භාවනාවක් යනු යම් අධිෂ්ඨානයක් මූලික කර ගනිමින් සිදුකර ගන්නකි. අධිෂ්ඨානයක් නොමැති නම් භාවනාවක් සිදු කිරීමට ඉලක්කයක් තිබිය නොහැකිය. එකම අධිෂ්ඨානයකින් එකම ආකාරයක භාවනාවක යෙදෙන භාවනානු යෝගීන් විශාල පිරිසක් - එකම ස්ථානයක බවුන් වැඩීම ද විරල සිදුවීමකි. එවන් වූ අධිෂ්ඨානයක් මුල් කර ගනිමින් එකම ස්ථානයක බවුන් වඩන දස දහස් සංඛ්‍යාත පිරිසක් - ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දී පසුගිය දින නමයක කාලය පුරා දැකගත හැකි විය.
දිනක්, දෙකක්, සමහර විට තුනක් තිස්සේ සිය වාරය එන තුරු බලා සිටින එම පිරිසට - ඉහළින් වැටෙන කාස්ටක අව්වත්, ගිනියම් වූ පොළවත්, වර්ෂාවත් බාධාවක් නොවුණු බවක් පෙනෙන්නට තිබූ අතර, ඔවුන් ගේ එකම අරමුණ අධිෂ්ඨානය වූයේ තුන් ලොවටම අග්‍ර වූ ලොව්තුරා අමා මෑණියන් ගේ උතුම් වූ දළදා වහන්සේ වැඳ පුදා ගැනීම පමණක්ම විය.
ඒ සඳහා දිවා රාත්‍රිය ගත කරමින්, අඩියෙන් අඩිය අඟලින් අඟල පිය මනිමින් ශ්‍රී දළදා මන්දිරය වෙත සැදැහැවතුන් ළඟා වන අයුරු දැකීම ද කෙනෙකු තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරවන්නකි. ඒ ආකාරයට අතිශය දුෂ්කර ව්‍යායාමයක නිරත වෙමින් ශ්‍රී දළදා මන්දිරය අසලට ළඟාවී, එහි ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වී, ඇතා සරසන ස්ථානය පසුකොට ඉහළට විත් - ආරුක්කු හැඩති අඹරාව තුළින් ඇතුළු වී, හේවිසි මණ්ඩපය ඉදිරිපිටට පැමිණ වමට හැරී, ඉතිරි පඩි පඩිපෙළ දෙකද නැග ඉදිරියට පැමිණෙන විට - දින ගණනාවක් එකම අධිෂ්ඨානයක අපේක්ෂාවක නිමග්නව සිටියෙකුට කුමන ආකාරයේ හැඟීමක් ඇතිවෙනවා ද යන්න ඔවුන් වෙතින්ම විමසා බැලිය යුත්තකි.
එබඳු සැදැහැවතෙකු දළදා වහන්සේ වැඳ පුදා ගෙන එළියට පැමිණි විටෙක ලත් ඒ අත්දැකීම විමසන කල්හි - බහුතරයකගේ දෑස් වලින් නිරායාසයෙන් කඳුළු වැගිරෙනු නිරතුරු දක්නට ලැබුණු දෙයක් විය.
සැබැවින්ම මෙවර සංවිධානය කෙරුණු දළදා වන්දනාව මහනුවර ජනතාවට නම් අමුතුම අත්දැකීමක් විය. දළදා වන්දනාවට මේ සා විශාල බැතිමතුන් පිරිසක් අප දන්නා ඉතිහාසයේ කෙදිනෙක හෝ පැමිණ නොමැති තරම්ය. එය වාර්තාගත ජන ගඟකි. වන්දනාවේ හයවැනි දිනය ඉක්මවන විට බැතිමතුන්ට වන්දනාවට නොයන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද පොලිසියට සිදුවිය. එසේම බැතිමතුන් සඳහා සහනදායී මිලකට කොළඹ සිට මහනුවරට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාවන් ද අවලංගු කෙරුණු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශයට පත් කළේය.
