබේ.       

දේශීය සීනි කර්මාන්තය සම්බන්ධ ගැටලුවක් මෙරට ජන මාධ්‍යවල පසුගිය සතියේ වඩාත් කතාබහට ලක්විය. සීනි කිලෝවකට අය කළ රු.50/-ක ආනයන බද්ද රු.49.75/-කින් අඩු කළේ ගෝඨාභය ජනපති යුගයේය. බද්ද අඩු කිරීමේ ගැසට්ටුව නිකුත්වෙන තුරු කොළඹ වරාය අවට සිය ගණනක් සීනි නැව් නවතාගෙන සිටීම තහවුරු කරන ලද්දේ මෙරට දේශපාලනයකයන් හා ව්‍යාපාරිකයිනුත් බද්ධ වූ ඥාතීන් බව නොවේ ද?

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දි සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ සීනි බදු, සුදුලුණු, සහල් සහ කිරි හරක් වංචා නඩු ඉදිරියට එන බවය.

“සීනි බදු වංචාව තියෙනවා. මමයි පැමිණිල්ල කළේ. අපි අතාරින්නේ නෑ. නඩුව ගෙනියනවා සුදු ලූණු වංචාව තියෙනවා. සතොස හාල් ගෙනැල්ලා ගුල්ලන් ගහලා කියලා දොර ළඟ තියාගෙන බියර් කොම්පැණිවලට වික්කා. සතොස සහල් අඩු ගාණට විකුණලා ආපහු සතොසට දුන්නා. කිරි හරක් ගෙනාවා. ඩොලර්වලින් ගැහුවා. සමහරු අධිවේගි මාර්ගවලින් ගැහුවා. ආයුර්වේද සංස්ථාවේ රාජ්‍ය නිලධාරීන් රාජිතගේ ගෙදර වැඩ කළා. මෙතැන තිබුණේ චෞර රාජ්‍යයක්. බැඳුම්කර වංචා කරපු අය ගෙනියන්න ඕනෑ. රාජපක්ෂලා රනිල්ලා හිරේ දාන බව අධිකරණ ඇමති කියන්න ඕනෑ. මම කියනවා. ඇමතිවරුන්ගේ වගේම ඒ අයගේ ඩ්‍රයිවර්ලගේ හොර ගෑනුන්ගේ ළඟ තියෙන දේපළ ගැනත් හොයන්න ඕනෑ.”

ඇත්තටම මේ සීනි ඉතිහාසය සීනි තරම්ම රසවත්ය. සීනිවලට ඇත්තේ වසර 2500 කටත් එපිටට දිව යන්නා වූ ඉතිහාසයකි. එමෙන්ම ඈත අතීතයේ සිටි මිනිසුන් සීනි වෙනුවට යොදා ගත්තේ මී පැණි සහ පලතුරු යුෂ වීම විශේෂත්වයකි. සීනි හා හකුරු උක් ශාකයෙන් නිපදවීමේ තාක්ෂණය මුලින්ම සොයාගෙන ඇත්තේ ඉන්දියානු ජාතිකයෝය. ඉන්පසු චීනය හා අරාබිකරයේ රටවල් කරා ටිකින් ටික ව්‍යාප්තව ගිය සීනි බොහෝ කලක් යනතුරු සුඛෝපභෝගී ද්‍රව්‍යයක් ලෙස  හැඳින්වීමට පෙරඅපර දිග ජනතාව පුරුදුව සිටි ඉතිහාසයක් තිබුණි. මේ අතර සීනි නිපද වීමට ප්‍රධාන වශයෙන් ම යොදාගැනෙන උක් ශාකය මුලින්ම වගා කර ඇත්තේ බටහිර ඉන්දියානුවෝය. වහලුන් යොදාගෙන උක් වගා කළ බටහිර ඉන්දියානුවන් එයින් ‘රම්’ නැමැති පානය පිළියෙළ කළ අතර එම ‘රම්’ ගැන ඇසූ විට දැන් අපේ මතකයට එන්නේ උක්වලින් හදනවා කියූ රු 1000/-ට අඩු මිල අරක්කු බෝතලයයි.

