සුවහසක් දරුවන්ගේ කුසගිනි නිවන්ත අඩිතාලම දැමූ ප්‍රියන්ති ටීචර්


අපේ රටේ රජයේ පාසල් ගණන 10,096 කි. ඒ ජාතික පාසල් 396ක් සහ පළාත් පාසල් 9‌,700ක් ලෙසය. රජයේ පාසල්වල මේ වෙනවිට අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා විශාලය. ඊට අමතරව දිවයින පුරා ව්‍යාප්තව ඇති පෞද්ගලික පාසල් රාශියකද අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සුළුපටු නොවේ. මෙසේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගම්බද පාසල්වල සිටින අතර පොදුවේ එම දරුවන්ට දිවා ආහාර වේලක අවශ්‍යතාව පැන නගින්නේ අද ඊයේ නොවේ.

උදෑසන හතයි තිහට අරඹන පාසලෙහි සවස එකයි තිහ වනතුරු රැඳෙන දරුවන්ගෙන් බහුතරයක් සිටින්නේ කුසගින්නේය. නිවෙසින් ආහාර වේලක් රැගෙන එන දරුවන්ද එය බොහෝ දුරට බෙදාහදාගෙන කෑම නිසා එක් දරුවකුගේවත් හරිහැටි කුස පිරෙන්නේ ද නැත. මෙවන් අවස්ථාවක තමන් නිවෙසින් රැගෙන එන බත් පත දරුවන්ට දී වතුර උගුරකින් කුස නිවාගන්නා ගුරුවරුන්ද, එසේත් නැති නම් අමතර බත් පාර්සලයක් නිවෙසින් රැගෙන එන ගුරුවරුන්ද මේ සමාජයෙහි අප්‍රමාණව දැකිය හැක.

පාසල්‍ දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි දිවා ආහාර වේලක අවශ්‍යතාව එදවස බොහෝ ගුරුවරුන්ට දැනුණද එය ව්‍යාපෘතියක් ලෙස තම පාසලෙහි යථාර්ථයක් බවට පත්කිරීමට පෙරමුණ ගන්නේ මීට වසර 25කට පමණ පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ කළුකොඳයාව ප්‍රාථමික විදුහලේ ගුරුවරියක ලෙස කටයුතු කළ මල්ලිකා ප්‍රියන්ති ගුරු මහත්මියයි. පසුව ජාතික අධ්‍යාපන ආයතනයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්වී ලංකාවේ සියලු‍ම පාසල් පුරා ක්‍රියාත්මක කරන්නේ ඇයගේ මෙම ව්‍යාපෘතියයි. මේ ඇයගේ කතාවයි.

මල්ලිකා ප්‍රියන්ති ගුරුවරියක ලෙස පළමු පත්වීම ලැබුවේ සබරගමු පළාතේ අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විදුහලටය. ඒ හරියටම 1990 වසරේ දී ය. කෘෂි උප ගුරුවරියක ලෙස සේවයට එක්වෙන ඇයට පළමුවෙන්ම ඉගැන්වීමට ලැබෙන්නේ 11 වසරටය. තම පාසලට පැමිණි නවක ගුරුතුමියගේ ඉගෙනුම් රටාව පිළිබඳව මහත් ඇල්මක් ඇති වූ ඒ පන්තියේ දූ දරුවන් විදුහල්පතිවරයා හමුවී පවසන්නේ දිගටම ඇය තම පන්තියට යොමු කරන ලෙසය.

