
අතීත වසර ගණනාවක් මුළුල්ලේ පැවති වැසි හා ගංවතුර ආපදා අබිබවා යමින් -“දිට්වා” සුළිකුණාටුවේ බලපෑමෙන් පණපිටින් මහ පොළොවේ වැළලුණු මිනිසුන්ගේ හා වනසතුන්ගේ අඳෝනා සමගින් මාතලේ දිසාවේ සිදුවූ දැවැන්ත දේපොළ විනාශය පිළිබඳවත්, දැනට නිරුපද්‍රිතව සිටින අය මතු දිනෙක මේ ආකාරයේ විපත් හේතුවෙන් තමුන්ගේ මළගම සිදුවන්නට පෙර සිහි එළවා ගතයුතු කරුණු කීපයක් පිළිබඳවත්, “ඉරිදා ලංකාදීප” පාඨක දැනුවත්භාවය උදෙසා මෙම සටහන තබමු.
මාතලේ දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව – පල්ලේපොල, රත්තොට, ගලේවෙල, විල්ගමුව සහ මාතලේ ප්‍රදේශවල බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 3834 කි. පුද්ගලයන් ගණන 10,927 කි. මිය ගිය ගණන 28 කි. අතුරුදන් වූවන් 09 කි. ඔවුන් කිසිවෙකුටවත් සිය නෑසියන් හා දේපොළ ක්ෂණයෙන් අහිමි කෙරුණු මෙබඳු තත්ත්වයක් උරුම වෙතැයි යාන්තමින් හෝ සිතුණා යැයි සිතිය නොහැක. ඉතිරි වී සිටින බොහෝ දෙනා කියන්නේ මිය ගිය ගණන දැනට ඉදිරිපත් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බවයි.
එවන් පසුබිමක රටක් කම්පනයට පත් කළ දිට්වා සුළි කුණාටුව සහ මාතලේ භූ අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු බිඳක් - විෂය ප්‍රාමාණික උගතුන්ගෙන් විමසා පාඨක ඔබ වෙනුවෙන් මෙසේ සම්පිණ්ඩනය කරමු. අනාගතයේ මාතලේට කුමක් සිදුවේද? බොහෝ දෙනා විශ්වාස කරන පරිදි ගිලා බැසීමක් සිදුවේද?මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ එච්. සී. යූ. මොරේමඩ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“දැනට ඇතිවී තිබෙන අස්ථාවර තත්ත්වයත් සමග මධ්‍යම පළාතේ පොළොව අභ්‍යන්තරයේ නැවත නායයාමක් ඇති වෙන්න පුළුවන්. කඳුකර ප්‍රදේශවල යම් ඉදිකිරීමක් සිදුකරද්දී විශේෂඥ උපදෙස් අරන් ඒ ඉදිකිරීම් කරන්න ඕනේ කියන එක අපි දිගින් දිගටම කියලා තියෙනවා. නිවාසවල තිබෙන ඉරිතැළීම් වැඩිවීම තමයි අවදානම.”
“මඩ උල්පත් එනවා. ඒ වගේම කලක් තිබ්බ උල්පත් අතුරුදන් වෙන එක වගේම දිය කඳුරු ආශ්‍රිතව අනතුරක් තිබෙනවා. සිද්ධ වෙන්නෙ උඩ ස්ථානයක පවතින ගලක් ගැලවිලා වැටෙන කොට එම ස්ථානයේ තිබෙන ජල ප්‍රවාහයන් අවහිර වීමයි. එවැනි තත්ත්වයක දී පවතින ජලය එක් රැස්වී දුර්වල ස්ථානයකින් පිටවෙනවා. ඒ අනුව තමයි වටේම තියෙන පද්ධති ගැලවී එන්නේ.”
“කළු ගඟේ ඉහළ ප්‍රදේශයේ පිපිරීම් තිබෙනවා කියලා කරුණු වාර්තා වුණාම, අපි ඒ සම්බන්ධ කණ්ඩායමක් යවලා පරීක්ෂා කරමින් ඉන්නේ.

මධ්‍යම පළාතේ භූගත ජලප්‍රවාහ තිබෙනවා. උදාහරණයක් ලෙස මාතලේ උකුවෙල ප්‍රදේශයෙන් පටන් අරන් වාරියපොළ හරහා ඒ නවය මාර්ගයට සමාන්තරව සීගිරිය දෙසට ගිහින් හබරණ ප්‍රදේශයෙන් හැරෙනවා. මේ භූ ජල ප්‍රවාහය. ආන්තික වර්ෂාපතනවලදී පොළොවට වැටෙන ජලය ප්‍රමාණයක් තිබෙනවා. පොළොවට දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ආපුවම කොහෙන් හරි හිරවෙනවා. අලවතුගොඩ සිදුවුණේ ඒ වගේ දෙයක්.”