මුල් යුගයේ සීනිවල ගුණාත්මක භාවය පිළිබඳ පර්යේෂණ පැවැත් වූ එංගලන්තයේ මහාචාර්යවරයෙකු වන ජෝන් යාඩ්කින් සීනි ‘සුදු විෂ’ හෙවත් White Poison ලෙස නම් කළේය. ඔහු පෙන්වා දුන් පරිදි සීනි භාවිතයෙන් කිසිදු ශාරීරික අවශ්‍යතාවක් ඉටු නොවේ. එහෙත් බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි සීනිවලින් ක්ෂණික අධිශක්ති ජනනයක් දෙන අතර එය ද ස්වාභාවික පැණි රසයකින් ලැබෙන ශක්ති ජනනයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. දැන් ජනප්‍රියව ඇති Energy Drink බිහිවීමට මුල් වූයේ සීනි බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කලින් උපුටා දැක් වූ හඳුන්නෙත්ති අමාත්‍යවරයාම ඊට පෙරදින පර්ලිමේන්තුවේදි පවසා සිටියේ මෙරට දුඹුරු සීනි අපනයනය කිරීමට රටවල් කීපයක් සමග සාකච්ඡා කොට ඇති බවය.

ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ විපක්ෂ නායක වරයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙරට සීනි කර්මාන්තයෙන් ජීවනෝපාය සකසා ගත් පවුල් දෙලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් වත්මන් රජයේ බදු ප්‍රතිපත්තියේ අසමානතා හේතුවෙන් දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටින බව ද විපක්ෂ නායකවරයා පැවසීම මීට හේතුවයි.

ඊට පිළිතුරු දෙමින් පැල්වත්ත හෝ සෙවනගල යන සීනි කර් මාන්තශාලා වසා දැමීමට ක්‍රියා නොකරන බව ද කී ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“මෙරට නිෂ්පාදනය කරනු ලබන දුඹුරු සීනි සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒවාට රසායනික පොහොර ඉතාමත් අඩුවෙන් යොදවන්නේ. අපි දැනට චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා සීනි මෙට්‍රික් ටොන් තිස්තුන්දහසක් විකුණන්න බැරුව සිටින විට තමයි අපි මේ ආයතනය භාරගත්තේ. අපි සෙවනගල වහලා නෑ. වහන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. අපි මේ ආයතනය ලාභ ලබන්න වැඩසටහනක් හදලා තිබෙන්නේ. අපි සංචාරක කර්මාන්තය මෙතනට ගෙන එන්න කටයුතු කරනවා. අපි මේක හදනවා. ගොවියාට ශත පහක්වත් අඩු කරන්නේ නැතුව, සේවකයන්ගේ ප්‍රශ්නත් විසඳලා, සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට අපි සීනි ලබාදීමට ක්‍රියා කරනවා. අපි බලයට එද්දි දුඹුරු සීනි කිලෝවක් රුපියල් තුන්සිය හැටයි. ඒ මිල රුපියල් සියයකින් අඩු කළා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මිල අඩු කළත් උක්වලට ගොවීන්ට ලබාදෙන මිල අඩු කළේ නැහැ.” 
‍මෙහිදී මතු වෙන්නේ මෙරට දුඹුරු සීනි අපනයනය කළ ඉතිහාසයක් සුදු ආණ්ඩුව කාලයේ තිබුණ බව අමාත්‍යවරයා දැනුවත්ව සිටියාද යන පැනයයි. ලංකාවේ තේ අපනයටත් වඩා ඉතිහාසයක් දුඹුරු සීනිවලට ඇත. මෙම සීනි නිෂ්පාදනය කරන ලද්දේ එංගලන්තයේ සිට පැමිණි වික්ටර් නම් සුදු ජාතිකයෙකි. ඔහු ඒ සඳහා වගාවට තෝරාගත්තේ බද්දේගම ප්‍රදේශයයි. දැනුත් ගාල්ලේ ඇති ‘%කැපූඇල’ යොදාගත්තේ මෙම සීනි ගාලුවරාය තෙක් ගෙන ඒමටය. අදද ඔහුට උපහාරයක් ලෙස ‘වික්ටර්’ තොටුපළ නාමය නොනැසී පවතී.

ලෝකයේ කොතනකත් හදන්නේ දුඹුරු සීනිය. එය රසායනික ක්‍රියාවලියක් මඟින් සුදු සීනි බවට පරිවර්තනය වේ. මේ සීනි සුදුවීම අප මතකයට එක්කරන්නේ මෙරට පිටි කිරි අපනයනය කරන ප්‍රධාන රටකි. අන්තර් ජාලයේ පිරික්සූ විට ඔය කියන රටේ ගොඩනැගිලි සහ මිනිසුන් ඉවත් කලත් මුළු රටේම එළහරක් ඇති කළත් මේ තරම් ලෝකයට පිටිකිරි නිෂ්පාදනය කළ නොහැකිය. එහි රහස කොරියාවේ කටු පොල් වගාවේ ප්‍රධාන ගැනුම්කරු වෙන්නේ මේ රටයි. රසායනිකව කටුපොල් පිටිකිරි බවට පත් කිරීම මෙම ක්‍රමවේදයයි. එහි ඇත්තේ වියළි විසර කරන ලද ස්වාභාවික එළකිරි සියයට20 කටත් අඩුවෙනි. 