‘ඇත්‍තටම මට ඒක පුදුම සිදුවීමක් වුණා. මම පාසලට ආවේ කෘෂි විද්‍යාව උගන්වන්න. නමුත් අනෙක් විෂයන් පවා මට උගන්වන්න සිදුවුණා. ඒක මම බොහොම සතුටින් කළ දෙයක්. ඒ වගේම තමයි ඒ කාලෙ කෘෂි විද්‍යා විෂය පාසලේ තිබුණේ නැහැ. මම තමයි ආරම්භ කළේ. ඒ පාසලේ මම 1994 වනතුරු ඉගැන්වීම් කටයුතු කළා. පාසලෙන් මාරුවීමක් අරන් ආවේ කෘෂි විද්‍යා විෂයෙන් පාසලට ඉහළම කීර්තියක් අත්කර දීලා’

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම නම් සුන්දර ගම් පළාතේ උපත ලබන මල්ලිකා ප්‍රියන්ති පළමුවෙන්ම පාසල් අධ්‍යාපනය ලබන්නේ උඩුගල කනිෂ්ඨ විදුහලෙනි. සහෝදරියන් පස්දෙනකුගේ යුත් පවුලේ ප්‍රියන්තිගේ මව ගෘහිණියක වූ අතර පියා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රියැදුරකු ලෙස සේවය කළේය. ඇය ආ ගමන් මගේ මහා අත්වැල වන්නේ ද ඇයගේ පියාය. ඔහුද හොඳම රියැදුරුවරයා ලෙස පිටපිටම සම්මාන දිනාගන්නා විට ඒ සවිය වැඩිපුරම ලැබුණේ ප්‍රියන්තිටය.
‘උඩුගල පාසලෙන් පස්සෙ මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලෙ විදුහල්පතිනිය ලෙස කටයුතු කළේ ශ්‍රීමා විජේරත්න මැඩම්. මම අවුරුදු හතරක්ම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කළා. ඒ වගේම හැම බාහිර කටයුත්තක්ම කරට අරගෙන වැඩකරපු කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ගුරු වෘත්තියම තෝරාගන්න ඇත්තේ. අපේ පවුලෙ පස්දෙනා ක්ෂේත්‍ර පහක වැඩකළේ . ඒ දේවලින්‍් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තෙ මම. සල්ලි ගැන හිතන්නේ නැතිව ළමයින්ට දෙන ටික හරියට දෙන්න කියලා මට කියන්නේ අපේ තාත්තා. ඇත්තටම ගුරු වෘත්තිය කියන්නෙ සාමාන්‍ය සේවාවක් නෙමෙයි. මුළු ලෝකයක්ම පවතින්නේ ගුරුවරයාගේ අතේ. එදා පොඩි මුදලක් තමයි අපට ලැබුණේ. හැබැයි වගකීමෙන් වැඩ කළා.’

මේ කාලයේ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ක්‍රියාත්මක වුණේ පර්ෂද මූලස්ථ ක්‍රමය අනුවය. 1994 වසරේදී විවාහයත් සමඟ බස්නාහිර පළාතට පැමිණෙන ප්‍රියන්තිගේ ගුරු ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් වන්නේ මේ කාලයයි.

‘මම එන්නෙ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ දැඩිගමුව කනිෂ්ඨ විදුහලට. ඒ පාසලේදි මට චිත්‍ර, පරිසරය වැනි විෂයන් පවා වගේම එක වසරේ සිට දහතුන වසර දක්වාම උගන්වන්න ලැබෙනවා. ඒ පාසලේ වැඩ කරගෙන ඉන්න අතරේ තරගයක් පැවැත්වෙනවා සංගීත විෂය උගන්වන ගුරුවරුන් නොවන අයගේ ගීත රචනා අරන් ගායනා කරන තරගයක්. ඒ කාලෙ ජයවර්ධනපුර කොට්ඨාස අධ්‍යාපන කලාපයේ සංගීතය භාරව කටයුතු කළේ ප්‍රවීණ සංගීතවේදිනී මාලනී බුලත්සිංහල මහත්මිය. ඒ තරගයට සහභාගිවෙලා මම ප්‍රථම ස්ථානය අරන් දුන්නා පාසලට.