කිත්සිරිමෙවන් රජතුමා ගේ අවධියේ දී - හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් මෙරටට දළදා වහන්සේ වැඩම කරවීමෙන් පසු ආරම්භ වූ දළදා වන්දනා කිරීම් ඉතිහාසයේ, මේසා විශාල බැතිමතුන් පිරිසක් දළදා වන්දනාවට එක් වූ බවක් - මහාවංශයේ හෝ තිබේ දැයි සැක සහිතය. දිවා රෑ නොබලා, කාෂ්‍ටක අව්ව වැස්ස සීතල කිසිවක් නොතකා, ’එන්න එපා’ කියන පොලිස් නිවේදන ද නොතකා, බැතිමතුන් පාලනය කරගත නොහැකි ආකාරයට පෝලිම්වලට පොකුරු පිටින් එකතු වෙන ආකාරය දැක ගත හැකි විය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයේ මුල් අවධියේ දී - උඩරට ගිවිසුමේ ඇති කොන්දේසි කඩ කර දළදා වහන්සේට කෙනෙහිලිකම් කරමින්, එහි තේවා කටයුතු සිදුකිරීම හා පෙරහර පැවැත්වීම වැනි කටයුතුවලට බාධා පමුණුවමින් අධිරාජ්‍යවාදීන් හැසිරුණ අවස්ථාවක - මුළු රටම නියඟයක ගිල්වමින් 1823 සිට 1828 දක්වාවූ කාල වකවානුවේ රටෙහි මහා දුර්භීක්‍ෂයක් ඇති වූ බැව් ඉතිහාසයේ සඳහන්ය. එම අවස්ථාවේ දී අධිරාජ්‍යවාදීන් ගේ වගාවන් හානිවීම හේතුවෙන් ඔවුන් විසින් බ්‍රිතාන්‍යයට යැවිය යුතු මුදල් ද අඩුවී තිබේ. මෙම තත්ත්වය පිළිබඳව මෙරට ප්‍රභූන් අධිරාජ්‍යවාදී පාලකයන්ට විස්තර කර දී ඇත්තේ - දළදා වහන්සේට චිරාත් කාලයක් මුළුල්ලේ කරගෙන ආ තේවා කටයුතු අඛණ්ඩව සිදු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත්තේය යන කරුණ හුවා දක්වමිනි.
එම කාලයේ දී මෙරට ආණ්ඩුකාරවරයා වශයෙන් ක්‍රියා කළේ එඩ්වඩ් බාන්ස් ය. ඔහු යටත්විජිත ලේකම්වරයාට ලිපියක් යවමින් - මෙරටෙහි මහා දුර්භික්ෂයක් ඇතිව තිබෙන බවත්, දළදා වහන්සේට නිසි තේවා කටයුතු සිදු නොකිරීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව උඩරට ප්‍රභූන් පවසන බවත්, වාර්තා කොට තිබේ.
ඊට පිළිතුරු ලෙස එවක යටත් විජිත ලේකම්වරයා මෙරට ආණ්ඩුකාරවරයාට දැනුම්දී දී ඇත්තේ - සුදුසු දෙයක් කරන ලෙසයි. ඒ අනුව 1828 මැයි මාසයේ වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටි දළදා වහන්සේ උඩුමහලින් පහළ මහලට වඩම්මවා දළදා වන්දනාවක් පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන්ය.
එම දළදා වන්දනාවෙන් පසු වසර කීපයක් මුළුල්ලේ පැවති නියඟය දුරු කරමින් මහා වර්ෂාවක් ඇද හැලී මහනුවර වැවද උතුරා ගිය බවත්, එම වැස්ස දළදා වතුර නමින් ජනතාව හැඳින්වූ බවත්, පොත්පත්වල සඳහන් වේ.