“අපි මූලික දැනුවත් කිරීම් සිදුකරනවා. ඒ නිවේදනවලට ජනතාව ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි. ඒ අනුව තාවකාලිකව ආරක්ෂිත ස්ථානයකට යෑම අවශ්‍යයි. මේ සැරේ නම් අපි කලින්ම දැනුවත් කළා. අපට ස්වයංක්‍රීය වර්ෂාපතන මාන තියෙනවා. අපි ඒ අනුව වැසි සම්බන්ධයෙන් කලින් ගණනය කරනවා. පසුව තමයි මහජනතාවට නිවේදන නිකුත් කරන්නේ.
ඇත්ත වශයෙන්ම අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනයා නිවේදනවලට අනුව කටයුතු කරනවා නම්, ඒවාට අනුගතවී ප්‍රතිචාර දක්වනවා නම් ආපදා අඩුකර ගන්න පුළුවන්. එමෙන්ම ඇතැම් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මධ්‍යම පළාතේ යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවේවි යැයි කාටවත් කියන්න බෑ.”
“සමහර විට මේ ඇතිවුණු තත්ත්වයට වඩා දරුණු තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම සමාජ වගකීමක් තිබෙනවා. අවාසනාවට කාරණාව තමයි මේ සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව දක්වන උනන්දුව අඩුවීම - මේසා දැවැන්ත ඛේදවාචකයකට මූලබීජය වීම.
ආපදා අවස්ථා සඳහා කලින් සූදානම් වීම ඉතාමත් ආරක්ෂාකාරී පියවරක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ පිරිස් ඒ සඳහා අනුගත නොවීම නිසා ජීවිත සමග දේපොළ පවා අහිමි වෙනවා. අප හැමෝටම තිබෙනවා සමාජ වගකීමක්. ඒ නිසාම තමයි මේ සම්බන්ධයෙන් අපි හැමෝම එකාවන්ව කටයුතු කරන්න ඕනේ කියලා අවධාරණය කරන්නේ.”
දුම්බර මිතුරෝ පාරිසරික හා සංස්කෘතික පදනමේ උපදේශක හා පරිසරවේදී නිමල් කණහැර ආරච්චි මෙසේ කීය.
“ඉකුත් දිනවල ඇති වුණේ ආසියානු කලාපයේ සිදුවුණු ලොකු සුළිකුණාටුව කියලා තමයි ඉතිහාසඥයන් පැහැදිලි කර තියෙන්නේ. ලංකාවේ වර්ෂාපතනය ගැන කතා කරද්දී මධ්‍යම කඳුකරය අමතක කරන්න බැහැ. ලංකාවේ සුළං බාධකයක් ලෙස කටයුතු කරන්නේ නකල්ස් කඳු වැටිය. ඒ කියන්නේ ඊසාන නිරිත දිග සුළං තත්ත්වයන් දෙකටම බාධකයක් වෙන්නේ මධ්‍යම කඳුකරය.”
“පැවැති වර්ෂාපතනයෙන් අධිකම වර්ෂාපතනය ගම්මඩුව ආශ්‍රිතව ඇද හැළීම නිසා ඉතිහාසයේ වාර්තා වුණු මිලිමීටර් 500 ඉක්මවූ වර්ෂාපතනයක් ගම්මඩුව ආශ්‍රිතව පතිත වෙලා තියෙනවා. දුම්බර කඳුපන්තිය වර්ෂා බාධකයක් විදිහට කටයුතු කර තිබෙන බව මෙයින් ඔප්පු වෙනවා. දුම්බර වන පෙතේ තිබුණු ලොකු කුඩා දියදහරා ඉතාම විශාල ජලදහරා බවට පත්වුණා. දුම්බර වනපෙත අවට තිබෙන පස්කණ්ඩි තෙත් වෙලා කඩා වැටුණා.”

“මේ නිසාම සමස්ත මධ්‍යම පළාතේ විශාල පාරිසරික හානි දක්නට ලැබෙනවා. මංමාවත් මෙන්ම නිවාසවලට පවා බරපතළ හානි සිදුවෙලා තියෙනවා. මෙයින් ඔප්පු වෙනවා පරිසරය විසින් සකස් කර ඇති සාධකවලට පරිබාහිරව යනවා නම් එහි ප්‍රතිඑල දරුණු වන බව. මේ අනුව අපි හැම කෙනෙක්ම දිට්වා කුණාටුවෙන් පාඩමක් උගත යුතුව තිබෙනවා. ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන කොට පාරිසරික මොඩියුලය විදිහට පාරිසරික කටයුතු මෙන්ම සංවර්ධන කටයුතුවලදී දිට්වා නම යොදා ගැනීම වැදගත් යැයි මං හිතනවා. දිට්වා පූර්වාදර්ශයක් කරගෙන කටයුතු කරන්න ලංකාවට මහඟු අවස්ථාවක් ලැබී තිබෙනවා.”
“සුනාමි අනතුරත් සමග අපේ භූ තැටිවල පැහැදිලි වෙනස්කම් සිදුවුණ බව භූ විද්‍යාඥයන් ප්‍රකාශ කර තියෙනවා. ලංකාවේ භූ තැටි සම්බන්ධයෙන් මේ තත්ත්වය සලකා බලන විට ලංකාව සහිත භූ තැටියේ අලුත් අනතුරු මෙන්ම අලුත් භූ විෂමතා එහෙම නැතිනම් භූමිකම්පා කලාප නිර්මාණය වෙලා තියෙනවා. මෙය වත්මන් තත්ත්වය සමග එකට ගෙන කතා කළ යුතුයි. ලෝකයේ බොහෝ ස්ථානවල කාලගුණික වගේම දේශගුණික විපර්යාස දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා.”