ඒ වගේම තමයි ඒ කාලෙ චිත්‍ර විෂය උගන්වන ගුරුවරිය අසනීපවෙලා හිටියේ. හය වසරේ සිට චිත්‍ර විෂය උගන්වන්න මට පැවරෙනවා. හවසත් පන්ති දාලා උගන්වනවා දරුවන්ට. එහෙම කරලා ජපානයේ කනගාවා චිත්‍ර තරගයෙන් පාසලට රිදී පදක්කම් තුනක් අරන් දෙන්නත් පුළුවන් වෙනවා’
මෙය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදුවෙන කාලසීමාවකි. එනම් ගුරු කේන්ද්‍රීයව පැවැති අධ්‍යාපන ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත්වන්නේ මේ කාල සීමාවේය. දරුවන්ට අධ්‍යාපනය ප්‍රායෝගිකව ලබාදීම ප්‍රමුඛත්වයක් ගත් අතර ප්‍රියන්තිට එය වඩා පහසු වූයේ ඇය මුල සිටම තම දරුවන්ට අධ්‍යාපනය ලබාදුන්නේ ප්‍රායෝගිකව බැවිනි.

‘මම බොහෝ දේවල් ඉගෙනගත්තේ අම්මා තාත්තාගෙන්. ඒ වගේම මගේ මුල්ම ගුරුතුමිය ප්‍රේමතිලක මිස්ගෙන්. ඇය දුන් අධ්‍යාපනය හරිම ප්‍රායෝගිකයි. අපි ළඟට අරගෙන කියාදෙනවා හැමදේම. මට මතකයි දවසක් කිව්වා ඔයා මටත් වඩා ඉහළට යනවා කියලා. ඒ ආශීර්වාදය හරියටම ලැබුණා. හැබැයි මට තාමත් ඒ ගුරුවරිය වගේ වෙන්න බැරිවුණා. ඒක පුදුම අධ්‍යාපන ක්‍රමයක්’.

ජයවර්ධනපුරින් පසුව ඇය නැවත ගුරුමාරු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කළුකොඳයාව ප්‍රාථමික විදුහලටය. එය සංවර්ධන නොවූ ඉතා අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පාසලක් වන අතර ප්‍රියන්තිට අභියෝගයක් වෙන්නේ පාසලට පූර්ණ කථනාබාධ ඇති දැරියකගේ පැමිණීමයි.

ඇය ඒ දියණිය පාසලට බාරගෙන උගන්වන අතර අලු‍ත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඇය සමඟ කටයුතු කරන්නේ මහත් සෙනෙහසිනි. ඒ නමුත් කථනාබාධ දියණියට අධ්‍යාපනය ලබාදෙන අයුරු දකින බොහෝ අයගේ අදහස වූයේ එවන් දරුවකුට අධ්‍යාපනය ලබාදිය හැකි විශේෂ අවශ්‍යතා පාසලක විශේෂ සුදුසුකම් ලැබූ ගුරුවරුන්ට පමණක් බවත් සාමාන්‍ය පන්ති කාමරයක ඉගැන්වීමට නොහැකි බවත් යනුවෙනි. මන්ද ඒ ඇය පූර්ණ කථනාබාධ ඇති දියණියක් වීමය.