මේ අතර ලංකාවේ නොවූවද සීනි නිපදවීම සඳහා බීට් උක් වැනි දේ භාවිත කරන අතර ඒවා සුදු සිහින් සීනි, ලොකු සුදු සීනි හා ගුරු සීනි ලෙස වර්ගීකරණයට ලක් වේ. එමෙන්ම අලෙවියේ දී විවිධ දේ සඳහා භාවිත කරන සීනිද වර්ගීකරණය වී ඇත. ඒවා හඳුන්වන්නේ රීෆයින් වයිට් ෂුගර්, ප්ලාන්ටේෂන් වයිට් ෂුගර්, නෝ වයිට් ෂුගර් හා අයිසින් ෂුගර් ලෙසය.

උක්වලින් ලබා ගන්නා සීනිවල අඳුරුපැහැය ඉවත් කිරීම සඳහා ෆිල්ටර් කිරීම වේ. ඒ සඳහා බ්‍රොන්ඩා ෆිල්ටර් ක්‍රමවේදය භාවිත කෙරේ. මේ සඳහා ඇෆ්ගනිස්ථානය, ආජන්ටිනාව, පකිස්ථානය වැනි රටවලින් ස්කොට් ලන්තය, ඊජිප්තුව, බ්‍රසීලය වැනි රටවල් වියළි හරක් ඇට යොදාගනී. බ්‍රසීලය ලංකාවට වැඩියෙන්ම සීනි අපනයනය කරන රටකි. මීට පෙර වියළි සත්ත්ව ඇට ජෙලටින් කර්මාන්තය සඳහා යොදා ගත්තකි. එහෙත් වර්තමානය තුළ අතුරු නිෂ්පාදනයක් ලෙස බ්‍රොන්ඩා ෆිල්ටර් නිෂ්පාදනයට භාවිත කරනු ලැබේ. මෙම ක්‍රමවේදයේ දී අධික තාපයට ලක්කර භෞතිකමය විපර්යාසයකට ලක් කොට මෙම දුඹුරු සීනි සුදු සීනි බවට පරිවර්තනය කරනු ලබයි.

ලංකාවේ ගෙදරකට ගිය විට අඩු සීනි තේකක් දීම මදිකමක් ලෙස සැලකේ. ඊට වඩා සීනි නැතුව කහට බොන උදවිය සලකන්නේ දියවැඩියා කාරයන් ලෙසය.

ඉතිහාසය පුරා සීනි වැඩිපුර පාවිච්චි කිරීම නිසා විවිධාකාර සෞඛ්‍ය ගැටලු ඇති කරන බව පැහැදිලි කෙරෙන පර්යේ ෂණ දහස් ගණනක් සිදුකර ඇති නමු දු ඒවා සමාජගත වීම වැළැක් වීමට සීනි සමාගම අත දිගහැර වියදම් කොට තිබේ. සමාජය දිගින් දිගටම යල් පැනගිය ‘මේද මිථ්‍යාවේ’ ඇලී ගැලී සිටිනු දැකීම සීනි සමාගම්වල අවශ්‍යතාවයි. වෛද්‍ය පර්යේෂකයෝ සීනි පරිභෝජනය හා ලොව පුර වේගයෙන් වර්ධනය වන ස්ථූලතාව, පිළිකා, හෘදයාබාධ වැනි බෝ නොවන රෝග අතර සම්බන්ධතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ නිරතව සිටින බැව් පෙනේ.

පුවත්පත් කලාවේදියෙකු හා ලේඛකයෙකු වෙන ගැරී නෝනිස් හා දන්ත වෛද්‍ය ක්‍රිස්ටින් කෙයාන්ස් කෝසන්ස් එක්ව රචනා කළ Big suger's sweet little lies මේ ගැන සාධක සහිතව ඔප්පු කොට ඇත.

ස්ථූලතාව පිළිබඳ විශේෂඥයෙකු වන ප්ලීප් ජේම්ස් “සීනි සමාගම් දුම්කළ සමාගම්වල උපක්‍රමය හඳුනාගෙන ඇත. ඔවුහු සමාජය දෙගිඩියාවට පත් කරති. තමන්ට පක්ෂ විශේෂඥයන් නිර්මාණය කරති. සීනිවලට එරෙහි මත දියත් කරවති” යනුවෙන් සඳහන් කොට ඇත.