“ලංකාවේ සුළි කුණාටු තත්ත්වය ඇතිවෙන කොට ලෝක දේශගුණික සමුළුව පැවැත්වුණා. එතකොට අපි දන්නවා පෘථිවියේ සිදුවන වෙනස්කම් ටික අනාගතයේ තවදුරටත් වැඩිවෙනවා. මේ තත්ත්වය ආරම්භයක් විදිහට සලකා කටයුතු කරන්න ඕනේ. ඒ නිසාම මේ ගම් ප්‍රදේශවල ජනාවාස පිළිබඳව අපිට නැවත සිතා බලන්න වෙනවා. කෙටි කාලසීමාවක දී වර්ෂාව වැඩිවෙනවා, අඩුවෙනවා. මේ තත්ත්වය අරුමයක් ලෙස හෝ විස්මයක් ලෙස දකින්න බෑ. ඒක සොබා දහම මේ තත්ත්වය කලින් නොදුටු එකයි වැරැද්ද. අපිට කියන්න පුළුවන් මීට වර්ෂ ගණනාවකින් මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ කියලා. දැන් ඒක වෙනස් කරන්න කාලය ඇවිත් තියෙනවා. මේ තත්ත්වය හමුවේ විද්‍යාඥයන් පෙන්වා දෙනවා ලංකාවට වැටෙන වර්ෂාපතනය මිලි මීටර් සීයක් නම් ඊට සාපේක්ෂව සියයට10 කින් වැඩි වර්ෂාපතනයක් පොළොවට පතිතවෙලා තියෙනවා කියන එක.”
“මෙවැනි වර්ෂා තත්ත්වයන්ට අපි දැන් මුහුණ දියයුතුව තිබෙනවා.
ඒ නිසා අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මොඩියුලය වෙන්න ඕනේ දිට්වා කියන නම. එය මෙතනින් ආරම්භ කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි ලෝකයේ කොතනක හෝ සිදුවන පාරිසරික බලපෑමක් තවත් තැනකට බලපෑම් කරනවා. ඒක තමයි මේ සිදුවෙමින් පවතින්නේ. සමකය ආසන්නයේ සුළි සුළං කලාපයක් නිර්මාණය වීම ලෝකයටම සිතිය යුතු කාරණාවක් බවට පත්වී තිබෙනවා.”
මේ මොහොත වන විටත් මාතලේ දිස්ත්‍රික්කයේ මෙන්ම සෙසු දිස්ත්‍රික්කවලත් මහපොළොව යට වැළලුණු බොහෝ මිනිසුන් වෙනුවෙන් පුන්‍යාණුමෝදනා සිදුකරමින් පවතියි. කෙනෙකු මිය ගියාට පසු “යථාවාරිවහාපූරා පරිපූරෙන්ති සාදරං” යනුවෙන් කීමට වඩා, ඔහු හෝ ඇය තවදුරටත් මේ මහපොළවේ ජීවත් කරවීමට නම් - සොබාදහමේ සැකැස්ම වෙනස් නොකර ජීවත්වීමට අපි සැවොම අදිටන් කරගත යුතුය.
අඹන විනාශයෙන් දඹුල්ලට පාඩුයි

මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග දෛනිකව සපයන අඹන මහා වෙල්යාය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
පවුල් 250ක් පමණ අක්කර පන්සියයක වගා වපසරියක වගා කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සැපයූ අඹන වෙල්යාය සම්පූර්ණයෙන් විනාශවීම ඉදිරියේදී එළවළු නිෂ්පාදනයට සෘජුව බලපෑම් සිදුකරනු ඇත.
බී ලූනු හා එළවළු මෙන්ම සාදික්කා, එනසාල්, ගොරක, කරාබුනැටි ආදී සුළු අපනයන භෝගවලට ද මෙම වර්ෂාපතනයෙන් දැඩි අලාභ හානි සිදුව තිබේ. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ බහුලව වගා කෙරෙන ගම්මිරිස්වලට ද සිදුව ඇත්තේ එම අවාසනාවන්ත ඉරණමය. අධික වැසි නිසා ඵල හට නොගැනීම හේතුවෙන් ගම්මිරිස් ගොවියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.
අඹන මහා වෙල් යාය වැනි භූමි ප්‍රදේශ ගංවතුරින් විනාශවීම ඉදිරියේදී සියලු භෝග වගාවන්ට බලපෑම් ඇතිකර තිබේ. එපමණක් ද නොව ගමනාගමනය සඳහා පවතින සියලු ප්‍රධාන මාර්ග මෙන්ම ගම්මාන අභ්‍යන්තරයේ ඇති අප්‍රධාන මාර්ග රැසක් විනාශයට ලක්වීම ද මේ සඳහා සිදු කරන අමතර බලපෑමක් බවට පත්ව තිබේ.