‘මම මගේ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සුන්දර ළමා කාලයක් ගතකළ කෙනෙක්. ඒ වගේම මට සංගීතය, නැටුම්, කථික, විවාද, නිවේදන, හඬකැවීම් මේ ඕනම එකක් පුළුවන්. ඒ කුසලතා එක්ක මම හිතාගත්තා මේ ළමයට මම කොහොම හරි කතා කරවනවා කියලා. කැසට් පටයකුත් හදාගෙන ඉගැන්වීම් කළා. හරියටම වසර එකහමාරක් ගියා වචන දෙකක් කතා කරවන්න. මගේ පරීක්ෂණයේ පිටපත වුණේ විශේෂ අවශ්‍යතා දරුවකුට සාමාන්‍ය පන්ති කාමරයේ කතාකළ හැකිද කියලා. ඒක සාර්ථක වුණා. ඒ දවස්වල දොම්පෙ කලාප අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂව හිටියේ රංජිත් විජේතුංග මහතා, ගම්පහ කලාප අධ්‍යක්ෂ හිටියේ සිරිසේන සර් මට උපරිමයෙන්ම සහාය දුන්නා. ප්‍රාථමික කලාප අධ්‍යක්ෂවරිය ලීලා බස්නායක මහත්මියත් මතක් කරන්නම ඕන. කොහොම හරි මේ දරුවා කතා කරනවා. ඒක තමයි ලංකාවේ සාමාන්‍ය පන්ති කාමර භාවිත කරමින් කථනාබාධිත සිසුන් සඳහා ඉගැන්විය හැකි සෞන්දර්යාත්මක පර්‌යේෂණ ව්‍යාපෘතිය අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ සිදුවූ පළමු පරීක්ෂණය.

අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට

මේ කාලයෙහි පාසල්වල දරුවන්ට දිවා ආහාර වේලක්‍ ලබාදීම සම්බන්ධයෙන් ප්‍රියන්ති වෙහෙසෙන්නේ බොහෝ දරුවන් දිවා ආහාරය සඳහා කෑම වේලක් පාසලට නොගෙනෙන බැවිනි. ඇය පාසලේ ගුරුවරුන් සමඟ එකතු වී ව්‍යාපෘතියක් නිර්මාණය කර පෝෂ්‍යදායි කෑම වේලක් දරුවන්ට ලබාදීමට කටයුතු කළාය. මේ ව්‍යාපෘතිය බොහෝ තැන්වල කතාබහට ලක්වූ අතර එය රටේ අධ්‍යාපනය ඉහළ නැංවීමට අවශ්‍ය වන ව්‍යාපෘති පිළිබඳව අගැයීමට ලක්වූ කාලයකි. එම අවස්‍ථාවේදී ප්‍රාථමික කලාප අධ්‍යක්ෂවරිය වන ලීලා බස්නායක මහත්මිය ඇය යොමු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයටය. එහිදී ඇය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්වන්නේ නිරන්තරයෙන්ම ව්‍යාපෘති පිළිබඳව කතා කිරීම නිසාය. ඇයගේ පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදෙන ව්‍යාපෘතිය ජාතික අධ්‍යාපන ආයතනයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්වී ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව පිටුවක් පෙරළමිනි. ඒ අනුව අදටත් අපේ රටේ පාසල්වල ක්‍රියාත්මක වන දිවා ආහාර ලබාදීමේ ව්‍යාපෘතියට අඩිතාලම දැම්මේ ප්‍රියන්ති ය.

‘2002 වසරෙදි මා අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ කරගත්ත ජාතික මට්ටමේ සම්පත් දායිකාවක් ලෙස. 1992 - 1994 කාලයේ මම බාලදක්ෂිකා කොමසාරිස්වරියක ලෙසත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ජාතික මට්ටමේ බොහෝ ව්‍යාපෘති රැසක් නිර්මාණ කරන්න මම දායකත්වය ලබාදුන්නා.’

2002 වසරේදී දකුණු ආසියා ගුරු සමුළුව වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්නේ ද ප්‍රියන්තිය. ඒ අනුව දකුණු ආසියා සමස්ත ගුරුවරුන් අතරින් අන්තර්ජාලයේ වෙබ් පිටුවට ගිය එකම ශ්‍රී ලාංකික ගුරුවරිය වන්නේ ද ඇයයි. ළමා පොත් ව්‍යාපෘති, ප්‍රාථමික අධ්‍යාපනයෙහි ගුරුවරුන් හා ළමයින් සඳහා ව්‍යාපෘති රැසක් දියත් කිරීමට ඇය දායක වූවාය. ගම්පහ නගරය කේන්ද්‍ර කරගෙන නිවේදන කුසලතා සංවර්ධන ආයතනය ආරම්භ කරමින් සිසු සිසුවියන්ගේ නිවේදන හැකියා ජාතික තලයට හඳුන්වා දුන්නේ ද ඇයයි. මේ සියලු‍ දායකත්වයන් වෙනුවෙන් ජාතික අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ ගුරු හා විදුහල්පතිවරුන් අතරින් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ජනාධිපති විශිෂ්ට සම්මානයද ඇතුළු සම්මාන අගැයීම් රැසකින් ද ඇය පිදුම් ලැබුවාය.