සීනිවලින් වන හානිය ගැන වාර්තා චිත්‍රපට පවා නිපදවා ඇති බව ඔබ දන්නේද? 

The Secrets of suger වාර්තා චිත්‍රපටය මඟින් සැකසූ අතර (Proceed food) හා රෝගාබාධ අතර ඇති සබඳතාව වසර ගණනාවක් මුළුල්ලේ ආහාර නිෂ්පාදකයන් දැන සිටි බව පැහැදිලිව තහවුරු කරන්නේ සාක්ෂි සහිතවය.

ලංකාවේ සීනි ගැන පර්‌යේෂණ ග්‍රන්ථ සිංහලයෙන් පළවී ඇත්දැයි සැක සහිතය. එහෙත් විදේශවල ලේඛයන් ‘සීනි ගැන කරන විග්‍රහ අගය කළ යුත්තකි. ඔවුන් සීනිවලට කියන්නේ Silent killer යනුවෙනි.

එමෙන්ම පෝෂණවේදියෙකු වූ ජෝන් යුඩ්කින් මීට 53 වසරකට පෙර 1972 දී පළ කළ Pure white daedly  කෘතිය සීනි සමාගම් භීතියට පත් කරන්නට සමත් විය. දියවැඩියාව හා ස්ථූලතාවට සැබෑ හේතුව මේද නොව සීනි බව දශක ගණනාවක පර්‌යේෂණවල ප්‍රතිඵල ඇසුරින් ඔහු පෙන්වා දුන් අතර මේ පොතේ පරිච්ජේද කීපයක් එකල ‘දවස’ පුවත්පතේ ඩේවිඩ් කරුණාරත්න විසින් පළකොට ඇත.

සංඛ්‍යා ලේඛන අනුව ඇති රටවල් 196න් 120ක් ම සීනි නිෂ්පාදනය කරයි. 2012 දි ලෝකයේ සීනි නිෂ්පාදනය කරනු ලබන රටවල් අතරින් අන්තිම රට ලෙස 120 තැන ලැබෙන්නේ ශ්‍රී ලංකාවටය. එංගලන්තයට සීනි අපනයනය කළ ලංකාවට අත් වූ ඉරණම ඛේදනීය නොවේද? අද බ්‍රසීලය, ඉන්දියාව, චීනය සහ තායිලන්තය විශාල වශයෙන් සීනි නිෂ්පාදනය කරන රටවල් අතරෙන් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි.

සැලකිය යුතු කරුණක් වෙන්නේ ලෝකයේ ඕනෑම රටක අලුතෙන් සීනි කර්මාන්තයක් පටන් ගන්නා විට මුලින්ම කරන කාර්යය වන්නේ උනුදිය ප්‍රතිකාරක යන්ත්‍රයක් සාදා එයින් උක් දඬු තම්බා කෘමිනාශක, දිලීර නාශක දියරවල ගිල්ලීමෙන් පසුව උක් තවාන් තුන් වර්ගයක් බිහි කිරීමය. 

එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නැත. මෙරට ඕනෑ තරම් එතනෝල් තිබියදිත් නැව් පිටින් අරක්කු නිෂ්පාදන ආයතනවල දේශීය කර්මාන්ත රුකගැනීම ප්‍රතිපත්ති ගරුක තීරණයක් වී හමාරය.

අපේ රටේ මේ සීනි ගැටුමේ අවසන් ප්‍රතිඵලය වූයේ පැලවත්ත සීනි සමාගමේ ප්‍රධානියෙකු වූ නුවන් ධර්මරත්න ඉල්ලා අස්වීමය. ධර්මරත්න මහතා මාස 08ක කාලයක් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වරයා වශයෙන් කටයුතු කළ අතර මාලිමා රජයේ විජිත හේරත් ඇමතිවරයා විසින් 2024.10.29 දින පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා වශයෙන් ඔහු පත් කර තිබේ. නුවන් ධර්මරත්න ඉල්ලා අස්වීමට හේතුව වී ඇත්තේ තම ෆේස්බුක් ගිණුමෙහි සීනි කර්මාන්තය පිළිබඳව දමා තිබූ සටහනක් නිසා බවද ඔහු පවසා ඇත. ෆේස්බුක් සටහන දුටු ඇමතිවරයා දුරකථනයෙන් කතා කොට ඔහුට අස්වන ලෙසට උපදෙස් දී තිබේ. පසුව නුවන් ධර්මරත්න විසින් ඉකුත් 27 වැනි දින ඉල්ලා අස්වීමේ ලියුම අමාත්‍යවරයාට යොමු කළ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විදේශගතව සිට නැවත පැමිණීමෙන් පසුව ඔහු තුන් වැනි දින තම රාජකාරි කටයුතු සියල්ල භාර දී පැල්වත්ත සීනි සමාගමෙන් ඉවත්විය.