දළදා දැක්මවල් අතරින් විශාල සැදැහැවතුන් සංඛ්‍යාවක් සහභාගී වූ ප්‍රසිද්ධම දළදා දැක්ම ලෙස එය නම් කළ හැකි අතර, ඊට පසු ප්‍රසිද්ධ දළදා දැක්ම ලෙස 2025 වසරේ පැවැත්වූ මෙම දළදා දැක්ම නිසැකවම ඉතිහාස ගතවනු ඇත.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ඉදිරියට තවත් දින තුනක් දළදා දැක්ම සඳහා කාලය තිබුණ ද - දළදා වන්දනාව සඳහා පෝලිම්වල එක් රොක් වී සිටින ලක්ෂ හතරකට ආසන්න පිරිසට එම කාලය තුළ දී වන්දනාමාන කර ගැනීමට නොහැකි වනු ඇති බවට පුරෝකථනය කොට තිබේ. මෙම දළදා වන්දනාව සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ පාර්ශ්වයන්ට ද චෝදනා එල්ල වෙමින් පවතී. මෙසේ චෝදනා එල්ල කරන බොහෝ දෙනකු පවසා සිටින්නේ, මෙය දේශපාලනික අරමුණක් හේතුවෙන් කිසිදු සංවිධානයක්, සැලැස්මක් නොමැතිව පැවැත්වීම හේතුවෙන් - ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වී මහනුවර නගරය ද විසාලා මහනුවරක් බවට පත්ව ඇති බවයි.
මහනුවර ඓතිහාසික වැව දෙපසින් ද මේ වනවිට පෝලිං දෙකක් දිවෙන අතර, රාත්‍රි කාලයේ ද සිටින එම පිරිස් - වැව දැඩි ලෙස අපවිත්‍ර කොට ඇතැයි බලධාරීහු පවසති. පෝලිං පිහිටා ඇති අනෙක් ප්‍රදේශවල තත්ත්වයද එබඳුම ය. කිසිදු වගවිභාගයකින් තොරව - පරිසරය ගැන නොසිතා ප්ලාස්ටික් බෝතල් බෑග් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය කිසිදු වගකීමකින් තොරව ඉවක් බවක් නොමැතිව මහමග දෙපස පරිසරයට මුදාහැර ඇති ආකාරය දැකිය හැකි වන අතර, එය ඉතාමත් ශෝචනීය තත්ත්වයකි.
මෙම තත්ත්වයට - කිසිදු කළමනාකරණයක් නොමැතිව දන්සල් පවත්වමින් ආහාර, කෙටි ආහාර, හා ජලය ඇතුළු පාන වර්ග බෙදා හරින පුද්ගලයන් ද වගකිවයුතුව ඇත. දන්සල් දිය යුත්තේ මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයට ය. එහෙත් පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ට බලහත්කාරයෙන් දන්සල් පවත්වමින් ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයන් ඕනෑ තරම් දැක ගත හැකිය.
විවෘත නොකළ බත් පාර්සල් හා විවෘත නොකළ වතුර බෝතල් ද, ආහාර වර්ග අයිස් ක්‍රීම් දවටන ඇතුළු දවටන දස දහස් ගණනෙන් මහනුවර නගරයේ වීදිවලට මුදා හැර තිබෙන අයුරු දැකගත හැකිය.
මහනුවර නගරයට පැමිණ සිටින දරාගත නොහැකි ආකාරයේ මහජන එකතුවීම් පදනම්ව පරිසරයට මුදා හැරෙන මල මූත්‍ර ඇතුළු අපද්‍රව්‍යය හේතුවෙන් නගරය තුළ පාචනය වැනි රෝග තත්ත්ව ඇතිවී හදිසි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් දැනටමත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
මහනුවර ඓතිහාසික වැවේ අපවිත්‍ර වූ ජලය නැවත පිරිපහදු කොට යථා තත්ත්වයට පත්කිරීමට වසරකට ආසන්න කාලයක් ගතවනු ඇති බවට අදාළ අංශ මේ වන විටත් අනතුරු හඟවා තිබේ.
මෙම තත්ත්වය හමුවේ බ්‍රහස්පතින්දා (24) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ඒ. බී. එස්. අබයකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඒකාබද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පවසා සිටියේ - දළදා වන්දනාව සඳහා අලුතෙන් පෝලිම්වලට එකතු වීමෙන් වැළකී සිටින ලෙසයි. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ප්‍රකාශ කර සිටියේ - දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බස් රථ මාවනැල්ල, මාවතගම, හසලක, මයිලපිටිය, ගම්පොළ හා වැලිගල්ල යන ප්‍රදේශ වලින් විශේෂ මාර්ග බාධක යොදවා ආපසු හරවා යැවීමට පියවර ගන්නා බවයි.
මින් ඉදිරියට වසරකට වරක් හෝ දළදා දැක්මක් සිදුකිරීමට මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයාට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා එහිදී පැවසීය.
ෂේන් සෙනෙවිරත්න