දැනුමෙන් එහාට ගිය දැක්ම

‘ඇත්තටම වගකීම, කැපවීම, ඉවසීම නැතිනම් ගුරු රැකියාව කරන්න බෑ. අපි ගත්ත මුදලට ණයක් නොවී දරුවන්ට අධ්‍යාපනය දුන්නොත් තමයි නිදහස් විශ්‍රාම දිවියක් ලබන්න පුළුවන්. ඒ වගේම ගුරුවරයා හැම වෙලාවකම යාවත්කාලීන විය යුතුයි. අලු‍ත් දේවල් හඹා යා යුතුයි. අපි වැඩක් හරියට කරනවා නම් ඒකට හැම කෙනාම සහයෝගය දෙනවා. අධ්‍යාපන සුදුසුකම්වලට එහා ගිය වෘත්තීය සුදුසුකම් නම් අනිවාර්යයෙන්ම ගුරුවරයකුට තිබිය යුතුයි. ඒ වගේම තමයි අපේ රටේ පහසුකම් අඩු පාසල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි ඒ පාසල් දියුණු කරගන්න ගුරුවරයාටත් පුළුවන් විවිධ ව්‍යාපෘති මඟින්. ඒක පාසලට වගේම රටටත් වැඩදායි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩක් කරද්දි එන බාධා වළක්වන්න බෑ. ඒවා ජයගන්න ගුරුවරයාට හැකියාව කිබිය යුතුයි. මා දියත් කළ හැම වැඩකටම හැම කෙනෙකුම දුන් සහයෝගය අප්‍රමාණයි. මට ඒ සඳහා ශක්තිය දුන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද මේ වෙලාවෙ මතක් කළ යුතුයි’

සුවහසක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ ඇය අද වනවිට විශ්‍රාම සුවයෙන් පසු වුවද තවමත් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමට අවැසි ව්‍යාපෘති රැසක් තම සිතෙහි දරා සිටියි. දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය තම දරුවන්ටද වඩා අදටත් සොයා බලන්නේ අන් දරුවන්ගේ දුක සැපය.

‘අනෙක් ගුරුවරුන් වගේම මමත් මගේ දරුවො දෙන්නට නම් ඉගැන්නුවේ නැහැ. හැබැයි අපි අනෙක් දරුවන්ට කරන සේවාව නිසාම වෙන්න ඇති මගේ දරුවො දෙන්නා කාටවත් කරදරයත් නැතිව හොඳින් ඉගෙනගත්තා. අද දුවයි පුතයි දෙන්නම පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියා කරනවා. ඒක මට විශාල සතුටක්. ඒ වගේම තමයි මා යම් කිසි දෙයක් මේ සමාජය වෙනුවෙන් ඉටුකළා නම් ඒ ගෞරවය මා අධ්‍යාපනය ලැබූ සබරගමු පළාතේ උඩුගල කනිෂ්ඨ විදුහලටත්, රත්නපුර සුමන බාලිකා විදුහලටත් හිමිවිය යුතුමයි.”

දරුවන් තනන්නට උර දෙන්නේද ගුරුවරුන්ය. ඒ දරුවන් අඩියෙන් අඩිය නැගෙනා තුරු බලාහිඳින්නේද ගුරුවරුන් ය. ඒ දරුවන් මුළු ලොවක් දිනාගත්තද යළිදු කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවන්නේද ගුරුවරුන්ය.

සුජිත් ප්‍රසංග