ඉල්ලා අස්වීමේ පිළිබඳ පැල්වත්ත සීනි සමාගමේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නුවන් ධර්මරත්නගෙන් විමසුවිට  පැවසුවේ ඇමතිවරයා විසින් තමන්ට එල්ල කරන ලද චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවය. ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය. “මෙම සිදුවීමට ප්‍රධාන කාරණය වන්නේ ප්‍රධාන ජාතික පුවත්පතකට මම දුන්න ප්‍රකාශයක්. ඒක දුන්නේ මට තියෙන බලතල අනුව මේ පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරි ආයතනයේ තොරතුරු එළියට දුන්නා කියලා මගෙන් නිදහසට කරුණු විමසලා තිබුණා. මම ඒකට පිළිතුරු දුන්නා.

මම කතා කළේ බඩ ඉරිඟුවලින් එතනෝල් හදන එක ගැන එකෙන් සීනි කර්මාන්තයට වන හානිය පිළිබඳව විතරයි. එහෙම කතා කළේ සීනි කර්මාන්තය ආරක්ෂා කර ගන්න.

ඊළඟ කාරණය තමයි සෙවණගල ගොවීන් කරපු මාධ්‍ය හමුව මම මෙහෙයවපු බවට චෝදනා තිබුණා. ඒ මාධ්‍ය හමුවට මම කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අය මම අඳුරන්නෙ නැති බව කියන්න ඕනේ.

කෙසේ වෙතත් ලංකා සීනි ආයතනය තියෙන්නේ අර්බුදකාරි තැනක. අද වෙන විට තෙල් ටිකවත් ගහ ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඉදිරියේදි මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.”  

පසුගියදා අනාවරණය වූයේ ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ පවතින පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා ඒවායෙහි නිපදවන දුඹුරු සීනි කිලෝවක් අලෙවියෙන් රුපියල් 50ක පමණ පාඩුවක් ලබන බව එම ආයතනවලට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරන බවය. එම කර්මාන්තශාලා වලින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 200 - 290ක් වැය වෙන බව ද අනාවරණය විය.

දේශීය සීනි නිෂ්පාදනය මත සියයට 18 ක එකතු කළ අගය මත බද්ද (වැට්) ක්‍රියාත්මක වීම

එතනෝල් මිල ගණන් පහළ යෑම සහ වෙළෙඳපොළේ සීනි අලෙවිය පහළ යෑම යන හේතු මත එම ආයතන දෙකෙහි මූල්‍ය කාර්යසාධනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එම හෙළිදරව්වේ දක්වා තිබුණ අතර දැන් ප්‍රශ්නය වී ඇත්තේ සත්‍ය තත්ත්වය අනාවරණය කරඇත්තේ කවර පාර්ශ්වයකින්ද බවය.

සත්‍ය කවුරුන් හෙළිදරව් කළත් ලංකාවේ දේශීය සීනි නිෂ්පාදනය සියයට20 කින් ඉහළ ගොස් ඇති බව දැනගැනීම දේශීය කර්මාන්තයක් ලෙස සතුටු විය හැකි තත්ත්වයකි. 2025 වසරෙ මහ බැංකුව නිකුත් කළ කෘෂිකර්ම අංශයට අදාළ වාර්තාවේ දත්ත අනුව 2023 දී ආනයනය කර ඇති මුළු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 652,876 කි. 2024 එම අගය මෙට්‍රික් ටොන් 582,906 කි.

2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ කාලයේ දී, දේශීයව නිපදවා ඇති මුළු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 66,177 කි. 2024 වසරේ සමාන්තර කාලයේ දී එසේ නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,986ක් ලෙස ඇස්තමේන්තු කොට තිබේ. ලංකාවේ පසුගිය වසරේ දේශීය සිය නිෂ්පාදනය සියයට20කින් නොහොත් පහෙන් එකකින් ප්‍රවර්ධනය වී ඇති බව තහවුරු වෙන්නේ මහ බැංකුවේ මේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය.     

මහින්ද රණවීර